Skip to content

පටුනට යන්න

දිව්‍ය ඉගැන්වීම් තදින් අල්ලාගන්න

දිව්‍ය ඉගැන්වීම් තදින් අල්ලාගන්න

දිව්‍ය ඉගැන්වීම් තදින් අල්ලාගන්න

‘නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.’—හිතෝපදේශ 3:5, 6.

1. වෙන කිසිදාකට වඩා අප තොරතුරු සම්භාරයකින් යට වී ඇති ආකාරය විස්තර කරන්න.

 වෙන කිසිදාකට වඩා මිනිස් සමාජය තොරතුරු සම්භාරයකින් යටපත් වී ගොසින්. ඕනෑම විෂයක් පිළිබඳව තොරතුරු අපට පහසුවෙන් ලබාගත හැක. උදාහරණ කිහිපයක් සලකා බලමු. ලෝවටා දිනපතා පළ වන පුවත්පත් 9,000ක් පමණ ඇත. එක්සත් ජනපදයේ පමණක් වාර්ෂිකව අලුත් පොත් 2,00,000ක් මුදාහැරේ. වර්ෂ 1998 මාර්තු වන විට, අන්තර්ජාලයේ වෙබ් පිටු මිලියන 275ක් පමණ තිබූ බවත්, මේ සංඛ්‍යාව මසකට පිටු මිලියන 20ක වේගයකින් වැඩි වන බවත් ගණන් බලා ඇත. මෙතරම් තොරතුරු සමුදායක් තිබීම ප්‍රයෝජනවත් වුවද, ඉන් ගැටලු මතු වන බවටද සැකයක් නැත.

2. තොරතුරු සමුදායකට නිරාවරණය වීමෙන් ඉස්මතු විය හැකි ගැටලු මොනවාද?

2 ඇතැම් පුද්ගලයෝ මෙම තොරතුරු ලබාගැනීමට ඉමහත් ආශාවකින් පසු වෙති. සෑම දෙයක් සම්බන්ධයෙන්ම නවීනතම තොරතුරු දැනගැනීම ඔවුන්ගේ අභිලාෂයයි. එමනිසා ජීවිතයේ වැදගත්ම දේවල් පසෙක ලෑම පුරුද්දක් වී තිබේ. වෙනත් අය ඉතා සංකීර්ණ ක්ෂේත්‍රයන් ගැන යම් දැනුමක් ලබා පණ්ඩිතකම විදහාපෑමට පවා පසුබට නොවෙති. නියම අවබෝධයක් නොමැතිව භාරදූර තීරණ ගන්නා ඔවුහු, තමුන් පිටත් අන්‍යයන් පිටත් හානි පමුණුවති. තවද සදොස් නොහොත් වැරදිසහගත තොරතුරුවලට නිරාවරණය වීමේ අන්තරාවද නොසලකා නොහැරිය යුතුය. එමනිසා අප හමුවට එන තොරතුරු සම්භාරය නිවැරදිද, සමබරද යන්න තීරණය කිරීම අසීරු කාර්යයක් බවට පත් වේ.

3. මනුෂ්‍යයන්ගේ ප්‍රඥාව පසුපස හඹායෑම සම්බන්ධයෙන් බයිබලයෙහි දී ඇති අනතුරු ඇඟවීම් මොනවාද?

3 මිනිසා කවදත් කුතුහලයේ ගොදුරු බවට පත්ව ඇත. නිරර්ථක නැතහොත් හානිකර විය හැකි තොරතුරු පසුපස හඹා යමින් කාලය කා දැමීමේ අනතුර සාලමොන් රජුගේ කාලයේ පවා තේරුම්ගනු ලැබීය. “මෙයින් දැනමුතුකම් ලබන්න. බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය” යන්න ඔහුගේ අවවාදය විය. (දේශනාකාරයා 12:12) ඉන් සියවස් කිහිපයකට පසුව ප්‍රේරිත පාවුල් තිමෝතිට ලිවූ දේද සැලකිල්ලට ගැනීම යෝග්‍යය. “දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරන්න; සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණෝය.” (1 තිමෝති 6:20, 21) මින් පැහැදිලි වන්නේ හානිකර අදහස් උදහස්වලට අනවශ්‍ය ලෙස නිරාවරණය වීමේ අවදානමෙන් ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතු බවය.

