Skip to content

පටුනට යන්න

නව ලෝකය—ඔබ එහි සිටීවිද?

නව ලෝකය—ඔබ එහි සිටීවිද?

නව ලෝකය—ඔබ එහි සිටීවිද?

“තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි. තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය [දෙවිගේ] දීමනාවක්ය.”—දේශනාකාරයා 3:12, 13.

1. අපට අනාගතය ගැන සතුටු විය හැක්කේ මන්ද?

 සර්වපරාක්‍රම දෙවි දැඩි සිතක් තිබෙන රළු පුද්ගලයෙක් කියා බොහෝදෙනෙක් සිතනවා. එහෙත් ඔහුගේ ආනුභාවයෙන් ලියා තිබෙන ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ඉහත පාඨයෙහි පවසා තිබෙන දෙය සත්‍යයක්. එහි පවසා තිබෙන දෙය “සන්තෝෂවත් දෙවි” වශයෙන් ඔහුව හඳුන්වා තිබීම සමඟත් ඔහු අපේ මුල් දෙමාපියන්ව මේ පොළොවේ තිබූ පාරාදීසයක පදිංචි කරවීම සමඟත් එකඟ වේ. (1 තිමෝති 1:11NW; උත්පත්ති 2:7-9) දෙවි ඔහුගේ සෙනඟට පොරොන්දු වන අනාගතය පිළිබඳ තියුණු අවබෝධයක් ලබාගැනීමට දරන වෑයමේදී, අපට කල්පවතින සන්තෝෂය ගෙන දෙන තත්වයන් ගැන දැනගන්න ලැබෙන විට අපි පුදුම විය යුතු නැහැ.

2. ඔබ මහත් ආශාවෙන් බලා සිටින දේවල් සමහරක් නම් කරන්න.

2 බයිබලයෙහි පුරෝකථනය කර තිබෙන “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගැන ශුද්ධ ලියවිලිවල සඳහන් වී තිබෙන ස්ථාන හතරෙන් තුනක් අපි කලින් ලිපිය සාකච්ඡා කරද්දී පරීක්ෂා කර බැලුවා. (යෙසායා 65:17) පූර්ණ විශ්වාසය තැබිය හැකි එම අනාවැකිවලින් එකක් එළිදරව් 21:1හි සඳහන් වෙනවා. සර්වපරාක්‍රම දෙවි මිනිසාගේ යහපත සඳහා අද පොළොවේ පවතින තත්වයන්වල ප්‍රබල වෙනස්කම් සිදු කරන කාලය ගැන එම පරිච්ඡේදයේ පසු වගන්තිවල පැවසෙනවා. ඔහු දුක් වේදනා නිසා ඇති වන කඳුළු පිස දමන්න යනවා. මහලු වයස, අසනීප හෝ හදිසි අනතුරු නිසා මිනිසා තවදුරටත් මැරෙන්න යන්නේ නැහැ. වැලපීම, හැඬීම හා වේදනාව පහ වී යයි. මොනතරම් ප්‍රීතියක් ඇති කරවන බලාපොරොත්තුවක්ද! එහෙත් මෙවන් තත්වයන් ඇත්තටම සිදු වන බවට අපිට නිසැක විය හැකිද? එමෙන්ම මෙම බලාපොරොත්තුවට අපි කෙරෙහි දැන් කිනම් ආකාරයේ බලපෑමක් ඇති කළ හැකිද?

අපට නිසැක වීමට හේතු

3. අනාගතය ගැන බයිබලයෙහි සඳහන් පොරොන්දු අපිට විශ්වාස කළ හැක්කේ මන්ද?

