Skip to content

පටුනට යන්න

‘ඕගොල්ලෝ බයිබලය ගැන හුඟක් දේවල් දන්නවා’

‘ඕගොල්ලෝ බයිබලය ගැන හුඟක් දේවල් දන්නවා’

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

‘ඕගොල්ලෝ බයිබලය ගැන හුඟක් දේවල් දන්නවා’

යෙරුසලමේදී 12-හැවිරිදි යේසුස් ආගමික නායකයන්ට නිර්භීත ලෙස කතා කරද්දී, ‘ඔහුගේ බස් ඇසූ සියල්ලන්ම ඔහුගේ නුවණ හා උත්තර ගැන විස්මිත වුණා.’ (ලූක් 2:47) එලෙසම අදදින, යෙහෝවාගේ යෞවන සේවකයන් බොහෝදෙනෙක් තම ගුරුවරුන්ට හා පාසැල් මිතුරන්ට දෙවි ගැනත්, බයිබලය ගැනත් කතා කිරීමට නිර්භීතකම ඇති කරගෙන තිබෙන අතර, බොහෝවිට ඔවුන් එවැනිම ප්‍රීතිමත් ප්‍රතිඵල ලබමින් සිටිනවා.

ටිෆනිගේ පංතියේ සාකච්ඡාවක් පැවැත්වුණා. එවිට ඇයට වයස අවුරුදු 14යි. මේ සාකච්ඡාව බයිබලයේ දානියෙල් පොතේ 9:24-27හි වර්ෂ සති 70 පිළිබඳ අනාවැකිය වටායි ගෙතී තිබුණේ. එම පද සම්බන්ධයෙන් කරුණු ස්වල්පයක් පමණක් දුන් ගුරුවරයා උඩින් පල්ලෙන් කරුණු පෙන්වා ඉක්මනින්ම සාකච්ඡාව අවසන් කළා.”

ටිෆනිට අත උස්සන්න හිතුණත් මුලින් ඇය පසුබැස්සා. “නමුත් ඒ පද සම්පූර්ණයෙන්ම පැහැදිලි කළේ නැහැනෙ කියලා මගේ හිත කියන්න පටන්ගත්තා. ඉබේම මගේ අත ඉස්සුණා” කියා ඇය පවසයි. එම විෂය තේරුම්ගැනීමට ශිෂ්‍යයන් වැඩිදෙනෙකුට නොහැකි වූ නිසා ඒ ගැන යමක් පවසන්න කෙනෙක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඇත්තෙන්ම ගුරුවරයා පුදුම වුණා.

අනාවැකිය පැහැදිලි කිරීමට ටිෆනිට ප්‍රස්තාව දුන් විට ඈ නැඟිට එවෙලේම ඒ ගැන කතා කළා. ඇය කතාව අවසන් කරන විට පංති කාමරයේ ඇල්පෙනෙති තුඩක් වැටෙන තරම්වත් ශබ්දයක් තිබුණේ නැහැ. එවිට ටිෆනිට චකිතයක් ඇති වුණා. ඒත් එක පාරටම පංති කාමරය නොනවත්වා පැවති අත්පොළසන් හඬකින් පිරී ගියා.

“හරි පුදුමයි, ටිෆනි මේක නම් හරිම පුදුමයි” කියා ගුරුවරයා යළි යළිත් පැවසුවා. ඒ පදවල ඊට වඩා දෙයක් තියෙන්න ඕන කියා ඔහු දැන සිටි බවත්, ඒවා ඒ තරම් හොඳින් පැහැදිලි කළ මුල්ම තැනැත්තිය ටිෆනි බවත් ඔහු පිළිගත්තා. පංතිය අවසන් වූ පසු, මේ තරම් හොඳට බයිබලය ගැන දැනගත්තේ කොහොමද කියා ඔහු ටිෆනිගෙන් ඇසුවා.

“ඒකට හේතුව මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වීමයි” කියා ඇය පිළිතුරු දුන්නා. “මගේ දෙමාපියන්ට සිද්ධ වුණා මම ඒ අනාවැකිය තේරුම්ගන්නකම්ම මට කීපවතාවක්ම පැහැදිලි කරන්න.”

බයිබලය පිළිබඳ ඇගේ දැනුම ගැන පංතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද පුදුම වුණා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන්නේ ඇයි කියලා දැන් මම දන්නවා. ඒ ඕගොල්ලෝ බයිබලය ගැන හුඟක් දේවල් දන්න නිසයි” කියා එක් ශිෂ්‍යාවක් ටිෆනිට පැවසුවා. ඇගේ විශ්වාසයන් ගැන මීට පස්සේ කවමදාකවත් ඇයට විහිළු කරන්නේ නැහැ කියා තවත් අය පොරොන්දු වුණා.

ටිෆනි තම අද්දැකීම ඇගේ දෙමාපියන්ට පැවසූ විට, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත ඇගේ ගුරුවරයාට ඉදිරිපත් කරන්න කියා ඔවුන් යෝජනා කළා. ඇය එය ගුරුවරයාට දී, එහි දානියෙල්ගේ අනාවැකිය පැහැදිලි කරන කොටස පෙන්වූ විට ඔහු අප්‍රමාදව පොත ලබාගෙන, ඇයට ස්තුති කළා.

ඇත්තෙන්ම, දෙවි ගැනත්, බයිබලය ගැනත් තමන්ට දෙමාපියන් උගන්වා තිබෙන දේ, ක්‍රිස්තියානි යෞවනයන් නිර්භීතව ප්‍රකාශ කරන විට, ඔවුන් යෙහෝවාට ප්‍රශංසාව හා ගෞරවය දෙන අතර, තමන්ටත් ආශීර්වාද ලබාගන්නවා.—මතෙව් 21:15, 16.