Skip to content

පටුනට යන්න

යෙහෝවා අපට මඟ පෙන්වන අයුරු

යෙහෝවා අපට මඟ පෙන්වන අයුරු

යෙහෝවා අපට මඟ පෙන්වන අයුරු

“ධර්මිෂ්ඨ මාවතේ මා ගෙන යන්න.”—ගීතාවලිය 27:11NW.

1, 2. (අ) අදදින යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කෙසේද? (ආ) රැස්වීම්වලින් පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා කළ යුතු දේවල් මොනවාද?

 යෙහෝවා ආලෝකයේ සහ සත්‍යයේ උල්පත බව අපි කලින් ලිපිය සාකච්ඡා කරද්දී දැනගත්තා. අපි ධර්මිෂ්ඨ මාවතේ ගමන් කරන විට ඔහුගේ වචනය එම මාවත ආලෝකවත් කරනවා. යෙහෝවා අපිට මඟ පෙන්වන්නේ ඔහුගේ මාර්ග අපිට ඉගැන්වීමෙනුයි. (ගීතාවලිය 119:105) පුරාණයේ විසූ ගීතිකාකරු මෙන් අපිත් ස්තුතිපූර්වකව දෙවිගේ මඟ පෙන්වීම් පිළිගනිමින් මෙසේ යාච්ඤා කරමු: “යෙහෝවා ඔබගේ මාර්ගය මට උගන්වන්න. ධර්මිෂ්ඨ මාවතේ මා ගෙන යන්න.”—ගීතාවලිය 27:11NW.

2 අදදින යෙහෝවා අපිට උගන්වන එක් මාර්ගයකි ක්‍රිස්තියානි රැස්වීම්. (1) නිතිපතා පැමිණීමෙන්ද, (2) ඉදිරිපත් කරන තොරතුරුවලට හොඳින් සවන් දීමෙන්ද, (3) සබයේ සහභාගිත්වය ඇතුව හසුරුවන කොටස්වලදී, අදි මදි නොකර ඒවාට හවුල් වීමෙන්ද අපි මෙම ප්‍රේමනීය සැපයුමෙන් පූර්ණ ප්‍රයෝජන ගන්නවාද? ඒ වගේම, “ධර්මිෂ්ඨ මාවතේ” දිගටම ගමන් කිරීමට අපිට උපකාරවත් වන යෝජනා ලැබෙන විට අපි ඒවා ස්තුතිපූර්වකව පිළිගන්නවාද?

රැස්වීම්වලට ඔබේ පැමිණීම කොහොමද?

3. පූර්ණ කාලීන සේවයේ නිරත වන සහෝදරියක් නිතිපතා රැස්වීම්වලට යෑමේ යහපත් පුරුද්ද ඇති කරගත්තේ කෙසේද?

3 ඇතැම් රාජ්‍ය ප්‍රචාරකයන් කුඩා කාලයේ සිටම නිතිපතා රැස්වීම්වලට පැමිණෙනවා. “එක්දහස් නවසිය තිස්ගණන්වලදී, ඒ කියන්නේ මමත් මගේ වැඩිමල් අක්කත් පොඩි කාලේදී, අපි රැස්වීමට යනවද නැද්ද කියල අපේ දෙමාපියන්ගෙන් අහන්න අවශ්‍ය වුණේ නැහැ. අසනීපයක් හැරෙන්න වෙන කිසිම හේතුවක් නිසා අපි රැස්වීම් අතපසු කරන්නේ නැහැ කියල අපි දැනගෙන සිටියා. අපේ පවුලේ අය එක රැස්වීමක්වත් අතපසු කළේ නැහැ” කියා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වශයෙන් පූර්ණ කාලීන සේවයේ නිරත වන සහෝදරියක් සිහිපත් කරනවා. අනාගතවක්තෘවරියක් වූ ආනා වගේ මේ සහෝදරිය යෙහෝවාගේ නමස්කාර ස්ථානයට යෑම ‘කවදාවත් අතපසු කළේ නැහැ [NW].’—ලූක් 2:36, 37.

4-6. (අ) සමහර රාජ්‍ය ප්‍රචාරකයන් රැස්වීම් අතපසු කරන්නේ ඇයි? (ආ) රැස්වීම්වලට පැමිණීම ඉතාමත් වැදගත් වන්නේ ඇයි?

