Skip to content

පටුනට යන්න

හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්

හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්

හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්

“සැම්බියානු කිඹුල්ලු මසකට මිනිසුන් 30දෙනෙක්ව ගිල දමයි.” මෙය අවුරුදු කිහිපයකට පෙර අප්‍රිකානු පුවත්පතක පළ වූ යමක්. මෙම උරගයන්ව අධ්‍යයනය කළ සත්ව විද්‍යාඥයෙකුගේ නිරීක්ෂණවලට අනුව, “එක කිඹුලෙක්ව පාලනය කිරීමට නම් මිනිසුන් 12දෙනෙක්ව අවශ්‍ය වෙනවා.” ඇත්තෙන්ම, කිඹුලාගේ ශක්තිමත් විශාල වල්ගය හා හකු දෙස බලද්දී, ඌව දුටු විගසම බොහෝදෙනෙක් බියෙන් වෙළී යන්නේ ඇයි කියා තේරුම්ගැනීම අපහසු දෙයක් නොවෙයි.

අවුරුදු 3,500කට පෙර උතුරු අරාබියට ආසන්නව පිහිටි ඌශ් නම් රටෙහි ජීවත් වූ තම සේවක යෝබ්ට මැවුම්කරු ප්‍රබල පාඩමක් ඉගැන්වූවා. ඔහු මේ සඳහා “චණ්ඩ මෘගයන් කෙරෙහි රජ ව [සිටින]” කිඹුලාව යොදාගත්තා. බයිබලය කිඹුලාව “ලෙවියාතන්” වශයෙන්ද හඳුන්වා දෙනවා. (යෝබ් 41:1, NW, 34) දෙවි ඌව විස්තර කළ ආකාරය සැලකිල්ලට ගන්න. “ඌ අවුස්සන තරමට ධෛර්ය ඇති කෙනෙක් නැත. එසේ වීනම් මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද?” (යෝබ් 41:10) මෙම තර්කය බිඳ හෙළිය හැකි කෙනෙක් සිටිනවාද? ඇත්තෙන්ම නැහැ! කිඹුලා ගැන අපට බියක් දැනෙනවා නම් උගේ මැවුම්කරුට විරුද්ධව කතා කිරීමට ඊට වඩා කොතරම් බියක් දැනිය යුතුද! යෝබ් මෙම පාඩම හිතට ගෙන තම වරද පිළිගත්තා.—යෝබ් 42:1-6.

විශ්වාසවන්තව පීඩා විඳදරාගැනීම පිළිබඳ යෝබ්ගේ ප්‍රබල ආදර්ශය අප කාගෙත් මතකයට නැඟෙයි. (යාකොබ් 5:11) නමුත් යෝබ්ගේ ඇදහිල්ල දැඩි පරීක්ෂාවට ලක්වීමටත් පෙර යෙහෝවා ඔහුට ප්‍රේමයක් දැක්වූ බව පැහැදිලියි. ඔව්, ඒ කාලයේදී දෙවිගේ ඇස් හමුවේ “ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, [දෙවි] කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි [සිටියේ] නැත.” (යෝබ් 1:8) යෝබ් මෙන් යෙහෝවාගේ සිත සතුටු කිරීමට ඔබ කැමති නැද්ද? එසේ නම් ඔහු ගැන වැඩියෙන් දැනගැනීමට වෙර දරන්න.

