Skip to content

පටුනට යන්න

දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තබන්න!

දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තබන්න!

දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තබන්න!

‘වඩා ස්ථිර කර තිබෙන අනාවැකිමය වදන් අපට තිබේ.’—2 පේතෘස් 1:18.

1, 2. වාර්තා වී තිබෙන මුල්ම අනාවැකිය කුමක්ද? එමගින් පැනනැඟී තිබෙන එක් ප්‍රශ්නයක් කුමක්ද?

 වාර්තා වී තිබෙන මුල්ම අනාවැකිය පැවසුවේ යෙහෝවායි. ආදම් සහ ඒව පව් කිරීමෙන් පසු දෙවි සර්පයාට මෙසේ පැවසුවා: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (උත්පත්ති 3:1-7, 14, 15) මෙම අනාවැකිමය වදන්වල අර්ථය සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට සියවස් ගණනාවක් ගත වුණා.

2 එම මුල්ම අනාවැකිය මගින් පව්කාර මනුෂ්‍යවර්ගයාට සැබෑ බලාපොරොත්තුවක් සපයනවා. පසු කාලයේදී ශුද්ධ ලියවිලි සාතන් නමැති යක්ෂයාව “පුරාණ සර්පයා” ලෙස හැඳින්වූවා. (එළිදරව් 12:9) එහෙත් දෙවි පොරොන්දු වූ වංශය කවුද?

වංශය සොයා

3. ආබෙල් මුල්ම අනාවැකිය කෙරෙහි ඇදහිල්ල පෙන්වූයේ කෙසේද?

3 ආබෙල් ඔහුගේ පියා මෙන් නොව දේවභක්තික ජීවිතයක් ගත කරමින් මුල්ම අනාවැකිය කෙරෙහි ඇදහිල්ල පෙන්වූවා. පාපය පහ කර දැමීමට ලේ වැගිරවීම අවශ්‍ය බව ආබෙල් තේරුම්ගත්තා. එනිසා, ඔහුගේ ඇදහිල්ල සතෙකුව පූජා කිරීමට ඔහු තුළ පෙලඹවීමක් ඇති කළා. ආබෙල් ඇදහිල්ලෙන් පෙලඹී ඔප්පු කළ එම පූජාව දෙවි පිළිගත්තා. (උත්පත්ති 4:2-4) එහෙත් පොරොන්දු වූ වංශය කවුද යන්න අභිරහසක් ලෙස දිගටම පැවතුණා.

4. දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව කුමක්ද? පොරොන්දු වූ වංශය ගැන එයින් කළ ඇඟවීම කුමක්ද?

4 ආබෙල් මිය යෑමෙන් වසර 2,000කට පමණ පසු යෙහෝවා ආදිපිතෘ ආබ්‍රහම්ට මෙම අනාවැකිමය පොරොන්දුව දුන්නා: “මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝ සෙයින් වැඩිකරන්නෙමි; . . . නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය.” (උත්පත්ති 22:17, 18) එම වදන්වලින් පෙනෙන්නේ මුල් අනාවැකියේ ඉටුවීමට ආබ්‍රහම්ද සම්බන්ධ වන බවයි. සාතන්ගේ ක්‍රියා විනාශ කර දමන වංශය ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණෙන බව එම වදන්වලින් ඇඟවෙයි. (1 යොහන් 3:8) “දෙවි දුන් පොරොන්දුව නිසා [ආබ්‍රහම්] ඇදහිල්ලේ ඌනතාවක් පෙන්වමින් දෙගිඩියාවෙන් නොසිටියේය [NW].” ඒ වගේම ක්‍රිස්තියානි කාලවලට පෙර විසූ යෙහෝවාගේ වෙනත් සාක්ෂිකරුවන්ද ‘පොරොන්දුවේ ඉටුවීම අද්දැක්කේ නැතත්,’ ඔවුන් චංචල වූයේ නැහැ. (රෝම 4:20, 21; හෙබ්‍රෙව් 11:39NW) එහෙත් ඔවුන් දිගටම දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තැබුවා.

5. වංශය පිළිබඳ දෙවිගේ පොරොන්දුව ඉටු වූයේ කා තුළින්ද? ඔබේ උත්තරයට හේතු දක්වන්න.