4 ඔබ නිතිපතා රැස්වීම්වලට පැමිණෙන අයගෙන් කෙනෙක්ද? නැත්නම් ඉඳහිට රැස්වීම්වලට පැමිණෙන කෙනෙක්ද? රැස්වීම්වලට පැමිණීම සම්බන්ධයෙන් තමන් හොඳ තත්වයක සිටිනවා කියා සිතූ ක්‍රිස්තියානීන් කිහිපදෙනෙක් තමන්ගේ සැබෑ තත්වය සෝදිසි කර බැලීමට තීරණය කළා. ඔවුන් යම් නිශ්චිත සති ගණනක් තමන් රැස්වීම්වලට යන හැම වතාවක්ම සටහන් කළා. එම සති ගණනින් පසු, සටහන පරීක්ෂා කර බලද්දී, තමන් අතපසු කර තිබෙන රැස්වීම් ගණන දැකල ඔවුන් පුදුම වුණා.

5 ‘ඒක ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෙමෙයි. අද අපි හුඟාක් ගැටලු ප්‍රශ්නවලින් වට වෙලයි ඉන්නේ, ඒ හින්දා නිතිපතාම රැස්වීම්වලට යන එක එච්චර ලෙහෙසි නැහැ’ කියා සමහරු කියන්න පුළුවන්. අපි ජීවත් වන්නේ ගැටලු ප්‍රශ්නවලින් පිරි කාලයක බව සහතික ඇත්ත. මේ තත්වය තව තවත් නරක අතට හැරෙන බවට කිසිම සැකයක් නැහැ. (2 තිමෝති 3:13) නමුත් ඉහත හේතූන් නිසාම නිතිපතා රැස්වීම්වලට පැමිණීමේ අවශ්‍යතාව තවත් වැඩි වන්නේ නැද්ද? අප ආත්මිකව නිරෝගිව සිටීම සඳහා නිතිපතා පදනමක් මත පෝෂ්‍යදායී ආත්මික ආහාර වේලක් භුක්ති විඳින්නේ නැතුව, මේ පිළිවෙළ මගින් ඇති කරන පීඩන ඉදිරියෙහි නොසැලී ස්ථීරව සිටින්න හැකි වෙයි කියා අපිට සිතිය නොහැකියි. අපි සෙසු ක්‍රිස්තියානීන් සමඟ නිතිපතා ඇසුර භුක්ති විඳින්නේ නැත්නම්, “ධර්මිෂ්ඨයන්ගේ මාවත” අත්හැරීම සඳහා ඇති වන පරීක්ෂාවලට අපි හසු විය හැකියි. එහි ප්‍රතිඵලයක් හැටියට අපි එම මාවත සම්පූර්ණයෙන්ම අත්හැරිය හැකියි. (හිතෝපදේශ 4:18) දවස අවසානයේ වෙහෙස මහන්සි වී ගෙදර ආවට පස්සේ රැස්වීමකට යන එක හරිම අමාරුයි කියා සමහර අවස්ථාවලදී අපිට හැඟෙන්න පුළුවන්. එහෙත්, අපි වෙහෙස නොබලා රැස්වීම්වලට යනවා නම්, අපි බොහෝ ප්‍රයෝජන අත් කරගන්නවා. ඒ විතරක් නොවෙයි, අපේ පැමිණ සිටීමෙන් රාජ්‍ය ශාලාවට රැස් වී සිටින සෙසු ක්‍රිස්තියානීන් දිරිගැන්වීමක්ද ලබනවා.

6 අපි නිතිපතා රැස්වීම්වලට යා යුතු වීමට තවත් වැදගත් හේතුවක් හෙබ්‍රෙව් 10:25හි සඳහන් වෙනවා. මෙහිදී ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට එකට එක්රැස් වෙන්න කියාත්, ‘ඒ දවස ළං වන බව ඔවුන් දකින විට වඩ වඩා එසේ කරන්න’ කියාත් අනුශාසනා කරනවා. ‘යෙහෝවාගේ දවස’ ළං වෙමින් තිබෙන බවට වූ කාරණය අපේ මනසින් මැකී යෑමට අපි ඉඩ නොදිය යුතුයි. (2 පේතෘස් 3:11) මේ පිළිවෙළේ අවසානයට තව බොහෝ කල් තිබෙනවා කියා අපි සිතුවොත්, රැස්වීම්වලට පැමිණීම වැනි අත්‍යවශ්‍ය ආත්මික කාරණාවලට හිමි විය යුතු තැන පෞද්ගලික ලුහුබැඳීම්වලට දීමට ඉඩ තිබෙනවා. මෙවැනි තත්වයකට ඉඩහැරියොත් යේසුස් අනතුරු ඇඟෙව්වාක් මෙන් ‘ඒ දවස හදිසියෙන් අප මත පැමිණිය හැකියි.’—ලූක් 21:34.

