Skip to content

පටුනට යන්න

නාට්සි වද හිංසා හමුවේ නොබියව සහ විශ්වාසවන්තව

නාට්සි වද හිංසා හමුවේ නොබියව සහ විශ්වාසවන්තව

නාට්සි වද හිංසා හමුවේ නොබියව සහ විශ්වාසවන්තව

වර්ෂ 1946 ජූනි 17වන දින, නෙදර්ලන්තයේ විල්හෙල්මිනා රැජින ඇම්ස්ටර්ඩෑම්හි සිටි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ පවුලකට තම ශෝකය පළ කරමින් පණිවුඩයක් යවනු ලැබීය. එහි අරමුණ වූයේ, දෙවන ලෝක යුද සමයේ නාට්සිවරුන් විසින් අමානුෂික ලෙස ඝාතනය කළ එම පවුලේ සිටි යාහ්කොබ් වැන් බෙනකොම් නමැති පුත්‍රයාට ප්‍රශංසා කිරීමටය. අවුරුදු කීපයකට පෙර ඩියුට්කම් නගර සභාව නෙදර්ලන්තයේ නැඟෙනහිර පළාතේ නගරයකට බර්නාට් පෝල්මන් කියා නම් කිරීමට තීරණය කෙරුණි. ඔහුද යුද සමයේ ඝාතනය කළ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙකි.

දෙවන ලෝක යුද සමයේදී නාට්සිවරුන් යාහ්කොබ් සහ බර්නාට් ඇතුළුව නෙදර්ලන්තයේ සිටි අනෙකුත් යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට විරුද්ධවාදිකම් කළේ මන්ද? ඒවගේම අවුරුදු ගණනාවක් පුරා කෲර වද හිංසා යටතේ විශ්වාසවන්තව සිට, අන්තිමේදී තම රටවැසියන්ගේ පමණක් නොව රටෙහි රැජිනගේ පවා ප්‍රසාදය දිනාගැනීමට මෙම සාක්ෂිකරුවන්ට හැකි වූයේ කෙසේද? මෙය සොයා බැලීමට දාවිත් සහ ගොලියත්ගේ සටන වැනි මෙම යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ කුඩා කණ්ඩායම සහ සද්දන්ත නාට්සි හමුදා දේශපාලන සංවිධානය අතර ඇති වූ සටනේ අවස්ථා කීපයක් සලකා බලමු.

තහනම යටතේ පෙරටත් වඩා ක්‍රියාශීලීව

වර්ෂ 1940 මැයි මස 10වනදා, නාට්සි හමුදාව නෙදර්ලන්තය යටත් කරගත්හ. එතැන් පටන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බෙදාහරින ලද බයිබල් ප්‍රකාශනවල නාට්සිවරුන්ගේ දුෂ්ට ක්‍රියා හෙළි කළ අතර දෙවිගේ රාජ්‍යයට පක්ෂව කතා කළේය. මේ නිසා, නාට්සිවරුන් විසින් සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීමට යුහුසුලුව කටයුතු දියත් කරන ලදි. නෙදර්ලන්තය යටත් කරගෙන සති දෙකක් යන්නට මත්තෙන් ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකාරයන්ව තහනම් කරමින් රහසිගත නියෝගයක් නිකුත් කරන ලදි. 1941 මාර්තු 10වන දින සාක්ෂිකාරයන් “ආණ්ඩුවට සහ පල්ලියට” විරුද්ධව කටයුතු කරන කණ්ඩායමක් කියා චෝදනා කර එය ආණ්ඩුව මගින් තහනම් කිරීමට නියෝග කළේය. ඇති වූ ප්‍රතිඵලය නම් සාක්ෂිකාරයන්ට විරුද්ධව දියත් කළ ප්‍රහාරය උග්‍රවීමයි.