5 ප්‍රේරිත පාවුල් දෙවි පොරොන්දු වූ වංශය හඳුනාගත් බව ඔහුගේ මෙම වදන්වලින් පැහැදිලි වෙනවා: “පොරොන්දු දෙනලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝදෙනෙකුට මෙන්: වංශයන්ටය නොකියා, එක්කෙනෙකුට මෙන්: නුඹේ වංශයටයයි [ඔහු පැවසුවේය]. ඒ වංශය නම් [ක්‍රිස්තුස්ය].” (ගලාති 3:16, 17අ) සියලුම ජාතීන් වංශය තුළින් තමුන්ට ආශීර්වාද ලබාගන්න යන අතර, එම වංශයට ආබ්‍රහම්ගෙන් පැවතෙන සියලුදෙනාම ඇතුළත් වුණේ නැහැ. මනුෂ්‍යවර්ගයාට ආශීර්වාද කිරීම සඳහා ඔහුගේ පුතෙකු වන ඉෂ්මායෙල්ගෙන් පැවතෙන්නන්ව හෝ කෙතුරාට දාව උපන් ඔහුගේ පුතුන්ව යොදාගත්තේ නැහැ. මනුෂ්‍යවර්ගයාට ආශීර්වාද ගෙනෙන වංශය පැමිණියේ ඔහුගේ පුත් ඊසාක්ගේ හා මුනුපුරා වූ යාකොබ්ගේ පෙළපතිනුයි. (උත්පත්ති 21:12; 25:23, 31-34; 27:18-29, 37; 28:14) ‘මනුෂ්‍යයන්’ යූදා ගෝත්‍රයෙන් පැමිණෙන ෂිලෝට කීකරු වන බව යාකොබ් පැහැදිලි කළා. නමුත් පසුව වංශය දාවිත්ගේ පෙළපතට පමණක් සීමා කරනු ලැබුවා. (උත්පත්ති 49:10; 2 සාමුවෙල් 7:12-16) මුල් සියවසේ යුදෙව්වන් අපේක්ෂා කළේ මෙසියස් නොහොත් ක්‍රිස්තුස් ලෙස එක් පුද්ගලයෙකු පෙනී සිටින බවයි. (යොහන් 7:41, 42) වංශය ගැන දෙවි පැවසූ අනාවැකිය ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් තුළින් ඉටු වුණා.

මෙසියස් පැමිණෙයි!

6. (අ) සති 70 පිළිබඳ අනාවැකිය අපි තේරුම්ගත යුත්තේ කෙසේද? (ආ) යේසුස් “පව් කෙළවර” කළේ කවදාද? කෙසේද?

6 අනාගතවක්තෘ දානියෙල් මෙසියස් පිළිබඳව වැදගත් අනාවැකියක් වාර්තා කළා. යෙරුසලම අවුරුදු 70කට පාළු වී තිබීම එහි අවසානය කරා ළඟා වී තිබෙන බව මේදීය දාරියුස් රජුගේ පාලනයේ පළමුවන අවුරුද්දේදී දානියෙල් තේරුම්ගත්තා. (යෙරෙමියා 29:10; දානියෙල් 9:1-4) දානියෙල් යාච්ඤා කරමින් සිටි අවස්ථාවේදී ගාබ්‍රියෙල් දේවදූතයා පැමිණ, ‘පව් කෙළවර කරන්න සති සැත්තෑවක් නියම කර තිබෙන’ බව අනාවරණය කළා. සැත්තෑවන සතියේ මැදදී මෙසියස්ව සිඳ දමනු ලබයි. “අවුරුදු සති සැත්තෑව” පටන්ගත්තේ පර්සියාවේ රජ වූ Iවන අර්තක්ෂස්තා ‘යෙරුසලම නැවත ගොඩනැඟීමට ආඥාවක් නිකුත් කළ’ පො.යු.පෙ. 455දීයි. (දානියෙල් 9:20-27, මොෆට්; නෙහෙමියා 2:1-8) මෙසියස් පැමිණීමට නියමිතව තිබුණේ සති 7ක් සහ සති 62ක් ගතවීමෙන් පසුවයි. මෙම අවුරුදු 483 පො.යු.පෙ. 455 සිට පො.යු. 29 දක්වා දිව යනවා. යේසුස් බව්තීස්ම වීමත් මෙසියස් නොහොත් ක්‍රිස්තුස් ලෙස දෙවි ඔහුව ආලේප කිරීමත් සිදු වූයේ පො.යු. 29දීයි. (ලූක් 3:21, 22) යේසුස් පො.යු. 33දී සිය ජීවිතය පූජා කිරීමෙන් ‘පව් කෙළවර කළා.’ (මාර්ක් 10:45) මෙය දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තැබීමට මොනතරම් හොඳ හේතු සපයයිද! a

7. මෙසියස් පිළිබඳ අනාවැකි යේසුස් තුළින් ඉටු වූ ආකාරය ශුද්ධ ලියවිලි යොදාගනිමින් පහදන්න.

