Skip to content

පටුනට යන්න

දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න

දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න

දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න

“අනාවැකිමය වදන් අපට තවත් සහතික කර තිබේ. . . . එයට අවධානය යොමු කිරීමෙන් ඔබට යහපතක් සිදු වේ.”—2 පේතෘස් 1:19NW.

1, 2. බොරු අනාගතවක්තෘවරුන් ගැන උදාහරණ සපයන්න.

 සියවස් ගණනාවක සිට බොරු මෙසියස්වරුන් අනාවැකි පළ කිරීමට වෑයම් කර තිබෙනවා. පස්වන සියවසේ විසූ මිනිසෙක් මෝසෙස් කියා ඔහුව හඳුන්වා දුන්නා. තමා මෙසියස් බවටත් ක්‍රීතය නම් දූපතේ විසූ යුදෙව්වන්ව හිංසා පීඩාවලින් තමන් මුදවාගන්න යන බවටත් විශ්වාසයක් ඔහු ඔවුන් තුළ ඇති කළා. ඔවුන් නිදහස ලබනවායයි පවසන ලද දවසේදී, මේ මිනිසුන් ඔහු සමඟ මධ්‍යධරණි මුහුද අසල උස් ස්ථානයකට ගමන් කළා. ඔවුන්ට මුහුදට පනින්න කියාත්, පනිද්දී මුහුද දෙබෑ වෙනවා කියාත් ඔහු ඔවුන්ට පැවසුවා. ඔහුගේ කීම අසා මුහුදට පැන්න බොහෝදෙනෙක් මුහුදට බිලි වුණා. බොරු මෙසියස් අතුරුදහන් වුණා.

2 දොළොස්වන සියවසේදී තවත් “මෙසියස්” කෙනෙක් යේමනයේ පෙනී සිටියා. තමා “මෙසියස්” නම් ඒ බව ඔප්පු කරන්න කියා කාලිෆ් නැතහොත් එම රටේ පාලකයා ඔහුගෙන් ලකුණක් ඉල්ලූ විට, තමාගේ හිස ගසා දමන්න කියා ඔහු පැවසුවා. වැඩි වේලාවක් යන්න කලින් ලකුණක් හැටියට තමා නැවත නැඟිටින බවට ඔහු අනාවැකියක් පළ කළා. කාලිෆ් එයට එකඟ වුණා. මෙසේ ඒ “මෙසියස්” අවසන් ගමන් ගියා.

3. සැබෑ මෙසියස් කවුද? ඔහුගේ දේවසේවයෙන් ඔප්පු වූයේ කුමක්ද?

3 බොරු මෙසියස්වරුන් හා ඔවුන් පැවසූ අනාවැකි මගින් ජනයාගේ බලාපොරොත්තු සුන් කර දමා තිබෙනවා. එහෙත් දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය යොමු කිරීමෙන් කවදාවත්ම අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ නැහැ. බයිබල් අනාවැකි බොහොමයක් සැබෑ මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස් තුළ ඉටු වෙමින් තිබුණා. උදාහරණයක් හැටියට, මතෙව් තම සුවිශේෂයේ යෙසායාගේ අනාවැකිය උපුටා දක්වමින් මෙසේ ලිව්වා: “යොර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලොන් රටද නප්තලී රටද වන අන්‍ය ජාතීන්ගේ ගලීලයෙහි, අන්ධකාරයෙහි හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය, මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට ආලෝකය [උදා වුණේය].” ඒ “මහත් ආලෝකය” වූ යේසුස් මෙසේ පවසමින් සිය දේශනා වැඩය ආරම්භ කළා: “පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේ.” (මතෙව් 4:14-17; යෙසායා 9:1, 2) මෝසෙස් පුරෝකථනය කළ අනාගතවක්තෘ යේසුස් බව ඔහුගේ දේවසේවයෙන් සනාථ වුණා. යේසුස්ට සවන් නොදෙන අයව විනාශ කර දමනු ලබනවා.—ද්විතීය කථාව 18:18, 19; ක්‍රියා 3:22, 23.

4. යෙසායා 53:12හි සඳහන් දෙය යේසුස් ඉටු කළේ කෙසේද?

