Skip to content

පටුනට යන්න

නිහතමානිකම—සමාදානයට අත්වැලක්

නිහතමානිකම—සමාදානයට අත්වැලක්

නිහතමානිකම—සමාදානයට අත්වැලක්

මිහිපිට වෙසෙන සියලුදෙනාම නිහතමානි වූවා නම් කොතරම් සුහද තත්වයක් තිබේද කියා කල්පනා කර බලන්න. කිසිවෙක් බලහත්කාරකමෙන් දේවල් ලබාගන්න වෑයම් කරන එකක් නැහැ. පවුල් සාමාජිකයන් එකිනෙකා සමඟ වඩාත් සාමකාමීව කටයුතු කරාවි. ව්‍යාපාරික ලොවේ තරඟකාරිත්වය හා විවිධ රටවල් අතර තිබෙන ගැටුම් සහිත තත්වයන් පවා සෑහෙන දුරට අඩු වේවි. ඔබ එවැනි වාතාවරණයක් තුළ ජීවත් වන්න කැමති නැද්ද?

යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙන නව ලොවේදී, කිසිවෙක් නිහතමානිකම දුර්වල ගුණාංගයක් වශයෙන් සලකන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් එය ඇතුළාන්ත ශක්තිය පිළිබිඹු කරන යහපත් ගුණාංගයක් වශයෙන් සලකන්න යනවා. (2 පේතෘස් 3:13) එමනිසා යෙහෝවාට අවංකව සේවය කරන සියලුදෙනාම දැන් සිටම එම කාලය සඳහා සූදානම් වෙමින් නිහතමානිකම වර්ධනය කිරීමට වෙර දරනවා. ඒ ඇයි? යෙහෝවා ඔවුන්ගෙන් එය අපේක්ෂා කරන නිසයි. අනාගතවක්තෘවරයෙක් වන මීකා පැවසූ දෙයින් මෙය පැහැදිලි වේ. ඔහු පැවසුවේ, “එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා [ඔහු] නුඹට පෙන්වා තිබේ: ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ [දෙවි] වෙත යටහත්ලෙස [නිහතමානි ලෙස, NW] හැසිරීමත් මිස [යෙහෝවා] නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද” යන්නයි.—මීකා 6:8.

නිහතමානිකමට පැති කිහිපයක් තිබෙනවා. අහංකාරකමෙන් හෝ පුහුමාන්නයෙන් තොර පුද්ගලයෙක් නිහතමානියයි සැලකිය හැකියි. තමා ඉටු කර ඇති දේවල් හෝ තමන්ගේ හැකියාවන් හා සැප සම්පත් පිළිබඳව පුරසාරම් දෙඩීමට අකමැත්තක් දැක්වීමද මෙහි තවත් පැත්තක්. එමෙන්ම, එක් ආශ්‍රේය ග්‍රන්ථයකට අනුව නිහතමානිකම කියන්නේ “තම සීමාවන් හඳුනාගෙන ක්‍රියා කිරීමයි.” ඔව්, නිහතමානි පුද්ගලයා විනීතව හැසිරෙයි. තමාට යම් සීමාවන් තිබෙන බව ඔහු පිළිගනියි. ඔහුට කළ නොහැකි දේවල් තිබෙන බවත් ඔහු නොකළ යුතු දේවල් තිබෙන බවත් ඔහු වටහාගනියි. තවද, තමාට අයිති නැති කාරණා තිබෙන බව පිළිගන්නා අතර ඒවාට ඔහු ඇඟිලි ගසන්නේ නැහැ. ඇත්තෙන්ම නිහතමානි පුද්ගලයන් අප කාගෙත් සිත්ගනියි. එසේ නම්, “සැබෑ නිහතමානිකම තරම් ප්‍රසන්න ගුණාංගයක් නැහැයි” කියා ඉංග්‍රීසි ජාතික කවියෙක් වූ ජෝසෆ් අඩිසන් පැවසුවේ ඇයි කියා අපට පැහැදිලියි.

