Skip to content

පටුනට යන්න

ශක්තියෙන් බලවත් යෙහෝවා

ශක්තියෙන් බලවත් යෙහෝවා

ශක්තියෙන් බලවත් යෙහෝවා

‘ඔහුගේ බලයේ මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද ඒවායින් එකක්වත් නෑවිත් නොතිබේ.’—යෙසායා 40:26.

1, 2. (අ) අප සැමෝම රඳා සිටින්නේ කුමන භෞතික බල ශක්ති ප්‍රභවය මතද? (ආ) යෙහෝවා සෑම බලයකම ප්‍රධාන උල්පත වීමට හේතුව පැහැදිලි කරන්න.

 සාමාන්‍යයෙන් අප බලය ගැන එතරම් සිතන්නේ නැත. ආලෝකය සහ තාපය සපයන විදුලි බලයවත්, අප පාවිච්චියට ගන්නා ඕනෑම විදුලි උපකරණයක් ක්‍රියාත්මක කරවීමට විදුලි සැපයුමට සම්බන්ධ කිරීමට ඇති පහසුකමවත් අප නොතකන තරම්ය. කෙසේවෙතත්, හදිස්සියේ විදුලි බලයේ ඇණහිටීමක් සිදු වූවොතින්? විදුලි බලය නොමැතිව මුළු සමාජයටම කොතරම් පාඩුවක් සිදු වේදැයි අපට අවබෝධ වන්නේ එවිටය. අපගේ ප්‍රයෝජනය සඳහා අප භාවිත කරන විදුලි බලයෙන් වැඩි හරියක් පෘථිවියේ හොඳම ශක්ති ප්‍රභවය වන සූර්යයාගෙන් වක්‍රාකාරව ලැබේ. a තත්පරයක් තත්පරයක් පාසා සූර්යයා න්‍යෂ්ටික ඉන්ධන ටොන් දශලක්ෂ පහක් වැය කරමින්, පෘථිවියට ජීවනදායක ශක්තිය ලබා දෙයි.

2 මෙතරම් බහුල වූ සූර්ය ශක්තිය කොහෙන්ද? එහි නිර්මාතෘ වන යෙහෝවා දෙවිගෙනි. ගීතාවලිය 74:16හි ඔහු ගැන මෙසේ පැවසේ. ‘ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළ කළේය.’ යෙහෝවා සියලුම ජීවිතවල උල්පත වන්නා සේම, සියලු බලයේ ශ්‍රේෂ්ඨ ප්‍රභවයද වේ. (ගීතාවලිය 36:9) එසේ නම්, ඔහු සතු බලය සුළු කොට තැකීම නුවණට හුරු දෙයක් නොවේ. සූර්යයා සහ තාරකාවන් වැනි ආකාශ වස්තූන් දෙස බලා ඒවා බිහි වූයේ කෙසේද යන්න ගැන මෙනෙහි කිරීමට යෙහෝවා තම අනාගතවක්තෘ යෙසායා තුළින් අපට සිහිගන්වන අන්දම සලකා බලමු. ‘නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬගසන්නේය; ඔහුගේ බලයේ මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.’—යෙසායා 40:26; යෙරෙමියා 32:17.

3. යෙහෝවා තම බලය පෑමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

3 යෙහෝවා ශක්තියෙන් බලවත් බැවින්, අපගේ ජීවිතයට අවශ්‍ය ආලෝකය සහ තාපය සූර්යයාගෙන් අඛණ්ඩව ලැබේය යන්න අප සැක කරන්නේ නැත. කෙසේවෙතත්, දෙවිගේ බලය අපට අවශ්‍ය වන්නේ අපගේ භෞතික අවශ්‍යතා පිරිමැසීමට පමණක් නොවේ. පාපයෙන් සහ මරණයෙන් ගැළවීම, අනාගතය සඳහා අපගේ බලාපොරොත්තුව, යෙහෝවා කෙරෙහි අපගේ විශ්වාසය ඔහුගේ බලයට සම්බන්ධයි. (ගීතාවලිය 28:6-9; යෙසායා 50:2) දේවල් මැවීමට, පාපයෙන් සහ මරණයෙන් මුදාගැනීමට, තම ජනයාව බේරාගැනීමට සහ තම සතුරන්ව විනාශ කර දැමීමට යෙහෝවා සතු බලය ගැන බයිබලයෙහි උදාහරණ රැසක් ඇත.

