Skip to content

පටුනට යන්න

යෙහෝවාට ගෞරවය ගෙන දෙන ප්‍රීතිමත් විවාහ මංගල්‍යයන්

යෙහෝවාට ගෞරවය ගෙන දෙන ප්‍රීතිමත් විවාහ මංගල්‍යයන්

යෙහෝවාට ගෞරවය ගෙන දෙන ප්‍රීතිමත් විවාහ මංගල්‍යයන්

වෙල්ෂ් හා එල්තියා එක්දහස් නවසිය අසූපහේදී යුග දිවියට පා තැබූහ. මේ විවාහ උත්සවය සිදු වූයේ දකුණු අප්‍රිකාවේ සොවේටෝ නගරයේදීය. ඔවුන්ගේ ජීවිතයේ සුන්දර වූ ඒ විවාහ මංගල්‍ය දිනයේ ඡායාරූප සින්සී නම් තමන්ගේ දියණිය සමඟ එක් වී විටින් විට බලන්න මෙම යුවළ තවමත් ආශාවක් දක්වයි. එදා තම අම්මා කෙතරම් ලස්සනට සිටියාද කියා දුටුවාම සින්සීට පුදුම සතුටක් දැනේ. එම උත්සවයට පැමිණියේ කවුද කියා බලාගන්නත් ඇයට ඇත්තේ මහත් ආශාවකි.

සොවේටෝ නගරයේ පැවැත්වූ මෙම විවාහ මංගල්‍යය ආරම්භ වූයේ බයිබලය මත පදනම් කරගත් කතාවක් පැවැත්වීමෙනි. ඉන්පසු යෞවන ක්‍රිස්තියානීන් පිරිසක් දෙවිට අලංකාර ප්‍රශංසා ගීත කිහිපයක් ගැයූහ. පසුව ආරාධිතයන් භුක්ති වින්දේ රසවත් භෝජන සංග්‍රහයකි. ඒ කාලය අතරතුර, පටිගත කරන ලද රාජ්‍ය ගීතිකා කිහිපයක සංගීතය අසමින්ද ඔවුන් වින්දනයක් ලැබීය. මෙම උත්සවයේදී මත්පැන් කිසිවක් භාවිත නොවිණ. ඝෝෂාකාරි සංගීතය හෝ නැටීම කොහෙත්ම අසන්ටවත් දකින්ටවත් නොලැබිණ. ඒ වෙනුවට ආරාධිතයෝ, අතිනත ගත් මේ යුවළට සුභ පතන්ට කාලය යොදාගත්හ. මේ සියල්ලටම ගත වූයේ පැය තුනක පමණ කාලයකි. “ඒ උත්සවය මතක් වෙන කොට මට කවදත් ලොකු සතුටක් දැනෙනවා” කියා රේමන්ඩ් නම් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් පවසයි.

ඔවුන් විවාහ වන විට සේවය කරමින් සිටියේ දකුණු අප්‍රිකාවේ වොච් ටවර් සමිතියෙහි ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවකයන් ලෙසයි. එහෙයින් තම විවාහ මංගල්‍යයට අධික ලෙස වියදම් කිරීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ. ඊට වෙනස්ව තවත් සමහරු තමන්ට හැකි ප්‍රමාණයටත් වඩා වියදම් කරමින් මහ විශාල විවාහ මංගල්‍යයන් පවත්වා ඇත. ඒ සඳහා ගත් අධික ණය ප්‍රමාණය නිසා ඔවුන් අසරණ වී ඇති අතර, එය පියවීමට පූර්ණ කාලීන සේවය තාවකාලිකව නවතා ලෞකික රැකියා කිරීමටද බොහෝවිට සිදු වී තිබේ. වෙල්ෂ්ට සහ එල්තියාට, විවාහයෙන් පසු එලෙස පසුතැවිලි වෙන්නටවත් අන් අයගේ පිහිට පතන්නටවත් කිසිදු අවශ්‍යතාවක් නොතිබිණ. තවද තමන්ගේ පුළුවන්කමට අනුව විවාහ මංගල්‍යයක් පැවැත්වීමෙන් ඔවුන්ට විශේෂ වරප්‍රසාදයක්, එනම් සින්සීගේ උපත සිදු වන තෙක් පූර්ණ කාලීන සේවයේ නියැලීමේ ප්‍රස්තාව ලැබිණ.

