Skip to content

පටුනට යන්න

අපේ කාලයට අදාළ දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න

අපේ කාලයට අදාළ දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න

අපේ කාලයට අදාළ දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න

“මනුෂ්‍ය පුත්‍රය, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට බව තේරුම්ගන්න.”—දානියෙල් 8:17, නව අනුවාදය.

1. යෙහෝවාට අවශ්‍ය වන්නේ අප ජීවත් වන කාලය සම්බන්ධයෙන් මුළු මනුෂ්‍යවර්ගයාම කුමක් දැනගන්නවා දකින්නද?

 යෙහෝවා දෙවි අනාගත සිදුවීම් පිළිබඳ තමා සතු දැනුම අනිත් අය සමඟ බෙදාගන්න නිසා, රහස් හෙළි කරන තැනැත්තා ලෙස ඔහුව හඳුන්වා තිබෙනවා. අපි ජීවත් වෙන්නේ ‘අන්තිම කාලයේ’ අවසාන කෙළවරේ බව අපි සියලුදෙනාම දැනගන්නවා දකින්න ඔහුට ඇත්තටම වුවමනායි. අද පොළොව මත ජීවත් වෙමින් සිටින බිලියන හයකින් යුත් මිනිසුන්ට මෙය මොනතරම් වැදගත් ආරංචියක්ද!

2. මනුෂ්‍යවර්ගයාගේ අනාගතය ගැන මිනිසුන් සැලකිලිමත් වන්නේ මන්ද?

2 මේ ලෝකය එහි අවසානය කරා ළඟා වී තිබීම පුදුම වීමට කාරණයක්ද? මිනිසාට සඳ මත ඇවිදින්න පුළුවන් වුණත්, තමන් ජීවත් වෙන පොළොවේ තිබෙන වීදිවල බියක් සැකක් නැතුව ගමන් කරන්න ඔහුට බැහැ. නවීන පන්නයේ බඩු මුට්ටු වැඩි වැඩියෙන් තම නිවසට එක් කරගන්න ඔහුට පුළුවන් වුණත්, පවුල් කැඩී බිඳී යෑම අඩු කරන්න ඔහුට බැහැ. ඒ වගේම, තොරතුරු යුගයක් බිහි කරන්න ඔහුට හැකි වුණත්, සාමයෙන් එකට ජීවත් වීමට මිනිසුන්ට උගන්වන්න ඔහුට හැකි වී නැහැ. අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ බවට ශුද්ධ ලියවිල්ල සපයන සාක්ෂි කන්දරාව, මිනිසාගේ මෙම අසාර්ථක වීම් මගින් තව තවත් තහවුරු වෙනවා.

3. “අන්තිම කාලය” යන ප්‍රකාශය මුලින්ම සඳහන් කරනු ලැබුවේ කවදාද?

3 වහා අවධානය හසු කරගන්න ප්‍රකාශයක් වන “අන්තිම කාලය” ගැන මුලින්ම පැවසුවේ ගාබ්‍රියෙල් දේවදූතයායි. ඒ, මීට අවුරුදු 2,600කට කලිනුයි. බියට පත් දෙවිගේ අනාගතවක්තෘවරයාට ගාබ්‍රියෙල් පැවසූ මේ වචන ඇසුණා: “මනුෂ්‍ය පුත්‍රය, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට බව තේරුම්ගන්න.”—දානියෙල් 8:17, න.අ.

මේ ‘අන්තිම කාලයයි!’

4. බයිබලය අන්තිම කාලය ගැන සඳහන් කරන්නේ වෙනත් කුමන ආකාරවලින්ද?

4 “අන්තිම කාලය” සහ “නියම කරන ලද අන්තිම කාලය [NW]” යන ප්‍රකාශ දෙක දානියෙල් පොතේ හය වතාවක් සඳහන් වෙනවා. (දානියෙල් 8:17, 19; 11:35, 40; 12:4, 9) මේ ප්‍රකාශයන් දෙක හා ප්‍රේරිත පාවුල් විසින් පුරෝකථනය කළ “අන්තිම දවස්” අතර සම්බන්ධකමක් තිබෙනවා. (2 තිමෝති 3:1-5) ස්වර්ගයේ සිංහාසනාරූඪ වූ රජෙකු ලෙස තමා “පැමිණ සිටින කාලය [NW]” ගැන කතා කරන විට යේසුස් ක්‍රිස්තුස් සඳහන් කළේත් එම කාලපරිච්ඡේදය ගැනයි.—මතෙව් 24:37-39.

