ඒජියන් මුහුදේ මනුෂ්‍යයන් ඇල්ලීම
ඒජියන් මුහුදේ මනුෂ්‍යයන් ඇල්ලීම
උතුරු සහ බටහිර දෙසින් ග්‍රීසියේ ප්‍රධාන භූමි භාගයෙන්ද, දකුණින් ක්‍රීට් දූපතෙන්ද, නැඟෙනහිරින් තුර්කියෙන්ද වට වූ ඒජියන් මුහුද නැඟෙනහිර මධ්‍යධරණියේ විශාල පෙදෙසක් ආවරණය කරයි. මුල් ශිෂ්ටාචාරයන් සමහරක් බිහි වූ ඒජියන් මුහුදේ තැනින් තැන විශාල හා කුඩා දිවයින් දක්නට තිබේ. මෙම දිවයින්වල තිබෙන පුංචි, සුදු ගෙවල් හිරු එළියෙන් නැහැවී දිලෙන විට, ඈතක සිට බැලූ කිවිඳෙක් ඒවා “ගලින් තැනූ අශ්වයන්ගේ නොහික්මුණු කේශරවලට” සමාන කිරීමට පෙලඹුණි.
සංචාරකයන් ඇදී එන වඩාත්ම ජනප්‍රිය දිවයින් බවට මේවා පත් වී තිබීම පුදුමයක්ද! මෙම දිවයින්වල ස්වාභාවික අලංකාරය එහි වෙසෙන හා වැඩ කරන පුරුෂයන් හා ස්ත්රීන්ගේ අව්‍යාජ ගුණාංගවලින් දෙගුණ තෙගුණ වේ. මෙහි වෙසෙන ජනයා අවංකය, ආගන්තුක සත්කාරශීලීය. එහෙත් ඔවුහු ස්වාධීනව කටයුතු කරති. මෙම ප්‍රදේශයේ අද්විතීයභාවයට ඔවුහු බෙහෙවින් දායක වෙති.
දිවයින් වැසියන් බොහෝදෙනෙක් තම දිවි රැකගන්නේ ඒජියන් මුහුදේ මසුන් ඇල්ලීමෙනි. කෙසේනමුත්, තවත් විශේෂ ආකාරයක ‘මසුන් ඇල්ලීමකින්’ ඒ ප්‍රදේශයේ හොඳ ප්‍රතිඵල ලැබී තිබේ. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියේ එවැන්ජලිස්තවරුන් වන ‘මනුෂ්‍යයන් අල්ලන්නෝ’ ඒජියන් දිවයින් පුරා ක්‍රිස්තියානි ගෝලයන් සාදමින් සිටිති.—මතෙව් 4:18, 19; ලූක් 5:10.
සියවස් 19කට පමණ පෙර ක්‍රිස්තියානි එවැන්ජලිස්තවරු ඒජියන් දිවයින්වලට ගියහ. පොදු යුගයේ 56දී පමණ, තම තුන්වන මිෂනාරි ගමන අවසන් කර ප්‍රේරිත පාවුල් යළි පැමිණෙද්දී ලෙෂොස්, කෙයෝස්, සාමෝස් සහ රෝඩොස් දිවයින්වල ටික දිනකට නතර වුණි. කවදත් ජ්වලිත දේශනාකරුවෙකුව සිටි පාවුල් එවිට දිවයින් වැසියන් සමහරෙකුට දේශනා කරන්ට ඇත. (ක්‍රියා 20:14, 15, 24; 21:1, 2) පෙනෙනාකාරයට, රෝමයේදී ඔහු වසර දෙකක් සිරගත වී සිටියායින් පසුව ක්‍රීට්වලට ගොස් එහිදී ක්‍රිස්තියානි දේවසේවයේ නියැලුණා විය හැකියි. මුල් සියවසේ අවසාන කාලයේදී, “[දෙවිගේ] වචනයද යේසුස්ගේ සාක්ෂියද නිසා” ප්‍රේරිත යොහන්ව පත්මොස් දූපතට පිටුවහල් කර තිබුණි. (එළිදරව් 1:9) මේ දිවයින්වල ශුභාරංචිය දේශනා කරන නවීන-දින දේශනාකරුවන්ගේ කල දවස ගෙවෙන්නේ කෙසේද?
