Skip to content

පටුනට යන්න

සැනසීමට මඟ—යෙහෝවාගේ බලය

සැනසීමට මඟ—යෙහෝවාගේ බලය

සැනසීමට මඟයෙහෝවාගේ බලය

මා තුළ මාගේ [කැලඹුණු, NW] සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.—ගීතාවලිය 94:19.

සැනසීම ලැබීමට ආශාවක් තිබෙන හැමදෙනාටම බයිබලයේ සැනසීමේ වචන තිබෙනවා. එසේනම්, “කරදරකාරි හා අස්ථිර කාලවල සැනසීම, බලාපොරොත්තුව හා මඟ පෙන්වීම ලැබීමට අප්‍රමාණ ජන සමූහයක් බයිබලය වෙත හැරී තිබෙනවා” කියා ලෝක විශ්වකෝෂ පොත (ඉංග්‍රීසියෙන්) පැවසීම පුදුමයක් නොවෙයි. මන්ද?

අපේ ප්‍රේමනීය මැවුම්කරු වන “සෑම සැනසිල්ලේ දෙවි” මෙන්ම ‘අපේ සියලු පීඩාවලදී අපව සනසන’ තැනැත්තාගේ ආනුභාවයෙන් බයිබලය ලියා තිබෙන නිසයි. (2 කොරින්ති 1:3, 4) ඔහු “සැනසිල්ල දෙන දෙවිය.” (රෝම 15:5NW) අප සියලුදෙනාටම සැනසීම ලබාගැනීමට මාධ්‍යයක් සපයමින් යෙහෝවා ආදර්ශයක් තබා තිබෙනවා. අපට බලාපොරොත්තුව හා සැනසීම ලබා දීමට ඔහු තම ඒක ජාතක පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස්ව පොළොවට එව්වා. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය’ කියා යේසුස් ඉගැන්නුවා. (යොහන් 3:16) බයිබලය යෙහෝවා ගැන පවසන්නේ “දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවි” කියායි. (ගීතාවලිය 68:19) දේවභයැති මනුෂ්‍යයන්ට ස්ථිරත්වයකින් මෙසේ පැවසිය හැකියි: “[යෙහෝවා] නිතර මා ඉදිරියෙහි තබාගතිමි. [ඔහු] මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි.”—ගීතාවලිය 16:8.

යෙහෝවා දෙවි අප වෙනුවෙන් දක්වන ගැඹුරු ප්‍රේමය එවැනි බයිබල් පදවලින් පෙන්වනවා. අපව හුඟක් සනසවන්නත්, කරදරකාරි කාලවලදී අපේ වේදනාව සැහැල්ලු කරන්නත් ඔහුට ආශාවක් හා හැකියාවක් තිබෙන බව පැහැදිලියි. ‘ඔහු ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන්නේය; බලය නැත්තාට සවිය වැඩි කරන්නේය.’ (යෙසායා 40:29) එසේනම්, අපට යෙහෝවාගේ බලයෙන් සැනසීමක් ලැබිය හැකි වන්නේ කෙසේද?

යෙහෝවාගේ සැලකිල්ල සැනසිල්ලකි

‘නුඹේ බර [යෙහෝවා] පිට තබන්න, ඔහු නුඹ උසුලන්නේය. ඔහු කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙල වෙන්ට නොදෙන්නේය’ කියා ගීතිකාකරු ලිව්වා. (ගීතාවලිය 55:22) ඇත්තෙන්ම, මනුෂ්‍ය පවුල කෙරෙහි යෙහෝවා දෙවි උනන්දුවක් දක්වනවා. මුල් සියවසේ ක්‍රිස්තියානීන්ව ප්‍රේරිත පේතෘස් මෙසේ සැනසුවා: ‘දෙවි නුඹලා ගැන සලකන්නේය.’ (1 පේතෘස් 5:7) “ගේ කුරුල්ලන් පස් දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් [දෙවි] ඉදිරියෙහි මතකනැති නොවන්නේය. නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. භය නොවෙන්න. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා අගේය” කියමින් යේසුස් ක්‍රිස්තුස්, දෙවි මනුෂ්‍යයා කෙරෙහි මොනතරම් සැලකිල්ලක් දක්වනවද කියා අවධාරණය කළා. (ලූක් 12:6, 7) අපි දෙවිට කෙතරම් වටිනවාද කිව්වොත් අපේ පුංචි දෙයක් සම්බන්ධයෙන් වුවත් ඔහු සැලකිලිමත් වෙනවා. ඔහු අපි හැම කෙනෙක් ගැනම ලොකු උනන්දුවක් දක්වන නිසා අපි ගැනම අපි නොදන්නා දේවල් ඔහු දන්නවා.