7 දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තබනවා නම් අපිට මෙසියස්ව හඳුනාගත හැකියි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සඳහන් මෙසියස් හා සම්බන්ධ අනාවැකි රාශියෙන් බොහොමයක් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ලේඛකයන් විසින් යේසුස්ට අදාළ කර දැක්වූවා. මතු දැක්වෙන උදාහරණවලින් එය පැහැදිලි වෙනවා. යේසුස් බෙත්ලෙහෙමෙහි කන්‍යාවකගෙන් ඉපදීම. (යෙසායා 7:14; මීකා 5:2; මතෙව් 1:18-23; ලූක් 2:4-11) ඔහුව මිසරයෙන් කැඳවාගනු ලැබීම හා ඔහුගේ උපතින් පසු බිළිඳුන්ව ඝාතනය කිරීම. (යෙරෙමියා 31:15; හොෂෙයා 11:1, මතෙව් 2:13-18) යේසුස් අපේ දුර්වලකම් උසුලාගැනීම. (යෙසායා 53:4; මතෙව් 8:16, 17) කලින් පවසා තිබුණාක් මෙන් ඔහු කොටළු පැටවෙකු පිට නැඟී යෙරුසලමට ඇතුල් වීම. (සෙකරියා 9:9; යොහන් 12:12-15) එමෙන්ම යේසුස්ව වධකණුවේ ඇණගැසීමෙන් පසු හේවායන් ඔහුගේ වස්ත්‍ර බෙදාගෙන, සළුව ලබාගැනීමට දාදු දැමූ අවස්ථාවේදී ගීතිකාකරු පැවසූ වදන් ඉටු වුණා. (ගීතාවලිය 22:18; යොහන් 19:23, 24) යේසුස්ගේ අස්ථි නොබිඳීම හා ඔහුට හෙල්ලයකින් ඇනීමද අනාවැකියක ඉටුවීමක් වුණා. (ගීතාවලිය 34:20; සෙකරියා 12:10; යොහන් 19:33-37) මේවා දේවානුභාවය ලත් බයිබල් ලේඛකයන් විසින් යේසුස්ට අදාළ කර දැක්වූ මෙසියස් හා සම්බන්ධ අනාවැකි රාශියෙන් කිහිපයක් පමණයි. b

මෙසියානු රජව පිළිගන්න!

8. පුරාතන තැනැත්තා කවුද? දානියෙල් 7:9-14හි වාර්තා වී තිබෙන අනාවැකිය ඉටු වූයේ කෙසේද?

8 බබිලෝනියේ රජ වූ බේල්ෂශර්ගේ පාලනයේ මුල් අවුරුද්දේදී යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘවරයා වූ දානියෙල්ට සිහිනයක් හා අපූර්ව දර්ශන වගයක් දකින්න සැලැස්සුවා. අනාගතවක්තෘවරයා මුලින්ම විශාල මෘගයන් සතරදෙනෙක්ව දුටුවා. එම මෘගයන් සතරදෙනා “රජවරු සතර දෙනෙක්” බව දෙවිගේ දූතයා හඳුන්වා දුන්නා. එම මෘගයන් මගින් අනුපිළිවෙළකට නැඟී සිටින ලෝක බලවතුන්ව සංකේතවත් කළා. (දානියෙල් 7:1-8, 17) ‘පුරාතන තැනැත්තා’ වන යෙහෝවා මහත් තේජසින් යුතුව සිංහාසනයෙහි අසුන් ගන්නවා දානියෙල් ඊළඟට දුටුවා. ඔහු මෘගයන් සතරදෙනාව දැඩි විනිශ්චයකට පමුණුවා, ඔවුන්ව පාලන බලයෙන් ඉවත් කර, සතරවෙනියාව විනාශ කර දැමුවා. ඉන්පසු “සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද” සදහටම පාලනය කිරීමේ බලතල “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන [කෙනෙකුට]” දෙනු ලැබුවා. (දානියෙල් 7:9-14) “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස් ක්‍රිස්තුස් 1914දී ස්වර්ගයෙහි සිංහාසනාරූඪ වීම ගැන පවසන එම අනාවැකිය මොනතරම් අපූර්ව අනාවැකියක්ද!—මතෙව් 16:13.