3 එළිදරව් 21:5හි පවසා තිබෙන දෙය සැලකිල්ලට ගන්න. දෙවි සිය ස්වර්ගික සිංහාසනයේ සිට කරන මෙම ප්‍රකාශය එම වගන්තියෙහි මෙසේ උපුටා දක්වා තිබෙනවා: ‘බලව! මම සියල්ල අලුත් කරමි.’ දෙවිගේ මෙම පොරොන්දුව, නිදහස ගැන ඕනෑම ජාතික ප්‍රකාශයකට හෝ මානව හිමිකම් පිළිබඳ වර්තමාන නීති කෙටුම්පතකට හෝ අනාගතය ගැන මිනිසුන් තුළ තිබෙන ඕනෑම අපේක්ෂාවකට වඩා උතුම් එකක් වෙයි. එම පොරොන්දුව ඉදිරිපත් කර තිබෙන්නේ “බොරු නොකියන” තැනැත්තා ලෙස බයිබලයෙහි හඳුන්වා තිබෙන තැනැත්තා නිසා, ඒ ගැන අබමල් රේණුවක තරම්වත් සැකයක් තබාගත යුතු නැහැ. (තීතස් 1:1) දැන් මදකට නතර වී, දෙවි කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව, උතුරා යන ප්‍රීතියක් ගෙන දෙන මේ බලාපොරොත්තුවේ සතුට ටිකක් භුක්ති වින්දොත් හොඳයි කියා ඔබට හැඟුණා නම්, එය අසාමාන්‍ය දෙයක් නොවෙයි. එහෙත් අපිට නතර වෙන්න අවශ්‍ය නැහැ. අපේ අනාගතය ගැන තවත් බොහෝ දේවල් දැනගන්න තිබෙනවා.

4, 5. අනාගතය පිළිබඳ අපේ නිසැකකම ශක්තිමත් කරන්නේ දැනටමත් අපි සලකා බැලූ කිනම් බයිබල් අනාවැකිද?

4 අලුත් අහසක් සහ අලුත් පොළොවක් ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව සම්බන්ධයෙන් කලින් ලිපියේදී අපි සලකා බැලූ කරුණු මතකයට නඟන්න. එවන් අලුත් ක්‍රමයක් ගැන යෙසායා පැවසූ අනාවැකිය, යුදෙව්වන් ආපසු ඔවුන්ගේ මව් බිමට පැමිණ, සැබෑ නමස්කාරය යළි පිහිට වූ කාලයේදී ඉටු වුණා. (එස්රා 1:1-3; 2:1, 2; 3:12, 13) එහෙත්, යෙසායා විසින් පවසන ලද අනාවැකියෙහි පැවසෙන්නේ එම ඉටුවීම ගැන පමණද? ඇත්තෙන්ම නැහැ! ඔහු පුරෝකථනය කළ දේවල් මහා පරිමාණයෙන් ඉටුවීමට තිබුණේ ඈත අනාගතයේදීයි. අපි එම නිගමනයට එළඹෙන්නේ ඇයි? මීට හේතුව දෙවන පේතෘස් 3:13හි සහ එළිදරව් 21:1-5හි අපි කියෙවූ දේවල්ය. ලෝක ව්‍යාප්තව ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජන අත් කර දීමට යන අලුත් අහසක් හා අලුත් පොළොවක් ගැන එම වගන්තිවල සඳහන් වෙනවා.

5 කලින් සලකා බැලුවාක් මෙන් “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” යන ප්‍රකාශය බයිබලයේ සිව් වතාවක් සඳහන් වෙනවා. අපි මේවායින් තුනක් සලකා බලා, දිරිගන්වනසුලු නිගමනවලට එළඹ තිබෙනවා. දෙවි දුෂ්ටකම සහ දුක් වේදනා ඇතිවීමට හේතු වන වෙනත් දේවල් පවා සහමුලින්ම නැති කර දමා, ඔහු පොරොන්දු කර තිබෙන නව ක්‍රමයේදී මිනිසුන්ට තවත් ආශීර්වාද ගෙනෙන්න යන බව බයිබලය පැහැදිලිව පුරෝකථනය කරනවා.

6. ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ ගැන සඳහන් කරන සිව්වන අනාවැකිය මගින් පුරෝකථනය කරන්නේ කුමක්ද?

6 “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගැන යෙසායා 66:22-24හි සඳහන් ඉතිරි වී තිබෙන අවසන් අවස්ථාව දැන් අපි පරීක්ෂා කර බලමු. එහි මෙසේ සඳහන් වෙනවා: “මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය [දිගටම, NW] පවතින්නේයයි [යෙහෝවා කියන්නේය]. තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි [යෙහෝවා කියන්නේය]. ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.”

7. යෙසායා 66:22-24හි පවසන දෙය ඉදිරියේදී ඉටු වන බව අප නිගමනය කළ යුත්තේ මන්ද?