යෙහෝවාට මුල් තැන දුන්

යෝබ් සෑහෙන ධනවත් මනුෂ්‍යයෙක්. ඔහුට රත්රන්වලට අමතරව තවත් බොහෝ දේපොළ තිබුණා. බැටළුවන් 7,000ක්ද, ඔටුවන් 3,000ක්ද, කොටළු දෙනුන් 500ක්ද, ගොන් බාන් 500ක්ද ඔහුට සිටියා. විශාල සේවක පිරිසක්ද සිටියා. (යෝබ් 1:3) මෙතරම් වස්තු සම්භාරයක් ඔහු සතුව තිබියදීත් යෝබ් විශ්වාසය තැබුවේ යෙහෝවා මතයි. මෙසේ කළේ ඇයි කියා ඔහු අපට පැහැදිලි කර දෙයි. “මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, නුඹ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්, මාගේ සම්පත වැඩි නිසාත් මාගේ අත හුඟක් සම්බකරගත් නිසාත් ප්‍රීතිවීම් නම්, . . . ඉහළ සිටින [සැබෑ දෙවි] මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.” (යෝබ් 31:24-28) යෝබ් ද්‍රව්‍යමය දේවලට වඩා යෙහෝවා සමඟ කිට්ටු සබඳතාවක් භුක්ති විඳීම උසස් කොට සැලකූ බව පැහැදිලියි. අපත් එවැනි ආකල්පයක් වර්ධනය කරගැනීම යෝග්‍ය නැද්ද?

අන්‍යයන් සමඟ සාධාරණව කටයුතු කළ

යෝබ් තම මෙහෙකරුවන් සමඟ කටයුතු කළේ කෙසේද? යෝබ් පවසන දෙයින් පැහැදිලි වන්නේ ඔහු සාධාරණ මෙන්ම එළඹිය හැකි ස්වාමියෙක් වූ බවයි. “මාගේ වැඩකාරයාවත් වැඩකාරීවත් මා සමග විවාදකරන විට මම ඔවුන්ගේ යුක්තිය නොසලකා ඇරියෙම්නම්, [දෙවි] නැගිටින විට මම කුමක් කරම්ද? [ඔහු] විභාගකරන කල මා කවර උත්තරයක් දෙන්ටද?” (යෝබ් 31:13, 14) යෝබ් යෙහෝවාගේ දයාව අද්දැක තිබුණා. මෙය තම මෙහෙකරුවන් සමඟ දයාවන්තව කටයුතු කිරීමට යෝබ්ව පෙලඹුව බව නිසැකයි. මෙම කදිම ආදර්ශය අප සියලුදෙනාම සිතට ගත යුතුයි. ක්‍රිස්තියානි සභාවේ යම් අධිකාරියක් හොබවන අයට එය විශේෂයෙන් අදාළ වෙනවා. මන්ද ඔවුන් සාධාරණ, පැති නොගන්නා, එළඹිය හැකි අය වීමට වෙර දැරිය යුතු නිසයි.

යෝබ් තම නිවසෙන් පිටත අය ගැන පවා සැලකිල්ල දැක්වූවා. මෙය ඔහු පැවසූ දෙයින් පැහැදිලියි. “දුප්පතුන් ආශාවූ දේ ඔවුන්ගෙන් වැලැක්වීම් නම්, නොහොත් වැන්දඹුවගේ ඇස් ක්ෂය වෙන්ට සැලැස්වීම් නම්, . . . මාගේ උපකාරකාරයෙක් දොරටුවේ සිටිනවා මා දුටු නිසා පියා නැත්තාට විරුද්ධව මාගේ අත එසවීම් නම්, මාගේ උරහිස ඒකේ සන්ධිස්ථානයෙන් ගැළවී වැටේවා, මාගේ හස්තය ඒකේ වැලමිටෙන් බිඳීයේවා.” (යෝබ් 31:16-22) දුෂ්කරතාවලට මුහුණ දෙන අය අපේ සභාවේ සිටිනවා නම්, අපිත් යෝබ් මෙන් ඔවුන්ට අතහිත දෙමු.

අන්‍යයන් උදෙසා තිබූ පරාර්ථකාමී ප්‍රේමය නිසා යෝබ් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙනුත් හොඳ ආදර්ශයක් සැපයුවා. “අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකෙළේය; ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි” කියා පැවසීමට ඔහුට හොඳ හේතු තිබුණා. (යෝබ් 31:32) මෙය අදදින දෙවිගේ සේවකයන්ට කොතරම් හොඳ ආදර්ශයක්ද! බයිබලය ගැන උනන්දුවක් දක්වන නවකයන් රාජ්‍ය ශාලාවට පැමිණෙන විට ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමේදී අපට මෙම ආදර්ශය අනුගමනය කළ හැකියි. මෙය ඔවුන්ගේ ආත්මික වර්ධනයට දායක වන බවට කිසිම සැකයක් නැහැ. අපේ සභාවට පැමිණෙන සංචාරක අවේක්ෂකයන් හා වෙනත් ක්‍රිස්තියානීන්ට ආගන්තුක සත්කාරය හා ප්‍රේමය දැක්වීමද අතපසු නොකරමු.—1 පේතෘස් 4:9; 3 යොහන් 5-8.