මිනීමරු ගෙස්ටාපෝ හමුදාව නැතහොත් රහස් පොලිසිය සියලුම පල්ලිවලට පූර්ණ ආරක්ෂාව සැපයූ අතර එකම එක ක්‍රිස්තියානි කණ්ඩායමකට දරුණු ලෙස පීඩා කිරීම ඇත්තෙන්ම සිතාගැනීමටත් බැරි දෙයක්. “එක ආගමික කණ්ඩායමකට එනම් යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට පමණයි මරණය දක්වාම පීඩා කළේ” කියා ලන්දේසි ජාතික ඉතිහාසඥයෙක් වූ ආචාර්ය ලුවි ඩි යොන් පැවසීය.—හෙට් කොන්ඉන්ක්‍රික් ඩ නෙඩාර්ලන්ඩන් ඉන් ඩා ට්වාරල්ඩෝර්ලොක් (දෙවන ලෝක යුද සමයේ නෙදර්ලන්ත රාජ්‍යය).

සාක්ෂිකරුවන්ව සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට ගෙස්ටාපෝ හමුදාවට ලන්දේසි පොලිසියේ සහයද ලැබිණ. ඊට අමතරව සංචාරක අවේක්ෂකයෙක් ඇති වූ බිය නිසා ඇදහිල්ලෙන් වැටී නාට්සිවරුන්ට සෙසු ඇදහිලිවන්තයන්ගේ තොරතුරු සපයන ලදි. 1941 අප්‍රියෙල් මස අවසන් වන විට සාක්ෂිකරුවන් 113දෙනෙකුව අත්අඩංගුවට ගත්හ. මෙම දරුණු පීඩාව දේශනා ක්‍රියාකාරකම්වලට අවසානයක් ගෙන ආවද?

මෙයට පිළිතුරු වර්ෂ 1941 අප්‍රියෙල් මස ආරක්ෂක පොලිසිය (සිකරිට්ස්පෝලිට්සී) මගින් සම්පාදිත වැදගත් ලියවිල්ලක් වන මෙල්ඩුන්නන් ආවුස් ඩෙන් නෙඩාර්ලාන්ඩන්වලින් (නෙදර්ලන්තයෙන් පැමිණෙන වාර්තා) සොයාගත හැක. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන එම වාර්තාවේ පවසන්නේ මෙලසයි: “මෙම තහනම් කළ නිකාය ‘දෙවිගේ සාක්ෂිකාරයන්ට පීඩා කිරීම සාපරාධි ක්‍රියාවක්’ හා ‘යෙහෝවා පීඩා කරන්නන්ව සදහටම විනාශ කරයි’ වැනි පාඨ සඳහන් පත්‍රිකා ඇලවීමෙන් සහ නීති විරෝධී ලෙස රැස්වීම් පවත්වමින් තම ක්‍රියාකාරකම් දිගටම රට පුරා කරගෙන යයි”. සති දෙකකට පසු එම වාර්තාවම පැවසුවේ “රහස් පොලිසිය බයිබල් ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට කොතරම් පියවර ගෙන තිබුණත් ඔවුන්ගේ වර්ධනය දිගින් දිගටම වැඩි වුණා” යනුවෙනි. අත්අඩංගුවට ගැනීමේ අන්තරාව තිබුණත් සාක්ෂිකරුවන් තම ක්‍රියාකාරකම්වල දිගටම නිරත විය. 1941දී පමණක් බෙදාහැර ඇති පොත් පත් ප්‍රමාණය 3,50,000කට වඩා වැඩිය!

සාක්ෂිකරුවන් සිය ගණනක් පමණක් සිටින කුඩා කණ්ඩායමට භයානක සතුරන් ඉදිරියේ සිටීමට ධෛර්යය ලැබුණේ කෙසේද? ඔවුන් අතීතයේ සිටි විශ්වාසවන්ත අනාගතවක්තෘ යෙසායා මෙන් මනුෂ්‍යයන්ට නොව දෙවිට පමණක් භය වූ නිසයි. එසේ කළේ මන්ද? යෙහෝවා යෙසායාට පැවසූ වදන් කෙරෙහි ස්ථිර විශ්වාසයක් ඔවුන්ට තිබූ නිසයි. එහි මෙසේ පවසා ඇත: ‘නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාට භය වෙන්න නුඹ කවුද?’—යෙසායා 51:12, 13.

