Skip to content

පටුනට යන්න

ප්‍රචණ්ඩකාරිත්වය ගැන ඔබට ඇත්තේ දෙවිගේ දෘෂ්ටියද?

ප්‍රචණ්ඩකාරිත්වය ගැන ඔබට ඇත්තේ දෙවිගේ දෘෂ්ටියද?

ප්‍රචණ්ඩකාරිත්වය ගැන ඔබට ඇත්තේ දෙවිගේ දෘෂ්ටියද?

ඉමහත් කාය ශක්තියක් ඇති නිර්භීතකමක් පෙන්වන පුරුෂයන් කාගේ කාගෙත් පැසසුමට ලක් වන අන්දම අපි කවුරුත් දැක ඇත්තෙමු. ග්‍රීක් ප්‍රබන්ධ කථාවල එවැන්නෙක් සිටියේය. ඔහු හෙරක්ලිස් නමැති විරුවාය. රෝමවරුන් ඔහුට දුන්නේ හර්කියුලිස් යන නාමයයි.

හෙරක්ලිස් පුදුම කීර්තියක් ලබාගත් සුපිරි විරුවෙකි. ඔහු කිසිවෙකුගේ අණසකට යටත් නොවූ ශක්තියෙන් අනූන පුද්ගලයෙකි. පවතින පුරා වෘත්තවලට අනුව, ඔහු අඩ දෙවියෙක් විය. ඔහුගේ පියා වූයේ සියුස් දෙවියාය. මව ඇල්ක්මෙනි මනුෂ්‍ය දුවකි. හර්කියුලිස් විරුවෙකු සේ කටයුතු කරන්න පටන්ගත්තේ තොටිල්ලේ නැලවෙන කාලයේ සිටමය. ඊර්ෂ්‍යාවෙන් පිරි දේවතාවක් ඔහුව මරණයට පත් කිරීමට දැවැන්ත සර්පයන් දෙදෙනෙකු එවීය. හෙරක්ලිස් උන් දෙදෙනාව තම අත් දෙකින්ම මිරිකා මැරීය. පසුව, ඔහු නොයෙකුත් සටන්වල නිරත වීමට ඉමහත් රුචියක් දැක්වීය. නොයෙකුත් අද්භූත සතුන්ව පරාජය කළේය. මිතුරෙකු බේරාගැනීමට වරෙක මාරයා සමඟ පවා පොරබැදීය. එපමණක්ද නොව, නුවරවල්ද බිඳ හෙළීය. කතුන්ව දූෂණය කළේය. බලකොටුවකින් දරුවෙකුව බිම හෙළීය. තම බිරිඳ සහ දරුවන්ව පවා ඝාතනය කළේය.

හෙරක්ලිස් සැබෑ පුද්ගලයෙක් නොවීය. එනමුත් ඔහු වටා ගෙතූ ප්‍රබන්ධ කථා ග්‍රීක්වරුන් අතර ප්‍රචලිත විය. රෝමවරුද ඔහුව දේවත්වයෙන් සැලකූහ. වෙළෙන්දෝ ධනය සඳහාද, සංචාරකයෝ අනතුරුවලින් ආරක්ෂාව සඳහාද ඔහුට කන්නලව් කළෝය. ඇත්තෙන්ම ඔහුගේ වික්‍රමාන්විත ක්‍රියා වසර දහස් ගණනක් පුරා බොහෝදෙනාගේ ආස්වාදයට හේතුවක් වී තිබේ.

ප්‍රබන්ධයක සුල මුල

මෙවැනි කතාවලට හේතු වී ඇත්තේ කුමක්ද? ඒවා කිසියම් සැබෑ දෙයක් ඔස්සේ ගොඩනැඟී ඇද්ද? එලෙස නිගමනය කිරීමට පදනමක් ඇති බව පෙනේ. මිනිස් ඉතිහාසයේ මුල් අවදියේ, දෙවිවරුන් සහ අඩ දෙවිවරුන් මිහිපිට සැරිසැරූ කාලයක් ගැන බයිබලයෙහි කියවේ.

එම වකවානුව ගැන මෝසෙස් දුන් විස්තරය මෙසේය. “තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල [දෙවිගේ] පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.”—උත්පත්ති 6:1, 2.