4 යෙසායා 53:12හි සඳහන් අනාවැකිමය වදන්ද යේසුස් ඉටු කළා. අපිට එහි මෙසේ කියවීමට තිබෙනවා: ‘ඔහු තම ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, ඔහුම බොහෝදෙනෙකුගේ පාප උසුලාගත්තේය; වරදකාරයන් උදෙසාද ඔහු මැදහත්කම් කරන්නේය.’ වැඩි කල් නොගොස් තම මිනිස් ජීවිතය මිදීමේ මිලයක් හැටියට පූජා කරන්න තිබෙන බව දැන සිටි යේසුස්, අන්‍යරූප විලාස වීම මගින් සිය ගෝලයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කළා.—මාර්ක් 10:45.

අන්‍යරූප විලාස වීම මගින් ඇදහිල්ල ශක්තිමත් වෙයි

5. අන්‍යරූප විලාස වීම ඔබගේම වචනවලින් විස්තර කරන්න.

5 අන්‍යරූප විලාස වීම අනාවැකිමය වශයෙන් වැදගත්කමක් තිබූ සිද්ධියක් වුණා. යේසුස් මෙසේ පැවසුවා: “මනුෂ්‍ය පුත්‍රයා තමන් [පියාගේ] තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය. . . . සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝය.” (මතෙව් 16:27, 28) යේසු සිය රාජ්‍ය බලයෙන් යුක්තව එනවා ප්‍රේරිතයන්ගෙන් සමහරදෙනෙක් ඇත්තටම දැක්කාද? මතෙව් 17:1-7 මෙසේ සඳහන් වෙනවා: ‘සදවසකට පසු යේසුස් පේතෘස්ද යාකොබ්ද ඔහුගේ සහෝදර වූ යොහන්ද පමණක් කැඳවාගෙන උස් වූ කන්දකට වෙන්ව ගියේය. ඔහු ඔවුන් ඉදිරියෙහි අන්‍යරූප විලාස වූයේය.’ මොනතරම් චමත්කාරජනක සිද්ධියක්ද! ‘ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, ඔහුගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදු වූයේය. බලව, මෝසෙස්ද එලියාද ඔහු සමඟ කතා කරමින් සිටිනවා ඔවුන්ට පෙනුණේය.’ එමෙන්ම “දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය.” දෙවි විසින්ම පවසන ලද මෙම වචන ඔවුන්ට ඇසුණා: “බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට [ඇහුම්කන් දෙන්න]. . . . ගෝලයෝ ඒ අසා, මුහුණින් වැටී, අතිශයින් භය පත්වූවෝය. [යේසු] ඇවිත් ඔවුන්ට අතගසා: නැගිටින්න, භය නොවෙන්නැයි [කීවේය].”

6. (අ) අන්‍යරූප විලාස වීම දර්ශනයක් ලෙස යේසුස් හැඳින්වූයේ මන්ද? (ආ) අන්‍යරූප විලාස වීම මගින් පෙර ඡායාවක් කොට දැක්වූයේ කුමක්ද?

6 පෙනෙන විදිහට ගරුබිය දනවන මේ සිද්ධිය සිදු වූයේ හෙර්මොන් කඳුවැටියේදීයි. යේසුස් හා ඔහුගේ ප්‍රේරිතයන් තුන්දෙනා එදා රාත්‍රිය එහි ගත කළා. අන්‍යරූප විලාස වීම සිදු වූයේ රාත්‍රියක නිසා, එය ඉතාමත් පැහැදිලිව දැකගත හැකි වුණා. යේසුස් මෙම සිද්ධිය දර්ශනයක් ලෙස හැඳින්වීමට එක් හේතුවක් වූයේ, බොහෝ කලකට ඉහතදී මිය ගිය මෝසෙස් සහ එලියා ඇත්තටම එහි නොසිටීමයි. එහි සිටියේ ක්‍රිස්තුස් පමණයි. (මතෙව් 17:8, 9) ඉමහත් දීප්තියකින් යුත් ආලෝකයක් මැද සිදු වූ මෙම දර්ශනය මගින් රාජ්‍ය බලයෙන් යුක්තව යේසුගේ තේජවත් පැමිණ සිටීම පිළිබඳ චමත්කාරජනක පෙර ඡායාවක් දකින්න පේතෘස්ටත්, යාකොබ්ටත්, යොහන්ටත් අවස්ථාවක් ලැබුණා. මෝසෙස් සහ එලියා සමානකමක් දක්වන්නේ යේසුගේ ආලේප ලත් හවුල් උරුමක්කරුවන්ටයි. එමෙන්ම මෙම දර්ශනය මගින් රාජ්‍යය සහ යේසුස්ගේ අනාගතික රජකම පිළිබඳ ඔහුගේ සාක්ෂිය ප්‍රබල ලෙස තහවුරු කළා.

