Skip to content

පටුනට යන්න

දේවවචනය නමැති කඩුවෙන් අල්ලස් දූෂණයට එරෙහිව සටන් කිරීම

දේවවචනය නමැති කඩුවෙන් අල්ලස් දූෂණයට එරෙහිව සටන් කිරීම

දේවවචනය නමැති කඩුවෙන් අල්ලස් දූෂණයට එරෙහිව සටන් කිරීම

“සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවිට සමානව මවන ලද අලුත් පෞද්ගලිකත්වයෙන් සැරසෙන්න.”—එපීස 4:24NW.

මෙතෙක් තිබී ඇති විශිෂ්ටතම මිනිස් පාලන ක්‍රමය රෝම අධිරාජ්‍යය එහි හිණිපෙත්තටම පිවිසුණ අවධිය කියා පැවසිය හැක. රෝම නීති කොතරම් ප්‍රබලද කියා පවසනවා නම් මේ යුගයේ පවා බොහෝ රටවල නීති සංග්‍රහයන් සඳහා පදනම ලෙස ඒවා යොදාගැනේ. රෝමය බොහෝ දේ අත් කරගෙන තිබුණත්, ඔවුන්ගේ හමුදාවන්ට එක් සැඟවුණු සතුරෙකුගෙන් ජයගත නොහැකි විය. ඒ සතුරා නම් අල්ලස් දූෂණයයි. එය කොතරම් ප්‍රබල වීද යත් රෝම අධිරාජ්‍යයේ වැටීමටද හේතු විය.

ප්‍රේරිත පාවුල් මෙම වංචනික රෝම නිලධාරීන්ගෙන් පීඩා විඳි කෙනෙකි. ඔහුගෙන් ප්‍රශ්න කළ රෝම ආණ්ඩුකාරයා වූ පීලික්ස් පාවුල්ගේ නිර්දෝෂිභාවය අවබෝධ කරගත්තේය. නමුත් ඉතා වංචනික ආණ්ඩුකාරයෙක්ව සිටි පීලික්ස්, පාවුල් නිදහස් වීමට අල්ලසක් වශයෙන් යම් මුදලක් ඔහුට ලබා දෙයි යන බලාපොරොත්තුවෙන් විනිශ්චය ප්‍රමාද කළේය.—ක්‍රියා 24:22-26.

පාවුල් පීලික්ස්ට අල්ලසක් දෙනවා වෙනුවට මිත්‍රශීලීව “ධර්මිෂ්ඨකම සහ ආත්මදමනය” [NW] ගැන පැවසුවේය. පීලික්ස් ඔහුගේ ක්‍රියා පටිපාටිය වෙනස් නොකළ අතර පාවුල් අල්ලසක් දීමෙන් නීතියේ රැහැනෙන් නිදහස් වීමට තැත් නොකර සිරදඬුවම විඳගත්තේය. ඔහු සත්‍යයේ සහ අවංකකමේ පණිවුඩය දේශනා කළ අතර ඊට අනුකූලව ජීවත් විය. ඔහු යුදෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය: “අපි සියල්ලේදී යහපත්ලෙස [අවංක ලෙස, NW] හැසිරෙන්ට ආශාවෙන්, යහපත් [අවංක, NW] හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමු.”—හෙබ්‍රෙව් 13:18.

එදා තිබූ සදාචාරය සමඟ සසඳා බලන විට එවන් හැසිරීමක් හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී. පීලික්ස්ගේ සහෝදරයා වූ පාලාස් පුරාණයේ සිටි ධනවත්ම පුද්ගලයා වූ අතර ඔහු සතුව තිබූ වත්කමේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 45ක් කියා සඳහන් වේ. එම වස්තුව මුළුමනින්ම වගේ රැස් කරගෙන තිබුණේ අල්ලස් ගැනීමෙන් සහ බලහත්කාරයෙනි. නමුත් විසිවන සියවසේ වංචනික පාලකයින් රහස් බැංකු ගිණුම්වල සඟවා ඇති ඩොලර් බිලියන ගණන සමඟ සසඳන විට නම් ඔහුගේ වත්කම් කිසිත් නැති තරම්ය. තත්වය මෙසේ තිබියදීත් ආණ්ඩු මගින් අල්ලස් දූෂණය පිටුදැකීමේ සටන ජයගෙන ඇතැයි පැවසීම ඇත්තෙන්ම මුවගට සිනා රැල්ලක් මතු කරවන්නකි.