හොඳ සවන්දෙන්නෙක් වන්න

7. දරුවන් රැස්වීම්වලදී අවධානය දීම වැදගත් වන්නේ ඇයි?

7 රැස්වීම්වලට පැමිණීම පමණක් මදි. රැස්වීම්වලදී අපිට අසන්න ලැබෙන දේවලට අපි කිට්ටු අවධානයක් දෙමින් පරෙස්සමින් සවන් දිය යුතුයි. (හිතෝපදේශ 7:24) අපේ දරුවන්ද මෙයට ඇතුළත් වෙනවා. දරුවෙක් පාසැල් යන විට, ගුරුවරයා උගන්වන දේවලට අවධානය දීම, ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා. ඇතැම් අවස්ථාවලදී සලකා බලන විෂය ඔහුට සිත්ගන්නේ නැති වුණත්, තේරුම්ගැනීමට අමාරුයි වගේ හැඟුණත්, සවන් දීම ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා. අවධානය දීමට දරුවා උත්සාහ කරනවා නම්, ඔහු උගන්වන දෙයින් අඩුම තරමින් සුළු ප්‍රයෝජනයක් හෝ ලබන බව ගුරුවරයා දන්නවා. එසේනම්, පාසැල් යන වයසේ සිටින දරුවන්ට රැස්වීම පටන්ගත් විගස නිදාගැනීමට ඉඩහරිනවා වෙනුවට, රැස්වීමේදී උගන්වන දේවලට අවධානය දීම ඔවුන්ගෙන් බලාපොරොත්තු වීම සාධාරණ නොවේද? ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් අනර්ඝ සත්‍යයන් අතර “තේරුම්ගන්ට අමාරු සමහර [දේවල්]” තිබෙන බව ඇත්තයි. (2 පේතෘස් 3:16) එහෙත් දරුවෙකු සතු ඉගෙනගැනීමේ හැකියාව අපි අඩුවෙන් තක්සේරු නොකළ යුතුයි. දෙවි එසේ කරන්නේ නැහැ. ‘අසා ඉගෙනගෙන යෙහෝවාට භය වී, මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්න බලාගන්න’ කියා දෙවි බයිබල් කාලවල සිටි ඔහුගේ ළාබාල සේවකයන්ට අණ කළා. (ද්විතීය කථාව 31:12; සසඳන්න, ලෙවී කථාව 18:1-30) යෙහෝවා ඊට වඩා අඩු දෙයක් අදදින සිටින දරුවන්ගෙන් බලාපොරොත්තු වෙයිද?

8. රැස්වීම්වලදී දරුවන්ට අවධානය යොමු කිරීමට උපකාර කිරීම සඳහා සමහර දෙමාපියන් කරන්නේ මොනවාද?

8 තම දරුවන් රැස්වීම්වලදී සවන් දෙන දේවලින් ඔවුන්ගේ ආත්මික අවශ්‍යතාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගන්න බව ක්‍රිස්තියානි දෙමාපියන් තේරුම්ගෙන තිබෙනවා. එනිසා, ඉගෙනගැනීමට සූදානම් වූ මනසකින් හා ප්‍රබෝධවත් ගතියකින් රාජ්‍ය ශාලාවට පැමිණීමට හැකි වන පරිදි, සමහර දෙමාපියන් රැස්වීමට එන්න කලින් ඔවුන්ගේ දරුවන්ට හොඳ නින්දක් ලබා දෙනවා. තවත් සමහර දෙමාපියන් රැස්වීම්වලට කලින් දා රාත්‍රියේ රූපවාහිනිය නැරඹීම සම්බන්ධයෙන් නැණවත් ලෙස තම දරුවන්ට දැඩි සීමා පැනවිය හැකියි. (එපීස 5:15, 16) මෙසේ කටයුතු කරන දෙමාපියන් තම දරුවන්ගේ වයසට හා හැකියාවන්ට අනුව සවන් දීමට හා ඉගෙනගැනීමට ඔවුන්ව දිරිමත් කරමින්, ඔවුන්ගේ සිත වෙනතකට යොමුවීමට තිබෙන ඉඩ කඩ හැකි තාක් දුරට අඩු කරනවා.—හිතෝපදේශ 8:32.

9. අපේ සවන් දීමේ හැකියාව දියුණු කරගත හැක්කේ කෙසේද?