7 නැවත තම මව් බිමෙහි පදිංචි වූ යුදෙව්වන් අතර ඉටු වූ එම අනාවැකියට තවත් ඉටුවීමක් තිබෙනවා. පේතෘස්ගේ දෙවන ලිපියෙහි සහ එළිදරව් පොතෙහි සඳහන් වන්නේ අනාගතය හා සම්බන්ධකමක් දක්වන ‘අලුත් අහසක් හා අලුත් පොළොවක්’ ගැන නිසා, යෙසායාගේ අනාවැකියෙහි දෙවන ඉටුවීම සිදුවීමට තිබෙන්නේ පේතෘස්ගේ දෙවන ලිපිය හා එළිදරව් පොත ලියා බොහෝ කලක් ගතවීමෙන් පසුවයි. එම අනාවැකියෙහි මහත්, සම්පූර්ණ ඉටුවීම ඉදිරි නව ක්‍රමයේදී සිදු වන බව අපිට බලාපොරොත්තු විය හැකියි. අපිට මහත් ආශාවෙන් බලා සිටිය හැකි සන්තෝෂවත් තත්වයන් සමහරක් සලකා බලන්න.

8, 9. (අ) දෙවිගේ සෙනඟ ‘දිගටම පවතින්නේ’ කිනම් අර්ථයෙන්ද? (ආ) යෙහෝවාගේ සේවකයන් “අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද” නමස්කාරයේ යෙදෙන්න යන බවට පවසා තිබෙන අනාවැකියෙන් අදහස් කරන්නේ කුමක්ද?

8 මරණය තවත් නැති බව එළිදරව් 21:4හි සඳහන් වෙනවා. යෙසායා 66වන පරිච්ඡේදයේ සඳහන් ඡේදයක විස්තර කර තිබෙන දෙය සමඟ එය එකඟයි. “අලුත් අහසත් අලුත් පොළොවත්” කෙටි කලක් පවතින තාවකාලික එකක් නොවන බව යෙහෝවා දැන සිටිනවා කියා යෙසා 66:22වන වගන්තියේ සඳහන් දෙයින් අපිට තේරුම්ගත හැකියි. එමෙන්ම ඔහුගේ සෙනඟ සදහටම ජීවත් වෙන්න යනවා. එනම්, ඔවුන් ඔහු ඉදිරියෙහි ‘දිගටම පවතින්න’ යනවා. මේ ගැන නිසැක වීම සඳහා දෙවි ඔහුගේ තෝරාගත් සෙනඟ වෙනුවෙන් දැනටමත් කර තිබෙන දේවල් අපිට හොඳ හේතු සපයනවා. සැබෑ ක්‍රිස්තියානීන් දරුණු වධ හිංසාවලට මුහුණ දී තිබෙනවා. ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමන්න පවා ප්‍රබල වෑයම් දරා තිබෙනවා. (යොහන් 16:2; ක්‍රියා 8:1) එහෙත්, යෙහෝවාගේ නාමය දරන ඔහුගේ පක්ෂපාත සේවකයන්ව මුලිනුපුටා දැමීමට රෝම අධිරාජ්‍යයා වූ නීරෝ හා ඇඩොල්ෆ් හිට්ලර් වැනි දෙවිගේ ප්‍රබල සතුරන්ට පවා නොහැකි වුණා. යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කර තිබෙන අතර, දිගටම එසේ කිරීමට ඔහුට හැකියි. ඒ ගැන අපිට කිසිම සැකයක් නැහැ.

9 ඒ වගේම දිගටම පවතින්න යන්නේ අලුත් පොළොවේ වැසියන් හැටියට දෙවිට විශ්වාසවන්තව සිටින අයයි. මොවුන්ගෙන් නව ලොවේ සැබෑ නමස්කාරකයන්ගෙන් යුත් සමාජය සකස් වෙයි. එසේ වන්නේ, ඔවුන් සියලු දේවල මැවුම්කරුට නිර්මල නමස්කාරය පිරිනමන්න යන නිසයි. එම නමස්කාරය ඉඳහිට කරන එකක්වත් ආවට ගියාට කරන එකක්වත් නොවෙයි. අමාවක මගින් සනිටුහන් කළ සෑම මාසයකත් සබත් දවස මගින් සනිටුහන් කළ සෑම සතියකමත් නමස්කාරයේ ඇතැම් අංග සිදු කිරීම, මෝසෙස් මාර්ගයෙන් ඉශ්‍රායෙල්ට දුන් දෙවිගේ ව්‍යවස්ථාවෙන් නියම කළා. (ලෙවී කථාව 24:5-9; ගණන් කථාව 10:10; 28:9, 10; 2 ලේකම් 2:4) එනිසා යෙසායා 66:23වන වගන්තියෙහි සඳහන් වන්නේ දෙවිට කරන නමස්කාරය සතියක් සතියක් පාසා හා මාසයක් මාසයක් පාසා නිතිපතා දිගටම සිදු කිරීම ගැනයි. අදේවවාදය හා ආගමික කුහකකම් එදාට තිබෙන්න යන්නේ නැහැ. යෙහෝවා “ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝය.”

