Skip to content

පටුනට යන්න

අපට පිහිට වීමට යේසුස් ක්‍රිස්තුස්ට හැකි අයුරු

අපට පිහිට වීමට යේසුස් ක්‍රිස්තුස්ට හැකි අයුරු

අපට පිහිට වීමට යේසුස් ක්‍රිස්තුස්ට හැකි අයුරු

මිහිපිට සිටියදී ජනයාට පිහිට වීමට යේසුස් ක්‍රිස්තුස් පුදුම දේවල් කළා. මෙය කෙතරම් සැබෑද යත්, ඒවා ඇසින් දුටු තැනැත්තෙක් යේසුස්ගේ ජීවිතයේ සිද්ධීන් ගණනාවක් යළි සිහියට නඟමින් මෙසේ පැවසුවා: “[යේසුස්] කළ වෙනත් බොහෝ දේවල්ද ඇත්තේය, ඒවා එකින් එක ලියනලද්දේ නම්, ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදියයි සිතමි.” (යොහන් 21:25) යේසුස් මිහිපිට සිටියදී බොහෝ දේ කළ බැවින්, අපට මෙසේ ඇසිය හැකියි: ‘ස්වර්ගයේ සිටිද්දී ඔහු අපට පිහිට වෙන්නේ කොහොමද? යේසුස්ගේ මුදු මොළොක් දයාවෙන් දැන් අපට ප්‍රයෝජන ලැබිය හැකිද?’

පිළිතුර හද උණුසුම් කරවන මෙන්ම විශ්වාසය ගොඩනංවන එකකි. ක්‍රිස්තුස් “අප උදෙසා [දෙවිගේ] අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම” ඇතුල් වූ බව බයිබලයේ අපට පවසනවා. (හෙබ්‍රෙව් 9:24) අප වෙනුවෙන් ඔහු කළේ කුමක්ද? ප්‍රේරිත පාවුල් පැහැදිලි කරන්නේ, “[ක්‍රිස්තුස්] එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට [“ස්වර්ගයටම”] ඇතුල්වූ” බවයි.—හෙබ්‍රෙව් 9:12; 1 යොහන් 2:2.

ඒක මොනතරම් කදිම ශුභ ආරංචියක්ද! යේසුස් ස්වර්ගයට යෑමෙන් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් ඔහුගේ අසිරිමත් වැඩය නිම වුණා නොව, නමුත් ඊට වඩා වැඩි යමක් කිරීමට ඔහුට හැකියාව ලැබුණා. එසේ වුණේ, දෙවි තමන්ගේ අපරිමිත කරුණාවෙන් යේසුස්ව ‘ස්වර්ගවල මහෝත්තමයාගේ සිංහාසනයේ දකුණු පැත්තේ සිටින මණ්ඩපයේ [පොදු ජන, NW] සේවකයෙක්’ එනම් උත්තම පූජකයෙක් ලෙස පත් කළ නිසයි.—හෙබ්‍රෙව් 8:1, 2.

“පොදු ජන සේවකයෙක්”

එසේනම්, ස්වර්ගයේ සිටියත් යේසුස් පොදු ජන සේවකයෙකි. පුරාණ කාලවලදී දෙවිගේ නමස්කාරකයන් වෙනුවෙන් ඉශ්‍රායෙල්හි උත්තම පූජකයා විසින් කළ ආකාරයේ වැඩක් ඔහුත් කරන්න යනවා. එම වැඩය කුමක් වුණාද? “සියලු උත්තම පූජකයෝ පඬුරු සහ පූජා ඔප්පු කරන පිණිස පත්කරනු ලබති. එසේ හෙයින් පූජාකිරීමට මේ උත්තම පූජකයාටත් [ස්වර්ගයෙහි සිටි යේසුස් ක්‍රිස්තුස්ටත්] යමක් තිබෙන්ට ඕනෑය” කියා පාවුල් පැහැදිලි කරයි.—හෙබ්‍රෙව් 8:3.

