Skip to content

පටුනට යන්න

ආත්මයට ඔබේ සවන් යොමන්න

ආත්මයට ඔබේ සවන් යොමන්න

ආත්මයට ඔබේ සවන් යොමන්න

“නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි [ගමන් කරන්නැයි, NW] නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.”—යෙසායා 30:21.

1, 2. ඉතිහාසය පුරා යෙහෝවා මනුෂ්‍යයන්ට තොරතුරු දැනුම් දී ඇත්තේ කෙසේද?

 මෙලොවේ ලොකුම මෙන්ම ප්‍රබලතම තනි තැටියකින් යුත් රේඩියෝ දූරේක්ෂය පිහිටා තිබෙන්නේ පුවටෝ රිකෝ දූපතේය. මෙම දැවැන්ත උපකරණය ආධාරයෙන්, පිටසක්වල ජීවීන්ගෙන් පණිවිඩ ලබාගැනීමේ අපේක්ෂාවෙන්, විද්වතුන් දශක ගණනාවක් බලා සිට ඇත. එනමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සැබෑ වී නොමැත. කෙසේවෙතත්, මිනිස් ලෝකයෙන් බැහැර ප්‍රභවයකින් අප සැමට පැහැදිලි පණිවිඩ ලබාගත හැක. ඒවා ලබාගැනීමට සංකීර්ණ උපකරණ සඳහා අවශ්‍යතාවක්ද නොමැත. මෙම පණිවිඩවලට මුල් වන්නේ කවුද? කිසිදු “පිටසක්වලයෙකුට” වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකි. ඔහු කවුද? ඔහුගේ පණිවිඩ ලබන අය කවරහුද? එමෙන්ම, එම පණිවිඩවල අන්තර්ගත වී ඇත්තේ කුමක්ද?

2 බයිබල් වාර්තාව, දෙවිගෙන් ලද පණිවිඩ මනුෂ්‍යයන්ගේ සවනට වැකුණු අවස්ථා පිළිබඳ උදාහරණවලින් ගහනය. මෙම පණිවිඩවලින් සමහරක් දෙවිගේ පණිවිඩකරුවන් ලෙස සේවය කළ ස්වර්ගික දූතයන් අතේ එවන ලදි. (උත්පත්ති 22:11, 15; සෙකරියා 4:4, 5; ලූක් 1:26-28) යෙහෝවාගේම හඬ ඇසුණු අවස්ථා තුනක්ද බයිබලයෙහි සඳහන්ව ඇත. (මතෙව් 3:17; 17:5; යොහන් 12:28, 29) දෙවි අනාගතවක්තෲන් තුළින්ද කතා කළේය. දෙවිගේ ආනුභාවයෙන් තමන්ට පැවසූ දේ වාර්තා කිරීමටද ඔවුන් පසුබට වූයේ නැත. එමනිසා, අදදින අපට බයිබල් වාර්තාව ලැබී ඇත. දෙවි හුවමාරු කළ අදහස්වල ලිඛිත වාර්තාවක් ලෙස එය සැලකිය හැකි අතර, යේසුස්ගේ සහ ඔහුගේ ගෝලයන්ගේ ඉගැන්වීම්ද එහි අන්තර්ගතය. (හෙබ්‍රෙව් 1:1, 2) යෙහෝවා මිහිපිට මනුෂ්‍යයන්හට තොරතුරු දැනුම් දී ඇති බව මින් මනාව පැහැදිලි වේ.

3. දෙවිගේ පණිවිඩවල අරමුණ කුමක්ද? එමනිසා අපගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