දෙවිගේ බලය—මැවීම තුළින්

4. (අ) රාත්‍රි අහස් තලය නැරඹීම දාවිත්ට බලපෑවේ කෙසේද? (ආ) දෙවිගේ බලය ගැන ආකාශ වස්තුවලින් අපට ලැබෙන සාක්ෂිය කුමක්ද?

4 අපගේ මැවුම්කරුගේ ‘සදාකාලික වූ බලය මවන ලද දේවලින් තේරුම්ගොස් පැහැදිලි ලෙස පෙනී යන’ බව ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේය. (රෝම 1:20) මීට සියවස් ගණනාවකට කලින්, එඬේර කොලුවෙකු ලෙස රාත්‍රි අහස් තලය දෙස නිතර බැලුවායයි සිතිය හැකි ගීතිකාකාර දාවිත්, විශ්වයේ මහානුභාව සම්පන්නභාවය සහ එහි මැවුම්කරුගේ බලමහිමය තේරුම්ගත්තේය. ඔහු මෙසේ අදහස් දැක්වීය. “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” (ගීතාවලිය 8:3, 4) දාවිත්ට ආකාශ වස්තු ගැන එතරම් දැනුමක් තිබුණේ නැත. එනමුත්, අපගේ දැවැන්ත විශ්වයේ මැවුම්කරු හා සැසඳූ කල තමා ඉතා සුළු කෙනෙකු බව ඔහුට මනාව අවබෝධ විය. අදදින තාරකා විද්‍යාඥයන්ට විශ්වයේ විශාලත්වය ගැනත්, එහි ක්‍රියාත්මක වන බලය ගැනත් මනා දැනුමක් තිබේ. නිදසුනකට, බෝම්බ සෑදීමට යොදාගන්නා TNT මෙගාටොන් දශලක්ෂ 1,00,000ක් පුපුරවාහැරීමෙන් නිකුත් වන ශක්තියට සමාන ශක්තියක් සූර්යයාගෙන් තත්පරයක් තත්පරයක් පාසා නිකුත් වන බව ඔවුහු පවසති. b එම ශක්තියෙන් පෘථිවියට ළඟා වන්නේ අංශුමාත්‍රයක් පමණි. එසේ වුවත්, පෘථිවියේ සෑම ජීවියෙකුගේම අඛණ්ඩ පැවැත්මට එය ප්‍රමාණවත්ය. සූර්යයා විශ්වයේ ප්‍රබලතම තරුව නොවන බව අප මතක තබාගත යුතුය. සූර්යයා සම්පූර්ණ දවසක් පුරා නිකුත් කරන ශක්ති ප්‍රමාණය ඇතැම් තරු එක තත්පරයකින් නිකුත් කරයි! එසේ නම්, එවැනි ආකාශ වස්තූන් මැවූ තැනැත්තාට කොතරම් බලයක් ඇද්දැයි සිතාගත හැකිය. එලීහු පැවසූ දේ නිවැරදිය. ‘සර්වපරාක්‍රමවත් තැනැත්තා නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; ඔහු පරාක්‍රමයෙන් [බලයෙන්, NW] උතුම්ව සිටියි.’—යෝබ් 37:23.

5. යෙහෝවාගේ ක්‍රියා තුළින් ඔහුගේ ශක්තිය ගැන අපට ලැබෙන සාක්ෂි මොනවාද?

5 දාවිත් කළාක් මෙන් අපද ‘දෙවිගේ ක්‍රියා සොයා මෙනෙහි කළ’ යුතුය. එවිට ඔහුගේ බලය සෑම තැනකම දැකීමට අපි සමත් වන්නෙමු. සුළඟ, මුහුදේ රළ පෙළ, වැහිබර ආකාශයේ නැඟෙන ගිගුරුම් සහ විදුලි කෙටීම්, වේගයෙන් ඇද හැළෙන ගංගා සහ දැවැන්ත කඳු ඊට සාක්ෂි නොවේද? (ගීතාවලිය 111:2; යෝබ් 26:12-14) යෙහෝවා යෝබ්ට මතක් කර දුන් පරිදි, යෙහෝවාගේ ශක්තියට සතුන්ද සාක්ෂි සපයයි. බෙහෙමොත් නොහොත් හිපපොටේමසා ඉන් එකකි. යෙහෝවා යෝබ්ට මෙසේ විස්තර සැපයීය. “උගේ තුනටියෙහි තිබෙන උගේ ශක්තිය . . . කල්පනාකරන්න. . . . උගේ ඉළඇට යකඩ පොලු වාගේය.” (යෝබ් 40:15-18) බයිබල් කාලවල කොයි කාගෙත් ත්‍රාසයට හේතු වූ භයානක වල් ගොනා තවත් උදාහරණයකි. දාවිත් ‘සිංහයාගේ මුඛයෙන් සහ වල් ගොනුන්ගේ අංවලින්’ ආරක්ෂා කරන මෙන් යාච්ඤා කළේ ඒ නිසා විය හැක.—ගීතාවලිය 22:21; යෝබ් 39:9-11.