විවාහ වන දෙපළ විශාල විවාහ මංගල්‍යයක් පැවැත්වීමට තරම් යමක් කමක් ඇති අය නම් තත්වය කුමක්ද? එහිදී ඔවුන් ලෞකික සංගීතය හා නැටුම් ඇතුළත් සාදයක් පැවැත්විය හැක. එහි මත්පැන් තිබෙන්ටත් පුළුවන. මෙවන් දේ අඩංගු සාදයක් දෙවිට නමස්කාර කරන්නන්ට සහභාගි වීමට සුදුසු ආකාරයෙන් පැවැත්විය හැක්කේ කෙසේද? කරන්ට යන සෑම දෙයක්ම ඉතාමත් කල්පනාකාරිව සැලසුම් කළ යුතුයි. එවන් අවස්ථාවකදී නුසුදුසු දේ සිදුවීමට තිබෙන අවකාශය වැඩි නිසා නිතරම අවදියෙන් සිටින්න. බයිබලයේ උපදෙස මෙයයි: “නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල [දෙවිගේ] ගෞරවය පිණිස කරන්න.”—1 කොරින්ති 10:31.

මංගල්‍ය ඝෝෂා සුදුසු නැත

විවාහ මංගල්‍යයක් විශාල එකතුවක් ලෙස පැවැත්තුවත්, කුඩා එකතුවක් ලෙස පැවැත්තුවත් එය ඉතාමත් සුන්දර හා ප්‍රීතිමත් අවස්ථාවකි. එහෙත් සැප සෙල්ලම සොයා අන්තයටම ගියොත් තත්වය අන්තරා සහිතය. සාක්ෂිකරුවන් නොවන අයගේ විවාහ මංගල්‍යයන්වල බොහෝවිට දක්නට ලැබෙන නීච හැසිරීම දෙවිට අගෞරවයකි. වෙරි වීම එවන් ස්ථානවල දකින්න ලැබෙන සාමාන්‍ය දෙයකි. එහෙත් වඩාත් කනගාටුදායක දෙයක් මෙහිදී සඳහන් කළ යුතුය. එනම් මෙවැනි හැසිරීමක් සමහර සාක්ෂිකරුවන්ගේ විවාහ මංගල්‍යවලත් දක්නට ලැබීමයි.

“මද්‍යපානය කෝලාහලකාරයෙක්ය” කියා බයිබලය කියයි. (හිතෝපදේශ 20:1) “කෝලාහලකාරයෙක්” යන වචනය පරිවර්තනය කර තිබෙන්නේ හෙබ්‍රෙව් භාෂාවේ “මහත් ශබ්දය ඇතිකරන්නෙක්” යන අරුත ඇති වචනයෙනි. ටිකක් හිතල බලන්න. වෙරි වෙන එක් එක්කෙනා කෑ ගහන්න පටන්ගන්නවා නම් එවැනි අයගෙන් පිරුණු සාදයක් කොහොම තිබේවිද! පාලනයකින් තොර සාදයන් ‘බේබදුකම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්’ ඇති කලහකාරි තත්වයකට විගස පෙරළීමට බොහෝ ඉඩ කඩ ඇත. මෙම හැසිරීම බයිබලයෙහි “මාංසයේ ක්‍රියා” ලෙස හඳුන්වයි. මෙවැනි ක්‍රියා කොතරම් බරපතළද කිවහොත් කිසිදු තැකීමක් හෝ පසුතැවිල්ලක් නැතුව ඒවායෙහි සහභාගි වන අයට සදාකාල ජීවනය පවා අහිමි විය හැක.—ගලාති 5:19-21.

