Skip to content

පටුනට යන්න

‘අහෝ දෙවියනි, ඔබේ ආලෝකය සපයන්න’

‘අහෝ දෙවියනි, ඔබේ ආලෝකය සපයන්න’

‘අහෝ දෙවියනි, ඔබේ ආලෝකය සපයන්න’

“ඔබේ ආලෝකය සහ සත්‍යය සපයන්න. මේවායින් මට මඟ පෙන්වීම ලැබේවා!”—ගීතාවලිය 43:3NW.

1. යෙහෝවා ඔහුගේ අරමුණු අනාවරණය කරන්නේ කෙසේද?

 යෙහෝවා ඔහුගේ සේවකයන්ට සිය අරමුණු දැනගන්න සැලැස්විය යුතු ආකාරය ගැන ඉතා සැලකිලිමත් වෙනවා. හරියට දෙනෙත් අන්ධ කරවන තද ආලෝක ධාරාවක් එකපාරටම එවන්නාක් මෙන් සියලුම සත්‍යයන් එක විට අනාවරණය කරනවා වෙනුවට, යෙහෝවා අපට ඥානාලෝකය සපයන්නේ ක්‍රමානුකූලවයි. අපි යන මේ ජීවිත ගමන, බඩු මල්ලක් කරත්තයක බැඳගෙන වන ලැහැබක පිහිටි පාළු මාවතක් ඔස්සේ ගමන් කරන මිනිසෙකුගේ ගමනට සමාන කළ හැකියි. ඔහු හිරු නැඟ එන්න මත්තෙන් ඔහුගේ ගමන අරඹයි. ඔහුට කිසිවක් පැහැදිලිව දැකගත නොහැකි තරම්ය. හිරු ටිකෙන් ටික ක්ෂිතිජයෙන් මතු වෙන්න පටන්ගන්න විට, තමා අවට තිබෙන සමහර දේවල් මේ මිනිසාට හඳුනාගත හැකියි. නමුත් අඳුර නිසා බොහෝ දේවල් තවමත් පැහැදිලිව නොපෙනෙයි. එහෙත් හිරු මුදුන් වෙද්දී ඔහුට දුර තිබෙන දේවලුත් දැකගත හැකියි. දෙවි සපයන ආත්මික ආලෝකයත් මේ හා සමානයි. ඔහු කලින් කලට අපිට දේවල් අවබෝධ කර දෙන්නේ දරාගත හැකි ප්‍රමාණයන්ගෙන් පමණයි. දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස් මේ හා සමාන අයුරින් ආත්මික ඥානාලෝකය සැපයෙව්වා. යෙහෝවා පුරාණයේ විසූ සිය සෙනඟට ඥානාලෝකය සැපයූ ආකාරයත්, එලෙසම ඔහු අදදින සිටින සිය සෙනඟට ඥානාලෝකය සපයන ආකාරයත් අපි දැන් සලකා බලමු.

2. යෙහෝවා පූර්ව ක්‍රිස්තියානි කාලවලදී ඥානාලෝකය සැපයෙව්වේ කෙසේද?

2 පෙනෙන විදිහට ගීතා 43වන ගීතිකාව රචනා කර තිබෙන්නේ කෝරාගේ පුතුන් විසිනුයි. ලෙවීවරුන් වන මොවුන්ට දෙවිගේ සෙනඟට ඔහුගේ ව්‍යවස්ථාව ඉගැන්වීමේ වරප්‍රසාදය හිමි වුණා. (මලාකී 2:7) කෙසේවෙතත්, ඔවුන්ගේ උදාර උපදේශකයා වූයේ යෙහෝවා බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් පරිපූර්ණ ප්‍රඥාවේ උල්පත හැටියට ඔහුගේ මඟ පෙන්වීම මත රඳා සිටියා. (යෙසායා 30:20NW) “අහෝ දෙවියනි, . . . ඔබේ ආලෝකය සහ සත්‍යය සපයන්න. මේවායින් මට මඟ පෙන්වීම ලැබේවා!” කියා ගීතිකාකරු යාච්ඤා කළා. (ගීතාවලිය 43:1, 3) ඉශ්‍රායෙල්වරුන් ඇදහිලිවන්තව යෙහෝවාට සේවය කළ තාක් කල් ඔහු ඔහුගේ මාර්ග ඔවුන්ට ඉගැන්නුවා. සියවස් ගණනාවකට පසු, යෙහෝවා ඔහුගේ පුතාව පොළොවට එවීමෙන් පෙර නොවූ විරූ ආකාරයෙන් ආලෝකය හා සත්‍යය සපයමින් ඔවුන්ට ආශීර්වාද කළා.