3 දෙවිගේ ආනුභාවයෙන් ලද මෙම පණිවිඩවල භෞතික විශ්වය ගැන ඇත්තේ තොරතුරු අල්පයකි. ඒවායෙහි වඩාත් වැදගත් දේවල් ඇතුළත් වී ඇත. ඔව්, දැනටත් අනාගතයටත් අපගේ දිවියට බලපාන කාරණා ඒවායෙහි අන්තර්ගතය. (ගීතාවලිය 19:7-11; 1 තිමෝති 4:8) යෙහෝවා මෙම පණිවිඩ තම කැමැත්ත දැනුම් දීමට හා තම මඟ පෙන්වීම ලබා දීමට යොදාගනියි. අනාගතවක්තෘ යෙසායාගේ මතු වදන් ඉටු වන එක් අන්දමකි එය. “නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි [ගමන් කරන්නැයි, NW] නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.” (යෙසායා 30:21) තම ‘හඬට’ සවන් දෙන්න කියා යෙහෝවා බල කරමින් සිටිනවා නොවේ. දෙවිගේ මඟ පෙන්වීම පිළිගෙන, ඔහුගේ මාර්ගයෙහි හැසිරීම හෝ ගමන් කිරීම අප එක් එක්කෙනා ගත යුතු තීරණයකි. එනමුත් යෙහෝවාගෙන් ලැබෙන තොරතුරුවලට සවන් දෙන්න කියා ශුද්ධ ලියවිල්ලෙහි අපට අවවාද දී ඇත. උදාහරණයකට, ‘ආත්මය කියන දේ අසන්න’ යන දිරිගැන්වීම එළිදරව් පොතෙහි අවස්ථා හතකම දක්නට ලැබේ.—එළිදරව් 2:7, 11, 17, 29; 3:6, 13, 22.

4. අපගේ කාලයේදී දෙවිගේ හඬ ස්වර්ගයෙන් කෙළින්ම ඇසීම අපේක්ෂා කිරීම සාධාරණද?

4 අදදින, යෙහෝවාගේ හඬ අපට ස්වර්ගයෙන් කෙළින්ම ඇසෙන්නේ නැත. බයිබල් කාලවලදී පවා, මෙවැනි අවස්ථාවන් දුර්ලභ ඒවා විය. කෙසේවෙතත්, ඉතිහාසය දෙස බලද්දී, යෙහෝවා තම සෙනඟට තොරතුරු දැනුම් දීම සඳහා ඍජු නොවන වෙනත් විවිධ මාර්ග යොදාගෙන ඇත. අදදිනත් යෙහෝවා එවැනි වක්‍රාකාර මාර්ග පාවිච්චි කරයි. යෙහෝවා අදදින අපට තොරතුරු දැනුම් දෙන ක්‍රම තුනක් දැන් සලකා බලමු.

“දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල”

5. අදදින යෙහෝවා තොරතුරු දැනුම් දෙන ප්‍රධාන මාධ්‍යය කුමක්ද? අපට ඉන් ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?

5 දෙවි මිනිසාට තොරතුරු දැනුම් දෙන ප්‍රධානතම මෙවලම බයිබලයයි. එය දේවානුභාවයෙන් ලියන ලද්දක් වන අතර, එහි අන්තර්ගත සියල්ල අපගේ ප්‍රයෝජනය සඳහා ලියවී ඇත. (2 තිමෝති 3:16) යෙහෝවාගේ හඬට සවන් දෙන්න හෝ නොදෙන්න ස්වාධීනව තීරණය කළ සැබෑ ජීවිත කතාවලින් බයිබල් වාර්තාව පිරී පවතී. දෙවිගේ ආත්මය පවසන දෙයට සවන් දීම වැදගත් වන්නේ මන්ද යන්න මෙම ආදර්ශවලින් අපට සිහිගන්වයි. (1 කොරින්ති 10:11) ජීවිතයේ නොයෙකුත් අවස්ථාවලදී අපට තීරණ ගැනීමට සිදු වේ. එවැනි අවස්ථාවලදී, අපට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට බයිබලයෙහි අන්තර්ගත ප්‍රායෝගික ප්‍රඥාව මහෝපකාරි වේ. අපට පිටුපසින් ඇසෙන දෙවිගේ හඬ, හරියට ‘මාර්ගය මේය, මෙහි ගමන් කරන්න’ කියා පවසන්නාක් මෙනි.

6. බයිබලය වෙනත් කිසිදු ලියවිල්ලකට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ මන්ද?