4. අපට යෙහෝවා සහ ඔහුගේ ඉගැන්වීම් කෙරෙහි විශ්වාසය පෙන්විය හැකි එක් ක්‍රමයක් නම් කරන්න.

4 යෙහෝවාගේ සෙනඟ හිතෝපදේශ 3:5, 6හි වදන්ද අමතක නොකරති. ‘නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.’ යෙහෝවා කෙරෙහි විශ්වාස කිරීමට නම්, අපගේම සිතුවිලිවලින් හෝ අපගේ අසල්වාසියාගේ සිතුවිලිවලින් උපදවාගත් දෙවිගේ වචනයට පටහැනි ඕනෑම අදහසක් ප්‍රතික්ෂේප කළ යුතුය. ඔව්, අපගේ ආත්මිකත්වය ආරක්ෂා කිරීමට අපගේ කල්පනා ශක්තිය පුහුණු කිරීම අත්‍යවශ්‍යය. එමගින් හානිකර තොරතුරු මොනවාදැයි හඳුනාගෙන ඒවායින් වැළකී සිටීමට හැකි වේ. (හෙබ්‍රෙව් 5:14) අපි දැන් එවන් තොරතුරු ලැබිය හැකි පැති කිහිපයක් සලකා බලමු.

සාතන්ගේ ග්‍රහණයට හසු වූ ලොවක්

5. හානිකර අදහස් ලැබෙන එක් මාර්ගයක් නම් කරන්න. එය පිටුපස සිටින්නේ කවුද?

5 අප අවට ලෝකය හානිකර අදහස්වලින් පිරී පවතී. (1 කොරින්ති 3:19) මෙය තේරුම්ගත් යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන් සම්බන්ධයෙන් දෙවිට මෙසේ යාච්ඤා කළේය. “ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි.” (යොහන් 17:15) යේසුස් තම ගෝලයන්ව “නපුරාගෙන්” ආරක්ෂා කරන පිණිස ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ, සාතන්ට මෙලොවෙහි සෑහෙන බලයක් ඇති බවය. අප ක්‍රිස්තියානීන් වන පළියට මෙම ලොවෙහි නපුරු බලපෑම්වලින් ඉබේම ආරක්ෂා වන්නේ නැත. “අපි [දෙවිගෙන්] වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමු” කියා යොහන් පැහැදිලි කළේය. (1 යොහන් 5:19) එමනිසා අන්තිම දවස්වල මෙම අවසාන භාගයේදී, සාතන් සහ ඔහුගේ භූතයන් මෙලොව හානිකර තොරතුරුවලින් නහවයි කියා අපට අපේක්ෂා කළ හැක.

6. අප අහන දකින දේවල් අපගේ සදාචාර හැඟීම නැති කර දැමීමට හේතු විය හැක්කේ කෙසේද?

