Skip to content

පටුනට යන්න

අල්ලස් දූෂණය රජයන්නේ ඇයි?

අල්ලස් දූෂණය රජයන්නේ ඇයි?

අල්ලස් දූෂණය රජයන්නේ ඇයි?

“අල්ලස් නොගන්න. මක්නිසාද අල්ලස ඇස් පෙනීම ඇත්තන් අන්ධකරයි, [එමෙන්ම] ධර්මිෂ්ඨයාගේ වචන පෙරළයි.”නික්මයාම 23:8.

අවුරුදු තුන්දහස් පන්සියයකට පමණ පෙර මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි අල්ලස් දූෂණය වැරදි ක්‍රියාවක් ලෙස හුවා දක්වන ලදි. එවක් පටන් ශතවර්ෂ ගණනාවක් පුරා අල්ලස් දූෂණය මැඩලීමට තැනූ නීති බොහෝය. එවන් නීති සංග්‍රහයන් කොතරම් තිබුණත් අල්ලස් දූෂණය වළක්වාගත නොහැකි වීම ඇත්තෙන්ම කනස්සල්ලට හේතුවකි. අල්ලස් ගැනීම් සහ දීම් මිලියන ගණන් දෛනිකව සිදු වන අතර, බිලියන ගණන් මනුෂ්‍යයෝ එයින් ඇති වන ප්‍රතිඵල නිසා පීඩා විඳිති.

අල්ලස් දූෂණය කොතරම් පැතිර ඇද්ද යත් එය මුළු මහත් සමාජය පුරා උඩු දුව ඇති පිළිකාවක් වැනිය. සමහර රටවල අල්ලසක් නොදී කිසි සේවාවක් ලබාගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. අදාළ ක්ෂේත්‍රයක සිටින පුද්ගලයෙකුට අල්ලසක් නැතහොත් පගාවක් දීමෙන් විභාගයක් සමත් වීමට, රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට, රැකියාවක් ලබාගැනීමට වගේම නඩු හබයක් පවා තම වාසියට හරවාගැනීමට පුළුවන. “ඇත්තටම මෙම අල්ලස් දූෂණය මිනිස් ජීවිතවලට විශාල බරක්” කියා ප්‍රංශයේ නීතිඥයෙක් වූ අනෝ මොන්ටෙබග් කලකිරීමකින් යුතුව පැවසීය.

අල්ලස් දූෂණය වැඩි වශයෙන් සිදු වන්නේ ව්‍යාපාර ලෝකය තුළයි. සමහර සමාගම් විසින් තම ලාභයෙන් තුනෙන් එකක් වංචනික ආණ්ඩු නිලධාරීන්ට අල්ලස් දීම සඳහා වෙන් කරනු ලැබේ. දි ඉකොනමිස්ට් නමැති බ්‍රිතාන්‍යයේ සඟරාවකට අනුව ජාත්‍යන්තර අවි වෙළඳාම සඳහා වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 25ක් වැය කරන අතර, ඉන් සියයට 10කට වඩා වැඩි ප්‍රමාණයක අල්ලසක් අවි මිල දී ගන්න අපේක්ෂිත ගැනුම්කරුවන්ට දෙනු ලබයි. මෙවැනි අල්ලස් දූෂණ පුළුල් ලෙස පැතිරී ඇති අතර එහි ප්‍රතිඵල ඇත්තෙන්ම විනාශකාරියි. පසුගිය දශකය තුළ එවන් වංචනික ව්‍යාපාර ගනුදෙනු තුළින් සුළු පිරිසක් වාසි ප්‍රයෝජන ලැබුවත් රටවල් කීපයක ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳවැටීමට එය දායක විය.

මෙම අල්ලස් දූෂණය සහ ආර්ථික බිඳවැටීම නිසා ඇති වන ප්‍රතිඵලවලින් වැඩියෙන්ම පහර ලබන්නේ දුප්පත් අසරණ ජනතාවයි. එසේ වන්නේ ඔවුන්ට කිසිවෙකුට අල්ලසක් දීමට හැකියාවක් නැති නිසයි. සරලවම කියනවා නම් “අල්ලස් දූෂණය යනු යම් ආකාරයක පීඩා කිරීමක්” කියා දි ඉකොනමිස්ට් සඟරාව සඳහන් කළේය. මේ ආකාරයේ පීඩා කිරීමකින් ජයගැනීමට හැකිද? එසේ නැතහොත් අල්ලස් දූෂණය සදහටම පවතීද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර අල්ලස් දූෂණයට මූලික හේතු හඳුනාගන්න අවශ්‍යයි.

අල්ලස් දූෂණයට හේතූන් මොනවාද?