පුරාණ උත්තම පූජකයා ඉදිරිපත් කළ දේට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨ යමක් යේසුස් ඉදිරිපත් කළා. “එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්” පුරාණ ඉශ්‍රායෙල්ට යම් දුරකට ආත්මික පවිත්‍රත්වයක් ගෙනෙන්න හැකි වුණා “නම්, . . . [ක්‍රිස්තුස්ගේ] ලෙයින් ජීවමාන [දෙවිට] සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ [අපගේ, NW] හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?”—හෙබ්‍රෙව් 9:13, 14.

යේසුස්ට අමරණීයත්වය දානය කර තිබෙන නිසා ඔහුත් කැපීපෙනෙන පොදු ජන සේවකයෙකි. පුරාණ ඉශ්‍රායෙලයේ, “මරණය හේතුකොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංඛ්‍යාව, විශාල විය.” නමුත් යේසුස් ගැන කුමක් කිව හැකිද? ‘ඔහු සදාකාලේටම පවතින හෙයින්, ඔහුගේ පූජකකම පහ වෙන්නේ නැත. එබැවින්, ඔහු කරණකොටගෙන දෙවි වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම් කරන පිණිස ඔහු නිරතුරුම ජීවත් වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට ඔහුට පුළුවන.’ (හෙබ්‍රෙව් 7:23, න. අ., 24, 25; රෝම 6:9) ඔව්, ස්වර්ගයෙහි දෙවිගේ දකුණු පැත්තේ ‘අප උදෙසා මැදහත්කම් කරන’ පොදු ජන සේවකයෙක් අප වෙනුවෙන් ‘නිරතුරුම ජීවත් වෙනවා.’ එයින් දැන් අපට අදහස් කරන්නේ කුමක්ද කියා නිකම් සිතා බලන්න!

යේසුස් මිහිපිට සිටියදී ජනයා පිහිට පතා ඔහු වටා රොක් වුණා. ඔහුගේ පිහිට ලැබීමට ඔවුන් සමහරවිට දුරකතර ගෙවාගෙනයි පැමිණියේ. (මතෙව් 4:24, 25) ස්වර්ගයේ සිටින යේසුස් වෙත ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම යා හැකියි. ස්වර්ගයේ සිට සෑම දෙයක්ම දකින ඔහු, පොදු ජන සේවකයෙක් වශයෙන් සැමවිටම පෙනී සිටිනවා.

යේසුස් මොන වගේ උත්තම පූජකයෙක්ද?

යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව සුවිශේෂවල සඳහන් විස්තරය තුළ, ඔහු පිහිට වූ ආකාරය මෙන්ම මුදුමොළොක් දයාව දැක්වූ ආකාරය පිළිබඳව නිසැකකමක් ලබා දෙනවා. ඔහු මොනතරම් ආත්ම පරිත්‍යාගී කෙනෙක්ද! ඔහුට හා ඔහුගේ ගෝලයන්ට විවේකයක් ගැනීමට අතිශයෙන්ම අවශ්‍යව තිබුණත්, බොහෝ අවස්ථාවලදී ඔහුගේ නිදහසට බාධා පැමිණුණා. නිස්කලංකව ඉන්න ලැබුණු වටිනා අවස්ථාවල් පැහැරගන්නවායයි සිතනවා වෙනුවට, ඔහුගේ පිහිට පතා පැමිණි ජනයාට ‘ඔහු අනුකම්පා කළා.’ යේසුස් වෙහෙසව, කුසගින්නෙන් හා පිපාසව සිටි අවස්ථාවලදී පවා, ‘ඔහු [කරුණාවන්තව, NW] ඔවුන්ව පිළිගත්’ අතර, අවංකව පසුතැවුණු පව්කාරයන්ට පිහිට වීමට ඔහුට හැකියාව තිබූ අවස්ථාවලදී කෑම ගැනීම පවා පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටියා.—මාර්ක් 6:31-34; ලූක් 9:11-17; යොහන් 4:4-6, 31-34.

අනුකම්පාවෙන් පෙලඹුණු යේසුස් ජනයාගේ ශාරීරික, චිත්තවේගීය හා ආත්මික අවශ්‍යතා සැපිරීමට ප්‍රායෝගික පියවර ගත්තා. (මතෙව් 9:35-38; මාර්ක් 6:35-44) එපමණක්ද නොව, ඔවුන්ට නිදහස හා සැනසීම සදහටම ලබාගන්නත් ඔහු ඉගැන්නුවා. (යොහන් 4:7-30, 39-42) නිදසුනක් ලෙස “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය” යන ඔහුගේ පෞද්ගලික ආරාධනාව මොනතරම් සිත්ගන්නා එකක්ද!—මතෙව් 11:28, 29.

