Skip to content

පටුනට යන්න

අදදින දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

අදදින දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

අදදින දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ඔහු මව් කුස පටන් කොරව සිටියා. ඔහු දිනපතා සුදර්ශන දොරටුවයයි කියන දේවමාළිගාවේ දොරටුව ළඟ හිඳගෙන, මාළිගාවට ඇතුල්වන්නන්ගෙන් සිඟමන් ඉල්ලමිනුයි සිටියේ. කෙසේවුවත්, එක් අවස්ථාවකදී, මේ අංගවිකල සිඟන්නාට කාසි ටිකකට වඩා අතිශයින් වටිනා තෑග්ගක් ලැබුණා. ඔහුව සුව වුණා!—ක්‍රියා 3:2-8.

‘ඔහුව නැඟිට්ටෙව්වෙත්, ඔහුගේ පාද සවි කළේත්’ ප්‍රේරිත පේතෘස් සහ යොහන් වුවත්, සුව කිරීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශංසාව ලබාගත්තේ නැහැ. එහෙම නොකළේ ඇයි? පේතෘස්ම මෙසේ පැහැදිලි කළා: “ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද?” ඇත්තවශයෙන්ම, එවැන්නක් කළ හැකි වූයේ ඔවුන්ගේ බලයෙන් නොව නමුත් දෙවිගේ ශුද්ධාත්මයේ බලයෙන් බව පේතෘස් හා යොහන් යන දෙදෙනාම වටහාගෙන සිටියා.—ක්‍රියා 3:7-16; 4:29-31.

ඒ කාලයේදී, නව ක්‍රිස්තියානි සභාවට දෙවිගේ උපකාරය තිබෙන බව පෙන්වීමටයි එවැනි “බලවත් ක්‍රියා” කිරීමට හැකියාව දුන්නේ. (හෙබ්‍රෙව් 2:4NW) නමුත්, එම ක්‍රියා එහි අරමුණ ඉටු කළ පසු, ඒවා “නැතිවන්නේය” කියා ප්‍රේරිත පාවුල් පැවසුවා. a (1 කොරින්ති 13:8) මේ නිසයි, දෙවි නියම කළ සුව කිරීම්, අනාවැකි කීම් හෝ භූතයන් පලවාහැරීම් සැබෑ ක්‍රිස්තියානි සභාව තුළ අදදින අපට දකින්න නොලැබෙන්නේ.

එහෙත්, දෙවිගේ ශුද්ධාත්මය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැතැයි මින් අදහස් වෙනවාද? කොහෙත්ම නැහැ! පළමු සියවසේදීත්, අපේ කාලයේදීත් දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වී ඇති වෙනත් මාර්ග කීපයක් ගැන දැන් අපි සලකා බලමු.

‘සැබෑකමේ ආත්මය’

දෙවිගේ ආත්මයේ එක් ක්‍රියාකාරකමක් වන්නේ, තොරතුරු දැනුම් දීම, අවබෝධය වැඩි කිරීම හා සත්‍යයන් හෙළි කිරීමයි. නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය. එසේවී නුමුත්, ඔහු, එනම් සැබෑකමේ ආත්මය ආ කල, ඔහු මුළු සත්‍යය කරා නුඹලාට මඟ පෙන්වන්නේය’ කියා යේසුස් තම මරණයට ටික කලකට පෙර තම ගෝලයන්ට පැවසුවා.—යොහන් 16:12, 13.