3. යේසුස්ගේ ඉගැන්වීම් මගින් යුදෙව්වන්ව පරීක්ෂණයකට ලක් වූයේ කිනම් ආකාරයෙන්ද?

3 දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස් මිනිසෙක්ව සිටි කාලයේදී ‘ලෝකයට ආලෝකයක්’ වුණා. (යොහන් 8:12) ඔහු “බොහෝ [අලුත්] කාරණා උපමාවලින්” සෙනඟට ඉගැන්වුවා. (මාර්ක් 4:2) “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ” කියා ඔහු පොන්තියුස් පිලාත්ට පැවසුවා. (යොහන් 18:36) මෙම අදහස රෝම ජාතිකයෙකුට අලුත් අදහසක් වුණා. මෙසියස් රෝම අධිරාජ්‍යය යටත් කරගෙන, ඉශ්‍රායෙලය කලින් පැවති කීර්තිමත් තත්වයට ගෙන එයි කියා සිතූ ජාතික හැඟීම්වලින් මත්ව සිටි යුදෙව්වන්ටද එම අදහස අලුත් එකක් වූ බවට සැකයක් නැහැ. යේසුස් යෙහෝවාගෙන් පැමිණි ආලෝකය විහිදුවාලමින් සිටියත්, යුදෙව් පාලකයන් ඔහුගේ වචනවලට සවන් දුන්නේ නැහැ. ඔවුන් “[දෙවිගෙන්] ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට [ප්‍රිය වුණා].” (යොහන් 12:42, 43) බොහෝදෙනෙක් දෙවිගෙන් පැමිණි ආත්මික ආලෝකය හා සත්‍යය පිළිගන්නවා වෙනුවට, මිනිසුන්ගේ සම්ප්‍රදායන්ට ඇලී සිටියා.—ගීතාවලිය 43:3; මතෙව් 13:15.

4. යේසුස්ගේ ගෝලයන් සත්‍යය අවබෝධ කරගැනීමෙහි දිගටම වර්ධනය වෙන්න යන බව අප දන්නේ කෙසේද?

4 කෙසේවෙතත්, අවංක හදවත් තිබූ පුරුෂයන් හා ස්ත්‍රීන් ටිකදෙනෙක් යේසුස් ඉගැන්වූ සත්‍යය මහත් ප්‍රීතියෙන් වැලඳගත්තා. ඔවුන් ක්‍රමානුකූලව දෙවිගේ අරමුණු තේරුම්ගත්තා. ඔවුන්ගේ ගුරුවරයාගේ භූමික ජීවිතය අවසානය කරා ළඟා වෙමින් පැවති කාලය වන විටත් ඔවුන්ට ඉගෙනගන්න හුඟාක් දේවල් තිබුණා. යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා: “නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය.” (යොහන් 16:12) ඔව්, ඔහුගේ ගෝලයන්ට දෙවිගේ සත්‍යය අවබෝධ කරගැනීමෙහි දිගටම වර්ධනය වීමට තිබුණා.

ආලෝකය දිගටම බැබළෙයි

5. පළමු සියවසෙහි පැනනැඟුණු ප්‍රශ්නය කුමක්ද? එය නිරාකරණය කිරීමේ වගකීම පැවරී තිබුණේ කා මතද?

5 යේසුස්ගේ මරණින් හා නැවත නැඟිටීමෙන් පසු, දෙවිගෙන් පැමිණි ආලෝකය ඊට පෙර පැවති කාලවලට වඩා වැඩියෙන් දීප්තිමත්ව බැබළුණා. අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන්ටද ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් විය හැකි බව යෙහෝවා පේතෘස්ට අනාවරණය කළා. (ක්‍රියා 10:9-17) එය කළේ දර්ශනයක් මගිනුයි! නමුත් එම අන්‍යජාතිකයන් ක්‍රිස්තියානීන් බවට පත්වීමෙන් පසු, ඔවුන්ව චර්මච්ඡේදනය කිරීම යෙහෝවා අපේක්ෂා කළාද යන ප්‍රශ්නය පැනනැඟුණා. මෙම ප්‍රශ්නයට දර්ශනයක් මාර්ගයෙන් උත්තරයක් ලැබුණේ නැහැ. මෙම කාරණය ක්‍රිස්තියානීන් අතර උණුසුම් වාද විවාදවලට මඟ පෑදූ විෂයක් වුණා. ඔවුන් අතර පැවති සමගියට මෙය තර්ජනයක් වූ නිසා, එය නිරාකරණය කළ යුතුව තිබුණා. එනිසා යෙරුසලමෙහි සිටි “ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ.”—ක්‍රියා 15:1, 2, 6.

6. ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් චර්මච්ඡේදනය හා සම්බන්ධ ප්‍රශ්නය සලකා බැලූ අවස්ථාවේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත කුමක්ද?

6 ඇදහිලිවන්ත අන්‍යජාතිකයන් සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත කුමක්ද කියා එම රැස්වීමට පැමිණ සිටි අයට තීරණය කිරීමට හැකි වූයේ කෙසේද? යෙහෝවා මෙම රැස්වීමේ මුලසුන හෙබවීමට ස්වර්ගයේ සිට දේවදූතයෙකු පිටත් කර එව්වේ නැහැ. එමෙන්ම ඔහු දර්ශනයක් මගින් ඔවුන්ට යම් උපකාරයක් සැපයුවේද නැහැ. එහෙත් ප්‍රේරිතයන් හා වැඩිමහල්ලන් කිසිම මඟ පෙන්වීමක් නොමැති තත්වයකට පත් වූයේ නැහැ. යෙහෝවා අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන්ට සිය ශුද්ධාත්මය ලබා දීමෙන් විවිධ ජාතීන්ට අයත් මිනිසුන් සමඟ කටයුතු කරන්න පටන්ගෙන තිබූ ආකාරය ගැන ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන් දුටු සාක්ෂි ඔවුන් සලකා බැලුවා. ඔවුන් මඟ පෙන්වීම සඳහා ශුද්ධ ලියවිලිද සොයා බැලුවා. මෙසේ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ශ්‍රාවක යාකොබ් මේ කාරණය ගැන ඥානාලෝකය සපයන ශුද්ධ ලියවිලි පාඨයක් පදනම් කරගනිමින් නිර්දේශයක් ඉදිරිපත් කළා. ඔවුන් සාක්ෂි සලකා බලද්දී දෙවිගේ කැමැත්ත කුමක්ද කියා පැහැදිලි වුණා. එය නම් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අන්‍යජාතීන් චර්මච්ඡේදනය වීම අවශ්‍ය නොවන බවයි. ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් තමන් ගත් තීරණය මගින් සෙසු ක්‍රිස්තියානීන්ටද මඟ පෙන්වීම ලබාගැනීමට හැකි වන පරිදි, විගස එම තීරණය ලිඛිතව ඔවුන්ට දැනුම් දුන්නා.—ක්‍රියා 15:12-29; 16:4.

7. පළමු සියවසෙහි ක්‍රිස්තියානීන් ක්‍රමානුකූලව වර්ධනය වූයේ කිනම් ආකාරයෙන්ද?

7 වෙනත් ජාතීන්වලට අයත් ජනයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ පිළිබඳ මෙම අපූර්ව අවබෝධය ලැබුණු විට, යුදෙව් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් සතුටු වුණා. මෙම අලුත් අවබෝධය පිළිගැනීම නිසා පොදුවේ අන්‍යජාතිකයන් සම්බන්ධයෙන් තමන් දැරූ ආකල්පයේ යම් වෙනසක් කිරීමට සිදු වන බව දැන සිටියත් ඔවුන් සතුටු වුණා. එහෙත් තම මුතුන්මිත්තන්ගේ සම්ප්‍රදායන්ට ඇලී සිටි යුදෙව් ආගමික නායකයන්ගෙන් එවන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. යෙහෝවා ක්‍රිස්තියානීන්ගේ නිහතමානි ස්ප්‍රීතුවට ආශීර්වාද කළ අතර, ‘සභාවන් ඇදහිල්ලෙහි ස්ථිරව, දවස්පතා ගණනින් වැඩි වුණා.’—ක්‍රියා 15:31; 16:5.

8. (අ) පළමු සියවසෙන් පසු ආලෝකය වඩ වඩා ලැබීම බලාපොරොත්තු විය හැකි බව අපි දන්නේ කෙසේද? (ආ) අපි සලකා බලන්න යන ප්‍රශ්න මොනවාද?

