Skip to content

පටුනට යන්න

‘ඔබේ සිත ආරක්ෂා කරගන්න’

‘ඔබේ සිත ආරක්ෂා කරගන්න’

‘ඔබේ සිත ආරක්ෂා කරගන්න’

‘දෙවි මනුෂ්‍යයන් බලන්නාක් මෙන් නොබලන්නේය; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නමුත් යෙහෝවා සිත බලන්නේය’ කියා අනාගතවක්තෘ සාමුවෙල්ට යෙහෝවා පැවසුවා. (1 සාමුවෙල් 16:7) ගීතිකාකාර දාවිත්ද සිත වෙතට අවධානය යොමු කරමින් මෙසේ ගැයුවා. ‘යෙහෝවා, ඔබ මාගේ සිත පරීක්ෂා කළේය; රාත්‍රියේ මා බැලුවේය; ඔබ මා විමසුවේය, මා තුළ කිසි නපුරු අදහසක් නොදක්නේය.’—ගීතාවලිය 17:3.

අප සැබවින්ම මොන වගේ පුද්ගලයන්ද කියා විමසා බැලීම සඳහා යෙහෝවා සිතේ තිබෙන දේ පරීක්ෂා කර බලන බව පැහැදිලියි. (හිතෝපදේශ 17:3) එසේ නම්, ‘සියල්ලට වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය’ කියා සාලමොන් රජ උපදෙස් දුන්නේ හොඳ හේතු ඇතුවයි. (හිතෝපදේශ 4:23) අපි කොහොමද අපේ සිත ආරක්ෂා කරගන්නේ? හිතෝපදේශයේ 4වන පරිච්ඡේදය ඇසුරෙන් අපට පිළිතුර ලබාගත හැකියි.

පියෙකු දෙන හික්මවීම පිළිගන්න

හිතෝපදේශ 4වන පරිච්ඡේදය ආරම්භ වන්නේ මෙලෙසයි. “මාගේ පුත්‍රය, පියෙකුගෙන් ලැබෙන හික්මවීම පිළිගන්න, අවබෝධය ලබාගන්නා පිණිස අවධානය යොමු කරන්න. මම ඔබට යහපත් උපදෙස් දෙන බැවින් මාගේ ව්‍යවස්ථාව අත් නොහරින්න.”—හිතෝපදේශ 4:1, 2NW.

යෞවනයන් මෙම උපදෙස් අදාළ කරගන්නේ කෙසේද? දේවභියැති තම දෙමව්පියන්ගේ නැණවත් උපදෙස්වලට අවධානය යොමු කිරීමෙනි. තවද පවුලේ ශාරීරික මෙන්ම ආත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා පියෙකුට ශුද්ධ ලියවිලිමය වගකීමක් තිබෙන නිසා, දරුවන් ඔහුගේ උපදෙස්වලට විශේෂ අවධානයක් දිය යුතුයි. (ද්විතීය කථාව 6:6, 7; 1 තිමෝති 5:8) එවැනි මඟ පෙන්වීමක් නොමැතිව යෞවනයෙකුට මේරූභාවය කරා ළඟාවීම කොතරම් දුෂ්කර කාර්යයක්ද! එසේ නම්, දරුවෙකු තම පියාගෙන් ලැබෙන හික්මවීම ගෞරවයෙන් භාරගැනීම නැණවත් දෙයක් නොවේද?

නමුත් පියෙකු නොමැති යෞවනයෙකුගේ තත්වය කුමක්ද? එකොළොස් හැවිරිදි ජේසන් ගැන සිතා බලන්න. a වයස අවුරුදු හතරේදී ඔහුට පියාව අහිමි වුණා. ඔහුගේ ජීවිතයේ ලොකුම ප්‍රශ්නය මොකක්ද කියා වැඩිමහල්ලෙක් ඇසූ විට ජේසන් මෙසේ පිළිතුරු දුන්නා. “මට තාත්ති නැතුව හරිම පාළුයි. හරිම දුකක් දැනෙනවා.” ඔව්, ඔහුට තාත්තා නැති අඩුව දැනුණා. නමුත් ජේසන් වැනි දරුවන්ට දෙමව්පියෙකුගේ මඟ පෙන්වීම ලැබුණේ නැතත් ඔවුන් අධෛර්යයට පත් නොවිය යුතුයි. මන්ද ක්‍රිස්තියානි සභාවේ සැනසිලිදායක උපදෙස් සපයන පියවරුන් බඳු වැඩිමහල්ලන් හා වෙනත් මේරූ වැඩිහිටියන් සිටිනවා. උපදෙස් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඔවුන්ට මෙවැනි අය වෙත එළඹෙන්න පුළුවන්.—යාකොබ් 1:27.