10. නව ලෝකයේදී කල්පවතින හානි සිදු කිරීමට දුෂ්ටයන්ට නොහැකි වන බවට අපට නිසැක විය හැක්කේ මන්ද?

10 අලුත් පොළොවේ පවතින සාමයට හා ධර්මිෂ්ඨකමට කවදාවත් තර්ජනයක් එල්ල නොවන බව යෙසායා 66:24හි සඳහන් වදන් මගින් අපට සහතික කරයි. දුෂ්ටයන් එය විනාශ කර දමන්න යන්නේ නැහැ. අප ඉදිරියේ තිබෙන්නේ “විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස” කියා 2 පේතෘස් 3:7හි පවසන බව මතකයට නඟන්න. විනාශය කරා ළඟා වන්නේ ‘අභක්තිකයන්ය.’ සොල්දාදුවන්ට වඩා සාමාන්‍ය වැසියන් අනතුරට ලක් වන මිනිස් යුද්ධවලදී මෙන් නොව, අහිංසක මිනිසුන්ට කිසිම අනතුරක් සිදු වන්නේ නැහැ. ඔහුගේ දවස, විනාශයේ දවසක් වන්නේ අභක්තිකයන්ටයි කියා ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු අපට සහතික වෙනවා.

11. දෙවිට සහ ඔහුගේ නමස්කාරකයන්ට එරෙහි වන අයට අනාගතයේදී සිදු වන දෙය යෙසායා පැහැදිලි කරන්නේ කෙසේද?

11 බේරී ජීවත් වෙන ධර්මිෂ්ඨයන් දෙවිගේ අනාවැකිමය වදන්වල සත්‍යතාව එදාට තේරුම්ගනීවි. යෙහෝවාට “විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන්” ඔහුගේ විනිශ්චයට සාක්ෂියක් වෙන්න යන බව යෙසා 66:24වන වගන්තියේ පුරෝකථනය කරනවා. යෙසායා භාවිත කළ විචිත්‍රවත් භාෂාව මගින් යම් තැතිගැන්මක් ඇති කළ හැකියි. එහෙත්, ඔහු විස්තර කරන්නේ පුරාණයේ සිදු වූ සැබෑ සිද්ධියක්. පුරාණ යෙරුසලමේ තාප්පවලින් පිටත කුණු ගොඩවල් තිබූ අතර, සමහර අවස්ථාවලදී ගෞරවාන්විත භූමදානයක් කරන්න තරම්වත් සුදුසු නැති බව තීන්දු කරමින් මරණීය දණ්ඩනය නියම කළ අපරාධකරුවන්ගේ මළ කඳන් ඒවාට විසි කළා. a එම කුණු ගොඩවල සිටි පණුවන් විසින් හා එහි තිබූ ගින්දර මගින් කුණු කසළ වගේම මළ කඳන්ද වැඩි කල් යන්න කලින් විනාශ කරනු ලැබුවා. චිත්ත රූපයක් මැවෙන භාෂාවක් යොදාගනිමින් යෙසායා පැහැදිලි කරන්නේ වරදකරුවන් මත ගෙනෙන යෙහෝවාගේ අවසන් විනිශ්චයයි.

ඔහු පොරොන්දු කර තිබෙන දේවල්

12. නව ලොවේ ජීවිතය ගැන යෙසායා තවදුරටත් විස්තර කරන දේවල් මොනවාද?

12 පැමිණෙන නව ක්‍රමයෙහි නොමැති දේවල් සමහරක් ගැන එළිදරව් 21:4හි සඳහන් වෙනවා. එහි පවතිනු ඇත්තේ මොනවාද? ජීවිතය මොන වගේ එකක් වෙයිද? අපිට ඒ ගැන යම් විශ්වාසදායක ඉඟියක් ලබාගත හැකිද? ඔව්, ලබාගත හැකියි. යෙහෝවා අවසන් වතාවට මවන්න යන අලුත් අහසේ හා අලුත් පොළොවේ ජීවත් වෙන්න අපිට ඔහුගේ අනුමැතිය ලැබුණොත් අපි භුක්ති විඳින්න යන තත්වයන් අනාවැකියක් ලෙස යෙසායා 65වන පරිච්ඡේදයේ විස්තර කරනවා. අලුත් පොළොවේ සදහටම ජීවත් වීමට වරම් ලබන අය මහලු වී මිය යන්නේ නැහැ. යෙසායා 65:20හි සහතික ලෙස අපිට මෙසේ පවසනවා: “දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත.”