ජනයා සඳහා යේසුස්ගේ ප්‍රේමය කෙතරම්ද කිවහොත් පාපතර මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් ඔහු සිය ජීවිතය පවා දුන්නා. (රෝම 5:6-8) මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ හේතු දැක්වුවා: ‘[යෙහෝවා දෙවි] තමන්ගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා [ඔහුව] පාවා’ දීමට කැමති වූවා නම්, “පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද” යන්න තර්කානුකූල නොවන්නේද? ‘මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැඟුටුවනු ලැබුවෙත්, දෙවිගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්ය’ යන්න පැහැදිලියි.—රෝම 8:32, 34.

දයාව දැක්විය හැකි උත්තම පූජකයෙක්

මනුෂ්‍යයෙකු වශයෙන් සිටියදී යේසුස් කුසගින්න, පිපාසය, වෙහෙස, සන්තාපය, වේදනාව හා මරණය අද්දැක්කා. වේදනා විඳින මනුෂ්‍යවර්ගයා සඳහා උත්තම පූජකයෙකු වශයෙන් සේවය කිරීමට, ඔහු අද්දැක්ක වෙහෙස හා පීඩාවන් ඔහුව අද්විතීය ආකාරයකින් සන්නද්ධ කළා. පාවුල් මෙසේ ලිව්වා: ‘සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පු කිරීමට දෙවි පිළිබඳ කාරණා ගැන දයාවන්ත වූ විශ්වාස වූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමාන වෙන්ට යේසුස්ට යුතු වූයේය. මක්නිසාද ඔහුම පරීක්ෂා කරනු ලැබ දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිට වෙන්ට ඔහුට පුළුවන.’—හෙබ්‍රෙව් 2:17, 18; 13:8.

ජනයාට දෙවි වෙත ළඟාවීම සඳහා පිහිට වීමට තමාට සුදුසුකම් තිබෙන බවත්, ඒ සඳහා තමා කැමැත්තෙන් සිටින බවත් යේසුස් පෙන්නුම් කළා. කෙසේවුවත්, සමාව දීමට අකමැත්තක් දක්වන දැඩි, අකාරුණික දෙවි කෙනෙකුට කරුණු ඒත්තුගන්වන්න සිදු වන බවක් මින් අදහස් වෙනවාද? ඇත්තෙන්ම නැහැ. මන්ද ‘යෙහෝවා යහපත්ය, කමා වෙන්ට සූදානම්ව සිටින්නේය’ කියා බයිබලයේ අපට සහතිකයක් දෙන නිසායි. “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් [ඔහු] විශ්වාසව ධර්මිෂ්ඨව [සිටින්නේය]” කියාත් එහි පවසනවා. (ගීතාවලිය 86:5; 1 යොහන් 1:9) ඇත්තෙන්ම, යේසුස්ගේ මෘදු මොළොක් වචන හා ක්‍රියාවලින් ඔහුගේ පියාගේ දයානුකම්පාව, දයාව හා ප්‍රේමය පිළිබිඹු වෙනවා.—යොහන් 5:19; 8:28; 14:9, 10.

පසුතැවිලි වන පව්කාරයන්ට යේසුස් සහනය සලසන්නේ කෙසේද? ඔවුන් දෙවිව සතුටු කරන්න අවංකවම වෑයම් කරද්දී ඔවුන්ට ප්‍රීතිය හා සෑහීම ගෙන දීම මගිනි. ආලේප ලත් සෙසු ක්‍රිස්තියානීන්ට ලියන විට පාවුල් එම කාරණය සංක්ෂිප්ත කොට දැක්වූයේ මෙසේයි: “එබැවින් අහස පසුකරගියාවූ [දෙවිගේ] පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු. මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට [නියම වෙලාවට අපගේ පිහිටට, NW] අනුග්‍රහය සම්බවන [ලබන්ට නොවටිනා කරුණාව ලැබෙන, NW] පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.”—හෙබ්‍රෙව් 4:14-16.