6 බයිබලය තුළින් ආත්මය පවසන දේට සවන් දෙන්න නම්, අප එය නිතිපතා කියවිය යුතුය. අප බයිබලය සැලකිය යුත්තේ ජනප්‍රිය, දක්ෂ ලෙස ලියවුණු සාහිත්‍ය කෘතියක් ලෙස නොවේ. බයිබලය ශුද්ධාත්මයේ මඟ පෙන්වීමෙන් ලියන ලද්දක්. දෙවිගේ සිතුවිලි එහි අන්තර්ගතය. හෙබ්‍රෙව් 4:12 අපට මෙසේ පවසයි. “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.” බයිබලය කියවද්දී, එහි අඩංගු දේ අපගේ ඇතුළාන්ත සිතුවිලි සහ චේතනාවලට කඩුවකින් අනින්නාක් මෙන් කාවදියි. එතුළින් අපගේ ජීවිතය දෙවිගේ කැමැත්තට කොතරම් අනුකූල වෙනවාද යන්න හෙළි වේ.

7. බයිබලය කියවීම වැදගත් වන්නේ මන්ද? එය කියවීම සඳහා අපට ලැබී තිබෙන දිරිගැන්වීම කුමක්ද?

7 හදවතේ නොහොත් ‘සිතේ සිතුවිලි සහ අදහස්’ කාලයාගේ ඇවෑමෙන්ද, අප ලබන හොඳ හෝ නරක අද්දැකීම්වලින්ද වෙනස් විය හැක. අප දෙවිගේ වචනය නොකඩවා අධ්‍යයනය කරන්නේ නැත්නම්, අපගේ සිතුවිලි, ආකල්ප සහ හැඟීම් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව තබාගත නොහැකි වේ. එමනිසා, බයිබලයෙහි සඳහන් මෙම උපදේශය සලකා බැලීම වටී. “ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම [දිගටම, NW] පරීක්ෂාකර බලන්න; නුඹලාවම [දිගටම, NW] සෝදිසිකර බලන්න.” (2 කොරින්ති 13:5) ආත්මය පවසන දෙයට දිගටම සවන් දෙන්න නම්, දෙවිගේ වචනය දිනපතා කියවන්න යන උපදේශයට අප අවනත විය යුතුය.—ගීතාවලිය 1:2.

8. බයිබලය කියවීම සම්බන්ධයෙන් ආත්ම සෝදිසියක් කිරීමට ප්‍රේරිත පාවුල්ගේ කවර වදන් අපට උපකාරවත් වේද?

8 බයිබලය කියවන අප නිතරම මතක තබාගත යුතු දෙයක් මෙහිදී සඳහන් කළ යුතුය. ඔබ කියවන දේ හෘදයට කිඳා බැසිය යුතුය. එමනිසා, ප්‍රමාණවත් කාලයක් ගන්න. දිනපතා බයිබලය කියවීමට අපට උපදෙස් දී ඇති බව ඇත්තයි. එනමුත් එම උපදේශයට කීකරු වීමේ අභිප්‍රායෙන්, කියවන දෙයෙහි නියම අර්ථය තේරුම් නොගෙන පරිච්ඡේද කිහිපයක්ම කඩාගෙන බිඳගෙන කියවීම නිෂ්ඵල වෑයමකි. ඔව්, බයිබලය නිතිපතා කියවීම වැදගත් වුවත්, අපගේ චේතනාව විය යුත්තේ යම් කාලසටහනක ඇති පරිච්ඡේද කිහිපයක් යන්ත්‍රයක් මෙන් පියවීම නොවේ. යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඉගෙනගැනීමට අප තුළ අවංක ආශාවක් තිබිය යුතුය. මේ සම්බන්ධව ප්‍රේරිත පාවුල් සඳහන් කළ මතු දැක්වෙන වදන් ආත්ම සෝදිසියක් කිරීම සඳහා යොදාගැනීම යෝග්‍ය වේ. සෙසු ක්‍රිස්තියානීන්ට ලියමින් ඔහු මෙසේ පැවසීය. ‘පියාට මම මාගේ දණ නමා, ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස් නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට, දෙවිගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමඟ ක්‍රිස්තුස්ගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන් වන පිණිසත්, ඔහුගේ මහිමයේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤා කරමි.’—එපීස 3:15, 17-19.