කොහොම වුණත්, අසම්පූර්ණ පුද්ගලයන් වන අපට නිහතමානිකම සහජයෙන්ම ලැබෙන ගුණාංගයක් නොවේ. එය වර්ධනය කිරීම සඳහා අප දිගටම වෙර දැරිය යුතුයි. නමුත් අප අධෛර්යවත් විය යුතු නැහැ. මන්ද නිහතමානිකමේ විවිධ පැති පැහැදිලි කර දෙන සිද්ධීන් කිහිපයක්ම අපේ ප්‍රයෝජනය සඳහා දෙවිගේ වචනයේ සඳහන් කර තිබෙන නිසයි. අපි ඉන් කිහිපයක් දැන් සලකා බලමු.

නිහතමානි රජවරුන් දෙදෙනෙක්

යෙහෝවාට පක්ෂපාත සේවයක් පිරිනැමීම සම්බන්ධයෙන් දාවිත් විශිෂ්ට ආදර්ශයක් සැපයුවා. ඉශ්‍රායෙල්හි අනාගත රජ වීමට ඔහුව තෝරාගනු ලැබුවේ ඔහු තරුණයෙක්ව සිටියදීයි. ඒ කාලයේදී පාලනය කරමින් සිටි සාවුල් රජට මෙය ආරංචි වූ විගසම දාවිත්ව මැරීමට මං සෙව්වා. තම ජීවිතය බේරාගැනීම සඳහා දාවිත් පලා ගියා.—1 සාමුවෙල් 16:1, 11-13; 19:9, 10; 26:2, 3.

මෙතරම් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් සිටින විට පවා දාවිත් තමාගේ සීමාවන් හඳුනාගත්තා. තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ඔහුට ගත හැකි හා ගත නොහැකි පියවර තිබෙන බව ඔහු වටහාගෙන තිබුණා. දාවිත් පාළුකරයේ සැඟවී සිටින අවස්ථාවකදී සිදු වූ දේ සලකා බලන්න. අබිෂයි නිදාගෙන සිටින සාවුල් රජව මරුමුවට පත් කිරීමට වෑයම් කළා. නමුත් දාවිත් එය වළක්වමින් මෙසේ පැවසුවා. “මාගේ අත යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව දිගු කිරීම යෙහෝවාගේ ඇස් හමුවේ වැරදි දෙයකි.” (1 සාමුවෙල් 26:8-11NW) සාවුල්ව රජ තනතුරෙන් ඉවත් කිරීම තමාට අයිති දෙයක් නොවන බව දාවිත් හොඳින් දැන සිටියා. මෙම අවස්ථාවේදී දාවිත් තම සීමාවන් හඳුනාගනිමින් විනීතව හැසිරුණා. ඔව්, ඔහු නිහතමානිකම විදහාපෙන්වූවා. යෙහෝවාගේ නවීන දින සේවකයන්ද තම ජීවිත අවදානම් තත්වයක තිබෙන විටදී පවා, “යෙහෝවාගේ ඇස් හමුවේ” නොකළ යුතු දේවල් කිරීමෙන් වැළකී සිටිනවා.—ක්‍රියා 15:28, 29; 21:25.

තරුණ විය පසු කරමින් සිටි දාවිත් රජගේ පුත් සාලමොන්ද නිහතමානිකම විදහාපෙන්වූවා. ඔහුගේ ආදර්ශයෙන් අපට නිහතමානිකමේ තවත් පැත්තක් ඉගෙනගත හැකියි. රජකම තමාට හිමි වූ අවස්ථාවේදී තමාට රජෙකුගේ භාරදූර වගකීම දැරීමට අවශ්‍ය ප්‍රඥාව මෙන්ම අද්දැකීම් නැහැයි කියා සාලමොන්ට සිතුණා. “මාගේ දෙවිවූ [යෙහෝවා,] ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට [පත් කළේය.] මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි” කියා ඔහු යාච්ඤා කළා. සාලමොන් තමාගේ සීමාවන් හඳුනාගෙන තිබුණු බව පැහැදිලියි. ඔහු කිසි අන්දමකින්වත් අහංකාරකම හෝ පුහුමාන්නය විදහාපෙන්වූයේ නැති අතර, යෙහෝවාගෙන් විචාර බුද්ධිය අයැදුවා. යෙහෝවාද ඔහුගේ ඉල්ලීම ඉටු කළා.—1 රාජාවලිය 3:4-12.