‘නියම වෙලාවට පිහිට’

එහෙත්, දරුණු අසනීපයක්, වරදකාරි හැඟීමෙන් යටපත් වීම, අන්තයටම කලකිරීම හා මානසිකව බිඳ වැටීම වැනි ගැටලුවලට මුහුණ දෙද්දී කිසිවක් කර කියාගත නොහැකි වූ විට කුමක් කළ හැකිද? යේසුස් තමාට ලැබී තිබුණු අනර්ඝ වරප්‍රසාදයක් වන යාච්ඤාවෙහි නොකඩවාම නියැලී සිටියා වාගේම අපටත් යාච්ඤාවෙහි නියැලිය හැකියි. උදාහරණයක් වශයෙන්, අප වෙනුවෙන් සිය ජීවිතය පුද කිරීමට පෙර රාත්‍රියෙහි ‘ඔහු වඩා ඕනෑකමින් යාච්ඤා කළේය. ඔහුගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.’ (ලූක් 22:44) ඇත්තෙන්ම, බලවත් ඕනෑකමකින් දෙවිට යාච්ඤා කරද්දී ඇති වෙන හැඟීම මොකක්ද කියා යේසුස් දන්නවා. ඔහු ‘තමන්ව මරණයෙන් ගළවන්ට පුළුවන් වූ තැනැත්තාට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පු කර තමන්ගේ දේවභය නිසා උත්තර ලැබුවා.’—හෙබ්‍රෙව් 5:7.

‘උත්තර ලැබීම’ හා ශක්තිමත් වීම මනුෂ්‍යයන්ට මොනතරම් අවශ්‍යද කියා යේසුස් දන්නවා. (ලූක් 22:43) එපමණක්ද නොව, ‘පියාගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, ඔහු මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙන්නේය. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය’ කියා ඔහු පොරොන්දු වුණා. (යොහන් 16:23, 24) මේ නිසා, අප වෙනුවෙන් තම අධිකාරිත්වය හා තම මිදීමේ මිල පූජාවේ වටිනාකම ක්‍රියාත්මක කිරීමට තම පුත්‍රයාට ඉඩ දෙන්න කියා නිසැකකමින් යුතුව දෙවිගෙන් ඉල්ලන්න අපිට හැකියි.—මතෙව් 28:18.

තම ස්වර්ගික අධිකාරිත්වය දරන අතරතුරේදීම අපට ඕනෑ කරන වෙලාවේදී නිසි පිහිට සැපයීම සඳහා යේසුස්ට හැකි බවට ස්ථිරත්වයක් තබාගත හැකියි. උදාහරණයක් වශයෙන්, අපි පාපයක් කර ඒ ගැන අවංකවම පසුතැවිලි වී ඇත්නම් ‘ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස් වන මැදහත්කාරයෙක් පියා වෙත අපට සිටී’ යන සහතිකයෙන් අපට සහනයක් ලබාගත හැකියි. (1 යොහන් 2:1, 2) ස්වර්ගයේ සිටින අපේ පිහිටවන්නා හා සැනසිලිදායකයා අප වෙනුවෙන් අයදියි. එවිට ඔහුගේ නාමයෙන් හා ශුද්ධ ලියවිලිවලට එකඟව කරන අපේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙයි.—යොහන් 14:13, 14; 1 යොහන් 5:14, 15.