9. යෙහෝවාගෙන් ඉගෙනගැනීමට වූ අපගේ ආශාව දිගින් දිගටම වැඩි කරගැනීමට හැක්කේ කෙසේද?

9 අපගෙන් සමහරෙකුට කියවීම නිරස දෙයකි. තවත් සමහරෙක් ඉන් ඉමහත් ආස්වාදයක් ලබති. කෙසේවෙතත්, පෞද්ගලිකව අප කුමන ගණයට වැටුණද, යෙහෝවාගෙන් ඉගෙනගැනීමට වූ අපගේ ආශාව දිගින් දිගටම වැඩි කරගැනීමට අප සැමදෙනාම උත්සාහ කළ යුතුය. බයිබල් දැනුම ලබාගැනීම සඳහා ආශාවක් තිබිය යුතු බව පැහැදිලි කළ ප්‍රේරිත පේතෘස්, එවැනි ආශාවක් ඇති කරගැනීම සඳහා දැඩි වෑයමක් දැරීමට පවා සිදු විය හැකි බව ඒත්තුගැන්වීය. ඔහු පැවසුවේ මෙසේය. “ගැළවීම කරා වර්ධනය වන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් වචනය සතු අමිශ්‍ර වූ කිරිවලට දැඩි ආශාවක් ඇති කරගන්න.” (1 පේතෘස් 2:3NW) බයිබල් අධ්‍යයනය සඳහා ‘දැඩි ආශාවක් ඇති කරගැනීමට’ නම්, තමාවම හික්මවාගැනීම අත්‍යවශ්‍යය. අලුත් ආහාර වර්ගයක රසය කිහිප වතාවක්ම බැලීමෙන් පසු ඒ සඳහා ආශාවක් වර්ධනය විය හැකිවාක් මෙන්, අප අපවම හික්මවාගෙන, දිනපතා කාලසටහනකට අනුව වැඩ කරනවා නම්, කියවීම සහ අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් අපගේ ආකල්පය හොඳ අතට හැරීමට ඉඩ ඇත.

“නියම වේලාවට කෑම”

10. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සෑදී ඇත්තේ කාගෙන්ද? යෙහෝවා අදදින ඔවුන්ව පාවිච්චි කරන්නේ කෙසේද?

10 යෙහෝවා අදදින අපට කතා කරන තවත් මාර්ගයක් යේසුස් විසින් මතෙව් 24:45-47හි හඳුන්වා දී තිබේ. එහිදී ඔහු කතා කළේ ශුද්ධාත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානි සභාව ගැනයි. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ‘නියම වේලාවට ආත්මික කෑම’ නොහොත් ආහාර සැපයීමේ පැවරුම ඔවුන්ට භාර දී ඇත. පෞද්ගලිකව ගත් කල මෙම පංතියේ සාමාජිකයන්, යේසුස්ගේ “ගෙයිවැසියන්” වේ. එමනිසා ඔවුහුද, ‘වෙනත් බැටළුවන්’ ගණයේලා සැලකෙන ‘මහත් සමූහයද’ දිරිගැන්වීම සහ මඟ පෙන්වීම ලබති. (යොහන් 10:16; එළිදරව් 7:9) නියම වේලාවට ලැබෙන මෙම ආහාරවලින් වැඩි හරියක් මුරටැඹ, පිබිදෙව්! සහ වෙනත් මුද්‍රිත ප්‍රකාශන තුළින් ලැබේ. මීට අමතරව, සමුළු, එක්රැස්වීම් සහ සභා රැස්වීම්වල කතා සහ නිරූපණ තුළින්ද ආත්මික ආහාර අපට ලැබේ.

11. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් ආත්මය පවසන දේට අප ප්‍රතිචාරය දක්වනවා කියා ඔප්පු කරන්නේ කෙසේද?