5, 6. අන්තිම කාලයේදී ‘ගවේෂණයක’ යෙදී සිටින්නේ කවුද? එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

5 දානියෙල් 12:4හි මෙසේ සඳහන් වෙනවා: “දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රාකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා [ගවේෂණය කරනවා, NW] ඇත, [සැබෑ, NW] දැනගැන්මද වැඩිවන්නේය.” දානියෙල් ලියූ දේවලින් බොහොමයක් රහසක්ව තිබූ අතර, මිනිසුන්ට තේරුම්ගත නොහැකි වන පරිදි සියවස් ගණනාවක් පුරා වසා, මුද්‍රා කර තිබුණා. එහෙත් අද තත්වය ගැන කියන්න පුළුවන් මොනවාද?

6 මේ අන්තිම කාලයේ ජීවත් වෙන ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් දෙවිගේ වචනය වන බයිබලය “ගවේෂණය” කර තිබෙනවා. යෙහෝවා ඔවුන්ගේ මෙම වෑයමට ආශීර්වාද කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සැබෑ දැනුම වැඩි වී තිබෙනවා. උදාහරණයක් හැටියට, යෙහෝවාගේ ආලේප ලත් සාක්ෂිකරුවන්ට ඔහු සපයන ලද තීක්ෂ්ණ බුද්ධියේ ප්‍රතිඵලයක් ලෙස, යේසුස් ක්‍රිස්තුස් 1914දී ස්වර්ගයේ රජ වූ බව වටහාගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. දෙවන පේතෘස් 1:19-21 [NW] දක්වා වාර්තා කර තිබෙන ප්‍රේරිත පේතෘස්ගේ වදන්වලට අවනත වෙමින් ආලේප ලත් අය හා ඔවුන්ගේ පක්ෂපාත මිතුරන් ‘අනාවැකිමය වදන්වලට අවධානය යොමු කරමින්’ සිටිනවා. තමන් ජීවත් වෙන්නේ අන්තිම කාලයේ බවට ඔවුන්ට කිසිම සැකයක් නැහැ.

7. දානියෙල් පොත අද්විතීය පොතක් වීමට සලස්වන එහි අඩංගු වාර්තා කිහිපයක් විස්තර කරන්න.

7 දානියෙල් පොත හේතු කිහිපයක් නිසා අද්විතීය පොතක් ලෙස සැලකෙනවා. තමාව ව්‍යාකූලත්වයට පත් කළ සිහිනය හෙළි කර, එහි අර්ථය තෝරා දීමට නොහැකි වූ නිසා රජ කෙනෙක් තමාගේ ශාස්ත්‍රවන්තයන්ව මරා දමන බවට තර්ජනය කළත්, දෙවිගේ අනාගතවක්තෘවරයාට එය කරන්න හැකි වූ ආකාරය එහි සඳහන් වෙනවා. ඉතා උස් කුලුනක් මත තැබූ පිළිමයකට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ තරුණයන් තිදෙනෙකුව උෂ්ණාධික ගිනි උදුනකට හෙළුවත්, ඔවුන්ගේ එක හිසකෙස් ගසකටවත් කිසිම හානියක් නැතුව ඔවුන් එයින් පිටතට පැමිණෙයි. උත්සවයකදී, රජ මාළිගාවේ බිත්තියක් මත අභිරහස් වචන ලියන අතක් සියගණනකගේ නෙතට හසු වෙයි. දුෂ්ට කුමන්ත්‍රණකරුවන් වයසක මිනිසෙකුව සිංහ ගුහාවකට දැමුවත්, පුංචි සීරීමක්වත් නැතුව ඔහු එයින් පිටතට එයි. මෘගයන් සතරදෙනෙක් දර්ශනයක දිස් වෙයි. අන්තිම කාලය දක්වා දිවෙන අනාවැකිමය වැදගත්කමක් ඒ මෘගයන්ට ඇත.

8, 9. දානියෙල් පොත විශේෂයෙන්ම මේ අන්තිම කාලයේ සිටින අපිට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

8 දානියෙල් පොත එකිනෙකට වෙනස් අංග දෙකකින් සමන්විතයි. එයින් එකක් වෘත්තාන්තමය ස්වරූපයක් ගන්න අතර, අනික අනාවැකිවලින් යුක්තයි. මෙම අංග දෙකම අපේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට ඉවහල් වෙනවා. යෙහෝවා දෙවි තමා කෙරෙහි දිගටම අඛණ්ඩතාව පවත්වන අයට ආශීර්වාද කරන බව වෘත්තාන්තමය කොටසින් පෙන්වා දෙනවා. අනාවැකිමය කොටස අපේ ඇදහිල්ල වර්ධනය කරන්නේ, ඉතිහාසයේ ගමන් මඟ අවුරුදු සිය ගණනකට නොව, අවුරුදු දහස් ගණනකට පෙරාතුව පවා යෙහෝවා දැන සිටින බව පෙන්වා දෙමිනුයි.

