Skip to content

පටුනට යන්න

ඔබ දෙවිගේ ගෘහයේ ඇත්තාවූ සාරවත් ඔලීව ගසක්ද?

ඔබ දෙවිගේ ගෘහයේ ඇත්තාවූ සාරවත් ඔලීව ගසක්ද?

ඔබ දෙවිගේ ගෘහයේ ඇත්තාවූ සාරවත් ඔලීව ගසක්ද?

විනාශ කළ නොහැකි, අද්විතීය වෘක්ෂයක් ඊශ්‍රායෙලයේ ඇත. කඳෙන් එය සම්පූර්ණයෙන් කපා දැමුවද විගස එහි මුල්වලින් රිකිලි හටගනී. ඒ විතරක් නොව එහි ඵලදාව නෙළාගන්නා අයෙකුට ඉන් මහඟු ප්‍රයෝජන අත් වේ. එයින් ලැබෙන තෙල් ආහාර පිසීමටත්, පහන් දැල්වීමටත්, සබන් හා රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයටත් යොදාගැනේ.

මේ පිළිබඳ පැරණි කතාන්තරයක්ද ඇත. එකමත් එක කාලෙක ‘ගස් තමුන් කෙරෙහි රජෙකු පත් කරගන්ට ගියේය.’ අන් සියලු ගස් පරදවා පළමු මනාපය දිනාගත්තේ වෙන කවුරුත් නොව ශක්තිමත් ඔලීව ගසයි.—විනිශ්චයකාරයන් 9:8.

මීට අවුරුදු 3,500කට ඉහතදී ඊශ්‍රායෙලය ‘හොඳ දේශයක්’ බව සනාථ කිරීමට එය ‘තෙල් ඔලීව ඇති දේශයක්’ යයි මෝසෙස් පැවසුවේය. (ද්විතීය කථාව 8:7, 8) එදා පැවති ඒ තත්වය ඊශ්‍රායෙලයේ තවමත් පවතී. එම දේශයේ උතුරේ පිහිටි හෙර්මොන් කන්දෙහි සිට දකුණෙහි පිහිටි බෙයෙර්-ෂෙබා දක්වා භූමි ප්‍රදේශය තවමත් ඔලීව යායවල්වලින් ගහනය. ෂාරොන්හි වෙරළටද, සමාරියේ ගල් පර්වත සහිත කඳුවැටිවලටද, ගලීලයේ සාරවත් බිම් ප්‍රදේශයටද මේ වෘක්ෂයන් අමුතුම සුන්දරත්වයක් එක් කරයි.

මේ වෘක්ෂය, දෙවිගේ දයානුකම්පාව, නැවත නැඟිටුවීමේ පොරොන්දුව හා සාර්ථක පවුල් ජීවිතය සංකේතවත් කිරීම සඳහා බයිබලයේ බොහෝවිට යොදාගෙන ඇත. මෙලෙස සංකේත ලෙස යොදාගැනීමට හේතුව පැහැදිලි කරගැනීම සඳහාත්, දෙවිගේ අන් මැවිලි හා එක්ව ඔහුට ප්‍රශංසා කරන මෙම අසමසම ගස අපට වඩ වඩා අගය කළ හැකිවීම සඳහාත් අපි දැන් ඔලීව ගස දෙස කිට්ටු බැල්මක් හෙළමු.—ගීතාවලිය 148:7, 9, 12ආ.