‘දෙවිගේ පුත්‍රයන්’ ලෙස විස්තර කළ අය මනුෂ්‍යයන් නොවේ. ඔවුහු දේවදූතයෝය. (සසඳන්න යෝබ් 1:6; 2:1; 38:4, 6, 7.) ඇතැම් දේවදූතයන් “තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරිය” බව බයිබල් ලේඛක යූද් සඳහන් කරයි. (යූද් 6) ඔව්, දෙවිගේ ස්වර්ගික සංවිධානයෙහි ඔවුන්ට යම්කිසි පැවරුමක් තිබිණ. එනමුත් ඔවුහු මිහිපිට විසූ රූමත් කතුන් සමඟ දිවි ගෙවන්න කැමති වූ නිසා, ඒ පැවරුම අත්හැර පොළොවට ආහ. මෙම කැරලිකාර දේවදූතයන් “වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ” ගිය සොදොම සහ ගොමොරාවෙහි වැසියන්ට සමාන වූ බවද යූද් පවසයි.—යූද් 7.

මෙම අකීකරු දේවදූතයන්ගේ අවකල් ක්‍රියාවන් ගැන බයිබලයෙහි පූර්ණ විස්තරයක් දී නැත. එනමුත් ග්‍රීසියෙහි සහ වෙනත් සංස්කෘතීන්වල පුරාණ ප්‍රබන්ධ කථාවල මිනිසා අතර දෘශ්‍යමානව හෝ අදෘශ්‍යමානව විසූ දෙවි දේවතාවන් ගැන විචිත්‍ර කතා රැසක් අන්තර්ගතව තිබේ. මිනිසෙකුගේ වෙස් ගත් කල, ඔවුන්ට පුදුම දනවන ශෝභනකමක් තිබිණ. ඔවුහු කෑවා බීවා පමණක් නොව, ලිංගික සම්බන්ධකම්ද පැවැත්වූහ. දෙවි දේවතාවන් සමඟ පමණක් නොව නමුත් මනුෂ්‍යයන් සමඟ පවා ලිංගික සම්බන්ධකම් පැවැත්වූහ. ශුද්ධ වූ අමරණීය වූ අය වශයෙන් සැලකුවද, ඔවුහු බොරු කීහ. වංචා කළහ. අඬ දබර කළහ. සටන් කළහ. ඇතමුන්ව නොමඟ යැවූහ. කතුන්ව දූෂණය කළහ. එසේ නම්, බයිබලයෙහි උත්පත්ති පොතෙහි ජලගැල්මට පෙර පැවති තත්වය, මෙම ප්‍රබන්ධ කථා තුළින් යම් අන්දමකින් පිළිබිඹු වන බව පැවසුවොත් නිවැරදිය.

පුරාණයේ කීර්තිමත් ශූරයෝ

මනුෂ්‍ය වෙස් ගත් මෙම අකීකරු දේවදූතයෝ පොළොවේ කතුන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූ අතර, එම ස්ත්‍රීහු දරුවන් වැදූහ. මෙම දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා වෙනස් විය. දේවදූත පියෙකු සහ මිනිස් මවක සිටි ඔවුන්ව හැඳින්වූයේ නෙඵිලීම් හැටියටයි. බයිබල් වාර්තාව ඔවුන් ගැන මෙසේ පවසයි. “ඒ දවස්හි යෝධයෝ [නෙඵිලීම්, NW] පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් [දෙවිගේ] පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.”—උත්පත්ති 6:4.

“නෙඵිලීම්” යන හෙබ්‍රෙව් වචනයට අර්ථයක් තිබේ. එනම් “බිම හෙළන්නෝ” යන්නයි. ඇත්තෙන්ම එහි ගැබ්ව ඇත්තේ ප්‍රචණ්ඩකාරිත්වය යොදා අන්‍යයන්ව බිම හෙළන්නන් යන අරුතය. මේ අනුව, “පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය” කියා බයිබල් වාර්තාවෙහි සඳහන් වීම පුදුමයක් නොවේ. (උත්පත්ති 6:11) ප්‍රබන්ධ කථාවල ප්‍රචලිත වූ අඩ දෙවිවරු නෙඵිලීම්වරුන්ට සෑහෙන සමානකමක් දක්වති. මීට උදාහරණ වශයෙන් හෙරක්ලිස්ව සහ බබිලෝනියේ විරුවෙකු වූ ගිල්ගාමෙෂ්ව සඳහන් කළ හැක.