9 දානියෙල් වාර්තා කළ විවිධ අනාවැකි මගින් අවධානය යොමු කරවන්නේ දෙවිගේ රාජ්‍යයටයි. එම අනාවැකිවල ඉටුවීම අපි සලකා බලන විට, අපේ ඇදහිල්ල වගේම අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ බවට වූ අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා. එහෙත් සමහර විවේචකයන් දානියෙල් පොතට පහර ගසනවා. ඔහුගේ නම දරන පොතේ සඳහන් අනාවැකි ඇත්තෙන්ම ලිව්වේ, එහි සඳහන් සිද්ධීන් සිදු වුණාට පසුවයි කියා ඔවුන් කියනවා. එවැනි ප්‍රකාශයන් සත්‍යය නම්, අන්තිම කාලය සම්බන්ධයෙන් දානියෙල් පොතේ පුරෝකථනය කර තිබෙන දේවල් බරපතළ ලෙස ප්‍රශ්නයට භාජන වේවි. වපර ඇසින් බලන විවේචකයන්, පොතේ වෘත්තාන්තමය කොටස ගැනත් ප්‍රශ්න කරනවා. එනිසා අපි ඒ ගැන සොයා බලමු.

නඩුව විභාග කරයි!

10. දානියෙල් පොත චෝදනාවට ලක්ව ඇති බව අප පවසන්නේ මන්ද?

10 ඔබ නඩු විභාගයකට ඇහුම්කන් දෙමින් උසාවියක සිටිනවා කියා සිතන්න. විත්තිකරු වංචාවක් සම්බන්ධයෙන් වරදකරු බව පැමිණිල්ලේ නීතිඥයා තරයේ කියා සිටියි. එසේම පො.යු.පෙ. හත්වන හා හයවන සියවස්වල විසූ හෙබ්‍රෙව් අනාගතවක්තෘවරයෙකු ලියූ දානියෙල් පොත, විශ්වාසකටයුතු වාර්තාවක් බව එම පොතෙන් පැහැදිලි වෙයි. එහෙත් මෙය වංචාකාරි ලෙස ලියූ පොතක් බව විවේචකයන් එක හෙළා පවසයි. එමනිසා මෙම පොතේ වෘත්තාන්තමය කොටස ඓතිහාසික සත්‍යයන් සමඟ එකඟ වෙනවද නැද්ද කියා අපි මුලින්ම සලකා බලමු.

11, 12. බේල්ෂශර් නිකම්ම මනඃකල්පිත චරිතයක් යන චෝදනාවට සිදු වූයේ කුමක්ද?

11 අපි සලකා බලන්නේ නැති වූ රජ හා සම්බන්ධ සිද්ධියයි කියා සිතමු. පොදු යුගයට පෙර 539දී බබිලෝනීය නුවර වටලද්දී, බේල්ෂශර් එහි රජ හැටියට පාලනය කරමින් සිටි බව දානියෙල් 5වන පරිච්ඡේදය පෙන්වා දෙනවා. බේල්ෂශර්ගේ නම බයිබලයේ හැර වෙනත් පොත් පත්වල සොයාගත නොහැකි වූ නිසා, විවේචකයන් මේ කාරණය විවාදයට ලක් කර තිබෙනවා. පුරාණ ඉතිහාසඥයන් බබිලෝනියේ අවසාන රජ හැටියට හඳුනාගෙන තිබෙන්නේ නැබොනිඩස්වයි.

12 කෙසේවෙතත්, 1854දී නූතන ඉරාකයේ පිහිටි ඌර් නම් පුරාණ බබිලෝනීය නුවරේ නටබුන් අතරින් සිලින්ඩරාකාර කුඩා මැටි පුවරු කිහිපයක් සොයාගත්තා. කීලාකාර අක්ෂරවලින් සමන්විත එම ලේඛනවල නැබොනිඩස් කළ යාතිකාවක් සඳහන් වී තිබෙනවා. එම යාතිකාවේ ඔහු “මගේ වැඩිමල් පුත් බෙල්-සාර්-උස්සුර්” කියා සඳහන් කර තිබෙනවා. මේ තැනැත්තා දානියෙල් පොතේ සඳහන් බේල්ෂශර් බව විවේචකයන්ට පවා පිළිගන්න සිදු වුණා. මෙසේ නැති වූ රජ නැති වී තිබුණේ නැහැ. සිදු වී තිබුණේ ලෞකික මූලාශ්‍රවල ඔහු ගැන සඳහන් කර නොතිබීමයි. මෙය, දානියෙල් ලියූ දේවල් සැබවින්ම විශ්වාස කටයුතු ඒවා බවට තිබෙන සාක්ෂි රාශියෙන් එක් සාක්ෂියක් පමණයි. මෙවන් සාක්ෂිවලින් පෙනීයන්නේ, දානියෙල් පොත මෙම අන්තිම කාලයේදී අපගේ කිට්ටු අවධානය ලැබීමට වටිනා දේවවචනයේ කොටසක් බවයි.