9, 10. (අ) සිහිනයෙන් දුටු රූපයේ විවිධ කොටස් මගින් නියෝජනය කරන්නේ මොනවාද? (ආ) දානියෙල් 2:44, 45හි සඳහන් අනාවැකියේ ඉටුවීම ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

9 “රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත්” දෙවි බව දානියෙල් දැන සිටියා. (දානියෙල් 2:21) “රහස් එළිදරව්කරන” යෙහෝවා කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව අනාගතවක්තෘ දානියෙල් බබිලෝනියේ නෙබුකද්නෙශර් රජ සිහිනයෙන් දුටු දැවැන්ත රූපයේ අර්ථය තෝරා දුන්නා. එම රූපයේ විවිධ කොටස් මගින් බබිලෝනිය, මේද-පර්සියාව, ග්‍රීසිය හා රෝමය යන ලෝක බලවතුන්ගේ නැඟී සිටීම හා වැටීම පෙන්වා දෙනු ලැබුවා. දෙවි දානියෙල්ව යොදාගනිමින් අපේ කාලයේ හා ඉන් එහාට සිදු වන දේවල් විස්තර කළා.—දානියෙල් 2:24-30.

10 “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [පිහිටුවන්නේය]. ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය. . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය” කියා අනාවැකියේ සඳහන් වෙනවා. (දානියෙල් 2:44, 45) වර්ෂ 1914දී “අන්‍යජාතීන්ගේ කාලවල්” අවසන් වුණා. ඒ කාලයේදී දෙවි ස්වර්ගයෙහි රාජ්‍යයක් පිහිටුවා, ක්‍රිස්තුස්ව එහි රජ ලෙස පත් කළා. (ලූක් 21:24; එළිදරව් 12:1-5) දෙවිගේ විශ්වනීය පරමාධිපත්‍යය නියෝජනය කරන “කන්දෙන්” මෙසියානු රාජ්‍යය නමැති “ගල” ගැළවී ආවේ දෙවිගේ බලය නිසයි. අර්මගෙදොන්හිදී එම ගල රූපයට පහර දී එය දූවිලි ගොඩක් බවට පත් කරන්න යනවා. කන්දක් බඳු ඒ ආණ්ඩුව “මුළු පොළොව” කෙරෙහි බලපවත්වන්නාක් මෙන් මෙසියානු රාජ්‍යය සදාකාලයටම පොළොව පාලනය කරන්න යනවා.—දානියෙල් 2:35, 45; එළිදරව් 16:14, 16. c

11. යේසුස්ගේ අන්‍යරූප විලාස වීම මගින් කුමක පූර්ව දර්ශනයක් සපයනු ලැබුවාද? එම දර්ශනය පේතෘස්ට බලපෑවේ කෙසේද?

11 යේසුස් සිය රාජ්‍ය පාලනය මනසෙහි තබාගෙන ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා: “මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝය.” (මතෙව් 16:28) මින් දවස් හයකට පසු පේතෘස්, යාකොබ් හා යොහන් යන ගෝලයන් තිදෙනාව යේසුස් උස් කන්දකට කැඳවාගෙන ගියා. එහිදී ඔහු ඔවුන් ඉදිරියෙහි අන්‍යරූප විලාස වුණා. දීප්තිමත් වලාපටලයක් මගින් ප්‍රේරිතයන්ව වසාගනු ලැබූ අවස්ථාවේදී දෙවි මෙසේ ප්‍රකාශ කළා: “මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්.” (මතෙව් 17:1-9; මාර්ක් 9:1-9) ක්‍රිස්තුස්ගේ රාජකීය තේජස පිළිබඳ මොනතරම් විශිෂ්ට පූර්ව දර්ශනයක්ද! පේතෘස් ඔහුගේ සිතට නොමැකෙන ලෙස කාවැදුණු එම දර්ශනය ගැන මෙසේ පැවසීම පුදුමයක් නොවෙයි: ‘එනිසා වඩා ස්ථිර කර තිබෙන අනාවැකිමය වදන් අපට තිබේ.’—2 පේතෘස් 1:16-20. d

12. දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි අපේ ඇදහිල්ල පෙන්වීමට කාලය මෙය වන්නේ මන්ද?