9 “නුඹලා අසන්නේ කෙසේද කියා බලාගන්න” කියා යේසුස් පවසමින් සිටිද්දී, ඔහු කතා කරමින් සිටියේ වැඩිහිටියන්ටයි. (ලූක් 8:18) මේ කාලයේදී එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම අපහසුයි. යමක් උකහාගැනීමේ අරමුණින් සවන් දීම අමාරු දෙයක් බව පිළිගත යුතුයි. එහෙත් සවන් දීමේ හැකියාව දියුණු කළ හැකියි. ඔබ කතාවකට හෝ රැස්වීමේ වෙනත් කොටසකට සවන් දෙන විට එහි මූලික අදහස් වෙන් කර හඳුනාගැනීමට උත්සාහ කරන්න. කථිකයා ඊළඟට කියන්න යන්නේ මොනවාද කියා කලින්ම සිතන්න. ඔබට දේවසේවයේදී භාවිත කළ හැකි කරුණු හෝ ඔබේ ජීවිතයට අදාළ කරගත හැකි කරුණු මොනවාද කියා සිතන්න. මෙම කරුණු ඉදිරිපත් කරනු ලබන විට ඒවා මනසින් නැවත සලකා බලන්න. කෙටි සටහන් ගන්න.

10, 11. හොඳ සවන්දෙන්නන් වීමට සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ට උපකාර කර තිබෙන්නේ කෙසේද? මෙහිදී ඔබ යොදාගෙන තිබෙන ක්‍රම මොනවාද?

10 සවන් දීමේ හොඳ පුරුදු ඉතා පහසුවෙන් ඉගෙනගන්නේ කුඩා කාලයේදීයි. සමහර දෙමාපියන් තවමත් පාසැල් යන්නේ නැති ඔවුන්ගේ කුඩා දරුවන් කියවන්න හා ලියන්න ඉගෙනගන්න කලින් පවා රැස්වීම්වලදී “සටහන්” ගන්න ඔවුන්ව දිරිමත් කරනවා. “යෙහෝවා,” “යේසුස්” හා “රාජ්‍යය” වැනි හුරුපුරුදු වචන ඇසෙන විට, ඒ කුඩා දරුවන් කඩදාසි කොළයක ලකුණක් දමනවා. මේ විදිහට, වේදිකාවෙන් ඉදිරිපත් කරන තොරතුරුවලට තමන්ගේ මනස යොමු කර තබාගැනීමට කුඩා දරුවන්ට ඉගෙනගත හැකියි.

11 සමහර අවස්ථාවලදී අවධානය යොමු කිරීම සඳහා වයසින් වැඩි දරුවන්ටත් දිරිගැන්වීම අවශ්‍යයි. සමුළුවක වැඩසටහන අතරතුර තමන්ගේ එකළොස් හැවිරිදි පුතා දවල් හීන දකිමින් සිටිනවා දුටු පියෙක්, මේ නහඹරයාගේ අතට බයිබලය දී, කථිකයන් බයිබල් පද කියවද්දී ඒවා පෙරළා බලන්න කියා පැවසුවා. කෙටි සටහන් ගනිමින් සිටි පියා ඔහුගේ පුතා පෙරළන බයිබලයෙන්ම පද බැලුවා. ඉන්පසු මේ ළමයා පෙරට වඩා උනන්දුවෙන් සමුළු වැඩසටහනට සවන් දුන්නා.

ඔබේ හඬ ඇසෙන්න සලස්වන්න

12, 13. සභා රැස්වීම්වලදී ගීතිකා ගායනා කරන විට, එයට හවුල් වීම වැදගත් වන්නේ මන්ද?

12 දාවිත් රජ මෙසේ ගායනා කළා: “අහෝ යෙහෝවා, ස්තුති කිරීමේ මහත් ශබ්දය ඇසෙන්ට සලස්වමින් ගෞරව පිණිස ඔබගේ පූජාසනය වටේ ගමන් කරන්නෙමි.” (ගීතාවලිය 26:6, 7NW) අපේ ඇදහිල්ල හඬනඟා ප්‍රකාශ කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් මගින් අපිට කදිම ප්‍රස්තා ලබා දෙනවා. අපට මෙය කළ හැකි එක් මාර්ගයක් නම්, සභාවේදී ගීතිකා ගායනා කරන විට, ඒවාට හවුල් වීමයි. මෙය අපේ නමස්කාරයේ වැදගත් අංගයක් වුවත්, එයට හවුල් වීමේ අවස්ථාව අපේ අතින් පහසුවෙන්ම මඟහැරී යා හැකියි.