13, 14. නෙබුකද්නෙශර් කවුද? ඔහු සිය භක්තිය පිරිනැමූ බොරු දෙවියා කවුද?

13 ලෝක බලවතුන්ගේ නැඟී සිටීම හා ඔවුන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවන් පිළිබඳ අනාවැකි දානියෙල් පොතේ සඳහන් වෙනවා. අධිරාජ්‍යයක් බිහි කළ රණශූරයෙකු හැටියට මේ පුද්ගලයන්ගෙන් එක්කෙනෙකුව හැඳින්විය හැකියි. ඔහු බබිලෝනියේ ඔටුන්න හිමි කුමරු හැටියට තම හමුදා බල ඇණිය සමඟින් කර්කෙමිෂ්හිදී මිසරයේ ඵාරාවෝ වූ නෙකොගේ හමුදා වනසා දැමුවා. එහෙත් ජයග්‍රහණය අත් පත් කරගනිමින් සිටි මේ කුමරාට ලැබුණු පණිවිඩයක් නිසා, මෙහෙයුම් කටයුතු තමන්ගේ සේනාධිපතීන්ට පවරා ආපසු යන්න සිදු වුණා. මෙම තරුණ කුමරා වූ නෙබුකද්නෙශර් ඔහුගේ පියා වූ නැබොපොලසාර් මියගිය පසු, පො.යු.පෙ. 624දී සිහසුන හිමි කරගත්තා. අවුරුදු 43ක ඔහුගේ පාලන කාලයේදී, ඔහු කලින් අෂූරිවරුන් අල්ලාගෙන සිටි දේශ අත් පත් කරගනිමින්, ඔහුගේ රාජධානිය සිරියාව හා පලස්තීනය දක්වාත්, මිසරයේ දේශ සීමා දක්වාත් ව්‍යාප්ත කළා.

14 නෙබුකද්නෙශර් තම භක්තිය විශේෂයෙන්ම පුද කළේ බබිලෝනියේ ප්‍රධාන දෙවියා වූ මාර්ඩුක්ටයි. තමා ලැබූ ජයග්‍රහණයන් සියල්ල වෙනුවෙන් ඔහු මාර්ඩුක්ට ගෞරවය පුද කළා. නෙබුකද්නෙශර් මාර්ඩුක් මෙන්ම බබිලෝනියේ වෙනත් දෙවිදේවතාවුන් ගණනාවක් වෙනුවෙන් දේවාල සාදා, ඒවා අලංකාරවත් කළා. මේ බබිලෝනීය රජු, දූරා සමභූමියේ සෑදූ රන් රූපය මාර්ඩුක්ට කැප කර තිබෙන්න ඇති. (දානියෙල් 3:1, 2) ඒ වගේම නෙබුකද්නෙශර් ඔහුගේ යුධ මෙහෙයුම් සැලසුම් කිරීමේදී පේන කීම මත මහත් සේ රඳා සිටි බව පෙනෙනවා.

15, 16. නෙබුකද්නෙශර් බබිලෝනිය වෙනුවෙන් කළේ කුමක්ද? එහි බලවත්කම ගැන ඔහු පුරසාරම් දොඩමින් සිටියදී සිදු වූයේ කුමක්ද?

15 ඔහුගේ පියා ඉදි කිරීමට පටන්ගත් නුවර වටේට යෝධ ද්විත්ව තාප්ප ගොඩනැඟීම සම්පූර්ණ කිරීමෙන් නෙබුකද්නෙශර් එම අගනුවර කිසිවෙකුට යටත් කළ නොහැකි නුවරක් බවට පත් කළා. නෙබුකද්නෙශර්ගේ මේදීය ජාතික බිසව ඇගේ මව් බිමේ තිබුණු කඳු සහ වනාන්තරවලට දැඩි ආශාවක් දැක්වූ අතර, ඇයව සතුටු කිරීම සඳහා ඔහු එල්ලෙන උයනක් සෑදූ බව වාර්තා වෙනවා. එය පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙනවා. ඔහු බබිලෝනිය, එතෙක් ඉදි කර තිබූ පවුරුවලින් වට වුණ විශාලතම නගරය බවට පත් කළා. බොරු නමස්කාරයේ මධ්‍යස්ථානය වූ මෙම නගරය ගැන ඔහු මහත් සේ උදම් ඇනුවා.