දේශනා ප්රයත්නයෙන් ඵල ප්‍රයෝජන
මේ දිවයින් සමූහයේ දේශනා කිරීම දුෂ්කර මෙන්ම අභියෝගාත්මක කාර්යයකි. එයට මහත් වෑයමක් හා ආත්මපරිත්යාගයක් අවශ්‍යයි. සමහර දිවයින් තිබෙන්නේ එකිනෙකට බොහෝ ඈතින්. විශේෂයෙන්ම ශීත කාලයේදී, ඒවායින් සමහරකට මුහුදෙන් හෝ ගුවනින් ගමන් කිරීමට නියමිත ක්‍රමයක් නොමැති අතර අනික් ඒවාට යෑමට කොහොමටවත් ක්‍රමයක් නැත. උතුරු දිග මෝසම් සුළං වේගයෙන් හමා යන මෙල්ටෙම්යාව තිබෙන කාලයේදී විශේෂයෙන්ම මුහුදු රැලි ප්‍රචණ්ඩකාරි විය හැකියි. එපමණක්ද නොව, දිවයින් බොහෝමයක ගම්මාන පිහිටා තිබෙන්නේ බොහෝ ඈතින් වන අතර, තාර නොදමන ලද දූවිලි සහිත පාරවල ගමන් කිරීම බොහෝවිට අසීරු නිසා ඒවා කරා යෑම අපහසුයි. සමහර ගම්මානවලට යා හැක්කේ කුඩා බෝට්ටුවලින් පමණයි.
උදාහරණයක් වශයෙන්, ඉකාරියා දිවයින ගැන සලකා බලන්න. එහි කුඩා සභාවේ සිටින රාජ්‍ය ශුභාරංචියේ ප්‍රචාරකයන් 11දෙනාට එම දිවයිනේ මෙන්ම ඒ අසල පිහිටි කුඩා දිවයින්වල ගම්මාන සියල්ලක්ම ආවරණය කළ නොහැකියි. මේ නිසා, සාමෝස්වල ක්‍රිස්තියානි සහෝදර සහෝදරියෝ පැමිණ ඉකාරියාහි මෙන්ම ෆර්නි, පත්මොස් හා ලිප්සාස් දිවයින්වල සිටින ජනයාට දේශනා කිරීමට උපකාර
කරති. මෑතකදී, එවැනි දින-දෙකේ ප්රයත්නයකදී, බයිබල් විෂයන් සම්බන්ධයෙන් සඟරා 650ක්, විවරණිකා 99ක් හා පොත් 25ක් දීමට සාක්ෂිකරුවන්ට හැකි විය! යෙහෝවා ගැන කිසිවක් නොදන්නා නමුත්, බයිබලයෙන් තව බොහෝ දේවල් උගන්වන්න කියා තමන්ගෙන් ඉල්ලා සිටි ජනයාව මුණගැසීමෙන් ඔවුහු පුදුමයට පත් වූහ. එක් කාන්තාවක් සාක්ෂිකරුවෙකුට මෙසේ පැවසුවාය: “කමක් නෑ ඕගොල්ලො දැන් යන්න. ඒත් බයිබලය සම්බන්ධයෙන් නම් මට තාමත් හුඟක් ප්‍රශ්න තියෙනවා. හැබැයි කවුද මට උදව් කරන්නේ?” උනන්දුව දැක්වූ ඇයට දුරකථනයෙන් කතා කිරීමට පොරොන්දු වූ ක්‍රිස්තියානි සහෝදරිය ඒ ආකාරයෙන් බයිබල් පාඩමක් පටන්ගත්තාය.සංචාරක අවේක්ෂකයෙක් ඉකාරියාවලට ගිය විට, එක සතිඅන්තයකින් මුළු දිවයිනම ආවරණය කිරීමට ඔහු සැලසුම් යෙදුවේය. ඒ සඳහා සාමෝස්වල රාජ්‍ය ප්‍රචාරකයන් 30දෙනෙකුගේ උපකාරය ලැබීය. හෝටලයක රාත්‍රි දෙකක් ගත කිරීම සඳහාත්, මෝටර් රථ කුලියට ගැනීම සඳහාත් එහි පැමිණි සහෝදරයන්ට මුදල් ගෙවීමට සිදු විය. දින දෙකක් ධාරානිපාත වැසි ඇද හැලී තිබූ හෙයින් සතිඅන්තයේ කාලගුණ අනාවැකිය අශුභ එකක් විය. නමුත් සහෝදරයෝ එය බාධාවක් කර නොගෙන දේශනාකාරයා 11:4හි “හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය” යන වචන මතකයට නඟාගත්හ. කෙසේනමුත්, කාලගුණය යන්තම් හොඳ අතට හැරුණු අතර ඔවුන්ගේ වැදගත් පණිවිඩය මුළු දිවයින පුරාම දේශනා කළ පසු සහෝදරයෝ ප්‍රීතියෙන් හා සෑහීමට පත්ව යළිත් නිවෙස් බලා හැරී ගියහ.