7. අන්‍යරූප විලාස වීම පේතෘස්ගේ මනසෙහි නොමැකෙන අයුරින් සටහන් වී තිබූ බව අපි දන්නේ කෙසේද?

7 ක්‍රිස්තියානි සභාව තුළ ප්‍රධාන වැඩ කොටසක් කිරීමට සිටිය මේ පුරුෂයන් තිදෙනාගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න අන්‍යරූප විලාස වීම ඉවහල් වුණා. මෙය සිදු වූ අවස්ථාවේදී යේසුස් ඇඳ සිටි ඇඳුම සුදු පාටින් දිලිසුණු අතර, ඔහුගේ මුහුණ දිදුලන කාන්තියකින් බැබළුණා. ඒ විතරක් නොවෙයි, යේසුස් තමාගේ ප්‍රේමවන්ත පුත්‍රයා බව යෙහෝවා හඬනඟා ප්‍රකාශ කළා. මේ සෑම දෙයක්ම මෙම දර්ශනයේ අරමුණ ඉටුවීමට දායක වුණා. එහෙත් තමන්ව නැවත නැඟිටුවන තෙක් මෙම දර්ශනය ගැන කිසිවෙකුට නොපවසන්න කියා යේසුස් මෙම ප්‍රේරිතයන් තිදෙනාට පැවසුවා. අවුරුදු 32ක පමණ කාලයක් ගත වූවායින් පසුවත් මෙම දර්ශනය පේතෘස්ගේ මනසේ විචිත්‍රවත්ව තිබුණා. එහි වැදගත්කම ගැන සඳහන් කරමින් ඔහු මෙසේ ලිව්වා. ‘අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ බලයත්, ඊමත් [පැමිණ සිටීමත්, NW] අප නුඹලාට දැන්වූ කල, ඔහුගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදන ලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව. මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ට තේජසෙන් ඔහු කරා පහළ වූ කල්හි, පිය වූ දෙවිගෙන් ගෞරවයත් තේජසත් ඔහු ලැබුවේය. ඔහු සමඟ ශුද්ධ වූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව.’—2 පේතෘස් 1:16-18.

8. (අ) සිය පුත්‍රයා සම්බන්ධයෙන් දෙවි කළ ප්‍රකාශය මගින් අවධානය යොමු කළේ කුමකටද? (ආ) අන්‍යරූප විලාස වීමේදී පැතිරී තිබූ වලාකුළෙන් ඇඟෙව්වේ කුමක්ද?

8 මෙහිදී සුවිශේෂ වැදගත්කමකින් යුත් දෙය වන්නේ, “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමි” කියා දෙවි විසින්ම කළ ප්‍රකාශයයි. මෙම ප්‍රකාශය මගින් දෙවි විසින් සිංහාසනාරූඪ කර තිබෙන රජු හැටියට මුළු මැවිල්ලම කීකරු විය යුතු යේසු වෙත අවධානය යොමු කරවයි. මෙම දර්ශනයෙන් දුටු වලාකුළෙන් ඇඟවෙන්නේ, මෙම දර්ශනයේ ඉටුවීම අදෘශ්‍යමානව සිදු වන බවයි. එමෙන්ම මෙය තේරුම්ගත හැක්කේ, රාජ්‍ය බලයෙන් යුක්තව යේසුස්ගේ අදෘශ්‍යමාන පැමිණ සිටීම හා සම්බන්ධ “ලකුණ [NW]” අවබෝධය නමැති ඇස්වලින් දැකගත හැකි අයට පමණයි. (මතෙව් 24:3) තමන් මළවුන්ගෙන් නැඟිටින තෙක් මේ දර්ශනය ගැන කිසිවෙකුට පවසන්න එපා කියා යේසුස් ඔවුන්ට දුන් උපදේශයෙන් පැහැදිලි වන්නේ, ඔහුව උසස් කරනු ලැබීම හා මහිමයට පමුණුවනු ලැබීම සිදුවීමට තිබුණේ ඔහුගේ නැවත නැඟිටීමෙන් පසුව බවයි.