සාලමොන් තමා ලද අධ්‍යාපනය සිහියට නඟන්නේ මේ ආකාරයටයි. “මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.” (හිතෝපදේශ 4:3) රජ තම ළමා වියේදී ලැබූ පුහුණුව ආශාවෙන් සිහිපත් කළ බව මෙයින් පැහැදිලි වෙයි. පියෙකුගේ උපදෙස් සිතට ගත් “ප්‍රිය පුත්‍රයෙක්” වශයෙන් සාලමොන් තම පිය වූ දාවිත් සමඟ සමීප සබඳතාවක් භුක්ති වින්ද බව නිසැකයි. එපමණක් නොවෙයි, සාලමොන්ව ආදරණීය ‘එකම පුත්‍රයා’ වශයෙන්ද සැලකුවා. කිසිම පසුබැසීමක් නොමැතිව දෙමව්පියන් සමඟ අදහස් හුවමාරු කළ හැකි උණුසුම්, ප්‍රේමනීය වාතාවරණයක් තිබීම දරුවෙකුට කොතරම් වැදගත්ද!

ප්‍රඥාව හා අවබෝධය අත් කරගන්න

තම පියාගේ ප්‍රේමනීය උපදෙස් සිහියට නඟමින් සාලමොන් මෙසේ කිව්වා. “ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න. ප්‍රඥාව ලබාගන්න, නුවණ [අවබෝධය, NW] ලබාගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීම්වලින් අහක්ව නොයන්න. ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ නුඹ ප්‍රවේසම්කරනවා ඇත; ඈට ප්‍රේමකරන්න, ඈද නුඹ ආරක්ෂාකරනවා ඇත. ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ [අවබෝධය, NW] ලබාගන්න.”—හිතෝපදේශ 4:4-7.

“ප්‍රඥාව ප්‍රධාන දෙය” කියා පවසන්නේ ඇයි? ප්‍රඥාව කියන්නේ දැනුම හා අවබෝධය උපයෝගී කරගෙන යම් යහපත් ප්‍රතිඵලයක් අත් කරගැනීමයි. ප්‍රඥාවට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු දෙයක් වන්නේ දැනගැන්මයි. දැනුම කියන්නේ නිරීක්ෂණය හා අද්දැකීම් තුළින් හෝ කියවීම හා අධ්‍යයනය තුළින් විවිධ කාරණා පිළිබඳව රැස් කරගත් තොරතුරුයි. නමුත් යහපත් ප්‍රතිඵල ගෙන දෙන අයුරින් එම දැනුම භාවිත කිරීමට අපට නොහැකි නම් එයින් කිසි ප්‍රයෝජනයක් නැහැ. එමනිසා, බයිබලය හා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් සපයා ඇති බයිබලය මත පදනම් වූ වෙනත් ප්‍රකාශන නිතිපතා කියවනවාට අමතරව, එයින් ඉගෙනගන්නා දේවල් අපේ ජීවිතයට අදාළ කිරීමටද වෑයම් කළ යුතුයි.—මතෙව් 24:45.