13 අකුරු කියවන්න බැරි වුණත් සමහර කුඩා ළමයි සෑම සතියකම රැස්වීම්වලදී ගායනා කරනු ලබන රාජ්‍ය ගීතිකාවල පද මාලාව කටපාඩම් කරගන්නවා. ලොකු අයත් සමඟ එක් වී, ගීතිකා ගායනා කරන්න මේ අය හරිම ආසයි. කෙසේවෙතත්, මේ ළමයි ටිකක් වයසින් වැඩුණු පසු, රාජ්‍ය ගීතිකා ගායනා කිරීමේදී කලින් තිබූ උද්‍යෝගය දක්නට නොලැබේ. සමහර වැඩිහිටියන් පවා රැස්වීම්වලදී ගීතිකා ගායනා කරන්න ලැජ්ජයි. එහෙත්, දේවසේවයේ හවුල් වීම අපේ නමස්කාරයේ කොටසක් වන්නාක් මෙන්ම ගීතිකා ගායනා කිරීමත් අපේ නමස්කාරයේ කොටසක් වෙනවා. (එපීස 5:19) දේවසේවයේ හවුල් වන විට යෙහෝවාව ගෞරවයට පත් කිරීම සඳහා අපි හැකි උපරිමය කරනවා. අපේ හඬ මිහිරි වුණත් නැතත්, හද පත්ලෙන්ම නැඟෙන හැඟීම් සමඟින් ප්‍රශංසාත්මක ගීතිකා ගායනා කිරීමෙහි හවුල් වීමට අපේ තොල් විවෘත කිරීමෙන් අපට යෙහෝවාව මහිමයට පත් කළ නොහැකිද?—හෙබ්‍රෙව් 13:15.

14. අපි සභා රැස්වීම්වලදී පාඩම් කරන ප්‍රකාශනවල අඩංගු තොරතුරු කලින් සූදානම් වීම වටින්නේ මන්ද?

14 අපේ රැස්වීම්වල සබයේ සහභාගිත්වය ඇතුව හසුරුවන කොටස්වලදී ගොඩනංවනසුලු අදහස් දැක්වීමෙන් අපිට දෙවිව ප්‍රශංසාවට පත් කළ හැකියි. මේ සඳහා සූදානම් වීම අවශ්‍යයි. දෙවිගේ වචනයේ ගැඹුරු දේවල් මෙනෙහි කිරීමට කාලය අවශ්‍යයි. ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම පිළිබඳ ජ්වලිතවත් ශිෂ්‍යයෙකු වූ ප්‍රේරිත පාවුල් මේ කාරණය අවබෝධ කරගත්තා. ඔහු මෙසේ ලිව්වා: “අහෝ, [දෙවිගේ] ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද!” (රෝම 11:33) පවුල් මූලිකයෙනි, ශුද්ධ ලියවිලිවල අනාවරණය කර තිබෙන දෙවිගේ ප්‍රඥාව සොයාබැලීමට ඔබේ පවුලේ සෑම සාමාජිකයෙකුටම උපකාර කිරීම ඉතාමත් වැදගත්. අමාරු කරුණු පැහැදිලි කර දීමටත් රැස්වීම්වලට සූදානම් වීම සඳහා ඔබේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය උපකාරය ලබා දීමටත් ඔබේ පවුලේ පාඩමෙන් ටික වේලාවක් වෙන් කරන්න.

15. රැස්වීම්වලදී අදහස් දැක්වීමට යමෙකුට උපකාරවත් විය හැකි යෝජනා මොනවාද?

15 රැස්වීම්වලදී නිතර අදහස් දැක්වීමට ඔබ කැමති නම්, ඔබ පවසන්න යන දෙය කලින්ම සූදානම් වීම හොඳ අදහසක් නොවේද? දීර්ඝ විස්තර ඇතුළත් කිරීම අවශ්‍ය නැහැ. ඒත්තුගන්වනසුලු අයුරින් යෝග්‍ය බයිබල් පාඨයක් කියවීම හෝ තමන්ගේ හදවතින්ම පැනනඟින හොඳින් තෝරාගත් වචන කිහිපයකින් අදහස් ඉදිරිපත් කිරීම අනිත් අය අගය කරාවි. සමහර ප්‍රචාරකයන් යම් ඡේදයකට අදාළ මුල්ම අදහස් දැක්වීම තමන්ගෙන් අසන්න කියා පාඩම මෙහෙයවන්නාගෙන් කලින්ම ඉල්ලා සිටිනවා. මෙසේ කිරීමෙන් තමන්ගේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රස්තාව ඔවුන්ගෙන් ගිලිහී යන්නේ නැහැ.