යෙරුසලමේ උඩුමහලක රැස්ව සිටි ගෝලයන් 120දෙනෙකුට පමණ පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී ‘සැබෑකමේ ආත්මය’ වැගිරූ විට ඔවුන්ව ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරනු ලැබුවා. (ක්‍රියා 2:1-4) එම වාර්ෂික උත්සවයට පැමිණි අය අතරේ ප්‍රේරිත පේතෘස්ද සිටියා. ශුද්ධාත්මයෙන් පූර්ණ වූ පේතෘස් “නැගිට” යේසුස් පිළිබඳ ඇතැම් සත්‍යයන් පැහැදිලි කර දුන්නා. උදාහරණයක් වශයෙන්, ‘නාසරිය යේසුස්ව දෙවිගේ දකුණු පැත්තට උසස් කරනු ලැබුවේ’ කෙසේද කියා ඔහු විස්තර කළා. (ක්‍රියා 2:14, 22, 33) ‘නුඹලා විසින් ඇණගැසුවාවූ මෙම යේසුස් දෙවි විසින් ස්වාමීන්ද ක්‍රිස්තුස්ද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවායි කියමින්’ තමාට සවන් දෙමින් සිටි යුදෙව්වන්ට නිර්භීතව කතා කිරීමටත් දෙවිගේ ආත්මය පේතෘස්ව පෙලඹෙව්වා. (ක්‍රියා 2:36) ආත්මයෙන් ආනුභාව ලත් පේතෘස්ගේ පණිවිඩයේ ප්‍රතිඵලයක් වශයෙන්, තුන්දාහක් පමණ මනුෂ්‍යයන් “මුළු හෘදයෙන්ම ඔහුගේ වචනය පිළිගෙන” [NW] බව්තීස්ම වුණා. මේ අයුරින්, සත්‍යය පිළිගැනීමට දෙවිගේ ශුද්ධාත්මය ඔවුන්ට මඟ පෙන්නුවා.—ක්‍රියා 2:37-41.

ගුරුවරයෙකු හා සිහිගන්වන්නෙකු හැටියටත් දෙවිගේ ශුද්ධාත්මය මෙහෙයක් ඉටු කළා. යේසුස් මෙසේ පැවසුවා: ‘මාගේ නාමයෙන් පියා එවන සැනසිලිකාරයා, එනම් ශුද්ධාත්මය, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවන්නේය.’—යොහන් 14:26.

ශුද්ධාත්මය ගුරුවරයෙකු හැටියට ක්‍රියා කළේ කෙසේද? කලින් යේසුස්ගෙන් අසා තිබූ නමුත් සම්පූර්ණ අවබෝධයක් නොතිබුණු දේවල් සම්බන්ධයෙන් දෙවිගේ ආත්මය ගෝලයන්ගේ සිත් පැහැදුවා. උදාහරණයක් වශයෙන් තම නඩු විභාගයේදී යේසුස්, යුදයේ රෝම පාලකයා වූ පොන්තියුස් පිලාත්ට “මාගේ රාජ්‍යය මෙලොවින් නොවේයයි” පැවසූ බව ප්‍රේරිතයන් දැන සිටියා. එහෙත්, ඉන් දවස් 40කට පසු යේසුස් ස්වර්ගයට යන තුරුම ප්‍රේරිතවරුන් වරදවා වටහාගෙන සිටියේ රාජ්‍යය මිහිපිට පිහිටුවන බවයි. (යොහන් 18:36; ක්‍රියා 1:6) පෙනෙනාකාරයට, පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී දෙවිගේ ශුද්ධාත්මය වගුරුවන තෙක්ම ප්‍රේරිතයන්ට යේසුස්ගේ වචන සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න පුළුවන් වුණේ නැහැ.

යේසුස්ගේ විවිධ ඉගැන්වීම් යළි මතකයට නැංවීම තුළින් දෙවිගේ ආත්මය සිහිගන්වන්නෙකු හැටියට මෙහෙයක් ඉටු කළා. නිදසුනක් ලෙස, ක්‍රිස්තුස්ගේ මරණය හා නැවත නැඟිටීම පිළිබඳ අනාවැකි, ශුද්ධාත්මයේ උපකාරයෙන් අලුත් අර්ථයක් ගත්තා. (මතෙව් 16:21; යොහන් 12:16) යේසුස්ගේ ඉගැන්වීම් සිහි කරගැනීම, රජුන්, මන්ත්‍රණ සභා සහ ආගමික නායකයන් ඉදිරියේ නිර්භීතව තමන්ගේ ස්ථාවරය රැකගැනීමට ප්‍රේරිතයන්ට උපකාරයක් වුණා.—මාර්ක් 13:9-11; ක්‍රියා 4:5-20.