12 ‘අනාවැකිමය වදන්වලට’ අයත් වන්නේ මෙසියස් ගැන පවසා තිබෙන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සඳහන් අනාවැකි පමණක් නොවෙයි. තමා “බලයෙන්ද මහත් තේජසින්ද” යුක්තව පැමිණෙන බවට යේසුස් කළ ප්‍රකාශයද ඒවාට ඇතුළත්. (මතෙව් 24:30) රාජ්‍ය බලයෙන් යුක්තව ක්‍රිස්තුස්ගේ තේජවත් පැමිණීම ගැන පවසන අනාවැකිමය වදන්වල සත්‍යතාව අන්‍යරූප විලාස වීම මගින් තහවුරු කළා. ඉතාමත් ඉක්මනින් ඔහු තේජසින් යුක්තව එළිදරව් වීමේදී ඇදහිල්ල නොමැති අයව විනාශ කර දමනු ඇති අතර, ඇදහිල්ල දක්වන අයට ආශීර්වාද ලබා දෙන්න යනවා. (2 තෙසලෝනික 1:6-10) ක්‍රිස්තුස් රාජ්‍ය බලයෙන් යුක්තව පැමිණ සිටින කාලය හා සම්බන්ධ බයිබල් අනාවැකි ඉටුවීමෙන් ඔප්පු වන්නේ අපි “අන්තිම දවස්වල” ජීවත් වන බවයි. (2 තිමෝති 3:1-5, 16; මතෙව් 24:3-14) යෙහෝවාගේ ප්‍රධාන වධකයා වන මිකායෙල් යනුවෙන්ද හඳුන්වන යේසුස් ක්‍රිස්තුස්, “මහත් පීඩාව” සිදු වන කාලයේදී පවතින මේ දුෂ්ට ක්‍රමය නිමාවට පත් කිරීමට සැරසී සිටිනවා. (මතෙව් 24:21; දානියෙල් 12:1) එසේ නම් දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි අපි ඇත්තටම ඇදහිල්ල තබා තිබෙන බව පෙන්වීමට කාලය මෙයයි.

දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි දිගටම ඇදහිල්ල තබන්න

13. දෙවිට තිබෙන අපේ ප්‍රේමය දිගටම පවත්වාගැනීමටත් ඔහුගේ වචනය කෙරෙහි අපේ ඇදහිල්ල ප්‍රාණවත්ව තබාගැනීමටත් අපිට උපකාර කළ හැකි දේවල් සඳහන් කරන්න.

13 දෙවිගේ අනාවැකිමය වදන්වල ඉටුවීම් ගැන අපි මුලින්ම දැනගත් විට අපි තුළ මහත් සතුටක් ඇති වූ බවට සැකයක් නැහැ. නමුත් එදා සිට අපේ ඇදහිල්ලට සිදු වී තිබෙන්නේ කුමක්ද? එය අඩු වී තිබෙනවාද? අපේ ප්‍රේමය හීන වී ගොස් තිබෙනවාද? ‘පළමු ප්‍රේමය අත්හැරිය’ එපීසයේ සිටි ක්‍රිස්තියානීන් හා සමාන නොවීමට අප අදිටන් කරගත යුතුයි. (එළිදරව් 2:1-4) අපි ‘පළමුකොට දෙවිගේ රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයමින්’ ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්නේ නැත්නම්, කොපමණ කාලයක් අපි යෙහෝවාට සේවය කළත්, අපේ පළමු ප්‍රේමය ටිකෙන් ටික අඩු වී යා හැකියි. (මතෙව් 6:19-21, 31-33) යෙහෝවා කෙරෙහිත් ඔහුගේ පුත්‍රයා කෙරෙහිත් ශුද්ධ ලියවිලි කෙරෙහිත් තිබෙන අපේ ප්‍රේමය දිගටම ප්‍රාණවත්ව තබාගැනීම සඳහා, බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කිරීම, නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම හා රාජ්‍යය දේශනා කිරීමේ වැඩයේ ජ්වලිතව හවුල් වීම අපිට උපකාරවත් වෙනවා. (ගීතාවලිය 119:105; මාර්ක් 13:10; හෙබ්‍රෙව් 10:24, 25) මෙහි ප්‍රතිඵලය වන්නේ දෙවිගේ වචනය කෙරෙහි ඇති අපේ ඇදහිල්ල ප්‍රාණවත්ව තිබීමයි.—ගීතාවලිය 106:12.