16 ‘මේ මා විසින් ගොඩනැඟූ මහත් බබිලෝනිය නොවේද?’ කියා දවසක් නෙබුකද්නෙශර් පුරසාරම් දෙඩුවා. දානියෙල් 4:30-36 දක්වා වාර්තා වන ආකාරයට, “ඒ වචනය රජුගේ මුඛයෙහි තිබෙද්දීම” ඔහු සිහිවිකල් වුණා. පාලනය කිරීමට තිබූ ඔහුගේ සුදුසුකම් නැති වී ගොස් දානියෙල් කලින් පවසා තිබුණාක් මෙන් අවුරුදු හතක් පුරා ඔහු තෘණ කෑවා. පසුව නැවතත් ඔහුගේ රාජ්‍යය ඔහුට දෙනු ලැබුවා. මෙහි තිබෙන අනාවැකිමය වැදගත්කම ඔබ දන්නවාද? මෙහි ප්‍රධාන ඉටුවීම අපව අන්තිම කාලය දක්වා ගෙන යන ආකාරය ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?

අනාවැකිමය අර්ථය වටහාගැනීම

17. ලෝක පාලකයෙකු ලෙස නෙබුකද්නෙශර් පාලනය කළ දෙවන අවුරුද්දේදී දෙවි විසින් ඔහුට දැකීමට සැලැස්වූ අනාවැකිමය අර්ථයකින් යුත් සිහිනය විස්තර කරන්න.

17 දැන් අපි දානියෙල් පොතෙහි සඳහන් අනාවැකි කිහිපයක අර්ථය සලකා බලමු. බයිබල් අනාවැකිවල සඳහන් ලෝක පාලකයෙකු ලෙස නෙබුකද්නෙශර් පාලනය කළ දෙවන අවුරුද්දේදී (පො.යු.පෙ. 606/605), දෙවි ඔහුට තැතිගන්වනසුලු සිහිනයක් දැකීමට සැලැස්සුවා. දානියෙල් 2වන පරිච්ඡේදයේ තිබෙන විස්තරයට අනුව, ඔහු සිහිනයෙන් දුටු අතිවිශාල රූපයේ හිස රත්රන්වලින්ද, ඒකේ ළය හා අත් රිදීවලින්ද, බඩ සහ කළවා තඹවලින්ද, එහි කෙණ්ඩා යකඩවලින්ද, පාද මැටි හා යකඩවලින්ද සෑදී තිබුණා. රූපයේ විවිධ කොටස්වලින් නියෝජනය කළේ මොනවාද?

18. සිහිනයෙන් දුටු රූපයේ රන් හිසෙන්, රිදී ළය සහ අත්වලින් මෙන්ම තඹ බඩ සහ කළවාවලින් නියෝජනය කළේ මොනවාද?

18 දෙවිගේ අනාගතවක්තෘවරයා නෙබුකද්නෙශර්ට මෙසේ පැවසුවා: “රජ්ජුරුවෙනි, . . . රත්රන් හිස නම් ඔබය.” (දානියෙල් 2:37, 38) නෙබුකද්නෙශර් බබිලෝනීය අධිරාජ්‍යය පාලනය කළ රාජ වංශයක ප්‍රධානියාව සිටියා. රූපයේ රිදීවලින් සෑදුණු ළය සහ අත්වලින් නියෝජනය කළ මේද-පර්සියාව, බබිලෝනිය යටත් කරගත්තා. තඹවලින් සෑදුණු බඩ සහ කළවාවලින් සංකේතවත් කළ ග්‍රීසිය අධිරාජ්‍යය ඊළඟට බලයට පැමිණියා. මේ අධිරාජ්‍යය ආරම්භ වූයේ කෙසේද?

19, 20. මහා ඇලෙක්සැන්ඩර් කවුද? ග්‍රීසිය ලෝක බලයක් බවට පත් කිරීමේදී ඔහු ඉටු කළේ කිනම් කාර්යභාරයක්ද?

19 දානියෙල්ගේ අනාවැකියේ මෙම කොටස ඉටුවීමේදී, පො.යු.පෙ. හතරවන සියවසේ සිටි තරුණයෙක් වැදගත් කාර්යභාරයක් ඉටු කළා. ඔහු ඉපදුණේ, පො.යු.පෙ. 356දීයි. ලෝකයා ඔහුව හැඳින්වූයේ මහා ඇලෙක්සැන්ඩර් කියායි. ඔහුගේ පියා වන පිලිප්ව පො.යු.පෙ. 336දී ඝාතනය කිරීමෙන් පසුව, විසි හැවිරිදි ඇලෙක්සැන්ඩර් මැසිඩෝනියාවේ සිහසුන හිමි කරගත්තා.

