Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් පවුල් ජීවිතය අන්‍යයන්ව දෙවිට ළං කරයි

ප්‍රීතිමත් පවුල් ජීවිතය අන්‍යයන්ව දෙවිට ළං කරයි

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ප්‍රීතිමත් පවුල් ජීවිතය අන්‍යයන්ව දෙවිට ළං කරයි

යෙහෝවා යෝසෙප්ට මහත් ප්‍රඥාවක් හා විචාර බුද්ධියක් දුන්නා. (ක්‍රියා 7:10) ප්‍රතිඵලයක් වශයෙන්, යෝසෙප්ගේ තීක්ෂ්ණ බුද්ධිය, ‘හොඳ මට්ටමක තිබෙන බව ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද ඔප්පු වුණා.’—උත්පත්ති 41:37NW.

එලෙසම අදදිනත්, බයිබල් අධ්‍යයනය තුළින් තීක්ෂ්ණ බුද්ධිය හා විචාර බුද්ධිය ලබාගැනීමට යෙහෝවා තම ජනයාට උපකාර කරනවා. (2 තිමෝති 3:16) බයිබලය මත පදනම් උපදෙස් අදාළ කරගන්නා විට එම ප්‍රඥාව හා විචාර බුද්ධිය හොඳ ඵල උපදවනවා. මතු දැක්වෙන සිම්බාබ්වේහි අද්දැකීම්වලින් පෙන්වන ආකාරයට, ඔවුන්ගේ යහපත් හැසිරීම බොහෝවිට ‘එය නිරීක්ෂණය කරන්නන්ගේ නෙත් හමුවේ හොඳ මට්ටමක පවතින බව ඔප්පු’ වී තිබෙනවා.

• එක් ස්ත්‍රියකට යෙහෝවාගේ සාක්ෂිකාර අසල්වැසියන් සිටියා. සාක්ෂිකරුවන්ට අකමැති වුවත්, ඈ එම පවුලේ හැසිරීම, විශේෂයෙන්ම ඔවුන් තම තමන්ගේ නිවෙස්වල ගත කළ ජීවිතය අගය කළා. එම බිරිඳ හා සැමියා අතර හොඳ සබඳතාවක් තිබෙන බවත්, ඔවුන්ගේ දරුවන් කීකරු බවත් ඇය නිරීක්ෂණය කළා. ඈ විශේෂයෙන්ම දැක්ක දෙයක් තමයි සැමියා බිරිඳට හුඟක් ආදරේ බව.

සැමියා බිරිඳට ආදරේ නම්, බිරිඳ ඔහුව “මෙල්ල” කරගැනීමට මැජික් එකක් කරලා තිබෙනවා විය යුතුයි යන්න, සමහර අප්‍රිකානු සංස්කෘතීන්වල තිබෙන පොදු විශ්වාසයක්. එබැවින් ස්ත්‍රිය සාක්ෂිකාර බිරිඳ ළඟට ගොස් මෙසේ ඇසුවා: “ඔයා ඔයාගේ මහත්තයට කරපු මැජික් එක මටත් කියලා දෙන්න පුළුවන්ද? එතකොට ඔයාගේ මහත්තයා ඔයාට ආදරේ කරනවා වගේම මගේ මහත්තයත් මට ආදරේ කරයි.” “ආ, ඔව්, මම ඒක හෙට දවල්ට ඔයාට කරලම පෙන්නන්නම්කෝ” කියා සාක්ෂිකාරිය පිළිතුරු දුන්නා.

ඊළඟ දවසේ, සහෝදරිය තම “මැජික් එක” කරලා පෙන්නන්න අසල්වැසි ස්ත්‍රියව හම්බ වෙන්න ගියා. මොකක්ද ඒ මැජික් එක? ඒ බයිබලයයි, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතයි. ‘දෙවිට ගරු කරන පවුලක් ගොඩනැංවීම’ යන විෂය සම්බන්ධයෙන් දැනුම පොතෙන් තොරතුරු සලකා බැලුවායින් පසුව ඇය ස්ත්‍රියට මෙසේ පැවසුවා: “මගේ මහත්තයත් මමත් අපි දෙන්නවම ‘මෙල්ල’ කරගන්න පාවිච්චි කරන ‘මැජික් එක’ මේක තමයි. ඒ නිසයි අපි දෙන්නා හුඟක් ආදරෙන් ඉන්නෙ.” බයිබල් පාඩමක් පටන්ගත් අතර, වතුර බව්තීස්මයෙන් යෙහෝවාට තම කැපවීම සංකේතවත් කරන තරමටම ස්ත්‍රිය ඉක්මනින් ප්‍රගතියක් ලැබුවා.

• සිම්බාබ්වේ හා මොසැම්බික්හි, ඊසානදිග දේශ සීමාවන් අසල කුඩා නගරයක සේවය කිරීමට පැවරුම් ලැබූ විශේෂ පුරෝගාමීන් දෙන්නෙක්, සති දෙකකට ගෙයින්-ගෙට දේශනා සේවයේ ගියේ නැහැ. ඇයි? ඔවුන් පවසන දේ ඇසීමට ජනයා ඔවුන් වෙත පැමිණුණ නිසයි. මෙහෙම වෙන්න හේතුව ගැන එක් පුරෝගාමියෙක් මෙසේ විස්තර කරනවා: “උනන්දුව දැක්වුව කෙනෙක් එක්ක සතිපතා බයිබල් පාඩමක් පවත්වන්න අපි කිලෝමීටර් 15ක් ගමන් කළා. ඒ ප්‍රදේශයට යන එක ලේසි පහසු දෙයක් වුණේ නැහැ. මඩ ගොඩේ ඇවිදින්නත්, ඒ වගේම අපේ බෙල්ල ළඟටම අපිව ගිලෙන ගඟක් හරහා යන්නත් අපිට සිද්ධ වුණා. මේ නිසා, අපේ ඇඳුම් හා සපත්තු ඔළුවේ සමබරව තියාගෙන ගඟෙන් එතෙර වෙලා, ඊට පස්සේ ආපහු ඇඳගන්න අපිට සිද්ධ වුණා.

“අපේ ජ්වලිතය දැකලා උනන්දුව දැක්වුව කෙනාගේ අසල්වැසියන් හුඟක් පුදුම වුණා. නිරීක්ෂණය කළ අය අතර එහෙ ආගමික සංවිධානයක නායකයෙකුත් හිටියා. ‘අර තරුණ යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙන්නා වගේ ජ්වලිත වෙන්න ඕගොල්ලනුත් කැමති නැද්ද?’ කියලා ඔහු ඔහුගේ අනුගාමිකයන්ගෙන් ඇහුවා. අපි මේ තරම්ම උත්සාහ කරන්නේ ඇයි කියලා දැනගන්න ඊළඟ දවසේදී ඔහුගේ අනුගාමිකයන්ගෙන් හුඟදෙනෙක් අපේ නිවසට ආවා. ඊළඟ සති දෙකේදී, අපේ ගෙදරට කොච්චර අමුත්තන් ආවද කියනවා නම් අපේ කෑමවත් පිළියෙළ කරගන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ!”

මේ සති දෙක තුළදී පුරෝගාමීන්ගේ නිවසට පැමිණි අයගෙන් එක්කෙනෙකි ආගමික නායකයා. ඔහු නිවාස බයිබල් පාඩමක් කිරීමට කැමති වූ විට පුරෝගාමීන් මොනතරම් සතුටු වෙන්න ඇද්ද!