13. දෙවිගේ සෙනඟ සුරක්ෂිතව සිටින බව යෙසායා 65:20 අපිට සහතික කරන්නේ කෙසේද?

13 යෙසායාගේ කාලයේ විසූ මිනිසුන් සම්බන්ධයෙන් මෙහි මුල් ඉටුවීම සිදු වූ කාලයේදී, මෙයින් අදහස් කළේ ඔවුන් වාසය කළ දේශයේ ළදරුවන් ආරක්ෂා සහිතව සිටි බවයි. කලින් බබිලෝනිවරුන් ඇවිත් කිරි බොන ළදරුවන්ව පවා මරා දමමින් තරුණයන්ව විනාශ කළා වගේ කිසිම සතුරෙක් ඒ දේශයට ඇතුල් වුණේ නැහැ. (2 ලේකම් 36:17, 20) පැමිණෙන නව ලොවේ ජීවත් වන මිනිසුන් ජීවිතයේ සතුට භුක්ති විඳිමින් සුරක්ෂිතව සිටින්න යනවා. යම් කෙනෙක් දෙවිට විරුද්ධව කැරලි ගැසුවොත්, ඔහුට දිගටම ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ. දෙවි ඔහුව ඉවත් කර දමන්න යනවා. කැරලිකාර පව්කාරයා අවුරුදු සියයක් වයස කෙනෙක් නම් කුමක් කිව හැකිද? ඔහුට භුක්ති විඳින්න තිබූ නිමක් නොමැති ජීවිතය සමඟ බලද්දී, ඔහු ‘බාල දරුවෙක්’ මෙන් මිය යනවා.—1 තිමෝති 1:19, 20; 2 තිමෝති 2:16-19.

14, 15. යෙසායා 65:21, 22ට අනුව ඔබට අපේක්ෂාවෙන් සිටිය හැක්කේ කුමන විපාකදායී වැඩ ගැනද?

14 හිතාමතාම පව් කරන කෙනෙකුව පහ කර දමනු ලබන ආකාරය ගැන අවධානය යොමු කරනවා වෙනුවට, නව ලෝකයේ ජීවත් වෙද්දී අද්දකින්න යන තත්වයන් යෙසායා විස්තර කරයි. මෙහි විස්තර කරන දසුනෙහි ඔබත් සිටින බව සිතින් මවාගන්න. ඔබේ හිතට වැඩියෙන්ම කිට්ටු දේවල් ඔබේ මනස නමැති ඇස්වලින් ඔබ මුලින්ම දකින්න ඉඩ තිබෙනවා. යෙසා 65 විසිඑක්වන හා 22වන වගන්තිවල සඳහන් දෙයින් යෙසායා මෙසේ අපේ සිත් පිනවයි: “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනගගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.”

15 ගොඩනැඟීමේ වැඩ හෝ ගෙවතු වගාව ගැන ඔබට පළපුරුද්දක් නැත්නම්, මේ දේවල් ගැන ඔබ යම් අධ්‍යාපනයක් ලබන්න යන බව යෙසායාගේ මෙම අනාවැකියෙන් කියවෙනවා. දක්ෂ, අද්දැකීම් ලත් උපදේශකයන්ගෙන් හා සමහරවිට ඔබට උපකාර කරන්න කැමැත්තෙන් සිටින අසල්වැසියන්ගෙන් පවා ඉගෙනගන්න ඔබ කැමතිද? ඔබේ නිවසට සවි කරන්න යන්නේ, උණුසුම් දේශගුණයක් තිබෙන කාලෙට හමන මඳ සුළඟේ සිසිලස ලැබිය හැකි වන සේ තිර දැමූ විවෘත කළ හැකි විශාල ජනෙල්ද, නැත්නම් වෙනස් වන ඍතු දැක බලාගත හැකි වන පරිදි සම්පූර්ණයෙන්ම වැසූ වීදුරු ජනෙල්ද කියා යෙසායා පැවසුවේ නැහැ. ඔබේ නිවස ඔබ සැලසුම් කරන්න යන්නේ වැසි ජලය සහ හිම ගලා යෑමට හැකි වන ලෙස ඇල කර සාදන වහලක් ඇතුවද? එහෙම නැත්නම්, මැද පෙරදිගේ වගේ, පැතලි කොන්ක්‍රීට් වහලක් තැනීම අවශ්‍ය කෙරෙන දේශගුණයක් ඔබ පදිංචි වෙන්න යන ප්‍රදේශයේ තිබේවිද? එහෙම වුණොත් එවන් වහලක් උඩ ඔබටත් ඔබේ පවුලේ අයටත් රසවත් ආහාර වේලක් භුක්ති විඳිමින් හොඳ සංවාදයක නිරත විය හැකියි.—ද්විතීය කථාව 22:8; නෙහෙමියා 8:16.