20 පොදු යුගයට පෙර 334 මැයි මාසය මුලදී ඇලෙක්සැන්ඩර් යුධ මෙහෙයුම් රාශියක් දියත් කර ජයග්‍රහණ රැසක් අත් කරගත්තා. ප්‍රමාණයෙන් කුඩා වුණත්, ශූර පාබළ හේවායන් 30,000ක් හා 5,000ක අශ්වාරෝහක බලඇණියක් ඔහු සතු වුණා. එම අවුරුද්දේදීම, සුළු ආසියාවේ (දැන් තුර්කියේ) වයඹ දිගින් පිහිටි ග්‍රැනිකස් ගඟ අසලදී, ඇලෙක්සැන්ඩර් පර්සියානුවන්ට එරෙහිව පො.යු.පෙ. 334දී සිදු කළ මුල් යුද්ධය ජයගත්තා. පොදු යුගයට පෙර 326 වන විට මේ කලහකාරි ජයග්‍රාහකයා පර්සියාවත් තම අණසකට යටත් කරගෙන, නවීන දින පකිස්තානයේ තිබෙන ඉන්දු ගංගාව දක්වා නැඟෙනහිර දෙසට ගමන් ගත්තා. එහෙත් බබිලෝනියේදී සිදු වූ අවසන් සටනින් ඔහු පරාජය වුණා. පොදු යුගයට පෙර 323 ජූනි 13වනදා, අවුරුදු 32යි මාස 8ක් තරම් කෙටි කාලයක් ජීවත් වී, ඔහු වඩාත්ම දරුණු සතුරා වන මරණයට යටත් වුණා. (1 කොරින්ති 15:55) කෙසේවෙතත්, ඔහු ලැබූ ජයග්‍රහණයන් නිසා දානියෙල්ගේ අනාවැකිය මගින් පුරෝකථනය කළාක් මෙන් ග්‍රීසිය ලෝක බලයක් බවට පත් වුණා.

21. රෝම අධිරාජ්‍යය හැර, සිහිනයෙන් දුටු රූපයේ යකඩ පාදවලින් සංකේතවත් කළ අනිත් ලෝක බලය කුමක්ද?

21 අතිවිශාල රූපයේ යකඩවලින් සෑදී තිබුණු කෙණ්ඩාවලින් නියෝජනය වන්නේ කුමක්ද? එයින් නියෝජනය කළේ, ග්‍රීසීය අධිරාජ්‍යය සුනුවිසුනු කර දැමූ යකඩ වැනි රෝමයයි. යේසුස් ක්‍රිස්තුස් විසින් ප්‍රචාරය කළ දෙවිගේ රාජ්‍යයට කිසිම ගෞරවයක් නොදක්වමින්, රෝමවරුන් පො.යු. 33දී යේසුස්ව වධ කණුවක එල්ලා මරා දැමුවා. සැබෑ ක්‍රිස්තියානි ධර්මය මුලිනුපුටා දැමීමේ අටියෙන් මෙම අධිරාජ්‍යය යේසුස්ගේ ගෝලයන්ට හිංසා පීඩා කළා. කෙසේවෙතත්, නෙබුකද්නෙශර්ගේ සිහිනයේ යකඩ කෙණ්ඩාවලින් රෝම අධිරාජ්‍යය පමණක් නොව, දේශපාලනික වශයෙන් එයින් නික්මුණු ශාඛාවක්ද සංකේතවත් කළා. එය එංගලන්ත අමෙරිකානු ලෝක බලයයි.

22. අපි ජීවත් වන්නේ අන්තිම කාලයේ අවසාන කෙළවරේ බව තේරුම්ගැනීමට සිහිනයෙන් දුටු රූපය අපිට උපකාරවත් වන්නේ කෙසේද?

22 දැන් අපි ළඟා වී සිටින්නේ කොටසක් යකඩවලින්ද කොටසක් මැටිවලින්ද සෑදී තිබෙන රූපයේ පාදවලටයි. මේ අනුව, අප ජීවත් වන්නේ අන්තිම කාලයේ අවසාන කෙළවරේ බව මෙම අනාවැකිය ගැන කරන අධ්‍යයනයෙන් පැහැදිලියි. අද පවතින ඇතැම් ආණ්ඩු යකඩ මෙන් බලවත් වන අතර, ඇතැම් ඒවා මැටි මෙන් දුර්වලයි. ‘මනුෂ්‍ය ජාතීන්ගෙන්’ සමන්විත මැටි වහා කැඩෙනසුලු තත්වයක තිබුණත්, පොදු ජනයාව පාලනය කරන යකඩ බඳු ආණ්ඩු පත් කරන්නේ පොදු ජනයා විසින්මයි. (දානියෙල් 2:43; යෝබ් 10:9) යකඩ මැටි සමඟ ඇලෙන්නේ නැති තරම්. බලයේ සිටින ආණ්ඩු සහ පොදු ජනයා අතර පවතින සම්බන්ධතාවත් ඒ හා සමානයි. නමුත් වැඩි කල් නොගොස් දෙවිගේ රාජ්‍යය මගින් දේශපාලනික වශයෙන් බෙදුණු මෙම ලෝකය නැති කර දමන්න යනවා.—දානියෙල් 2:44, 45ආ.