11 “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයන තොරතුරු සැලසුම් කර තිබෙන්නේ අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටත්, අපගේ විමර්ශන ශක්තිය පුහුණු කිරීමටත්ය. (හෙබ්‍රෙව් 5:14NW) ඇතැම් අවස්ථාවලදී ලැබෙන උපදෙස් පොදුවේ අදාළ වේ. එවිට අප සැමට එය පෞද්ගලිකව අපගේ තත්වයට අනුව අදාළ කරගත හැකිය. එනමුත් අපගේ හැසිරීමේ නිශ්චිත අංගයන් ගැන අවධානය යොමු කරන සුවිශේෂී උපදෙස්ද අපට ලැබේ. දාස පංතිය තුළින් ආත්මය පවසන දෙයට අප ඇත්තටම සවන් දෙනවා නම්, මෙවන් උපදෙස් ලබද්දී අප කෙබඳු ආකල්පයක් විදහාපෙන්විය යුතුද? ප්‍රේරිත පාවුල් මෙසේ පිළිතුරු දෙයි. ‘නුඹලා අතර පෙරමුණගන්නන්ට කීකරු වී යටත් වන්න.’ (හෙබ්‍රෙව් 13:17NW) මෙම සැලැස්මට සම්බන්ධ සියලුදෙනාම අසම්පූර්ණ මනුෂ්‍යයන් බව ඇත්තය. කෙසේවෙතත්, අසම්පූර්ණ වුවත්, මෙම අන්තිම කාලයේදී අපට මඟ පෙන්වීම සැපයීම සඳහා තම භූමික සේවකයන්ව යොදාගැනීමට යෙහෝවා සතුටු වෙයි.

අපගේ හෘදය සාක්ෂියේ මඟ පෙන්වීම

12, 13. (අ) යෙහෝවා අපට මඟ පෙන්වීම ලබා දී තිබෙන තවත් මාර්ගයක් නම් කරන්න. (ආ) දෙවිගේ වචනය පිළිබඳ නිවැරදි දැනුමක් නැති උදවියට පවා හෘදය සාක්ෂිය යහපත කිරීමට බලපෑමක් විය හැක්කේ කෙසේද?

12 මඟ පෙන්වීම සඳහා යෙහෝවා අපට තවත් දෙයක් දී තිබේ. එනම් අපගේ හෘදය සාක්ෂියයි. ඔහු මිනිසා මැව්වේ හරි හා වැරැද්ද පිළිබඳ අභ්‍යන්තර හැඟීමක් ඇතුවය. මේ හැඟීම සතුන්ට වඩා වෙනස් වූ අපගේ මනුෂ්‍යයත්වයේ ලක්ෂණයක් වේ. රෝමවරුන්ට ලියද්දී, ප්‍රේරිත පාවුල් ඒ ගැන මෙසේ පැහැදිලි කළේය. “ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද? ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.”—රෝම 2:15, 16.

13 යෙහෝවාව නොඅඳුනන අය පවා, හරි වැරැද්ද සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුකූලව තම සිතුවිලි සහ ක්‍රියාවන් යම් අන්දමකින් හෝ සකස් කරගනිති. එය හරියටම නිසි මාර්ගය පෙන්වන අභ්‍යන්තර හඬක් ඔවුන්ට මඟ පෙන්වනවාක් මෙනි. දෙවිගේ වචනය ගැන නිවැරදි දැනුමක් නොමැති අයට මෙය සැබෑවක් විය හැකි නම්, සැබෑ ක්‍රිස්තියානීන් තුළ කතා කරන ඒ අභ්‍යන්තර හඬ තව කොතරම් ප්‍රබල විය යුතුද! එසේ නම්, දෙවිගේ වචනයෙහි අන්තර්ගත නිවැරදි දැනුමෙන් පවිත්‍ර වූ, යෙහෝවාගේ ශුද්ධාත්මයට එකඟව ක්‍රියාත්මක වන ක්‍රිස්තියානි හෘදය සාක්ෂිය විශ්වාසවන්ත මඟ පෙන්වීමක් සපයන බව අපට බලාපොරොත්තු විය හැක.—රෝම 9:1, 2.

14. බයිබලයට අනුව සකස් වී ඇති හෘදය සාක්ෂියක් යෙහෝවාගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට අවනත වීම සඳහා උපකාරවත් වන්නේ කෙසේද?