අද්දැකීම් අඩු අයව නැණවත් කරවයි

16, 17. වැඩිමහල්ලෙක් උපස්ථායක සේවකයෙකුට දුන් උපදේශය කුමක්ද? එය බලපෑමෙන් යුක්ත එකක් වූයේ මන්ද?

16 දෙවිගේ වචනය දිනපතා කියවන්න කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී අපිට නිතරම මතක් කරනවා. දිනපතා බයිබලය කියවීමෙන් සිතට ආත්මික ප්‍රබෝධයක් දැනෙනවා. මෙය නැණවත් තීරණ ගැනීමට හා දුර්වල ගතිලක්ෂණ හරිගස්සාගැනීමට උපකාරවත් වෙනවා. ඒ වගේම, පරීක්ෂාවලට එරෙහිව සිටීමටත්, අපි වැරදි පියවරක් තබා තිබෙනවා නම්, අපේ ආත්මික සමබරතාව යළි ඇති කරගැනීමටත් එය උපකාරවත් වෙනවා.—ගීතාවලිය 19:7.

17 සභාවල සිටින අද්දැකීම් ලත් වැඩිමහල්ලන් අපේ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ උපදෙස් සැපයීමට නිතර සූදානමින් සිටිනවා. අපිට කරන්න තිබෙන්නේ බයිබලය මත පදනම් වූ ඔවුන්ගේ උපදෙස් ඉල්ලා, ඒවායින් ප්‍රයෝජනවත් යමක් ‘ඇදගැනීමයි.’ (හිතෝපදේශ 20:5) දවසක් ජ්වලිතවත් උපස්ථායක සේවකයෙක්, තමන්ට සභාවට වඩාත් ප්‍රයෝජනවත් කෙනෙකු වීම සඳහා වැඩිමහල්ලෙකුගෙන් යම් යෝජනා ඉල්ලා සිටියා. මේ තරුණයාව හොඳින් දැන සිටි වැඩිමහල්ලා, පත් කරන ලද පුරුෂයන් “සාධාරණ, [NW]” විය යුතු බව සඳහන් කරන 1 තිමෝති 3:3 බයිබලයෙන් පෙරළා කියෙව්වා. අනිත් අය සමඟ ඇසුරු කරන විට ඔහුට සාධාරණකම විදහාපෙන්විය හැකි අයුරු මේ වැඩිමහල්ලා කාරුණිකව මෙම තරුණයාට පෙන්වා දුන්නා. අවංකව තමාට පෙන්වා දුන් උපදෙස් ගැන මේ තරුණයා අමනාපයක් ඇති කරගත්තාද? කොහෙත්ම නැහැ! “ඒ වැඩිමහල්ලා මට උපදෙස් දුන්නේ බයිබලය පාවිච්චි කරලයි. එනිසා ඒ උපදේශය ලැබුණේ යෙහෝවාගෙන් කියල මම තේරුම්ගත්තා” කියා ඔහු පැහැදිලි කළා. මේ උපස්ථායක සේවකයා ස්තුතිපූර්වකව එම උපදේශය අදාළ කරගත් අතර, දැන් කදිම වර්ධනයක් ලබමින් සිටිනවා.

18. (අ) පාසැල් අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී එක් ක්‍රිස්තියානි යෞවනියකට පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දීමට උපකාරවත් වූයේ කුමක්ද? (ආ) පරීක්ෂාවලට මුහුණ දෙන විට ඔබට සිහිපත් වන බයිබල් පාඨ නම් කරන්න.

