Skip to content

පටුනට යන්න

සැනසීමක් ඕනෙමයි!

සැනසීමක් ඕනෙමයි!

සැනසීමක් ඕනෙමයි!

“එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි. ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.”—දේශනාකාරයා 4:1.

ඔබ බලා සිටින්නේ සැනසීමක් ලැබීමටද? සිඳී බිඳී ගිය බලාපොරොත්තු නමැති අඳුරු වලා අතරින් සැනසීම නමැති රිදී රේඛාවක් පායන තුරුද ඔබ ඕනෑකමින් බලා සිටින්නේ? දැඩි දුක් වේදනා හා කටුක අද්දැකීම්වලින් බර ජීවිතයකින් මිදී බිඳක් හෝ සහනයක් ලැබීමද ඔබේ ආශාව?

ඇත්තෙන්ම අපි හැමෝටම සැනසීම හා දිරිගැන්වීම ඕනෙමයි. මෙයට හේතුව දුක උපදවන බොහෝ දේවල් විඳින්න සිදුවීමයි. අපි හැමෝටම රැකවරණය, උණුසුම සහ සෙනෙහස අවශ්‍යයි. එමෙන්ම අපගෙන් සමහරෙක් වයසට ගොස් සිටින අතර ඒ ගැන සතුටක් දැනෙන්නේ නැහැ. බලාපොරොත්තු වූ අයුරින් දේවල් සිදු වී නැති නිසා වෙනත් අය හුඟක් කලකිරී සිටිනවා. වෛද්‍ය වාර්තාවක දත්ත හේතුවෙන් තවත් අය කම්පාවට පත් වී සිටිනවා.

එපමණක්ද නොව, අපේ කාලයේ සිදුවීම් සැනසීම හා බලාපොරොත්තුව ලැබීමේ දැඩි අවශ්‍යතාවක් බිහි කර තිබෙන බවට කොයි කවුරුත් එකඟ වෙනවා. ඉකුත් සියවසේ පමණක්, කෝටි දහයකට වඩා වැඩි ජනතාවක් යුද්ධයෙන් මියගොස් තිබෙනවා. a එසේ මියගොස් තිබෙන්නේ, තම පවුල් සාමාජිකයන්ව ශෝකයට පත් කරමිනුයි. මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන් ඒ අතර වෙයි. සමහරුන්ව වැන්දඹුවන් හා අනාථයන් බවටත් පත් කර තිබෙනවා. මොවුන්ට සැනසීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අදදින, කෝටි සියයකට වැඩි ජනතාවක් අන්ත දුගීභාවයට වැටී සිටිනවා. ලෝක ජනගහනයෙන් අඩක් වෛද්‍ය ප්‍රතිකාර හා අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීමට නොහැකිවයි සිටින්නේ. දූෂණය වූ විශාල නගර වීදිවල අනාථ දරුවන් මිලියන සංඛ්‍යාවක් ඉබාගාතේ ඇවිදිමින් සිටින අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටිනවා; ගණිකා වෘත්තියේ යෙදෙනවා. අපිරිසිදු කඳවුරුවල සරණාගතයින් මිලියන සංඛ්‍යාතයක් සැනසිල්ලක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව කොපමණ වුවත්, ඔවුන්ගෙන් සමහරු තම පුද්ගලික ජීවිතයේදී අද්දැක්ක දුක්ගැහැට මෙපමණයි කියා පැවසිය නොහැකියි. උදාහරණයක් වශයෙන්, බෝල්කන් අර්ධද්වීපයේ රටක, අන්ත දුගී පවුලක ඉපදුණු ස්වියෙට්ලානා නම් යෞවනිය ගැන සලකා බලන්න. b “මුදලක් සොයාගැනීමේ අරමුණින් මගේ දෙමාපියන් මාව හිඟමනේ හෝ සොරකමේ යැව්වා. මාව මගේම පවුලේ අයගෙන් අතවරයට ලක් වන තරමටම පවුලේ තත්වය පිරිහී තිබුණා. භෝජනාගාර සේවිකාවක් හැටියට මට රැකියාවක් ලැබුණා. මට සිද්ධ වුණා හම්බ කළ මුදල් අම්මට දෙන්න. හදිසියෙන්වත් මගේ රැකියාව මට නැතුව ගියොත් ඈ දිවි නහගන්නවා කිව්වා. මේ දේවල් හින්දා මම ගණිකා වෘත්තියට වැටුණා. මට එතකොට අවුරුදු 13යි. ටික කාලයක් යද්දී, කුසට දරුවෙක් ආව හින්දා මම දරුවව නැති කරලා දැම්මා. අවුරුදු 15වක් වෙද්දී මට අවුරුදු 30ක විතර පෙනුමක් තිබුණා” කියා ඇය පවසයි.

ලැට්වියාහි යෞවනයෙක් වූ ලයිමනිස් සැනසීමක් ලැබීමේ අවශ්‍යතාව ගැනත්, තමාට දොම්නසක් ඇති කළ අඳුරු මතකයන් ගැනත් පවසයි. වයස 29යේදී සිදු වූ රිය අනතුරකින් ඔහුගේ ඉණෙන් පහළ කොටස පණ නැති වී ගියා. සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු බිඳ වැටුණු ඔහු මත්පැන්වල පිහිට පැතුවා. අවුරුදු පහකට පස්සේ ඔහු කිසිම බලාපොරොත්තුවක් නැති මත්පැනට ඇබ්බැහි වූ අංශභාග රෝගියෙක් බවට පත් වී සිටියා. ඔහුට සැනසීමක් ලබාගත හැක්කේ කොතැනින්ද?