9. අන්‍යරූප විලාස වීම අපේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට හේතුවක් විය යුත්තේ මන්ද?

9 අන්‍යරූප විලාස වීම ගැන සඳහන් කිරීමෙන් පසු පේතෘස් මෙසේ ලිව්වා: “මේ අනුව අනාවැකිමය වදන් අපට තවත් සහතික කර තිබේ. අඳුරු තැනක, එනම් ඔබගේ හෘදයේ බැබළෙන පහනක් මෙන් එයට අවධානය යොමු කිරීමෙන් ඔබට යහපතක් සිදු වේ. අලුයම උදා වී පහන් තාරකාව පායන තෙක් එසේ කළ යුතුය. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් කිසිදු අනාවැකියක් පෞද්ගලික අර්ථකථනයක ප්‍රතිඵලයක් නොවන බව ඔබ දන්නේය. අනාවැකි මිනිසාගේ අභිප්‍රායෙන් හටගත් යමක් නොවේ. මනුෂ්‍යයෝ දෙවිගෙන් ලැබූ ලෙස කතා කොට ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට අවනත වූහ.” (2 පේතෘස් 1:19-21NW) අන්‍යරූප විලාස වීම මගින් දෙවිගේ අනාවැකිමය වදන්වල විශ්වාසනීයත්වය කැපීපෙනෙන්න සලස්වනවා. අපි අවධානය යොමු කළ යුත්තේ එම වදන්වලට මිස, දෙවිගේ අනුබලය හෝ අනුමැතිය නොමැති “ප්‍රයෝගයෙන් යොදනලද [ප්‍රබන්ධවලට]” නොවෙයි. අන්‍යරූප විලාස වීමේ දර්ශනයෙන් දිස් වූ යේසුස්ගේ තේජස හා රාජ්‍ය බලය දැන් යථාර්ථයක් වී තිබෙන නිසා, අනාවැකිමය වදන් කෙරෙහි තිබෙන අපේ විශ්වාසය එම දර්ශනය මගින් ශක්තිමත් විය යුතුයි. අද ක්‍රිස්තුස් බලවත් ස්වර්ගීය රජෙකු ලෙස රාජකීය බලයෙන් යුක්තව පැමිණ සිටින බවට ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි අපිට තිබෙනවා.

පහන් තාරකාව පායන අයුරු

10. පේතෘස් සඳහන් කරන “පහන් තාරකාව” කවුද නැතහොත් කුමක්ද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න.

10 පේතෘස් මෙසේ ලිව්වා: “අඳුරු තැනක, එනම් ඔබගේ හෘදයේ බැබළෙන පහනක් මෙන් එයට [අනාවැකිමය වදන්වලට] අවධානය යොමු කිරීමෙන් ඔබට යහපතක් සිදු වේ. අලුයම උදා වී පහන් තාරකාව පායන තෙක් එසේ කළ යුතුය.” “පහන් තාරකාව” කවුද නැත්නම් කුමක්ද? “පහන් තාරකාව” යන වචනය බයිබලයේ සඳහන් වන්නේ එක තැනක පමණයි. එමෙන්ම අර්ථය අනුව බලද්දී, එය “අලුයම පායන තාරකාවට” සමානයි. එළිදරව් 22:16හි යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වන්නේ “දීප්තිමත් පහන් තාරකාව” ලෙසයි. අවුරුද්දේ ඇතැම් කාලවලදී, හිරු නැඟ එන්න මදකට කලින් නැඟෙනහිර ක්ෂිතිජයෙන් අවසානයට පායන්නේ එම තාරකායි. මේ අනුව, අලුත් දවසක උදාව ඒවායින් දැනුම් දෙයි. පේතෘස් “පහන් තාරකාව” යන වචනය යොදාගනු ලැබුවේ, රාජ්‍ය බලය ලැබුවාවූ යේසුට යොමු දැක්වීම සඳහායි. යේසුස් රාජ්‍ය බලය ලැබූ කාලයේදී තාරකාවක් නැඟී එන්නාක් මෙන් අපි ජීවත් වෙන පොළොව ඇතුළු මුළු විශ්වයටම දැකගත හැකි ලෙස නැඟී සිටියා! මෙසියානු පහන් තාරකාව හැටියට, ඔහු කීකරු මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් උදා වන අලුත් දවසක් නොහොත් අලුත් යුගයක් පිළිබඳ ඉඟියක් සපයයි.