6. ශුද්ධ ලියවිල්ලෙහි ගවයාගෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? ඒ මන්ද? (පාදසටහන බලන්න.)

6 ගවයෙකුට නොහොත් වස්සෙකුට මෙතරම් ශක්තියක් ඇති බැවින්, යෙහෝවාගේ බලය සංකේතවත් කිරීමට බයිබලයෙහි ඌව යොදාගෙන ඇත. c යෙහෝවාගේ සිංහාසනය හා සම්බන්ධ ප්‍රේරිත යොහන්ගේ දර්ශනයේ ජීවමාන සත්වයන් සතරදෙනෙකු පිළිබඳව විස්තර කර ඇත. ඉන් එක්කෙනෙකුට තිබුණේ වස්සෙකුට සමාන මුහුණකි. (එළිදරව් 4:6, 7) පෙනෙන විදිහට මෙම කෙරුබ්වරුන් මගින් විස්තර කරනු ලබන යෙහෝවාගේ ප්‍රධාන ගුණාංග සතර අතුරින් එකක් වන්නේ බලයයි. අනික් තුන ප්‍රේමය, ප්‍රඥාව සහ යුක්තිය වේ. බලය දෙවිගේ පෞද්ගලිකත්වයේ වැදගත් අංගයක් වන බැවින්, දෙවිගේ බලය පිළිබඳවත් ඔහු එය යොදාගන්නා ආකාරය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් අවශ්‍යය. එසේ කිරීමෙන් ඔහුට වඩාත් කිට්ටු වීමට අපට හැකි වන අතර, අප සතු යම් බලයක් ඇත්නම් එය යොදාගැනීමේදී ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීමටද මහෝපකාරි වේ.—එපීස 5:1.

පරාක්‍රමවත් වූ ‘සේනාවල යෙහෝවා’

7. නපුරට එරෙහිව යහපත ජයගනී කියා අපට ස්ථිර විය හැක්කේ කෙසේද?

7 ශුද්ධ ලියවිලිවල යෙහෝවාට ‘සර්වපරාක්‍රම වූ දෙවි’ යන නම දී ඇත. ඔහුගේ බලයවත්, තම සතුරන්ව වනසා දැමීමට ඔහු සතු හැකියාවවත් අප කිසිදාක අවතක්සේරු නොකළ යුතු බව එම පදවි නාමය අපට මතක් කර දෙයි. (උත්පත්ති 17:1; නික්මයාම 6:3) සාතන්ගේ දුෂ්ට දේවල පිළිවෙළ හොඳින් ස්ථාපිත වී ඇති බව පෙනී යා හැක. එනමුත් යෙහෝවා නම්, “ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය.” (යෙසායා 40:15) දෙවිගේ බලය නිසා, නපුරට එරෙහිව යහපත ජයගන්නා බවට සැකයක් නැත. දුෂ්ටකම මෙතරම් පුළුල්ව පැතිර ඇති කාලයක, ‘සේනාවල යෙහෝවාද, ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමවත් තැනැත්තා’ නපුර සදහටම තුරන් කරන්න යන බව දැනගැනීමෙන් සැනසීමක් ලබාගැනීමට අපට පුළුවන.—යෙසායා 1:24; ගීතාවලිය 37:9, 10.

8. යෙහෝවාගේ අණසක යටතේ සිටින්නේ කවර ස්වර්ගික සේනාද? ඔවුන්ගේ බලය ගැන අපට ඇති සාක්ෂිය කුමක්ද?