පහසුවෙන් විනාශ කළ නොහැකි ඔලීව ගස

මුලින්ම මේ ඔලීව ගස ගැන දැනගත යුතු කරුණු කිහිපයක් ඇත. මේ වෘක්ෂය දෙස බැලූ පමණින් කෙනෙකු තුළ පුදුමසහගත හැඟීම් පහළ වන්නේ නැත. මෙය ලෙබනොන්හි දේවදාර ගස මෙන් උදාර අතිවිශාල ගසක් නොවේ. කොට්ටම්බා ගස තරම් අලංකාර පෙනුමක්ද මෙයට නැත. එහි ලීය කිහිරි ලීය මෙන් වටින්නේද නැත. (සාලමොන්ගේ ගීතිකාව 1:17; ආමොස් 2:9) එහෙම නම් මෙහි විශේෂත්වය කුමක්ද? පොළොව යට සැඟවුණු එහි මුල්ය. එම මුල් අඩි 20ක් පමණ ගැඹුරට කිඳා බසින අතර හරස් අතට ඊටත් වඩා ඈතට විහිදෙයි. එහි අසීමිත ආයු කාලයටත් ඉන් ලැබෙන මහඟු ඵලදාවටත් රහස මෙයයි.

තද නියඟයක් ඇති වූ විට මිටියාවත්වල සශ්‍රීක පසෙහි වැවුණු ගස් සියල්ලක්ම වාගේ විනාශ වෙයි. එහෙත් එවැනි කාලවලදීත් එම මිටියාවත්වලට ඉහළින් පිහිටි, කටුක, ගල් සහිත කඳුවැටිවල පවා ඔලීව ගස් හොඳින් වැඩෙයි. මීට ප්‍රධාන හේතුකාරකය වන්නේ ඔලීව ගසේ අද්විතීය මුලයි. තවද, ශතවර්ෂ ගණනාවක් පැරණි වූ විට මෙම ගස ඇඹරී වියළී යන නිසා එය දරවලට මිස වෙන කිසිවකට වටින්නේ නැහැ කියා කෙනෙකුට හැඟිය හැකියි. එවැනි තත්වයක පවතින ඔලීව ගසකට පවා එහි ඵලදාව නොකඩවා ලබා දිය හැක්කේ මේ අපූරු මුල නිසයි. ඔලීව ගසේ අවශ්‍යතා සරලය, අල්පය. එනම් එයට අවශ්‍ය වන්නේ වැවෙන්ට ඉඩ, ආශ්වාස ප්‍රශ්වාස කිරීමට වායු මිශ්‍රිත පසක් හා පරපෝෂිතයන් බිහි විය හැකි වල්පැළ හෝ වෙනත් බෝග නැති බිමක් පමණි. මෙම මූලික අවශ්‍යතා සපුරන වැවිලිකරුට එක් ගසක් වසරකට තෙල් ලීටර 57ක් පමණ පිරිනමයි.

ඔලීව ගෙඩියෙන් ලබාගත් සාරය එනම් තෙල ඊශ්‍රායෙලිතයන් මහත් සේ අගය කළේය. ඔලීව තෙලින් දැල්වූ පහන්වලින් ඔවුන් තම නිවෙස් ආලෝකවත් කළේය. (ලෙවී කථාව 24:2) ආහාර පිසීම සඳහා මෙම තෙල් ඔවුන්ට නැතිවම බැරිය. තද හිරු රශ්මියෙන් තමන්ගේ සම ආරක්ෂා කරගැනීමට ඔවුහු මෙම තෙල් සිරුරුවල ගැල්වූහ. සබන් නිෂ්පාදනයට පවා ඊශ්‍රායෙලිතයෝ මෙම තෙල් යොදාගත්හ. එම දේශයේ ප්‍රධාන වගාවන් තුනක් තිබිණ. එනම් ධාන්‍ය, මිදි සහ ඔලීව වගාවන්ය. මේ සියල්ල සලකා බැලූ කල ඔලීව අස්වැන්න යම් හේතුවක් නිසා පාළු වී ගිය කාලවලදී, එය වතුහිමියන්ටත් ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ටත් අහිතකර බලපෑමක් ඇති කළායයි නිගමනය කිරීම සාධාරණය.—ද්විතීය කථාව 7:13; හබක්කුක් 3:17.