යෝබ් තම සතුරන් ගැන පවා නිවැරදි ආකල්පයක් දැරුවා. තමාට සතුරුකම් කළ කෙනෙකුට විපතක් සිදු වූ විට ඔහු කිසිවිටකවත් සතුටු වුණේ නැහැ. (යෝබ් 31:29, 30) ඒ වෙනුවට, ඔහු එවැනි අයට යහපත්කම් කළා. තම බොරු සැනසිලිකරුවන් තුන්දෙනා වෙනුවෙන් යාච්ඤා කිරීමට පවා ඔහු පසුබට වුණේ නැහැ.—යෝබ් 16:2; 42:8, 9; සසඳන්න මතෙව් 5:43-48.

සදාචාරමය වශයෙන් නිර්මල වූ

යෝබ් තම භාර්යාවට පක්ෂපාත වුණා. ඔහු කිසිවිටකවත් වෙනත් ස්ත්‍රියක් කෙරෙහි නුසුදුසු ඇල්මක් දැක්වූයේ නැහැ. එවැනි හැඟීමක් තම සිතට ඇතුල් වීමටවත් ඔහු ඉඩ දුන්නේ නැහැ. මේ පිළිබඳව ඔහු පැවසූ දේ සලකා බලන්න. “මාගේ ඇස් සමග ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද? මාගේ සිත ස්ත්‍රියෙක් කෙරෙහි ඇදීගියේ නම්, මම මාගේ අසල්වාසියාගේ දොරකඩ ළඟ රැක සිටියෙම් නම්, මාගේ භාර්යාව වෙන කෙනෙකුට ධාන්‍ය අඹරාවා, අන්‍යයෝද ඈ සමග සයනයකෙරෙත්වා. මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය; එසේය, එය විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතුවූ අයුතුකමක්ය.”—යෝබ් 31:1, 9-11.

ඔව්, යෝබ් ධර්මිෂ්ඨකම ලුහුබඳිමින් දුරාචාරමය අදහස් ප්‍රතික්ෂේප කළා. දුරාචාරය පිළිකුල් කළ මෙම ඇදහිලිවන්ත මනුෂ්‍යයා යෙහෝවා දෙවිට ප්‍රසන්න වීම ගැන අප පුදුමයට පත් විය යුතුද? කොහෙත්ම නැහැ!—මතෙව් 5:27-30.

පවුලේ ආත්මිකත්වය ගැන සැලකිලිමත් වූ

ඇතැම් අවස්ථාවලදී යෝබ්ගේ පුත්‍රයන් මංගල්‍ය පැවැත්වූවා. ඒ මංගල්‍යවලට ඔහුගේ දූ පුතුන් සියලුදෙනාම සහභාගි වුණා. මෙලෙස විනෝද වෙද්දී තම දරුවන් යම් ආකාරයකින් යෙහෝවාට විරුද්ධව පව් කළාද කියා යෝබ් කල්පනා කළා. යෝබ් තම දරුවන්ගේ අතින් නොදැනුවත්ව සිදු වූ මෙවැනි වැරදි සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත්තා. “ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් [දෙවිට] දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය.” (යෝබ් 1:4, 5) යෙහෝවාට ගරුබිය දැක්විය යුතු බවත් ඔහුගේ මාර්ගයේ ගමන් කළ යුතු බවත් යෝබ්ගේ නිවසේ සිටි සියලුදෙනාගේම මනස්වලට කාවැදුණු බවට කිසිම සැකයක් නැහැ.