8 පළමු සියවස පුරාම ආත්මික ආලෝකය දිගටම බැබළුණා. නමුත් යෙහෝවා ඔහුගේ අරමුණු හා සම්බන්ධ සෑම දෙයක්ම මුල් ක්‍රිස්තියානීන්ට අනාවරණය කළේ නැහැ. ප්‍රේරිත පාවුල් පළමු සියවසේ සිටි ඔහුගේ සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ පැවසුවා: “දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය.” (1 කොරින්ති 13:12) එසේ දේවල් අඳුරු ලෙස පෙනුණු කැඩපතකින් වඩාත් පැහැදිලිව දේවල් දැකගැනීමට නොහැකි වුණා. එසේනම්, මුල් කාලයේදී ආත්මික ආලෝකය පිළිබඳව තිබුණේ සීමිත අවබෝධයක්. ප්‍රේරිතවරුන්ගේ අභාවයෙන් පසු, ආත්මික ආලෝකය ටික කලකට අඳුරු වී ගෙන ගියත්, මෑත කාලයේදී ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම බහුලව ලබාගත හැකි වී තිබෙනවා. (දානියෙල් 12:4) යෙහෝවා අද ඔහුගේ සෙනඟට ඥානාලෝකය සපයන්නේ කෙසේද? ඔහු ශුද්ධ ලියවිලි පිළිබඳ අපේ අවබෝධය පුළුල් කරන විට අපි ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

ආලෝකය ක්‍රමානුකූලව දීප්තිමත් වෙයි

9. මුල් කාලයේ සිටි බයිබල් ශිෂ්‍යයන් බයිබලය අධ්‍යයනය කිරීම සඳහා යොදාගත් ඵලදායී ක්‍රමය කුමක්ද?

9 නවීන කාලයේදී මඳ ආලෝකය මුලින්ම වැටෙන්න පටන්ගත්තේ ක්‍රිස්තියානි පුරුෂයන් හා ස්ත්‍රීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මහත් උනන්දුවෙන් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම ආරම්භ කළ දහනවවන සියවසේ අවසන් කාර්තුවේදීයි. ඔවුන් බයිබලය අධ්‍යයනය කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමයක් සකස් කර, එය දියුණු කළා. මෙහිදී යම් කෙනෙක් ප්‍රශ්නයක් නඟනවා. අනතුරුව කණ්ඩායමේ සිටින සෑම කෙනෙක්ම එම ප්‍රශ්නයට අදාළ සියලුම ශුද්ධ ලියවිලි පාඨ විග්‍රහ කර බලනවා. එක් බයිබල් වගන්තියක් තවත් වගන්තියක් සමඟ පරස්පර විරෝධි වන බව පෙනෙන්න තිබෙන අවස්ථාවලදී, මෙම විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් එම වගන්ති දෙකෙහි සඳහන් දෙය අතර එකඟතාවක් ඇති කිරීමට වෑයම් කළා. ඒ කාලයේ සිටි ආගමික නායකයන් මෙන් නොව, බයිබල් ශිෂ්‍යයන් (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඒ කාලයේ හැඳින්වූයේ මේ නමිනි) මඟ පෙන්වීම සඳහා සම්ප්‍රදායන් හෝ මිනිසුන්ගේ ඉගැන්වීම් මත රඳා නොසිටීමට අදිටන් කරගෙන සිටියා. ඔවුන් තිබෙන සියලුම ශුද්ධ ලියවිලිමය සාක්ෂි සලකා බැලීමෙන් පසු, තමන් එළඹි නිගමන ඇතුළත් වාර්තාවක් සකස් කළා. මේ ක්‍රමය මගින් මූලික බයිබල් ඉගැන්වීම් බොහොමයක් පිළිබඳව ඔවුන්ගේ අවබෝධය නිරවුල් වුණා.

10. චාල්ස් ටේස් රසල් ලියූ බයිබල් අධ්‍යයන ආධාරක පොත් පෙළ කුමක්ද?

10 චාල්ස් ටේස් රසල් එම බයිබල් ශිෂ්‍යයන් අතර කැපීපෙනෙන පුද්ගලයෙක් වුණා. ඔහු ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය (ඉංග්‍රීසියෙන්) නමැති මාතෘකාවෙන් යුත් කාණ්ඩ හයකින් සමන්විත බයිබල් අධ්‍යයන ආධාරක පොත් පෙළක් ලිව්වා. එසකියෙල් හා එළිදරව් නමැති බයිබල් පොත් ගැන පැහැදිලි කිරීම් ඇතුළත් හත්වන කාණ්ඩය ලිවීමට සහෝදර රසල් සිතාගෙන සිටියා. “මට තෝරල දෙන්න පුළුවන් වුණ දාට මම හත්වන කාණ්ඩය ලියනවා” කියා ඔහු පැවසුවා. කෙසේවෙතත් ඔහු තවදුරටත් මෙසේද පැවසුවා: “ස්වාමීන් තෝරා දීම වෙනත් කෙනෙකුට දුන්නොත්, ඒ කෙනා ඒක ලියයි.”

11. කාලය සහ දෙවිගේ අරමුණු තේරුම්ගැනීම අතර තිබෙන්නේ කිනම් සම්බන්ධතාවක්ද?