ඇත්තෙන්ම ඔලීව තෙල් හිඟ වූයේ ඉතාමත්ම කලාතුරකිනි. මෝසෙස් පොරොන්දු දේශය විස්තර කළ අවස්ථාවේදී එය ‘තෙල් ඔලීව ඇති දේශයක්’ යයි සඳහන් කළේ ඒවා බහුල ලෙස එම ප්‍රදේශයේ වවා තිබූ හෙයිනි. ඔලීව ගස “මේ රටට ආවේණික වූ එකම ගසයි” කියා දහනවවන සියවසෙහි විසූ එච්. බී. ට්‍රිස්ට්‍රම් නම් ස්වභාව විද්‍යාඥයා පැවසුවේය. එහි වටිනාකමත් බහුලත්වයත් හේතුවෙන් මධ්‍යධරණී ප්‍රදේශයේ මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරුව සඳහා එක් මාධ්‍යයක් ලෙස ඔලීව තෙල් භාවිත කළේය. යේසු පවා කෙනෙකුගේ ණයක් ගැන කී අවස්ථාවේදී එම ණය ප්‍රමාණය විස්තර කළේ ‘තෙල් බාත් සියයක්’ කියාය.—ලූක් 16:5, 6.

“ඔලීව පැළ මෙන්”

දෙවිගෙන් ලැබෙන ආශීර්වාද ඔලීව ගසක් යොදාගනිමින් හොඳින් පැහැදිලි කළ හැක. එසේනම් දේවභියැති මිනිසෙකුගේ විපාකය කුමක්ද? “නුඹේ භාර්යාව නුඹේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.” (ගීතාවලිය 128:3) “ඔලීව පැළ”? ඒ මොනවාද? තවද ඒවා ගීතිකාකරු දරුවන්ට සමාන කිරීමට හේතුව කුමක්ද?

ඔලීව ගසේ කඳෙහි පහළින්ම ඇති කොටස එනම් මුලෙන් කුඩා ඔලීව පැළ හටගැනීම ඒ ගසටම ආවේණික වූ ලක්ෂණයකි. a කාලයාගේ ඇවෑමෙන් ගසේ ඵලදාව අඩු වූ විට ඉඩම් හිමියා ගසේ මුලෙන් හටගන්න පැළ හෝ රිකිලි සමහරකට වැඩෙන්ට ඉඩහරී. වැඩුණු පසු එකම මුල් පද්ධතියකින් පෝෂණය වන, ප්‍රධාන ගසෙන් වෙන් කළ නොහැකි ගස් බවට මේවා පත් වෙයි. එවිට දක්නට ලැබෙන්නේ ආයු කාලය තරමක් ගෙවී ගිය මහ ගසක සෙවණේ වැඩෙන තරුණ ශක්තිමත් ගස් තුන හතරකි. මෙය තමන්ගේ මහලු පියා හා එක්ව මේසය වටා සිටින්නාවූ දරුවන්ට සමාන කළ හැක. ඒ ගස් සියල්ල එක්ව අයිතිකරුට විශිෂ්ට ඵලදාවක් ලබා දෙයි.

මේ සිද්ධාන්තය ක්‍රිස්තියානි පවුලක තත්වයට පහසුවෙන් අදාළ කළ හැක. ඇදහිල්ල තුළ ශක්තිමත්ව මුල් බැස සිටින දෙමාපියන්ගේ දරුවන්ට විශිෂ්ට ආත්මික උරුමයක් ලැබෙනවා පමණක් නොව ඔවුන්ට තම දෙමාපියන්ගෙන් දිගින් දිගටම ආත්මික ශක්තියද ලබාගත හැක. වැඩිහිටිභාවය කරා ගමන් කරද්දී ඔවුහුද ආත්මිකව ඵල දරති. තම දෙමාපියන් හා එක්ව යෙහෝවාට සේවය කරද්දී ඔවුන්ගේ දෙමාපියන් තුළ ඇති වන්නේ කියා නිම කළ නොහැකි ප්‍රීතියකි.—හිතෝපදේශ 15:20.