ඇන්ඩ්රොස් දිවයිනේ ජීවත් වන ප්‍රචාරකයන් 16දෙනා මුළු දිවයිනම ආවරණය කිරීමට මහත් වෑයමක් දරති. සහෝදරයන් දෙදෙනෙකු ඈත ගම්මානයකට යද්දී ඔවුන්ගේ අධිෂ්ඨානය වූයේ එහි සෑම වැසියෙකුටම දේශනා කිරීමයි. නිවෙස්වලදී, වීදිවලදී හා කෙත්වතුවලදී ඔවුහු ජනයාට කතා කළහ. පොලිසියට පවා ගොස් පොත් පත් තැබුවෝය. ගම්මානයේ හැමෝටම කතා කළ බවට නිසැක වෙමින් ඔවුහු පිටත් වීමට සූදානම් වූහ. ඔවුහු පිටත් වී යන විට, ග්‍රීක් ඕතඩොක්ස් පූජකයෙක් පැමිණෙනවා දුටුවෝය. ඔහුට සාක්ෂි දරා නැති බව වැටහුණ ඔවුන් ඔහුට පුංචි පොතක් ඉදිරිපත් කළ අතර ඔහු එය ප්‍රීතියෙන් පිළිගත්තේය. ඔවුන්ගේ දේශනා කිරීමේ ප්රයත්නයේදී කිසිවෙකු අත් නොහැරුණ බවට සහතික වීමට ඔවුන්ට පුළුවන් විය.
ක්‍රීට් දිවයිනට ටිකක් පහළින් පිහිටි පුංචි දිවයිනක් වන ගාව්ඩොස්හි (නැතහොත් ක්ලෞදහි) වෙසෙන්නේ 38දෙනෙකු පමණි. යුරෝපයේ දකුණෙන්ම පිහිටා ඇති දූපත එය බව සැලකේ. (ක්‍රියා 27:16) සංචාරක අවේක්ෂකයෙක් හා ඔහුගේ භාර්යාව තවත් විවාහක යුවළක් සමඟ එහි දවස් තුනක් නැවතී දේශනා කළහ. වියදම අඩු කරගැනීමට ඔවුහු කූඩාරමක නිදාගත්හ. එහි වැසියන් සියලුදෙනාටම ශුභාරංචිය දේශනා කළ අතර, එහි ජනයා විවෘත මනසකින් සවන් දුන් නිසා සහෝදරයෝ ප්‍රීතිමත් වූහ. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන කිසිවක් අසා නොතිබුණි. එහි පූජකයා ඇතුළු ජනයා පොත් 19ක් හා විවරණිකා 13ක් ලබාගත්හ. සාක්ෂිකරුවන් කුඩා බෝට්ටුවකින් ක්‍රීට් කරා යළි පැමිණෙද්දී, මුහුද රළු වී ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් විය. “අපිට පණ රැකගෙන ගෙදර එන්න පුළුවන් වුණ එක ගැන අපි යෙහෝවාට ස්තුති කරනවා. ඒවගේම යුරෝපයේ දකුණෙන්ම පිහිටි මේ ස්ථානයේදී ඔහුගේ නාමයට ගෞරවය ගෙනෙන්න අපට ප්‍රස්තාව ලබා දීම සම්බන්ධයෙනුත් අපි ඔහුව මහිමයට පත් කරනවා” කියා ඔවුහු පවසති.