ඊට අමතරව, දේවසේවයේ යෙදීම සඳහා ඵලදායී ප්‍රදේශවලට යෑමටද දෙවිගේ ශුද්ධාත්මය මුල් ක්‍රිස්තියානීන්ට උපකාර කළා. (ක්‍රියා 16:6-10) මුළු මනුෂ්‍යවර්ගයාගේ ප්‍රයෝජනය සඳහා දේවවචනය වන බයිබලය ලිවීමේ හවුල් වීමටත් දෙවිගේ ආත්මය මුල් ක්‍රිස්තියානීන්ව පෙලඹෙව්වා. (2 තිමෝති 3:16) එසේනම්, පැහැදිලිවම, පළමු සියවසේදී විවිධ මාර්ගවලින් ශුද්ධාත්මය ක්‍රියාත්මක වී තිබෙනවා. එය සපයනු ලැබුවේ ප්‍රාතිහාර්යයන් සිදු කිරීමට පමණක්ම නොවෙයි.

ශුද්ධාත්මය අපේ කාලයේදී

එලෙසම, අපේ කාලයේදීත් සැබෑ ක්‍රිස්තියානීන් වෙනුවෙන් ශුද්ධාත්මය ක්‍රියා කර තිබෙනවා. මෙය 19වන සියවසේ අගභාගයේදී අ.එ.ජ., පෙන්සිල්වේනියා, ඇලිගනිවල කුඩා බයිබල් ශිෂ්‍ය කණ්ඩායමක් සම්බන්ධයෙන් සැබෑවක් වුණා. මෙම උනන්දුමත් බයිබල් ශිෂ්‍යයන් “සත්‍යය” දැනගැනීමට අවංක ආශාවක් දැක්වුවා.—යොහන් 8:32, NW; 16:13.

මෙම කණ්ඩායමේ සාමාජිකයෙක් වූ චාල්ස් ටේස් රසල්, ශුද්ධ ලියවිලිමය සත්‍යය සඳහා කළ ගවේෂණය සම්බන්ධයෙන් මෙසේ පැවසුවා: “බාධාවන් මෙන්ම මොනයම් හෝ අගතිසහගත හැඟීමක් ඇත්නම් ඒවා ඉවත් කර, මනා අවබෝධයක් ලබාගැනීමට ඔබගේ ආත්මයේ මඟ පෙන්වීම ලබා දෙන්න කියා . . . මම දෙවිට යාච්ඤා කළා.” මේ යටහත් පහත් යාච්ඤාවට දෙවි පිළිතුරු දුන්නා.

රසල් හා ඔහුගේ ආශ්‍රිතයන් උද්‍යෝගයෙන් ශුද්ධ ලියවිලි ගවේෂණය කළ විට දේවල් කීපයක්ම පැහැදිලි වුණා. “සියවස් ගණනාවක් පුරා විවිධ ලබ්ධීන් හා කණ්ඩායම් තමන් කැමති බයිබල් ධර්මයන් පමණක් විශ්වාස කරමින්, මනුෂ්‍යයන්ගේ කල්පිතයන් හා වැරදි සමඟ ඒවා මිශ්‍ර කර ඇති බව අපට සොයාගන්න ලැබුණා” කියා රසල් පැහැදිලි කළා. ඔහු පවසන්නේ මෙය “සත්‍යය බොරුවකට මාරු කිරීමක්” කියායි. ඇත්තවශයෙන්ම, සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානි ලෝකයට රිංගා තිබෙන බොරු ඉගැන්වීම් රාශියකින් ශුද්ධ ලියවිලිමය සත්‍යයන් වැළලී ගියා. නමුත් රසල් සත්‍යය දැනගැනීමටත්, සත්‍යය ප්‍රකාශ කිරීමටත් අදිටන් කරගෙන සිටියා.

සියොන්හි මුරටැඹ හා ක්‍රිස්තුස්ගේ පැමිණීම පිළිබඳව ප්‍රකාශ කරන්නා (ඉංග්‍රීසියෙන්) නම් ප්‍රකාශනයෙහි රසල් හා ඔහුගේ ආශ්‍රිතයන් දෙවිව වරදවා දැක්වූ බොරු ආගමික ධර්මයන් හෙළාදැක්කේ නිර්භීතවයි. ජනප්‍රිය ආගමික මතයන්ට පටහැනිව, ආත්මය අමරණීය නොවන බවත්, මරණයේදී අපි යන්නේ මිනීවළට බවත්, එකම සැබෑ දෙවි යෙහෝවා බවත්, එබැවින් ඔහු ත්‍රිත්වයේ කොටසක් නොවන බවත් ඔවුන් අවබෝධ කරගත්තා.