23. බේල්ෂශර්ගේ පාලනයේ පළමුවන අවුරුද්දේදී දානියෙල් දුටු සිහිනය හා දර්ශන විස්තර කරන්න.

23 දානියෙල් 7වන පරිච්ඡේදයේ සඳහන් අවධානය බැඳගන්නා අනාවැකියෙහිද අන්තිම කාලය ගැන සඳහන් වෙනවා. එම පරිච්ඡේදයේ විස්තර කරන්නේ බබිලෝනියේ රජ වූ බේල්ෂශර් රජගේ පළමුවන අවුරුද්දේ සිදු වූ යම් සිද්ධියක් ගැනයි. හැත්තෑගණන්වල පසු වූ දානියෙල් ‘ඔහුගේ යහනේදී ස්වප්නයක්ද දර්ශන වගයක්ද’ දුටුවා. ඒ දර්ශන දුටු ඔහු මහත් සේ කැලඹීමට පත් වුණා. ඔහු මෙසේ සඳහන් කළා: “ආකාශයේ හුළං සතර මහා මුහුදට සැරෙන් ගැසුවේය. එකිනෙකාට වෙනස්වූ මහා මෘගයන් සතරදෙනෙක් මුහුදෙන් නැගී ආවෝය.” (දානියෙල් 7:1-8, 15) මොනතරම් අසාමාන්‍ය මෘගයන්ද! පළමුවැන්නා පියාපත් ඇති සිංහයෙක්, දෙවැන්නා වලසෙක් වගෙයි. ඊළඟට, නැඟී එන්නේ පියාපත් සතරක් සහ හිස් සතරක් ඇති දිවියෙක්! අසාමාන්‍ය ලෙස ශක්තිමත් සතරවන මෘගයාට විශාල යකඩ දත් සහ අං දසයක් තිබෙනවා. උගේ අං දසය අතරෙන් “කුඩා” අඟක් නික්මෙන අතර, එයට “මනුෂ්‍ය ඇස් වැනි ඇස්ද උඩඟුලෙස කථාකරන මුඛයක්ද” තිබෙනවා. මොනතරම් අද්භූත සතුන්ද!

24. දානියෙල් 7:9-14හි සඳහන් වන ආකාරයට දානියෙල් දුටු ස්වර්ගික දර්ශනය කුමක්ද? මෙය යොමු දක්වන්නේ කුමකටද?

24 දානියෙල්ගේ දර්ශන ඊළඟට ස්වර්ගය දෙසට යොමු වෙනවා. (දානියෙල් 7:9-14) පුරාතන තැනැත්තා වන යෙහෝවා දෙවි, ස්වර්ගීය විනිශ්චයාසනයේ විනිශ්චයකරු හැටියට තේජවත්ව අසුන් ගෙන සිටිනවා. ‘දහසක් වර දහස්දෙනෙක් ඔහුට සේවය කරමින් සිටින අතර, දසදහසක් වර දසදහස්දෙනෙක්ද ඔහු ඉදිරියේ සිටියි.’ මෘගයන්ව දැඩි ලෙස විනිශ්චය කර, දෙවි උන්ගෙන් පාලනය අහක් කර හතරවන මෘගයාව විනාශ කර දමයි. “ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද” කෙරෙහි සදහටම පාලනය කිරීමේ බලය, “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන [කෙනෙකුට]” දෙනු ලබයි. මෙය යොමු දක්වන්නේ, අන්තිම කාලයට සහ 1914දී මනුෂ්‍ය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ සිංහාසනාරූඪ වීමටයි.

25, 26. අපි දානියෙල් පොත කියවන විට කුමන ප්‍රශ්න පැනනැඟිය හැකිද? එම ප්‍රශ්නවලට උත්තර සොයාගැනීමට උපකාරවත් වන ප්‍රකාශනය කුමක්ද?

25 දානියෙල් පොත කියවන අයට නිසැකවම ප්‍රශ්න මතු වෙනවා. උදාහරණයක් හැටියට, දානියෙල් 7වන පරිච්ඡේදයේ සඳහන් මෘගයන් සතරදෙනාගෙන් නියෝජනය වන්නේ මොනවාද? දානියෙල් 9:24-27 දක්වා සඳහන් “සති සැත්තෑව” හා සම්බන්ධ මෙසියානු අනාවැකියේ පැහැදිලි කිරීම කුමක්ද? “උතුරු දිශාවේ රජු” හා “දකුණු දිශාවේ රජු” අතර පවතින අනාවැකිමය වැදගත්කමකින් යුත් අරගලය ගැන පවසන දානියෙල් 11වන පරිච්ඡේදය ගැන කුමක් කිව හැකිද? අන්තිම කාලයේදී මේ රජවරුන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මොනවාද?