මෙසියස් හා ඔහුගේ පෙරමඟ සකසන්නා

සාලමොන්ගේ කාලයේ සිට අවුරුදු 1,000ක පමණ කාලයක් ගත වුණාට පසුව ජීවත් වූ යොහන් බව්තීස්ත, මෙසියස්ගේ මාර්ගය පිළියෙළ කිරීමේ වැඩක් ආරම්භ කළා. යොහන් බයිබල් අනාවැකියක් ඉටු කරමින් මෙම අභිෂේක ලත් තැනැත්තාගේ පැමිණීම උදෙසා ජනයාව සූදානම් කළා. වුවමනා නම්, යොහන්ට තමන්ට හිමි වූ එම වරප්‍රසාද ගැන පුරසාරම් දොඩන්න තිබුණා. එසේ නැත්නම් මෙසියස් තමාගේ ඥාතියෙක් වූ නිසා තමාට ගෞරවයක් හිමි කරගැනීමට තිබුණා. නමුත් ඒ වෙනුවට තමා යේසුස්ගේ පාවහන්වල පටිය මුදන්නවත් වටින්නේ නැහැයි කියා යොහන් පැවසුවා. ඒ වගේම යේසුස් බව්තීස්මය සඳහා යොර්දාන් ගඟ අසලට පැමිණෙන විට, “ඔබගෙන් බව්තීස්මය [වෙන්ට] මට යුතුව තිබියදී ඔබ මා වෙතට [එනවාදැයි]” ඔහු යේසුස්ගෙන් විමසුවා. යොහන් කොයිම ආකාරයකින්වත් තමා ගැන පුරසාරම් දෙඩුවේ නැති බව මින් පැහැදිලියි. ඔව්, ඔහු නිහතමානි පුද්ගලයෙක්.—මතෙව් 3:14; මලාකී 4:5, 6; ලූක් 1:13-17; යොහන් 1:26, 27.

යේසුස්ගේ බව්තීස්මයෙන් පසුව, ඔහු දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් තම පූර්ණ කාලීන දේවසේවය ආරම්භ කළා. ඔහු පරිපූර්ණ මනුෂ්‍යයෙක්ව සිටියත් ඔහු මෙසේ පැවසුවා. “මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. . . . මාගේම කැමැත්ත නොව මා එවූ [තැනැත්තාගේ] කැමැත්ත සොයමි.” යේසුස් මනුෂ්‍යයන්ගෙන් ගෞරවය ලබාගන්න වෑයම් නොකළ අතර තමා කළ සෑම දෙයක් සඳහාම ගෞරවය යෙහෝවාට ලබා දුන්නා. (යොහන් 5:30, 41-44) නිහතමානිකම පිළිබඳ මොනතරම් කදිම ආදර්ශයක්ද!

යෙහෝවාගේ පක්ෂපාත සේවකයන් වූ දාවිත්, සාලමොන්, යොහන් බව්තීස්ත හා පරිපූර්ණ මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස් පවා නිහතමානිකම විදහාපෙන්වූ බව පැහැදිලියි. ඔවුන් තමන් ගැන පුරසාරම් දෙඩුවේ නැති අතර, අහංකාරය හෝ පුහුමාන්නය විදහාපෙන්වූයේ නැහැ. ඔවුන් තම සීමාවන් මොනවාද කියා හොඳින් වටහාගෙන තිබුණා. ඔවුන් සැපයූ කදිම ආදර්ශ යෙහෝවාගේ නවීන දින සේවකයන්ට නිහතමානිකම වර්ධනය කිරීමටත් විදහාපෙන්වීමටත් හොඳ හේතු සපයයි. නමුත් නිහතමානිකම විදහාපෑමට තවත් හේතු කිහිපයක් තිබේ.

මෙම කලබලකාරි කාලය තුළදී නිහතමානිකම වර්ධනය කරගැනීම සැබෑ ක්‍රිස්තියානියෙකුට ඇත්තෙන්ම වටිනවා. යෙහෝවා දෙවි හා සෙසු ජනයා සමඟ සමාදානය මෙන්ම ඇතුළාන්ත සමාදානයක් භුක්ති විඳීමටද එය මඟ පාදයි.

