Skip to content

පටුනට යන්න

මිනිසාට පිහිට වන කෙනෙක් අවශ්‍ය මන්ද?

මිනිසාට පිහිට වන කෙනෙක් අවශ්‍ය මන්ද?

මිනිසාට පිහිට වන කෙනෙක් අවශ්‍ය මන්ද?

‘මම නින්දාකරන්නෙක්ව සිටියෙමි’ කියා කලින් අහංකාරව හා දරුණුව සිටි මනුෂ්‍යයෙක් පැවසුවා. හිතක් පපුවක් නැති විදිහට යේසුස් ක්‍රිස්තුස්ගේ දේවභයැති අනුගාමිකයන්ට හිංසා පීඩා කර තිබූ ඔහු දරුණු ලෙස නින්දා කරන්නෙකුව සිටියා. ‘නමුත් මම දයාව ලැබුවෙමි’ කියා ඔහු කෘතඥපූර්වකව පැවසුවා. පුදුමයකට මෙන්, මෙම උන්මත්තක පීඩාකරන්නා ඇදහිලිවන්ත ක්‍රිස්තියානියෙකු වූ ප්‍රේරිත පාවුල් බවට පත් වුණා.—1 තිමෝති 1:12-16; ක්‍රියා 9:1-19.

පාවුල් කළ ආකාරයේ දේවල් හැමෝම කරන්නේ නැහැ. එනමුත්, අපි හැමෝම දේවප්‍රමිතිවලට අනුවම ජීවත් වීමට අසමත් වෙනවා. මන්ද? ‘සියල්ලෝම පව් කොට දෙවිගේ මහිමයෙන් හීනව’ සිටින නිසයි. (රෝම 3:23) සමහරවිට දෙවිගේ දයාව ලබන්න තරම් අපි හොඳ අය නෙවෙයි යන හැඟීම නිසා පහසුවෙන්ම බලාපොරොත්තු සුන් වූ තත්වයකට වැටිය හැකියි. පාවුල් තමාගේම පාපතර නැඹුරුවාවන් ගැන මෙනෙහි කරමින් මෙසේ පැවසුවා: “අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?” ඔහු තමාගේම ප්‍රශ්නයට උත්තර දෙමින් ‘අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ස්තුති කරමි’ කියා ලිව්වා.—රෝම 7:24, 25.

ධර්මිෂ්ඨ මැවුම්කරුවෙකුට පව්කාරයන් සමඟ කටයුතු කළ හැක්කේ කෙසේද? (ගීතාවලිය 5:4) ‘අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ස්තුති කරමි’ කියා පාවුල් කළ ප්‍රකාශය ගැන සලකා බලන්න. දෙවිගේ දයාව ලද තවත් තැනැත්තෙක් මෙසේ පැහැදිලි කළා: ‘යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස් වන මැදහත්කාරයෙක් [පිහිටවන්නෙක්, NW] පියා සමඟ අපට සිටින්නේය. ඔහු අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.’—1 යොහන් 2:1, 2.

යේසුස් ක්‍රිස්තුස්ව ‘පියා සමඟ සිටින පිහිටවන්නෙකු’ ලෙස හඳුන්වා තිබෙන්නේ මන්ද? එමෙන්ම යේසුස් පව් උදෙසා ‘ශාන්තිකර පූජාවක්’ වන්නේ කෙසේද?

පිහිටවන්නෙක් අවශ්‍ය වන්නේ මන්ද?

යේසුස් පොළොවට පැමිණියේ ‘මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටයි.’ (මතෙව් 20:28) යමෙකුව හෝ යම් දෙයක් මුදවාගැනීමට ගෙවන මුදල මිදීමේ මිලයකි. “මිදීමේ මිලය” සඳහා යොදා ඇති හෙබ්‍රෙව් වචනයේ ක්‍රියා පදයෙන් අදහස් වන්නේ පාප කමා කිරීම නැතහොත් පාපයට වන්දියක් ගෙවීම යන්නයි. (ගීතාවලිය 78:38) මතෙව් 20:28හි ඇති ග්‍රීක් වචනය විශේෂයෙන්ම යොදා තිබෙන්නේ යුද්ධවලදී සිරගතවන්නන්ව මුදවාගැනීමට නැත්නම් වහලුන්ව නිදහස් කරගැනීමට ගෙවන මුදලටයි. යුක්තිය ඉටු කිරීමක් වශයෙන් එක් දෙයක් වෙනුවෙන් ඊට සමාන වටිනාකමක් ඇති තවත් දෙයක් දීම අවශ්‍යයි.

මුල් මනුෂ්‍යයා දෙවිට විරුද්ධව කැරලිගැසූ බැවින් මනුෂ්‍යවර්ගයා වහල්භාවයට පත් වුණා. උත්පත්ති 3වන පරිච්ඡේදයේ පෙන්වා ඇති පරිදි පරිපූර්ණ මනුෂ්‍යයෙකු වූ ආදම් යෙහෝවා දෙවිට අකීකරු ක්‍රියාමාර්ගයක් ගැනීමට තෝරගත්තා. එසේ කිරීමෙන්, ඔහු තමාවත් ඔහුගෙන් බිහිවීමට සිටි දරුවන්වත් පාපයේ හා මරණයේ වහල්භාවයට ඇද දැමුවා. මෙලෙස ආදම් තමාටත් තමාගෙන් පැවතෙන්නන්ටත් පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය නමැති තෑග්ග අහිමි කළා.—රෝම 5:12, 18, 19; 7:14.