16. නව ලොව සැමදාම තෘප්තිකර ජීවිතයක් ගත කළ හැකි තැනක් වන බවට බලාපොරොත්තු විය හැක්කේ මන්ද?

16 ඒ දේවල් ගැන විස්තර දැනගන්න උත්සාහ කරනවාට වඩා, වැදගත්ම දෙය වන්නේ තමන්ටම කියා නිවසක් තිබීමයි. සමහරවිට මේ කාලයේ ඔබ නිවසක් සාදන්න මහන්සි වී වැඩ කළත්, වෙනත් කෙනෙකුට එය අයිති වෙයි. නමුත් එදාට එය අයිති වන්නේ ඔබටමයි. එමෙන්ම, ඔබ එහි වගා කරන ඵල ඔබම භුක්ති විඳින බව යෙසායා 65:21හි සඳහන් වෙනවා. මෙමගින් පොදුවේ පවතින්න යන තත්වය කෙටියෙන් සමාලෝචනය කෙරෙනවා. ඔබ දරන වෑයම්වලින් මහත් තෘප්තියක් මෙන්ම ඔබේ මහන්සියට සරිලන ප්‍රතිඵල ඔබ ලබන්න යනවා. ඔබ එය, “වෘක්ෂයක දවස් මෙන්” දිගු කාලයක් පුරා භුක්ති විඳින්න යනවා. ඇත්තෙන්ම මෙම තොරතුරු, “සියල්ල අලුත්” කියා හඳුන්වන විස්තරයට හොඳින් ගැළපෙනවා!—ගීතාවලිය 92:12-14.

17. දෙමාපියන්ට විශේෂයෙන්ම දිරිගැන්වීමක් වන්නේ කිනම් පොරොන්දුවද?

17 ඔබ දෙමාපියෙක් නම් මෙම වදන් ඔබේ සිත්ගන්න බවට සැකයක් නැහැ. “ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු [යෙහෝවාගෙන්] ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමග වන්නෝය. ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.” (යෙසායා 65:23, 24) ‘විපත්තිය පිණිස ඉපදවීමේ’ වේදනාව ඔබ අද්දැක තිබෙනවාද? දෙමාපියන්ට මෙන්ම වෙනත් අයට හෘද වේදනා ඇති කළ හැකි දරුවන් විසින් සිදු කරන විවිධාකාර ගැටලුවල ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න අපිට අවශ්‍ය නැහැ. එමෙන්ම, තමන්ගේ දරුවන් සමඟ ගත කිරීමට සුළු කාලයක්වත් නැති තරමටම තමන්ගේ රැකියාවලට හා විනෝදාංශවලට සිත යොමු කරන දෙමාපියන් ගැන අපි සෑම කෙනෙක්ම අසා තිබෙනවා. මීට හාත්පසින්ම වෙනස්ව, අපේ අවශ්‍යතාවලට ඉතා ඉක්මනින් සවන් දී ප්‍රතිචාරය දක්වන බවටත්, එම අවශ්‍යතා මොනවාද යන්න කලින්ම සොයා බලන බවටත් මෙහිදී යෙහෝවා ස්ථිර සහතිකයක් අපිට සපයනවා.

18. නව ලොවේදී සතුන් සමඟ සතුටින් කල් ගෙවිය හැකි බව ඔබට අපේක්ෂා කළ හැක්කේ මන්ද?