11. (අ) ‘පහන් තාරකාවක්’ සැබෑ මිනිස් හදවත්වල පායන බව 2 පේතෘස් 1:19හි [NW] සඳහන් දෙයින් අදහස් නොකරන්නේ මන්ද? (ආ) ඔබ 2 පේතෘස් 1:19 [NW] පැහැදිලි කරන්නේ කෙසේද?

11 දෙවන පේතෘස් 1:20හි සඳහන් ප්‍රේරිත පේතෘස්ගේ වචනවලින් යොමු දැක්වෙන්නේ පුද්ගලයෙකුගේ සැබෑ හෘදයටයි කියන අදහසට බයිබල් පරිවර්තකයන් බොහෝදෙනෙක් අනුබල දෙනවා. වැඩිහිටි පුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑම් 250 සිට 300 දක්වා බර ප්‍රමාණයකින් යුක්තයි. දැන් ස්වර්ගයෙහි තේජසට පත්ව සිටින අමරණීය වූ අදෘශ්‍යමාන මැවිල්ලක් වන යේසුස් ක්‍රිස්තුස්ට මෙම කුඩා මිනිස් ඉන්ද්‍රියයන් තුළ නැඟී සිටිය හැක්කේ කෙසේද? (1 තිමෝති 6:16) අපි දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය යොමු කරන්නේ අපේ හෘදවලින් නිසා, මේ කාරණයට අපේ සංකේතමය හෘද සම්බන්ධ වන බව ඇත්තයි. නව ලෝක පරිවර්තනයෙහි සඳහන් 2 පේතෘස් 1:19හි දැක්වෙන “ඔබගේ හෘදයේ” යන ප්‍රකාශය “අලුයම උදා වී පහන් තාරකාව පායන තෙක්” යන වාක්‍ය ඛණ්ඩයට සම්බන්ධ කර නොතිබෙන බවත්, එය අඳුරු තැනක යන ප්‍රකාශයට කෙළින්ම සම්බන්ධ කර තිබෙන බවත් එම වගන්තිය පරෙස්සමින් කියවන විට ඔබ දකීවි.

12. පොදුවේ ගත් කල මිනිසුන්ගේ හෘදයේ තත්වය කෙබඳුද? නමුත් සැබෑ ක්‍රිස්තියානීන්ගේ හෘදයේ තත්වය මීට වඩා වෙනස් වන්නේ කෙසේද?

12 පොදුවේ ගත් කල පව්කාර මනුෂ්‍යයන්ගේ සංකේතමය හෘදවල තත්වය ගැන කුමක් කිව හැකිද? ඔවුන්ගේ හදවත් ආත්මික අන්ධකාරයෙන් වැසී තිබෙනවා. කෙසේවෙතත් අපි සැබෑ ක්‍රිස්තියානීන් නම්, අපේ හෘද බැබළෙන පහනක් මෙන් විය යුතුයි. මෙවන් තත්වයක නොමැති හෘද අඳුරෙන් වැසී තිබෙනවා. පේතෘස්ගේ වචනවලින් පෙන්වා දෙන්නාක් මෙන්, සැබෑ ක්‍රිස්තියානීන් අවදිව හා අලුත් දවසක උදාව ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව සිටින්නේ දෙවිගේ දීප්තිමත් අනාවැකිමය වදන්වලට අවධානය යොමු කරන නිසයි. පහන් තාරකාව, මිනිසුන්ගේ මාංශික හෘදවල නොව, මුළු මැවිල්ල ඉදිරියෙහි පායා තිබෙන බවට වූ සත්‍යය ඔවුන් තේරුම්ගෙන තිබෙනවා.