6 මෙම හානිකර තොරතුරු සම්බන්ධයෙන් මතක තබාගත යුතු තවත් දෙයක් තිබේ. බැලූ බැල්මට සමහර තොරතුරු හානිකරයි කියා පැවසිය නොහැක. (2 කොරින්ති 11:14) නිදසුනකට, රූපවාහිනියේ, චිත්‍රපටවල, සංගීතයේ සහ පොත් පත්වල අහන දකින දේ සලකා බලන්න. දැන් වැඩි වැඩියෙන් මෙවන් මාධ්‍යයන් තුළින් දුරාචාරය, ප්‍රචණ්ඩකාරිත්වය සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි පහත් දේවලට දිරියක් ලැබෙන බවට බොහෝදෙනෙක් එකඟ වෙති. මුලින්ම ඉතා පහත් දෙයක් ප්‍රදර්ශනය වෙද්දී, නරඹන්නන් කම්පනයට පත් විය හැකිය. එහෙත් මෙවැනි දේවලට නිතර නිතර නිරාවරණය වෙද්දී කිසිදු කම්පනයක් නොදැනීමට පවා පුළුවන. එමනිසා අප අහන, බලන හෝ කියවන දෙයකින් හානිකර අදහස්වලට අනුබලයක් ලැබේ නම්, ඒවා පිළිගත හැකිය නැතහොත් හානිකර නැතැයි යන්න කිසිදාක නිගමනය නොකළ යුතුය.—ගීතාවලිය 119:37.

7. බයිබලය කෙරෙහි අපගේ විශ්වාසය කා දැමීමට හේතු විය හැක්කේ කවර ආකාරයේ මිනිස් ප්‍රඥාවක්ද?

7 අපට හානිකර තොරතුරු පැමිණිය හැකි තවත් පැත්තක් දැන් සලකා බලමු. ඇතැම් විද්‍යාඥයෝ සහ විශාරදයෝ බයිබලයෙහි විශ්වාසවන්තභාවයට අභියෝග කරමින් තොරතුරු රැසක් ඉදිරිපත් කරති. (යාකොබ් 3:15 සසඳන්න.) ප්‍රසිද්ධ සඟරා හා ජනප්‍රිය පොත් පත්වල මෙවන් තොරතුරු දක්නට ලැබෙන අතර, එයින් බයිබලය කෙරෙහි ඇති මනුෂ්‍යයන්ගේ විශ්වාසය අඩපණ කරයි. දෙවිගේ වචනය බාල කිරීමේ අදහසින්, සීමාවක් නැති උපකල්පන ඉදිරිපත් කරමින් ඇතැම් පුද්ගලයෝ පුදුම වින්දනයක් ලබති. ප්‍රේරිතයන්ගේ කාලයේදීත් මීට සමාන අනතුරක් පැවතිණ. ප්‍රේරිත පාවුල්ගේ මතු දැක්වෙන වදන්වලින් මෙය මනාව පැහැදිලි වේ. “[ක්‍රිස්තුස්ට] එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.”—කොලොස්සි 2:8.

සත්‍යයේ සතුරෝ

8, 9. අදදින ඇදහිල්ල අත්හැරීමක් සිදු වී ඇති ආකාරය විස්තර කරන්න.

8 අපගේ ආත්මිකත්වයට ඇදහිල්ල අත්හැර ගොස් ඇත්තන්ගෙනුත් තර්ජන එල්ල විය හැක. ක්‍රිස්තියානීන්යයි කියාගන්නා ඇතැම් අය ඇදහිල්ල අත්හරින බව ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේය. (ක්‍රියා 20:29, 30; 2 තෙසලෝනික 2:3) ඔහුගේ වදන් ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු ඉටු විය. විශාල පරිමාණයකින් ක්‍රිස්තියානීන් ඇදහිල්ල අත්හැර ගිය නිසා ක්‍රිස්තියානි ලෝකය බිහි විය. අදදින, දෙවිගේ සෙනඟ අතර විශාල වශයෙන් ඇදහිල්ල අත්හැරීමක් සිදු නොවේ. එනමුත් සමහර පුද්ගලයන් අපගෙන් ඉවත් වී යන බවට සාක්ෂි ඇත. ඔවුහු බොරු සහ වැරදිසහගත තොරතුරු බෙදාහැරීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිට මඩ ගැසීමට වියරු උත්සාහයක යෙදී සිටිති. තවත් අය වෙනත් කණ්ඩායම්වල උපකාරය ඇතුව, නිර්මල නමස්කාරයට විරුද්ධව විධිමත් ප්‍රහාර එල්ල කරති. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් ඇදහිල්ල අත්හැරීමට මුල් වූ සාතන්ගේ දරුවන් බවය.