“ගහකට පවා බලාපොරොත්තුවක් ඇත්තේය”

තම දරුවන්ගේ දිව්‍යමය ගුණාංග දකිද්දී දෙවිට සේවය කරන පියෙකුට නිසැකවම ඇති වන්නේ මහත් සතුටකි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ ප්‍රේමනීය පියා “පොළොවේ සියල්ලන් යන ගමන” යයි. (1 රාජාවලිය 2:2) එවිට ඔහුගේ දරුවන්ට ඇති වන ඉමහත් ශෝකය දරාගැනීමට බයිබලය නැවත නැඟිටීමක් ගැන සහතිකයක් දෙයි.—යොහන් 5:28, 29; 11:25.

යෝබ්ට දරුවන් බොහෝදෙනෙකු සිටියේය. විගස පිපී විගස පර වී යන පුෂ්පයකට මිනිසාගේ ආයු කාලය සමාන කළ ඔහු ජීවිතයේ කෙටි බව හොඳින් වටහාගෙන සිටියේය. (යෝබ් 1:2; 14:1, 2) නමුත් මරණය පිළිබඳ යෝබ්ගේ දෘෂ්ටිය මොහොතකට සලකන්න. ඔහු කටුක වේදනාවකට මුහුණ දුන් කල ඔහු ඉල්ලා සිටියේ මරණයයි. ඒ හේතුවෙන් ඔහුට තම දරාගත නොහැකි දුකින් සැඟවෙන්ට පුළුවන් කියා ඔහු විශ්වාස කළේය. නමුත් ඊටත් වඩා විශේෂිතව ඔහු බලාපොරොත්තු වුණේ කවදා හෝ ඔහුට මරණය නමැති නින්දෙන් අවදි වී නැවත ජීවත් විය හැකි බවයි. “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද?” කියා යෝබ් ඇසුවේය. “මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි” කියා ඔහුම පිළිතුරු දෙන්ට පටන්ගනී. නමුත් ඔහුගේ පිළිතුර තවම අවසන් නැත. දැන් එයට ඔබේ කිට්ටු අවධානය දෙන්න. “ඔබ [යෙහෝවා අඬගසන්නේය], මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ [ආශා වන්නේය].”—යෝබ් 14:13-15.

මිය ගියාට පසු ඔහුගේ දේහය තැන්පත් කළ මිනීවළෙන් එළියට එන ලෙස දෙවි ඔහුට කවදා හෝ හඬගසන බවට නිසැකකමක් යෝබ්ට තිබුණේය. මෙය පැහැදිලි කිරීමට ඔහු ගසක් මුල් කරගත් උපහැරණයක් භාවිත කළේය. ඔහු ගස කුමක්ද කියා නමින්ම සඳහන් නොකළත් එය කුමක්ද කියා නිගමනය කිරීමට හොඳ සාක්ෂි ඇත. “ගහකට පවා බලාපොරොත්තුවක් ඇත්තේය” කියා ඔහු කියයි. “ගස කපා දැමුවත් එහි රිකිලි නැවතත් හටගන්නේය.” (යෝබ් 14:7NW) අප ඉහත සාකච්ඡා කළ කරුණුවලට අනුව ඔහු සඳහන් කරන මේ ගස ඔලීව ගස විය යුතුයි. මන්ද එහි කඳ කපා අයින් කර දැමුවත් විනාශ කළ නොහැක. ඔලීව ගස විනාශ කිරීමට ඇත්තේ එක ක්‍රමයක් පමණි. එසේ කිරීමට නම් එහි දැවැන්ත මුල්ද උගුල්ලා දැමිය යුතුයි. එසේ නොකළහොත් එය නැවතත් දළුලයි. එය නිසැකවම නැවත ජීවත් වෙයි.