ගෞරවයට මුල නිර්භීතකමයි

වර්ෂ 1941වන විට අත්අඩංගුවට ගත් සාක්ෂිකාරයන්ගේ සංඛ්‍යාව 241ක් දක්වා ඉහළ ගියේය. මනුෂ්‍යයන්ට භය වූ නිසා තම ස්ථාවරය දුර්වල කරගත්තේ ඉතාමත් සුළු පිරිසකි. ජර්මන් රහස් පොලිසියේ සිටි මැරයෙක් වූ විලී ලාගස් සඳහන් කළේ මෙසේය: “යෙහෝවාගේ සාක්ෂිකාරයන් සියයට අනූවක්ම කිසි දෙයක් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළා. නමුත් වෙනත් ආගමික කණ්ඩායම්වල සුළු පිරිසකට පමණයි ධෛර්යය තිබුණේ තම නිහඬතාවය රැකගන්න.” සාක්ෂිකාරයන් සමඟ සිරගත කර සිටි පූජකයෙකු වූ යොහැනස් බස්කස් කළ ප්‍රකාශය ලාගස්ගේ සඳහන ස්ථිර කිරීමට කදිම සාක්ෂියකි. ඔහු 1951දී ලිවූ දේ සලකා බලන්න.

“ඔවුන්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය සහ ඇදහිල්ලේ බලවත්කම ගැන මට පුදුම ගෞරවයක් ඇති වුණා. හිට්ලර් සහ තුන්වන රයික් ආණ්ඩුවේ පරාජය ගැන සඳහන් කළ කුඩා පත්‍රිකා බෙදාහැරිය අවුරුදු 19ක්වත් නැති පොඩි කොල්ලව නම් මට කවමදාකවත් අමතක වෙන්නේ නෑ. ආයෙත් එවැනි ක්‍රියා ඉදිරියට නොකරනවා කියා පොරොන්දු වුණා නම් එයාට මාස හයකින් නිදහස් වෙන්න තිබුණා. එහෙත් ඔහු එය එකහෙළාම ප්‍රතික්ෂේප කළ නිසා ඔහුව මරණාන්තය දක්වා ජර්මනියේ ශ්‍රම කඳවුරට යැව්වා. එතැනට යවන කෙනෙකුට වෙන්නේ මොනවාද කියලා කවුරුත් හොඳට දන්නවා. පසුවදා ඔහුව ගෙනයෑමට පෙර අපි ඔහුගෙන් සමුගත්තා. මම ඔහුට පැවසුවා අප ඔහුව සිහි කරනවා වගේම ඔහු වෙනුවෙන් යාච්ඤා කරනවා කියලා. එතකොට ඔහු දුන් උත්තරය මොකක්ද දන්නවාද? ‘මං ගැන කරදර වෙන්න එපා. දෙවිගේ රාජ්‍ය ස්ථිරයෙන්ම පැමිණෙනවා.’ ඔබ මෙම යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සෑම ඉගැන්වීමකටම විරුද්ධ වුණත් ඒ වගේ සිද්ධියක් නම් ඔබට කවමදාකවත් අමතක වෙන්නේ නෑ.”

කොතරම් කෲර විරුද්ධවාදීකම් තිබුණත් සාක්ෂිකාරයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතුණි. දෙවන ලෝක යුද සමයට ටික කලකට පෙර සාක්ෂිකාරයන් සිටියේ 300දෙනෙක් පමණයි. එම සංඛ්‍යාව 1943වන විට 1,379ක් දක්වා ඉහළ නැග්ගේය. ඇත්තෙන්ම එය ප්‍රීතියක් වුවද, එම වසරේදීම අත්අඩංගුවට ගත් 350දෙනෙකුට වඩා සාක්ෂිකරුවන්ගෙන් 54දෙනෙකු විවිධ වධක කඳවුරුවල මියයෑම දරාගත නොහැකි වේදනාවකි. 1944 වන විට විවිධ වධක කඳවුරුවල යෙහෝවාගේ සාක්ෂිකරුවන් 141දෙනෙකුව රඳවාගෙන තිබුණි.