18 නව ලොවේදී මම භුක්ති විඳින්න යන්නේ මොනවාද කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. මෙසේ කල්පනා කරන අතරතුරේදී දෙවිගේ අනාවැකිමය වදන් මගින් ඇති කරන මෙම දසුන සිතේ මවාගන්න: “වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 65:25) මෙම දසුන චිත්‍රයට නඟන්න චිත්‍ර ශිල්පීන් උත්සාහ දරා තිබෙනවා. එහෙත් මෙම විස්තරය හුදෙක් චිත්‍ර ශිල්පියෙක් සිතින් මවාගෙන නිර්මාණය කළ චිත්‍රයක් මෙන් නොවෙයි. මේ දසුන සැබෑ එකක් වෙනවාට සැකයක් නැහැ. මිනිසුන් මිනිසුන් අතර පමණක් නොව, මිනිසුන් සහ සතුන් අතරත් සාමය පවතියි. සතුන් ගැන අධ්‍යයනය කිරීම සඳහා ජීව විද්‍යාඥයන් හා සත්වලෝලීන් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය යෙදෙව්වත් ඔවුන්ට ඉගෙනගත හැක්කේ සතුන් වර්ග කිහිපයක් ගැන හෝ සමහරවිට උපවිශේෂයක් හෝ එක වර්ගයක් ගැන පමණයි. මීට වෙනස්ව, සතුන් මිනිසුන්ට බිය වී පලා නොයන ඒ කාලයේදී ඔබට ඉගෙනගත හැකි දේවල් ගැන කල්පනා කර බලන්න. ඔබට පුළුවන් ඒ කාලයේදී කැලෑවල හා මහා වනාන්තරවල ජීවත් වන කුරුල්ලන් හා ඉතාමත් කුඩා සතුන් ළඟට පවා ගොස්, උන්ව නිරීක්ෂණය කරමින් හා උන් ගැන ඉගෙනගනිමින් උන් එක්ක සතුටු වන්න. (යෝබ් 12:7-9) මිනිසුන්ගෙන් හෝ සතුන්ගෙන් කිසිම භයක් නොලැබ, ඔබට එසේ සතුන් සමඟ කල් ගෙවිය හැකියි. යෙහෝවා මෙසේ පවසනවා. “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැත.” අද අපි අද්දකින දේවලට වඩා මොනතරම් වෙනස් අද්දැකීමක්ද!

19, 20. දෙවිගේ සෙනඟ අද සිටින බහුතරයකගෙන් වෙනස් වන්නේ මන්ද?

19 නව සහස්‍රය ගැන සෑම තැනකම සිටින මිනිසුන් කතා බහ කළත්, අපි කලින් සඳහන් කළාක් මෙන් අනාගතයේ සිදු වන දේවල් නිවැරදිව පුරෝකථනය කරන්න කිසිම මිනිසෙකුට නොහැකියි. මෙම තත්වය නිසා බොහෝදෙනෙකු තුළ කලකිරීමක් ඇති වී තිබෙනවා. එමෙන්ම එය බොහෝදෙනෙකුව ව්‍යාකූලත්වයට හා බලාපොරොත්තු නැති තත්වයකට පත් කර තිබෙනවා. කැනේඩියානු විශ්වවිද්‍යාලයක අධ්‍යක්ෂක වූ පීටර් එම්බර්ලි මෙසේ ලිව්වා: “මම කවුද? මම ඇත්තටම සෑහෙන වෙහෙසක් දරන්නේ මොනව ලබාගන්නද? මම ඊළඟ පරම්පරාවට ඉතුරු කර යන්නේ මොනවද? යන මූලික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අභියෝගයට බොහෝදෙනෙක් [වැඩිහිටියන්] මුහුණ දෙයි. තමන්ගේ ජීවිතයට යම් සාමකාමීබවක් හා අර්ථයක් ලබාගැනීමට ඔවුන් දැඩි සටනක නිරත වී සිටියි.”

20 බොහෝදෙනෙකු එවන් තත්වයකට පත්වීමට හේතුව ඔබට තේරුම්ගත හැකියි. ඔවුන් විනෝදාංශවල නියැලීමෙන් ජීවිතයේ සතුට සෙවීමට උත්සාහ කරනවා. එහෙත් තමන්ගේ අනාගතය කෙබඳු එකක්ද කියා ඔවුන් නොදන්න නිසා, ඔවුන්ගේ ජීවිතවල වැදගත්කමක්, පිළිවෙළක් හා සැබෑ අර්ථයක් නැහැ. අපි සලකා බැලූ දේවල් සැලකිල්ලට ගනිමින් ඔබ ජීවිතය දෙස බලන ආකාරය හා ඔවුන් එය දෙස බලන ආකාරය සසඳා බලන්න. යෙහෝවා පොරොන්දු කර තිබෙන අලුත් අහස හා අලුත් පොළොවේදී, අවට තිබෙන දේවල් දෙස බලා, ‘දෙවි ඇත්තටම සියල්ල අලුත් කර තිබෙනවා!’ කියා ඔබේ මුළු හෘදයෙන්ම ඔබට පැවසිය හැකි බව ඔබ දන්නවා. මොනතරම් සතුටක් අපි එදාට අද්දකීවිද!

