Skip to content

පටුනට යන්න

පුරෝකථනය කළ පරිදි සියල්ල අලුත් කිරීම

පුරෝකථනය කළ පරිදි සියල්ල අලුත් කිරීම

පුරෝකථනය කළ පරිදි සියල්ල අලුත් කිරීම

‘සිංහාසනය පිට සිටින තැනැත්තා කතා කොට: බලව, මම සියල්ල අලුත් කරමියි කීවේය. තවද ඔහු කතා කොට: මේ වචන විශ්වාසය, සැබෑයයි කීවේය.’—එළිදරව් 21:5.

1, 2. අනාගතය මොන වගේ එකක් වේවිද කියා සිතා බලන්න බොහෝදෙනෙක් වැඩි කැමැත්තක් නොදක්වන්නේ ඇයි?

 ‘හෙට මොනව වෙයිද කියල කවුද දන්නේ?’ ඔබ කවදා හෝ දවසක එසේ පවසා තිබෙනවාද? එහෙම නැත්නම් ඔබට එසේ හැඟීගොස් තිබෙනවාද? අනාගතයේදී සිදු වෙන්න යන දේවල් සම්බන්ධයෙන් අනුමාන කිරීම් කරන්න හෝ ඉක්මන් වී අනාවැකි පළකරන්නන්ව විශ්වාස කරන්න හෝ මිනිසුන් වැඩි කැමැත්තක් නොදක්වන්නේ ඇයි කියා ඔබට තේරුම්ගත හැකියි. මාස හෝ අවුරුදු කිහිපයකින් සිදු වන දේවල් හරියටම කලින් පැවසීමේ හැකියාව මිනිසුන්ට නැහැ.

2 ෆෝබ්ස් ASAP නම් සඟරාව කාලය නමැති විෂය ගැන පමණක් කතා කිරීම සඳහා විශේෂ කලාපයක් නිකුත් කළා. එහි රූපවාහිනි වාර්තා වැඩසටහන්කරුවෙකු වන රොබට් ක්‍රින්ජ්ලි මෙසේ ලිව්වා: “අන්තිමේදී කාලය අපි සැමදෙනාටම සරදම් කරනවා. ඇත්තෙන්ම, කාලයේ සරදමට වැඩියෙන්ම ලක් වන්නේ අනාවැකි පළ කරන අයයි. අනාගතය ගැන අනුමාන කරන්න උත්සාහ කරන එක හරියට අපි හැමතිස්සෙම වගේ පරදින ක්‍රීඩාවක් වගෙයි. . . . මෙවන් තත්වයක් පැවතියත් ප්‍රවීණයන්යයි කියන අය දිගටම අනාවැකි පළ කරනවා.”

3, 4. (අ) නව සහස්‍රහය ගැන සමහරුන් දරන ශුභවාදී මත මොනවාද? (ආ) තවත් අයට අනාගතය පිළිබඳව තිබෙන යථාර්ථවාදී අපේක්ෂාව කුමක්ද?

3 නව සහස්‍රයට වැඩි අවධානයක් යොමු කරමින් ඇතැම් අය අනාගතය ගැන වැඩි වැඩියෙන් කතා කරනවා ඔබ අසා තිබෙන්න පුළුවන්. පසුගිය අවුරුද්ද මුලදී මැක්ලීන්ස් සඟරාවේ මෙසේ පවසා තිබුණා: “කැනේඩියානුවන් බොහෝදෙනෙකුට වසර 2000 කියන්නේ තවත් නිකම්ම අවුරුද්දක් වුවත්, එමගින් අලුත් යුගයක ආරම්භය සනිටුහන් කළ හැකියි.” යෝ’ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස් ඩියුඩ්නි ශුභවාදීව සිතීම සඳහා මෙසේ එක් හේතුවක් ඉදිරිපත් කළා: “සහස්‍රයෙන් අදහස් කරන්නේ ඇත්තෙන්ම දරුණු සියවසක කැළැල්වලින් අපේ අත් සෝදාගත හැකි බවයි.”

4 නමුත් එය නිකම්ම පැතුමක් වගේද පෙනෙන්නේ? “වසර 2000, ලෝකයේ නව ආරම්භයක් ඇති කරන බවට” සිය විශ්වාසය පළ කළේ, කැනඩාවේ සිදු කළ සමීක්ෂණයකට හවුල් වූ අයගෙන් සියයට 22ක් පමණයි. අවුරුදු 50ක් ඇතුළත “තවත් ලෝක යුද්ධයක්” සිදු විය හැකි බව අඩක්ම වගේ “බලාපොරොත්තු වෙනවා.” අපේ ප්‍රශ්න ගැටලු නැති කර දමා, සියල්ල අලුත් කිරීමට නව සහස්‍රයකට නොහැකි බව නම් පැහැදිලියි. බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ හිටපු සභාපති වූ මයිකල් අටියා මෙසේ ලිව්වා: “වේගයෙන් සිදු වන වෙනස්කම්වලින් . . . පෙනී යන්නේ, විසිඑක්වන සියවස අපේ මුළු ශිෂ්ටාචාරය මතම තීරණාත්මක අභියෝග ගෙනෙන බවයි. ජනගහන වර්ධනය, සම්පත් සීමිත වීම, පරිසර දූෂණය හා දසත පැතුරුණු දිළිඳුකම යනාදි ගැටලුවලට අපි දැනටමත් මුහුණ දෙන අතර, මේවාට වහා විසඳුම් සෙවිය යුතුයි.”