නාට්සි පීඩාවේ අවසාන වසර

වර්ෂ 1944 ජූනි 6වන දින සාක්ෂිකරුවන් තම පීඩාවේ අවසන් වසරට පිවිසුණේය. එම තීරණාත්මක දිනයේදී මිත්‍ර පාක්ෂික හමුදාව නාට්සිවරුන්ට විරුද්ධව ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය. නාට්සිවරුන්ගේ හමුදාව සහ ඔවුන්ගේ ආධාරකරුවන් පරාජය අභියස සිටියේය. මෙම තත්වය නිසා නාට්සිවරු අහිංසක ක්‍රිස්තියානීන්ට කළ පීඩාව නවතා දමයි කියා සමහරෙකු සිතිය හැක. හාත්පසින්ම වෙනස් දෙයක් සිදු විය. එනම් එම වසරේදීම තවත් සාක්ෂිකරුවන් 48දෙනෙකුව අත්අඩංගුවට ගත් අතර සිරගත කොට සිටි සාක්ෂිකරුවන් 68දෙනෙකු මිය ගියේය. කලින් සඳහන් කළ යාහ්කොබ් වැන් බෙනකොම්ද ඝාතනය කළ අය අතරින් කෙනෙකි.

වර්ෂ 1941දී යෙහෝවාගේ සාක්ෂිකාරයන් වශයෙන් බව්තීස්ම ලැබූ 580දෙනාගෙන් කෙනෙකි 18හැවිරිදි යාහ්කොබ්. ඔහු කරමින් සිටි උසස් රැකියාව මධ්‍යස්ථභාවයට බාධාවක් වීම නිසා ඉන් ඉවත් වූ විගසම පූර්ණ කාලීන සේවය කිරීමට ඔහුට ප්‍රස්තාව සලසා දුන් රැකියාවක් ඔහු තෝරාගත්තේය. එක් දිනක් බයිබල් පොත් පත් ප්‍රවාහනය කරන අතරතුරේදී පොලිසියේ රැහැනට හසු විය. ඉන්පසු 1944 අගෝස්තු මාසයේදී මෙම 21 හැවිරිදි යාහ්කොබ් රොටර්ඩෑම් නගරයේ සිරකඳවුරේ සිට තම පවුලට මෙසේ ලියනු ලැබීය:

“මම සන්තෝෂයෙන් ඉන්නේ, . . . මේ වන විට හතරවතාවක් මගෙන් ප්‍රශ්න කළා. පළමු වතා දෙකේදී නම් හරිම දරුණුයි. මට හොඳටම තැළුවා. එහෙත් ස්වාමින්ගේ ලබන්ට නොවටිනා තරම් කරුණාව සහ ශක්තිය නිසා මේ වෙනකම් කිසි දෙයක් හෙළි කළේ නෑ. . . . මෙහිදී මට කතා දීමටත් හැකියාවක් ලැබුණා, අප හයදෙනාත් සමඟ 102ක් ඊට සවන් දුන්නා. සමහර අය හොඳ උනන්දුවක් දැක්වුවා. එයාලා නිදහස ලැබූ විගසම මේ ගැන සොයා බැලීමට පොරොන්දු වුණා.”