එහෙත්, එලෙස බොරු ඉගැන්වීම් හෙළි කිරීම නිසා ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් කෝපයට පත් වූ බව ඔබට සිතාගත නොහැකිද? බොහෝ කතෝලික හා රෙපරමාදු පූජකයන් තම බලවත් තනතුරුවල රැඳී සිටීමේ ආශාවෙන් රසල්ට අවමන් කිරීමේ අටියෙන් ව්‍යාපාරයන් සංවිධානය කළා. නමුත් ඔහුත්, ඔහුගේ ආශ්‍රිතයනුත් පසුබට වුණේ නැහැ. ඔවුන් ස්ථිර විශ්වාසයකින් දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීම පැතුවා. “අපේ ස්වාමීන්ගේ සහතිකය නම් . . . අපේ මිදුම්කරු, මැදහත්කරු හා නායකයා වන යේසුස්ගේ ඉල්ලීම පරිදි අප උදෙසා එවන පියාගේ ශුද්ධාත්මය අපේ උපදේශකයා මෙන් ක්‍රියා කරන බවයි” කියා රසල් පැවසුවා. ඇත්තෙන්ම ශුද්ධාත්මය එසේ කළා! මෙම අවංක බයිබල් ශිෂ්‍යයන් බයිබලයෙන් සත්‍යයේ පවිත්‍ර ජලය දිගටම ඇදගත් අතර දිගටම ඒවා ලොව පුරා බෙදාහරිමින් සිටිනවා.—එළිදරව් 22:17.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නවීන දින සංවිධානය අවුරුදු සියයකටත් වැඩි කාලයක් පුරා දෙවිගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම්වලට වහාම ප්‍රතිචාරය දක්වා තිබෙනවා. යෙහෝවාගේ ආත්මය සාක්ෂිකරුවන්ගේ ආත්මික දෘෂ්ටිය ක්‍රමක්‍රමයෙන් පුළුල් කරන විට, ඔවුන් තම අලුත් අවබෝධයන්ට එකඟව අවශ්‍ය වෙනස්කම් කරන්නේ කැමැත්තෙන්මයි.—හිතෝපදේශ 4:18.

‘නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය’

‘ශුද්ධාත්මය නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය’ කියමින් යේසුස් තම ගෝලයන්ට දෙවිගේ ශුද්ධාත්මයේ තවත් එළිදරව් වීමක් පැහැදිලි කර දුන්නා. (ක්‍රියා 1:8) දෙවි තමන්ට පවරා ඇති වැඩය කරගෙන යෑමට “බලය” හා ‘ශුද්ධාත්මය’ දෙන බවට යේසුස් දුන් පොරොන්දුව අදදිනටත් අදාළ වෙනවා.

කණ්ඩායමක් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ දේශනා වැඩකටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. (කොටුව බලන්න.) ඇත්තවශයෙන්ම, රටවල් හා දූපත් 230කට වඩා වැඩි ගණනක යෙහෝවාගේ සාක්ෂිකරුවන් සත්‍යයේ පණිවිඩය ප්‍රකාශ කරමින් සිටිනවා. යුද්ධ පවතින ප්‍රදේශ ඇතුළු සිතාගත හැකි ඕනෑම තත්වයක් යටතේදී ඔවුන් නිර්භීත ලෙස දෙවිගේ රාජ්‍යය පිළිබඳව තම අදහස් පළ කරමින් සිටිනවා. ක්‍රිස්තියානි දේවසේවය සඳහා ඔවුන්ගේ ජ්වලිතය අදදින ශුද්ධාත්මය ක්‍රියාත්මක වන බවට බලවත් සාක්ෂියක් සපයනවා. එමෙන්ම යෙහෝවා දෙවි ඔවුන්ගේ ප්‍රයත්නයන්ට ආශීර්වාද කරන බවත් පැහැදිලියි.

