Skip to content

පටුනට යන්න

සෙනිගාල්හි ක්‍රිස්තියානි බලාපොරොත්තුව බෙදා දීම

සෙනිගාල්හි ක්‍රිස්තියානි බලාපොරොත්තුව බෙදා දීම

අපි ඇදහිල්ල ඇත්තෝ වන්නෙමු

සෙනිගාල්හි ක්‍රිස්තියානි බලාපොරොත්තුව බෙදා දීම

මාළු පුරාණයේ සිටම මිනිසාගේ ප්‍රධාන ආහාරය වී තිබුණා. අවුරුදු දහස් ගණනක් පුරා මුහුදු, ගංගා, වැව් ආදියෙන් මසුන් අල්ලා තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ සමහර ගෝලයන් පවා ධීවරයන්ව සිටියා. ඔවුන් මසුන් ඇල්ලුවේ ගලීල මුහුදේ. කෙසේ නමුත් යේසුස් ඔවුන්ට වෙනත් ආකාරයක මසුන් ඇල්ලීමක් හඳුන්වා දුන්නා. මෙය ආත්මික මසුන් ඇල්ලීමක් වන අතර එයින් ධීවරයාට විතරක් නොවෙයි මසුන්ටත් ප්‍රයෝජන අත් වෙයි.

මේ සම්බන්ධයෙන් ධීවරයෙක් වූ පේතෘස්ට යේසුස් මෙසේ පැවසුවා: “මෙතැන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇත.” (ලූක් 5:10) මේ ආකාරයේ මසුන් ඇල්ලීමක් අදදින සෙනිගාලය ඇතුළු රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක සිදු කෙරෙනවා. (මතෙව් 24:14) සෙනිගාල්හි නවීන දින “මනුෂ්‍යයන් අල්ලන්නන්” තමන්ගේ ක්‍රිස්තියානි බලාපොරොත්තුව අනිත් අයට නිර්භීතව දේශනා කරමින් සිටිනවා.—මතෙව් 4:19.

සෙනිගාලය පිහිටා ඇත්තේ අප්‍රිකාවේ බටහිර මායිමෙයි. උතුරු සහරා වැලිකතරේ සිට දකුණු මායිමේ පිහිටි කසමන්සා කලාපයේ තෙත් වනාන්තර දක්වා ප්‍රදේශ සෙනිගාලයට අයත් වෙනවා. කාන්තාරයෙන් හමන වියළි සුළඟ වගේම අත්ලන්තික් සාගරයේ සීතල සුළඟද සෙනිගාලය හරහා හමා යනවා. මෙහි මිලියන නවයකට වඩා ජනගහනයක් ජීවත් වන අතර, ඔවුන් ආගන්තුක සත්කාරයට ලැදිවූවන් ලෙස නම් දරා තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ක්‍රිස්තියානීන් නොවෙයි. වැඩිදෙනෙක් එඬේරුන්. ඔවුන් හරක්, ඔටුවන් හා එළු රැළවල් බලාගන්නවා. සමහරදෙනෙක් රටකජු, කපු සහ වී වැනි වගාවන්වල නිරත ගොවියෝ. ඒ වගේම අත්ලන්තික් සාගරයෙන් සහ රට හරහා ගලා යන විශාල ගංගාවලින් දැල් පුරවාගෙන මසුන් රැගෙන එන ධීවරයන්ද සිටියි. සෙනිගාල් ආර්ථිකය තුළ ධීවර කර්මාන්තයට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. එහි ජනප්‍රියතම ජාතික ආහාරය වන්නේ මාළු, බත් සහ එළවළුවලින් සෑදූ චිබ් ජෙන්ය.

“මනුෂ්‍යයන් අල්ලන්නන්”

සෙනිගාල්හි දේවරාජ්‍යයේ ජ්වලිත දේශනාකරුවන් 863දෙනෙකු සිටිනවා. මෙහි ආත්මික මසුන් ඇල්ලීම ආරම්භ කළේ 1950දීයි. අගනුවර වන ඩාකාහි 1965දී වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය පිහිටුවනු ලැබූ අතර බොහෝ ඈත රටවලින් මිෂනාරි ‘මසුන් අල්ලන්නන්’ පැමිණියා. ඉන්පසු ‘මනුෂ්‍යයන් ඇල්ලීමේ’ කර්තව්‍යය ආරම්භ කර සෙනිගාල්හි ක්‍රිස්තියානි බලාපොරොත්තුව බෙදාගැනීම ක්‍රමයෙන් ඉදිරියට ගියා. අවසානයේදී, නව ශාඛා කාර්යාලයක් ඩාකා නුවරට අවටින් පිහිටි නගරයක් වන අල්මාඩියස්හි පිහිටුවනු ලැබූ අතර, එය 1999 ජූනි මාසයේදී යෙහෝවාට කැප කළා. මොනතරම් ප්‍රීතියක්ද!