ප්‍රේරිත යොහන් බයිබලයේ අන්තිම පොත වන එළිදරව් පොත ලියුවේ පත්මොස් දූපතේදීයි. මෑතක් වන තුරුම පත්මොස්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටියේ නැත. සාමෝස්හි සහෝදරයෝ එම දූපතේ දේශනා සේවයේ යෙදීමට හොඳ සැලැස්මක් යෙදූහ. එය ග්‍රීක් ඕතඩොක්ස් සභාවේ බලකොටුවක් වී තිබූ නිසා දැඩි විරෝධතා එන බව ඔවුහු දැන සිටියහ. සහෝදරියන් දෙදෙනෙක් කාන්තාවකට ශුභාරංචිය ඉදිරිපත් කරමින් සිටින විට, නිවසට එන්න කියා ඈ ආරාධනා කළාය. සහෝදරියන්ව තමන්ගේ නිවසට එව්වේ කවුදැයි කාන්තාවගේ ස්වාමිපුරුෂයා වරින් වර සහෝදරියන්ගෙන් විමසීය. ඔවුන් හැම නිවසකටම යන බව ඔවුන් පැහැදිලි කළ විට, “ඕගොල්ලන්ට හොඳටම විශ්වාසද ඕගොල්ලන්ව එව්වේ අසල්වැසියෙක් නෙවෙයි කියලා” යයි
ඔහු යළිත් ඇසුවේය. ෂයරේහිදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන දැනගත් භාර්යාව එම උදෑසන සිද්ධ වුණ දේ සහෝදරියන්ට පසුව පැහැදිලි කළාය. ඇය මෙසේ පැවසුවාය: “වෙනදා වගේම මම යෙහෝවාට යාච්ඤා කරලා මේ දිවයිනට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවන්න කියලා ඉල්ලුවා. මගේ මහත්තයා මට හිනා වුණා. ඕගොල්ලන් අපේ නිවසට ඇවිත් ඉන්නවා දැක්කහම මටත් මගේ මහත්තයටත් පුදුම හිතුණා. ඒ නිසයි අපේ ගෙදරට ඕගොල්ලන්ව කවුද එව්වේ කියලා එයා සැරින් සැරේ ඇහැව්වේ.” ඒ මොහොතේම කාන්තාව සමඟ බයිබල් පාඩමක් ඇරඹුණි. සහෝදරියටත් උනන්දුව දැක්වූ ස්ත්‍රියටත් සෑහෙන මුදලක් වියදම් කිරීමට සිදු වුවත් මාස දහයක් පුරාම දුරකථනයෙන් පාඩම පවත්වනු ලැබීය. ඇය බව්තීස්ම වූ අතර, වර්ෂ 1,900කට පෙර ප්‍රේරිත යොහන් තනි වී සිටි එම දූපතේ ඉන්න එකම එක සාක්ෂිකාරිය ඇයයි.වරායවලදී ‘මසුන් ඇල්ලීම’
සෑම ගිම්හානයකදීම ඒජියන් දිවයින්වල නිවාඩු ගත කිරීමට එන අයව රැගෙන එන යාත්‍රාවන් එහි වරායන් ගණනාවකම නවත්වයි. මෙලෙස, බොහෝ ජාතීන්වලට හා භාෂාවන්වලට අයත් ජනයා කරා යෑමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කදිම ප්‍රස්තාවක් සැලසේ. භාෂාවන් බොහෝමයකින් බයිබල් පොත් පත් සභාවල ගබඩා කරගෙන තබාගන්නා අතර, ප්‍රචාරකයන් විසින් සංචාරකයන් වෙත සඟරා දහස් ගණන් තබනු ලැබේ. සමහර මඟී යාත්‍රා සෑම සතියකම එකම වරායන්වලට පැමිණෙන නිසා නැවියන් සමහරෙකු සමඟ නැවත බැලීම් කිරීමට මෙන්ම බයිබල් පාඩම් පවා පැවැත්වීමට එය සහෝදරයන්ට විශිෂ්ට අවස්ථාවන් උදා කර දෙයි.