“මංගල්‍යඝෝෂා” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය යොදාගත්තේ සංගීත භාණ්ඩ රැගෙන පාර දිගේ කෑගසමින්, සින්දු කිය කියා නටමින් පෙරහැරක ගමන් කළ වෙරි වූ යෞවන කණ්ඩායමක් විස්තර කිරීමටය. විවාහ මංගල්‍යයක මත්පැන් වැඩි වන විට ඝෝෂාකාරි සංගීතයද අශිෂ්ට නැටුම්ද වැඩි වෙයි. එවිට පැමිණ සිටින පිරිසගේ හැසිරීම පහත වැටෙන බව නිසැකයි. මුළු උත්සවයම පහත් නීච තත්වයකට පත් විය හැක. බීමත්කම එක් දෙයක් පමණයි. මෙවැනි පරිසරයක සිදු විය හැකි අශිෂ්ට ක්‍රියා බහුලය. ආත්මික හා සදාචාරමය අතින් දුර්වල අය පහසුවෙන්ම “වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම” වැනි දේට ගොදුරු වුවහොත් එය පුදුමයක්ද නොවේ. කුඩා දෙයකට පවා කිපීම බේබද්දෙකුගේ සාමාන්‍ය ගති ලක්ෂණයක්. එහෙයින් ‘ක්‍රෝධය’ නිසා එක් එක්කෙනා අතර දබර ඇතිවීම, පහසුවෙන්ම සිදු විය හැකි තවත් ගැටලුවකි. ඔබේ සුන්දර විවාහ මංගල්‍ය දවසට කිසිම දිනක මැකිය නොහැකි කැළැලක් ඇති කළ හැකි මෙවැනි මාංශයේ ක්‍රියා සිදු නොවීමට වගබලා ගත හැක්කේ කෙසේද? බයිබලයේ විස්තර කර ඇති එක් විවාහ මංගල්‍යයක් අපට කදිම මඟ පෙන්වීමක් සපයයි. දැන් ටික වෙලාවකට අපේ අවධානය එය වෙතට යොමු කරමු.

යේසුස් ගිය විවාහ මංගල්‍යයක්

ගලීලයේ කානා නුවරෙහි මෙම උත්සවය පැවැත්විණ. යේසුස්ටත් ඔහුගේ ගෝලයන්ටත් එයට ආරාධනා ලැබිණ. විවාහ මංගල්‍ය වේලාවේදී නොසිතූ විරූ ආකාරයෙන් කලින්ම මුද්‍රික පානය ඉවර විය. ඒ අවස්ථාවේදී යේසුස්ගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද? ඔහු ආශ්චර්යකින් එම උත්සවයට අග්‍ර ගණයේ මුද්‍රික පානය සැපයුවේය. කොතරම් සැපයුවාද කිවහොත් එදිනට භාවිත කළ නොහැකි අතිරික්තයක්ද තිබිණ. අවශ්‍ය වූ විටක මෙම විවාහක දෙපළ පසුවත් ඒ මුද්‍රික පානය ප්‍රයෝජනයට ගත් බවට කිසිම සැකයක් නැත.—යොහන් 2:3-11.

ඉහත සිද්ධියෙන් උගත හැකි පාඩම් බොහෝය. පැහැදිලිවම යේසුස් සහ ඔහුගේ ගෝලයන් එතැනට ගියේ ඔවුන්ට පෞද්ගලිකව ආරාධනාවක් ලැබුණ නිසයි. ආරාධනයක් හෝ කැඳවනු නොලැබූ අවස්ථාවලදී උත්සවයකට පෙනී සිටීමේ පුරුද්ද යේසුස්ටවත් ඔහුගේ ගෝලයන්ටවත් කිසිසේත් තිබුණේ නැත. (යොහන් 2:1, 2) යේසුස් උපමාවලින් විස්තර කළ විවාහ මංගල්‍ය උත්සව දෙකත් දැන් මතකයට නඟාගන්න. එම උත්සවවලට පවා කෙනෙකු පැමිණීමට හේතු වූයේ කුමක්ද? ඒ සෑම කෙනෙකුවම ආරාධනා කර නොහොත් කැඳවා තිබුණ නිසයි.—මතෙව් 22:2-4, 8, 9; ලූක් 14:8-10.