14. ආලේප ලත් ක්‍රිස්තියානීන් දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි තබා තිබෙන ඇදහිල්ලට විපාක ලබන්නේ කෙසේද?

14 දෙවිගේ අනාවැකිමය වදන් අතීතයේදී ඉටු වුණා සේම අනාගතය සඳහා පුරෝකථනය කර ඇති දේවලුත් ඉටු වන බවට පූර්ණ විශ්වාසයක් අපිට තබාගත හැකියි. උදාහරණයක් හැටියට, ක්‍රිස්තුස් තේජසින් යුක්තව පැමිණ සිටින කාලය දැන් පටන්ගෙන තිබෙන අතර, මරණය දක්වා ඇදහිලිවන්තව සිටිය ආලේප ලත් ක්‍රිස්තියානීන් මෙම අනාවැකිමය පොරොන්දුවේ ඉටුවීම අද්දැක තිබෙනවා: ‘ජයගන්නාට දෙවිගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්ට දෙන්නෙමි.’ (එළිදරව් 2:7, 10; 1 තෙසලෝනික 4:14-17) යේසුස් ‘දෙවිගේ ස්වර්ගික පාරාදීසයෙහි’ තිබෙන ‘ජීවන වෘක්ෂයෙන් අනුභව කිරීමේ’ වරප්‍රසාදය එම ජයගන්නන්ට ලබා දෙනවා. නැවත නැඟිටීමේදී, “අමරණීයවූ, අදෘශ්‍යමානවූ, එකම දෙවිවූ, සදාකාල [රජු]” වන යෙහෝවා ඔවුන්ට දෙන අමරණීයත්වයට හා නොදිරනසුලුභාවයට ඔවුන් පංගුකාරයන් වෙනවා. මේ සඳහා ඔවුන්ට මඟ සලසා දෙන්නේ යේසුස්. (1 තිමෝති 1:17; 1 කොරින්ති 15:50-54; 2 තිමෝති 1:10) දෙවි කෙරෙහි තිබෙන ඔවුන්ගේ නොමියෙන ප්‍රේමය හා ඔහුගේ අනාවැකිමය වදන් කෙරෙහි තිබෙන නොසැලෙන ඇදහිල්ල වෙනුවෙන් ඔවුන්ට ලැබෙන එම විපාකය මොනතරම් විශිෂ්ට එකක්ද!

15. ‘අලුත් පොළොවේ’ අත්තිවාරම දමා තිබෙන්නේ කා මතද? ඔවුන්ගේ ආශ්‍රිතයන් කවුද?

15 ඇදහිලිවන්තව මියගිය ආලේප ලත් අයව ස්වර්ගයේ තිබෙන ‘දෙවිගේ පාරාදීසයට’ නැවත නැඟිටවනු ලැබීමෙන් ටික කලකට පසු, පොළොව මත සිටිය ආත්මික ඉශ්‍රායෙල්ට අයත් ඉතිරි කොටස බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහා බබිලෝනියෙන්’ නිදහස ලැබුවා. (එළිදරව් 14:8; ගලාති 6:16) ‘අලුත් පොළොවේ’ අත්තිවාරම ඔවුන් මත ගොඩනඟනු ලැබුවා. (එළිදරව් 21:1) මෙසේ “දේශයක්” බිහි වූ අතර, අදදින ආත්මික පාරාදීසයක් බවට පත්ව තිබෙන එය ලොව පුරා සමෘද්ධිමත් තත්වයක පවතිනවා. (යෙසායා 66:8) “කාලවල අවසානයේදී, [NW]” එනම් මේ කාලයේදී ආත්මික ඉශ්‍රායෙල්ගේ බැටළු ගුණැති ආශ්‍රිතයන් විශාල පිරිසක් ආත්මික පාරාදීසයට ගලා එනවා.—යෙසායා 2:2-4; සෙකරියා 8:23; යොහන් 10:16; එළිදරව් 7:9.

දෙවිගේ අනාවැකිමය වදන්වල පුරෝකථනය කර තිබෙන මනුෂ්‍යවර්ගයාගේ අනාගතය

16. ආලේප ලත් අයට පක්ෂපාතව සහය දක්වන්නන්ට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?