13. (අ) පහන් තාරකාව දැනටමත් පායා තිබෙන බවට අපිට නිසැක විය හැක්කේ මන්ද? (ආ) අපි ජීවත් වන කාලය සම්බන්ධයෙන් යේසුස් පුරෝකථනය කළ දුෂ්කර තත්වයන් හමුවෙහි ක්‍රිස්තියානීන්ට විඳදරාගත හැක්කේ මන්ද?

13 පහන් තාරකාව දැනටමත් පායා තිබෙන බව, යේසුස් සිය පැමිණ සිටීම සම්බන්ධයෙන් පැවසූ අනාවැකියට අවධානය යොමු කිරීමෙන් අපිට ස්ථිර විය හැකියි. මීට පෙර කවදාවත් සිදු නොවූ ආකාරයෙන් යුධ, සාගත, භූමිකම්පා වැනි දේවල් මෙන්ම ශුභාරංචිය ලොව පුරා දේශනා කිරීම සිදු වන විට එම අනාවැකියේ ඉටුවීම අද අපි දකිනවා. (මතෙව් 24:3-14) යේසුස් පුරෝකථනය කළ දුෂ්කර තත්වයන් අපිටත් බලපානවා. එහෙත් දේවල් විඳදරාගන්න අපිට හැකි වී තිබෙන්නේ අපේ හෘදවල සාමය හා ප්‍රීතිය තිබෙන නිසයි. අපේ හෘදවල සාමය හා ප්‍රීතිය තිබීමට හේතුව කුමක්ද? අපි දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය යොමු කිරීමත්, දෙවි අනාගතය ගැන කර තිබෙන පොරොන්දු කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීමත් එයට හේතුවයි. අපි ජීවත් වන්නේ ‘අන්තිම කාලයේ’ අන්තිම කෙළවරේ නිසා, කාලවල හොඳම කාලයේ අද්දරටම ළඟා වී සිටින බව අපි දන්නවා. (දානියෙල් 12:4) අද මේ ලෝකය පවතින්නේ යෙසායා 60:2හි පුරෝකථනය කර තිබෙන පැහැදිලි ගමන් මඟක් නොමැති තත්වයකයි. එහි මෙසේ පවසනවා: “එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය.” අන්ධකාරයෙන් වැසී තිබෙන මේ ලෝකය තුළ තමන්ගේ ගමන් මඟ කෙනෙකුට සොයාගත හැක්කේ කෙසේද? මේ සඳහා ප්‍රමාද වීමට කලින්, දෙවිගේ අනාවැකිමය වදන්වලට දැන්ම නිහතමානීව අවධානය යොමු කළ යුතුයි. අවංක හදවත් ඇති අය ජීවිතයේ හා ආලෝකයේ උල්පත වන යෙහෝවා දෙවි වෙත හැරිය යුතුයි. (ගීතාවලිය 36:9; ක්‍රියා 17:28) යම් කෙනෙකුට සත්‍යය අවබෝධ කරගෙන, කීකරු මනුෂ්‍යයන්ට දෙවි ලබා දෙන මවිතකර අනාගතයේ සතුට භුක්ති විඳීමේ බලාපොරොත්තුව ඇතුව සිටිය හැක්කේ දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය යොමු කරනවා නම් පමණයි.—එළිදරව් 21:1-5.

‘ලෝකයට ආලෝකය පැමිණ තිබේ’

14. බයිබලයේ සඳහන් මවිතකර අනාවැකිවල ඉටුවීම අද්දකින්න නම්, අපි කුමක් කළ යුතුද?