21. යෙසායා 65:25හි සහ යෙසායා 11:9හි අපට සොයාගැනීමට තිබෙන මූලික කරුණ කුමක්ද?

21 දෙවිගේ නව ලොවෙහි ජීවත් වීම සිතින් මවාගැනීම, අපි ඒ ගැන ඕනෑවට වඩා සිතීමක් නොවෙයි. දැන් සැබෑකමින් තමාට නමස්කාර කරන්න කියාත්, ‘ඔහුගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් සිදු නොවන’ කාලයේ ගත කරන ජීවිතය භුක්ති විඳීමට සුදුසුකම් ලබාගන්න කියාත් දෙවි අපට ආරාධනා කරනවා. (යෙසායා 65:25) එපමණක් නොවෙයි ඒ සඳහා ඔහු අපව උනන්දු කරනවා. කෙසේවෙතත්, යෙසායා මීට කලින් කළ මේ හා සමාන විස්තරයකදී අපි නව ලොවෙහි ජීවිතය භුක්ති විඳීම තීරණය කෙරෙන මූලික සාධකයක් ඔහු එයට ඇතුළත් කළ බව ඔබ දැන සිටියාද? යෙසායා 11:9හි මෙසේ සඳහන් වෙනවා: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”

22. අපි සලකා බැලූ බයිබල් අනාවැකි සතර මගින් අපේ අධිෂ්ඨානය ශක්තිමත් කළ යුත්තේ කුමක් කිරීමටද?

22 ‘යෙහෝවා ගැන දැනුම.’ ඔව්, දෙවි සියල්ල අලුත් කරන කාලයේදී පොළොවේ ජීවත් වන ජනයාට ඔහු ගැනත් ඔහුගේ කැමැත්ත ගැනත් නිවැරදි මෙන්ම පරිපූර්ණ දැනුමක් තිබෙන්න යනවා. සත්ව මැවිල්ලෙන් දේවල් ඉගෙනගන්නවාට වඩා වැඩි යමක් එම දැනුමට ඇතුළත් වෙනවා. ඔහුගේ ආනුභාවයෙන් ලියවී තිබෙන වචනය මෙයට අයත් වෙනවා. උදාහරණයක් හැටියට, “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගැන සඳහන් අනාවැකි හතරක් පරීක්ෂා කරබැලීමෙන් අපි මොනතරම් දේවල් ඉගෙනගත්තාද කියා කල්පනා කර බලන්න. (යෙසායා 65:17; 66:22; 2 පේතෘස් 3:13; එළිදරව් 21:1) බයිබලය නිතිපතා කියවීමට ඔබට හොඳ හේතු තිබෙනවා. එය ඔබේ දිනචර්යාවේ කොටසක්ද? එසේ නැත්නම්, දෙවිට පවසන්න තිබෙන දේවලින් යමක් සැමදාම කියවීමට හැකි වන පරිදි ඔබට කළ හැකි සකස් කිරීම් මොනවාද? මෙසේ කිරීමෙන් ඔබ නව ලොවෙහි ජීවිතය භුක්ති විඳීම ගැන මහත් ආශාවෙන් බලා සිටිනවා පමණක් නොව, ගීතිකාකරු මෙන් ඔබ දැනුත් මහත් ප්‍රීතියක් භුක්ති විඳින්න යනවා.—ගීතාවලිය 1:1, 2.

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්, it) පොතේ 1වන වෙළුමේ 906වන පිටුව බලන්න.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

යෙසායා 66:22-24හි පුරෝකථනය කරන්නේ අනාගතයේදී ඉටුවීමට තිබෙන දෙයක් ගැන කියා අපිට නිගමනය කළ හැක්කේ මන්ද?

යෙසායා 66:22-24 සහ යෙසායා 65:20-25හි සඳහන් අනාවැකි සලකා බලන විට, ඔබ මහත් ආශාවෙන් බලා සිටින්නේ කුමන දේවල්ද?

• ඔබේ අනාගතය ගැන නිසැකකමක් ඇතුව සිටීමට ඔබට තිබෙන හේතු මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

යෙසායා, පේතෘස් සහ යොහන් “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගැන විවිධ තොරතුරු පුරෝකථනය කළා