කලින් ලිපියේ සඳහන් කළ යොවුන් ගණිකාව වූ ස්වියෙට්ලානා යෙහෝවා තමා කෙරෙහි පුද්ගලික උනන්දුවක් දක්වන බව තේරුම්ගැනීමෙන් පසු ඇත්තෙන්ම සැනසීමක් ලැබුවා. ඇය සියදිවි නසාගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී තමයි, ඇයට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණේ. එවිට ඇය බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර, එය තම ශුභසිද්ධිය කෙරෙහි උනන්දුවක් දක්වන සැබෑ පුද්ගලයෙකු හැටියට යෙහෝවාව දැනහඳුනාගැනීමට ඇයට උපකාරවත් වුණා. ඇගේ ජීවිත ක්‍රමය වෙනස් කර දෙවිට කැපවීම සඳහා පෙලඹවීමට තරම් එය ඇගේ හදවතට බලපෑවා. කම්කටොලු මැද වුවත් ජීවිතය දෙස ශුභවාදීව බැලීමට අවශ්‍ය ආත්මගෞරවයද ස්වියෙට්ලානාට යම් දුරකට ලැබුණා. “යෙහෝවා කවදාවත් මාව අත්හරින්නේ නෑ කියලා මට විශ්වාසයි. පළවෙනි පේතෘස් 5:7හි ලියා තිබෙන දේ ඇත්ත කියලා මට වැටහිලා තියෙනවා” කියා ඇය දැන් පවසනවා. එහි කියන්නේ ‘ඔහු නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදරයක්ම ඔහු පිට තබන්න’ කියලයි.

බයිබලය මත පදනම් බලාපොරොත්තුවෙන් සැනසීම

දෙවි සැනසීම සපයන විශේෂ මාර්ගයකි තම ලිඛිත වචනය. අනාගතය සඳහා මවිතකර බලාපොරොත්තුවක් එහි අඩංගුයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) ‘සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පිය වූ දෙවිද, නුඹලාගේ සිත් සනසා, සියලු යහපත් ක්‍රියාවලද වචනවලද නුඹලා ස්ථිර කරන්නේය’ කියා ලියූ විට පාවුල් සැබෑ බලාපොරොත්තුව හා සැනසීම අතර සම්බන්ධය පැහැදිලිව දැක්වුවා. (2 තෙසලෝනික 2:16, 17) මෙම ‘යහපත් බලාපොරොත්තුවට’ පාරාදීස පොළොවක පරිපූර්ණව, සන්තෝෂයෙන් මෙන්ම සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ඇතුළත්.—2 පේතෘස් 3:13.

කලින් ලිපියේ සඳහන් කළ අංශභාග රෝගියෙක් වූ නිසා මත්පැනට ඇබ්බැහි වූ ලයිමනිස්ට එවැනි ස්ථිර හා දීප්තිමත් බලාපොරොත්තුවක් ගැන දැනගන්ට ලැබීම දිරිගන්වන්නක් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබලය මත පදනම් පොත් පත් කියවා, තම සෞඛ්‍ය තත්වය සම්පූර්ණයෙන්ම ප්‍රකෘතිමත් වන දෙවිගේ රාජ්‍යය යටතේ පවතින නව ලෝකයක් පිළිබඳව ඉගෙනීමට ලැබීමෙන් ඔහු සතුටක් ලැබුවා. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව [සතුටින්] ගී කියන්නේය” යන ප්‍රාතිහාර්යමය ලෙස සුවවීමේ දීප්තිමත් පොරොන්දුව බයිබලයෙන් ඔහුට කියවන්න ලැබුණා. (යෙසායා 35:5, 6) ඒ පාරාදීසයේ ජීවනය සඳහා සුදුසුකම් ලැබීමේ අරමුණින් ලයිමනිස් තම ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කළා. ඔහු මත්පැන් පානය නවතා දැමුවා. ඔහුගේ අසල්වාසීන්ට හා ආශ්‍රිතයන්ට ඔහුගේ වෙනස්වීම පැහැදිලිවම දැකගන්න ලැබුණා. ඔහු දැන් බයිබල් පාඩම් කීපයක්ම පවත්වන අතර, බයිබලය මත පදනම් බලාපොරොත්තුවෙන් ලැබෙන සැනසීම අන්‍යයන් සමඟ බෙදාගනිමින් සිටිනවා.