මෙම නෙඵිලීම්වරුන්ව ‘කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයන්’ වශයෙන් හැඳින්වූ බව ඔබ දුටුවා විය හැක. එදා ජීවත් වූ ධර්මිෂ්ඨ නෝවාට වෙනස්ව, නෙඵිලීම්වරුන්ට යෙහෝවාගේ කීර්තිය පැතිරවීම සඳහා කිසිදු ආශාවක් තිබුණේ නැත. ඔවුන් උනන්දු වූයේ තමන්ට ගෞරවයක්, කීර්තියක්, නම්බුවක් ලබාගැනීමට පමණයි. ඔවුන්ගේ වීර වික්‍රමයන්ට ප්‍රචණ්ඩකාරිත්වය සහ ලේ වැගිරවීම ඇතුළත් වූ බවටද සැකයක් නැත. එතුළින් ඔවුහු අවට සිටි අභක්තිකයන් ඉදිරියෙහි කීර්තියක් ඉසිලූහ. සෙසු ජනයා ඔවුන්ට භය වූහ. අවශ්‍ය ගෞරවය ඔවුහු ලැබුවෝය. ඔවුන්ට එරෙහි වීමට කිසිවෙකු සිටියේද නැත. ඔවුන් අපරාජිතයන් මෙන් පෙනිණ.

නෙඵිලීම්වරුන් සහ ඔවුන්ගේ කැරලිකාර දේවදූත පියවරුන් එදා විසූ ජන සමාජය ඉදිරියෙහි කීර්තියක් ඉසිලුවද, දෙවි ඔවුන්ව සැලකුවේ වෙනස් ආකාරයකටය. ඔවුන් ගත කළ ජීවිතය පිළිකුල්සහගත එකක් විය. එමනිසා, දෙවි මෙම පාපිෂ්ඨ දූතයන්ට එරෙහිව ක්‍රියා කළේය. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පේතෘස් කියන දේ සලකා බලන්න. ‘දේවදූතයන් පව් කළ විට දෙවි ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරි කොට තැබීමට නිරයෙහි [ටාටරස්හි, NW] හෙළා අන්ධකාරයේ ගුහාවලට භාර දුන්නේය. ඔහු අභක්තිකයන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවූ කල, පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක් වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂා කළේය.’—2 පේතෘස් 2:4, 5.

දෙවි සමස්ත ලෝක ජලගැල්මක් පැමිණෙවූ කල, මෙම කැරලිකාර දේවදූතයෝ තම මනුෂ්‍ය වේසය අත්හැර, ස්වර්ගයට නැවත ගියෝය. එනමුත් දෙවි තම පවිත්‍ර සංවිධානයට ඔවුන්ව යළි භාරගත්තේ නැත. තවද නැවතත් මනුෂ්‍ය වේසය ගැනීමේ හැකියාව ඉවත් කිරීමෙන් දෙවි ඔවුන්ට දඬුවම් කළේය. නෙඵිලීම්වරුන්ට සිදු වූයේ කුමක්ද? අකීකරු දේවදූතයන්ගේ මෙම දරුවෝ ජලගැල්මට හසු වී ජීවිතක්ෂයට පත් වූහ. ඉන් බේරී ජීවත් වූයේ නෝවා සහ ඔහුගේ කුඩා පවුල පමණයි.

වත්මන් ශූරයෝ

අද නම්, දෙවිවරුන්වත් අඩ දෙවිවරුන්වත් පොළොවෙහි සැරිසරන්නේ නැත. කෙසේවෙතත්, මෙලොව ප්‍රචණ්ඩකාරිත්වයෙන් පිරී පවතී. වර්තමානයේ කීර්තිමත් මනුෂ්‍යයන්ව පොත්වල, චිත්‍රපටිවල, රූපවාහිනියේ සහ සංගීතය තුළින් ගෞරවයට ලක් කරනු ලැබේ. ඔවුහු තම සතුරන්ට ප්‍රේම නොකරති. කළ නින්දාවක් නොසලකා හැරීමට එනම් අනික් කම්මුල හැරවීමට මනාපයක්ද නොදක්වති. ප්‍රචණ්ඩකාරිත්වයට පිටු පාන්නේද නැත. (මතෙව් 5:39, 44; රෝම 12:17; එපීස 4:32; 1 පේතෘස් 3:11) ඇත්තෙන්ම ඔවුන්ව සියලුදෙනාගේ ගෞරවයට පාත්‍ර වී ඇත්තේ ඔවුන්ගේ කාය ශක්තිය, සටන් ශාස්ත්‍රයෙහි දක්ෂතාව, පළිගැනීමට තිබෙන හැකියාව හා අධිප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට තිබෙන හැකියාව නිසා පමණි. a