5. අනාගතයේ සිදු වන දේවල් සම්බන්ධයෙන් අපිට විශ්වාසදායක තොරතුරු ලබාගත හැක්කේ කොහෙන්ද?

5 ‘අනාගතයේදී මොනව වෙයිද කියා මිනිසුන්ට කලින් පැවසිය නොහැකි නිසා, අනාගතය ගැන කතා කරන එක පැත්තකට දැමිය යුතු දෙයක් නෙමෙයිද?’ කියා ඔබ කල්පනා කළ හැකියි. එම ප්‍රශ්නයට උත්තරය නැහැ! යන්නයි. අනාගතයේ වෙන්නේ මොනවද කියා හරියටම කියන්න මිනිසුන්ට නොහැකි බව ඇත්ත. කෙසේවෙතත්, කිසිවෙකුට එසේ කළ නොහැකියි කියා අප නොසිතිය යුතුයි. එසේනම්, කාටද පුළුවන්? අපි අනාගතය ගැන ශුභවාදීව සිතිය යුත්තේ ඇයි? සුවිශේෂි අනාවැකි හතරක් ඇසුරෙන් මේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර ඔබට සොයාගත හැකියි. මෙම අනාවැකි වාර්තා කර තිබෙන්නේ වැඩිදෙනෙක් ළඟ තිබෙන හා වැඩිදෙනෙක් කියවන පොතකයි. එමෙන්ම වැඩියෙන්ම වරදවා තේරුම්ගන්නෙත් නොසලකා හරින්නෙත් මේ පොතයි. ඒ තමයි බයිබලය. ඔබ බයිබලය ගැන දරන මතය කුමක් වූවත්, ඔබ එය මොනතරම් හොඳින් දැනගෙන සිටියත්, එහි අඩංගු මෙම මූලික පද හතර සලකා බැලීම වටිනවා. එම බයිබල් පද හතර මගින් දීප්තිමත් අනාගතයක් ගැන පුරෝකථනය කරනවා. ඒ විතරක් නොවෙයි, ඔබගෙත් ඔබේ ප්‍රේමනීයයන්ගෙත් අනාගතය මොන වගේ එකක් වෙයිද කියා මේ මූලික අනාවැකි හතරෙහි සඳහන් වෙනවා.

6, 7. යෙසායා අනාවැකි පළ කළේ කවදාද? ඔහු පුරෝකථනය කළ දේවල් විස්මිත ලෙස ඉටු වූයේ කෙසේද?

6 මෙම අනාවැකිවලින් පළමු එක සඳහන් වන්නේ යෙසායා 65වන පරිච්ඡේදයෙයි. එහි පුරෝකථනය කර තිබෙන දෙය කියවන්න කලින් එහි පසුබිම, එනම් මෙම තොරතුරු ලියූ කාලය හා ඊට සම්බන්ධ තත්වය යනාදිය කෙරෙහි අවධානය යොමු කරන්න. මෙහි සඳහන් වදන් ලියූ දෙවිගේ අනාගතවක්තෘ යෙසායා ජීවත් වූයේ යූදා රාජ්‍යය අවසන් වෙන්න සියවසකට වැඩි කාලයකට කලිනුයි. යෙහෝවා නොඇදහිලිවන්ත යුදෙව්වන්ව අත්හරිමින්, යෙරුසලම විනාශ කර දැමීමටත් එහි සෙනඟව වහල්භාවයට ගෙන යෑමටත් බබිලෝනියට ඉඩහැරිය විට, යූදා රාජ්‍යය අවසන් වුණා. මෙය සිදු වූයේ යෙසායා මේ ගැන පුරෝකථනය කිරීමෙන් අවුරුදු සියයකට වඩා වැඩි කලක් ගතවීමෙන් පසුවයි.—2 ලේකම් 36:15-21.