14 යේසුස් ක්‍රිස්තුස් දැන් රජෙකු ලෙස පාලනය කරමින් සිටින බව ශුද්ධ ලියවිලි පැහැදිලි කරනවා. ඔහු 1914දී රාජ්‍ය බලයෙන් යුක්තව පැමිණ තිබෙන නිසා මවිතකර අනාවැකි අනාගතයේදී ඉටුවීමට නියමිතයි. මෙම අනාවැකිවල ඉටුවීම අද්දකින්න නම්, දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අතින් සිදු වූ පව්කාර ක්‍රියාවන් ගැන පසුතැවිලි වී, යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි තබා තිබෙන ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වන නිහතමානී අය බව අපි ඔප්පු කළ යුතුයි. අන්ධකාරයට ඇලුම් කරන අය සදාකාල ජීවනය ලබන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. යේසුස් මෙසේ පැවසුවා: “විනිශ්චය නම් මේය—ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය. නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති. නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා [දෙවි] තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේය.”—යොහන් 3:19-21.

15. දෙවි ඔහුගේ පුත්‍රයා මාර්ගයෙන් සපයා තිබෙන ගැළවීම අපි සුළු කොට තකනවා නම් සිදු වන්නේ කුමක්ද?

15 ලෝකයට ආත්මික ආලෝකය විහිදුවා තිබෙන්නේ යේසුස් නිසා ඔහුට සවන් දීම ඉතාමත් වැදගත්. පාවුල් මෙසේ ලිව්වා: ‘දෙවි ආදි කාලයෙහි බොහෝ අවස්ථාවලදීද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කතා කරවා, මේ දවස්වල කෙළවරදී තමාගේ පුත්‍රයා ලවා අපට කතා කළේය. ඔහුව සියල්ලට උරුමක්කාරයා කළේය.’ (හෙබ්‍රෙව් 1:1, 2) දෙවි ඔහුගේ පුත්‍රයා මගින් ලබා දී තිබෙන ගැළවීම අපි සුළු කොට තකනවා නම් සිදු වන්නේ කුමක්ද? පාවුල් තවදුරටත් මෙසේ පැවසුවා: ‘දේවදූතයන් කරණකොටගෙන කියන ලද වචනය ස්ථිර වී, සියලු වරද ක්‍රියාවලටත් අකීකරුකම්වලටත් සාධාරණ විපාකයක් ලැබුණේ නම්, පළමුවෙන් ස්වාමීන් කරණකොටගෙන කියන ලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිර කර දුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කෙසේ ගැළවෙමුද? දෙවි ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයේ දීමනාවලින්ද ඊට සාක්ෂි දුන්නේය.’ (හෙබ්‍රෙව් 2:2-4) ඇත්තෙන්ම, අනාවැකිමය වදන් ප්‍රකාශ කිරීමේදී, යේසුස්ට ප්‍රධාන තැනක් හිමි වෙයි.—එළිදරව් 19:10.

16. යෙහෝවා දෙවිගේ සෑම අනාවැකියක් ගැනම අපිට පූර්ණ විශ්වාසය තැබිය හැක්කේ මන්ද?

16 පේතෘස් පැවසුවාක් මෙන් “ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් කිසිදු අනාවැකියක් පෞද්ගලික අර්ථකථනයක ප්‍රතිඵලයක් [නොවේ].” මිනිසුන්ට සැබෑ අනාවැකි පැවසිය නොහැකියි. නමුත් දෙවිගේ අනාවැකි සියල්ල කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය හැකියි. මෙම අනාවැකිවල උල්පත යෙහෝවා දෙවිමයි. බයිබල් අනාවැකි ඉටු වෙමින් පවතින ආකාරය වටහාගැනීමට ඔහු සිය සේවකයන්ට ශුද්ධාත්මයේ උපකාරය සපයනවා. වර්ෂ 1914 සිට මෙවැනි අනාවැකි බොහොමයක ඉටුවීම අපි දැක තිබෙන නිසා, අපි යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. මේ දුෂ්ට පිළිවෙළේ අවසානය හා සම්බන්ධ ඉතිරි අනාවැකි සියල්ලම ඉටු වෙන බව අපිට හොඳටම ස්ථිරයි. අපේ ආලෝකය අපි බබළමින් සිටින අතරේදී, දිව්‍ය අනාවැකිවලට දිගටම අවධානය යොමු කරමින් සිටීම ඉතාමත් වැදගත්. (මතෙව් 5:16) අද මුළු පොළොවම ‘ගන අඳුරෙන්’ වැසී තිබෙද්දී ‘අපිට එළිය’ ලැබීමට සැලැස්වීම ගැන අපි යෙහෝවාට මොනතරම් ස්තුතිවන්ත විය යුතුද!—යෙසායා 58:10NW.