දිගු කල් පවතින නියඟයක් හේතුවෙන් පරණ ඔලීව කඳක් වියළී ඇඹරී යා හැක. එහෙත් එයට පවා පුනර්ජීවයක් දිය හැක. “ඒකේ මුල බොහෝ කල් පොළොවෙහි පරණවී, ඒකේ කඳ බිමෙහි මැරුණත්, වතුරට පෙඟීමෙන් ඒක දළුලා, පැළෑටියක් [අලුත් ගසක්, NW] මෙන් අතු ලියලනවා ඇත.” (යෝබ් 14:8, 9) යෝබ් ජීවත් වූයේ වියළි, දූවිල්ලෙන් නැහැවුණු ප්‍රදේශයකයි. ඒ නිසා මෙවන් වියළුණු කිසිම ප්‍රාණවත්බවක් නොමැති ඔලීව කඳන් ඕනෙ තරම් ඔහු දැක තිබෙන්ට ඇති. නමුත් වැසි කාලය පැමිණි සැණින්ම මේ “මැරුණ” ගස්වලට නව ජීවයක් ලැබිණ. ඒවායේ මුල්වලින් නව කඳන් නික්මුණු අතර ඒවා හරියට ‘අලුත් ගස් මෙන්ය.’ ටියුනීසියාවේ උද්‍යාන විද්‍යාඥයෙක් මේ සම්බන්ධව මෙසේ පවසයි. “ඔලීව ගස් අමරණීයයි කියල කිව්වත් වැරදි නෑ.”

තම වියළුණු ඔලීව ගස් නැවතත් පැළ වෙනවා දැකගන්ට ගොවියෙකුට මහත් ආශාවක් ඇත්තා සේම තම ඇදහිලිවන්ත නමස්කාරකයන්ව නැවත නැඟිටුවීමට යෙහෝවාට ඇත්තේ ඉමහත් ආශාවකි. ආබ්‍රහම් සහ සාරා, ඊසාක් සහ රෙබෙකා ඇතුළුව බොහෝ ධර්මිෂ්ඨ අය නැවතත් ජීවතුන් අතර සිටීම දැකබලා ගැනීමට යෙහෝවා නොඉවසිල්ලෙන් සිටිනවා කියා පැවසිය හැකියි. (මතෙව් 22:31, 32) නැවත නැඟිටින අයව දැකබලා ගැනීමට හැකි වන විටත් ඔවුන් ඵලදායී ජීවිත ගත කරනවා දකින විටත් අප තුළ මොනතරම් පුදුම දනවන හැඟීම් පහළ වේවිද!

සංකේතවත් ඔලීව ගස

නැවත නැඟිටීමේ සැපයුම මාර්ගයෙන් දෙවිගේ දයානුකම්පාව පැහැදිලිව තේරුම්ගත හැක. නමුත් ඒ දයානුකම්පාවේ තවත් විශිෂ්ට පැත්තක් වන්නේ දෙවිගේ අපක්ෂපාතීත්වයයි. නමුත් දෙවි තෝරාගත් ජාතිය එනම් තමන් “ආබ්‍රහම්ගේ වංශය” යයි විශ්වාස කළ යුදෙව්වන්ට තිබුණේ උඩඟු ආකල්පයකි. ඔවුහු අන්‍යජාතිකයන්ව පහත් කොට සැලකූහ. යෙහෝවාගේ දයානුකම්පාව එක් ජාතියකට හෝ වර්ගයකට පමණක් සීමා නොවන බව විස්තර කිරීම සඳහා පැවසූ නිදසුනකට පාවුල් භාවිත කළේද ඔලීව ගසකි.—යොහන් 8:33; ලූක් 3:8.