සමහර රටවල, විවාහ මංගල්‍යයක් පැවැත්වෙන විට එයට සහභාගි වීමට ආරාධනයක් ලබන්න අවශ්‍ය නැති බවට පොදු පිළිගැනීමක් ඇත. ඕනෑම කෙනෙකුට සහභාගි වෙන්ට අයිතියක් තිබෙනවා යන්න ඔවුන්ගේ මතයයි. තමන්ගේ විවාහ මංගල්‍යයේදී මෙවැන්නක් සිදු වේවියයි සැක කරන යුවළක් අතිමහත් පිරිසකට කෑම් බීම් පිළියෙළ කළ හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවාහයෙන් පසු දෙදෙනාටම ණය බර පියවීමට මහත් උත්සාහයක නිරත වීමට සිදු වෙයි. එනිසා ක්‍රිස්තියානි යුවළක් තම විවාහ මංගල්‍යයට ස්වල්පදෙනෙකුට පමණක් ආරාධනා කළහොත් එම තීරණයට අප ගරු කළ යුතුයි. ඒ ආරාධිතයන් අතරේ අප නොසිටීම ගැන අපි අමනාප නොවන්නෙමු. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි මිනිසෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඔහුගේ විවාහ මංගල්‍යයට ඔහු ආරාධනා කළේ 200දෙනෙකුට පමණක් බව ඔහු තවමත් තරයේ කියයි. නමුත් එදින පැමිණි සංඛ්‍යාව 600කි. වැඩි වේලාවක් යන්න පෙර කෑම බීම ඉවර විය. පැමිණි සමහරෙකුගේ ආකල්පය පැහැදිලි කරන කැපීපෙනෙන දෙයක් එතැනදී සිදු විය. කොහෙවත් යන විදේශිකයන් කණ්ඩායමක් නගරය නරඹනවා වෙනුවට, ඔවුන් සිටි බසයෙන් බැස උත්සවයට පැමිණියහ. බසයේ කොන්දොස්තර, මනාලයාගේ දුර නෑයෙකි. ඉතින් ඔහුට කැමති ඕනෑම කෙනෙකුව කාගෙවත් අවසරයක් නොමැතිව උත්සවයට රැගෙන ඒම ඔහුගේ අයිතිවාසිකමක් කියා ඔහු සිතුවේය.

සමහර විවාහ මංගල්‍යවලට කැමති ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි බවට ඇරයුම්පතෙහි සඳහන් කර ඇත. එහෙමත් නැත්නම් සභාවේ සියලුදෙනාටම පැමිණීමට ප්‍රස්තාව ඇති වග එහි සඳහන් කරයි. එසේ සඳහන් කර නැතිනම් ආරාධනයක් නොලැබූ ක්‍රිස්තියානියෙක් එතැනට ගොස් කන්න බොන්න යන්නේ නැත. ඒවා පිළියෙළ කර ඇත්තේ ආරාධිතයන්ට පමණක් බව ඔවුන් දනී. ආරාධනයක් නැතුව විවාහ මංගල්‍යයකට යන්න කෙනෙකු තුළ ආශාවක් ඇති වුණොත් ඊට පෙර ඔහු තමාගෙන්ම අසාගත යුතු ප්‍රශ්න කිහිපයක් ඇත. ‘මෙලෙස මම මේ උත්සවයට සහභාගි වුණොත් විවාහක දෙපළට මං සැබෑ ප්‍රේමයක් දක්වන්නේ නැහැ නේද? එහෙම ගියොත් අනිත් අය අපහසුතාවයකට පත් වෙන්නේ නැද්ද? ආරාධිතයන්ට පවා එම අවස්ථාව සම්පූර්ණයෙන් භුක්ති විඳින්න බැරි වෙන්න පුළුවන් නේද?’ අමනාප වෙනවා වෙනුවට අප තත්වය තේරුම්ගත යුතුය. විවාහක දෙපළට යෙහෝවාගේ ආශීර්වාදය පතා කාඩ්පතක් වැනි දෙයක් යැවීම ඉතාමත් ප්‍රේමනීය ක්‍රියාවකි. හැකි නම් යම් තෑග්ගක් හෝ මුදලක් යවා ඔවුන් දෙදෙනාගේ විවාහ දිවියට හොඳ ආරම්භයක් දීමටද දායක විය හැක.—දේශනාකාරයා 7:9; එපීස 4:28.

වගකීම කාගේද?

අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල විවාහවන්නන්ගේ වැඩිහිටි ඥාතීන් විවාහ මංගල්‍යයන් සූදානම් කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම තමන් පිටට ගනී. බොහෝවිට මෙයින් තමන්ව මූල්‍යමය බරින් නිදහස් කරන නිසා, විවාහ වන යුවළ මෙම ක්‍රියා මාර්ගය බොහෝ සෙයින් අගය කරති. ඒ හේතුව නිසාම, උත්සවය පවත්වන වේලාවේදී සිදු වන දේ සම්බන්ධ වගකීමත් සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ තම ඥාතීන්ටයි කියා එම යුවළට හැඟිය හැක. තත්වය එසේ තිබියදී විවාහ මංගල්‍යය එම ජෝඩුව කැමති ආකාරයට පවත්වයි කියා සහතික විය හැකිද? එම නිසා එවැනි උපකාර පිළිගැනීමට පෙර තමන්ගේ කැමැත්තට අනුව උත්සවය පවත්වන බවට ඔවුන් දෙදෙනා වගබලා ගත යුතුයි.