සත්‍යය පිළිගැනීමට ඇති අභියෝගය

විවිධ පසුබිම්වල සිටින මනුෂ්‍යයන්ව නිතර මුණගැසෙන අතර සමහරදෙනෙක් දෙවිගේ වචනයේ ඇති බලාපොරොත්තුව පිළිබඳ පණිවුඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. බොහෝදෙනෙකුට බයිබලය ගැන කිසිම දැනුමක් නෑ. යෙහෝවා දෙවි පුරාණයේ සිටි විශ්වාසවන්ත අනාගතවක්තෲන්ට දුන් පොරොන්දු ඉතාමත් ඉක්මනින් ඉටු වන බව දැනගන්න ඇත්තෙන්ම ඔවුන් හරි කැමතියි.

පාරම්පරික චාරිත්‍ර සහ සිරිත් විරිත් වැනි දේ නිසා ක්‍රිස්තියානි ප්‍රතිපත්ති වෙනුවෙන් ස්ථාවරයක් ගැනීමට ඔවුන්ට විශාල ධෛර්යයක් අවශ්‍යයි. සෙනිගාල්හි සුලභ දෙයක් වන බහුභාර්යා සේවනය මීට හොඳ උදාහරණයක්. බයිබලය පාඩම් කරන විට භාර්යාවන් දෙන්නෙකු සමඟ ජීවත් වූ මිනිසෙකුගේ සිද්ධිය සලකා බලන්න. සත්‍යය පිළිගෙන, එක භාර්යාවකට පමණක් පුරුෂයෙක් වීමේ ශුද්ධ ලියවිලි අවශ්‍යතාව ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ඔහුට තිබුණද? (1 තිමෝති 3:2) ඔහු පළමුවෙන් විවාහ වූ භාර්යාවව පමණක් තබාගනීද? එම මිනිසා ඒ දේ කිරීමට මැළි වුණේ නෑ. ඔහු දැන් ඩාකා නුවර විශාල සභාවක වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. ඔහුගේ පළමු භාර්යාවත් ඇගේ දරුවන් දහදෙනාත් කලින් දෙවෙනි භාර්යාවව සිටි තැනැත්තියගේ දරුවන් දෙදෙනාත් සත්‍යය පිළිගෙන තිබෙනවා.

ක්‍රිස්තියානි බලාපොරොත්තුව පිළිගැනීමට ඇති තවත් බාධකයක් තමයි අකුරු නොදන්නාකම. සත්‍යය පිළිගැනීම සහ ඒ අනුව ක්‍රියා කිරීම අකුරු නොදන්නා පුද්ගලයෙකුට කරන්න බැරි දෙයක් කියා එයින් අදහස් වෙනවාද? ඇත්තෙන්ම නෑ. මීට හොඳම උදාහරණය තමයි තරුණ වයසේ පසු වන දරුවන් අටදෙනෙක් සිටින මවක් වන මාරි. තම රැකියා ස්ථානයට පිටත්ව යෑමට පෙර සහ ඇගේ දරුවන් පාසැලට යන්නට පෙර බයිබලයේ පාඨයක් දරුවන් සමඟ සාකච්ඡා කිරීමේ වැදගත්කම ඇය හඳුනාගත්තා. එහෙත් ඇයට අකුරු කියවන්න බෑ. ඇය මේ දේ කළේ කොහොමද? ඇය හිමිදිරි පාන්දරම දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන පොත් පිංචය රැගෙන නිවස ඉදිරිපිට වැලි පාර ළඟ හිටගෙන ඇයව පසු කර යන අයගෙන් තමා වෙනුවෙන් එය කියවීමට හැකිදැයි අසනවා. කියවීමට හැකි කෙනෙක් මුණගැසුණ විට, “මට අකුරු කියවන්න දන්නේ නෑ. අනේ, අදට තියෙන කොටස මට ඇහෙන්න කියවන්න පුළුවන්ද” කියා ඇය අසනවා. අදාළ කොටස පවසන විට හොඳ අවධානයක් දී එම පුද්ගලයාට ස්තුති කර, පසුව නිවසට ගොස් දරුවන් පාසැලට යන්න පෙර ඒ දේ සාකච්ඡා කරනවා. බලන්න ඇය බාධකය ජයගත් හැටි!

සෑම තරාතිරමක අයම ප්‍රතිචාරය දක්වයි

සෙනිගාල් නගරයේදී මාළු, එළවළු හෝ පලතුරු විකුණන අය සහ විශාල බෙයෝබැබ් ගස් යට හාන්සි වී අටායා කියන තිත්ත කොළ තේ පැන් වර්ගයක රස විඳින අයව මුණගැසෙනවා. මුණගැසෙන සියලුදෙනා සමඟම ශුභාරංචිය බෙදාගැනීම තම එකම ඉලක්කය නිසා සහෝදරයන් දෙදෙනෙක් නගරයේ හිඟමන් ඉල්ලමින් සිටි ආබාධිත පුද්ගලයෙකුටත් කතා කළා. ඔහුට ආචාර කළ පසු, මෙසේ පැවසුවා: “ගොඩක් අය ඔයාට සල්ලි දෙනවා, ඒත් නැවතිලා කතා කරන්නේ නෑ. ඒ වුණාට අපි ආවේ ඔයාගේ අනාගතයට සම්බන්ධ වැදගත් දෙයක් කියන්න.” මේ හිඟන පුද්ගලයා පුදුම වුණා. ඊට පස්සේ සහෝදරයන් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවා. “ඇයි ලෝකය පුරාම මෙතරම් දුක් වේදනාවක් පවතින්නේ?” “එය දෙවිගේ කැමැත්ත කියා” හිඟන්නා පිළිතුරු දුන්නා.