උදාහරණයක් වශයෙන්, පසුගිය වසරේ පැය බිලියනයකට වඩා වැඩි ගණනක් දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට යොදවා තිබෙනවා. ලැබී තිබෙන ප්‍රතිඵල මොනවාද? ජලයේ ගිලී බව්තීස්ම වෙමින් 3,23,439දෙනෙක් පමණ, තමන් දෙවිට කැප වී සිටින බව සංකේතවත් කළා. ඊට අමතරව, මෑතකදී උනන්දුවක් දැක්වූ අය සමඟ සතිපතා බයිබල් පාඩම් 44,33,884ක් පවත්වනු ලැබුවා. සමස්තයක් වශයෙන්, පොත් 2,46,07,741ක්ද, සඟරා 63,11,62,309ක්ද, විවරණිකා හා පොත්පිංච 6,34,95,728ක්ද බෙදාහැරියා. දෙවිගේ ශුද්ධාත්මය ක්‍රියාත්මක වන බවට එය මොනතරම් බලවත් සාක්ෂියක්ද!

දෙවිගේ ශුද්ධාත්මය හා ඔබ

කෙනෙක් ශුභාරංචියට හොඳින් ප්‍රතිචාරය දක්වද්දී, දෙවිගේ ප්‍රමිති අනුව තම ජීවිතය හැඩගස්වාගනිද්දී හා මිදීමේ මිල සැපයුම කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කරද්දී, දෙවි ඉදිරියේ පිරිසිදු තත්වයක සිටීමට මාර්ගය විවෘත වෙනවා. එවැනි අයට ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: ‘දෙවි තමන්ගේ ශුද්ධාත්මය නුඹලාට දෙන්නේය.’—1 තෙසලෝනික 4:7, 8; 1 කොරින්ති 6:9-11.

දෙවිගේ ශුද්ධාත්මය නිසා කදිම ආශීර්වාද රැසක් ලැබෙනවා. මොන වගේ ආශීර්වාදද? දේවානුභාවය ලත් වචනයේ සඳහන් එක ආශීර්වාදයක් හැටියට ශුද්ධාත්මයේ ඵල දැක්විය හැකියි. “[ආත්මයේ] ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම” යනාදියයි. (ගලාති 5:22, 23) එබැවින්, දෙවිගේ ශුද්ධාත්මය වනාහි දිව්‍ය ගුණාංග විදහා දක්වමින් යහපත් කෙනෙකු වීමට හැකි කරවන බලවත් ශක්තියකි.

ඊට අමතරව, ඔබ දිනපතාම බයිබලය කියවා ඉගෙනගන්නා දේ අදාළ කරගන්නවා නම්, ඥානය, දැනගැන්ම, අවබෝධය, විනිශ්චය කිරීමේ හා සිතීමේ හැකියාව වැඩිවර්ධනය කරගන්න උපකාර කිරීමට දෙවිගේ ආත්මයට හැකියි. සාලමොන් රජ මිනිසුන්ව සතුටු කරනවාට වඩා දෙවිව සතුටු කිරීමට සෙවූ නිසා, ඔහුට “ඉතා මහත් ප්‍රඥාවකුත් ඥානයකුත් . . . විශාලවූ සිහියකුත්” ලැබුණා. (1 රාජාවලිය 4:29) යෙහෝවා සාලමොන්ට ශුද්ධාත්මය දුන් නිසා, අදදිනත් ඔහුව සතුටු කිරීමට සොයන අයට ඔහු ශුද්ධාත්මය නොදී සිටින්නේ නැති බව ස්ථිරයි.

එමෙන්ම සාතන් හා භූතයන්ටත්, දැන් පවතින දුෂ්ට ක්‍රමයටත්, තමන්ගේම පව්කාර මාංශික නැඹුරුවාවන්ටත් විරුද්ධව සටන් කිරීමට දෙවිගේ ශුද්ධාත්මය ක්‍රිස්තියානීන්ට උපකාර කරනවා. කොහොමද එසේ කරන්නේ? ප්‍රේරිත පාවුල් මෙසේ පිළිතුරු දෙනවා: “මා බලවත්කරන්නාවූ [තැනැත්තා] තුළ මට සියලුදේ කරන්ට පුළුවන.” (පිලිප්පි 4:13) සමහරවිට ශුද්ධාත්මය පීඩා හා පරීක්ෂා ඉවත් නොකරන්න ඉඩ තිබෙනවා. කෙසේවුවත් ඒවා විඳදරාගැනීමට ඔබට උපකාර කිරීමට එයට හැකියි. දෙවිගේ ආත්මය මත රඳා සිටීම මගින්, අපට ඕනෑම ගැටලුවකට හෝ මානසික පීඩනයකට මුහුණ දෙන්න “සාමාන්‍ය ඉක්මවූ බලය” ලබාගත හැකියි.—2 කොරින්ති 4:7NW; 1 කොරින්ති 10:13.