රෝඩොස්හි සිටින පූර්ණ-කාලීන දේශනාකාරියක වන සහෝදරියක් 1996 ගිම්හානයේදී, ජැමෙයිකානු තරුණයෙකුට දේශනා කළාය. ඔහු වැඩ කළේ සෑම සිකුරාදාවකම වරායට පැමිණෙන මඟී යාත්රාවකයි. ඊළඟ සිකුරාදා දිවයිනේ පැවැත්වීමට නියමිත වූ දිස්ත්‍රික් සමුළුවකට යෑමට එම තරුණයාට ආරාධනා කරන ලදි. වැඩසටහනේ ඉදිරිපත් කළ බයිබල් සත්‍යයන් සමහරක් තේරුම්ගැනීමට ඉංග්‍රීසි බයිබලය ආධාරයෙන් පුරෝගාමී සහෝදරිය ඔහුට උපකාර කළාය. සමුළුවේදී සාක්ෂිකරුවන් දැක්වූ ප්‍රේමය හා උණුසුම්භාවය එම තරුණයාගේ සිතට බෙහෙවින් කාවැදුණේය. ඊළඟ සිකුරාදා, ඔහු පුරෝගාමීන් දෙදෙනෙකුට ආරාධනා කළා නැවට එන්න කියා. පුරෝගාමීහු ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ භාෂාවෙන් පොත් පත් රැගෙන ගියහ. ඔවුන්ගේ මලු පැයකටත් කලින් හිස් විය! ගිම්හානයේ අවසානය වන තුරු සෑම සිකුරාදාවකම ජැමෙයිකානු තරුණයා බයිබලය පාඩම් කළේය. ඊළඟ ගිම්හානයේදී ඔහුගේ පාඩම යළිත් කිරීමට සූදානමින් ඔහු නැවත පැමිණියේය. එහෙත්, ආත්මික ප්‍රගතියක් ලැබීම සඳහා මේ වතාවේදී ඔහු තම රැකියාව
වෙනස් කිරීමට තීරණය කළ අතර ඔහු ආපසු ගියේය. මේ තරුණයා 1998 මුල්භාගයේදී බව්තීස්ම වී ඇති බව දැනගන්න ලැබීම රෝඩොස්හි සහෝදරයන්ට මොනතරම් සතුටක්ද!සංක්‍රමික “මසුන්” ඇල්ලීම
සාර්ඩින් හා කඩුකොප්පරා වැනි සංක්‍රමික මසුන් ඒජියන් මුහුදේ සැරිසරන බවත්, අන්තිමේදී උන් දක්ෂ මසුන් අල්ලන්නන්ගේ දැල්වලට අසු වන බවත් ප්‍රසිද්ධය. එවැනිම ආකාරයකින්, නැඟෙනහිර යුරෝපීය රටවල් බොහෝමයකින් ග්‍රීසියේ පදිංචියට පැමිණ සිටින සංක්‍රමික සේවකයන් අතර, පිළිගන්නා හෘද ඇති බොහෝදෙනෙකුව රාජ්‍ය එවැන්ජලිස්තවරුන්ට සම්බ වේ.
මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල යෙහෝවා හා ඔහුගේ අරමුණු ගැන මුලින්ම කියවන විට රෙසීට වයස අවුරුදු දහයයි. ඒ ඇල්බේනියාවේදීයි. වසර තුනකට පසුව ඇය ඇගේ පවුලේ අය සමඟ රෝඩොස් දිවයිනේ පදිංචියට ගිය අතර, තම අලුත් ප්‍රදේශයේදී යෙහෝවාගේ සෙනඟව සොයාගන්න තමාට උපකාර කරන්න කියා රෙසී යෙහෝවාට යාච්ඤා කළාය. පසුවදා ඇගේ පියා නිවසට පැමිණියේ ඒ හුරුපුරුදු මුරටැඹ හා පිබිදෙව්! සඟරා අරගෙනය. රෙසීගේ ප්‍රීතිය ඉහවහා ගියේය. රෙසීගේ පියාට සඟරා දුන් සහෝදරියව හමු වූ රෙසී සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතෙන් පාඩම් කිරීමට පටන්ගත්තාය. ඇතැම් අවස්ථාවලදී, එකම දිනයේ තුන් වතාවක් පාඩමක් කිරීමට ඇය කැමති විය. මාස දෙකකට පසු ඇය බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් බවට පත් වූ අතර, 1998 මාර්තුවලදී වයස අවුරුදු 14ක් වූ ඇය බව්තීස්ම වූවාය. එදිනම ඇය උපකාරික පුරෝගාමී සේවය පටන්ගත් අතර මාස හයකට පසුව ස්ථාවර පුරෝගාමී සේවය එසේ නැතහොත් පූර්ණ-කාලීන දේවසේවය පටන්ගත්තාය.