ක්‍රිස්තුස්ගේ පිහිට වීමට අගය දැක්වීම

තම පුත්‍රයා තුළින් දෙවිගෙන් අයදිනවාට වඩා දෙයක් අවශ්‍යයි. තම මිදීමේ මිල පූජාවේ වටිනාකමෙන්, ක්‍රිස්තුස් මනුෂ්‍ය ජාතිය ‘මිලේට ගත් ස්වාමියා’ බවට පත් වුණා. (ගලාති 3:13; 4:5; 2 පේතෘස් 2:1) ඔහු අපව හිමි කරගෙන තිබෙන බව පිළිගැනීමෙන් හා “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා, දිනපතා සිය කුරුසිය [වධ කණුව, NW] දරාගෙන, මා අනුව ආවා වේ” යන ඔහුගේ ආරාධනයට සතුටෙන් ප්‍රතිචාරය දැක්වීමෙන්, ක්‍රිස්තුස් අප වෙනුවෙන් කර තිබෙන සියල්ලට අපේ කෘතඥතාව දැක්වීමට අපට හැකියි. (ලූක් 9:23, න. අ.) ‘තමකම නැසීම’ යන්නෙන් අදහස් කරන්නේ හිමිකාරත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිකම්ම කටින් කීමක් නොවෙයි. මන්ද, ක්‍රිස්තුස් “සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ [තැනැත්තා] උදෙසා ජීවත්වන පිණිසය.” (2 කොරින්ති 5:14, 15) එබැවින්, මිදීමේ මිලය සඳහා අගය දැක්වීමෙන් අපේ බලාපොරොත්තුව, ඉලක්ක හා ජීවන රටාව මත සෑහෙන බලපෑමක් ඇති වෙනවා. ‘අප උදෙසා තමන්වම දුන් යේසුස් ක්‍රිස්තුස්ට’ ඇති අපේ සදා ණයගැතිභාවය, ඔහු ගැනත්, ඔහුගේ ප්‍රේමනීය පියා වන යෙහෝවා දෙවි ගැනත් වැඩියෙන් ඉගෙනගැනීමට අප තුළ පෙලඹීමක් ඇති කළ යුතුයි. දෙවිගේ ප්‍රයෝජනවත් ප්‍රමිති අනුව ජීවත් වීමට හා ‘යහපත් ක්‍රියා ගැන ජ්වලිතව’ සිටීම සඳහා ඇදහිල්ලෙන් වර්ධනය වීමට අපට වුවමනායි.—තීතස් 2:13, 14; යොහන් 17:3.

අපට කාලෝචිත ආත්මික ආහාර, දිරිගැන්වීම හා මඟ පෙන්වීම ලැබෙන මාධ්‍යය ක්‍රිස්තියානි සභාවයි. (මතෙව් 24:45-47; හෙබ්‍රෙව් 10:21-25) උදාහරණයක් වශයෙන්, යමෙකු ආත්මිකව රෝගාතුරව සිටී නම් ඔහු ‘සභාවේ වැඩිමහල්ලන්ට [වැඩිමහල්ලන් ලෙස පත් කර සිටින්නන්ට] හඬගසාවා.’ තවදුරටත් යාකොබ් මෙසේ සහතික කරයි: ‘එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ, යෙහෝවා ඔහු නැඟුටුවනවා ඇත. ඔහු පාපයන් කර තිබේ නම්, ඒවා ඔහුට කමා කරනු ලැබේ.’—යාකොබ් 5:13-15.

නිදසුනක් මෙන්න: “දේවරාජ්‍යය සෙවීමට වෑයමක් දැරීම සඳහා ජනයාට පිහිට වෙමින්, යේසුස් ක්‍රිස්තුස් ඇරඹූ යහපත් වැඩය දිගටම කරමින් සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාවම” අගය කරමින් දකුණු අප්‍රිකාවේ සිරගත වී සිටින තැනැත්තෙක් සභා වැඩිමහල්ලෙකුට ලිපියක් යැව්වා. ඔහු එහි මෙසේත් සඳහන් කළා: “ඔබේ ලිපිය ලැබීම මට සතුටක්. මාව ආත්මිකව මුදවාගැනීමට ඔබ දක්වන සැලකිල්ල මගේ ජීවිතයේ වෙනසක් ඇති කළා. පසුතැවිලි වෙන්න කියා යෙහෝවා දෙවි කරන ඉල්ලීම පිළිපැදීමට පටන්ගන්න එයම හොඳ හේතුවක් වෙලා තියෙනවා. නීති විරෝධී දේවල්, දුරාචාර ක්‍රියා හා කපටි දේවල් කරමින් අවුරුදු 27ක් තිස්සේ මම ගත කළේ අඳුරු පව්කාර ජීවිතයක්. ඒ වගේම ඒ කාලයේදී මම හිටියේ බොරු ආගම්වලයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අඳුරගන්න ලැබුණට පස්සේ මට හිතෙනවා හරි මාර්ගයේ යන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා කියලා! මට කරන්න තියෙන්නේ දිගටම ඒ මාර්ගයේ යන එකයි.”