17. අපිට දෙවි සපයන ආත්මික ආලෝකය අවශ්‍ය වන්නේ මන්ද?

17 අපි දේවල් දකින්නේ භෞතික ආලෝකය නිසයි. විවිධත්වයකින් යුත් ආහාර අපට සපයා දෙන බෝග වර්ග වැඩීමටද ආලෝකය අවශ්‍යයි. ආලෝකය නැතුව අපිට ජීවත් විය නොහැකියි. ආත්මික ආලෝකය ගැන කුමක් කිව හැකිද? එය අපිට මඟ පෙන්වීම සපයනවා. එමෙන්ම දෙවිගේ වචනය වන බයිබලයෙහි කර තිබෙන පුරෝකථනයන් මගින් අනාගතයේ සිදු වන දේවල් පෙන්වා දෙනවා. (ගීතාවලිය 119:105) යෙහෝවා දෙවි ප්‍රේමනීය ලෙස ‘ඔහුගේ ආලෝකය සහ සත්‍යය සපයනවා.’ (ගීතාවලිය 43:3NW) අපි මෙවන් සැපයුම් ඉමහත් සේ අගය කළ යුතුයි. එනිසා, ‘දෙවිගේ තේජසේ දැනුම’ නමැති ආලෝකය අපේ සංකේතමය හෘදවල බැබළෙන පිණිස, එම ආලෝකයෙන් ප්‍රයෝජන ගැනීමට අපි අපේ උපරිමය කරමු.—2 කොරින්ති 4:6; එපීස 1:19.

18. යෙහෝවාගේ පහන් තාරකාව දැන් සූදානමින් සිටින්නේ කුමක් කරන්නද?

18 පහන් තාරකාව වන යේසුස් ක්‍රිස්තුස් 1914දී මුළු විශ්වයටම දැකගත හැකි ලෙස නැඟී සිට ඇති බවත් අන්‍යරූප විලාස වීමේ දර්ශනයේ දුටු දේවල් ඉටු වෙන්න පටන්ගෙන තිබෙන බවත් දැනගන්න ලැබී ඇති නිසා අපි මොනතරම් ආශීර්වාද ලත් සෙනඟක්ද! අන්‍යරූප විලාස වීමේ තවත් ඉටුවීමක් හැටියට දෙවිගේ අරමුණේ එක් අංගයක් වන ‘සර්වපරාක්‍රම දෙවිගේ මහත් දවසේ යුද්ධයට’ යෙහෝවාගේ පහන් තාරකාව දැන් සූදානම්. (එළිදරව් 16:14, 16) දැන් පවතින මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමෙන් පසුව, යෙහෝවා ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ පිළිබඳ ඔහුගේ පොරොන්දුව ඉටු කරන්න යනවා. එම නව ලොවේදී විශ්ව පරමාධිපති ස්වාමීන් හා සැබෑ අනාවැකිවල දෙවි හැටියට යෙහෝවාට ප්‍රශංසා කරන්න අපිට හැකියි. (2 පේතෘස් 3:13) එම උදාර දවස පැමිණෙන තෙක්, දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙමින් දෙවි සපයන ආලෝකයෙහි අපි දිගටම ගමන් කරමු.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• යේසුස්ගේ අන්‍යරූප විලාස වීම ඔබ විස්තර කරන්නේ කෙසේද?

• අන්‍යරූප විලාස වීමේ දර්ශනය මගින් ඇදහිල්ල වර්ධනය වන්නේ කෙසේද?

• යෙහෝවාගේ පහන් තාරකාව කවුද? නැතහොත් කුමක්ද? එය පායන ලද්දේ කවදාද?

• අපි දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

අන්‍යරූප විලාස වීමේ වැදගත්කම ඔබට පැහැදිලි කළ හැකිද?

[15වන පිටුවේ පින්තූරය]

පහන් තාරකාව දැනටමත් පායා තිබේ. කෙසේද? කවදාද කියා ඔබ දන්නවාද?