7 ඒ වන විට ඉපදී සිටියේ නැතත්, අවසානයේදී බබිලෝනිය විනාශ කරන්න යන තැනැත්තා වන කෝරෙෂ්ගේ නම පවා යෙසායා පුරෝකථනය කළ බව එම අනාවැකිය ඉටුවීම හා සම්බන්ධ ඓතිහාසික පසුබිම සලකා බැලීමේදී මතකයේ තබාගන්න. (යෙසායා 45:1) සිය මව් බිමට නැවත පැමිණීම සඳහා පො.යු.පෙ. 537දී යුදෙව්වන්ට කෝරෙෂ් අවස්ථාව සලසා දුන්නා. යෙසායා 65වන පරිච්ඡේදයේ අපිට කියවන්න තිබෙන්නාක් මෙන් එම නැවත පිහිටුවීම ගැනත් යෙසායා පුරෝකථනය කර තිබීම පුදුමයට කාරණයක්. යෙසායා මූලිකව අවධානය යොමු කළේ, ඉශ්‍රායෙල්වරුන් ආපසු තමන්ගේ මව් බිමට ගිය විට භුක්ති විඳින්න යන තත්වයන් ගැනයි.

8. යෙසායා පුරෝකථනය කළ සන්තෝෂවත් අනාගතය කුමක්ද? විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රකාශය කුමක්ද?

8 යෙසායා 65:17-19 දක්වා අපිට මෙසේ කියවීමට තිබෙනවා. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනග ප්‍රීතියක්දකොට මවමි. මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනග කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.” මෙහිදී යෙසායා විස්තර කළේ, යුදෙව්වන් බබිලෝනියේ සිටියදී පැවති තත්වයට වඩා බොහෝ සෙයින් යහපත් තත්වයක් ගැනයි. ප්‍රීතිය හා සතුට පිරි තත්වයක් ඔහු පුරෝකථනය කළා. “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” යන ප්‍රකාශය දැන් සැලකිල්ලට ගන්න. මෙම වාක්‍යඛණ්ඩය බයිබලයේ සඳහන් අවස්ථා හතරෙන් පළමු එක මෙයයි. මේ ප්‍රකාශ හතර මගින් අපේ අනාගතයට ඍජු බලපෑමක් ඇති කළ හැකියි. එමෙන්ම අපේ අනාගතය පවා පුරෝකථනය කිරීමට ඒවාට හැකියි.

9. පුරාණයේ විසූ යුදෙව්වන් යෙසායා 65:17-19 ඉටුවීමෙහි පංගුකාරයන් වූයේ කෙසේද?

9 යෙසායා 65:17-19හි මුල් ඉටුවීම පුරාණයේ විසූ යුදෙව්වන් අද්දැක්කා. යෙසායා නිවැරදිව පුරෝකථනය කළ පරිදි ඔවුන් ආපසු තමන්ගේ මව් බිමට පැමිණියා. ඔවුන් නැවත එහි නිර්මල නමස්කාරය පිහිටෙව්වා. (එස්රා 1:1-4; 3:1-4) කෙසේවෙතත්, ඔවුන් ආපසු පැමිණියේ, විශ්වයේ වෙනත් ස්ථානයකට නොව, නමුත් මේ පෘථිවි ග්‍රහයා මතම පිහිටා තිබෙන ඔවුන්ගේ මව් බිමටයි. අලුත් අහස සහ අලුත් පොළොව යන ප්‍රකාශවලින් යෙසායා අදහස් කළේ කුමක්ද යන්න සොයා බැලීමට, එම අවබෝධය අපිට උපකාරවත් වෙනවා. නොස්ට්‍රඩේමස්ගේ හෝ අනාවැකි පළ කරන වෙනත් මිනිසුන්ගේ අපැහැදිලි අනාවැකි ගැන සමහරුන් කරන්නාක් මෙන් අනුමාන කිරීම් කරන්න අපිට අවශ්‍ය නැහැ. යෙසායා අදහස් කළ දෙය කුමක්ද කියා බයිබලයෙහිම පැහැදිලි කර තිබෙනවා.

10. යෙසායා පුරෝකථනය කළ අලුත් “පොළොව” අපි තේරුම්ගත යුත්තේ කෙසේද?

10 බයිබලයෙහි සඳහන් “පොළොව” සැමවිටම අපේ පෘථිවියට යොමු දක්වන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගීතාවලිය 96:1 [NW] මෙසේ කියනවා: “මුළු පොළොවම, යෙහෝවාට ගීතිකා ගයන්න.” අපේ පෘථිවි ග්‍රහයාට, එනම් ගොඩබිමට හා මහා මුහුදට ගායනා කරන්න බැරි බව අපි දන්නවා. මිනිස්සු නම් ගායනා කරනවා. ඔව්, ගීතාවලිය 96:1 යොමු දක්වන්නේ පොළොව මත සිටින මිනිසුන්ටයි. a එහෙත්, යෙසායා 65:17හි “අලුත් අහසක්” ගැනත් සඳහන් වෙනවා. ‘පොළොවෙන්’ නියෝජනය කරන්නේ, ආපසු තමන්ගේ මව් බිමට පැමිණි යුදෙව්වන්ගෙන් සැදුම් ලත් නව සමාජයක් නම්, “අලුත් අහස” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

11. “අලුත් අහස” යන ප්‍රකාශය යොමු දක්වන්නේ කුමකටද?