යුදෙව්වෙකු වීම දෙවිගේ අනුග්‍රහය ලබාගැනීමට අත්‍යවශ්‍ය සුදුසුකමක් නොවීය. එනමුත් යේසුස්ගේ මුල් ගෝලයන් සියලුදෙනාම යුදෙව්වන් විය. මේ නිසා දෙවි පොරොන්දු වූ ආබ්‍රහම්ගේ වංශයේ මුල් සාමාජිකයන් වීමට මොවුන්ට ප්‍රස්තාව ලැබිණ. (උත්පත්ති 22:18; ගලාති 3:29) යේසුස් තෝරාගත් මෙම ගෝලයන්ව පාවුල් සංකේතවත් ඔලීව ගසක අතුවලට සමාන කළේය.

එහෙත් යුදෙව්වන්ගෙන් බහුතරයක්ම යේසුව ප්‍රතික්ෂේප කළේය. එහෙයින් ‘කුඩා රැළෙහි’ හෝ ‘දෙවිගේ ඉශ්‍රායෙල්හි’ හවුල්කරුවන් වීමේ ප්‍රස්තාව ඔවුන්ගෙන් ගිලිහී ගියේය. (ලූක් 12:32; ගලාති 6:16) මොවුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඇති වූ අඩුව පිරිමැසීම සඳහා දෙවි කළේ කුමක්ද? ආබ්‍රහම්ගේ වංශයේ කොටසක් වීමට පො.යු. 36දී අන්‍යජාතිකයන්ට ඔහු ඇරයුම් කළේය. එය නිකම් වල් ඔලීව ගසකින් කපාගත් අත්තක් වත්තක හොඳින් සාත්තු කරන ලද ඔලීව ගසකට බද්ධ කළා හා සමානය. මෙමගින් ක්‍රිස්තියානීන් වූ අන්‍යජාතිකයන්ට පවා පොරොන්දු වූ ආබ්‍රහම්ගේ වංශයේ කොටසක්, එනම් ‘ඔලීව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයන්’ වීමේ අවස්ථාව උදා වී ඇත.—රෝම 11:17.

ඇත්තෙන්ම වල් ඔලීව ගසක අත්තක් වතුයායක වගා කර ඇති ඔලීව ගසකට බද්ධ කිරීම ගොවියෙකුට අදහාගැනීමටවත් බැරි දෙයකි. එය “ස්වභාවයට විරුද්ධ” ක්‍රියාවකි. (රෝම 11:24) මේ පිළිබඳව දේශය හා ග්‍රන්ථය (ඉංග්‍රීසියෙන්) යන පොත මෙසේ කියයි: “හොඳ ගසක අත්තක් වල් ගසට බද්ධ කළාට කමක් නෑ කියා අරාබි ජාතිකයන් අතර කියමනක් ඇත. එතකොට හොඳ අත්ත වල් ගස දමනය කරාවි. නමුත් වල් ගසක අත්තක් හොඳ ගසකට බද්ධ කිරීමෙන් කිසිම සාර්ථකත්වයක් ලබන්න බැහැ.” මෙය දැන සිටි ක්‍රිස්තියානීන් දෙවි “තමන්ගේ නාමයට අන්‍යජාතීන්ගෙන් සෙනඟක් ගන්නා පිණිස පළමුවෙන් ඔවුන් දෙස බැලූ” බව අසන්ට ලැබූ විට මහත් සේ පුදුම විය. (ක්‍රියා 10:44-48; 15:14) දෙවිගේ අරමුණෙහි ඉටුවීම එක් ජාතියක් මත පමණක් රඳා නොපැවතුණ බවට මෙය පැහැදිලි සාක්ෂියක් විය. ඔව්, “සියලු ජාතීන් අතරේ [ඔහු] කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ [ඔහුට ප්‍රසන්නයි].”—ක්‍රියා 10:35.

හොඳ ආත්මික ඔලීව ගසේ හටගත් නොඇදහිලිවන්ත යුදෙව් “අතු” කපා ඉවත් කර දමා තිබූ බව පාවුල් පැවසුවේය. උඩඟුකම නිසා හෝ අකීකරුකම නිසා හෝ දෙවිගේ අනුග්‍රහය අහිමි වන ඕනෑම කෙනෙකුට මෙවන් විපතක් සිදු විය හැක. (රෝම 11:19, 20) ලබන්ට නොවටිනා තරම් වූ දෙවිගේ මහඟු කරුණාව කිසි විටකවත් සුළු කොට නොතැකීම සඳහා මෙය අපට හොඳ අවවාදයකි.—2 කොරින්ති 6:1.