14 යහපත් හෘදය සාක්ෂියක් යනු, බයිබලයේ මඟ පෙන්වීමට අනුව සකස් වී ඇති හෘදය සාක්ෂියකි. එමනිසා, ආත්මයට අනුව අප ගමන් කළ යුතු මාර්ගය කුමක්ද කියා සිහිගැන්වීමට එයට පුළුවන. ඇතැම්විට, අපට බලපාන යම් විශේෂිත තත්වයන් සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේවත්, බයිබලය මත පදනම් ප්‍රකාශනවලවත් පැහැදිලි අදහසක් දී නොමැති අවස්ථාවන් තිබිය හැක. එනමුත්, අපගේ හෘදය සාක්ෂිය අපට අනතුරු අඟවමින්, හානිකර විය හැකි ක්‍රියා මාර්ගයක් නොගැනීමට අවවාද කළ හැකිය. මෙවන් අවස්ථාවකදී අප අපගේ හෘදය සාක්ෂිය නොසලකා හැරියොත්, එය යෙහෝවාගේ ආත්මය පවසන දේ නොසලකා හැරීමක් වැනිය. අනික් අතට, පුහුණුවක් ලැබූ අපගේ ක්‍රිස්තියානි හෘදය සාක්ෂිය මත රඳා සිටීමට ඉගෙනගැනීමෙන්, ලිඛිතව කිසිදු පැහැදිලි මඟ පෙන්වීමක් නොතිබුණද, හොඳ තේරීම් කිරීමට අපට හැකි වෙයි. අපගේ හෘදය සාක්ෂිය සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතු පැත්තක්ද ඇත. එනම් දෙවි නිශ්චිතව සපයා ඇති ප්‍රතිපත්තියක්, නීතියක් හෝ නියෝගයක් නොමැති විට, පෞද්ගලිකව තීරණය කළ යුතු කාරණාවලදී, අපගේ හෘදය සාක්ෂියේ තීරණය අප නොගෙන, ඒ වගකීම සෙසු ක්‍රිස්තියානීන් මත පැටවීමය. මෙය නුසුදුසු දෙයකි.—රෝම 14:1-4; ගලාති 6:5.

15, 16. හෘදය සාක්ෂියක් දූෂ්‍ය විය හැක්කේ කෙසේද? මෙය මඟහරවා ගත හැක්කේ කෙසේද?

15 බයිබලයේ මඟ පෙන්වීමට අනුව පුහුණු කළ, පිරිසිදු හෘදය සාක්ෂියක් දෙවිගෙන් ලද කදිම දීමනාවක් ලෙස සැලකිය හැක. (යාකොබ් 1:17) එනමුත් අපගේ සදාචාරය රැකගැනීමට මෙවලමක් සේ නිසියාකාරව ක්‍රියාත්මක කරවීමට නම්, මෙම දීමනාව දූෂිත කරවන බලපෑම්වලින් ආරක්ෂා කිරීමට අප වගබලා ගත යුතුය. විශේෂයෙන්ම දෙවිගේ ප්‍රමිතිවලට පටහැනිව දිවයන දේශීය සිරිත් විරිත්, සම්ප්‍රදායන් සහ ගති පැවතුම් සම්බන්ධයෙන් අප පරෙස්සම් විය යුතුය. ඒවා අනුගමනය කිරීමට යෑමෙන් අපගේ හෘදය සාක්ෂිය පලුදු වී, අපට නිසියාකාර මඟ පෙන්වීමක් දීමට අසමත් විය හැක. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දේවල් හරියාකාරව විනිශ්චය කිරීමට නොහැකි වන අතර, නුසුදුසු ක්‍රියාවක් ඇත්තටම හොඳයි කියා විශ්වාස කරන තරමටම අපව රැවටේ.—යොහන් 16:2 සසඳන්න.