9 යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන බොරු පැතිරවීමේ අදහසින්, ඇදහිල්ල අත්හළ ඇතැම්හු, අන්තර්ජාලය ඇතුළුව ජනමාධ්‍යයේ විවිධ අංග භාවිත කරති. එමනිසා, අපගේ විශ්වාසයන් දැනගැනීමට උත්සාහ දරන අවංක පුද්ගලයන් මොවුන්ගේ බොරු ප්‍රචාරයන්වලට අසු විය හැක. ඇතැම් සාක්ෂිකරුවන් පවා හානිකර වූ මෙවැනි තොරතුරුවලට නොදැනුවත්ව නිරාවරණය වී ඇත. මීට අමතරව, ඇදහිල්ල අත්හළ අය විටින් විට රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන්වලටද සහභාගි වෙති. මෙවැනි දේවලට නිරාවරණය වීම තර්ජනයක් වන නිසා, ගත යුතු ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගය කුමක්ද?

10. ඇදහිල්ල අත්හළ අයගේ ප්‍රචාරයන්ට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

10 ප්‍රේරිත යොහන් දුන් මඟ පෙන්වීම වූයේ ඇදහිල්ල අත්හරින්නන්ව අපගේ නිවසට පිළිගැනීමවත් නොකළ යුතු බවය. ඔහු මෙසේ ලීවේය. “නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න. මක්නිසාද ශුභසිද්ධවේවයි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය.” (2 යොහන් 10, 11) මෙවැනි පුද්ගලයන් සමඟ කිසිදු ආකාරයකින්වත් සම්බන්ධ නොවී සිටීමෙන්, ඔවුන්ගේ දූෂිත චින්තනය මගින් දූෂණය වීමෙන් අපට වැළකිය හැක. නූතන ජන මාධ්‍යය තුළින් ඇදහිල්ල අත්හළ අයගේ ඉගැන්වීම්වලට නිරාවරණය වීම, අපගේ නිවෙස්වලට ඇදහිල්ල අත්හළ කෙනෙකු පිළිගැනීම තරම්ම හානිකර දෙයකි. කුතුහලය නිසා මෙවැනි අනතුරුදායක ක්‍රියාමාර්ගයක් නොගැනීමට අප වගබලා ගත යුතුය.—හිතෝපදේශ 22:3.

සභාව තුළ

11, 12. (අ) මුල් සියවසේ සභාවට හානිකර වූ අදහස් ප්‍රවේශ වූ පැත්තක් නම් කරන්න. (ආ) දිව්‍ය ඉගැන්වීම් තදින් අල්ලාගැනීමට ඇතැම් ක්‍රිස්තියානීන් අසමත් වූයේ කෙසේද?

11 හානිකර අදහස් උද්ගත විය හැකි තවත් පැත්තක් සලකා බැලීම උචිතය. කැප වූ ක්‍රිස්තියානීන් බොරු දේවල් උගන්වන්නේ නැත. එනමුත් හිතන්නේ බලන්නේ නැතුව කතා කිරීමේ පුරුද්දක් ඔවුන් අතර වර්ධනය විය හැක. (හිතෝපදේශ 12:18) අප අසම්පූර්ණ නිසා, අපගේ දිව හේතුවෙන් අපි සියලුදෙනාම නොයෙකුත් අවස්ථාවලදී පව් කරන්නෙමු. (හිතෝපදේශ 10:19; යාකොබ් 3:8) ප්‍රේරිත පාවුල්ගේ කාලයේදී, දිව පාලනය කිරීමට අසමත් වූ සභාවේ ඇතැම් අය විවාදයන්වලට පැටලුණෝය. (1 තිමෝති 2:8) තවද තම මතයෙහි එල්බගෙන සිටි වෙනත් අය, පාවුල්ගේ අධිකාරයට අභියෝග කිරීමට පවා එඩිතර වූහ. (2 කොරින්ති 10:10-12) මෙවන් වාතාවරණයක ප්‍රතිඵලය වූයේ අනවශ්‍ය ගැටුම්ය.