වර්ෂ 1944 සැප්තැම්බර් 14වන දින, ලන්දේසි නගරයක් වන ඒමර්ෆෝර්ට්හි වධක කඳවුරකට යාහ්කොබ්ව රැගෙන ගියේය. ඔහු එහිදී පවා දේශනා කිරීම නොකඩවා කළේය. කෙසේද? ඔහු සමඟ සිටි සෙසු සිරකරුවෙක් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය: “මුරකරුවන් ඉවත දැමූ සිගරට් කොට සිරකරුවන් වන අපි තියාගත්තා. ඊට පස්සේ බයිබලයක පිටු රෝල් කර, සිගරට් කොටවලට සවි කර සිගරට් හදාගත්තා. මේ විදියට යාහ්කොබ්ට බයිබලයේ වචන කීපයක් සිගරට් හදන්න ගත් බයිබල් පිටු රෝල් කරන්න කලින් කියවන්න හැකියාවක් ලැබුණා. ඔහු එම වචන තමයි අපට දේශනා කිරීමට යොදාගත්තේ. ටික දවසක් යන කොට ‘බයිබල් පැංචා’ කියලා අපි එයාට විකට නමකුත් දැම්මා.”

වර්ෂ 1944 ඔක්තෝබර් මස ප්‍රහාරක රථ විනාශ කිරීමට අගලක් කැපීමට සිරකරුවන් කණ්ඩායමකට අණ දුන් අතර යාහ්කොබ්ද එම කණ්ඩායමට වැටුණි. යුද කටයුතුවලට සහය දීම ඔහුගේ හෘද සාක්ෂියට වද දුන් නිසා ඔහු එම වැඩය කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කළේය. මුරකරුවෝ දිගින් දිගටම ඔහුට බල කළත් ඔහු තමාගේ ස්ථාවරය එලෙසම තබාගත්තේය. ඔක්තෝබර් 13වන දින නිලධාරියෙක් ඔහුව හුදෙකලා සිරකුටියෙන් නැවතත් වැඩ කරන ස්ථානයට රැගෙන ගියේය. එහෙත් යාහ්කොබ්ගේ ස්ථාවරය කිසිවිටකත් නොසෙලවිණ. අන්තිමේදී යාහ්කොබ්ට ඔහුගේම මිනි වළ කැපීමට අණ දුන් අතර පසුව ඔහුට වෙඩි තබා මරා දැමීය.

සාක්ෂිකරයන්ට විරුද්ධ ප්‍රහාරය නොනවතියි

යාහ්කොබ්ට සහ අනෙකුත් සාක්ෂිකාරයන්ට තිබූ මහත් ධෛර්යය නිසා නාට්සිවරු කුපිත වී සාක්ෂිකරුවන් පසුපස හඹා ගියේය. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ 18හැවිරිදි ඒවර්ට් කෙටලාරේයි. මුලදී ඒවර්ට් පලා ගොස් සැඟවී සිටියත්, පසුව අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට දරුණු ලෙස පහර දී සෙසු සාක්ෂිකාරයන් ගැන තොරතුරු ලබාගැනීමට උත්සාහ දරා ඇත. ඔහුගෙන් කිසිම තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ නිසා ජර්මනියේ ශ්‍රම කඳවුරට යවන ලදි.

වර්ෂ 1944 ඔක්තෝබර් එනම් එම මාසයේදීම පොලිසිය ඒවර්ට්ගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා වූ බර්නාඩ් ලොහීමස්ව අත්අඩංගුවට ගැනීමට තැත් කළේය. ඔහුව සොයාගන්නා අවස්ථාවේදී තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙක් වන ආන්ටොනි රේමේයර් සහ ආල්බටස් බෝස්ද ඔහු සමඟ සිටියේය. ආල්බටස් මාස 14ක් වධක කඳවුරක සිට නිදහස් වූ අයෙකි. නමුත් නිදහසින් පසු, ඔහු නැවත ජ්වලිතයෙන් දේශනා වැඩය කරගෙන ගියේය. අත්අඩංගුවට ගත් මෙම මිනිසුන් තිදෙනාට නාට්සිවරුන් තිරිසන් ආකාරයට පහර දී වෙඩි තබා මරා දමනු ලැබූ අතර ඔවුන්ගේ සිරුරු සොයාගෙන භූමදානය කරනු ලැබුවේ යුද සමයට පසුවය. යුද සමයට පසු සමහරක් පුවත්පත්වල මෙම ඝාතනය ගැන සඳහන් කරන ලදි. දෙවිගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ දෙයක් කිරීම තරයේ ප්‍රතික්ෂේප කළ හෙයින් මෙම සාක්ෂිකාරයන් තිදෙනාට “ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය” කියා එක් පුවත්පතක් ප්‍රකාශ කළේය.