8 බයිබලයෙහි 285 වතාවක් දක්නට ලැබෙන ‘සේනාවල යෙහෝවා’ යන ප්‍රකාශය දෙවිගේ බලයට තවත් සිහිගැන්වීමකි. මෙහි සඳහන් කරන “සේනා” යන වදන යෙහෝවාගේ අණසක යටතේ සිටින අදෘශ්‍යමාන ආත්ම මැවිලි වෙතට යොමු දක්වයි. (ගීතාවලිය 103:20, 21; 148:2) මේ දේවදූත සමූහයා කොතරම් බලවත්ද කිවහොත් ඔවුන්ගෙන් එක්කෙනෙක්, යෙරුසලමට එරෙහිව පැමිණි අෂූරිය හමුදාවේ සෙබළුන් 1,85,000ක් එක් රැයකින් ඝාතනය කළේය. (2 රාජාවලිය 19:35) යෙහෝවාගේ ස්වර්ගික සේනාවල බලය අපට තේරෙනවා නම්, විරුද්ධවාදීන්ගේ තර්ජන ගර්ජන හමුවේ අප බිය වන්නේ නැත. අනාගතවක්තෘ එලිෂාව සෙවූ හමුදාවක් ඔහුව වට කළ අවස්ථාවේදී ඔහුගේ සේවකයාට මෙන් නොව ඔහුට කිසිදු භයක් දැනුණේ නැත. ඒ, තමාගේ ආරක්ෂාවට දැවැන්ත ස්වර්ගික බල ඇණියක් සිටින වග ඔහු තම ඇදහිල්ල නමැති ඇස්වලින් දුටු නිසා විය යුතුය.—2 රාජාවලිය 6:15-17.

9. යේසුස් මෙන්, දෙවිගෙන් ලැබෙන ආරක්ෂාව ගැන අප නිසැක විය යුත්තේ මන්ද?

9 යේසුස් ගෙත්සෙමනේ උයනෙහි කඩු මුගුරුවලින් සන්නද්ධ මැර පිරිසකට මුහුණ දුන් අවස්ථාවේදී, දේවදූතයන්ගේ උපකාරය ලබාගත හැකි බව ඔහු දැන සිටියේය. පේතෘස්ට තම කඩුව නැවතත් කොපුවෙහි දමන්නැයි පැවසූ යේසුස්, අවශ්‍ය නම්, “දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා” තමාගේ පියාගෙන් ඉල්ලීමට හැකි බව පැහැදිලි කර දුන්නේය. (මතෙව් 26:47, 52, 53) දෙවිගේ අණසක යටතෙහි සිටින ස්වර්ගික සේනාවන් සඳහා ඒ හා සමාන අගයක් අපටද තිබිය යුතුය. එවැනි අගයක් ඇත්නම්, දෙවිගෙන් ලැබෙන ආරක්ෂාව ගැන අපට කිසිදාක සැකයක් මතු වන්නේ නැත. ප්‍රේරිත පාවුල් තම අදිටන දැක්වූයේ මෙසේය. “එසේවී නම්, මේ කාරණා ගැන කුමක් කියමුද? [දෙවි] අපේ පක්ෂයට [සිටින්නේ] නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?”—රෝම 8:31.

10. යෙහෝවා තම බලයපාන්නේ කා වෙනුවෙන්ද?

10 ඔව්, යෙහෝවා ලබා දෙන ආරක්ෂාව ගැන විශ්වාසයකින් සිටීමට අපට ඇති තරම් හේතු තිබේ. ඔහු කවදත් තම බලය යහපත් අරමුණක් ඇතුවද, යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමය නමැති තම අනික් ගුණාංගවලට එකඟවද පාවිච්චි කරයි. (යෝබ් 37:23; යෙරෙමියා 10:12) බලවත් මනුෂ්‍යයන් පෞද්ගලික වාසි තකා දුප්පතුන් සහ අසරණයන් පාගා දැමුවද, ‘ගළවන්ට බලවත් වූ තැනැත්තෙක්’ වන යෙහෝවා ‘දුප්පතා ධූලියෙන් නැඟිටුවයි.’ (යෙසායා 63:1; ගීතාවලිය 113:5, 6, 8) ‘බලවත් වූ තැනැත්තා’ උඩඟු අයව පහත හෙළා, යටහත් පහත් අයව උසස් කරමින්, ඔහුට භයවන්නන් කෙරෙහි බලයපාන බව යේසුස්ගේ විනීත වූ යටහත් පහත් මව වන මරියාද තේරුම්ගත්තාය.—ලූක් 1:46-53.