12 ඇතැම් අවස්ථාවලදී මෙම ගැටුම් “කෙළවරක් නැති වාද විවාද” දක්වා උත්සන්න වූ අතර, එය සභාවේ සමාදානයටද තර්ජනයක් විය. (1 තිමෝති 6:5, නව අනුවාදය; ගලාති 5:15) මෙවන් වාද විවාදයන් ඇති කරගත් අය ගැන පාවුල් ලීවේ මෙසේය. ‘යමෙක් වෙනස් ධර්මයක් උගන්වමින්, අපගේ වැඩදායක ධර්මය වන, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන්ගේ වචනවලටත්, විශ්වාසවන්ත ඉගැන්වීමටත් විරුද්ධව යන්නෙහි නම්, ඔහු අඥානයෙකි; උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැනම සැක කිරීමෙන්ද, වචන ගැන ප්‍රශ්න කිරීමෙන්ද උමතු වූවෙකි. එයින් ඊර්ෂ්‍යාවද කලහද අපහාසයද කූට අවිශ්වාසයද [උපදින්නේය].’—1 තිමෝති 6:3, 4, න.අ.

13. මුල් සියවසේ ක්‍රිස්තියානීන් බහුතරයකගේ හැසිරීම කෙබඳු වීද?

13 කෙසේවෙතත්, ප්‍රේරිතයන්ගේ කාලයේදී ක්‍රිස්තියානීන්ගෙන් බහුතරයක්ම විශ්වාසවන්තව සිටි අතර, දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩය කෙරෙහි තම අවධානය යොමු කළෝය. ඔවුන් වචන ගැන ප්‍රශ්න කරමින් කාලය කා දැමුවේ නැත. ඒ වෙනුවට ඔවුහු ‘මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගනිමින්, ලෝකයෙන් කිලුටු නොවී’ සිටීමට වගබලා ගත්හ. (යාකොබ් 1:27) ක්‍රිස්තියානි සභාව තුළදී පවා “නපුරු සමාගමෙන්” ඔවුන් වැළකී සිටියේ තම ආත්මිකත්වය ආරක්ෂා කරගැනීමේ අටියෙනි.—1 කොරින්ති 15:33; 2 තිමෝති 2:20, 21.

14. අප පරෙස්සම් වන්නේ නැත්නම්, සාමාන්‍ය අදහස් බෙදාගැනීමක්, හානිකර විවාදයක් බවට පත් විය හැක්කේ කෙසේද?

14 එමනිසා, 11වන ඡේදයේ විස්තර කර ඇති තත්වයන්, අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්වල සාමාන්‍යයෙන් දකින දේවල් නොවේ. එනමුත්, එවැනි නිරර්ථක විවාදයන් ඇති විය හැකි බව අප කිසිදාක අමතක නොකළ යුතුය. බයිබලයේ වාර්තා වී ඇති දේවල් නැතහොත් නව ලොව සම්බන්ධයෙන් තවමත් එළිදරව් වී නොමැති අංගයන් ගැන සාකච්ඡා කිරීමෙහි වරදක් නැත. තවද ඇඳුම් පැළඳුම් හෝ විනෝදය සම්බන්ධයෙන් කරන තේරීම් වැනි පෞද්ගලික දේවල් ගැන අදහස් බෙදාගැනීමේද හානියක් ඇතැයි පැවසිය නොහැක. කෙසේවෙතත්, අප අදහස් බෙදාගනිද්දී, අපගේම මතයේ එල්බගෙන සිටීම නුසුදුසුය. වෙනත් අය අප සමඟ එකඟ නොවේ නම්, අප අමනාප නොවිය යුතුය. එවැන්නක් සිදු වේ නම්, සුළු සුළු දේවල් නිසා සභාව භේද වී යා හැක. සාමාන්‍ය සාකච්ඡාවක් ලෙස ඇරඹෙන දේ, ඉතා හානිකර දෙයක් බවට පත් විය හැක.