11 චාල්ස් ටේස් රසල් කළ එම ප්‍රකාශය මගින් ඇතැම් බයිබල් ඡේද අවබෝධ කරගැනීමට අප සතු හැකියාව හා සම්බන්ධ වැදගත් සාධකයක් පැහැදිලි වෙනවා. ඒ සාධකය කාලයයි. හිමිදිරි පාන්දරම ගමනක් යන්නෙකුට හිරු නැඟ එන නියමිත වේලාව තමන්ට ඕන විදිහට වෙනස් කිරීමට ක්‍රමයක් සොයාගත නොහැකි වන්නාක් මෙන්, තමන්ට ඕන වේලාවට එළිදරව් පොතට ආලෝකය හෙළන්න බැරි බව සහෝදර රසල් දැන සිටියා.

එළිදරව් කර තිබෙන්නේ දෙවිගේ නියමිත කාලයේදියි

12. (අ) බයිබල් අනාවැකි වඩාත් හොඳින් තේරුම්ගත හැක්කේ කුමන අවස්ථාවේදීද? (ආ) බයිබල් අනාවැකි තේරුම්ගැනීමේ අපේ හැකියාව රඳා පවතින්නේ දෙවිගේ කාලසටහන මත බව පැහැදිලි වන්නේ කිනම් උදාහරණයෙන්ද? (පාදසටහන බලන්න.)

12 ප්‍රේරිතවරුන් මෙසියස් හා සම්බන්ධ අනාවැකි බොහොමයක අර්ථය තේරුම්ගත්තේ යේසුස්ගේ මරණින් හා නැවත නැඟිටීමෙන් පසුවයි. ඒ හා සමානව, අද සිටින ක්‍රිස්තියානීන්ද බයිබල් අනාවැකි වඩාත් පැහැදිලිව අවබෝධ කරගන්නේ ඒවා ඉටුවීමෙන් පසුවයි. (ලූක් 24:15, 27; ක්‍රියා 1:15-21; 4:26, 27) එළිදරව්ව අනාවැකිවලින් පිරී තිබෙන පොතක්. එනිසා එම පොතේ තිබෙන දේවල් වඩාත් පැහැදිලිව තේරුම්ගැනීම, අපි අපේක්ෂා කළ යුත්තේ එහි විස්තර කරන සිද්ධීන් ක්‍රමානුකූලව සිදු වන විටයි. උදාහරණයක් හැටියට, එළිදරව් 17:9-11 දක්වා විස්තර කරන තද රතුපාට සංකේතමය වනමෘගයාගෙන් නියෝජනය වන දෙය හරියටම තේරුම්ගන්න සී. ටී. රසල්ට නොහැකි වුණා. ඊට හේතුව වූයේ වනමෘගයාගෙන් නියෝජනය වන ජාතීන්ගේ සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔහු ජීවතුන් අතර සිටි කාලයේදී නොතිබීමයි. a

13. යම් බයිබල් විෂයක් ගැන ආලෝකය ලැබූ විට ඇතැම් අවස්ථාවලදී සිදු වන්නේ කුමක්ද?

13 අචර්මච්ඡේදිත අන්‍යජාතීන්ටද තමන්ගේ සෙසු ඇදහිලිවන්තයන් ලෙස නමස්කාරයෙහි හවුල් විය හැකි බව මුල් ක්‍රිස්තියානීන් දැනගත් විට, අලුතින් ඇති වූ මෙම වෙනස නිසා ඔවුන්ව චර්මච්ඡේදනය කිරීමේ අවශ්‍යතාව හා සම්බන්ධ අලුත් ප්‍රශ්නයක් පැනනැඟුණා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ප්‍රේරිතයන් හා වැඩිමහල්ලන් චර්මච්ඡේදනය සම්බන්ධයෙන් මතු වූ මෙම ගැටලුව හා සම්බන්ධ සෑම කාරණයක්ම නැවත පරීක්ෂා කර බැලුවා. අදදිනත් අනුගමනය කරන්නේ එම ක්‍රමයමයි. මතු දැක්වෙන උදාහරණයෙන් පැහැදිලි වන්නාක් මෙන් සමහර අවස්ථාවලදී එක් බයිබල් විෂයක් ගැන හෙළන දීප්තිමත් ආලෝක ධාරාවක ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ ආලේප ලත් සේවකයන්, එනම් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අදාළ විෂයන් නැවත පරීක්ෂා කර බලා තිබෙනවා.—මතෙව් 24:45.

14-16. ආත්මික දේවමාළිගාව පිළිබඳ අපේ දෘෂ්ටිකෝණයෙහි සකස් කිරීමක් කිරීම, එසකියෙල් 40-48 දක්වා පරිච්ඡේද අපි තේරුම්ගන්නා ආකාරය කෙරෙහි බලපා ඇත්තේ කෙසේද?

