Skip to content

පටුනට යන්න

සුවිශේෂ වාර්තා—මතභේදය දිගටම පවතී

සුවිශේෂ වාර්තා—මතභේදය දිගටම පවතී

සුවිශේෂ වාර්තා—මතභේදය දිගටම පවතී

යේසුස් ක්‍රිස්තුස්ගේ උපත පිළිබඳ සුවිශේෂ වාර්තා විශ්වාස කරන්න පුළුවන්ද?

ඔහු කන්ද උඩ දේශනාව දුන්නාද?

ඇත්තෙන්ම යේසුස්ව නැවත නැඟිට්ටෙව්වාද?

“මාර්ගයද සැබෑවද ජීවනයද මමය” කියා ඔහු සැබවින්ම පැවසුවාද?—යොහන් 14:6.

වර්ෂ 1985 සිට වසරකට දෙවතාවක් පැවැත්වෙන ජේසු සම්මන්ත්‍රණයේදී විශාරදයන් 80දෙනෙක් පමණ මෙවැනි කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම විශාරද කණ්ඩායම එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබෙන්නේ අසාමාන්‍ය විදිහකටයි. සම්මන්ත්‍රණයට සහභාගි වූ අය සුවිශේෂයන්හි යේසුස්ගේ ප්‍රකාශයක් කියා සිතිය හැකි සෑම ප්‍රකාශයක් සම්බන්ධයෙන්ම තම ඡන්දය දුන්නා. රතු ඡන්දයකින් ඇඟවූයේ ප්‍රකාශය ඇත්තෙන්ම යේසුස් විසින්ම කළ බවට අදහසකි. රෝස ඡන්දයකින් අදහස් කළේ යේසුස් පැවසුවා විය හැකි ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි. අළු පැහැති ඡන්දයකින් පෙන්වූයේ යේසුස් ප්‍රකාශ කළ යමකට සමානත්වයක් තිබෙන නමුත් ප්‍රකාශය පැවසුවේ ඔහු නොවන බවයි. කළු ඡන්දය ඊට වෙනස්ව හාත්පසින්ම නරක පැත්තක් පෙන්නුවා. එනම් අදාළ ප්‍රකාශය පසු කලෙක තිබූ සම්ප්‍රදායකින් බිහි වූ බවක් ඉන් අදහස් කළා.

මේ ක්‍රමය අනුගමනය කිරීමෙන්, මුලින්ම ප්‍රශ්න ආකාරයෙන් නැඟූ කාරණා හතරම ජේසු සම්මන්ත්‍රණයට සහභාගි වූ අය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඇත්තවශයෙන්ම, සුවිශේෂයන්හි තිබෙන යේසුස්ගේ වචනවලින් සියයට 82කටම ඔවුන් දමා තිබෙන්නේ කළු ඡන්දයි. ඔවුන් පවසන ආකාරයට, සුවිශේෂයන්හි මෙන්ම වෙනත් ලියවිලිවල යේසුස් සම්බන්ධයෙන් විස්තර කෙරෙන සිද්ධීන්ගෙන් සත්‍යය වෙන්නේ සියයට 16ක් පමණයි.

සුවිශේෂයන් එලෙස විවේචනයට ලක් කිරීම අලුත් දෙයක් නොවෙයි. ජර්මනියේ හැම්බර්ග්හි පෙරදිග භාෂා පිළිබඳ මහාචාර්ය හ’මාන් රයිමාරුස් විසින් ලියූ පිටු 1,400ක අත්පිටපතක් ඔහුගේ මරණයෙන් පසුව ප්‍රකාශයට පත් කළ විට, සුවිශේෂවලට 1774දී පහරගැසීමක් කළ බව එහි දක්නට ලැබුණා. සුවිශේෂ විශ්වාස කළ හැකිද යන්න සම්බන්ධයෙන් රයිමාරුස් සැක සහිත දේවල් එහි අඩංගු කළා. ඔහුගේ නිගමනවලට පදනම වුණේ යේසුස්ගේ ජීවිතය පිළිබඳ සුවිශේෂ වාර්තා හතරෙහි දක්නට ලැබෙන භාෂා ශෛලිය සහ පෙනෙන්න තිබෙන පරස්පරවිරෝධීතාවන්. එදා පටන්, සුවිශේෂයන්හි සත්‍යතාව සම්බන්ධයෙන් විවේචකයන් බොහෝවිට සැක පහළ කර තිබෙනවා. මෙය මෙම ලියවිලි කෙරෙහි ඇති මහජන විශ්වාසය යම් දුරකට දුර්වල කළා.