අපට භාර දී ඇති දේ රක්ෂා කිරීම

15. ‘යක්ෂයන්ගේ ඉගැන්වීම්’ අපගේ ආත්මිකත්වයට කොතරම් දුරට හානියක් එල්ල කරයිද? මේ සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ල අපට දෙන උපදේශය කුමක්ද?

15 ප්‍රේරිත පාවුල් මෙම අනතුරු ඇඟවීමද දෙයි. ‘පසු කාලවලදී සමහරු මුළා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ඉගැන්වීම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මය පැහැදිලි ලෙස කියන්නේය.’ (1 තිමෝති 4:1NW) ඔව්, හානිකර අදහස්වලින් සෑහෙන තර්ජනයක් එල්ල වේ. පාවුල් තම හිතවතෙකු වූ තිමෝතිට මතු අවවාදය දුන්නේ හොඳ හේතු ඇතුවය. “තිමෝතියස්නි, දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරන්න; සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණෝය.”—1 තිමෝති 6:20, 21.

16, 17. දෙවි අපට භාර දී ඇත්තේ කුමක්ද? අප එය රක්ෂා කළ යුත්තේ කෙසේද?

16 මෙම ප්‍රේමනීය අවවාදය අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද? තිමෝතිට වටිනා, රක්ෂා කළ යුතු යමක් භාර දී තිබිණ. ඒ කුමක්ද? පාවුල් එය මෙසේ පැහැදිලි කරයි. ‘නුඹ මාගෙන් ඇසූ සාර වූ වචනවල ආදෘශය, ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න. නුඹට භාර දුන් යහපත් දෙය අප තුළ වසන ශුද්ධාත්මය කරණකොටගෙන ආරක්ෂා කරන්න.’ (2 තිමෝති 1:13, 14) තිමෝතිට භාර දුන් දෙයට “සාරවූ වචන” ඇතුළත් විය. වෙනත් වචනවලින් කිවහොත්, එය “දේවභක්තියට එකඟ වූ ඉගැන්වීම” ලෙස හැඳින්විය හැක. (1 තිමෝති 6:3NW) මෙම වචනවලට එකඟව, වත්මන් ක්‍රිස්තියානීහු තම ඇදහිල්ලද, ඔවුන්ට භාර දී තිබෙන සත්‍යයද රක්ෂා කිරීමට අදිටන් කරගෙන සිටිති.

17 හොඳින් බයිබලය අධ්‍යයනය කිරීම, යාච්ඤාව අතපසු නොකිරීම සහ “සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට යහපත්කම්” කිරීම භාර දී තිබෙන දේ රක්ෂා කිරීමට ඇතුළත් වේ. (ගලාති 6:10; රෝම 12:11-17) පාවුල් තවදුරටත් මෙසේ අවවාද කරයි. “ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න. ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.” (1 තිමෝති 6:11, 12) පාවුල් “යහපත් සටනෙන් සටන්” කරන්න කියාද, “අල්ලාගන්න” කියාද යෙදීමෙන් පැහැදිලි වන්නේ, අපගේ ආත්මිකත්වයට හානිකර විය හැකි බලපෑම්වලට ක්‍රියාශීලීව සහ අධිෂ්ඨානපූර්වකව විරුද්ධ වී සිටිය යුතු බවය.

විචාර බුද්ධිය සඳහා අවශ්‍යතාවක්

18. ලෞකික මූලාශ්‍රවලින් තොරතුරු ලබාගැනීමේදී, ක්‍රිස්තියානීන් වශයෙන් අපට සමබරව කටයුතු කළ හැක්කේ කෙසේද?