යාච්ඤාව අවශ්‍යයි

යම් හේතුවක් නිසා අපි හිත් වේදනාවෙන් පසු වන විට, යෙහෝවාට යාච්ඤා කිරීමෙන් අපිට සැනසීමක් ලැබිය හැකියි. එමගින් අපේ බර සැහැල්ලු කරගත හැකියි. අප අයැදින විට දෙවිගේ වචනයේ පවසා ඇති දේ මතකයට නඟාගැනීමෙන් අපට සැනසීමක් ලැබිය හැකියි. බයිබලයේ දිගම ගීතිකාව ලස්සන යාච්ඤාවක් වගෙයි. එහි රචිතයා මෙසේ ගැයුවා: “[යෙහෝවා,] පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි.” (ගීතාවලිය 119:52) ශාරීරික ගැටලුවක් වැනි හුඟක්ම අමාරු අවස්ථාවලදී, නිශ්චිත සම්පූර්ණ විසඳුමක් නැහැ. කොතැනින් පිළිසරණක් ලබන්නද කියා අපේම ශක්තියෙන් අපට දැනගත නොහැකි විය හැකියි. තමන්ට හැකි සෑම දෙයක්ම කළ පසු යාච්ඤාවෙන් දෙවි වෙත යෑම මහත් සැනසීමක්, සමහරවිට, නොසිතූවිරූ විසඳුම් ලැබීමටද එය හේතුවක් වී තිබෙන බව බොහෝදෙනාට පෙනීගොස් තිබෙනවා.—1 කොරින්ති 10:13.

වහාම රෝහලේ හදිසි අනතුරු ඒකකයට ගෙන ගිය පැට් යාච්ඤා කිරීමෙන් එවැනිම සැනසීමක් ලැබුවා. ඇයට ප්‍රකෘති ශක්තිය ලැබුණු විට ඇය මෙසේ පැවසුවා: “මම යෙහෝවාට යාච්ඤා කළ අතර ඔහුගේ කැමැත්ත අනුව යමක් කරයි යන විශ්වාසයෙන් ඔහුගේ හස්තයේ රැකවරණය යටතේ මගේ ජීවිතය තැබීමට ඇත්තෙන්ම මම ඉගෙනගත්තා. මේ මුළු කාලය තුළදීම මට සන්සුන්කමක් දැනුණා. පිලිප්පි 4:6, 7හි සඳහන් වූ දෙවිගේ සමාදානය මම අද්දකිමින් සිටියා.” අපි හැමෝටම මේ පද මොනතරම් සැනසීමක් වෙයිද! පාවුල් එහි අපට මෙසේ අවවාද කරනවා: ‘කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත.’

ශුද්ධාත්මය සනසන්නෙක් වී

යේසුස් තම මරණයට පෙර රාත්‍රියේදී, වැඩි කල් යෑමට පෙර ඔවුන්ව අත්හැර දමා යන්න සිදු වන බව තම ප්‍රේරිතයන්ට පැහැදිලි කළා. මෙයින් ඔවුන් කනස්සල්ලට හා ශෝකයට පත් වුණා. (යොහන් 13:33, 36; 14:27-31) නොකඩවාම සැනසීම ලැබීමට ඔවුන්ට ඇති අවශ්‍යතාව තේරුම්ගනිමින් යේසුස් මෙසේ පොරොන්දු වුණා: ‘මම පියාගෙන් ඉල්ලන්නෙමි, එවිට ඔහු නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සනසන්නෙකු නුඹලාට දෙන්නේය.’ (යොහන් 14:16) යේසුස් මෙහිදී දෙවිගේ ශුද්ධාත්මයටයි යොමු දැක්වූයේ. ඒ නිසා දෙවිගේ ආත්මය, ප්‍රේරිතයන්ගේ පරීක්ෂාවලදී ඔවුන්ට සැනසීම ලබා දුන්නා පමණක් නොව, දෙවිගේ කැමැත්ත දිගටම කරගෙන යෑමට ඔවුන්ට ශක්තියද ලබා දුන්නා.—ක්‍රියා 4:31.

බරපතළ අනතුරකින් පසු තම සැමියා මියයෑමට ආසන්නව සිටියදී ඇන්ජීට ඇගේ දුක් වේදනාවන්ට සාර්ථකව මූණ දෙන්න පුළුවන් වුණා. ඇයට උපකාර වුණේ කුමක්ද? ඇය මෙසේ පවසයි: “යෙහෝවාගේ ශුද්ධාත්මයේ උපකාරය නොතිබුණා නම් අපි අද්දැක්ක දේවල්වලට හොඳින් මුහුණ දීලා ශක්තිමත්ව ඉන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. අපේ දුර්වලකම් අතරින් ඇත්තෙන්ම යෙහෝවාගේ බලය ඉස්මතු වෙලා පේනවා. අපේ විපත්තිවලදී ඔහු අපේ බලකොටුව වෙලා තියෙනවා.”