18 තරුණයන්ට “යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව” සිටීමට උපකාර කරන්න දෙවිගේ වචනයට හැකියි. (2 තිමෝති 2:22) මෑතකදී උසස් පෙළ අධ්‍යාපනය අවසන් කළ තරුණ සාක්ෂිකාරියකට, ඇතැම් බයිබල් පාඨ මෙනෙහි කිරීම හා ක්‍රියාවට නැංවීම නිසා, ඇය පාසැලේ අධ්‍යාපනය ලැබූ කාලය පුරා එල්ල වූ පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දීමට හැකි වුණා. ඈ නිතරම හිතෝපදේශ 13:20හි සඳහන් මෙම උපදේශය සිහිපත් කළා: “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය.” මෙසේ කටයුතු කළ නිසා, ඈ කල්පනාකාරි ලෙස මිත්‍රත්වයක් ඇති කරගත්තේ ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ප්‍රතිපත්තිවලට ගැඹුරු ගෞරවයක් පෙන්වූ අය සමඟ පමණයි. ඈ මෙසේ පැහැදිලි කළා: “මම අනිත් අයට වඩා යහපත් කෙනෙක් කියල මම කියන්නේ නැහැ. මම නරක අය සමඟ මිත්‍රත්වයක් ඇති කරගත්තොත් මම උත්සාහ කරන්නේ ඔවුන්ව සතුටු කරන විදිහට හැසිරෙන්නයි. ඒක කරදරවලට මඟ පාදනවා.” පාවුල් 2 තිමෝති 1:8හි සඳහන් කළ උපදේශයද ඇයට උපකාරවත් වුණා. ඔහු මෙසේ ලිව්වා: ‘අපගේ ස්වාමීන්ගේ සාක්ෂිය ගැන ලජ්ජා නොවන්න. ශුභාරංචිය නිසා දුක් විඳින්න.’ මෙම බයිබල් උපදේශයට එකඟව කටයුතු කරමින්, ඈ සුදුසු සෑම අවස්ථාවකදීම ඇගේ පන්තියේ අය සමඟ බයිබලය මත පදනම් වූ ඇගේ විශ්වාසයන් ගැන නිර්භීතව කතා කළා. වාචික වාර්තාවක් පන්තියට ඉදිරිපත් කිරීමට පැවරුමක් දුන් සෑම අවස්ථාවකදීම ඇය උපායශීලී ලෙස දෙවිගේ රාජ්‍යය ගැන සාක්ෂියක් දිය හැකි මාතෘකාවක් තෝරාගත්තා.

19. එක් තරුණයෙකුට මේ ලෝකයේ පීඩනවලට එරෙහිව සිටීමට නොහැකි වූයේ මන්ද? පසුව ඔහුට ආත්මිකව ශක්තිමත් වීමට උපකාරවත් වූයේ කුමක්ද?

19 අපි යම් විදිහකින් ‘ධර්මිෂ්ඨයන්ගේ මාවතෙන්’ හැරී වැරදි මාවතක ගමන් කළොත්, අපි යන මඟ නිවැරදි කරගැනීමට උපකාර කරන්න දෙවිගේ වචනයට හැකියි. (හිතෝපදේශ 4:18) අප්‍රිකාවේ වෙසෙන තරුණයෙක් සත්‍යය දැනගත් මුල් කාලයේදීම මෙය අද්දැක්කා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඔහුව හමු වූ අවස්ථාවේදී බයිබල් පාඩමක් කරන්න ඔහු කැමති වුණා. ඔහු ඉගෙනගනිමින් සිටි දේවල් සතුටින් පිළිගත්තත්, වැඩි කල් නොගොස් ඔහු පාසැලේ නරක මිතුරන් සමඟ ඇසුරු කරන්න පටන්ගත්තා. කල්ගත වීමත් සමඟ ඔහු ටිකෙන් ටික දුරාචාර ජීවිත රටාවකට නැඹුරු වුණා. “මගේ හෘද සාක්ෂිය මට වද දෙන්න පටන්ගත්තා. මේ හින්දා මම රැස්වීම්වලට යන එක නතර කළා” කියා ඔහු පිළිගන්නවා. පසු කලෙක ඔහු නැවතත් රැස්වීම්වලට පැමිණෙන්න පටන්ගත්තා. මෙම තරුණයා අවංකවම මෙසේ අදහස් පළ කළා: “මේ හැම දෙයකටම ප්‍රධාන හේතුව මම ආත්මිකව හාමතේ සිටීම බව මට වැටහුණා. මම පෞද්ගලික පාඩම කළේ නැහැ. පරීක්ෂාවලට එරෙහිව සිටින්න මට නොහැකි වුණේ ඒ නිසයි. පස්සේ මම මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවන්න පටන්ගත්තා. මම නැවතත් ආත්මිකව ශක්තිමත් වෙලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. මෙය මගේ ජීවිතයේ වෙනස්කම් දැක්ක අයට හොඳ සාක්ෂියක් වුණා. මම දැන් බව්තීස්ම වෙලා සතුටින් ජීවත් වෙනවා.” මෙම තරුණයාට ඔහුගේ මාංශික දුර්වලකම්වලින් ජයගැනීමට ශක්තිය ලැබුණේ කුමකින්ද? ඔහු නැවතත් ආත්මිකව ශක්තිමත් වුණේ නිතිපතා පෞද්ගලික බයිබල් පාඩම කිරීමෙනුයි.

20. සාතන්ගේ ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දීමට යෞවන අයට හැක්කේ කෙසේද?