අවංකකමට වඩා වංචනිකකම මිනිසුන් තෝරාගන්නේ ඇයි? සමහර අයට තමන්ට රිසි දේ ගැනීමට හැකි එකම සහ පහසුම ක්‍රමය එය නිසයි. යම් අවස්ථාවල පගාවක් දීමෙන් දඬුවමකින් ගැළවීමට පවා පුළුවන. දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන් සහ විනිසුරුවන් අල්ලස් දූෂණය එතරම් ගණනකට නොගන්න නිසා හෝ සමහර විට ඔවුනුත් එවැනි ක්‍රියාවල නිරත වනවා දකින නිසා බොහෝ අය එය අනුකරණය කිරීමට පෙලඹෙති.

අල්ලස් ගැනීම් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන විට ජීවිතයේ නැතුවම බැරි අංගයක් වන තරමටම එය සාමාන්‍ය දෙයක් වීමට පටන්ගනියි. අඩු වැටුප් ලබන අයගේ ආකල්පය වන්නේ තමන්ට සමාජයේ නම්බුකාර විදියට ජීවත් වීමට නම් අල්ලස් ගැනීම වැනි වංචනික ක්‍රියාවල නිරත වීම හැර වෙනත් විකල්පයක් නැත යන්නයි. අල්ලස් ගන්න අයට සහ අසාධාරණ වාසි ලබාගැනීමේ අරමුණින් අල්ලස් දෙන අයට නිසි දඬුවම් නොලැබෙන නිසා, වැඩිදෙනෙක් එවැනි ක්‍රියාවලින් වැළකීමට පියවර නොගනියි. ඈත අතීතයේ විසූ සාලමොන් රජ මෙය හොඳින් නිරීක්ෂණය කළේය. “නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.”—දේශනාකාරයා 8:11.

අල්ලස් දූෂණයට රුකුල් දෙන ප්‍රධාන හේතු සාධක දෙක නම් ආත්මාර්ථකාමිත්වය සහ ගිජුකමයි. වංචනික පුද්ගලයන්, තමන් කරන නොහොබිනාකම් නිසා පීඩා විඳින්නන්ගේ දුක නොසලකා හැරීමට හේතුව ඔවුන් තුළ ඇති ආත්මාර්ථකාමිත්වයයි. තමන්ට ලැබෙන ආර්ථික වාසි නිසා එවැනි පුද්ගලයෝ අල්ලස් ගැනීම යුක්තිසහගත දෙයක් ලෙස සලකති. එමෙන්ම ද්‍රව්‍යමය දේ ලැබෙන්න ලැබෙන්න ඔවුන් තව තවත් අල්ලස් ගැනීම වැනි වංචනික ක්‍රියාවල නිරත වන්නේ ගිජුකම නිසායයි සැකයකින් තොරව කීමට පුළුවන. සාලමොන් රජ මෙය මනා ලෙස හුවා දැක්වීය. “රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි.” (දේශනාකාරයා 5:10) ගිජුකම මුදල් ඉපයීමට හොඳ ක්‍රමයක් වුණත්, ගිජුකම අල්ලස් දූෂණය සහ නීති විරෝධී ක්‍රියා නොසලකා හැරීමට හේතු වේ.

එමෙන්ම තවත් හේතුවක් වන්නේ මෙම ලෝකයේ අදෘශ්‍යමාන පාලකයාගෙන් ලැබෙන අනුබලයයි. එය සුළු කොට නොතැකිය යුතුයි. බයිබලයේ ඔහුව හඳුන්වා ඇත්තේ සාතන් නමැති යක්ෂයා ලෙසය. (1 යොහන් 5:19; එළිදරව් 12:9) සාතන් අල්ලස් දූෂණයට හොඳින් අනුබල දී ඇත. සාතන් යේසුස්ට ඉදිරිපත් කළ අල්ලස, මේ දක්වා වාර්තා වී ඇති ලොකුම අල්ලස ලෙස සැලකේ. සාතන් පැවසුවේ ‘ඔබ බිම වැටී මට නමස්කාර කරන්නේ නම් මේ සියල්ල [ලෝකයේ සියලු රාජ්‍යයන්] ඔබට දෙන්නෙමි’ කියාය.—මතෙව් 4:8, 9.

කෙසේවුවත්, යේසුස් වංචනික පුද්ගලයෙකු නොවීය. එමෙන්ම ඔහු තම අනුගාමිකයන්ටද එලෙසම හැසිරෙන ලෙස ඉගැන්වීය. අදදින අල්ලස් දූෂණය පිටුදැකීමට යේසුස්ගේ ඉගැන්වීම් ප්‍රබල මෙවලමක් කරගත හැකිද? ඊළඟ ලිපිය මෙම ප්‍රශ්නය හොඳින් විග්‍රහ කරයි.