11 මක්ලින්ටොක් සහ ස්ට්‍රෝං විසින් සම්පාදනය කළ බයිබලය, දේවධර්මය හා ආගමික සාහිත්‍යය පිළිබඳ විශ්වකෝෂයේ (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් වෙනවා: “අනාවැකිමය දර්ශනයක් හා සම්බන්ධ සිද්ධියක් දිගහැරෙද්දී අහසෙන් අදහස් කරන්නේ . . . පාලනය කරන බලවතුන් සමූහයයි. . . . ස්වාභාවික අහස පොළොවට උඩින් පිහිටා එය පාලනය කරන්නාක් මෙන් පාලකයන් යටත් වැසියන්ට ඉහළින් සිට ඔවුන්ව පාලනය කරයි.” ‘අහස පොළොව’ යන යුගළ පදය ගැන එම විශ්වකෝෂයෙහි මෙසේ පැහැදිලි කර තිබෙනවා. ‘අනාවැකිමය භාෂාවට අනුව මෙම ප්‍රකාශයෙන් අදහස් කරන්නේ, දේශපාලනික ක්ෂේත්‍රයේ පුද්ගලයන් හොබවන විවිධ නිලතලයි.’ අහස කියන්නේ ආධිපත්‍යයයි. පොළොව කියන්නේ උසස් අය විසින් පාලනය කරනු ලබන සාමාන්‍ය ජනයායි.

12. පුරාණයේ විසූ යුදෙව්වන් “අලුත් අහසක්” සහ “අලුත් පොළොවක්” අද්දැක්කේ කෙසේද?

12 යුදෙව්වරුන් ආපසු සිය මව් බිමට පැමිණීමෙන් පසු, අලුත් ක්‍රමයක් කියා හැඳින්විය හැකි තත්වයක් ඔවුන් භුක්ති වින්දා. අලුත් පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක වුණා. දාවිත් රජගෙන් පැවතෙන්නෙක් වූ සෙරුබ්බාබෙල් එහි ආණ්ඩුකාරයා වූ අතර, යෝෂුවා එහි උත්තම පූජකයා වුණා. (හග්ගයි 1:1, 12; 2:21; සෙකරියා 6:11) මොවුන්ගෙන් “අලුත් අහසක්” සෑදුණා. එය තිබෙන්නේ කුමකට ඉහළින්ද? මෙම “අලුත් අහස” තිබුණේ, ‘අලුත් පොළොවකට’ ඉහළිනුයි. එනම්, යෙහෝවාට නමස්කාර කිරීම සඳහා යෙරුසලම හා එහි දේවමාළිගාව නැවත ගොඩනඟන්න ආපසු තම මව් බිමට පැමිණි මිනිසුන්ගෙන් සමන්විත වූ පවිත්‍ර කරන ලද සමාජයකට ඉහළිනුයි. එනිසා මෙම සැබෑ අර්ථයට අනුව, ඒ කාලයේදී යුදෙව්වන් හා සම්බන්ධ මෙම අනාවැකියේ ඉටුවීමේදී ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ පැවතියා.

13, 14. (අ) “අලුත් අහස” සහ “අලුත් පොළොව” පිළිබඳව අපි සලකා බැලිය යුතු අනෙකුත් ප්‍රකාශ සඳහන් වන්නේ කොතැනද? (ආ) මේ කාලයේදී පේතෘස්ගේ අනාවැකිය ගැන විශේෂයෙන්ම උනන්දු විය යුත්තේ මන්ද?

13 මෙහි ප්‍රධාන කරුණ වරදවා තේරුම් නොගන්න. මෙය හුදෙක් බයිබලයේ ඇතැම් වගන්ති අර්ථකථනය කිරීමේ අභ්‍යාසයක් හෝ පුරාණ ඉතිහාසය නිකං උඩින් පල්ලෙන් බැලීම සඳහා දරන උත්සාහයක් නොවෙයි. “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” යන ප්‍රකාශය සඳහන් වන තවත් වගන්තියක් සෝදිසි කිරීමෙන් ඔබට ඒ බව තේරුම්ගත හැකියි. එම ප්‍රකාශය සඳහන් වන්නේ 2 පේතෘස් 3වන පරිච්ඡේදයේ වන අතර, අපේ අනාගතය මීට සම්බන්ධ බව සැලකිල්ලට ගන්න.