අවබෝධය අත් කරගැනීමත් අත්‍යවශ්‍යයි. අවබෝධය නිසා අප අධ්‍යයනය කරමින් සිටින මාතෘකාව සම්බන්ධයෙන් රැස් කරගත් තොරතුරු එකිනෙකට ගළපමින් සම්පූර්ණ පින්තූරයක් ලබාගැනීමට හැකි වෙනවා. අවබෝධයක් නැතුව යම් කාරණයක් එසේ වන්නේ ඇයි කියා අපට දැනගත නොහැකියි. විචාර බුද්ධිය හා තීක්ෂ්ණ බුද්ධිය ලබාගත නොහැකියි. ඔව්, කාරණා එකිනෙකට ගළපමින් සුදුසු නිගමනයකට එළඹීම සඳහා අපට අවබෝධය අවශ්‍යයි.—දානියෙල් 9:22, 23.

සාලමොන් තම පියාගේ වචන දිගටම සඳහන් කරමින් මෙසේ කියයි. “ඇය [ප්‍රඥාව] ශ්‍රේෂ්ඨකරන්න, ඈද නුඹ උසස්කරන්නීය. නුඹ ඇය වැලඳගත්තාම, ඈ නුඹ ගෞරවයට පමුණුවන්නීය. ඈ නුඹේ හිසට ශෝභන මාලාවක් දෙන්නීය; අලංකාර ඔටුන්නක්ද ඈ නුඹට පළඳවන්නීය.” (හිතෝපදේශ 4:8, 9) දේවප්‍රඥාව වැලඳගන්නා පුද්ගලයා එයින් ආරක්ෂාව ලබාගන්නවා. තවද එයින් ඔහුට ගෞරවයත් අලංකාරයත් පිරිනැමෙනවා. එසේ නම්, අපි ප්‍රඥාව අත් කරගන්න උපරිම වෑයමක් දරමු.

‘හික්මවීම තදින් අල්ලාගන්න’

ඉශ්‍රායෙල්හි රජ තම පියාගේ වදන් මෙසේ සිහියට නඟයි. “මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ [ආයුෂ වැඩි, NW] වන්නේය. ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරිවූ මාවත්වල නුඹ ගෙනගියෙමි. නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය; දුවන කල නුඹ නොපැකිලෙන්නෙහිය. ගුරුකම [හික්මවීම, NW] තදින් අල්ලාගෙන අතනෑර, එය තබාගන්න; මක්නිසාද එය නුඹේ ජීවනයය.”හිතෝපදේශ 4:10-13.

පියාගේ ප්‍රිය පුත්‍රයා වශයෙන් තමාව හරි මාර්ගයට යොමු කිරීමේ හා දැනුවත් කිරීමේ අරමුණෙන් දුන් ප්‍රේමනීය හික්මවීමේ වටිනාකම සාලමොන් අගය කරන්න ඇති. සමබරව දෙන හික්මවීම නැතුව, අපට ආත්මික මේරූභාවය කරා ළඟාවීමට හෝ අපේ ජීවිතය සාර්ථක කරගැනීමට හැකිද? අපේ අතින් සිදු වූ වැරදිවලින් පාඩමක් ඉගෙනගැනීමට අසමත් වුණොත්, එහෙම නැත්නම් අප තුළ තිබෙන වැරදි අදහස් නිවැරදි කරගැනීමට වෑයම් නොකළොත් අප ආත්මික වශයෙන් දියුණුවක් අත් කරගන්නේ කෙසේද? සාධාරණව දෙන හික්මවීම අපව දේවභක්තික ජීවිතයකට මඟ පෙන්වන අතර, “හරිවූ මාවත්වල” ගමන් කිරීමටද අපට උපකාරවත් වෙනවා.