යෙහෝවා තම සේවකයන්ට තම බලය එළිදරව් කරයි

11. පොදු යුගයට පෙර 1513දී, ඉශ්‍රායෙලිතයන් දුටුවේ දෙවිගේ බලයට කවර සාක්ෂිද?

11 යෙහෝවා අවස්ථා කිහිපයකදීම තම සෙනඟට තම බලය විදහාපෑවේය. පොදු යුගයට පෙර 1513දී සීනයි කන්ද පාමුල සිදු වූ දේ සලකා බලමු. ඒ වසර ඉශ්‍රායෙලිතයන්ට විශේෂ වසරක් විය. ඒ වන විටත් ඔවුන් දෙවිගේ බලය සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි දැක තිබිණ. ඉතා විනාශකාරි පීඩා දසයකින් යෙහෝවාගේ බලවත් හස්තයද, මිසර දෙවිවරුන්ගේ බෙලහීනකමද හෙළි විය. අනතුරුව, රතු මුහුදෙන් එතෙර වීමත්, ඵාරාවෝගේ හමුදාව විනාශ වී යෑමත් දෙවිගේ බලයට තවත් සාක්ෂියක් විය. ඉන් තුන් මසකට පසුව, සීනයි කන්ද පාමුලදී, යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට ‘සියලු සෙනඟ අතරෙන් තමාට අසහාය වස්තුවක්’ වීමට ඇරයුම් කළේය. ඉශ්‍රායෙලිතයන්ගේ ප්‍රතිචාරය වූයේ ‘යෙහෝවා කී සියල්ලම කරන්නෙමු’ යන්නයි. (නික්මයාම 19:5, 8) එවිට, යෙහෝවා තම බලය චමත්කාරජනක ලෙස විදහාපෑවේය. ගිගුරුම් සහ විදුලි මෙන්ම හොරණෑවක ශබ්දය මධ්‍යයෙහි සීනයි කන්දෙන් දුම් නික්මගියේය. කන්දද මහත් සේ කම්පා විය. දුරින් සිටගෙන සිටි ජනතාව භයින් වෙව්ලා ගියේය. මෙම අද්දැකීම ඔවුන්ට දේවභය වර්ධනය කරගැනීමට ඉවහල් විය යුතු බව මෝසෙස් ඔවුන්ට පැවසීය. එම භය ඔවුන්ගේ සර්වබලධාරී, එකම සැබෑ දෙවි යෙහෝවාට කීකරු වන්න පෙලඹීමක් විය යුතුව තිබිණ.—නික්මයාම 19:16-19; 20:18-20.

12, 13. එලියා තම පැවරුමෙන් ඉවත් වීමට හේතු වූයේ කුමක්ද? එනමුත් යෙහෝවා ඔහුව ශක්තිමත් කළේ කෙසේද?

12 සියවස් ගණනාවකට පසුව එලියාගේ කාලයේදී, දෙවිගේ බලයෙහි තවත් විදහාපෑමක් සීනයි කන්දෙහි දක්නට ලැබිණ. එලියා ඒ වන විටත් දෙවිගේ බලය ක්‍රියාත්මක වන ආකාරය දැක තිබිණ. ඉශ්‍රායෙල් ජාතිය ඇදහිල්ල අත්හළ නිසා, වසර තුනහමාරක කාලයකට දෙවි ‘අහස වැසීය.’ (2 ලේකම් 7:13) එමනිසා හටගත් නියඟය හේතුවෙන්, කෙරිත් නම් ඔය ළඟ සිටි එලියාට කෑම ගෙනැවිත් දුන්නේ කපුටන්ය. පසුව ඔහුගේ ආහාර අවශ්‍යතාව පිරිමැසීම සඳහා වැන්දඹුවකට තිබුණු පිටි සහ තෙල් ස්වල්පය යොදාගනු ලැබූ අතර, එය ආශ්චර්යවත් ලෙස ක්ෂය නොවීය. එම වැන්දඹුවගේ පුත්‍රයාව මළවුන්ගෙන් නැඟිටුවන්න පවා යෙහෝවා එලියාට බලය දුන්නේය. අවසාන වශයෙන්, කර්මෙල් කන්දේදී යෙහෝවාගේ දේවත්වය ඔප්පු කිරීමට විස්මයජනක පරීක්ෂණයක් සිදු විය. අහසින් බැස ආ ගින්දරෙන් එලියාගේ පූජාව කිසිවක් ඉතුරු නොවී සම්පූර්ණයෙන්ම දැවී ගියේය. (1 රාජාවලිය 17:4-24; 18:36-40) කෙසේවෙතත්, ඉන් වැඩි කලක් යන්න මත්තෙන්, යෙසෙබෙල්ගේ මරණ තර්ජන හමුවේ, එලියා බිය වී අධෛර්යයට පත් විය. (1 රාජාවලිය 19:1-4) අනාගතවක්තෘ කෙනෙකු හැටියට තම කාර්යය අවසන් වී ඇතැයි සිතමින් ඔහු එම රටින් පලා ගියේය. කෙසේවෙතත්, ඔහුගේ බිය සැක දුරු කිරීමටත්, ඔහුව ශක්තිමත් කිරීමටත් යෙහෝවා ඔහු වෙනුවෙන් තම බලය කාරුණික ආකාරයකින් විදහාපෑවේය.