14 පේතෘස් ඔහුගේ ලිපිය ලිව්වේ, යුදෙව්වන් ඔවුන්ගේ මව් බිමට ආපසු ඇවිත් අවුරුදු 500කටත් වඩා වැඩි කාලයක් ගත වූවායින් පසුවයි. යේසුස්ගේ ප්‍රේරිතයන්ගෙන් කෙනෙකු හැටියට පේතෘස් තම ලිපිය ලියමින් සිටියේ, 2 පේතෘස් 3:2හි ‘ස්වාමින්’ යනුවෙන් හඳුන්වන ක්‍රිස්තුස්ගේ, අනුගාමිකයන්ටයි. පේතෘස්, 2 පේතෘ 3 හතරවන වගන්තියේදී යේසුස්ගේ “පොරොන්දු වූ පැමිණ සිටින කාලය” [NW] ගෙනහැර දක්වයි. එම ප්‍රකාශය නිසා මෙම අනාවැකිය අදටත් අදාළයි. එක්රැස් වී තිබෙන සාක්ෂි කන්දරාවෙන් පෙනී යන්නේ, පළමු ලෝක මහා යුද්ධය ඇරඹි කාලයේ සිට, දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ පාලකයා හැටියට යේසුස් අධිකාරිත්වයක් හෙබවීමේ අර්ථයෙන් පැමිණ සිටින බවයි. (එළිදරව් 6:1-8; 11:15, 18) මෙයට විශේෂ අර්ථයක් තිබෙන බව, එම පරිච්ඡේදයේම පේතෘස් පුරෝකථනය කළ තවත් දෙයක් සලකා බැලීමේදී පෙනී යනවා.

15. “අලුත් අහස” ගැන පේතෘස් කළ අනාවැකිය ඉටු වන්නේ කෙසේද?

15 දෙවන පේතෘස් 3:13හි අපිට මෙසේ කියවීමට තිබෙනවා. “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” ස්වර්ගයෙහි සිටින යේසුස් ‘අලුත් අහසේ’ ප්‍රධාන පාලකයා බව ඔබ දැනටමත් දන්නවා ඇති. (ලූක් 1:32, 33) එහෙත්, බයිබලයේ වෙනත් ස්ථානවල සඳහන් පාඨ සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, ඔහු තනියම පාලනය නොකරන බවයි. ප්‍රේරිතවරුන්ට මෙන්ම ඔවුන් හා සමාන වෙනත් අයටත් ස්වර්ගයේ ස්ථානයක් හිමි කර දෙන බව යේසුස් පොරොන්දු වුණා. හෙබ්‍රෙව් පොතේ පාවුල් මේ අයව විස්තර කළේ, “ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ” අය හැටියටයි. මේ කණ්ඩායමට අයත් වන අය තමන් සමඟ ස්වර්ගයේ සිංහාසනවල වාඩි වන බව යේසුස් පැවසුවා. (හෙබ්‍රෙව් 3:1; මතෙව් 19:28; ලූක් 22:28-30; යොහන් 14:2, 3) මෙහිදී වැදගත් කරුණ වන්නේ ‘අලුත් අහසේ’ කොටසක් හැටියට, තවත් අය යේසුස් සමඟ ස්වර්ගයෙහි පාලනය කිරීමයි. එසේනම්, “අලුත් පොළොව” යන ප්‍රකාශයෙන් පේතෘස් අදහස් කළේ කුමක්ද?

16. දැනටමත් තිබෙන “අලුත් පොළොව” කුමක්ද?

16 පුරාණ ඉටුවීමේදී, එනම් යුදෙව්වන් තමන්ගේ මව් බිමට නැවත පැමිණි අවස්ථාවේදී සිදු වූවාක් මෙන්, 2 පේතෘස් 3:13හි වර්තමාන ඉටුවීමට ජනයා සම්බන්ධ වෙයි. ඔවුන් අලුත් අහසේ පාලනතන්ත්‍රය යටතේ සිටින අයයි. එම පාලනයට සතුටින් යටත් වන දශලක්ෂ ගණනක් අද සිටිනවා. එම පාලනතන්ත්‍රය පිළිබඳව දියත් කෙරෙන අධ්‍යාපනික වැඩසටහනින් ඔවුන් ප්‍රයෝජන ලබමින් සිටින අතර, බයිබලයේ සඳහන් එම පාලනයේ නීතිවලට එකඟව ජීවත් වෙන්න මහත් වෑයමක් දරනවා. (යෙසායා 54:13) ‘අලුත් පොළොවේ’ අත්තිවාරම සකස් වෙන්නේ මොවුන්ගෙනුයි. මේ අර්ථයෙන් සලකා බලන කල සියලුම ජාතීන්, භාෂාවන් හා වාර්ගික කොටස්වලින් සමන්විත වන මොවුන්ගෙන් ලෝක ව්‍යාප්ත නව සමාජයක් සකස් වන අතර, මොවුන් රජු වන යේසුස් ක්‍රිස්තුස්ට යටත් වෙමින් එකමුතුව ජීවත් වෙන්න යනවා. මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබටත් එහි කොටස්කරුවෙක් විය හැකිවීමයි!—මීකා 4:1-4.

17, 18. අනාගතය දෙස බලාපොරොත්තුසහගතව බැලීමට 2 පේතෘස් 3:13හි සඳහන් වදන් අපිට හේතු සපයන්නේ මන්ද?