26 ඇත්තෙන්ම, යෙහෝවා මේ කාරණා සම්බන්ධයෙන් පොළොව මත සිටින ඔහුගේ ආලේප ලත් සේවකයන්ට තීක්ෂ්ණ බුද්ධිය ලබා දී තිබෙනවා. දානියෙල් 7:18හි ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්’ ලෙසයි. ඒ විතරක් නොවෙයි, දානියෙල්ගේ අනාවැකියේ අඩංගු දේවානුභාවයෙන් ලියා තිබෙන දේවල ගැඹුරු අර්ථය තවදුරටත් අවබෝධ කරගැනීම සඳහා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සැපයුමක් පිළියෙළ කර තිබෙනවා. (මතෙව් 24:45) මෑතකදී මුදාහැරිය දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති ප්‍රකාශනය මගින් එම අවබෝධය දැන් ලබාගත හැකියි. පිටු 320කින් යුත් අලංකාර චිත්‍රවලින් සමන්විත මේ ප්‍රකාශනය මගින් දානියෙල් පොතේ සෑම කොටසක්ම ආවරණය කෙරෙනවා. ප්‍රේමනීය අනාගතවක්තෘ දානියෙල් විසින් වාර්තා කළ ඇදහිල්ල ශක්තිමත් කරන සෑම අනාවැකියක්ම හා සෑම විස්තරයක්ම මේ පොතෙහි සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

අපේ කාලයට විශේෂ අරුතකින් යුක්තයි

27, 28. (අ) දානියෙල් පොතෙහි සඳහන් අනාවැකි ඉටුවීම සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක්ද? (ආ) අපි ජීවත් වන්නේ කුමන කාලපරිච්ඡේදයේද? දැන් අප කළ යුත්තේ කුමක්ද?

27 මේ වැදගත් කරුණ සැලකිල්ලට ගන්න. අංග කිහිපයක් හැර දානියෙල් පොතේ සඳහන් අනාවැකි සියල්ලම ඉටු වී හමාරයි. උදාහරණයක් හැටියට, දානියෙල් 2වන පරිච්ඡේදයේ සිහිනයෙන් දුටු රූපයේ පාදයෙන් සංකේතවත් කරන ලෝක තත්වය අපි දැන් දකිනවා. වර්ෂ 1914දී දෙවිගේ ස්වර්ගික රාජ්‍යය පිහිටුවීමත් සමඟම, දානියෙල් 4වන පරිච්ඡේදයේ සඳහන් ගසේ මුලේ කඳ කොටසේ දමා තිබූ බැම්ම ඉවත් කරනු ලැබුවා. දානියෙල් 7වන පරිච්ඡේදයේ පුරෝකථනය කර තිබෙන්නාක් මෙන් පුරාතන තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයාට පාලනතන්ත්‍රය භාර දුන්නා.—දානියෙල් 7:13, 14; මතෙව් 16:27–17:9.

28 දානියෙල් 8වන පරිච්ඡේදයේ සඳහන් දවස් 2,300 හා දවස් 1,290 මෙන්ම 12වන පරිච්ඡේදයේ තිබෙන දවස් 1,335 අතීතයේ දේවල් බවට පත් වී හමාරයි. දානියෙල් 11වන පරිච්ඡේදය අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ, ‘උතුරේ රජ හා දකුණේ රජ’ අතර පවතින බල අරගලය, එහි අවසාන අදියරටම පැමිණ තිබෙන බවයි. මේ සෑම දෙයක් මගින්ම අපි දැන් සිටින්නේ අන්තිම කාලයේ අවසාන කෙළවරේ බවට ශුද්ධ ලියවිල්ල සපයන සාක්ෂි තවත් වැඩි කරනවා. කාලය නමැති දිය පාරේ, අපි සිටින සුවිශේෂ ස්ථානය සැලකිල්ලට ගන්නා විට අපි කුමක් කිරීමට අදිටන් කරගත යුතුද? යෙහෝවා දෙවිගේ අනාවැකිමය වදන්වලට අපි අවධානය දිය යුතු බවට කිසිදු සැකයක් නොමැත.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• දෙවිට අවශ්‍ය වන්නේ අප ජීවත් වන කාලය සම්බන්ධයෙන් මුළු මනුෂ්‍යවර්ගයාම කුමක් දැනගන්නවා දකින්නද?

• දානියෙල් පොතට අපේ ඇදහිල්ල ශක්තිමත් කළ හැක්කේ කෙසේද?

• නෙබුකද්නෙශර් සිහිනයෙන් දුටු රූපයේ තිබූ අංග ලක්ෂණ මොනවාද? ඒවායින් සංකේතවත් කළේ මොනවාද?

• දානියෙල් පොතෙහි සඳහන් අනාවැකි ඉටුවීම හා සම්බන්ධව පවතින විශේෂත්වය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]