අල්ලස් දූෂණය මෙතරම් කාලයකට පැවත ඇති නිසා, එය මිනිස් ස්වභාවයේ අනිවාර්ය අංගයක් කියා සිතිය යුතුද? නැතිනම් දූෂණය මැඩලීමට කිසිවක් කළ හැකිද?

අල්ලස් දූෂණය මැඩලිය හැක්කේ කෙසේද?

අන්‍යයන්ට පාඩු සිදු කරමින් වාසි ලබාගන්නාවූ ප්‍රතිපත්ති ගරු නොකරන කෙනෙකුට අල්ලස් දූෂණය වාසියක් වුවත්, එය විනාශකාරි මෙන්ම වැරදිසහගත දෙයක් කියා අප තේරුම්ගත යුතුයි. අල්ලස් දූෂණ මැඩලීමේ පළමු පියවර එයයි. මේ කාරණය සම්බන්ධයෙන් නම්, යම් තාක් දුරකට දියුණුවක් ලබා තිබෙනවා කියා පැවසිය හැක. අමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජෙම්ස් ෆෝලි පැවසුවේ මෙසේය: “අල්ලස් ගැනීමෙන් ඇති වන ප්‍රතිවිපාක අප තේරුම්ගත යුතුයි. අල්ලස් ගැනීම, හොඳ ආණ්ඩුවක් පවා විනාශ කරන්න හේතු වෙන්න පුළුවන්. ආර්ථිකයේ ඵලදායිතාවට සහ සංවර්ධනයට එය හානියක් කරන්න පුළුවන්. වෙළඳ කටයුතුවලට බාධා ඇති කරනවා විතරක් නෙවෙයි, එය මුළු ලෝකය පුරාම සිටින ජනතාවට පාඩු සිදු කරනවා.” ඔහුගේ මෙම අදහසට බොහෝදෙනෙක් එකඟ වනු ඇත. වර්ෂ 1997 දෙසැම්බර් 17වන දින ප්‍රමුඛ පෙළේ රටවල් 34ක් “අල්ලස් දූෂණය වැළැක්වීම සඳහා සම්මුතියකට” අත්සන් තැබීය. “ලෝක ව්‍යාප්ත අල්ලස් දූෂණය පිටුදැකීමේ සටනට දායක වන සේ” මෙය සකසා ඇත. එහි මෙසේ සඳහන් වේ: “ජාත්‍යන්තර ව්‍යාපාර ගනුදෙනුවක් ඇරඹීමට හෝ පවත්වාගෙන යෑමට විදේශ ආණ්ඩු නිලධාරියෙකුට අල්ලසක් දීම හෝ එසේ දෙන බවට පොරොන්දු වීම අපරාධයක් සේ සලකනු ලබයි.”

ව්‍යාපාර ගනුදෙනුවක් වෙනුවෙන් අල්ලසක් දීම ඇත්තෙන්ම අල්ලස් දූෂණයේ එක් පැතිකඩක් පමණි. මනුෂ්‍යයන්ගේ හෘදයේ ආකල්පය වෙනස් කිරීම, අල්ලස් දූෂණය මුලිනුපුටා දැමීමේ මෙම ලෝක ව්‍යාප්ත සටනට උර දෙන දෙවන පියවර වේ. මෙය බැරෑරුම් පියවරකි. මන්ද පුද්ගලයෙකුගේ හෘදය නැතහොත් බොහෝදෙනෙකුගේ හෘදයන් වෙනස් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන නිසයි. සෑම පෙදෙසකම සිටින ජනයා පගා ගැනීම සහ අල්ලස් දූෂණය එකහෙළා ප්‍රතික්ෂේප කළ යුතුයි. අයුතු ලෙස මුදල් ලබාගැනීම තුරන් කළ හැකි වන්නේ එවිට පමණි. “ආණ්ඩු ජනතාවගේ සිත් තුළ යහපත් ගුණාංග වගා කිරීමට දිරි දිය යුතුයි” කියා සමහරෙකුට හැඟී ගොස් ඇති බව නියූස්වීක් සඟරාව පවසයි. වැඩ කරන ස්ථානයේදී “වංක පිළිවෙත් පිටුදැකිය යුතුයි” කියා අල්ලස් දූෂණය පිටුදැකීමට ක්‍රියා කරන ට්‍රාන්ස්පරන්සි ඉන්ටනැෂනල් නමැති සංගමයද ප්‍රකාශ කළේය.