16 අපගේ හෘදය සාක්ෂියෙන් ලැබෙන අනතුරු ඇඟවීම් දිගටම නොසලකා හැරියොත්, එහි හඬ කෙමෙන් කෙමෙන් බාල වී යයි. එවිට එය අප තුළ තිබෙන සදාචාර හැඟීම මොට කිරීමට හෝ අසංවේදී කරවීමට හේතු විය හැක. මෙවැනි පුද්ගලයන් ගැන ගීතිකාකාරයා විස්තර කළේ මෙසේය. “ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය [අසංවේදීය, NW].” (ගීතාවලිය 119:70) තම හෘදය සාක්ෂියෙන් ලැබෙන මඟ පෙන්වීම නොසලකා හරින ඇතැම්හු පැහැදිලිව කල්පනා කිරීම සඳහා තමා සතු හැකියාව නැති කරගනිති. ඔවුන් තවදුරටත් දිව්‍ය ප්‍රතිපත්තිවල මඟ පෙන්වීමට යටත් නොවන නිසා, ඔවුහු නිසියාකාර තීරණ ගැනීමටද අපොහොසත් වෙති. එමනිසා, මෙවැනි තත්වයන් මඟහරවා ගැනීම සඳහා සුළු කාරණාවලදී පවා අපගේ ක්‍රිස්තියානි හෘදය සාක්ෂියේ මඟ පෙන්වීමට සංවේදී විය යුතුය.—ලූක් 16:10.

සවන් දී කීකරු වන අයට අත් වන ආශීර්වාද

17. අප ‘පස්සෙන් කියන හඬට’ සවන් දී, බයිබලයට අනුව සකස් වී ඇති අපගේ හෘදය සාක්ෂියේ මඟ පෙන්වීමට අවනත වනවා නම්, අපට ලැබෙන ආශීර්වාද මොනවාද?

17 ශුද්ධ ලියවිල්ල සහ විශ්වාස වූ නුවණ ඇති දාසයා තුළින් අපට යෙහෝවාගේ හඬ ඇසේ. බයිබලයේ මඟ පෙන්වීමට නතු වූ හෘදය සාක්ෂියක සිහිගැන්වීම්ද අප අමතක නොකළ යුතුය. ‘පස්සෙන් කියන මෙවැනි හඬවල්වලට’ සවන් දීමට අප පුරුදු විය යුතුය. එසේ කළහොත් යෙහෝවා ශුද්ධාත්මය තුළින් අපට ආශීර්වාද කරනවා ඇත. ශුද්ධාත්මය, යෙහෝවා කියන දේ භාරගෙන තේරුම්ගැනීම සඳහා අප සතු හැකියාව වැඩි කරයි.

18, 19. යෙහෝවාගේ මඟ පෙන්වීම අපගේ සේවයට සහ අපගේ පෞද්ගලික ජීවිතයට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?

18 දුෂ්කර තත්වයන්වලට ප්‍රඥාවෙන් සහ එඩිතරකමින් මුහුණ දීම සඳහා යෙහෝවාගේ ආත්මය අපව ශක්තිමත් කරයි. ප්‍රේරිතයන් සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්, දෙවිගේ ශුද්ධාත්මයට අපගේ මානසික ශක්තිය පුබුදුවා, බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කිරීමටත්, කතා කිරීමටත් උපකාර කළ හැකිය. (මතෙව් 10:18-20; යොහන් 14:26; ක්‍රියා 4:5-8, 13, 31; 15:28) යෙහෝවාගේ ශුද්ධාත්මය ඇතුව අප පෞද්ගලික වෑයමක් දරනවා නම්, ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී අපට සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වන අතර, එම තීරණවලට එකඟව ක්‍රියා කිරීමටද එය අපව ශක්තිමත් කරයි. නිදසුනකට, ආත්මික දේවල් සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීමේ අදහසින් ඔබගේ ජීවිතයේ යම් සකස් වීම් කිරීමට ඔබ සිතාගන්නවා විය හැක. එසේ නැතහොත් විවාහ කලත්‍රයෙක් තේරීම, රැකියා ප්‍රස්තාවක් තෝරාගැනීම හෝ නිවසක් මිල දී ගැනීම වැනි වැදගත් මෙන්ම ජීවිතය වෙනස් කිරීමට තුඩු දිය හැකි තේරීම් ඔබ හමුවට පැමිණිය හැක. ඔබේ තීරණය ගැනීමට ඔබ හැඟීම්වලට පමණක් ගැති නොවිය යුතුය. ඒ වෙනුවට, දෙවිගේ ආත්මයට කියන්න තිබෙන දේට සවන් දී, එහි මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කිරීම අවශ්‍යය.