එවැනි විශාරදයන් අතර පොදු නැඹුරුවාව වී තිබෙන්නේ, සුවිශේෂ වාර්තාවන් විවිධ පුද්ගලයන් විසින් ප්‍රචලිත කළ ආගමික ප්‍රබන්ධයන් වශයෙන් සැලකීමයි. මෙලෙස සැක පහළ කරන විශාරදයන් සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න නඟා තිබෙනවා: සුවිශේෂයන් හතර ලියූ ලේඛකයන්ට, සැබෑ කරුණුවලට යමක් එකතු කර ඔපවත් කිරීමට ඔවුන්ගේ විශ්වාසයන් හේතු වුණා විය හැකිද? මුල් ක්‍රිස්තියානීන් යේසුස්ගේ කතන්දරය වෙනස් කිරීමට හෝ ඊට වැඩි යමක් එකතු කිරීමට පෙලඹුණේ ඔවුන් ලෞකික වාසි අත් කරගැනීමට උත්සාහ කළ නිසාද? සුවිශේෂයන්හි මිථ්‍යාවන් නොව විශ්වාස කළ හැකි වාර්තාවන් විය හැක්කේ කුමන කොටස්ද?

අදේවවාදී හෝ ලෞකික සමාජයක හැදී වැඩුණු ජනයා විශ්වාස කරන්නේ සුවිශේෂ ඇතුළු මුළු බයිබලයම ගෙතූ කතාවලින් හා මිථ්‍යාවන්ගෙන් පිරි පොතක් බවයි. එමෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ ඉතිහාසය ලේ පිපාසය, තාඩන පීඩන, අසමඟිය හා අභක්තික හැසිරීමෙන් පලුදු වී ඇති නිසා වෙනත් අය තැතිගෙන සිටිනවා. ක්‍රිස්තියානි ලෝකයෙහි ශුද්ධයයි සැලකෙන ලියවිලිවලට යම් අවධානයක් දීම සඳහා එවැනි පුද්ගලයන්ට හොඳ හේතු දකින්න නැහැ. කුහක ආගමක් මගින් සංස්කරණය කර තිබෙන පොතක්, ඵලක් නැති උපමා කතාවලට පමණක් සම කළ හැකි බවයි ඔවුන්ගේ හැඟීම.

මේ සම්බන්ධව ඔබේ මතය කුමක්ද? සුවිශේෂවල විශ්වාසනීයත්වය ගැන විශාරදයන් කීපදෙනෙක් ප්‍රශ්න කළ පළියට ඔබත් එවැනිම සැක පහළ කරගත යුතුද? සුවිශේෂවල ලේඛකයන් මිථ්‍යා ප්‍රබන්ධ ලියූ බවට වූ ප්‍රකාශයන් ඔබේ සවනට වැකෙන විට, ඔවුන්ගේ ලියවිලි කෙරෙහි ඇති ඔබේ විශ්වාසය දෙදරා යෑමට ඔබ ඉඩහැරිය යුතුද? ක්‍රිස්තියානි ලෝකය තුළ දක්නට ලැබෙන අභක්තික ක්‍රියා නිසා ඔබ සුවිශේෂ වාර්තාවල විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්න කිරීමට පෙලඹිය යුතුද? සාධක කීපයක් පරීක්ෂා කර බලන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.

[4වන පිටුවේ පින්තූරය]

සුවිශේෂ වාර්තාවල අඩංගු වන්නේ මිථ්‍යා ප්‍රබන්ධයන්ද නැතහොත් සත්‍ය කරුණුද?

[හිමිකම් විස්තර]

යේසුස් ජලය මතුපිට ඇවිදියි/​The Doré Bible Illustrations/​Dover Publications

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පසුබිම, පිටු 3-5 සහ 8: Freer Gallery of Art, Smithsonian Institution, Washington, D.C. අනුග්‍රහයෙනි