14 ‘මම යෙහෝවා බව ජාතීන් දැනගන්නවා ඇත’—කෙසේද? (ඉංග්‍රීසියෙන්) යන මාතෘකාවෙන් යුත් පොතක් 1971දී ප්‍රකාශයට පත් කළා. එසකියෙල්ගේ පොතේ සඳහන් අනාවැකිවල පැහැදිලි කිරීමක් එහි ඇතුළත් වුණා. මෙම පොතෙහි සඳහන් එක් පරිච්ඡේදයක දේවමාළිගාවක් ගැන එසකියෙල් දුටු දර්ශනය (එසකියෙල් 40-48 දක්වා පරිච්ඡේද) කෙටියෙන් සාකච්ඡා කර තිබුණා. ඒ කාලයේදී අවධාරණය කරනු ලැබුවේ, එසකියෙල් දුටු දේවමාළිගාව පිළිබඳ දර්ශනය නව ලොවේදී ඉටු වන ආකාරය ගැනයි.—2 පේතෘස් 3:13.

15 කෙසේවෙතත්, 1972 දෙසැම්බර් 1වනදා මුරටැඹ සඟරාවේ ලිපි දෙකක පළ කර තිබූ තොරතුරු එසකියෙල්ගේ දර්ශනය පිළිබඳ අපේ අවබෝධයට බලපෑවා. ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් 10වන පරිච්ඡේදයේ විස්තර කර තිබෙන උතුම් ආත්මික දේවමාළිගාව ගැන එම ලිපිවල සාකච්ඡා කළා. ආත්මික දේවමාළිගාවේ ශුද්ධස්ථානය හා ඇතුල් මළුව, ආලේප ලත් අය පොළොව මත ජීවත් වන කාලයේදී භුක්ති විඳින තත්වයට සම්බන්ධ වන බව එම සඟරාවේ පැහැදිලි කළා. ආත්මික දේවමාළිගාව ක්‍රියාත්මක වන්නේ අද නිසා එසකියෙල් දර්ශනයෙන් දුටු දේවමාළිගාවද ක්‍රියාත්මක විය යුත්තේ අදදින බව, පසු අවුරුදුවලදී එසකියෙල් 40-48 දක්වා පරිච්ඡේද යළි සලකා බැලීමේදී අවබෝධ කරගත්තා. එය එසේ වන්නේ කෙසේද?

16 එසකියෙල් දුටු දර්ශනයේ සිටින පූජකයන් පූජක නොවූ ගෝත්‍රවලට සේවය කරමින් දේවමාළිගාවේ මළුවල එහාට මෙහාට ගමන් කරනවා දකින්න තිබෙනවා. මෙම පූජකයන්ගෙන් පැහැදිලිව නියෝජනය වන්නේ යෙහෝවාගේ ආලේප ලත් සේවකයන්ගෙන් සමන්විත ‘රාජකීය පූජකතන්ත්‍රයයි.’ (1 පේතෘස් 2:9NW) කෙසේවෙතත්, ඔවුන් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය පවතින කාලය තුළදී දේවමාළිගාවේ භූමික මළුවේ සේවය කරන්න යන්නේ නැහැ. (එළිදරව් 20:4) ආලේප ලත් අය එම කාලපරිච්ඡේදයෙන් වැඩි කාලයක් හෝ සම්පූර්ණ කාලයම ආත්මික දේවමාළිගාවේ අතිශුද්ධස්ථානය වන ‘ස්වර්ගයෙහි’ සිටිමින් දෙවිට සේවය කරන්න යනවා. (හෙබ්‍රෙව් 9:24) පූජකයන් එසකියෙල් දර්ශනයකින් දුටු ආත්මික දේවමාළිගාවෙහි පිහිටි මළුවල එහාට මෙහාට ගමන් කරනවා දකින්න තිබෙන නිසා එම දර්ශනයෙහි ඉටුවීම සිදු විය යුත්තේ, ආලේප ලත් අයගෙන් සමහරදෙනෙක් තවමත් පොළොව මත සිටින මේ කාලයේදීයි. මේ අනුව, මෙම සඟරාවේ 1999 මාර්තු 1 කලාපයේ මෙම විෂය ගැන යළි සකස් කරන ලද අදහසක් ඉදිරිපත් කළා. මෙසේ එසකියෙල් පොතෙහි සඳහන් අනාවැකි පිළිබඳ ආත්මික ආලෝකය විසිවන සියවසෙහි අගභාගය දක්වා හෙළා තිබෙනවා.