13 ගුහාවක සැඟවී සිටි එලියා යෙහෝවා තම බලය විස්මයජනක ලෙස තුන් ආකාරයකින් විදහාපෙන්වනවා දුටුවේය. ඔහු බලවත් වූ සුළඟක්, පොළෝකම්පාවක් සහ ගින්නක් දිටීය. එනමුත්, යෙහෝවා එලියාට කතා කළේ, “සියුම් නිශ්චලතාවේ හඬක්” යොදාගෙනය. ඒ අවස්ථාවේදී යෙහෝවා ඔහුට තවත් පැවරුමක් ලබා දුන්නේය. තවද දේශයේ යෙහෝවාට විශ්වාසවන්ත වූ නමස්කාරකයන් තවත් 7,000දෙනෙකු ඇති බවද ඔහුට දන්වන ලදි. (1 රාජාවලිය 19:9-18) අපගේ සේවයේ ප්‍රතිඵල නොමැති නිසා, එලියා මෙන් අප අධෛර්යයට පත් වී ඇත්නම්, “සාමාන්‍ය ඉක්මවූ බලය” ඉල්ලා යෙහෝවාට කන්නලව් කරන්න අපට හැකිය. අත්නෑර ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපව ශක්තිමත් කිරීමට එම බලයට හැකිය.—2 කොරින්ති 4:7NW.

යෙහෝවාගේ බලය—ඔහුගේ පොරොන්දු ඉටු කරන බවට සහතිකයකි

14. යෙහෝවාගේ පෞද්ගලික නාමයෙන් අපට තේරුම්ගත හැක්කේ කුමක්ද? ඔහුගේ නාමයට ඔහුගේ බලය සම්බන්ධ වන්නේ කෙලෙසද?

14 යෙහෝවාගේ බලය ඔහුගේ නාමය සහ ඔහුගේ කැමැත්ත ඉටු කිරීම සමඟ බැඳී පවතී. යෙහෝවා යන නාමය අද්විතීයය. ඉන් අදහස් කරන්නේ ඔහු අරමුණු ඉටුකරන්නෙකු බවට පත් වන බවය. දෙවිගේ අරමුණුවලට බාධා කිරීමට කිසි දෙයකට හෝ කිසි කෙනෙකුට බැරිය. ඇත්තෙන්ම ඔහුගේ අරමුණුවල ඉටුවීම ගැන සැක පහළ කරන අයට තම හිතුවක්කාර ප්‍රකාශයන් ඉල්ලා අස් කරගැනීමට සිදු වේ. යේසුස් තම ප්‍රේරිතයන්ට පැවසුවාක් මෙන්, ‘දෙවිට සියල්ලම පුළුවන.’—මතෙව් 19:26.

15. යෙහෝවාට කරන්න බැරි දෙයක් නැති බව ආබ්‍රහම්ට සහ සාරාට සිහිගැන්වූයේ කෙසේද?