සැනසීම ගෙන දෙන සහෝදරත්වයක්

කෙනෙකුගේ ජීවිත තත්වය කුමක් වුවත්, මොනතරම් වේදනාකාරි තත්වයන් හටගත්තත්, යෙහෝවාගේ සභාව තුළ පවතින සහෝදරත්වයෙන් සැනසීම ලැබීමට ඔහුට හැකි විය යුතුයි. මෙම සහෝදර සංගමය තුළ සිටින්නන්ට එම සහෝදරත්වය තුළින් ආත්මික උපකාරය හා සහයෝගය ලැබෙනවා. විපත්ති කාලවලදී අන්‍යයන්ට උපකාරය හා සැනසීම දීමට සූදානම්ව හා කැමැත්තෙන් සිටින ප්‍රේමනීය, සැලකිලිමත් මෙන්ම සනසවන මිත්‍රයන් රැසක් කෙනෙකුට එහිදී සොයාගත හැකියි.—2 කොරින්ති 7:5-7.

ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ට උගන්වන්නේ “අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්” කිරීමටයි. (ගලාති 6:10) බයිබලය මත පදනම්ව ඔවුන් ලබන අධ්‍යාපනය, එකිනෙකා කෙරෙහි සහෝදර ස්නේහයක් හා ලෙන්ගතුකමක් දැක්වීමට ඔවුන්ව පොලඹවනවා. (රෝම 12:10; 1 පේතෘස් 3:8) සභාවේ සිටින ආත්මික සහෝදර සහෝදරියන් කරුණාව, සැනසීම හා මුදුමොළොක් දයාව දැක්වීමට පෙලඹෙනවා.—එපීස 4:32.

හදිසියේම තම පුතා මියගිය ජෝ සහ රෙබෙකා, ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ගෙන් එවැනි සැනසිලිදායක උපකාරයක් ලැබුවා. ඔවුන් මෙසේ පවසනවා: “අපට කරදර තිබුණ අවස්ථාවලදී යෙහෝවා හා ඔහුගේ ප්‍රේමනීය සභාව අපිට උපකාර කරලා තියෙනවා. කාඩ්පත්, ලිපි සහ දුරකථන ඇමතුම් සිය ගණනක් ලැබුණා. එයින් අපේ සහෝදරත්වය කොයිතරම් වටිනා එකක්ද කියා අගය කරන්න අපි තුළ පෙලඹීමක් ඇති වුණා. පුතාගේ හදිසි මරණය නිසා අපි අන්දුන්කුන්දුන් වෙලා ඉන්නකොට, හුඟක් සභාවලින් අපිට උපකාර කළා. කෑම ගෙනත් දුන්නා. ගේ පිරිසිදු කරලා දුන්නා.”

සැනසීම ලබාගන්න!

පීඩාවන් නමැති චණ්ඩ මාරුතයන් වේගයෙන් හමා ඇවිත්, විපත්ති නමැති ධාරානිපාත වැස්ස ඇද හැළෙද්දී, සනසවමින් ආරක්ෂාව දීමට දෙවි සූදානම්ව සිටිනවා. එක් ගීතිකාවක ඔහුව සැනසිලිදායක සෙවණක් හැටියට විස්තර කරන්නේ මෙලෙසයි: ‘ඔහු ස්වකීය පියාපතින් නුඹ වසන්නේය, නුඹ ඔහුගේ පියාපත් යට ආරක්ෂා වන්නෙහිය.’ (ගීතාවලිය 91:4) මෙහි දක්වන රූපය රාජාලියෙකුගේ විය හැකියි. කෙසේවෙතත්, එය අනතුරු අවබෝධ කරගෙන විගස තම පැටවුන්ගේ ආරක්ෂාව සඳහා තටු විදහගෙන ඔවුන්ව වසාගන්නා පක්ෂියෙකුගේ පින්තූරයකි. ඊටත් වඩා පුළුල් අවබෝධයක් තිබෙන යෙහෝවා, තම සරණ සොයා එන සියල්ලන්ටම සැබෑ ආරක්ෂකයෙක් වෙනවා.—ගීතාවලිය 7:1.

දෙවි ගැනත්, එමෙන්ම ඔහුගේ පෞද්ගලිකත්වය, ඔහුගේ අරමුණු හා සැනසීම දීමට ඔහුට තිබෙන හැකියාව ගැනත් වැඩිදුර දැනගැනීමට ඔබ කැමති නම්, ඔහුගේ වචනය ඉගෙනගන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි. එවැනි වෑයමක් දරද්දී ඔබට උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටෙන් සැදී පැහැදී සිටිනවා. ඇත්තෙන්ම, ඔබටත් යෙහෝවාගේ බලයෙන් සැනසීමක් ලබාගන්න පුළුවන්!

[7වන පිටුවේ පින්තූර]

අනාගතය ගැන බයිබලයෙහි ඇති බලාපොරොත්තුවෙන් සැනසීමක් ලබාගත හැකියි