18 ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන් කිරීම සඳහා විචාර බුද්ධියේ ඇති අවශ්‍යතාව අමතක නොකළ යුතුය. (හිතෝපදේශ 2:11; පිලිප්පි 1:11NW) නිදසුනකට, ලෞකික මූලාශ්‍රවලින් නිකුත් වන සෑම තොරතුරක් දෙසම වපර ඇසින් බැලීම සාධාරණ නැත. (පිලිප්පි 4:5; යාකොබ් 3:17) මිනිසාගේ සිතේ පහළ වන සෑම අදහසක්ම දෙවිගේ වචනයට පටහැනිව දිවයන්නේ නැත. රෝගාතුරයන් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් පැතිය යුතු බව යේසුස් පෙන්නුම් කළේය. (ලූක් 5:31) යේසුස්ගේ කාලයේ වෛද්‍ය ක්ෂේත්‍රය එතරම් දියුණු තත්වයක නොතිබුණද, වෛද්‍යවරයෙකුගෙන් උපකාර ලැබීමෙන් යම් ප්‍රයෝජනයක් අත් විය හැකි බව ඔහු පිළිගත්තේය. එමනිසා, ලෞකික මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ක්‍රිස්තියානීහු සමබරව ක්‍රියා කරති. එනමුත් ඔවුන්ගේ ආත්මිකත්වයට හානිකර විය හැකි ඕනෑම දෙයකට නිරාවරණය වීමේ අවදානමෙන්ද ඔවුහු ඉවත්ව සිටිති.

19, 20. (අ) තම දිව අඥාන ලෙස පාවිච්චි කරන අයට උපකාර කරද්දී, වැඩිමහල්ලන් විචාර බුද්ධියෙන් කටයුතු කරන්නේ කෙසේද? (ආ) බොරු ඉගැන්වීම් ප්‍රචාරය කරන අය සම්බන්ධයෙන් සභාව ක්‍රියා කරන්නේ කෙසේද?

19 ඇතැම් අවස්ථාවලදී, තම දිව අඥාන ලෙස පාවිච්චි කරන අයට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට සිදු වේ. එවැනි අවස්ථාවලදී, ඔවුන් විචාර බුද්ධියෙන් කටයුතු කළ යුතුය. (2 තිමෝති 2:7NW) සභා සාමාජිකයන් සුළු සුළු දේවල් ගැනත්, නිශ්චිත පදනමක් නොමැති තර්කයන් ගැනත් වාද කිරීමට පුළුවන. එමනිසා සභාවේ එක්සත්කම රැකගැනීම සඳහා වැඩිමහල්ලන් මෙවැනි ගැටලු ඉක්මනින් හැසිරවිය යුතුය. කෙසේවෙතත්, ඔවුන්ගේ සහෝදරයන්ට වැරදි චේතනා ඇතැයි නිගමනය නොකිරීමටත්, ඔවුන් ඇදහිල්ල අත්හරින අය ලෙස හංවඩු ගැසීමට ඉක්මන් නොවීමටත් ඔවුහු වගබලා ගනිති.

20 මෙවන් අයට උපකාර කළ යුතු ආකාරය පාවුල් මෙලෙස විස්තර කළේය. “සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න.” (ගලාති 6:1) ඇතැම් ක්‍රිස්තියානීන්ට සත්‍යය සම්බන්ධයෙන් සැක පහළ විය හැක. ඔවුන් සම්බන්ධයෙන් යූද් මෙසේ ලීවේය. “අනුමානයෙහි සිටින සමහරුන්ට දයාව පෙන්වන්න; සමහරෙකුන් ගින්නෙන් ඇදලා ගළවන්න.” (යූද් 22, 23) එනමුත්, කොතරම් අවවාද දුන්නත්, යමෙකු බොරු ඉගැන්වීම් ප්‍රචාරය කළොත්, සභාව ආරක්ෂා කිරීමේ අරමුණින් වැඩිමහල්ලන් තීරණාත්මකව කටයුතු කළ යුතුය.—1 තිමෝති 1:20; තීතස් 3:10, 11.