15 අපි මෙය දැන් නිදර්ශනය කරමු. යෙහෝවා ආබ්‍රහම් සහ සාරාට පොරොන්දු වූයේ ඔවුන්ගේ පැවතෙන්නන්ගෙන් මහත් ජාතියක් බිහි කරන බවය. එනමුත් වසර ගණනාවක් පුරා සාරා වඳව සිටියාය. තවද ඒ පොරොන්දුව ඉටුවීමට අවස්ථාව එළඹී ඇතැයි යෙහෝවා පැවසූ විට, ඔවුහු වයෝවෘද්ධව සිටියහ. ඒ අවස්ථාවේදී සාරා සිනාසීය. එනමුත් දේවදූතයාගේ පිළිතුර වූයේ, ‘යෙහෝවාට බැරි දෙයක් ඇද්ද’ යන්නයි. (උත්පත්ති 12:1-3; 17:4-8; 18:10-14) ඉන් සියවස් සතරකට පසු, මෝවබ් මිටියාවතෙහි එක්රැස්ව සිටි විශාල ජාතියක් වූ ආබ්‍රහම්ගේ පැවතෙන්නන්හට දෙවි තම පොරොන්දුව ඉටු කර තිබූ බව මෝසෙස් සිහිගැන්වීය. මෝසෙස් පැවසුවේ මෙසේය. ‘යෙහෝවා නුඹේ පියවරුන්ට ප්‍රේම කළ බැවින් ඔවුන්ට පසුව ඔවුන්ගේ වංශය තෝරාගෙන, නුඹට වඩා මහත් වූ බලවත් වූ ජාතීන් නුඹ ඉදිරිපිට පන්නා දමා නුඹ ඇතුළට පමුණුවා, අද දවසේ තිබෙන්නාක් මෙන් ඔවුන්ගේ දේශය නුඹට උරුමයක් කොට දෙන පිණිස තමාම ප්‍රකාශ වී, ස්වකීය මහත් බලය කරණකොටගෙන නුඹ මිසරයෙන් පිටතට ගෙනාවේය.’—ද්විතීය කථාව 4:37, 38.

16. නැවත-නැඟිටීමක් නැතැයි කීමේ වරදට සද්දුසිවරුන් හසු වුණේ මන්ද?

16 ඉන් සියවස් ගණනාවකට පසුව, නැවත-නැඟිටීම අවිශ්වාස කළ සද්දුසිවරුන්ට යේසුස්ගෙන් තරවටුවක් ලැබිණ. දෙවි මළවුන්ව නැවත-නැඟිටුවන බවට වූ පොරොන්දුව ඔවුන් අවිශ්වාස කළේ මන්ද? ‘ඔවුන් ශුද්ධ ලියවිලිවත් දෙවිගේ බලයවත් නොදන්නා’ බව යේසුස් ඔවුන්ට පැහැදිලි කළේය. (මතෙව් 22:29) ‘සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට මනුෂ්‍ය පුත්‍රයාගේ හඬ ඇසී පිටත්ව එන’ බව ශුද්ධ ලියවිලිවල අපට සහතිකවම පොරොන්දු වී තිබේ. (යොහන් 5:27-29) නැවත-නැඟිටීම ගැන බයිබලයෙහි කියන දේ අප දන්නවා නම්, දෙවිගේ බලය කෙරෙහි අපට තිබෙන ඒකාන්ත විශ්වාසය තවත් තහවුරු වේ. ප්‍රතිඵලයක් වශයෙන් මළවුන් නැවත-නැඟිටුවනු ලබන බවට වූ පොරොන්දුව අපට තව තවත් ස්ථිර වනු ඇත. බයිබල් පොරොන්දුවට අනුව දෙවි ‘මරණය සදාකාලයටම ගිල දමයි. . . . ඒක කියන්නේ යෙහෝවාය.’—යෙසායා 25:8.

17. යෙහෝවා කෙරෙහි විශ්වාසය විශේෂ ආකාරයකින් අවශ්‍ය වන්නේ කුමන අනාගත දවසේදීද?

17 නුදුරු අනාගතයේදී, ගැළවීමට දෙවි සතු බලය කෙරෙහි අප සැමටම විශේෂයෙන් විශ්වාස කිරීමට සිදු වන අවස්ථාවක් එළඹෙයි. බැලූ බැල්මට පිළිසරණක් නැතැයි පෙනෙන දෙවිගේ සෙනඟ පිට ප්‍රහාරයක් දියත් කිරීමට සාතන් නමැති යක්ෂයා ක්‍රියාත්මක වේ. (එසකියෙල් 38:14-16) ඒ අවස්ථාවේදී, දෙවි අප වෙනුවෙන් තම මහත් වූ බලය විදහාපෙන්වයි. ඔව්, ඔහු යෙහෝවා බව සියලුදෙනාටම දැනගැනීමට සිදු වේ. (එසකියෙල් 38:21-23) එම තීරණාත්මක අවදියේදී නොසැලී සිටීමට නම්, සර්වබලධාරි දෙවි කෙරෙහි අපගේ ඇදහිල්ල සහ විශ්වාසය දැන් ගොඩනැංවිය යුතුය.