යේසුස් “ස්වර්ගයෙන් බැස්සාවූ” දෙවිගේ පුත්‍රයාය. එහෙත් කානාහි විවාහ මංගල්‍යයේදී ඔහු විශේෂයෙන්ම මූලිකත්වය ගෙන කටයුතු මෙහෙයවූ බවට කිසිදු සාක්ෂියක් නැත. (යොහන් 6:41) බයිබලය කියන ආකාරයට “මංගල්‍යයේ ප්‍රධානියා” වූයේ වෙන කෙනෙකි. (යොහන් 2:8) ඒ වගේම ඒ පුද්ගලයා එම උත්සවයේදී සිදු වන සියල්ල සම්බන්ධව නව පවුල් මූලිකයාට නොහොත් මනාලයාට වගකිව යුතුව තිබිණ.—යොහන් 2:9, 10.

නව පවුලට දෙවි මූලිකයෙක් පත් කර ඇත. ක්‍රිස්තියානි ඥාතීන් එම විධිවිධානයට ගරු කළ යුතුයි. (කොලොස්සි 3:18-20) විවාහ මංගල්‍යයේ සිදු වෙන සෑම දෙයක් සම්බන්ධයෙන්ම වගකීම භාරගත යුත්තේ ඔහුයි. මෙම වගකීම බාරගනිද්දී ඔහු සාධාරණ මට්ටමින් තම මනමාලියගේ, ඔහුගේ දෙමාපියන්ගේ හා ඇගේ දෙමාපියන්ගේ අදහස්ද සැලකිල්ලට ගන්නේය. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම් යුවළගේ කැමැත්තට පටහැනි වේ නම් ඔවුන් දෙදෙනා කාරුණිකව එම අදහස් ප්‍රතික්ෂේප කර, තමන්ගේ විවාහ මංගල්‍යයට යන වියදම තනිවම දරන්ට කටයුතු කිරීමට පවා සිදු විය හැක. එවිට බොහෝ අවස්ථාවලදී චාම් උත්සවයකින් සෑහීමට පත්වීමට සිදු වෙයි. මෙය, මහා විශාල උත්සවයක් පවත්වා එය අමිහිරි අද්දැකීමක් කරගන්නවාට වඩා බොහෝ සෙයින් යෝග්‍යයි. පරෙස්සම් නොවීම නිසා අප්‍රිකාවේ ක්‍රිස්තියානි විවාහ උත්සවයකදී සිදු වූ දෙයක් දැන් සැලකිල්ලට භාජන කරමු. ඒ අවස්ථාවේදී උත්සවයේ ප්‍රධානියා හැටියට කටයුතු කළේ ක්‍රිස්තියානියෙකු නොවූ නෑදෑයෙකි. ඔහු නැඟිට සව්දිය පුරන අවස්ථාවේදී ඔවුන්ගේ මියගිය ඥාතීන්ටත් ගෞරවය පිරිනැමීය!

ඇතැම්විට විවාහ මංගල්‍යය අවසන් වන්න පෙර මධුසමය සඳහා යුවළ පිට වෙයි. එවිට මනාලයා විසින් එම උත්සවය අධීක්ෂණය කිරීමට වෙනත් සුදුසු වගකිව යුත්තන්ව පත් කළ යුතුයි. උත්සවය යෝග්‍ය වේලාවකට අවසන් කිරීමටත් උසස් ක්‍රිස්තියානි ප්‍රමිති පවත්වාගැනීමටත් ඒ තැනැත්තන් උනන්දු විය යුතුයි.

හොඳ සැලැස්මක් හා සමබරතාව

බයිබලයේ විස්තර කර ඇති ආකාරයට යේසුස් ගිය විවාහ මංගල්‍යය විශාල භෝජන සංග්‍රහයක් විය. එහි මුද්‍රික පානය තිබූ බව අපි සලකා බැලුවෙමු. යෝග්‍ය සංගීතය වගේම විනීත නැටුම්ද තිබුණ බවට සැකයක් නැත. අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාවේ තම පුතා නැවත ගෙදර පැමිණි විට, ඒ ගැන ඔහුගේ ධනවත් පියා තම ඉමහත් සතුට ප්‍රකාශ කරද්දී කිවූ දෙය ඔබට මතකද? “අපි කමින් ප්‍රීතිවෙමු.” ඒ සම්බන්ධව විස්තර කරද්දී යේසුස් තවදුරටත් පැවසුවේ “තූර්යනාදයත් නැටීමත්” තිබුණා කියායි.—ලූක් 15:23, 25.