ඔබේ දෘෂ්ටිකෝණය සකස් කරගැනීමට කැමැත්තෙන් සිටින්න

17. ඔබ සත්‍යය දැනගත් දා සිට ඔබේ පෞද්ගලික දෘෂ්ටිකෝණයෙහි කර තිබෙන සකස් කිරීම් මොනවාද? ඔබ ඒවායින් අද්දැක තිබෙන ප්‍රයෝජන මොනවාද?

17 සත්‍යය පිළිබඳ දැනුම ලබාගැනීමට කැමති ඕනෑම කෙනෙක් තමන්ගේ ‘සියලු සිතුවිලි ක්‍රිස්තුස්ට කීකරු වීම සඳහා වහල් කර දීමට’ කැමති විය යුතුයි. (2 කොරින්ති 10:5) මෙය කිරීම සැමවිටම පහසු නැහැ. විශේෂයෙන්ම, ඇතැම් දේවල් සම්බන්ධයෙන් දරන දෘෂ්ටිය තදින් සිතට කාවැදී ඇති විට, එසේ කිරීම පහසු නැහැ. උදාහරණයක් හැටියට දෙවි පිළිබඳ සත්‍යය ඉගෙනගන්න කලින් ඔබ ඔබේ පවුලේ අය සමඟ සමහර ආගමික නිවාඩු දින උත්සවාකාරයෙන් සමරන්න ඇති. මෙම උත්සවවලට මිථ්‍යා දෘෂ්ටික මූලාරම්භයක් තිබෙන බව ඔබ බයිබලය පාඩම් කරන්න පටන්ගැනීමෙන් පසු තේරුම්ගත්තා. සමහරවිට ඉගෙනගනිමින් සිටි දේවල් අදාළ කරගැනීමට ඔබ මුලදී අකමැත්තක් දැක්වුවා වෙන්න පුළුවන්. එහෙත් අවසානයේදී ඔබ ආගමික දේවල් සම්බන්ධයෙන් සිතට තදින් කාවැදී තිබෙන හැඟීම්වලට වඩා දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය ප්‍රබල බව ඔප්පු කර, දෙවිව අමනාප කරවන උත්සව නොපැවැත්වීමට තීරණය කළා. ඔබ ගත් තීරණයට යෙහෝවා ආශීර්වාද කර නැද්ද?—හෙබ්‍රෙව් 11:26 සසඳන්න.

18. බයිබල් සත්‍යයන් පිළිබඳ අපේ අවබෝධය පැහැදිලි කරනු ලබන විට අපි එයට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

18 අපි සැමවිටම දෙවි පෙන්වා තිබෙන විදිහට දේවල් කරද්දී බොහෝ ප්‍රයෝජන අද්දකිනවා. (යෙසායා 48:17, 18) එනිසා යම් බයිබල් ඡේදයක් සම්බන්ධයෙන් අපගේ දෘෂ්ටිකෝණය වඩාත් හොඳින් පැහැදිලි කරන විට, අපි ප්‍රගතිශීලී ලෙස අනාවරණය කරන සත්‍යය ගැන ප්‍රීති වෙමු. ඇත්තෙන්ම, අපි දිගින් දිගටම ඥානාලෝකය ලබන විට, එයින් තහවුරු වන්නේ අපි හරි මාවතේ ගමන් කරමින් සිටින බවයි. එම මාවත ‘ධර්මිෂ්ඨයන්ගේ මාවතයි.’ එය “ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.” (හිතෝපදේශ 4:18) වර්තමානයේ අපි දෙවිගේ අරමුණු හා සම්බන්ධ ඇතැම් කාරණා දකින්නේ “අඳුරුලෙස” බව ඇත්තයි. එහෙත් දෙවිගේ නියමිත කාලය පැමිණි විට හරි ‘මාවතෙහි’ ස්ථිරව ගමන් කිරීමට අපිට උපකාරවත් වන සත්‍යයෙහි සැබෑ අලංකාරය අපි දකින්න යනවා. මෙය අද්දකින තෙක්, අපි තවමත් පැහැදිලිව අවබෝධ කරගෙන නොමැති දේවල්, අවබෝධ කර දෙන තෙක් බලා සිටිමින් යෙහෝවා දැනටමත් පැහැදිලි කර දී තිබෙන සත්‍යයන් ගැන ප්‍රීති වෙමු.

19. අපි සත්‍යයට ඇලුම් කරන බව පෙන්විය හැකි එක් ක්‍රමයක් නම් කරන්න.