හික්මවීමේ තවත් පැත්තක් සලකා බලන්න. එයින් ‘අපේ ජීවිතයේ ආයුෂ වැඩි’ කරගැනීමටත් පුළුවන්. මොන වාගේ හික්මවීමක් ගැනද අප කතා කරන්නේ? යේසුස් ක්‍රිස්තුස් අපට පිළිතුරු සපයනවා. “ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි” කියා ඔහු පැවසුවා. (ලූක් 16:10) අප සුළු සුළු දේවල් සම්බන්ධයෙනුත් අපවම හික්මවාගන්නවා නම් අපේ ජීවිතය රඳා පවතින වඩාත් බැරෑරුම් කාරණා සම්බන්ධයෙන් එසේ කිරීම වඩා පහසු වන්නේ නැද්ද? උදාහරණයක් හැටියට ‘ස්ත්‍රියක් දෙස රාගයෙන් නොබැලීමට’ අපේ ඇස් පුහුණු කරගන්නවා නම්, දුරාචාරයට වැටෙන්න තිබෙන ඉඩ කඩ අපට සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. (මතෙව් 5:28) ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ම තමන්ව මේ සම්බන්ධයෙන් හික්මවාගත යුතු බව මතක තබාගැනීම වැදගත්. අපේ මනස හික්මවාගෙන ‘අප සියලු සිතිවිලි ක්‍රිස්තුස්ට කීකරු වීමට වහල් කර දෙනවා’ නම් වචනයෙන් හා ක්‍රියාවෙන් කරන බරපතළ පාප අපට වළක්වාගත හැකියි.—2 කොරින්ති 10:5.

සාමාන්‍යයෙන් අපට හික්මවීම ලැබෙන විට එය පිළිගැනීම පහසු දෙයක් නොවන බව ඇත්තයි. සමහරවිට එය අපව හිර කර තබනවා කියාත් අපට හැඟෙන්න පුළුවන්. (හෙබ්‍රෙව් 12:11) නමුත් අප හික්මවීම තදින් අල්ලාගන්නවා නම් අපට ආත්මික වශයෙන් දියුණුවක් අත් කරගන්න පුළුවන් බව ප්‍රඥාවන්ත රජ අපට සහතික කරනවා. තරඟකරුවෙකුට වැටෙන්නේවත් තුවාල වන්නේවත් නැතුව ධාවන පථයේ උපරිම වේගයෙන් දුවන්න හැකි කරවන හොඳ පුහුණුව හා සමානව, හික්මවීම තදින් අල්ලාගැනීම තුළින් අපට පසුබසින්නේ නැතුව ස්ථාවර වේගයකින් ජීවන මාර්ගයේ දිගටම ගමන් කරන්න පුළුවන් වේවි. නමුත් ඊට කලින්, අප තෝරාගන්නා මාර්ගය ගැන පරෙස්සම් විය යුතුයි.

“දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න”

“දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න. එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න. මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි. මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති” කියා දැන් සාලමොන් අවවාද කරයි.—හිතෝපදේශ 4:14-17.

දුෂ්ටයන් සමඟ සමාගම් නොපවත්වන්න කියා සාලමොන් අපට අනතුරු අඟවයි. මෙවැනි අයගේ මුළු ජීවිතයම රඳාපවතින්නේ තමන් කරන දුෂ්ට ක්‍රියාවන් මතයි. නපුර කිරීම හරියට ඔවුන්ට කෑම, බීම හා සමානයි. සැහැසික ක්‍රියාවල යෙදුණේ නැත්නම් ඔවුන්ට සුවසේ නිදාගැනීම පවා දුෂ්කරයි. ඔවුන්ගේ පෞද්ගලිකත්වය මුළුමනින්ම දූෂ්‍ය වී තිබෙනවා! මෙවැනි අය සමඟ ආශ්‍රය කරන ගමන්ම අපේ සිත ආරක්ෂා කරගන්න අපට පුළුවන්ද? අදදින ලෝකයේ විනෝදාස්වාදය සපයන මාධ්‍යයන් මගින් ඉදිරිපත් කරන සැහැසික වැඩසටහන්වලට අපවම නිරාවරණය කිරීමෙන් ‘නපුරු මිනිසුන්ගේ මාර්ගයට ඇතුල් වීම’ කොයිතරම් මෝඩකමක්ද! මෘදුකම හා දයානුකම්පාව වර්ධනය කිරීමට වෑයම් කරන ගමන්ම, රූපවාහිනිය හෝ චිත්‍රපට මාර්ගයෙන් ඉදිරිපත් කරන තැතිගන්වනසුලු නරක දර්ශන නැරඹීම කොහෙත්ම යථාර්ථවාදී නොවෙයි.

ආලෝකයේ රැඳී සිටින්න

මාර්ගය පිළිබඳ නිදර්ශනය දිගටම භාවිත කරමින් සාලමොන් මෙසේ ප්‍රකාශ කරයි. “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.” (හිතෝපදේශ 4:18) බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගෙන එය ජීවිතයට අදාළ කරගන්න වෑයම් කිරීම හරියට උදේ පාන්දරින්ම පටන්ගන්නා ගමනක් හා සමානයි. අඳුරු අහස නිසා අපට කිසිම දෙයක් නොපෙනෙයි. නමුත් එළිය වැටෙද්දී අපට ක්‍රමක්‍රමයෙන් අපේ වට පිටාව දැකගැනීමට හැකි වෙනවා. පසුව, හිරු එළිය දීප්තියෙන් බැබළෙද්දී සෑම දෙයක්ම ඉතා පැහැදිලිව දැකගන්න පුළුවන්. අප ඉතා උනන්දුවෙන් හා ඉවසිලිවන්තව ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරද්දී, සත්‍යය අපට වඩ වඩා පැහැදිලි වන ආකාරය මෙයින් හොඳට නිදර්ශනය වෙනවා. මේ ආකාරයෙන් සිතට ආත්මික පෝෂණයක් ලබා දීම, මුළා කරවන බොරු තර්කයන්ගෙන් සිත ආරක්ෂා කිරීම සඳහා ඉතාමත් වැදගත්.

බයිබල් අනාවැකිවල අර්ථය හා වැදගත්කමද අපට අනාවරණය වන්නේ ක්‍රමානුකූලවයි. යෙහෝවාගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම, ලෝක සිදුවීම් හා දෙවිගේ ජනයාගේ අද්දැකීම් තුළින් අනාවැකිවල අර්ථය අපට පැහැදිලි වෙනවා. එමනිසා නොඉවසිලිවන්ත ලෙස එම අනාවැකිවල ඉටුවීම ගැන අනුමාන කරනවා වෙනුවට “වඩ වඩා ආලෝකවේගන” එන තෙක් අප බලා සිටිය යුතුයි.

දෙවිගේ මඟ පෙන්වීමට පිටුපාමින් ආලෝකයේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරන අයට කුමක් සිදු වේද? සාලමොන් මෙසේ පිළිතුරු සපයයි. “දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. [තමන්] කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.” (හිතෝපදේශ 4:19) අන්ධකාරයේ තමා කුමක පැටලී වැටුණාදැයි නොදන්නා කෙනෙකුට දුෂ්ටයන්ව සමාන කළ හැකියි. අභක්තික මිනිසුන් ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් වාසි ලබනවායයි පෙනුණත්, එය තාවකාලික වාසියක් පමණයි කියා අප මතක තබාගත යුතුයි. එවැනි අය සම්බන්ධයෙන් ගීතිකාකරු මෙසේ ගායනා කළා. ‘සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවන්නේය. යෙහෝවා, ඔබ ඔවුන් විනාශයට හෙළන්නේය.’—ගීතාවලිය 73:18.

අවදිව සිටින්න

ඉශ්‍රායෙල්හි රජ තවදුරටත් මෙසේ අවවාද කරයි. “මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන [යොමු කරන්න]. ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න. මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.”හිතෝපදේශ 4:20-23.

සාලමොන්ගේ ආදර්ශය තුළින්, සිත ආරක්ෂා කරගැනීම සඳහා දී ඇති උපදෙස්වලට සවන් දීම කොතරම් වැදගත්ද කියා පැහැදිලි වෙයි. ඔහු තම පියාගේ “ප්‍රිය පුත්‍රයෙක්” වශයෙන් සෑහෙන කාලයක් පුරා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළ බව ඇත්තයි. නමුත් “සාලමොන් මහලුවූ කල ඔහුගේ [විදේශීය] භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ [යෙහෝවා] කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.” (1 රාජාවලිය 11:4) අවදිව නොසිටියොත් අවංක සිතක් ඇති කෙනෙකු පවා නොමඟ යා හැකි බව මින් පැහැදිලි වෙයි. (යෙරෙමියා 17:9) දෙවි තමාගේ වචන තුළින් අපට ලබා දෙන සිහිගැන්වීම් ‘අපේ සිත තුළ තබාගත’ යුතුයි. ඔව්, අපි ඒවා අපේ සිතේ නිදන් කරගත යුතුයි. මෙසේ නිදන් කළ යුතු සිහිගැන්වීම්වලට හිතෝපදේශ පොතෙහි 4වන පරිච්ඡේදයද ඇතුළත් වෙයි.

ඔබේ සිත පරීක්ෂා කර බලන්න

සිත ආරක්ෂා කරගැනීමට අප දරන ප්‍රයත්න කොතරම් දුරට සාර්ථකද? අපේ සිතෙහි සැබෑ තත්වය මොන වගේද කියා අප දැනගන්නේ කොහොමද? “සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි” කියා යේසුස් ක්‍රිස්තුස් පිළිතුරු දෙයි. (මතෙව් 12:34) ඔහු තවදුරටත් පැවසුවේ, “නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් [නික්මෙන]” බවයි. (මතෙව් 15:19, 20) ඔව්, අපේ සිතේ තිබෙන දේ අපේ කතාවෙන් හා ක්‍රියාවෙන් සෑහෙන දුරට හෙළි වෙනවා.

එමනිසා සාලමොන්ගේ ඊළඟ අවවාදය ඉතා යෝග්‍යයි. “වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න. නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා. [දෙසිත් නැතිව එක එල්ලේ කෙළින් බලන්න, නව අනුවාදය] නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා. දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න” කියා ඔහු පවසනවා.—හිතෝපදේශ 4:24-27.

සාලමොන්ගේ අවවාදය සලකා බලද්දී, අපේ ක්‍රියා හා අපේ කතා බහ ගැන අප සුපරීක්ෂාකාරි විය යුතු බව පැහැදිලියි. අපේ සිත ආරක්ෂා කරගෙන දෙවිව සතුටට පත් කිරීමට නම් වංචාව හා වංකකම අප ප්‍රතික්ෂේප කළ යුතුයි. (හිතෝපදේශ 3:32) එමනිසා අපේ කතා බහ හා ක්‍රියා තුළින් අප පිළිබඳව හෙළි වන්නේ කුමක්ද කියා අප යාච්ඤාපූර්වකව සලකා බලන්න අවශ්‍යයි. අපට යම් දුර්වලතාවක් ඇති බව එමගින් හෙළි වේ නම්, අවශ්‍ය සකස් වීම් කිරීම සඳහා අපි යෙහෝවාගේ උපකාරය පතමු.—ගීතාවලිය 139:23, 24.

අවධානය වෙනතකට යොමු නොකර, ‘එක එල්ලේ කෙළින් බැලීමට’ විශේෂ ප්‍රයත්නයක් දරමු. ඔව්, අපේ ස්වර්ගික පියාට මුළු හදින්ම සේවය කිරීම නමැති ඉලක්කය වෙත අපේ ඇස් එක එල්ලේ යොමු කරගනිමු. (කොලොස්සි 3:24) එවැනි ධර්මිෂ්ඨ මාර්ගයක ගමන් කිරීමට වෙර දරද්දී, යෙහෝවා ඔබේ “සියලු මාර්ග ස්ථිර” කරමින්, ‘සිත ආරක්ෂා කරගැනීමට’ ඔබ දරන සෑම වෑයමකදීම ඔහු ඔබට ආශීර්වාද කරාවි යන්න අපේ පැතුමයි.

[පාදසටහන]

a නම වෙනස් කර තිබේ.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සැහැසියාවට දිරි දෙන විනෝදාස්වාදයෙන් ඔබ වැළකී සිටිනවාද?

[21වන පිටුවේ පින්තූරය]

අද්දැකීම් ලත් අයගේ උපදෙස් සිතට ගන්න

[23වන පිටුවේ පින්තූරය]

හික්මවීම ඔබේ වර්ධනයට බාධාවක් නොවේ

[24වන පිටුවේ පින්තූරය]

බයිබල් අධ්‍යයනයෙහි දිගටම නිරත වන්න