නෝවාගේ දවස්වලදී මෙන් අදදිනත් ප්‍රචණ්ඩකාරිත්වය පිළිබඳව දෙවිගේ දෘෂ්ටිය වෙනස් වී නොමැත. යෙහෝවා ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට මනාපයක් දක්වන අයව හෙළා දකියි. ඔවුන්ගේ වීර වික්‍රමයන් දැක ඔහු ආස්වාදයක් ලබන්නේද නැත. ගීතිකාකරු ගැයූ දෙයින් මෙය පැහැදිලි වේ. ඔහු මෙසේ පැවසීය. ‘යෙහෝවා ධර්මිෂ්ඨයා විමසයි. නමුත් ඔහුගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂ කරයි.’—ගීතාවලිය 11:5.

වෙනස් දෘෂ්ටියක්

යේසුස් ක්‍රිස්තුස් මෙලොවෙහි ඉමහත් කීර්තියක් උසුලන ප්‍රචණ්ඩකාරි මනුෂ්‍යයන්ට වඩා හාත්පසින්ම වෙනස් ආදර්ශයක් තැබීය. මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා ඔහුය. ඔහු සාමකාමී පුද්ගලයෙක් විය. මිහිපිට දිවි ගෙවද්දී, ‘දරුණු වූ කිසිවක් නොකළේය.’ (යෙසායා 53:9NW) ගෙත්සෙමනේ උයනෙහිදී ඔහුව අත්අඩංගුවට ගත් විට, ඔහුගේ අනුගාමිකයන් කිහිපදෙනෙකු ළඟ කඩු තිබුණේය. (ලූක් 22:38, 47-51) යුදෙව්වන්ගෙන් ඔහුව බේරාගැනීමට ඒවා පාවිච්චි කිරීමට ඔවුන්ට හැකියාව තිබිණ.—යොහන් 18:36.

ඒ අවස්ථාවේදී යේසුස්ව ආරක්ෂා කිරීමට ප්‍රේරිත පේතෘස් තම කඩුව අතටත් ගත්තේය. එනමුත් යේසුස් ඔහුට පැවසූ දේ සලකා බලන්න. “නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” (මතෙව් 26:51, 52) යේසුස්ගේ තර්කය පැහැදිලිය. ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට ප්‍රචණ්ඩත්වය යොදාගැනීම පිළියමක් නොවේ. අප මිනිස් ඉතිහාස වාර්තාව බැලූ පමණින්ම කාරණය පැහැදිලි වේ. යේසුස්ගේ ආරක්ෂාවට අවි තිබුණා පමණක් නොව, ඊටත් වඩා බලසම්පන්න බල ඇණියක් තිබුණේය. ඔහු ඊළඟට පේතෘස්ට පැවසූ දෙයින් මෙය පැහැදිලි වේ. “දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ [පියාගෙන්] ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද?”—මතෙව් 26:53.

මෙයින් පැහැදිලි වන්නේ යේසුස් ප්‍රචණ්ඩකාරිත්වයේ හෝ දේවදූතයන්ගේ පිහිට පැතුවේ නැති බවය. ඇත්තෙන්ම ඔහුව අත්අඩංගුවට ගත් අය අවසානයේදී ඔහුව මරුමුවට පත් කළෝය. යේසුස් මේ සියල්ලට ඉඩ දුන්නේ මන්ද? ඔහු යමක් දැන සිටි නිසාය. මෙලොවෙහි සිදු වන නපුරු දේවල් තුරන් කිරීම සඳහා තම ස්වර්ගික පියාගේ කාලය එළඹ නොතිබුණු බවය. එමනිසා යේසුස් කාරණා තම අතට ගෙන කටයුතු නොකර, යෙහෝවා මත රඳා සිටියේය.