අනාගතයේදී තවත් උපකාර

‘මහත් පීඩාව’ පැමිණීමට ආසන්න දරුණු කාලපරිච්ඡේදයක අපි ජීවත් වන බවට පිරිහෙමින් පවතින ලෝක තත්වයන් පැහැදිලි සාක්ෂියකි. දැන් පවා, සියලු ජාතීන්ගෙන්, ගෝත්‍රවලින්, සෙනඟගෙන් හා භාෂාවන්ගෙන් මහත් සමූහයක් ‘තමුන්ගේ සළු බැටළු පැටවාගේ ලෙයින් සෝදා සුදු’ කරගනිමින් සිටිනවා. (එළිදරව් 7:9, 13, 14; 2 තිමෝති 3:1-5) යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල දැක්වීම මගින් ඔවුන් තම පව්වලට සමාව ලබන අතර, දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට පිහිටත් ලබමින් ඉන්නවා. ඇත්තවශයෙන්ම ඔවුන් ඔහුගේ මිත්‍රයන් බවට පත් වෙමින් සිටිනවා.—යාකොබ් 2:23.

බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස් ‘එඬේරා වී, [මහත් පීඩාවෙන් ගැළවෙන්නන්ව] ජීවන දිය උල්පත්වලට ගෙන යන්නේය. දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය.’ (එළිදරව් 7:17) එවිට ක්‍රිස්තුස් උත්තම පූජකයා වශයෙන් තම වගකීම් සම්පූර්ණ කරනු ඇත. ‘ජීවන දිය උල්පත්’ මගින් ආත්මිකව, ශාරීරිකව, මානසිකව හා චිත්තවේගීයව පූර්ණ ප්‍රයෝජන ගැනීමට ඔහු දෙවිගේ මිත්‍රයන් සියලුදෙනාටම පිහිට වනු ඇත. පොදු යුගයේ 33දී යේසුස් ඇරඹූ දේ හා ස්වර්ගයේදීත් දිගටම කරමින් සිටින දේ එවිට සම්පූර්ණත්වයකට පැමිණෙන්න යනවා.

එබැවින්, දෙවි හා ක්‍රිස්තුස් අප වෙනුවෙන් කර ඇති මෙන්ම කරමින් සිටින සියල්ලට නොකඩවාම ගැඹුරු අගයක් පෙන්නුම් කරන්න. ප්‍රේරිත පාවුල් මෙසේ උනන්දු කළා: ‘ස්වාමීන් තුළ නිතරම ප්‍රීති වෙන්න. . . . කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත.’—පිලිප්පි 4:4, 6, 7.

අපේ ස්වර්ගික පිහිටවන්නා වන යේසුස් ක්‍රිස්තුස් සඳහා අගය පෙන්වීමට සැලකිය යුතු මාර්ගයක් තිබෙනවා. වසර 2000 අප්‍රියෙල් 19වෙනි බදාදා හිරු බැස යෑමෙන් පසු ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්රැස් වෙනවා. (ලූක් 22:19) ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව සඳහා ඔබේ අගය වැඩි කරගැනීමට මෙය ප්‍රස්තාවක් වේවි. ක්‍රිස්තුස් මගින් ගැළවීම ලබා දීමට දෙවිගේ පුදුම දනවන විධිවිධානයක් පිහිටුවා තිබෙනවා. එයින් සදහටම ප්‍රයෝජන ලැබිය හැකි ආකාරය ගැන සවන් දීමට පැමිණෙන්න කියා ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු. මේ විශේෂ රැස්වීම පැවැත්වෙන වෙලාව හා ස්ථානය කරුණාකර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්න.

[7වන පිටුවේ පින්තූරය]

ඉතා ඕනෑකමින් දෙවිට යාච්ඤා කරද්දී ඇති වෙන හැඟීම යේසුස් දන්නවා

[8වන පිටුවේ පින්තූර]

අපට තනිවම විසඳාගත නොහැකි ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට ක්‍රිස්තුස් අපට පිහිට වනු ඇත

[9වන පිටුවේ පින්තූරය]

ප්‍රේමනීය වැඩිමහල්ලන් මගින් ක්‍රිස්තුස් අපට පිහිට වෙනවා