ඇත්තෙන්ම සංගීතය හා නැටුම් කානාහි විවාහ මංගල්‍යයේ තිබූ බව බයිබලයේ සඳහන් කර නැත. බයිබලයේ උපමාවල විවාහ මංගල්‍ය ගැන පවසද්දී සංගීතය හා නැටුම් තිබූ බව සඳහන් කරයි. එනමුත් සැබෑ ජීවිතය හා සම්බන්ධ විවාහ මංගල්‍ය ගැන වාර්තා කරද්දී නැටුම් හෝ සංගීතය තිබූ බව බයිබලයේ කොතැනකවත් සඳහන් නොවේ. මෙයින් අදහස් කරන්නේ ඒ උත්සවවල මේ අංගය නොතිබූ බව නොවෙයි. නමුත් එයින් පැහැදිලි වන්නේ එම විවාහ මංගල්‍යවල නැටුම් සහ සංගීතය වැනි දේවලට අනිසි වැදගත්කමක් නුදුන් බවයි. මෙයින් අපට උගත හැක්කේ කුමක්ද?

අප්‍රිකාවේ සමහර ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයන්හි මහත් ශබ්දයක් ඇති කළ හැකි අධිශබ්ද විකාශන යන්ත්‍ර භාවිත වේ. ඇතැම්විට ශබ්දය කොතරම්ද කිවහොත් තමා කියන දේ ළඟ ඉන්න කෙනාටවත් ඇහෙන්නේ නැති තරම්ය. කෑම බීම බලාගෙන ඉන්දැද්දීම ඉවර වේ. ඒත් නැටුම ගැන කිව හැක්කේ ඊට විරුද්ධ දෙයයි. එය එන්න එන්නම වැඩි වෙයි. ක්‍රමක්‍රමයෙන් නැටීමේ විලාසය නුසුදුසු වෙන්නත් පටන්ගනී. පෙනෙන ප්‍රකාරයට බොහෝ අය පැමිණෙන්නේ විවාහ මංගල්‍ය උත්සවයක් කියා සිතාගෙන නොවෙයි. ඔවුන්ගේ එකම පරමාර්ථය වන්නේ කෙසේ හෝ නටා විනෝද වෙන්නයි. තවත් දෙයක්ද සිදු වී ඇත. අහල පහළ නිකරුණේ කාලය ගත කරන අයටත් මේ සංගීතය ඇහෙනවා. ඒ අයත් ප්‍රිය කරන්නේ මෙවැනි සාදයන්වලටයි. ඒ නිසා ඉතා ඉක්මනින් ඔවුනුත් සාදයට එකතු වේ. මෙයින් කරදර රැසක් මතු විය හැකි බව කවුරුත් දන්නා දෙයකි.

බයිබලය, විවාහ මංගල්‍ය ගැන කතා කරද්දී සංගීතය හා නැටුම්වලට අනිසි වැදගත්කමක් ලබා නොදෙයි. යෙහෝවාට ගෞරව ගෙන දෙන විවාහ උත්සවයක් පවත්වන්න කැමති යුවළකට මෙය හොඳ මඟ පෙන්වීමක් නොවේද? එහෙත් දකුණු අප්‍රිකාවේ එක් විවාහ මංගල්‍යයකදී විවාහක යුවළ කැටුව යන කණ්ඩායම උත්සවයට සූදානම් වූ ආකාරය දැන් සලකා බලන්න. එදාට හොඳට නටන්න පුළුවන් වීම සඳහා ඔවුහු මාස ගණනක් තිස්සේ බොහෝ කාලය යොදවමින් නොයෙක් ආකාරයේ නැටුම් ඉගෙනගත්හ. මෙය ක්‍රිස්තියානීන්ට සුදුසුද? බයිබලය කියන්නේ රැස්වීම්වලට යෑම, ක්ෂේත්‍ර සේවයේ නිරත වීම හා පෞද්ගලික පාඩම වැනි ‘වඩාත් වැදගත් දේවල්’ සඳහා ‘කාලය මිල දී ගන්න’ කියායි.—එපීස 5:16; පිලිප්පි 1:10NW.