ඊට පසු සහෝදරයන් ඔහුට බයිබලයෙන් හේතු පෙන්නා දී, එළිදරව් 21:4 පහදා දුන්නා. ඇත්තෙන්ම බලාපොරොත්තුවක් ගෙන දෙන මෙම පණිවුඩයට ඔහුගේ සිත ඇදීගියා. ඔහු ගැන සැලකිල්ලක් දක්වලා බයිබලයේ පණිවුඩය ඔහුත් සමඟ බෙදාගැනීම නිසා ඇති වූ ප්‍රීතිය හේතුවෙන් ඔහුගේ ඇස් කඳුළින් පිරුණා. සල්ලි ඉල්ලනවා වෙනුවට ඔහුගේ කැටයේ තිබූ කාසි සියල්ල ගන්න කියා ඔහු සහෝදරයන්ගෙන් අයැද සිටියා. කොයිතරම් පෙරැත්ත කළාද කියනවා නම් එය ඔහුව පසු කර යන අයගේ අවධානයට පවා ලක් වුණා. කොහොම වුණත්, අන්තිමේදී සහෝදරයන් සල්ලි ඔහු ළඟම තියාගන්න ඔහුව කැමති කරවගත්තා. ආයෙත් ඔහුව මුණගැසෙන්න කියා ඔහු මහත් ඕනෑකමකින් ඉල්ලා සිටියා.

ඩාකා නුවර විශ්වවිද්‍යාලයද ආත්මික මසුන් ඇල්ලීමේ දැලට හසු වුණා. එහි සිටි වෛද්‍ය ශිෂ්‍යයෙක් වූ ජෝන් ලුවි බයිබලය පාඩම් කළ අතර ඉක්මනින්ම සත්‍යය පිළිගත්තා. ඔහු යෙහෝවා දෙවිට තම ජීවිතය කැප කර බව්තීස්ම වුණා. ඔහුගේ එකම ආශාව වුණේ පූර්ණ කාලීන පුරෝගාමී සේවය වුවත් ඔහු අධ්‍යාපනය ලබමින් සිටියේ තම මව් රටින් ලද ශිෂ්‍යත්වයකින් නිසා අධ්‍යාපනය සම්පූර්ණ කළ යුතුව තිබුණා. අධ්‍යාපනය ලබන අතරතුර ඔහු උපකාරික පුරෝගාමියෙක් හැටියට සේවය කළා. ඔහු සර්වාංග වෛද්‍යවරයෙක් වශයෙන් තම උපාධිය ගත් පසු අප්‍රිකාවේ විශාල බෙතෙල් නිවාසයේ වෛද්‍යවරයා ලෙස සේවය කිරීමට ඔහුට ආරාධනයක් ලැබුණා. ඩාකා විශ්වවිද්‍යාලයේ තවත් ශිෂ්‍යයෙකු බයිබලය ඉගෙනගත් අතර දැන් ඔහු තම මව් රටේ බෙතෙල් නිවසේ සේවය කරනවා.

සෙනිගාල්හි ආත්මික මසුන් ඇල්ලීම ඇත්තෙන්ම විපාකදායකයි. යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ බයිබල් ප්‍රකාශන මහත් සේ අගය කරන අතර දැන් ස්වදේශීය වොලෆ් භාෂාවෙන් පවා පොත් පත් මුද්‍රණය කරනවා. තමන්ගේම මව් භාෂාවෙන් ශුභාරංචිය අසන්ට ලැබෙන නිසා බොහෝ අවංක හදවත් ඇති අය ප්‍රතිචාරය දක්වනවා. සෙනිගාල්හි ජ්වලිත “මනුෂ්‍යයන් අල්ලන්නන්” විශ්වාසයෙන් හා ධෛර්යයෙන් ක්‍රිස්තියානි බලාපොරොත්තුව බෙදාගැනීමෙහි නිරත වන විට, යෙහෝවාගේ මහත් ආශීර්වාදය සමඟින් තව තවත් සංකේතාත්මක මසුන් අල්ලන්නට හැකි බවට නම් කිසිම සැකයක් නෑ.

[31වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

සෙනිගාල්

[පින්තූරය]

සෙනිගාල්හි ක්‍රිස්තියානි බලාපොරොත්තුව බෙදා දීම

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.