17 අනාගතය පිළිබඳව සෑම තොරතුරක්ම දැනගත හැකි තීක්ෂ්ණ බුද්ධියක් අපිට නැති නිසා කාරණා මෙතැනින් අවසන් කර දමනවා කියා සිතන්න එපා. ඇත්තෙන්ම, 2 පේතෘස් 3වන පරිච්ඡේදයේ අවට පාඨ සම්බන්ධය සලකා බලන විට, ඉදිරියේදී මහත් වෙනසක් සිදු වන බවට ඇඟවීම් එහි තිබෙන බව ඔබ තේරුම්ගනීවි. එවකට පැවති දුෂ්ට ලෝකය අවසන් කර දැමූ නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්ම ගැන 2 පේතෘ 3 5වන හා 6වන වගන්තිවල පේතෘස් සඳහන් කරනවා. “දැන් පවතින අහසද පොළොවද” එනම්, පාලන ක්‍රම මෙන්ම ජනයාවද “විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස” දක්වා ඉතුරු කර තිබෙන බව 2 පේතෘ 3 7වන වගන්තියෙහි ඔහු සඳහන් කරනවා. “දැන් පවතින අහසද පොළොවද” යන ප්‍රකාශයෙන් යොමු දැක්වෙන්නේ භෞතික විශ්වයට නොව, නමුත් මිනිසුන්ට හා ඔවුන්ගේ පාලනතන්ත්‍රවලට බව එයින් තහවුරු වෙනවා.

18 ඉදිරියේදී පැමිණෙන යෙහෝවාගේ දවසේදී, 2 පේතෘ 3 13වන වගන්තියේ සඳහන් ‘අලුත් අහස සහ අලුත් පොළොව’ සඳහා මඟ සලසමින් මහත් පිරිසිදු කිරීමක් කරන්න යන බව පසු වගන්තිවල පේතෘස් පැහැදිලි කරනවා. “ධර්මිෂ්ඨකම වාසයකරන” බව සඳහන් එම වගන්තියේ මුල් කොටස සැලකිල්ලට ගන්න. වඩාත් යහපත් තත්වයක් උදා කිරීම සඳහා විශාල වෙනස්කම් කිහිපයක් අපි ඉදිරියෙහි තිබෙන බව එයින් අඟවන්නේ නැද්ද? ඇත්තෙන්ම අලුත් දේවල් පිළිබඳ බලාපොරොත්තුවක්, අදට වඩා මිනිසුන් මහත් ප්‍රීතියක් භුක්ති විඳින්න යන කාලයක් ගැන බලාපොරොත්තුවක්, එයින් ඉදිරිපත් කරන්නේ නැද්ද? ඔබට එය තේරුම්ගත හැකි නම්, බයිබලය පුරෝකථනය කරන දේවල් ගැන තීක්ෂ්ණ බුද්ධියක් ඔබ ලබා තිබෙනවා. මෙය අත් කරගෙන තිබෙන්නේ ටිකදෙනෙක් පමණයි.

19. ඉදිරියේදී පැමිණීමට තිබෙන ‘අලුත් අහස හා අලුත් පොළොව’ ගැන එළිදරව් පොත කතා කරන්නේ කිනම් පසුබිමකට අනුවද?

19 අපි මේ ගැන තවදුරටත් සලකා බලමු. “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” යන ප්‍රකාශය සඳහන් තැන් දෙකක් යෙසායා 65වන පරිච්ඡේදයේදී හා 2 පේතෘස් 3වන පරිච්ඡේදයේදී අපි දුටුවා. දැන් එළිදරව් 21වන පරිච්ඡේදයට පෙරළන්න. බයිබලයෙහි මෙම ප්‍රකාශය සඳහන් තවත් අවස්ථාවක් මෙහි දැක්වෙනවා. නැවතත්, මෙහි පසුබිම සලකා බැලීම අපේ තේරුම්ගැනීමට උපකාරවත් වෙන්න යනවා. පරිච්ඡේද දෙකකට කලින්, එනම් එළි 19වන පරිච්ඡේදයෙහි සංකේතවත් භාෂාවකින් යුද්ධයක් විස්තර කර තිබෙන ආකාරය අපිට දැකිය හැකියි. මේ යුද්ධය සතුරු ජාතීන් දෙකක් අතර ඇති වන එකක් නොවෙයි. මේ යුද්ධයේ එක පැත්තක සිටින්නේ ‘දෙවිගේ වාක්‍යයයි.’ මෙය යේසුස් ක්‍රිස්තුස්ට යොමු දක්වන පදවි නාමයක් බව ඔබ දන්නවා ඇති. (යොහන් 1:1, 14) ඔහු සිටින්නේ ස්වර්ගයෙහිය. මේ දර්ශනයේ ඔහුව විස්තර කරන්නේ සිය ස්වර්ගීය සේනාවන් සමඟ සිටින කෙනෙකු ලෙසයි. යුද්ධ කරන්නේ කාට විරුද්ධවද? “රජුන්,” “සේනාපතීන්” හා ‘ලොකු කුඩා අය’ ඇතුළු විවිධ තරාතිරම්වල සිටින මිනිසුන් ගැන මේ පරිච්ඡේදයේ සඳහන් වෙනවා. යෙහෝවාගේ මතු පැමිණෙන දවස, එනම් දුෂ්ටයන්ගේ විනාශය, මේ යුද්ධය හා සම්බන්ධයි. (2 තෙසලෝනික 1:6-10) ඊළඟ පරිච්ඡේදය වන එළිදරව් විසිවන පරිච්ඡේදය ආරම්භ වන්නේ, ‘සාතන් නමැති යක්ෂයාව’ පහ කර දැමීම ගැන කර තිබෙන විස්තරය සමඟිනුයි. මෙය එළිදරව් 21වන පරිච්ඡේදය සලකා බැලීමේදී උපකාරවත් වන පසුබිම සකසයි.