අදත් ක්‍රිස්තියානි ගෘහ මූලිකයන් තම පවුලේ අයට දේවවචනය වන බයිබලය තුළින් නිසි උපදෙස් සැපයිය යුතුයි. (1 තිමෝති 5:8) පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යාච්ඤා කිරීමද සුදුසු දෙයක්.—රෝම 12:12.

පරීක්ෂා හමුවේ විශ්වාසවන්ත වූ

ඔබ බයිබලය කියවා ඇත්නම් යෝබ්ට එල්ල වූ දරුණු පීඩා ගැන හොඳින් දන්නවා ඇති. යෝබ් දැඩි පීඩා යටතේ දෙවිට අපහාස කරමින් ඔහුව අත්හරියි කියා සාතන් නමැති යක්ෂයා චෝදනා කර තිබුණ බව ඔබට මතක ඇති. යෙහෝවා මෙම අභියෝගයේ සත්‍යතාව පරීක්ෂාවට ලක් කරන්න සාතන්ට ඉඩ දුන් අතර සාතන්ද යෝබ් මතට පීඩා එල්ල කිරීමට ප්‍රමාද වුණේ නැහැ. ඔහුගේ සත්ව රැළවල් සියල්ලක්ම අහිමි වුණා. නමුත් යෝබ්ට එල්ල වූ දරුණුතම පහර වූයේ ඔහුගේ දරුවන් සියලුදෙනාම මිය යෑමයි. ඉන් ටික කලකට පසුව, යෝබ්ගේ මුළු ශරීරයේම දරුණු ගඩු හටගත්තා.—යෝබ් 1, 2 පරිච්ඡේද.

මේ සියල්ලෙහි ප්‍රතිඵලය කුමක්ද? දෙවිට ශාප කරන්න කියා යෝබ්ගේ භාර්යාව ඔහුට පැවසුවා. නමුත් යෝබ්ගේ ප්‍රතිචාරය සලකා බලන්න. “නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි [දෙවිගේ] අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.” (යෝබ් 2:10) යෝබ් පක්ෂපාත ලෙස විඳදරාගනිමින් යක්ෂයා බොරුකාරයෙක් බව ඔප්පු කළා. යෝබ්ගේ ආදර්ශය අනුගමනය කරමින් අපත් පීඩා යටතේ විශ්වාසවන්තව සිටිමු. අප යෙහෝවාට සේවය කරන්නේ ඔහුට තිබෙන අව්‍යාජ ප්‍රේමය නිසා කියා අපට මෙසේ ඔප්පු කළ හැකියි.—මතෙව් 22:36-38.

යටහත්පහත්ව වරද පිළිගත්

යෝබ් බොහෝ පැතිවලින් ආදර්ශවත් වුණා. නමුත් ඔහුත් අපි වගේම අසම්පූර්ණ මනුෂ්‍යයෙක්. යෝබ් තම අසම්පූර්ණ තත්වය හොඳින් වටහාගත් බව පැහැදිලියි. ඔහු පැවසුවේ, “අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය” කියායි. (යෝබ් 14:4; රෝම 5:12) එහෙනම් යෝබ් නිර්දෝෂයි කියා යෙහෝවා පැවසුවේ ඇයි? යෙහෝවා තම අසම්පූර්ණ සේවකයෙකුගෙන් බලාපොරොත්තු වන සෑම දෙයක්ම ඔහු ඉටු කළ නිසයි. ඔව්, යෝබ් අසම්පූර්ණ වුණත් යෙහෝවා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය ඔහු කළා. අපටත් යෙහෝවා වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට මෙය ප්‍රබල දිරිගැන්වීමක් නොවේද?