සුවදායි තෛලය

බයිබලය ඔලීව තෙලෙහි ප්‍රායෝගික වටිනාකම ගැන කතා කරන අතර එය සංකේතවත් ලෙසත් නොයෙක් විට සඳහන් කරයි. පුරාණ කාලවල ශරීරයේ ඇති වන තුවාල හා කැළැල් “තෙල් ගා මොළොක්” කළ බව බයිබලය පවසයි. (යෙසායා 1:6) යේසුස් උපමාවක සඳහන් කළ යෙරිකෝවට යන මාර්ගයෙහි තුවාල වී වැටී සිටි මිනිසාට දයානුකම්පිත සමාරියයා ප්‍රතිකාර කළේ කෙසේද? ඔහු ඒ පුද්ගලයාගේ තුවාලවලට ඔලීව තෙල් හා මුද්‍රික පානය වත් කළේය.—ලූක් 10:34.

ඔබේ හිසට ඔබ ඔලීව තෙල් ගා ඇත්නම් එමගින් මහත් සනීපයක් දැනෙන බව ඔබ දනී. (ගීතාවලිය 141:5) ආත්මිකව රෝගාතුර වූ කෙනෙකුට සාත්තු කිරීමේදී සභා වැඩිමහල්ලෝ ‘යෙහෝවාගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප’ කිරීමට උනන්දු වන්නෝය. (යාකොබ් 5:14) ආත්මිකව දුර්වල වූ තම සහෝදරයෙකුට වැඩිමහල්ලන් ඉදිරිපත් කරන ශුද්ධ ලියවිලිමය උපදෙස් හා යාච්ඤා, ඔලීව තෙල්වලින් ලැබිය හැකි සනීපදායී හැඟීම්වලට සමාන කර ඇත. තවත් සිත් ඇදගන්නා කරුණක් වන්නේ පැරණි හෙබ්‍රෙව් ජනයා අතරේ යහපත් මිනිසෙකුව “ඉස්තරම් ඔලීව තෙල්” කියා හැඳින්වීමයි.

දෙවිගේ ගෘහයේ සාරවත් ඔලීව ගසක්”

අප දැනට සාකච්ඡා කර ඇති තොරතුරු මතකයට නැංවූ කල දෙවිගේ සේවකයන්ව ඔලීව ගසක් හා සන්සන්දනය කිරීම පුදුමයට හේතුවක් නොවේ. දාවිත් “දෙවිගේ ගෘහයේ සාරවත් ඔලීව ගසක්” වීමට කැමැත්ත පළ කළේය. (ගීතාවලිය 52:8NW) ඉන් ඔහු අදහස් කළේ කුමක්ද? එකල ඉශ්‍රායෙලිතයන්ගේ නිවෙස් බොහෝවිට ඔලීව ගස්වලින් වට වී තිබිණ. එලෙස නිතරම දෙවිට සමීපව සිට ඔහුට ප්‍රශංසාව ගෙන දෙන අයුරින් ඵලදැරීමට දාවිත්ට ඕනෑ විය.—ගීතාවලිය 52:9.

දෙවිට ඇදහිලිවන්තව කටයුතු කළ අවස්ථාවේදී යූදාහි ද්වි ගෝත්‍රික රාජ්‍යය හැඳින්වූයේ ‘ශෝභමාන ඵල ඇති අලංකාර ඔලීව ගසක්’ ලෙසයි. (යෙරෙමියා 11:15, 16) නමුත් එම වරප්‍රසාද ලත් තත්වය ඔවුන්ට හිමි වූයේ ඔවුන් යෙහෝවාට කීකරු වූ තාක් කල් පමණි. පසු කාලවලදී ‘යෙහෝවාගේ වචන අසන්ට අකමැති වී අන් දෙවිවරුන් පස්සේ’ ගිය විට ඔවුන්ට යෙහෝවා ඉදිරියේ තිබූ මේ අලංකාරය නැති විය.—යෙරෙමියා 11:10.