20 යෞවනයෙනි, අද ඔබ ප්‍රහාරයකට ලක් වී සිටිනවා. සාතන්ගෙන් එල්ල වන ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දීමට නම්, ඔබ නිතිපතා ආත්මික ආහාරවලින් පෝෂණය විය යුතුයි. තරුණ වියේ පසු වූ ගීතිකාකරු මෙය තේරුම්ගත්තා. ‘තරුණයෙකුට තමාගේ මාර්ගය පවිත්‍ර කරගැනීම’ සඳහා යෙහෝවා ඔහුගේ වචනය ලබා දීම ගැන ගීතිකාකරු ඔහුට ස්තුති කළා.—ගීතාවලිය 119:9.

දෙවි මඟ පෙන්වන ඕනෑම තැනකට යමු

21, 22. සත්‍යයේ මාර්ගය බොහෝ දුෂ්කරයි කියා අපි නොසිතිය යුත්තේ මන්ද?

21 යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ සිට පොරොන්දු දේශය කරා ගෙන ගියා. ඔහු ඉශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට ගෙන යෑමට තෝරාගත් ගමන් මඟ, මිනිසුන්ගේ දෘෂ්ටිකෝණයට අනුව අනවශ්‍ය වෙහෙසක් ඇති කරවන දුෂ්කර මාර්ගයක් හැටියට පෙනී යා හැකියි. මධ්‍යධරණි මුහුදු සීමාව ඔස්සේ වැටී තිබූ වඩාත් පහසු වගේ පෙනෙන කෙළින් පිහිටා තිබූ ගමන් මඟ තෝරාගන්නවා වෙනුවට, යෙහෝවා ඔහුගේ සෙනඟව ගෙන ගියේ නිශ්චිත ගමන් මඟක් නොමැති සෑහෙන දුරක් ඇවිදින්න තිබූ කාන්තාරයක් දිගෙයි. කෙසේවෙතත්, මෙය දෙවිගේ පැත්තෙන් කාරුණික ක්‍රියාවක් වුණා. මුහුදුබඩ ප්‍රදේශය ඔස්සේ වැටී තිබූ ගමන් මඟ කෙටි මාර්ගයක් වුණත්, එය පිහිටා තිබුණේ ඉශ්‍රායෙල්වරුන්ගේ සතුරු ජාතියක් වූ පිලිස්තිවරුන්ට අයත් ප්‍රදේශයක් හරහායි. වෙනත් මාර්ගයක් තෝරාගැනීමෙන් යෙහෝවා පිලිස්තිවරුන් සමඟ ගමනේ මුලදීම ඇති වෙන්න තිබූ සටන්වලින් ඔවුන්ව වළක්වා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කළා.

22 ඒ හා සමානව, අදදින යෙහෝවා අපිව ගෙන යන ගමන් මඟ සමහර අවස්ථාවලදී ගමන් කිරීමට අමාරු මාර්ගයක් මෙන් පෙනෙන්න පුළුවන්. සෑම සතියකම අපිට සභා රැස්වීම්, පෞද්ගලික පාඩම හා ක්ෂේත්‍ර සේවය ඇතුළු ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලින් පිරුණු කාලසටහනක් තිබෙනවා. වෙනත් මාර්ගවල ගමන් කිරීමට වඩාත් පහසු වගේ පෙනෙන්න පුළුවන්. නමුත් අපි ළඟාවීමට දැඩි වෙහෙසක් දරන අපගේ ගමනාන්තයට ළඟා විය හැක්කේ දෙවි මඟ පෙන්වන ගමන් මාර්ගයේ යනවා නම් පමණයි. එනිසා, යෙහෝවාගෙන් ලැබෙන අනගි උපදෙස් ක්‍රියාවට නංවමින් අත් නොහැර දිගටම “ධර්මිෂ්ඨ මාවතේ” ගමන් කරමු!—ගීතාවලිය 27:11.

ඔබට පැහැදිලි කළ හැකිද?

• නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමේ අවශ්‍යතාව ගැන අපි විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ මන්ද?

• රැස්වීම්වලදී අවධානය යොමු කිරීම සඳහා තම දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට කළ හැකි දේවල් මොනවාද?

• හොඳ සවන්දෙන්නෙකු වීමට ඇතුළත් වන්නේ මොනවාද?

• රැස්වීම්වලදී අදහස් දැක්වීමට අපිට උපකාරවත් විය හැකි දේවල් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16, 17වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම, යෙහෝවාගේ දවස මනසෙහි තබාගැනීමට අපිට උපකාරවත් වේ

[18වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානි රැස්වීම්වලදී යෙහෝවාව ප්‍රශංසාවට ලක් කළ හැකි ක්‍රම බොහොමයක් තිබේ