16 ආලේප ලත් අයට පක්ෂපාත ලෙස සහයෝගය දක්වන අයට තිබෙන බලාපොරොත්තුව කුමක්ද? ඔවුන්ද දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තබා තිබෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව භූමික පාරාදීසයක ජීවත් වීමයි. (ලූක් 23:39-43) එහිදී ඔවුන් ජීවිතය රැක දෙන “ජීවනදායක වතුර ඇති [ගංගාවකින්]” පානය කරනු ඇති අතර, ඒ ගං ඉවුර දිගේ තිබෙන ‘ජීවන වෘක්ෂවල කොළවලින්’ සුවය ලබන්න යනවා. (එළිදරව් 22:1, 2) එවන් ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඔබට තිබෙනවා නම්, දෙවි හා ඔහුගේ අනාවැකිමය වදන් කෙරෙහි තිබෙන ඔබේ බලවත් ප්‍රේමය දිගටම විදහාපෙන්වන්න. පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ අසීමිත ප්‍රීතිය භුක්ති විඳින්නන් අතර ඔබත් සිටීවා!

17. පොළොව මත පිහිටුවන්න යන පාරාදීසයේදී භුක්ති විඳින ආශීර්වාද මොනවාද?

17 පැමිණෙන පාරාදීසයේදී භුක්ති විඳින්න යන සෑම දෙයක්ම විස්තර කරන්න අසම්පූර්ණ මිනිසුන්ට බැහැ. එහෙත් දෙවිගේ අනාවැකිමය වදන්වලට පුළුවන්, කීකරු මනුෂ්‍යවර්ගයා පාරාදීසයේදී භුක්ති විඳින්න යන ආශීර්වාද කලින් දැනගැනීමේ හැකියාව අපට ලබා දෙන්න. කිසිම විරුද්ධවාදියෙකුගේ බලපෑමක් නැතුව දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී හා ඔහුගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ඉටු වෙද්දී, නපුරු මිනිසුන්ගෙන් හෝ සතුන්ගෙන් හෝ ‘කිසිම අනතුරක්වත් විනාශයක්වත් සිදු වන්නේ නැහැ.’ (යෙසායා 11:9; මතෙව් 6:9, 10) මොළොක් ගුණැති අය පොළොවෙහි වාසය කරමින් “මහත් සමාදානයෙන් ප්‍රීතිමත් [වෙයි].” (ගීතාවලිය 37:11) “පොළොව් කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය.” එනිසා මිනිසුන් හාමතේ සිටින්න යන්නේ නැහැ. (ගීතාවලිය 72:16) තවදුරටත් මිනිසුන් දුක් කඳුළු හෙළන්න යන්නේ නැහැ. අසනීප නැහැ. මරණය පවා නැහැ. (යෙසායා 33:24; එළිදරව් 21:4) වෛද්‍යවරු, බෙහෙත්, ආරෝග්‍ය ශාලා හෝ මානසික රෝහල් හා අවමංගල්‍යයන් නොමැති ඒ කාලය ගැන ඔබට සිතාගත හැකිද? මොනතරම් අපූර්ව බලාපොරොත්තුවක්ද!

18. (අ) දානියෙල්ට සහතිකයක් දෙනු ලැබුවේ කුමක් ගැනද? (ආ) දානියෙල්ට හිමි වන “කොටස” කුමක්ද?

18 එදාට මළවුන්ව භූමදාන කරනවා වෙනුවට භූමදාන කළ අය මිනිවළවල්වලින් නැඟිටින්න යනවා. ධර්මිෂ්ඨ මිනිසා වූ යෝබ්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තිබුණා. (යෝබ් 14:14, 15) යෙහෝවාගේ දූතයා දානියෙල්ට දුන් මෙම සැනසිලිදායක සහතිකයෙන් පෙනෙන්නේ දානියෙල්ටත් එම බලාපොරොත්තුව තිබූ බවයි: “ඔබ අවසානය දක්වා යන්න; ඔබ සැතපෙනවා ඇත. එහෙත් දවස් කෙළවර වූ විට, ඔබේ කොටස සඳහා ඔබ නැඟිටිනවා ඇත.” (දානියෙල් 12:13NW) දානියෙල් ජීවිතාන්තය දක්වා දෙවිට ඇදහිලිවන්තව සේවය කළා. දැන් ඔහු මරණ නින්දේ සිටියත්, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයේදී සිදු වන “ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී” ඔහු “නැඟිටිනවා ඇත.” (ලූක් 14:14) දානියෙල්ට හිමි වන “කොටස” කුමක්ද? එසකියෙල්ගේ අනාවැකිය පාරාදීසයෙහි ඉටුවීමෙන් ඇඟවෙන්නේ, දේශය සාධාරණව හා පිළිවෙළකට බෙදෙන බවයි. යෙහෝවාගේ සෑම නමස්කාරකයෙකුටම ජීවත් වීමට තැනක් ලැබෙනවා. (එසකියෙල් 47:13–48:35) දානියෙල්ටත් පාරාදීසයෙහි ජීවත් වීමට තැනක් තිබෙන්න යනවා. එහෙත් ඔහුට හිමි කොටස නිකම්ම ඉඩම් කැබැල්ලකට වඩා වැඩි යමක් වෙන්න යනවා. දෙවිගේ අරමුණෙහි ඔහුට හිමි තැනද ඔහුගේ කොටසට අයත් වෙනවා.