අල්ලස් දූෂණය පිටුදැකීමේ සටන සදාචාරය හා බැඳි යමක් මිසක නීති පැනවීමෙන් හෝ දඬුවම් නියම කිරීමෙන් වළක්වාගත හැකි යමක් නොවෙයි. (රෝම 13:4, 5) මෙයට අවශ්‍ය කරන්නේ යහපත්කම සහ විශ්වාසවන්තකම නමැති බීජ මිනිස් හදවත නමැති පසෙහි වගා කිරීමය. මෙය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ ‘ආත්මයේ කඩුව’ ලෙස ප්‍රේරිත පාවුල් විස්තර කර ඇති දෙවිගේ වචනය වන බයිබලය යොදාගැනීමෙන්ය.—එපීස 6:17.

බයිබලය අල්ලස් දූෂණය හෙළා දකියි

පාවුල් අල්ලස් දූෂණයට ඉඩ නුදුන්නේ මන්ද? ඔහුට අවශ්‍ය වූයේ “තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් [නැති]” දෙවිගේ කැමැත්ත කිරීමටය. (ද්විතීය කථාව 10:17) ඊටත් වඩා “තරාතිරම් නොබලන්න, අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය” යන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වැදගත් උපදේශය පාවුල්ගේ මතකයේ රැව්පිළිරැව් දුන් බවට කිසිම සැකයක් නැත. (ද්විතීය කථාව 16:19) යෙහෝවා දෙවි අල්ලස් දූෂණය හෙළා දකින බව දාවිත් රජුත් තේරුම්ගත් අතර, ඔහු “දකුණත අල්ලසින් පිරී [තිබෙන]” පව්කාරයන් සමඟ තමන්ව ගණන් නොගන්නා ලෙස දෙවිගෙන් අයැද සිටියේය.—ගීතාවලිය 26:10.

දෙවිට අවංකව නමස්කාර කරන්න ආශා වන අයට අල්ලස් දූෂණය ප්‍රතික්ෂේප කිරීමට තවත් අමතර හේතුවක් ඇත. එය සාලමොන් රජ පැවසූ දෙයින් සොයාගත හැක. “යුක්තියෙන් රජ කෙනෙකු රටට ස්ථාවරයක් ලබා දෙයි. නමුත් අල්ලසට කෑදර වීම එය පෙරළා දමයි.” (හිතෝපදේශ 29:4 නියු ඉන්ටනැෂනල් ව’ෂන්) විශේෂයෙන්ම උසස් නිලධාරියාගේ සිට පහත් නිලධාරියා දක්වා යුක්තිය ක්‍රියාත්මක කිරීම ස්ථාවරත්වයට මුලපිරීමක් වන අතර දූෂණය රජයන්ට ඉඩ දීම දිළිඳුභාවය රටට වඩම්මවා ගැනීමකි. මෙය නියූස්වීක් සඟරාව මැනවින් පෙන්වා දෙයි: “සෑම කෙනෙක්ම අල්ලස් දූෂණයෙන් ලැබෙන වාසි රස බැලීමට රුචිකත්වයක් දක්වන පාලන ක්‍රමයක, ආර්ථිකය බිඳ වැටීම නියත වශයෙන්ම සිදු වන දෙයක්.”

සමහරවිට ආර්ථිකය බිඳ නොවැටුණත්, ඉවක් බවක් නොමැතිව කෙරෙන අල්ලස් දූෂණය නිසා යුක්තියට ගරු කරන ජනයා කලකිරීමට පත් වෙති. (ගීතාවලිය 73:3, 13) මෙය යුක්තිය සඳහා සහජ නැඹුරුවාවක් ඇතුව අපව සෑදූ අපගේ මැවුම්කරුටද විරුද්ධව කරන වරදකි. අතීතයේදී ඉතාමත් පිළිකුල්සහගත ලෙස පැතිර තිබූ අල්ලස් දූෂණයන් යෙහෝවා දෙවි තම මැදිහත් වීම තුළින් නැති කර දැමීය. උදාහරණයකට, යෙරුසලමේ වැසියන්ව ඔවුන්ගේ සතුරන්ගේ අතට නතුවීම සඳහා ඉඩහැරීමට හේතුව කුමක්ද කියා ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේය.