19 වැඩිමහල්ලන් ඇතුළුව, සෙසු ක්‍රිස්තියානීන්ගෙන් අප ලබන උපදෙස් සහ කාරුණික සිහිගැන්වීම් සැබවින්ම අප අගය කළ යුතුය. එනමුත්, යම් කාරණයක් අපගේ අවධානයට යොමු කිරීම සඳහා හැමවිටම අන්‍යයන්ගේ මැදිහත් වීම බලාපොරොත්තු නොවිය යුතුය. ගත යුතු ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගය කුමක්ද කියා අප දන්නවා නම්, දෙවිව සතුටු කිරීම සඳහා අපගේ ආකල්පයේ සහ හැසිරීමේ කළ යුතු සකස් කිරීම් මොනවාදැයි අප දන්නවා නම්, අප ඒ අවබෝධය මත ක්‍රියා කළ යුතුය. යේසුස් එය මෙසේ පැහැදිලි කළේය. “ඉඳින් මේ දේවල් දන්නාවූ නුඹලා ඒවා කරනවා නම් නුඹලා ආශීර්වාදලද්දෝය.”—යොහන් 13:17.

20. ‘පස්සෙන් කියන හඬට’ සවන් දෙන අය සඳහා ඇත්තේ කුමන ආශීර්වාදද?

20 එසේ නම්, දෙවිව සතුටු කරන අන්දම දැනගැනීමට, ක්‍රිස්තියානීන්ට ස්වර්ගයෙන් හඬක් ඇසීම අවශ්‍ය නැත. දේවදූතයන්ගේ දර්ශනය වීමක්ද අවශ්‍ය නැත. ඔවුන්ට දෙවිගේ ලිඛිත වාර්තාව ඇත. මිහිපිට ආලේප ලත් පංතියේ ප්‍රේමනීය මඟ පෙන්වීමද ඔවුන් සතුය. එය මොනතරම් ආශීර්වාදයක්ද! ඔව්, ‘පස්සෙන් කියන හඬට’ පරෙස්සමින් සවන් දී, බයිබලයේ මඟ පෙන්වීමට නතු වූ ඔවුන්ගේ හෘදය සාක්ෂියේ මඟ පෙන්වීමට අවනත වනවා නම්, දෙවිගේ කැමැත්ත කිරීමෙහිලා ඔවුන් සාර්ථක ප්‍රතිඵල නෙළාගන්නවාට සැකයක් නැත. එසේ කළහොත් ‘දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලයටම පවතින්නේය’ යන ප්‍රේරිත යොහන්ගේ පොරොන්දුව තම ජීවිත තුළින් ඉටු වනවා දැකීමේ භාග්‍යය ඔවුන් අද්දකිනවා නොඅනුමානය.—1 යොහන් 2:17.

කෙටි පුනරීක්ෂණයක්

• යෙහෝවා මිහිපිට තම සේවකයන්ට තොරතුරු දැනුම් දෙන්නේ මන්ද?

• නිතිපතා බයිබලය කියවීමට කාලසටහනක් තිබීම අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?

• දාස පංතියේ මඟ පෙන්වීමට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

• බයිබලයේ මඟ පෙන්වීමට අනුව සකස් වී ඇති හෘදය සාක්ෂියක මඟ පෙන්වීම අප නොසලකා නොහැරිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

දෙවිගෙන් පණිවිඩ ලබාගැනීමට මිනිසාට සංකීර්ණ උපකරණ අවශ්‍ය නැත

[හිමිකම් විස්තර]

Courtesy Arecibo Observatory/​David Parker/​Science Photo Library අනුග්‍රහයෙනි

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා අපට කතා කරන්නේ බයිබලය සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙනි