Skip to content

පටුනට යන්න

ඉන්දියාවේ බයිබල් පාඩමක් මාර්ගයෙන් ඇදහිල්ල ගොඩනැඟීම

ඉන්දියාවේ බයිබල් පාඩමක් මාර්ගයෙන් ඇදහිල්ල ගොඩනැඟීම

අපි ඇදහිල්ල ඇත්තෝ වන්නෙමු

ඉන්දියාවේ බයිබල් පාඩමක් මාර්ගයෙන් ඇදහිල්ල ගොඩනැඟීම

උතුරුකරයේ පිහිටි හිමෙන් වැසුණු සුදෝ සුදුවන් හිමාල කඳුවැටියේ සීතල පහසත්, දකුණෙන් පිහිටි ඉන්දියන් සාගර වෙරළේ දැඩි උණුසුමත් අත් විඳින ඉන්දියාව, භූගෝලීය අතින් මෙන්ම ආගමික වශයෙන්ද විවිධත්වයක් උසුලනවා. බිලියනයකට අධික ජනගහනයෙන් සියයට 83ක් හින්දු භක්තිකයන් වන අතර, සියයට 11ක් මුස්ලිම්වරුන් සහ ඉතිරිය නාමික ක්‍රිස්තියානීන්, සීක්වරුන්, බෞද්ධයන් හා ජෛන භක්තිකයන්. මේ සෑම කෙනෙකුම නමස්කාර කිරීමේ නිදහස භුක්ති විඳිනවා. “ඉන්දියානු ජීවන රටාව තුළ ආගමට වැදගත් ස්ථානයක් හිමි වන බව” ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පවසනවා.

ඉන්දියාවේ 21,200කට වඩා සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයන් තම ක්‍රිස්තියානි ඇදහිල්ලට අනුකූලව ජීවත් වීම පැහැදිලිව දකින්න තිබෙන දෙයක්. ලෝකයෙහි වෙනත් පැතිවල සිටින ඔවුන්ගේ අනෙකුත් මිතුරන් මෙන්, ඔවුනුත් දෙවිගේ වචනය වන ශුද්ධ බයිබලය කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගැනීම සඳහා තම අසල්වැසියන්ට උපකාර කිරීමට ලැබෙන ප්‍රස්තාව භාග්‍යයක් ලෙස සලකනවා. (2 තිමෝති 3:16) දකුණු ඉන්දියාවේ චෙන්නායිහි එක්තරා පවුලක් බයිබල් සත්‍යය දැනගැනීමට පැමිණි ආකාරය සලකා බලන්න.

යෙහෝවාගේ සාක්ෂිකාරයන්ව මුණගැසීමට පෙර මෙම පවුල දර්ශන දකින බව කියා සිටින, අන්‍ය භාෂාවලින් කතා කරන, ලෙඩුන් සුව කරන ප්‍රසිද්ධ කතෝලික ආගමික නිකායක ක්‍රියාශීලී සාමාජිකයන් වී සිටියා. ඔවුන්ට පල්ලියේ මෙන්ම සමාජය තුළ හොඳ පිළිගැනීමක් තිබුණ අතර මනුෂ්‍යයන් එම පවුලේ සමහර සාමාජිකයන්ව “සාමි” කියා හැඳින්වුවා. එහි තේරුම “ස්වාමින්” යන්නයි. එක දවසක් සාක්ෂිකාරයෙක් මෙම නිවසට පැමිණි අතර යේසුස් දෙවිගේ පුත්‍රයා බවත්, බොහෝදෙනා විශ්වාස කරන ආකාරයට ඔහු සර්වබලධාරි දෙවි නොවන බවත් බයිබලයෙන් ඔවුන්ට පෙන්වා දුන්නා. දෙවිගේ නම යෙහෝවා බවත්, පොළොව අලංකාර පාරාදීසයක් කිරීම ඔහුගේ අරමුණ බවත් සාක්ෂිකරුවා තවදුරටත් පැහැදිලි කළා.—ගීතාවලිය 83:17; ලූක් 23:43; යොහන් 3:16.

ඔවුන් බයිබලයට ගරු කළ නිසාත්, ඇසූ දෙයට ඔවුන්ගේ සිත ඇදී ගිය නිසාත් එම පවුලේ සාමාජිකයන් ස්ථාවර බයිබල් පාඩමක් කිරීමට එකඟත්වය පළ කළා. ඔවුන් ගත් මෙම පියවර නිසා, ඔවුන් සම්බන්ධ වී සිටි පල්ලියේ දන්න අඳුනන අයගේ සමච්චලයට ලක් වුණා. එහෙත් එම පවුල තම බයිබල් පාඩම දිගටම කරගෙන යෑමට අදිටන් කරගත්තා. දැනුමෙන් වැඩි වන විට ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වූ අතර, බොරු ආගමික ක්‍රියාවන් සියල්ලම අත්හැර දැමුවා. අදදින, මෙම පවුලේ සාමාජිකයන් තුන්දෙනෙක් බව්තීස්ම ලත් ක්‍රියාශීලී සාක්ෂිකරුවන් වන අතර මව හැකි අවස්ථාවන්වල උපකාරික පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා.

බාධකයන් ජයගැනීමට ඇදහිල්ල

සුන්දර් ලාල්, පන්ජාබ් ප්‍රාන්තයේ ගමක ජීවත් වන තරුණයෙක්. ඔහුට රාජ්‍යයේ ශුභාරංචිය අනිත් අය සමඟ බෙදාගැනීමට ඉමහත් ඇදහිල්ලක් මෙන්ම ධෛර්යයක් අවශ්‍ය වුණා. (මතෙව් 24:14) සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීමට ඔහුගේ පවුලේ සහ ගමේ තිබූ බහු දේවතා විශ්වාසයන් අත්හැරීමට සිදුවීම ඔහුට තිබූ පළමු බාධකයයි. දෙවන බාධකය වන්නේ ඔහුගේ දෙපා නොමැතිකමයි.

වර්ෂ 1992 වන තුරුම සුන්දර් ලාල්ගේ ජීවිතය ගෙවුණේ ඒකාකාරි රටාවකටයි. ඔහු වෛද්‍යවරයෙකුගේ සහායකයෙක් ලෙස සේවය කළ අතර, පවුලේ අය හින්දු පූජකවරයෙක්ගේ උපදෙස් මත කළ ආගමික වත්පිළිවෙත්වලට ඔහුත් හවුල් වුණා. එක් රාත්‍රියකදී ඔහු රේල් පාර පනින විට පය පැටලී වැටුණ අතර, ඔහුගේ කකුල් කෝච්චියට හසු වුණා. එම සිද්ධියෙන් ඔහුගේ කකුල් දෙකම ඔහුට අහිමි වුණා. ඔහුගේ පණ රැකුණත් මුළු ජීවිතයම අඳුරු ආගාධයකට ඇද වැටුණා. ඔහු කොතරම් කලකිරුණාද කිවහොත් තම ජීවිතය පවා නැති කරගැනීමට තැත් කළා. පවුල අය ඔහුව රැකබලා ගත්තත් ඔහුට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.

මේ අතරතුර යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් සුන්දර් ලාල්ව හමුවීමට පැමිණි අතර, පොළොව අලංකාර පාරාදීසයක් කිරීම පිළිබඳ දෙවිගේ පොරොන්දුව සහ දෙවිට ප්‍රේම කරන අයට දීමට යන පිරිපුන් සෞඛ්‍යය ගැන ඔහුට පෙන්වා දුන්නා. සුන්දර් ලාල් බයිබල් පාඩමකට එකඟ වුණ අතර අවුරුද්දක් පුරා උනන්දුවෙන් පාඩම් කළා. ඔහුව ක්‍රිස්තියානි රැස්වීම්වලට ආරාධනා කළා. ඔහු තම මිතුරෙකුගේ බයිසිකලයේ පිටුපස වාඩි වී රැස්වීමට පැමිණියා. එය ඔහුට වේදනාකාරි ගමනක් වුවත් ඔහු ප්‍රයෝජනදායක ප්‍රතිඵල ලැබුවා. දෙවිගේ වචනයේ ඇති පොරොන්දු කෙරෙහි විශ්වාස කරන සහ බයිබලයේ ඉගැන්වීම්වලට අනුකූලව ජීවත් වන අයව මුණගැසුණ විට, ඔහු පෞද්ගලික බයිබල් පාඩමෙන් ඉගෙනගත් දේ ඔහුට හොඳින් තහවුරු වුණා.