19. පොළොව මත පාරාදීසයේ ජීවත් වීමට අවශ්‍ය කරන්නේ කුමක්ද?

19 ඔබ ගැනත් ඔබේ කොටස ගැනත් කුමක් කිව හැකිද? දෙවිගේ වචනය වන බයිබලය කෙරෙහි ඔබ ඇදහිල්ල තබනවා නම්, පාරාදීස පොළොවෙහි ජීවත් වීමට ඔබට මහත් ආශාවෙන් බලා සිටිය හැකියි. පාරාදීස පොළොව රැකබලා ගැනීම හා මළවුන්ගෙන් නැවත නැඟිටින අයව ප්‍රීතියෙන් පිළිගැනීම ඇතුළු තවත් බොහෝ ආශීර්වාද ඔබ එහි භුක්ති විඳිමින් සිටින ආකාරය ඔබට දැන් පවා සිතින් මවාගත හැකියි. පාරාදීසය කියන්නේ මනුෂ්‍යවර්ගයාට හිමි තැනක්. දෙවි මුල්ම මිනිස් යුවළව මැව්වේ එවන් ප්‍රීතිමත් ස්ථානයක ජීවත් වීමටයි. (උත්පත්ති 2:7-9) ඔහු කැමති කීකරු මිනිසුන් පාරාදීසයෙහි සදාකාලයටම ජීවත් වෙනවා දකින්නයි. ශුද්ධ ලියවිල්ලෙහි පවසන දේවලට එකඟව ඔබ ජීවත් වෙනවා නම්, අවසානයේදී බිලියන ගණනක් වාසය කරන්න යන පාරාදීස පොළොවෙහි ජීවත් වන අය අතර ඔබත් සිටීවි. ඔබ ශුද්ධ ලියවිල්ලට අනුව ජීවත් වෙනවාද? අපේ ස්වර්ගික පියා වන යෙහෝවාට ඔබ ඇත්තටම ප්‍රේම කරනවා නම්, දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි නොසැලෙන ඇදහිල්ලක් තිබෙනවා නම්, ඔබටත් එහි සිටිය හැකියි.

[පාදසටහන්වල]

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතේ 11වන පරිච්ඡේදයත්, ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්, it) පොතේ “සති සැත්තෑව” (“Seventy Weeks”) යන කොටසත් බලන්න.

b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත “මුළු ශුද්ධ ලියවිල්ල දේවානුභාවයෙන්ය, තවද ප්‍රයෝජනවත්ය” (ඉංග්‍රීසියෙන්, si) නමැති පොතේ 343-4 දක්වා පිටු බලන්න.

c දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතේ 4වන හා 9වන පරිච්ඡේද බලන්න.

d 2000 අප්‍රියෙල් 1 මුරටැඹෙහි “දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න” යන මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• පළමු අනාවැකිය කුමක්ද? පොරොන්දු වූ වංශය කවුද?

• යේසුස් තුළින් ඉටු වූ මෙසියස් පිළිබඳ අනාවැකි සමහරක් නම් කරන්න.

දානියෙල් 2:44, 45 ඉටු වන්නේ කෙසේද?

• දෙවිගේ අනාවැකිමය වදන් මගින් කීකරු මනුෂ්‍යවර්ගයා ඉදිරියෙහි තබන්නේ මොන වගේ අනාගතයක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

ඔබේ බලාපොරොත්තුව පාරාදීස පොළොවේ ජීවත් වීමද?