යෝබ් තම පීඩාවට සාර්ථකව මුහුණ දුන්නත්, එම පීඩාවෙන් ඔහුගේ දෝෂයක් හෙළි වුණා. යෝබ්ගේ විපත් ගැන ආරංචි වූ විගසම ඔහු වෙතට බොරු සැනසිලිකරුවන් තුන්දෙනෙක් පැමිණියා. (යෝබ් 2:11-13) යෝබ්ගේ අතින් බරපතළ පාප සිදු වූ නිසා යෙහෝවා ඔහුට දඬුවම් කරන බව ඔවුන් පැවසුවා. මෙම බොරු පැමිණිලි නිසා යෝබ්ගේ සිතේ දරාගන්න බැරි වේදනාවක් හටගත්තා. තමා නිර්දෝෂයි කියා ඔප්පු කිරීමට ඔහු දැඩි උත්සාහයක් දැරුවේ ඇයි කියා අපට තේරුම්ගත හැකියි. නමුත් තමා ධර්මිෂ්ඨයි කියා පෙන්වා දීමට කරුණු ගෙනහැර දක්වද්දී ඔහු කොතරම් අසමබර වුණාද කියනවා නම් ඔහු දෙවිටත් වඩා ධර්මිෂ්ඨයි කියා ඉන් ඇඟෙව්වා! ඔව්, ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසය තබන්න අපොහොසත් වුණා.—යෝබ් 35:2, 3.

කොහොම වුණත්, යෙහෝවා යෝබ්ට හුඟක් ප්‍රේම කළා. ඒ නිසා ඔහුගේ වරද පෙන්වා දීමට දෙවි තරුණ පුරුෂයෙකුව පාවිච්චි කළා. බයිබලය එය විස්තර කර ඇති ආකාරය කියවා බලන්න. “එලීහුගේ උදහස ඇවුළුණේය. යෝබ් [දෙවිගේ] ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.” එලීහු යෝබ් දැරූ ආකල්පය මෙසේ විස්තර කළා. ‘යෝබ් කතා කොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවි මාගේ යුක්තිය පහ කළේය.’ (යෝබ් 32:2; 34:5) කොහොම වුණත්, එලීහු සාධාරණ මනුෂ්‍යයෙක්. යෝබ්ට මේ සෑම විපතක්ම සිදු වුණේ යෙහෝවාගෙන් ලබන දඬුවමක් නිසා කියා චෝදනා කළ බොරු ‘සැනසිලිකරුවන්’ සමඟ ඔහු එකඟ වුණේ නැහැ. ඒ වෙනුවට යෝබ්ගේ පක්ෂපාතකම සම්බන්ධයෙන් එලීහු විශ්වාසය පළ කරමින් යෝබ්ට මෙසේ උපදෙස් දුන්නා. ‘නඩුව ඔහු [යෙහෝවා] ඉදිරියෙහි තිබේ. ඔහු ගැන බලා සිටින්න.’ ඇත්තෙන්ම යෝබ් ඉක්මන් වුණා වැඩියි. යෙහෝවා නියමිත කාලයේදී ඔහුව නිදොස් කරන තෙක් ඔහුට බලා සිටින්න තිබුණා. යෙහෝවා කවදාවත් යෝබ්ට යුක්තිය ඉටු නොකර සිටින්නේ නැති බව එලීහුගේ ඊළඟ වචනවලින් පැහැදිලි වේ. “දෙවි යුක්තිය හා ධර්මිෂ්ඨකම සුළු කොට නොතකයි.”—යෝබ් 35:14; 37:23NW.

යෝබ්ට තමාගේ චින්තන රටාව වෙනස් කරන්න සිදු වුණ බව පැහැදිලියි. යෙහෝවා ඒ සඳහා ඔහුට උපකාරවත් වන පාඩමක් ඉගැන්වූවා. දෙවි හා මනුෂ්‍යයා අතර කොතරම් ලොකු පරතරයක් තිබෙනවාද කියා ඔහු යෝබ්ට පෙන්වා දුන්නා. යෙහෝවා මෙය නිදර්ශනය කිරීමට ඔහුගේ ආශ්චර්යවත් මැවිලි දෙසට යෝබ්ගේ අවධානය යොමු කළා. පොළොව, මුහුද, තාරකාවලින් ගහන වූ අහස්තලය, සතුන් සහ වෙනත් බොහෝ දේවල් ඔහු මේ සඳහා යොදාගත්තා. නමුත් දෙවි අවසාන වශයෙන් යෝබ්ගේ සිත යොමු කළේ ලෙවියාතන් නොහොත් භයානක කිඹුලා වෙතටයි. යෝබ් නිහතමානීව තම වරද පිළිගත්තා.