සුන්දර් ලාල් තම අසල්වැසියන් සමඟ ශුභාරංචිය බෙදාගත් අතර 1995දී බව්තීස්ම වුණා. මුලින්ම ඔහු දේශනා සේවය කළේ තමන්ගේ ගමෙයි. ඔහු ගෙයින් ගෙට ගියේ බිම දිගේ ඇදි ඇදීයි. නමුත් දැන් ඔහුට තම ආත්මික සහෝදරයන්ගෙන් තෑග්ගක් ලෙස ලැබුණ අතින් “පැදවිය” හැකි රෝද තුනේ බයිසිකලයක් තියෙනවා. ඔහුගේ බයිසිකලයේ පිහිටෙන් ඔහුට දැන් තනියෙන් දේවල් කරගැනීමට හැකියාවක් තිබෙන අතර, රැස්වීම් සඳහා කිලෝමීටර් 12ක් දුරින් පිහිටි රාජ්‍ය ශාලාවට ඔහු කාගෙවත් උපකාරයක් නැතුව පැමිණෙනවා. මෝසම් වැසි කාලයේදී හෝ සෙල්සියස් අංශක 43ක තරම් උණුසුම් කාලයේදී පවා ඔහු තනිවම බයිසිකලය පැදගෙන එනවා.

සුන්දර් ලාල් රැස්වීම්වලට පැමිණෙනවාට අමතරව අනිත් අයටත් සැබෑ දෙවි යෙහෝවා කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟීමට උපකාර කිරීමේ අරමුණින් බොහෝ බයිබල් පාඩම් පවත්වනවා. ඔහුත් සමඟ බයිබලය පාඩම් කළ ශිෂ්‍යයන් හත්දෙනෙක් බව්තීස්ම වී තිබෙනවා. ඒ වගේම මුලින්ම ඔහුට මුණගැසුණ, පසුව සෙසු සාක්ෂිකාරයෙක් සමඟ බයිබලය පාඩම් කර බව්තීස්ම වූ තුන්දෙනෙක් සිටිනවා.

බයිබලයට අනුව, ‘සියල්ලන්ටම ඇදහිල්ල නැත.’ (2 තෙසලෝනික 3:2) නමුත්, “සදාකාල ජීවනය ලැබීමට නියමකරනලද” අයට, නිතිපතා දෙවිගේ වචනය පාඩම් කිරීම මගින් ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගත හැක. (ක්‍රියා 13:48) ඇත්තෙන්ම එවැනි පාඩමක් තුළින් දීප්තිමත් අනාගතයක් දැකීමට හැකියාවක් ලබා දෙනවා. මෙයාකාරයෙන් බයිබල් පාඩම් පැවැත්වීම ඉන්දියාවේ කැපීපෙනෙන ලෙස වර්ධනය වන අතර, බොහෝ මනුෂ්‍යයන් ඇදහිල්ල පවත්වමින් සිටිනවා.

[30වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඇෆ්ගනිස්තානය

පකිස්තානය

නේපාලය

භූතානය

චීනය

බංග්ලාදේශය

මියන්මාර්

ලාඕසය

තායිලන්තය

වියට්නාමය

කාම්බෝජය

ශ්‍රී ලංකාව

ඉන්දියාව

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.