20. එළිදරව් 21:1හි අඟවන පරිදි කිනම් සුවිශේෂි වෙනසක් ඉදිරියේදී සිදුවීමට නියමිතද?

20 ප්‍රේරිත යොහන් මෙම පරිච්ඡේදය ලියන්න පටන්ගන්නේ හැඟීම් දනවන මෙම වදන් සමඟිනි: “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහවගියේය; මුහුදද තවත් නොවීය.” යෙසායා 65වන පරිච්ඡේදය හා 2 පේතෘස් 3වන පරිච්ඡේදය ඇසුරෙන් අපි වටහාගෙන තිබෙන දෙයට එකඟව, සැබෑ අහසත්, අපේ පෘථිවි ග්‍රහයාත් එහි තිබෙන ජලාශත් පහ වී යන බව එයින් අදහස් නොකරන බව අපිට නිසැක විය හැකියි. කලින් පරිච්ඡේදවල පැහැදිලි කළාක් මෙන් පහ කර දමන්න යන්නේ අදෘශ්‍යමාන පාලකයා වන සාතන් ඇතුළු දුෂ්ට මිනිසුන් හා ඔවුන්ගේ පාලනතන්ත්‍රයි. මෙහි පොරොන්දු කර තිබෙන්නේ, පොළොව මත වාසය කරන මිනිසුන්ගෙන් සමන්විත වන අලුත් ක්‍රමයක් ගැනයි.

21, 22. යොහන් අපිට සහතික ලෙස පවසන්නේ කිනම් ආශීර්වාදද? ඇස්වලින් කඳුළු පිසදැමීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

21 මෙම අපූර්ව අනාවැකිය අපි තවදුරටත් සලකා බලන විට මෙහි ඉටුවීම අපිට සහතික කර තිබෙන බව පැහැදිලි වෙනවා. දෙවි මනුෂ්‍යවර්ගයා සමඟ සිටින්න යන, එනම් ඔහුගේ කැමැත්ත කරන අයට ප්‍රයෝජන සලසා දෙමින් ඔහුගේ අවධානය යොමු කරන්න යන කාලයක් ගැන එළි 21 තුන්වන වගන්තිය අවසානයේ කතා කරනවා. (එසකියෙල් 43:7) යොහන් තවදුරටත් එළි 21 4වන හා 5වන වගන්තිවල මෙසේ සඳහන් කරනවා. ‘ඔහු [යෙහෝවා දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය. සිංහාසනයෙහි සිටින තැනැත්තා කතා කොට: බලව, මම සියල්ල අලුත් කරමි; ලියන්න, මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑය.’ මොනතරම් සතුට දනවන අනාවැකියක්ද!

22 ටිකකට නතර වී, බයිබලය මෙහි පුරෝකථනය කරන දෙය රස විඳින්න. ‘දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.’ මෙහි සඳහන් කරන කඳුළු, සංවේදී ඉන්ද්‍රියක් වන අපේ ඇස් පිරිසිදු කිරීම සඳහා ඇස්වලින් ස්වාභාවිකව ගලන කඳුළු විය නොහැකියි. එමෙන්ම මේවා සතුටු කඳුළුද විය නොහැකියි. දෙවි පිස දමන්න යන කඳුළු වන්නේ, දුක් වේදනා, බලාපොරොත්තු කඩවීම්, සිත් වේදනා හා කටුක අද්දැකීම් මගින් ඇති කළ කඳුළුයි. අපිට මේ ගැන නිසැකකමක් ඇති කරගත හැක්කේ කෙසේද? කඳුළු පිස දැමීම හා පිළිබඳ දෙවිගේ මේ විශිෂ්ට පොරොන්දුව ‘මරණය, වැලපීම, හැඬීම හා වේදනාව තවත් නොමැති වීම’ සමඟ සම්බන්ධකමක් දක්වන නිසයි.—යොහන් 11:35.

23. යොහන්ගේ අනාවැකිය මගින් සහතික කරන්නේ කුමන දේවල අවසානයද?