අපට මෙයින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? අප යෙහෝවාට හොඳ සේවයක් පිරිනමනවා විය හැකියි. නමුත් ඒ අතරතුර අනිවාර්යයෙන් අපේ අතින් වැරදි සිද්ධ වෙනවා. අපේ අතින් බරපතළ වරදක් සිදු වේ නම් යෙහෝවා යම් ක්‍රමයකින් අපට හික්මවීම සපයාවි කියා අපට බලාපොරොත්තු විය හැකියි. (හිතෝපදේශ 3:11, 12) සමහරවිට එය සිදු වන්නේ අපගේ හෘදය සාක්ෂියට වද දෙන බයිබල් පදයක් තුළින් විය හැකියි. ඒ වගේම, මුරටැඹ හෝ වොච් ටවර් සමිතියේ අනිත් ප්‍රකාශනවලින් අපේ යම් දුර්වලතාවක් හෝ වරදක් හෙළි විය හැකියි. එහෙමත් නැත්නම්, අප යම් බයිබල් ප්‍රතිපත්තියක් උල්ලංගනය කර ඇති බව සෙසු ක්‍රිස්තියානියෙක් අපට කාරුණිකව පහදා දෙන්න පුළුවන්. මෙසේ ලැබෙන හික්මවීමට අප ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? යෝබ්ගේ ප්‍රතිචාරයෙන් නම් ඔහු පසුතැවුණු බව පැහැදිලිව පෙනෙනවා. “මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමි.”—යෝබ් 42:6.

යෙහෝවා දුන් විපාක

යෙහෝවා තම සේවක යෝබ්ට ආශීර්වාද කරමින් ඔහුගේ ජීවිත කාලයට තවත් අවුරුදු 140ක් එකතු කළා. යෙහෝවා ඔහුට අහිමි වුණ දේවලට වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළා. යෝබ් අන්තිමේදී මිය ගියත් දෙවිගේ නව ලොවේ ඔහුට නැවත නැඟිටීමක් තිබෙන බවට කිසිම සැකයක් නැහැ.—යෝබ් 42:12-17; එසකියෙල් 14:14; යොහන් 5:28, 29; 2 පේතෘස් 3:13.

දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් බයිබලයෙන් ලැබෙන හික්මවීමට අප සැමවිටම අවනත වෙනවා නම්, අපටත් දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගත හැකි අතර ඔහු අපට ආශීර්වාද කරයි. අපට දෙවිගේ නව ලොවේ සදාකාල ජීවනයද බලාපොරොත්තු විය හැකියි. නමුත් වඩාත් වැදගත් දේ වන්නේ අප මේ තුළින් දෙවිට ගෞරවය ගෙන දීමයි. අපේ පක්ෂපාතකමට නිසි විපාක ලැබෙයි. නමුත් අපේ පක්ෂපාතකමෙන් වඩා වැදගත් දෙයක් ඉටු වෙනවා. එනම්, යෙහෝවාගේ සෙනඟ ඔහුට සේවය කරන්නේ හද පත්ලෙන්ම ඔහුට ප්‍රේම කරන නිසා මිසක් යම් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට නොවෙයි යන කාරණය තවත් තහවුරු වීමයි. නිහතමානීව හික්මවීමට අවනත වූ යෝබ් කළාක් මෙන් අපටත් යෙහෝවාගේ සිත සතුටු කරන්න ලැබීම කොයිතරම් ලොකු වරප්‍රසාදයක්ද!—හිතෝපදේශ 27:11.

[26වන පිටුවේ පින්තූර]

යෝබ් අනාථ දරුවන්ට, වැන්දඹු ස්ත්‍රීන්ට හා වෙනත් අයට ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වූවා

[28වන පිටුවේ පින්තූර]

නිහතමානීව හික්මවීමට අවනත වූ නිසා යෝබ්ට බහුල ආශීර්වාද හිමි වුණා