ඔබ මෙම සාක්ෂි සියල්ල සලකා බලන කල, අදදින දෙවිගේ ශුද්ධාත්මය ක්‍රියාත්මක වෙනවාද යන්න පිළිබඳව සැකයක් ඇති වන්නේ නැහැ. යෙහෝවාගේ උදාර අරමුණු සම්බන්ධයෙන් සාක්ෂියක් දැරීමට ශුද්ධාත්මය ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කරනවා. එය ආත්මික ආලෝකය දිගටම විහිදුවන අතර, අපේ මැවුම්කරුට පක්ෂපාතව සිටීමට අපට උපකාර කරමින් අපේ ඇදහිල්ල ශක්තිමත් කරනවා. දෙවි අදදින සිටින තම ඇදහිලිවන්ත සේවකයන්ට ශුද්ධාත්මය දානය කිරීම මගින් ඔහුගේ පොරොන්දුවට අනුව ක්‍රියා කර තිබීම ගැන අපට මොනතරම් ස්තුතිවන්ත විය හැකිද!

[පාදසටහන]

a මුරටැඹ 1971 අගෝස්තු 15 (ඉංග්‍රීසියෙන්), 501-5 දක්වා පිටුවල සඳහන් “ආත්මයේ ප්‍රාතිහාර්යයන් පහ වී ඇත්තේ මන්ද?” යන ලිපිය බලන්න.

[10වන පිටුවේ කොටුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන අන්‍යයන් පවසන දේ

“වෙනත් පල්ලිවල සමලිංගිකතාව සහ ගබ්සාව වැනි ප්‍රශ්න මතභේදයකට තුඩු දී තිබෙනවා. තවද මනුෂ්‍යයන්ව ඇදගැනීමට උපක්‍රමයක් වශයෙන් ඔවුන් උපදේශකයන්ව කුලියට ගන්නවා. එනමුත් සාක්ෂිකරුවන් තම ස්ථාවරයෙහි රැඳී සිටිනවා. ඔවුන් නොකඩවා ක්‍රමානුකූලව ලොව පුරා දේශනා කරමින් ඉන්නවා.”—අ.එ.ජ., කැලිෆෝනියාවේ, ඔරෙන්ජ් කවුන්ටිහි දි ඔරෙන්ජ් කවුන්ටි රෙජිස්ටර්.

“විශ්වාසයන් පතළ කිරීම හා සම්බන්ධයෙන් බලන කල, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වගේ . . . උද්‍යෝගයෙන් එසේ කරන්නේ නිකායන් අතළොස්සයි.”අ.එ.ජ., ඉන්ඩියානා, කලම්බස්හි ද රිපබ්ලික්.

“බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න අතරම ‘ශුභාරංචිය’ කියන්න ගෙයින් ගෙට යන්නේ ඔවුන් පමණයි.”—පෝලන්තය, සර්චි ලිටරාට්ස්කිය.

“මෙතෙක් අසන්ට ලැබී තිබෙන විශාලතම දේශනා ව්‍යාපාරයෙහි නිරත වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් යෙහෝවාගේ පණිවිඩය මුළු ලෝකයටම ගෙන ගොස් තිබෙනවා.”—අ.එ.ජ., පෙන්සිල්වේනියාවේ, ටමාක්වා, නියූස් ඔබ්සව’.

[9වන පිටුවේ පින්තූර]

දෙවිගේ ශුද්ධාත්මය අපව ආත්මිකව ආලෝකවත් කරනවා,

. . . යහපත් ක්‍රිස්තියානි ගුණාංග වැඩිදියුණු කරනවා,

. . . ලෝක ව්‍යාප්ත දේශනා වැඩයෙහි නියැලීමට අපට අනුබල දෙනවා