අපට අලංකාර සාරවත් ඔලීව ගසක් විය හැක්කේ කෙසේද? මේ සඳහා දෙවිට කීකරු වීම අත්‍යවශ්‍යය. තවද වැඩි ආත්මික ඵලදාවක් ලබාගැනීම සඳහා ඔහු විසින් කරනු ලබන “කප්පාදු කිරීම” නොහොත් හික්මවීම පිළිගැනීමට සූදානමින් සිටිය යුතුයි. (හෙබ්‍රෙව් 12:5, 6) ඔලීව ගසකට දරුණු නියඟයකට ඔරොත්තු දිය හැක්කේ එහි මුල් පසට ගැඹුරින් කිඳා බැස ඇති නිසායයි අපි කලින් සාකච්ඡා කළෙමු. ඒ හා සමානව අපේ ආත්මික මුල් ගැඹුරට කිඳා බැසිය යුතු අතර ඒවා දිගටම ශක්තිමත්ව තබාගැනීම අත්‍යවශ්‍යයි. එසේ කිරීමෙන් අපට පැමිණිය හැකි පරීක්ෂා හා පීඩාවලට සාර්ථකව මුහුණ දීමට හැකි වේ.—මතෙව් 13:21; කොලොස්සි 2:6, 7.

ලෝකය නොහඳුනන නමුත් දෙවි හඳුනන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි පුද්ගලයාව ඔලීව ගසෙන් සංකේතවත් කරයි. මේ පිළිවෙළේදී ඔහු මිය ගියත් එය තාවකාලිකයි. ඉදිරියේ තිබෙන්ට යන නව පිළිවෙළේදී ඔහු නැවතත් ජීවත් වන්ට යන බව සහතිකයි.—2 කොරින්ති 6:9; 2 පේතෘස් 3:13.

විනාශ කිරීමට ඉතාමත්ම අපහසු, වසරක් වසරක් පාසා ඵලදාව ලබා දෙන ඔලීව ගස අපට දෙවිගේ තවත් පොරොන්දුවක් සිහියට නංවයි: “මාගේ සෙනගගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.” (යෙසායා 65:22) දෙවිගේ මෙම අනාවැකිමය පොරොන්දුව නව පිළිවෙළේදී ඉටු වනු ඇත.—2 පේතෘස් 3:13.

[පාදසටහන]

a ප්‍රධාන ගසට අවශ්‍ය පෝෂණය අවට ඇති කුඩා පැළ මගින් උරාගැනීම වැළැක්වීම සඳහා වසරක් වසරක් පාසා මෙම පැළ කප්පාදු කිරීම සාමාන්‍ය සිරිතකි.

[25වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤයේ ජාවියාහි, ආලිකන්ටෙ ප්‍රදේශයෙහි දැකිය හැකි වියළී ගිය පැරණි ඔලීව කඳක්

[26වන පිටුවේ පින්තූර]

ස්පාඤ්ඤයේ ග්‍රනාඩ ප්‍රදේශයේ ඔලීව වතුයායවල්

[26වන පිටුවේ පින්තූරය]

යෙරුසලමෙහි තාප්පවලට පිටින් ඇති ඉපැරණි ඔලීව ගසක්

[26වන පිටුවේ පින්තූරය]

ඔලීව ගසකට අතු බද්ධ කිරීම ගැන බයිබලයේ සඳහන් කර ඇත

[26වන පිටුවේ පින්තූරය]

මෙම මහ ඔලීව ගස කුඩා රිකිලිවලින් වට වී ඇත