එසේත් නැතහොත් ඇන්ජී ගැන කල්පනා කර බලන්න. මොළේට හානිවීම හේතුවෙන් ඇගේ සැමියාව ශල්‍යකර්මයන් තුනකට භාජනය කරන්න සිද්ධ වුණා. එවිට ඔහු තරමක් දුරට අංශභාග රෝගියෙක් බවට පත් වුණා. අවසාන ශල්‍යකර්මයෙන් වසර පහකට පසුව ඔහු ඉතා බරපතළ අනතුරකට ලක් වූ අතර බේරුණේ අනූනවයෙන්. ඔහුගේ භාර්යාව හදිසි අනතුරු ඒකකයට ඇතුල් වූ විට, හිසේ බරපතළ තුවාලයක් නිසා සිහි නැතුව එහි වැතිර සිටි තම සැමියාව දැක්කා. දුක්ඛදායී තත්වයකට ඉදිරියේදී මූණ දෙන්න සිද්ධ වන බව ඇය දැනගත්තා. ඇගෙත් ඇගේ පවුලේ අයගෙත් අනාගතය කටුක එකක් වීමට තිබුණා. ඇයට සහයෝගය හා දිරිගැන්වීම ලබාගත හැකි වන්නේ කෙසේද?

අවුරුදු කීපයකට පෙර ශීත ඍතුවේ එක් දිනක් පැට් සාමාන්‍ය දවසක් ලෙස ගත කළත්, ඊළඟ දින තුන පිළිබඳව ඇයට කිසිවක් මතක තිබුණේ නැහැ. දරුණු පපුවේ අමාරුවකින් පසු ඇගේ හෘද ස්පන්දනය නැවතුණ බව පසුව ඇගේ සැමියා ඇයට පැවසුවා. ඇය හයියෙන් හයියෙන් හුස්මගන්න පටන්ගත් අතර, හුස්මගැනීම අක්‍රමවත් වී එකපාරටම නැවතුණා. ඇගේ හුස්මගැනීම නැවතුණා. “මම ඇත්තෙන්ම මැරිලා වගෙයි හිටියේ” කියා පැට් පවසනවා. එහෙත් කෙසේ හෝ ඇය ජීවත් වුණා. ඇය, රෝහලේ සිටි දිගු කාලය සම්බන්ධයෙන් මෙසේ පවසනවා: “වෛද්‍ය පරීක්ෂණයන් හුඟක් කරන්න තිබුණ නිසා මම භය වුණා. විශේෂයෙන්ම මුලදි සිදු වුණා වගේ මගේ හෘද ස්පන්දනය අක්‍රමවත් කර එකපාරටම නැවැත්වීමට ඔවුන් උත්සාහ කරහම මම භය වුණා.” මේ අසීරු කාලයේදී ඇයට අවශ්‍ය සැනසීම දීමට හැක්කේ කුමකටද?

රිය අනතුරකින් ජෝ හා රෙබෙකාගේ 19-හැවිරිදි පුතා මියගියා. “මීට කලින් අපි කවදාවත් මේ වගේ විපත්තියකට මූණ දීලා තිබුණේ නැහැ. ඒ කාලේ අනිත් අයගේ හිතවතුන් මියගියහම අපි ඔවුන් එක්ක දුක බෙදාගෙන තිබුණත් අපි දැන් අත්දකින බලවත් වේදනාවේ හැඟීම දැනිලා තිබුණේ නැහැ” කියා ඔවුන් පවසනවා. ඔබ ඉතා ආදරය කළ කෙනෙකු මියයෑම වැනි ‘බලවත් වේදනාවකින්’ සහනය සැලසීමට හැක්කේ කුමකටද?

මේ සියලුදෙනාමත්, එමෙන්ම මිලියන සංඛ්‍යාත වෙනත් අයත් ඇත්තවශයෙන්ම අතිශ්‍රේෂ්ඨ සැනසීමේ උල්පතක් සොයාගෙන තිබෙනවා. එම උල්පතෙන් ඔබටත් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේදැයි බැලීමට කරුණාකර දිගටම කියවගෙන යන්න.

[පාදසටහන්වල]

a මියගොස් ඇති හමුදා සේවකයන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව හරියටම දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, 1998දී පළ වූ අමෙරිකානු යුද්ධ සම්බන්ධයෙන් සත්‍යයන් (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ IIවන ලෝක යුද්ධය ගැන පමණක් මෙසේ සඳහන් වෙනවා: “දෙවන ලෝක යුද්ධයේදී මියගිය මුළු සංඛ්‍යාව කෝටි 5ක් කියලයි සඟරා, පොත් පත් වැඩිහරියක පවසන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් සියුම් අධ්‍යයනයක් කළ බොහෝදෙනා ඒ වගේ දෙගුණයක්වත් මියයන්න ඇතැයි විශ්වාස කරනවා.”

b නම වෙනස් කර ඇත.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UNITED NATIONS/​PHOTO BY J. K. ISAAC

UN PHOTO 146150 BY O. MONSEN