වර්ෂ 1944 නොවැම්බර් 10වනදා, කලින් සඳහන් කරන ලද බර්නාට් පෝල්මන්ව අත්අඩංගුවට ගෙන හමුදා ව්‍යාපෘතියකට යවන ලදි. බලහත්කාරයෙන් වැඩට යොදවාගත් අය අතර සිටි එකම සාක්ෂිකරුවා ඔහු විය. ඒවගේම දුන් වැඩය ප්‍රතික්ෂේප කළ එකම පුද්ගලයාද ඔහුය. මුරකරුවෝ ඔහුගේ ස්ථාවරය නැති කිරීමට විවිධ උපායන් යොදාගත්හ. ඔවුහු කොතරම් තිරිසන් ලෙස ක්‍රියා කළාද කියනවා නම් ඔහුට කෑමට කිසිවක් නොදුන් අතර, මුගුරුවලින් හා ඉස්කොප්පවලින් මෙන්ම තුවක්කු භටෙන් පවා ඔහුට පහර දුන්හ. මීට අමතරව, දණහිස ළඟට ගැඹුරු සීතල වතුරේ සිටින්න හැර පසුව සීතල පහත මාලයක තෙත ඇඳුම් පිටින් මුළු රාත්‍රියක්ම සිර කර තබන ලදි. එහෙත් බර්නාට් තම ස්ථාවරය කිසිවිටකත් අත්හැරියේ නැත.

එම කාලය තුළ ඔහුව බැලීමට යෙහෝවාගේ සාක්ෂිකාරයන් නොවූ ඔහුගේ සහෝදරියන් දෙදෙනෙකුට අවසර ලැබුණි. සහෝදරියන් ඔහුගේ හිත වෙනස් කරන්න ඔහුට පෙරැත්ත කළේය. එහෙත් ඒ කිසිවකින් ඔහුව නම්මවාගැනීමට නොහැකි විය. ඉන්පසු ඔහු වෙනුවෙන් යමක් කරන්න තියේදැයි ඇසූ විට ඔහු පැවසුවේ, නිවසට ගියාට පසු බයිබලය පාඩම් කරන්න කියායි. ඊට පසු ඔහුගේ පීඩා කරන්නන් ඔහුගේ ගර්භණී භාර්යාවට ඔහුගේ ස්ථාවරය වෙනස් කිරීමට හැකි වේයයි සිතා ඔහුව බැලීමට ඇයට අවසර දෙන ලදි. ඇත්තෙන්ම ඇගේ පැමිණීම සහ දිරිගන්වන වචන නිසා දිගටම දෙවිට පක්ෂපාතව සිටීමට ඔහුට තවත් ශක්තිය ලැබීය. 1944 නොවැම්බර් 17වන දින ඔහුට වද හිංසා කළ පුද්ගලයන්ගෙන් පස්දෙනෙකු අනෙකුත් සිරකරුවන් ඉදිරිපිටම ඔහුට වෙඩි තැබීය. කොයිතරම් කෲරද කියා පවසනවා නම් බර්නාට් මිය ගිය පසුත් ඔහුගේ සිරුර වෙඩි උණ්ඩවලින් සිදුරු කරන ලද අතර, භාරව සිටි නිලධාරියා වියරුවෙන් ඔහුගේ පිස්තෝලය රැගෙන බර්නාට්ගේ ඇස් දෙකට වෙඩි තැබීය. මොනතරම් අමානුෂික ක්‍රියාවක්ද!