23 එයින් අදහස් කරන්නේ, පිළිකාව, අංශභාගය, හෘදයාබාධ හා මරණය පවා නැති වී තිබීම නොවේද? යම් රෝගයක්, අනතුරක් හෝ විපතක් නිසා තමන් ප්‍රේම කළ කෙනෙකු අහිමි වී නැති කෙනෙක් අප අතර සිටිනවාද? දෙවි මෙහි පොරොන්දු කරන්නේ මරණය තවදුරටත් සිදු නොවන බවයි. මෙයින් අදහස් කරන්නේ ඒ කාලයේදී ඉපදෙන දරුවන් ඉපදෙන්නේ, මහලු වී මිය යෑමේ බලාපොරොත්තුව ඇතුව නොවන බවයි. මහලු වයසේදී ඇති වන රෝග වන ඇල්ෂයිමර් රෝගය, අස්ථි දුර්වල වීම, තන්තු පිළිකා, ග්ලෝකෝමාව හෝ ඇසේ සුද මතුවීම වැනි රෝග තවදුරටත් වැළඳෙන්නේ නැත.

24. ‘අලුත් අහස සහ අලුත් පොළොව’ ආශීර්වාදයක් වන්නේ කෙලෙසද? අපි තවදුරටත් සලකා බැලිය යුත්තේ කුමක්ද?

24 මරණය, මහලු වයස හා ලෙඩ රෝග ඉවත් කර දැමීමත් සමඟ වැලපීම හා හැඬීම අඩු වී යන බවට ඔබ එකඟ වෙනවාට සැකයක් නැහැ. එහෙත්, දුප්පත්කමෙන් පීඩා විඳීම, ළමයින්ට අතවර කිරීම හා සමාජීය පසුබිම හෝ හමේ පාට නිසා අසාධාරණ ලෙස සැලකීම යනාදි දේවල් ගැන කුමක් කිව හැකිද? අද බහුලව දකින්න තිබෙන මේ දේවල් දිගටම පැවතුණොත්, අපේ වැලපීම හා හැඬීම නැති වී යන්නේ නැහැ. එමනිසා, ‘අලුත් අහස හා අලුත් පොළොව’ යටතේ භුක්ති විඳින ජීවිතයේ සතුට කලින් සඳහන් කළ වේදනාකාරි දේවල් නිසා පලුදු වන්නේ නැහැ. මොනතරම් විශාල වෙනසක්ද! කෙසේවෙතත්, අපි මේ දක්වා සලකා බැලුවේ, “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” යන ප්‍රකාශය බයිබලයේ සඳහන් වන වගන්ති හතරෙන් තුනක් පමණයි. තවත් වගන්තියක් ඉතුරු වී තිබෙනවා. මෙම වගන්තිය මගින් අපි පරීක්ෂා කර බැලූ දේවල් අතර සම්බන්ධතාවක් ඇති කරනවා. එමෙන්ම “සියල්ල අලුත් කරමි” කියා දෙවි දී තිබෙන පොරොන්දුව ඔහු ඉටු කරන කාලය හා ආකාරය දෙස අපි මහත් ආශාවෙන් බලා සිටීමට හේතු එම වගන්තිය මගින් අවධාරණය කරනවා. එම අනාවැකිය ගැනත්, අපේ සන්තෝෂයට එය දායක වන ආකාරය ගැනත් ඊළඟ ලිපියේදී සාකච්ඡා කරන්න යනවා.

[පාදසටහන]

a ඇත්තෙන්ම ඔබ ළඟ තිබෙන සිංහල පැරණි අනුවාදයෙහි එය පරිවර්තනය කර තිබෙන්නේ මේ විදිහටයි: “පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්.” නව අනුවාදයෙහි මෙසේ සඳහන් වෙනවා. “පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.” “අලුත් පොළොව” කියා පවසන විට, යෙසායා යොමු දක්වමින් සිටියේ සිය මව් බිමට ආපසු පැමිණි දෙවිගේ සෙනඟට බව එම බයිබල් වගන්තිවලින් පැවසෙන දෙයින්ද පැහැදිලි වෙනවා.

ඔබට මතකද?

• “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගැන පුරෝකථනය කර තිබෙන බයිබල් වගන්ති තුන මොනවාද?

• ‘අලුත් අහස සහ අලුත් පොළොව’ හා සම්බන්ධ අනාවැකියේ ඉටුවීමකට පුරාණයේ විසූ යුදෙව්වන් පංගුකාරයන් වූයේ කෙසේද?

• පේතෘස් සඳහන් කළ පරිදි, “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පිළිබඳ අනාවැකියට කිනම් ඉටුවීමක් තිබේද?

එළිදරව් 21වන පරිච්ඡේදය දීප්තිමත් අනාගතයක් පිළිබඳව අප තුළ බලාපොරොත්තු ඇති කරවන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

යෙහෝවා පුරෝකථනය කළාක් මෙන්, කෝරෙෂ් පො.යු.පෙ. 537දී යුදෙව්වන්ට ආපසු සිය මව් බිම කරා යෑමට අවශ්‍ය කටයුතු පිළියෙළ කළා