යෙහෝවා දෙවි සමඟ භුක්ති විඳින සමාදානය

අපට යෙහෝවා සමඟ සමාදානය භුක්ති විඳින්න පුළුවන් වන්නේ සැබෑ නමස්කාරය සඳහා ඔහු දී තිබෙන නීති පිළිපැද්දොත් පමණයි. අපේ මුල් දෙමව්පියන් වන ආදම් සහ ඒව හිතුවක්කාරව දෙවි පනවා තිබූ නීතිවලට පිටුපෑවා. මේ නිසා, දෙවි සමඟ ඔවුන්ට තිබූ යහපත් සබඳතාව, පාරාදීස නිවස, තමා ඉදිරියේ තිබූ අනාගතය හා ජීවිතය පවා ඔවුන් අහිමි කරගත්තා. (උත්පත්ති 3:1-5, 16-19) මොනතරම් අපරාධයක්ද!

ආදම් හා ඒවගේ නරක ආදර්ශවලින් අප ඉගෙනගන්නා පාඩම කුමක්ද? සැබෑ නමස්කාරකයන් වශයෙන් අපට කළ හැකි දේවලට යම් සීමාවක් තිබෙනවා. නිදසුනක් වශයෙන් බයිබලයේ මෙසේ පවසයි. “වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් [දෙවිගේ] රාජ්‍යය උරුමකර නොගන්නෝය.” (1 කොරින්ති 6:9, 10) යෙහෝවා ප්‍රඥාවන්ත දෙවි කෙනෙක්. ඔහු මෙම නීති පනවා ඇත්තේ අපේම යහපත උදෙසායි. එසේ නම්, නිහතමානීව මෙම නීති පිළිපැදීම ඥානවන්ත දෙයක් නොවේද? (යෙසායා 48:17, 18) හිතෝපදේශ 11:2 [NW] අපට පවසන්නේ, “ප්‍රඥාව ඇත්තේ නිහතමානි අය ළඟය” කියායි.

දෙවි සමඟ සමාදානය භුක්ති විඳීමට ඔහුගේ නීති රකින්න අවශ්‍ය නැහැයි කියා යම් ආගමික සංවිධානයක් පවසනවා නම් අපට කුමන නිගමනයකට එළඹිය හැකිද? එම සංවිධානය අපව නොමඟ යවනවා කියන එකයි. මන්ද නිහතමානිව දෙවිගේ නීති රැකීමෙන් පමණයි අපට ඔහු සමඟ කිට්ටු සබඳතාවක් භුක්ති විඳින්න පුළුවන් වන්නේ.

සෙසු ජනයා සමඟ

නිහතමානිකම අන්‍යයන් සමඟ සාමයෙන් කටයුතු කිරීමටත් උපකාරවත් වේ. මේ පිළිබඳ හොඳ නිදසුනක් සලකා බලන්න. දෙමව්පියන් සෑම අවස්ථාවකදීම ආත්මික කාරණාවලට මුල් තැන දෙමින් තම දෛනික අවශ්‍යතාවලින් සෑහීමකට පත් වෙනවා නම්, ඔවුන්ගේ දරුවන්ද ඒ හා සමාන ආකල්පයක් වර්ධනය කරගැනීමට පටන්ගනියි. ඔවුන්ට සැමවිටම වුවමනා දේ නොලැබුණත් දරුවන් ලත් පමණින් සතුටු වීමට පුරුදු වෙනවා. ඔවුන් තම ආර්ථිකයට ගැළපෙන ආකාරයට ජීවත් වීමට පුරුදු වන අතර මෙයද පවුලේ සමාදානයට දායක වෙයි.