ඇත්තෙන්ම මෙම කෲර ක්‍රියාව සාක්ෂිකාරයන් තුළ දරාගත නොහැකි වේදනාවක් සහ තිගැස්මක් ඇති කළද ඔවුන් නිර්භීතව හා විශ්වාසවන්තව ඔවුන්ගේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නියැලිණි. බර්නාට් ඝාතනය කළ ස්ථානයට නුදුරින් පිහිටි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සභාවක, එම ඝාතනයෙන් ටික කලකට පසු මෙසේ වාර්තා කළේය: “කොයිතරම් කුරිරු වාතාවරණයක් තිබුණත්, සාතන් අපේ මාර්ගයට මොනතරම් බාධාවන් ගෙනාවත් අපේ ක්‍රියාකාරකම් මෙම මාසයේදී තව තවත් වර්ධනය වුණා. ක්ෂේත්‍රයේ ගත කළ පැය ගණන 429 සිට 765දක්වා ඉහළ ගියා. . . . සහෝදරයෙක් පුද්ගලයෙකුට සාක්ෂියක් දරන විට එම පුද්ගලයා ඇසුවා, මෙම ඇදහිල්ලමද මෑතකදී වෙඩි තබා මරන ලද මිනිසාටත් තිබුණේ කියලා. එම ඇදහිල්ලම බව දැනගත් විට ඔහු පුදුමයෙන් මෙසේ පැවසීය: ‘මොනතරම් ඇදහිලිවන්ත මිනිහෙක්ද! ඒ වගේ අය තමයි ඇදහිල්ලේ වීරයන්’”.

යෙහෝවා විසින් සිහි කිරීම

වර්ෂ 1945 මැයි මාසයේදී නාට්සිවරුන් පරාජය වී නෙදර්ලන්තයෙන් පලා ගියේය. යුද සමයේදී කොතරම් කෲර පීඩා තිබුණත්, යෙහෝවාගේ සාක්ෂිකාරයන් සිය ගණනක් වැනි කුඩා සංඛ්‍යාවක සිට 2000ක් දක්වා වර්ධනය විණ. යුද සමයේ සිටි සාක්ෂිකරුවන් ගැන ඉතිහාසඥ ආචාර්ය ඩ් යොන් මෙසේ අගය ප්‍රකාශ කළේය: “ඔවුන්ට කොතරම් තර්ජන සහ වද හිංසා කළත් බොහෝදෙනෙක් තම ඇදහිල්ල පාවා දුන්නේ නෑ.”

නාට්සි පාලනය ඉදිරියේ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට තිබූ ධෛර්යය නිසා ඔවුන් සමහර බලධාරින්ගේ පැසසුමට පවා ලක් විණ. ඒ සියල්ලටම වඩා වැදගත්ම දෙය වන්නේ යුද සමයේ සිටි සාක්ෂිකාරයන්ව යෙහෝවා සහ යේසු විසින් සිහි කරනු ලැබීමය. (හෙබ්‍රෙව් 6:10) යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී දෙවිගේ සේවය වෙනුවෙන් තම ජීවිතය දුන් විශ්වාසවන්ත සහ නිර්භීත සාක්ෂිකරුවන්ව සිහිවීමේ සොහොන් ගෙවල්වලින් නැවත ගෙනෙනු ඇත. එවිට ඔවුන්ට පාරාදීස පොළොවක සදාකාල ජීවනය භුක්ති විඳීමේ ප්‍රස්තාව උදා වේවි!—යොහන් 5:28, 29.

[24වන පිටුවේ පින්තූරය]

යාහ්කොබ් වැන් බෙනකොම්

[26වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තහනම පුවත්පතෙහි පළ වූ අයුරු

[27වන පිටුවේ පින්තූර]

දකුණේ: බර්නාඩ් ලොහීමස්; පහළ: ආල්බටස් බෝස් (වම) සහ ආන්ටොනි රේමේයර්; පහළ: හෙම්ස්ටිඩ්හි සමිති කාර්යාලය