ඔහුගේ අනාගතවක්තෘවරයෙක් වූ මීකා මාර්ගයෙන් දෙවි මෙසේ පැවසීය: “යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් [පෙරළන] . . . යාකොබ්ගේ වංශයේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, මේක අසන්න. එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. . . . එබැවින් නුඹලා නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වෙනවා ඇත.” ශතවර්ෂ ගණනාවකට පසුව රෝම අධිරාජ්‍යයට සිදු වූ ලෙසම අල්ලස් දූෂණය නිසා ඉශ්‍රායෙල් සමාජයත් විනාශ වී ගියේය. මීකා මෙම වචන ලියා අවුරුදු සියයක් ගත වූ පසු, දෙවිගේ අනතුරු ඇඟවීම සැබෑ කරවමින් යෙරුසලම විනාශ වී පාළු නගරයක් බවට පත් විය.—මීකා 3:9-12.

කිසිම මනුෂ්‍යයෙක් හෝ ජාතියක් වංචනික විය යුතු නැත. දුෂ්ටයන්ට තම ජීවිත රටාව සහ සිතන ආකාරය වෙනස් කරගැනීමට දෙවි උනන්දු කරයි. (යෙසායා 55:7) ඔහුට අවශ්‍ය කරන්නේ සෑම කෙනෙකුම ගිජුකම වෙනුවට පරාර්ථකාමිත්වය සහ දූෂණය වෙනුවට යුක්තිය තෝරාගන්නවා දැකීමය. “දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ [මැවුම්කරුට] නින්දාකරන්නේය. එහෙත් දිළිඳාට කරුණාකරන්නා [ඔහුට] ගෞරවකරන්නේය” කියා යෙහෝවා අපට සිහිපත් කරයි.—හිතෝපදේශ 14:31.

බයිබල් සත්‍යයෙන් අල්ලස් දූෂණය පිටුදැකීමේ සටන ජයගැනීම

මෙවන් වෙනසක් කිරීමට යම් පුද්ගලයෙකුව පොලඹවන්නේ කුමක්ද? ඒ, ප්‍රේරිත පාවුල් ඵරිසිවරයෙකු හැටියට ගත කළ ජීවිතය අත්හැර යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීමට පෙලඹූ දෙයයි. ඔහු මෙසේ ලීවේය: ‘දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය.’ (හෙබ්‍රෙව් 4:12) අදදිනත් එවැනි වංචනික ක්‍රියාවල තදින් ඇලී ගැලී සිටි කෙනෙකුව පවා අවංක කෙනෙකු කිරීමට බයිබල් සත්‍යය කදිම පිටුවහලක් වී තිබෙන ආකාරය උදාහරණයකින් සලකා බැලිය හැක.

නැඟෙනහිර යුරෝපයේ සිටින ඇලෙක්සැන්ඩර් තම හමුදා සේවය අවසන් කර වැඩි කලක් යන්න පෙර හොර ජාවාරම්, මංකොල්ලකෑම් සහ අල්ලස් ගැනීම්වල නිරත වූ කල්ලියකට එකතු විය. a “මට ලැබුණ පැවරුම තමයි ධනවත් ව්‍යාපාරිකයන්ගෙන්, ඔවුන්ව රැක දෙන මුවාවෙන් මුදල් වංචා කිරීම” කියා ඔහු පැවසීය. “මම ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනාගත්තට පස්සේ, කල්ලියේ අනිත් කට්ටිය සාහසික ආකාරයට ඔහුට තර්ජනය කළා. මට හොඳ ගානක් දුන්නොත් එම ප්‍රශ්නය විසඳීමට මම ඉදිරිපත් වෙනවා. ඇත්තටම මමයි මේ හැම දෙයකටම මුල. එහෙත් කිසිවක් නොදන්න මගේ ‘ගනුදෙනුකරුවා’ එයාලාගේ ප්‍රශ්නයට මැදිහත් වෙලා උපකාර කළාට මට ස්තුති කෙරුවා. ටිකක් අමුතු තාලේ වැඩක්. නමුත් ඒක මගේ රැකියාවේ මම ආසම කරපු එක පැත්තක්.