ඇත්තෙන්ම යේසුස්ගේ ක්‍රියාකලාපය දුර්වලයයි පැවසිය නොහැක. නමුත් මෙහිදී ඔහු සෑහෙන අභ්‍යන්තර ශක්තියක් පිළිබිඹු කළ බව පැහැදිලිය. යෙහෝවා නියමිත කාලයේදී, තම කැමැත්තට අනුව සියල්ල නිරාකරණය කරන බවට විශ්වාසයක් ඔහුට තිබුණේය. ඔව්, යේසුස්ට ශක්තිමත් ඇදහිල්ලක් තිබිණ. ඔහු මෙලෙස දෙවිගේ කැමැත්තට කීකරු වූ නිසා, යෙහෝවා ඔහුට ආශීර්වාද කළේය. ඔහු දැන් මුළු විශ්වයේම දෙවැනි වන්නේ යෙහෝවාට පමණි. ප්‍රේරිත පාවුල් යේසුස් ගැන මෙම අදහස් පළ කළේය. ඔහු ‘මරණය, එසේය, වධකණුවක මරණය දක්වා කීකරු වූයේය. එබැවින් දෙවි ඔහුව ඉතා උසස් කොට, සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට දුන්නේය. එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව පිය වූ දෙවිගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.’—පිලිප්පි 2:8-11.

ප්‍රචණ්ඩකාරිත්වයට නිමාවක්—දෙවිගේ පොරොන්දුව

සැබෑ ක්‍රිස්තියානීහු තම ජීවිත ආදර්ශය හැටියට යේසුස් සහ ඔහුගේ ඉගැන්වීම් සැලකිල්ලට ගනිති. ලෝකයේ කීර්තියක් උසුලන ප්‍රචණ්ඩකාරි මනුෂ්‍යයන් වෙත ඔවුන්ගේ සිත් ඇදී නොයයි. නෝවාගේ දවසේ සිදු වූවාක් මෙන්, දෙවිගේ නියමිත කාලයේදී, එවැනි ප්‍රචණ්ඩකාරි අයට සදාකාලික විනාශයක් අත් වන බව ඔවුහු හොඳහැටි දනිති.

දෙවි පොළොවෙහි සහ මනුෂ්‍යවර්ගයාගේ මැවුම්කරුය. එමෙන්ම ඔහු විශ්වයේ පරමාධිපති ධුරය හෙබවීමට අයිතිය තිබෙන එකම තැනැත්තාය. (එළිදරව් 4:11) විනිශ්චයකරුවෙකු ලෙස යුක්තිය ඉටු කිරීමට මනුෂ්‍යයෙකුට නීතික අයිතියක් ඇත්නම්, අධිකාරය හෙබවීම සඳහා දෙවිට කොපමණ අයිතියක් ඇද්ද? දෙවි දුෂ්ටකම සහ දුෂ්ටයන් මුලිනුපුටා දැමීමට පෙලඹෙන්නේ, ඔහු තම ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට ගරු කරන නිසාය. ඔහුට ප්‍රේම කරන අය සඳහා ඔහුට ප්‍රේමයක් තිබෙන නිසාය.—මතෙව් 13:41, 42; ලූක් 17:26-30.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නිම් හිම් නැති සමාදානයක් රජයනවා නියතය. ඔව්, යුක්තිය සහ ධර්මිෂ්ඨකම මත පදනම් වූ සමාදානයක් පවතිනු ඇත. මේ සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස් ගැන පැවසූ සුප්‍රසිද්ධ අනාවැකියක මෙසේ පුරෝකථනය කර ඇත. ‘අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය, ආණ්ඩුවද ඔහුගේ කර පිට තිබෙන්නේය. ඔහුගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවිය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිර කර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි ඔහුගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල යෙහෝවාගේ ජ්වලිතය මෙය ඉෂ්ට කරන්නේය.’—යෙසායා 9:6, 7.

එසේ නම් ක්‍රිස්තියානීන් දෙවිගෙන් ලද මතු උපදෙස්වලට අවනත වන්නේ හොඳ හේතු ඇතුවය. ‘බලහත්කාරකම් [ප්‍රචණ්ඩ ක්‍රියා, NW] කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න. මක්නිසාද වංක තැනැත්තා යෙහෝවාට පිළිකුලක්ය. නමුත් ඔහුගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.’—හිතෝපදේශ 3:31, 32.

[පාදසටහන]

a බොහෝ වීඩියෝ ක්‍රීඩාවල සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිවල රඟපාන ප්‍රචණ්ඩකාරි චරිතයන් තුළින්, මෙම ප්‍රචණ්ඩකාරි ගතිලක්ෂණ වඩාත් තියුණුව ගෙනහැර දක්වා තිබේ.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

නවීන දින ශූරයන් සැමගේ පැසසුමට ලක් වන්නේ ඔවුන්ගේ කාය ශක්තිය නිසාය. ප්‍රචණ්ඩත්වයට පිළියම ලෙස අධිප්‍රචණ්ඩත්වය යොදාගන්නා නිසාය

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Alinari/​Art Resource, NY