පුරාණ ඉශ්‍රායෙලයේදී, ජනයාගේ පව්වලට සමාව දීමට හෝ පව් පියවා දැමීමට දෙවි සත්ව පූජා පිළිබඳ විධිවිධානය සැපයුවා. (ලෙවී කථාව 1:4; 4:20, 35, නව අනුවාදය) ඒ අනුව, පව්කාරයාගේ ජීවිතය වෙනුවෙන් සත්වයෙකුගේ ජීවිතයක් පූජා කරනු ලැබුවා. (ලෙවී කථාව 17:11) මේ නිසා, “පව්වලට සමාව දීමේ දවස” “මුදවාගැනීමේ දවස” ලෙසත් හැඳින්විය හැකි වුණා.—ලෙවී කථාව 23:26-28NW.

කෙසේවුවත්, මනුෂ්‍යයාට වඩා සත්වයන් පහත් බැවින්, “ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් [සම්පූර්ණයෙන්ම] පව් පහකරන්ට නුපුළුවන.” (හෙබ්‍රෙව් 10:1-4) පව්වලට සමාව දීමට නැතහොත් සදහටම පව් ඉවත් කර දැමීමට ප්‍රමාණවත් වටිනාකමක් පූජාවකට තිබීමට නම්, පූජාවේ වටිනාකම ආදම් අහිමි කරගත් දෙයට සමාන විය යුතුයි. යුක්තියේ තුලාව සමබර කිරීමට නම්, පරිපූර්ණ මනුෂ්‍යයෙකු (ආදම්) අහිමි කරගත් දේට සමාන වූ පරිපූර්ණ මනුෂ්‍යයෙකු (යේසුස් ක්‍රිස්තුස්) අවශ්‍ය වුණා. ආදම් තම පැවත එන්නන්ව වහල්භාවයට විකුණා තිබුණා. එබැවින් ඔවුන්ව මුදවාගැනීම සඳහා මිදීමේ මිලයක් ගෙවීමට හැකි වුණේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයකට පමණි. සැබෑ යුක්තිය ඉටු කිරීමට ‘ප්‍රාණයට ප්‍රාණයක්’ දිය යුතුව තිබුණා.—නික්මයාම 21:23-25.

ආදම් පව් කර මරණයට නියම වූ විට, ඔහුගෙන් බිහිවීමට සිටි දරුවනුත් ඔහු සමඟම මියගියා සේ සැලකිය හැකියි. පරිපූර්ණ මනුෂ්‍යයෙකු මෙන්ම “අන්තිම ආදම්” වූ යේසුස් පවුලක් බිහි නොකර සිටියේ කැමැත්තෙන්මයි. (1 කොරින්ති 15:45) පරිපූර්ණ මනුෂ්‍ය පූජාවක් හැටියට ඔහු මියයද්දී ඔහුට පරම්පරාවක් බිහි කිරීමට හැකිකම තිබුණා. එබැවින්, ඔහුගෙන් බිහිවීමට හැකිව තිබූ පරම්පරාවත් ඔහු සමඟම මියගියා කියා පැවසිය හැකියි. තමන්ගේම පවුලක් ඇති කරගැනීමට තමාට තිබුණු අයිතිය අත්හැර යේසුස්, ආදම්ගේ පව්කාර, මියයන පවුල තමන්ගේම පවුල කරගත්තා. තම පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය පූජා කිරීම මගින් ඔහු ආදම්ගෙන් පැවත එන සියලු මනුෂ්‍යවර්ගයාව යළි මිලේට ගත්තා. එවිට ඔහුව තම ‘සදාකාල පියා’ කරගනිමින් ඔවුන්ට ඔහුගේ පවුලේ සාමාජිකයන් වීමට හැකියි.—යෙසායා 9:6, 7.

යේසුස්ගේ මිදීමේ මිල පූජාව, කීකරු මනුෂ්‍යවර්ගයාට දෙවිගේ දයාවත්, සදාකාල ජීවනයත් ලබාගැනීමට මාර්ගය විවෘත කළා. ඒ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘පාපයේ කුලී නම් මරණයය. නමුත් දෙවිගේ දීමනාව නම්, අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළ සදාකාල ජීවනයය.’ (රෝම 6:23) මිදීමේ මිලය හා බැඳී තිබෙන ප්‍රේමය හා දයානුකම්පාව වෙනුවෙන් යෙහෝවාට ප්‍රශංසා නොකර සිටින්න අපට බැහැ. ඔහු එය සැපයුවේ ඔහුටත්, ඔහුගේ දයාබර ප්‍රේමනීය පුත්‍රයාටත් සෑහෙන පාඩුවක් කරගනිමිනුයි. (යොහන් 3:16) එමෙන්ම යේසුස්ව ස්වර්ගික ජීවිතයට නැවත නැඟිටුවා, ස්වර්ගයේදී ඔහුගේ මිදීමේ මිල පූජාවේ අගය දෙවිට ඉදිරිපත් කළ විට, ඔහු සැබවින්ම ‘පියා සමඟ පිහිටවන්නෙක්’ බව ඔප්පු කළා. a (හෙබ්‍රෙව් 9:11, 12, 24; 1 පේතෘස් 3:18) නමුත් ස්වර්ගයේ සිටින යේසුස් ක්‍රිස්තුස් දැන් අපේ පිහිටට සිටින්නා වන්නේ කෙසේද?

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ පරිච්ඡේද 4 සහ 7 බලන්න.

[4වන පිටුවේ පින්තූරය]

ආදම්ගෙන් පැවත එන්නන්ව මුදවාගැනීමට යේසුස්ගේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය මිලයක් වුණා