නිහතමානිකම වර්ධනය කිරීමට විශේෂ ප්‍රයත්නයක් දැරිය යුත්තේ යම් අධිකාරියක් හොබවන අයයි. තමන්ට තිබෙන බලතලවලින් අයුතු ප්‍රයෝජන නොගැනීමට ඔවුන් වගබලා ගත යුතුයි. “ලියා තිබෙන දේ ඉක්මවා නොයන්ට” කියා ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවා තිබේ. (1 කොරින්ති 4:6) ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තමන්ගේ පෞද්ගලික මත පිළිගැනීමට අන්‍යයන්ට බල කිරීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට හැසිරීම, ඇඳුම් පැළඳුම් හෝ විනෝදාස්වාදය වැනි කාරණා පිළිබඳව නිවැරදි මඟ පෙන්වීම සැපයීම සඳහා ඔවුන් දේවවචනය වෙතට අවධානය යොමු කළ යුතුයි. (2 තිමෝති 3:14-16) වැඩිමහල්ලන් දේවවචනයේ උපදෙස් ඉක්මවා යන්නේවත් ඒවා බාල කරන්නේවත් නැති බව අවබෝධ කරගන්නා විට සභාවේ සාමාජිකයන් ඔවුන්ට නිසි ගෞරවය ලබා දෙන අතර, මෙය සභාවේ සුහද, සාමකාමී හා ප්‍රේමනීය වාතාවරණයකට දායක වේ.

ඇතුළාන්ත සමාදානය

නිහතමානි පුද්ගලයා ඇතුළාන්ත සමාදානයක් භුක්ති විඳිනවා. ඔහුට පෞද්ගලික ඉලක්ක නැතුවා නොවේ. නමුත් ඔහු තම පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා ඒවා උමතුවෙන් ලුහුබඳින්නේ නැහැ. උදාහරණයකට, වැඩිපුර සේවා වරප්‍රසාද අත් කරගැනීමට කැමැත්තක් දැක්වුවත්, දෙවිගෙන් ඒවා ලැබෙන තෙක් ඔහු ඉවසිලිවන්තව බලා සිටියි. ඒ වගේම ඔහු අත් කරගන්නා සෑම වරප්‍රසාදයක් ගැනම හිස උදුම්මාගන්නේ නැතුව යෙහෝවාට ප්‍රශංසාව ලබා දෙයි. ඒ නිසා ඔහුට ‘සමාදානයේ දෙවි’ වන යෙහෝවා සමඟ වඩාත් කිට්ටු සබඳතාවක් භුක්ති විඳිය හැකියි.—පිලිප්පි 4:9.

ඇතැම් අවස්ථාවලදී අන්‍යයන් අපව නොසලකා හරිනවා කියා අපට හැඟෙන්න පුළුවන්. අපේ විනීත හැසිරීම නිසා අප මෙවැනි පාඩුවක් විඳිනවා විය හැකියි. නමුත් මෙය අවිනීතව කටයුතු කර අප වෙත අවධානය ඇදගන්නවාට වඩා හොඳ දෙයක් නොවේද? නිහතමානි පුද්ගලයන්ට දැවෙන අභිලාෂයන් නැහැ. ඒ නිසා, ඔවුන් ඇතුළාන්ත සමාදානයක් භුක්ති විඳින අතර මෙයද යහපත් සෞඛ්‍යයකට දායක වෙයි.

වර්ධනය කරගැනීම හා පවත්වාගැනීම

ආදම් හා ඒව හිතුවක්කාරව ක්‍රියා කළා. ඔවුන්ගෙන් පැවතෙන නිසා අප සියලුදෙනාත් එලෙස ක්‍රියා කිරීමට නැඹුරුවාවක් දක්වනවා. මෙම නිෂේධාත්මක නැඹුරුවාව අප මර්දනය කරන්නේ කොහොමද? නිහතමානිකම නමැති යහපත් ගුණාංගය අප වර්ධනය කරන්නේ කෙහොමද?

මුලින්ම, මේ විශ්වයේ මැවුම්කරු වන යෙහෝවා සහ අප අතර කොතරම් විශාල පරතරයක් තිබෙනවාද කියා අප වටහාගත යුතුයි. අප ඉටු කර ඇති දේවල් යෙහෝවාගේ ක්‍රියා සමඟ සැසඳීම නිෂ්ඵල දෙයක් නොවේද? “මා පොළොව පිහිටෙවූ කල නුඹ කොතැන සිටියෙහිද? නුඹ දන්නෙහි නම් [ඔබට අවබෝධ කරගත හැකි නම්, NW] කියන්න” කියා යෙහෝවා තම විශ්වාසවන්ත සේවකයා වන යෝබ්ගෙන් ඇසුවා. (යෝබ් 38:4) යෝබ්ට කට උත්තර නැතුව ගියා. අප සතු අද්දැකීම්, කුසලතා හා දැනුමට සීමාවක් ඇති බව අප පිළිගන්නේ නැද්ද? ඇත්තෙන්ම අපට සීමාවන් ඇති බව පිළිගැනීම ප්‍රයෝජනවත් දෙයක්.