ගරුකටයුතු දේවලින් අපගේ මනස් පිරවීම

21, 22. අප තෝරා බේරා කටයුතු කළ යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද? අපගේ මනස් අප පුරවාගත යුත්තේ කුමන දේවලින්ද?

21 “පිළිකාවක් මෙන් පැතිරෙන” [NW] හානිකර වචනවලින් ක්‍රිස්තියානි සභාව දුරුව සිටියි. (2 තිමෝති 2:16, 17; තීතස් 3:9) මීට මුළා කරවනසුලු ලෞකික “ප්‍රඥාව,” ඇදහිල්ල අත්හැර ගොස් ඇත්තන් පතුරුවන බොරු අදහස් නැතහොත් සභාව තුළ පවා පැතිරෙන නිෂ්ප්‍රයෝජන කතා ඇතුළත් වේ. අලුත් දේවල් ඉගෙනගැනීමට ආශාවීම ප්‍රයෝජනවත් විය හැකි නමුත් කුතුහලය පාලනය නොකළොත් හානිකර අදහස්වල ග්‍රහණයට අප පහසුවෙන්ම හසු විය හැක. ඔව්, සාතන්ගේ උපායවල් අප නොදන්නවා නොවේ. (2 කොරින්ති 2:11) සාතන්ගේ අරමුණ වන්නේ අපගේ ස්ථාවරය බිඳ, දෙවි වෙනුවෙන් අප කරන සේවය අඩාල කිරීමය.

22 එසේ නම්, අපි විශ්වාසවන්ත දේවසේවකයන් මෙන්, දිව්‍ය ඉගැන්වීම් තදින් අල්ලාගැනීමට අදිටන් කරගනිමු. (1 තිමෝති 4:6) අපගේ ප්‍රයෝජනය පිණිස ලබාගන්නා තොරතුරු සම්බන්ධයෙන් තෝරා බේරා කටයුතු කිරීමෙන් අපගේ කාලය ඥානවන්තව භාවිත කරමු. සාතන් මාර්ගයෙන් ප්‍රචලිත වන තොරතුරුවලින් අපගේ ස්ථාවරය චංචල කර නොගනිමු. ඒ අනුව “යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් [මෙනෙහි කිරීම]” අපගේ දිවි පෙවෙතට ඇතුළත් කරමු. අපගේ මනස් සහ හදවත් මෙවන් දේවලින් පුරවන්නෙමු නම්, සමාදානයේ දෙවි අප සමඟ සිටිනවා නියතය.—පිලිප්පි 4:8, 9.

අප ඉගෙනගත්තේ කුමක්ද?

• ලෞකික ප්‍රඥාව අපගේ ආත්මිකත්වයට තර්ජනයක් විය හැක්කේ කෙසේද?

• ඇදහිල්ල අත්හළ අයගෙන් නිකුත් වන හානිකර තොරතුරුවලින් ආරක්ෂා වීමට අපට කුමක් කළ හැකිද?

• සභාව තුළ කවර අන්දමේ කතාබහකින් අප වැළකී සිටිය යුතුද?

• අදදින අප හමුවට එන තොරතුරු සමුදාය සම්බන්ධයෙන් තීරණ ගනිද්දී, ක්‍රිස්තියානි සමබරතාව විදහාපෙන්විය යුත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

ජනප්‍රිය සඟරා පොත්වල අඩංගු බොහෝ දේවල් අපගේ ක්‍රිස්තියානි සාරධර්මයන්ට පටහැනිය

[10වන පිටුවේ පින්තූරය]

එකම මතයක එල්බගෙන සිටින්නේ නැතුව, ක්‍රිස්තියානීන්ට අදහස් බෙදාගත හැකිය