Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස්ව වටිනා තෙලකින් ආලේප කළ විට ඇති වූ දෝෂාරෝපණය සුවිශේෂයන් තුනක සඳහන් වෙනවා. මේ අවස්ථාවේදී බොහෝ ප්‍රේරිතවරු දොස් නැඟුවාද? නැතහොත් දොස් නැඟුවේ යූදස් පමණක්ද?

මෙම සිදුවීම මතෙව්, මාර්ක් සහ යොහන්ගේ සුවිශේෂවල සඳහන් කර තිබෙන ආකාරය අපට දැකගැනීමට පුළුවන්. පෙනෙන ආකාරයට යූදස් මෙම දොස් නැඟීමේදී පෙරමුණ ගත් අතර අඩුම තරමින් ප්‍රේරිතයන් කීපදෙනෙක්වත් ඔහු පැවසූ දේ අනුමත කරන්න ඇති. මෙම සිද්ධිය අපට සුවිශේෂයන් හතරක් තිබීමේ ඇති වටිනාකම පසක් කොට දෙනවා. එක් එක් ලේඛකයා ලියූ දේ නිවැරදි වුණත් සියලුදෙනාම එකම තොරතුරු සපයන්නේ නැති බව සැලකිල්ලට ගන්න. මෙම සමාන්තර වාර්තා සන්සන්දනය කර බැලීම අපට බොහෝ සිද්ධීන් පිළිබඳ පුළුල් වගේම හරි අවබෝධයක් ලබාගැනීමට උපකාරවත් වෙනවා.

එය සිදු වුණේ බෙතානියෙහි කුෂ්ඨ රෝගියෙක් වූ සීමොන්ගේ නිවසේ බව මතෙව් 26:6-13හි පවසනවා. එහෙත් යේසුස්ගේ හිසට සුවඳ තෙල් වත් කළ එම ස්ත්‍රියගේ නම එහි සඳහන් කරන්නේ නෑ. මතෙව් මෙසේ වාර්තා කරනවා: “ගෝලයෝ ඒ දැක කිපී” මේ තෙල විකුණා දිළිඳුන්ට දෙන්ට තිබුණා කියා පැවසුවා.—ඇල අකුරු අපගේය.

මාර්ක්ගේ වාර්තාවෙත් එම විස්තර බොහොමයක් ඇතුළත් වෙනවා. ඊට අමතරව ඇය එම කරඬුව විවෘත කිරීම සඳහා එය බින්දා කියා ඔහු පවසනවා. එහි තිබුණේ “ජටාමාංස” සුවඳ තෙලකි. සමහරවිට ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ එකක් විය හැක. දොස් නැඟීම සම්බන්ධයෙන් මාර්ක් වාර්තා කරන්නේ “එහි සිටි සමහරෙක් . . . කිපී” සහ “[ඔවුන්] ඇයට විරුද්ධව කොඳුළෝය” යනුවෙනුයි. (මාර්ක් 14:3-9, ඇල අකුරු අපගේය.) මෙම වාර්තා දෙකින්ම එක් දෙයක් පැහැදිලියි. එනම්, දොස් නැඟීමේදී එක් ප්‍රේරිතයෙකුට වඩා මෙයට හවුල් වී තිබෙන බව. මෙය ඇරඹුණේ කෙසේද?

ඇසින් දුටු සාක්ෂිකාරයෙක් වූ යොහන් මෙම කාරණයට අදාළ තොරතුරු සපයයි. එම ස්ත්‍රිය ලාසරුස්ගේ සහ මාර්තාගේ සහෝදරිය වන මරියා කියා ඔහු පවසනවා. යොහන් පවසන තොරතුරු පරස්පර විරෝධී නොවෙයි. ඇත්තෙන්ම එය අනෙක් වාර්තාවල නොතිබූ කරුණු ගෙනහැර දක්වනවා: ‘ඇය යේසුගේ පාදයේ තෙල් ආලේප කර ඇගේ හිසකේවලින් ඔහුගේ පාද පිසදැම්මාය.’ (ඇල අකුරු අපගේය.) මෙම වාර්තා සියල්ල ගත් කල මරියා යේසුස්ගේ හිසට සහ පාදයට වත් කළේ “ජටාමාංස” තෙල් කියා අපට පෙනී යනවා. යොහන් යේසුස්ට ඉතාමත් හිතේෂි නිසා ඔහුට විරුද්ධව සුළු දෙයක් පැවසූ විට පවා යොහන්ට ඉවසුම් නැතිව ගියා. ඔහුගේ හැඟීම් ප්‍රකාශ කර ඇති ආකාරය බලන්න: ‘ඔහුගේ ගෝලයන්ගෙන් එක් කෙනෙක් වූ ඔහුව පාවා දෙන්ට සිටිය යූදස් ඉස්කාරියොත් කතා කොට: මේ තෙල මසු තුන්සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මක්නිසාදැයි කීවේය.’—යොහන් 12:2-8.

යොහන්ට මෙතරම් කෝපයක් ඇතිවීමට හේතුව ඔබට තේරුම්ගත හැකියි. මන්ද යූදස් ‘යේසුස්ගේ ගෝලයන්ගෙන් කෙනෙක්’ වූ අතර, එවැනි තත්වයක සිට යේසුස්ව පාවා දීමට සැලසුම් කිරීම ඔහුට දරාගත නොහැකි වුණා. පරිවර්තකයෙක් වූ ආචාර්ය සී. හවර්ඩ් මාතේනි යොහන් 12:4 සැලකිල්ලට යොමු කළා: “එහිදී ‘පාවා දෙන්ට සිටිය’ යන යෙදුම භාවිත කිරීමෙන් අඟවන්නේ, එය ඒ අවස්ථාවේ ඇති වූ හදිසි සිතුවිල්ලක් නොව කාලයක් පුරා හොඳට සිතා බලා සැලසුම් කළ ක්‍රියාවක් බවයි.” යූදස්ගේ දෝෂාරෝපණයේ තිබූ යටි අදහස යොහන් හොඳින් පෙන්වනවා. “ඔහු මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය” කියා යොහන් එකතු කරන්නේ එමනිසාය.

මෙම දොස් නැඟීමේදී සොරෙකු වූ යූදස් පෙරමුණ ගැනීම තර්කානුකූලයි. මන්ද, මෙම වටිනා තෙල විකුණා, එම මුදලද පෙට්ටියට දැමූ විට එයද සොරාගැනීමට හැකියාවක් ලැබෙන නිසයි. යූදස් මෙම දෝෂාරෝපණය මතු කළ විට අනිකුත් ප්‍රේරිතවරුන්ද එහි වටිනාකමක් තිබූ නිසා කොඳුරන්ට ඇති. නමුත්, මූලිකවම දොස් නැඟීමට පෙලඹුණේ යූදස්ය.