18. (අ) යෙහෝවාගේ බලය ගැන මෙනෙහි කිරීමෙන් අපට නෙළාගත හැකි ප්‍රයෝජන මොනවාද? (ආ) ඊළඟ ලිපියෙහි සලකා බලන්නේ කුමන ප්‍රශ්නයද?

18 යෙහෝවාගේ බලය ගැන මෙනෙහි කිරීමට හේතු බොහොමයක් ඇති බවට කිසිදු සැකයක් නැත. අපගේ උදාර මැවුම්කරුගේ ක්‍රියාවන් මෙනෙහි කරද්දී, ඔහුට අපගේ ප්‍රශංසා පිරිනමන්න අපි නිහතමානීව පෙලඹෙන්නෙමු. ඔහු තම බලය ඉතා ප්‍රඥාවන්ත හා ප්‍රේමනීය ආකාරයකින් විදහාපෑම ගැන ස්තුතිවන්ත වන්නත් අපි පෙලඹෙන්නෙමු. ඔව්, සේනාවල යෙහෝවා කෙරෙහි අප විශ්වාස කරනවා නම්, අප නොසැලී සිටිනවා නිසැකය. ඔහුගේ පොරොන්දු කෙරෙහි අපගේ විශ්වාසය බිඳහෙළිය නොහැකිය. කෙසේවෙතත්, අපව දෙවිගේ ස්වරූපයෙන් මවා ඇති බව මතක තබාගත යුතුය. එමනිසා, අප සැමටත් යම් ආකාරයකින් බලය තිබේ. අප සතු බලය පෑමේදී අපගේ මැවුම්කරුව අනුකරණය කළ හැක්කේ කෙසේද? මෙම විෂය මීළඟ ලිපියෙහි සලකා බැලේ.

[පාදසටහන්වල]

a විදුලි බලාගාරවලට ප්‍රධාන වශයෙන් ශක්තිය සපයන ඛනිජ තෙල් සහ ගල් අඟුරු වැනි භූගත ඉන්ධන සංචිතවල ශක්තිය සූර්යයාගෙන් ලැබී ඇති බව පොදුවේ පිළිගැනේ.

b මෙතෙක් පරීක්ෂණ පවත්වා ඇති ප්‍රබලතම න්‍යෂ්ටික බෝම්බයේ පිපුරුම් ශක්තිය TNT මෙගාටොන් 57ක් පමණි.

c බයිබලයෙහි සඳහන් වල් ගොනා යන වචනයෙන් උරුසයා නම් ගව විශේෂයට යොමු දක්වනවා විය හැක (ලතින් උරුස්). වසර දෙදහසකට පමණ පෙර මෙම සත්වයා ගෝල් රටේ (දැන් ප්‍රංශයේ) දක්නට ලැබිණ. ජූලියස් සීසර් උන් ගැන මතු දැක්වෙන විස්තරය ලීවේය. “උරි නම් මෙම සත්ව විශේෂය ඇතෙකු තරම් විශාලය. එනමුත්, ගතිලක්ෂණ, වර්ණය සහ හැඩය ගත් කල උන් ගවයන්ට සමානය. උන්ට පුදුම ශක්තියක් ඇත. ගමනේ වේගයද පුදුම දනවන්නකි. මනුෂ්‍යයෙකු හෝ සතෙකු උගේ නෙතට හසු වූවොත්, ගැළවීමක් නම් නැත.”

ඔබට පිළිතුරු දිය හැකිද?

• මැවීම යෙහෝවාගේ බලයට සාක්ෂියක් වන්නේ කෙසේද?

• තම සෙනඟට සරණක් සැපයීම සඳහා යෙහෝවාට යොදාගත හැක්කේ කවර සේනාවන්ද?

• යෙහෝවා තම බලය පෑ අවස්ථා සමහරක් මොනවාද?

• යෙහෝවා තම පොරොන්දු සියල්ල ඉටු කරන බවට ඇත්තේ කුමන සහතිකයද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

‘නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැව්වේ කවුද?’

[හිමිකම් විස්තර]

Photo by Malin, © IAC/​RGO 1991

[13වන පිටුවේ පින්තූර]

යෙහෝවා බලය පෑ අවස්ථා ගැන මෙනෙහි කිරීම ඔහුගේ පොරොන්දු කෙරෙහි අපගේ ඇදහිල්ල වඩවයි