19 දෙවි සපයන ආලෝකයට අපි ඇලුම් කරන බව ප්‍රායෝගිකව පෙන්විය හැක්කේ කෙසේද? එක් ක්‍රමයක් නම්, නිතිපතා, හැකි නම් සෑම දවසකම දේවවචනය කියවීමයි. නිතිපතා බයිබලය කියවීමේ කාලසටහනක් ඔබට තිබෙනවාද? මුරටැඹ සහ පිබිදෙව්! සඟරා මගින්ද පෝෂ්‍යදායී ආත්මික ආහාර අපට බහුල ලෙස සැපයෙනවා. අපේ ප්‍රයෝජනය සඳහා පිළියෙළ කර තිබෙන පොත්, විවරණිකා හා වෙනත් ප්‍රකාශන ගැනද කල්පනා කර බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතෙහි (ඉංග්‍රීසියෙන්) පළ වන රාජ්‍ය දේශනා කිරීම හා සම්බන්ධ දිරිගන්වනසුලු වාර්තා ගැන කුමක් කිව හැකිද?

20. යෙහෝවා ලබා දෙන ආලෝකය හා සත්‍යයත් අපි ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමත් අතර තිබෙන්නේ කිනම් සම්බන්ධතාවක්ද?

20 ඔව්, ගීතාවලිය 43:3හි සඳහන් යාච්ඤාවට යෙහෝවා මවිතකර ලෙස උත්තර දී තිබෙනවා. එම වගන්තියෙහි අවසාන භාගයේ අපිට මෙසේ කියවීමට තිබෙනවා: “[ඔබේ ආලෝකය හා සත්‍යය] මා ඔබේ ශුද්ධ කන්දටත් උත්කෘෂ්ට මණ්ඩපයටත් ගෙන යත්වා! [NW].” අතිමහත් ජන සමූහයක් සමඟ එක්ව යෙහෝවාට නමස්කාර කරන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනවාද? අපේ රැස්වීම්වලදී ඉදිරිපත් කරන ආත්මික සත්‍යයන් පිළිබඳ ඉගැන්වීම්, යෙහෝවා අදදින ඥානාලෝකය සපයන වැදගත් මාර්ගයකි. ක්‍රිස්තියානි රැස්වීම් සඳහා අපේ අගය තව තවත් වැඩි කරන්න අපට හැක්කේ කෙසේද? ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරන්න යන මෙම කාරණය යාච්ඤාපූර්වකව සලකා බලන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි.

[පාදසටහන]

a සී. ටී. රසල්ගේ මරණින් පසු, එසකියෙල් හා එළිදරව් පොත්වල පැහැදිලි කිරීමක් සැපයීමේ ප්‍රයත්නයක් හැටියට ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය නමැති කාණ්ඩ කිහිපයකින් යුත් පොත් මාලාවේ හත්වන කාණ්ඩය ලෙස බයිබල් ආධාරක පොතක් සකස් කරනු ලැබුවා. යම් දුරකට මෙම කාණ්ඩයේ සඳහන් තොරතුරු එම බයිබල් පොත් ගැන රසල් කළ පැහැදිලි කිරීම් මත පදනම් වුණා. කෙසේවෙතත්, එම පොත්වල සඳහන් අනාවැකිවල අර්ථය අනාවරණය කිරීමට කාලය, ඒ වන විටත් පැමිණ තිබුණේ නැහැ. ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය නමැති පොත් මාලාවේ හත්වන කාණ්ඩයේ කර තිබූ පැහැදිලි කිරීම් බොහොමයක් අපැහැදිලියි. පසු කාලයේදී, යෙහෝවාගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව නිසාත් ලෝක දසුනෙහි ඇතැම් සිද්ධීන් වර්ධනය වීම නිසාත් එම අනාවැකිමය පොත්වල සඳහන් දේවල අර්ථය වඩාත් නිවැරදිව වටහාගැනීමට ක්‍රිස්තියානීන්ට හැකි වුණා.

ඔබට උත්තර දිය හැකිද?

• යෙහෝවා ඔහුගේ අරමුණු ක්‍රමානුකූලව අනාවරණය කරන්නේ මන්ද?

• යෙරුසලමෙහි සිටි ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් චර්මච්ඡේදනය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කළේ කෙසේද?

• මුල් කාලයේ සිටි බයිබල් ශිෂ්‍යයන් බයිබලය අධ්‍යයනය කිරීම සඳහා යොදාගත් ක්‍රමය කුමක්ද? එය අසාමාන්‍ය දෙයක් වූයේ මන්ද?

• ආත්මික ආලෝකය හෙළන්නේ දෙවිගේ නියමිත කාලයේදී බව නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නියමිත කාලයේදී එළිදරව් පොත මතට ආලෝකය හෙළන බව චාල්ස් ටේස් රසල් දැන සිටියා