ඒ විතරක් නොවේ, “පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද [යෙහෝවාගේය]” කියා බයිබලය අපට පවසයි. මෙයට “වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත්” ඇතුළත් වේ. “රිදී මාගේය, රන්ද මාගේය” කියාත් යෙහෝවාට පැවසිය හැකියි. (ගීතාවලිය 24:1; 50:10; හග්ගයි 2:8) යෙහෝවාට අයිති සියල්ල සලකා බලද්දී අප සතු දේවල් පිළිබඳව අපට පුරසාරම් දෙඩිය හැකිද? ඇත්තෙන්ම මෙලොවේ සිටින ධනවත්ම මිනිසාටවත් එසේ කිරීමට කිසිම පදනමක් නැහැ. රෝමයේ ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් දුන් උපදෙස් සිතට ගැනීම නැණවත් දෙයක්. “නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, . . . පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි” කියා ඔහු පැවසුවා.—රෝම 12:3.

නිහතමානිකම වර්ධනය කිරීමට වෙර දරන දෙවිගේ සේවකයන් වශයෙන් අපි ශුද්ධාත්මයේ ඵල සඳහා එනම්, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම හා ආත්ම දමනය සඳහා යාච්ඤා කළ යුතුයි. (ලූක් 11:13; ගලාති 5:22, 23) අප මෙසේ කළ යුත්තේ ඇයි? ඒ සෑම ගුණාංගයක්ම නිහතමානිකම වර්ධනය කිරීම වඩාත් පහසු කරවන නිසයි. නිදසුනකට, සෙසු ජනයා සඳහා තිබෙන ප්‍රේමය, පුරසාරම් දෙඩීම හා අහංකාරකමට එරෙහිව ක්‍රියා කරනවා. එමෙන්ම ආත්ම දමනය අවිනීත හැසිරීම වළක්වයි.

අවිනීතව හෝ අහංකාරව ක්‍රියා කිරීමට අපට නැඹුරුවාවක් තිබෙන බව අපි කවදාවත් අමතක නොකරමු. කලින් සඳහන් කළ රජවරුන් දෙදෙනා නිතරම නිහතමානිකම විදහාපෙන්වූයේ නැහැ. දාවිත් රජ දුර දිග කල්පනා නොකර ඉශ්‍රායෙල් ජාතියේ ගණනය කිරීමක් කළා. එය යෙහෝවාගේ කැමැත්තට එරෙහිව දිව ගිය දෙයක්. සාලමොන් රජ කොතරම් අහංකාර වූවාද කිව්වොත් ඔහු බොරු නමස්කාරයේ යෙදීමට පටන්ගත්තා!—2 සාමුවෙල් 24:1-10; 1 රාජාවලිය 11:1-13.

දෙවිගෙන් ඈත් වූ මෙම දුෂ්ට පිළිවෙළ පවතින තාක් කල් අප නිහතමානි වීම සම්බන්ධයෙන් නිතරම අවදිව සිටිය යුතුයි. අප මේ සම්බන්ධයෙන් දරන උත්සාහය ඇත්තෙන්ම වටිනවා. මන්ද දෙවිගේ නව ලොවේ ජීවත් වීමට යන්නේ නිහතමානි පුද්ගලයන් පමණයි. එදාට කිසිවෙක් නිහතමානිකම දුර්වලකමක් හැටියට සලකන්න යන්නේ නැහැ. සෑම කෙනෙක්ම සමාදානයට අත්වැලක් වන නිහතමානිකම විදහාපෙන්වන කාලය උදා වන තෙක් අප උනන්දුවෙන් බලා සිටින්නේ නැද්ද?

[23වන පිටුවේ පින්තූරය]

තමා කළ සෑම දෙයකටම යේසුස් නිහතමානීව ගෞරවය ලබා දුන්නේ යෙහෝවාටයි