කෝස් දිවයිනේ සහෝදරයෙක් රුසියාවෙන් පැමිණි කිහිපදෙනෙකු සමඟ පාඩම් පවත්වමින් සිටියේය. බයිබලය පාඩම් කිරීමට කැමති මිත්‍රයන් ඉන්නවද කියා ඔහු ඔවුන්ගෙන් ඇසූ විට, කිලෝමීටර් 30ක් ඈතින් පිහිටි ගම්මානයක සිටින ලියානඩස් හා ඔහුගේ භාර්යාව වූ ඔෆිලියා යන ආමේනියානු යුවළක් වෙත ඔහුව ගෙන යනු ලැබීය. සහෝදරයන්ට පුදුම දෙයක් දක්නට ලැබුණි. ආමේනියානු යුවළ, වොච් ටවර් සමිතිය මගින් ප්‍රකාශිත ආමේනියානු හා රුසියානු බයිබල් පොත් පත් පිරි මල්ලක් රැගෙන ආහ! යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කර තිබෙන බවත්, බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් බවට පත් වන තරමටම ප්‍රගතියක් ලබා ඇති බවත් ඔවුහු පැහැදිලි කළහ. දේශපාලනික අරගල හා ආර්ථික අමාරුකම් නිසා තම මව්බිම අත්හැර යන්න ඔවුන්ට සිදු වූ අතර, මේ යුවළ කෝස්වලට ආ විගසම ඒ වන විටත් එහි සිටි ලියානඩස්ගේ මව හා නංගි සමඟ පාඩම් කරන්න පටන්ගත්හ. එම සාක්ෂිකරුවාට හදිසියේම අලුත් බයිබල් පාඩම් තුනක් ලැබී තිබුණි. එකක් ඔෆිලියා සමඟ; තව එකක් ලියානඩස් සමඟ; අනිත් එක ඔහුගේ මව හා නංගී සමඟයි. මේ සඳහා සතියකට තුන්පාරක් කිලෝමීටර් 60ක දුරක් ගෙවා මෝටර් සයිකලයෙන් යන්න එන්න සිදු විය. ලියානඩස් හා ඔහුගේ භාර්යාව මාස කීපයකට පසු බව්තීස්ම වූහ. එය දේශීය සහෝදරයන්ගේ ආත්ම පරිත්‍යාගී ස්වභාවය හේතුවෙන් ලද මොනතරම් කදිම ආශීර්වාදයක්ද!
වර්ධනය දෙන්නේ යෙහෝවායි
මෙම ඒජියන් දිවයින්වල 2,000කට වඩා සිටින රාජ්‍ය ප්‍රකාශකයන් වෙහෙස නොබලා දරන වෑයමට යෙහෝවාගේ ආශීර්වාද තිබෙන බව පැහැදිලියි. දැන් එහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 44ක් තිබෙන අතර, කණ්ඩායම් 25ක් තිබේ. මෙම කණ්ඩායම් අතරින් 17කම සිටින්නේ විදේශීය භාෂාව කතා කරන අයයි. මන්ද යෙහෝවාගේ කැමැත්ත වන්නේ ‘සියලු [ආකාර] මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණීමයි.’ (1 තිමෝති 2:3) ඊට අමතරව විශේෂ පුරෝගාමීන් 13දෙනෙක්, එම ඈත බලප්‍රදේශවල සිටින තව බොහෝදෙනෙක් කරා යෑමට අතිරේක වෑයමක් දරමින් සිටිති.
සියවස් ගණනාවක් පුරා ඒජියන් මුහුද සංස්කෘතික සංවර්ධනය හා වාණිජ වෙළඳාමේ මධ්‍යස්ථානයක්ව තිබී ඇත. මෑත දශකයන්වලදී එය සියදහස් ගණන් සංචාරකයන් ඇදී එන ජනප්‍රිය තැනක් බවට පත් වී තිබේ. නමුත් ඊටත් වඩා වැදගත් දේ වන්නේ ‘මනුෂ්‍යයන් අල්ලන්නන්’ වන රාජ්‍ය ප්‍රකාශකයන්ට යෙහෝවාට ප්‍රශංසා කිරීමට මහත් ආශාවෙන් සිටින අවංක හදවත් ඇති බොහෝදෙනෙකුව මෙහිදී හමු වී තිබීමය. ඔවුන් එක්ව, ‘යෙහෝවාට ගෞරවය දී, ඔහුගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශ කෙරෙත්වා’ යන අනාවැකිමය ආරාධනයට විශිෂ්ට ආකාරයකින් ප්‍රතිචාරය දක්වා තිබේ.—යෙසායා 42:12.
[22වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ඒජියන් මුහුද
ග්‍රීසිය
ලෙෂොස්
කෙයෝස්
සාමෝස්
ඉකාරියා
ෆර්නි
පත්මොස්
කෝස්
රෝඩොස්
ක්‍රීට්
තුර්කිය
[23වන පිටුවේ පින්තූරය]
ලෙෂොස් දිවයින
[24වන පිටුවේ පින්තූරය]
පත්මොස් දූපත
[24වන පිටුවේ පින්තූරය]
ක්‍රීට් දිවයින