“එවගේම මට ලැබුණ මිල මුදල් සහ එම ජීවන රටාවෙන් ලබා දුන් විනෝදයට මම ආස කළා. මට වටිනා කාර් එකක්, සුඛෝපභෝගි නිවසක් තිබුණා. එවගේම මට කැමති දෙයක් ගන්න ඕන තරම් සල්ලි මා ළඟ තිබුණා. මිනිස්සු මට භය වුණ නිසා මට සෑහෙන බලයක් තියෙනවා කියලා මට හැඟුණා. කිසි කෙනෙකුට මට විරුද්ධව අතක් උස්සන්නවත් බැහැ කියලත්, නීතිය වුණත් මට යටයි කියලත් හිතුණා. පොලිසියත් සමඟ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අදාළ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට පගාවක් දීලා හරි දක්ෂ නීතිඥයෙක් මාර්ගයෙන් හරි නීතිය මගේ පැත්තට හරවගන්න මට පුළුවන් වුණා.

“හැබැයි, එවගේ වංචනික ලෙස ජීවත් වන අය අතරේ විශ්වාසවන්තකමක් තිබුණොත් නම් ඒක පුදුමයක්. කොහොම හරි කල්ලියේ එක්කෙනෙක් මට අකමැති වෙන්න පටන්ගත්තා. මාව ගණන් ගත්තේ නෑ. නොහිතපු විදියට මගේ වටිනා කාර් එක, මගේ සල්ලි, මගේ ළඟ නිතර ගැවසුණ, මම අත දිගහැරලා වියදම් කළ පෙම්වතිය මට නැති වුණා. ඒ විතරක් නෙවෙයි මට ශාරීරිකවත් පහර දුන්නා. මේ සිදු වුණ හැම දෙයකින්ම ජීවිතයේ අරමුණ කුමක්ද කියා සිතන්න මාව පෙලඹුවා.

“මාස කීපයකට පෙර මගේ අම්මා යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් බවට පත් වූ අතර මම ඔවුන්ගේ ප්‍රකාශන කියවීමට පටන්ගත්තා. හිතෝපදේශ 4:14, 15හි පවසන දේ, මාව හිතන්න පෙලඹුවා. ‘දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන් නොකරන්න. එයින් වැළකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.’ සාහසික ජීවන මාර්ගයක් ගත කරන ඕනෑම කෙනෙකුට අනාගතයක් නැති බව මේ වගේ බයිබල් කොටස් මගින් මට තේරුම්ගියා. මට හරි මාර්ගයෙහි යෑමට උපදෙස් දෙන්න කියලා යෙහෝවාට මම යාච්ඤා කළා. පසුව යෙහෝවාගේ සාක්ෂිකාරයන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර යෙහෝවාට මගේ ජීවිතය කැප කළා. එදා සිට මම අවංක ජීවිතයක් ගත කරනවා.

“අවංක ප්‍රතිපත්ති අනුව ජීවත් වෙනවා කියන්නේ, උපයාගන්න පුළුවන් මුදල් ප්‍රමාණය ටිකයි කියන එකයි. එහෙත් මට ස්ථිර අනාගතයක් සහ ජීවිතයට සැබෑ අරුතක් තියෙනවා කියලා මට දැන් හැඟෙනවා. මම කලින් ගත කළ ජීවිතයේ හැම දෙයක්ම හරියට කොයි මොහොතේ හෝ කඩා වැටිය හැකි වෙරළේ තනපු සෙල්ලම් ගෙයක් වගෙයි. ඉස්සර මට හොඳ හෘදසාක්ෂියක් තිබුණේ නෑ. බයිබලය පාඩම් කළාට පස්සේ පුංචි වංක දෙයක් හරි කරන්න පරීක්ෂාවක් ඇති වුණොත් මගේ හිත වද දෙනවා. මම ගීතාවලිය 37:3ට එකඟව ජීවත් වෙන්න උත්සාහ දරනවා. එහි පවසන්නේ: ‘යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරන්න; දේශයෙහි වාසය කරමින් විශ්වාසකම අනුව යන්න’ කියලයි.”

“අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය

ඇලෙක්සැන්ඩර් තේරුම්ගත් ආකාරයට අල්ලස් දූෂණයේ නිරත වන කෙනෙකුට බයිබල් සත්‍යයේ උපකාරයෙන් ඉන් මිදීමට පුළුවන. ප්‍රේරිත පාවුල් විසින් එපීසවරුන්ට ලියන ලද ලිපියේ සඳහන් දෙයට එකඟව ඔහු වෙනස්කම් සිදු කළේය. එහි මෙසේ පවසයි: “නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා, නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ, සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [දෙවිට] සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්න . . . බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය. . . . සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන් වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.” (එපීස 4:22-25, 28) මනුෂ්‍යවර්ගයාගේ අනාගතය රැඳී ඇත්තේ එවන් වෙනසක් සිදු කිරීම මත බව සැලකිල්ලට ගත යුතුයි.

ගිජුකම සහ අල්ලස් දූෂණය මැඩලීමට කිසිවක් නොකිරීම නිසා රෝම අධිරාජ්‍යයේ විනාශයට එය දායක වූ ආකාරයටම, පොළොව විනාශ කිරීමටත් එයට හැකියාවක් ඇත. මනුෂ්‍යයාගේ මැවුම්කරු එවැනි ක්‍රියාවන් සිදුවීමට ඉඩහරින්නේ නැති නිසා එය ඇත්තෙන්ම ප්‍රීතියට කාරණයකි. ‘පොළොව විනාශකරන්නවුන් විනාශ කිරීමට’ ඔහු අධිෂ්ඨාන කරගෙන ඇත. (එළිදරව් 11:18) එවගේම අල්ලස් දූෂණයෙන් තොර ලොවක් බලා සිටින අය වෙනුවෙන් ඉතාමත් ඉක්මනින් “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ලබා දීමට යෙහෝවා දෙවි පොරොන්දු වෙයි.—2 පේතෘස් 3:13.

අදදින අවංක ප්‍රතිපත්ති අනුව ජීවත් වීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව ඇත්තයි. එසේ වුවත් යෙහෝවා අපට දිගු කාලීන ප්‍රයෝජන සහතික කරයි. “ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.” b (හිතෝපදේශ 15:27) දැන් සිටම අල්ලස් දූෂණය පිටුදැකීමෙන් “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියා දෙවිට අප කරන යාච්ඤාවේදී අපි අපගේ අවංකකම පිළිබිඹු කරන්නෙමු.—මතෙව් 6:9, 10.

දෙවිගේ රාජ්‍යය එන තුරු බලා සිටින අතරතුර, අප එකිනෙකාට අල්ලස් දූෂණයට රුකුල් දීම හෝ එවැනි ක්‍රියාවල නිරත වීම ප්‍රතික්ෂේප කිරීමෙන් ‘ධර්මිෂ්ඨකමේ බීජ වගා’ කළ හැකියි. (හොෂෙයා 10:12) අපි එසේ කිරීමෙන්, අපේ ජීවිත තුළින් දේවානුභාවය ලත් දෙවිගේ වචනයේ ඇති බලය ක්‍රියාත්මක වන ආකාරයට සාක්ෂි සපයන්නෙමු. අල්ලස් දූෂණය පරාජය කළ හැකි එකම කඩුව දේවවචනය නමැති ආත්මයේ කඩුවයි.

[පාදසටහන්වල]

a ඔහුගේ නම වෙනස් කර ඇත.

b අල්ලස හා සන්තෝසම අතර වෙනසක් තිබේ. සාමාන්‍යයෙන් අල්ලසක් දෙනු ලබන්නේ යුක්තිය පෙරළීමට හෝ වංක අරමුණක් සඳහාය. සන්තෝසමක් දෙනු ලබන්නේ කළ සේවයක් අගය කිරීමටය. මෙය 1987 පෙබරවාරි 1වන මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යටතේ පැහැදිලි කරනු ලැබීය.

[7වන පිටුවේ පින්තූරය]

බයිබලයෙන් ලැබෙන උපකාරයෙන් ‘අලුත් පෞද්ගලිකත්වයක්’ පැළඳගැනීමෙන් අල්ලස් දූෂණය පිටුදැකිය හැක