යේසුස් ආශ්චර්යවත් ලෙස සැපයූ මුද්‍රිකපානයේ ප්‍රමාණය සැලකූ කල, එම විවාහ මංගල්‍ය ඉතා ලොකුවට සැලසුම් කළ එකක් බව පැහැදිලි වේ. එහෙත් ඒ අවස්ථාවේදී වෙනත් යුදෙව් විවාහ මංගල්‍යවල තිබූ ආකාරයේ අවිනීත හැසිරීම හෝ බේබදුකම දක්නට නොලැබීය. (යොහන් 2:10) මෙය අපිට ස්ථිරවම පැවසිය හැකිද? ඔව්! ඊට හේතුව වන්නේ වෙන කිසිවෙකුට වඩා දෙවිගේ ප්‍රමිති පැවැත්වීමට මහත් සේ උනන්දු වූ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් ඒ අවස්ථාවේදී එහි සිටීමයි. එහිදී දෙවිගේ මඟ පෙන්වීම් නොසලකන බව ඔහු දුටුවා නම්, විශේෂයෙන්ම ‘මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ට එක් නොවන්න’ යන ආඥාවට කීකරුව යේසුස් එතැනින් පිටත්ව යන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.—හිතෝපදේශ 23:20.

යුවළක් තම විවාහ මංගල්‍යයේදී මත්පැන් බෙදන්න අවශ්‍යයි කියා තීරණය කළහොත් ඔවුන් ගත යුතු වැදගත් පියවරක් ඇත. එනම් විශ්වාසනීය, වගකීමක් හොඳින් බාරගත හැකි අයට පමණක් මත්පැන් බෙදීමේ කාර්යය පැවරීමයි. සංගීතය ගැන කිව හැක්කෙත් ඒ ටිකමයි. එයද බාරව සිටිය යුත්තේ එවැනිම පුද්ගලයෙකි. යෝග්‍ය සංගීතය තෝරාගත යුතු අතර එය දමන්නාවූ ශබ්ද මට්ටම ගැනත් සුපරීක්ෂාකාරි විය යුතුයි. වෙනත් ඕනෑම කෙනෙකුට තමන්ට ඕනෑ විදිහට කැසට් පටි ගෙනැවිත් දමන්න කිසිසේත් ඉඩ නොදෙන්න. ‘සද්දේ මදි. ටිකක් වැඩි කරමුද?’ කියා ඇවිටිලි කරන්නන්ට ඇහුම්කන් නොදෙන්න. කැමති අයට අවශ්‍ය නම් නටන්න පුළුවන් කියා නිවේදනය කරන විට එය කළ යුත්තේ ගෞරවාන්විතව හා විනීතවය. නොඇදහිලිවන්ත ඥාතීන් හෝ නොමේරූ ක්‍රිස්තියානීන් නීච හෝ කාමුක අදහස් ඇති කරවන ආකාරයේ නැටුම්වල නිරත වන්ට පටන්ගතහොත් මනාලයා එය නැවැත්වීමට වහාම පියවර ගත යුතුයි. ගීතය වෙනස් කිරීම උපකාරවත් විය හැක. බැරිම වුණොත් නැටීම නතර කරන මෙන්ද ඔහුට ඉල්ලා සිටීමට සිදු විය හැක. මෙය නොකළහොත් උත්සවය කිසිම පාලනයක් නැති අන්තිම පහත් තත්වයකට ඇද වැටෙන්න පුළුවන්. ඇතැම් අය පැකිලෙන්ටත් පුළුවන්.—රෝම 14:21.

ඇතැම් නූතන නැටුම්වල, අධි ශබ්ද සංගීතයෙහි හා මත්පැන් වැඩිවීම නිසා සිදු විය හැකි දේවල්වල අන්තරාව ගැන කල්පනා කරන සමහර මනාලයන්, තම විවාහ මංගල්‍යයේදී මෙවැනි දේවල්වලට අවසර නොදෙයි. මෙවැනි තීරණ ගත් අය සමහර අවස්ථාවලදී විවේචනයට ලක් වී ඇත. එනමුත් ඇත්තෙන්ම ඔවුන්ව ප්‍රශංසාවට ලක් කිරීම වඩාත් සුදුසුයි. ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ තමන්ට විරුද්ධව කවුරු මොනව පැවසුවත් දෙවිගේ ශුද්ධ නාමයට කිසිදු කැළැලක් ඇති නොකිරීමේ අභිප්‍රායෙනි. තවත් සමහරු සුදුසු සංගීතය, නැටුම් හා යෝග්‍ය ප්‍රමාණයෙන් මත්පැන් තිබීමට ඉඩ දුන්නත් කදිම අධීක්ෂණයක් ඇතුව සමබරතාවය රැකගැනීමට වගබලා ගනිති. තීරණය කුමක් වුවත් විවාහ මංගල්‍යයේදී සිදු වන දෙයට වගකිව යුත්තා මනාලයායි.

අප්‍රිකාවේ සමහර නොමේරූ අය විනීත ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයන් හෙළා දකිති. ‘කිසිම ගතියක් නෑ. නිකං මළ ගෙදරකට යනවා වගෙ’ යයි ඔවුන් පවසයි. මාංසයේ ක්‍රියාවලින් තාවකාලික වින්දනයක් ලැබීම පසුපස හඹා යන මොවුන්ට ඇත්තේ සමබර දෘෂ්ටියක් නොවේ. ඒ අවස්ථාවේදී වැරැද්දක් සිදු වුණොත් හෝ දෙවිගේ නමට කැළැලක් ඇති කරන, තමන්ගේ හෘද සාක්ෂියට වද දෙන තත්වයක් උදා වුවහොත් කොතරම් ආස්වාදයක් ලබා තිබුණත් පලක් ඇද්ද? (රෝම 2:24) ඊට හාත්පසින්ම වෙනස්ව දෙවිගේ ආත්මය අප තුළ සැබෑ ප්‍රීතියක් වඩවයි. (ගලාති 5:22) සැබවින්ම බොහෝ යුවළයන්ට තම විවාහ මංගල්‍යය දෙස බැලිය හැක්කේ ඉමහත් ප්‍රීතියකිනි. ඊට හේතුව වන්නේ එදින හැමෝම සතුටු වීම පමණක් නොවේ, නමුත් කිසි කෙනෙකුට පැකිළීමටද හේතුවක් නොතිබීමයි.—2 කොරින්ති 6:3.

අපි නැවතත් වෙල්ෂ් සහ එල්තියාගේ අද්දැකීම සලකා බලමු. තම විවාහ මංගල්‍යයට පැමිණි නොඇදහිලිවන්ත ඥාතීන් කිහිපදෙනෙකු එය පැවැත්වූ ආකාරය පැසසුමට ලක් කළ බව ඔවුන්ට තවමත් මතකයි. “මේ දවස්වල තියෙන කෑකෝ ගහන මගුල් ගෙවල් මට පෙන්නන්න බෑ. ඔයාලගේ ලස්සන විනීත උත්සවයට එන්න ලැබුණු එක මොනතරම් ලොකු වෙනසක්ද” කියා එක් පුද්ගලයෙක් පැවසීය.

සියල්ල සැලකූ පසු වැදගත්ම දෙය මෙයයි. සන්තෝෂවත් ගෞරවාන්විත විවාහ මංගල්‍යයන්, විවාහයේ නිර්මාතෘවරයා වන යෙහෝවාට ගෞරවය ගෙන දෙයි.

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

විවාහ මංගල්‍යයකට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක්

• ඒ අවස්ථාවේදී නොඇදහිලිවන්ත ඥාතියෙකුට සුළු කතාවක් කිරීමට ඔබ ආරාධනා කළහොත් ක්‍රිස්තියානී ප්‍රතිපත්තිවලට පටහැනි කිසිදු දෙයක් සිදු නොවන බවට වගබලා ගන්න.

• සංගීතය ඇතුළත් නම් කල්පනාකාරිව එය තෝරන්න.

• ශබ්ද විකාශන යන්ත්‍රවලින් නික්මෙන ශබ්දය කොතරම් මට්ටමක තිබෙනවාද යන්න ගැන සාවධාන වීම වැදගත්.

• ආරාධිතයන්ට නටන්න අවසර දෙනවා නම් එය විනීතව සිදු වේවිද?

• මත්පැන් තිබෙන්ට යනවා නම් එය බෙදාහරින්නේ සීමාවක් ඇතුවද?

• මත්පැන් බෙදා දීම බාරව කටයුතු කරන්නේ කවුද?

• විවාහ මංගල්‍යය අවසන් වන්න නියමිත වේලාව කුමක්ද?

• සෑම දෙයක්ම හරියාකාරව සිදු වන බවට වගබලා ගැනීමට වගකිවයුත්තන් අවසන් වෙන තුරු රැඳී සිටියිද?