සුවිශේෂ වාර්තා—විශ්වාස කළ හැකිද?
සුවිශේෂ වාර්තා—විශ්වාස කළ හැකිද?
මිනිස් ඉතිහාසයේ මහත් පෙරළියක් සිදු කළ තරුණයෙක් වූ නාසරීය යේසුස් ගැන කතන්දරය ලොව පුරා අස්සක් මුල්ලක් නෑර පැතිර තිබෙනවා. ඔහුගේ කතාව උගත් නූගත් සැමදෙනාම පාහේ දන්නවා. “නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද; නැත, නැත කියාද වේවා” වැනි යල් නොපනින සත්‍යයන් හා ආප්තෝපදේශයන්වල උල්පත හැටියටයි බොහෝදෙනෙක් සුවිශේෂ වාර්තා සලකන්නේ. (මතෙව් 5:37, ඇල අකුරු අපගේය) ඇත්තෙන්ම, ඔබේ දෙමාපියන් ක්‍රිස්තියානීන්ව සිටියත් නැතත්, ඔවුන් ඔබට ඉගැන්වූ පාඩම් සඳහා පදනම සුවිශේෂවල තිබෙන කතන්දර විය හැකියි.
ක්‍රිස්තුස් ගැන සුවිශේෂයන්හි සපයා තිබෙන විස්තරයට අනුව, ක්‍රිස්තුස්ගේ අවංක අනුගාමිකයන් මිලියන ගණනක් ඔහු වෙනුවෙන් දුක් විඳීමට පමණක් නොව මියයෑමට පවා ඉදිරිපත් වී තිබෙනවා. ධෛර්යය, විඳදරාගැනීම, ඇදහිල්ල හා බලාපොරොත්තුව ඇතුව සිටීමටත් සුවිශේෂ වාර්තා පදනමක් හා ශක්තියක් සපයා තිබෙනවා. එසේනම්, මෙම වාර්තාවන් නිකම් ප්රබන්ධයන්යයි සලකා ඉවත ලෑමට, බිඳහෙළිය නොහැකි සාක්ෂි තිබිය යුතුයි. මිනිස් චින්තනයට හා හැසිරීමට සුවිශේෂ වාර්තා ඇති කරන ඉමහත් බලපෑම ගැන කල්පනා කර බලද්දී, ඒවායෙහි සත්‍යතාව පිළිබඳව කවරෙකු හෝ යම් සැකයක් පහළ කරනවා නම් ඒත්තුගැන්විය හැකි සාක්ෂි ඉදිරිපත් කරන්න කියා ඔබ ඉල්ලා සිටින්නේ නැද්ද?
සුවිශේෂ වාර්තා සම්බන්ධයෙන් මතු කරන සිතුවිලි-කලතන ප්‍රශ්න කීපයක් සලකා බැලීමට අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. සුවිශේෂයන් හදාරන ශිෂ්‍යයන්ගෙන් සමහරදෙනෙක් මේ ප්‍රශ්න ගැන සිතන ආකාරය තේරුම්ගන්න උත්සාහ කරන්න. ඔවුන්ගෙන් සමහරු ක්‍රිස්තියානීන්ද නොවෙයි. ඔබ තේරුම්ගන්න උත්සාහ කරනවා නම්, ඔබට දැනුම් තේරුම් ඇතුව නිගමනයන්ට එළඹිය හැකියි.
සලකා බැලීමට ප්‍රශ්න
◆ සුවිශේෂ වාර්තා දක්ෂ නව නිර්මාණයක් විය හැකිද?
ජේසු සම්මන්ත්‍රණයේ ප්රාරම්භකයා වූ රොබට් ෆන්ක් මෙසේ පවසනවා: “මතෙව්, මාර්ක්, ලූක් හා යොහන්, යේසුස්ගේ මරණින් පසුව බිහි වූ ක්‍රිස්තියානි ධර්මයේ පැවැත්ම වෙනුවෙන් ඔහුව මෙසියස් කෙනෙකු වශයෙන් ඉදිරිපත් කළා.” කෙසේවෙතත්, සුවිශේෂ වාර්තා ලියනු ලැබුවේ යේසුස්ගේ ප්රකාශයන්ට සවන් දී, ඔහුගේ ක්‍රියාවන් නිරීක්ෂණය කර ඇති හා ඔහුගේ නැවත නැඟිටීමෙන් පසු ඔහුව දැක ඇති අයගෙන් බොහෝදෙනෙක් ජීවතුන් අතර සිටියදීමයි. ඔවුන් සුවිශේෂ ලේඛකයන්ට වංචාකාරයන් කියා චෝදනා නැඟුවේ නැහැ.
ක්‍රිස්තුස්ගේ මරණය හා නැවත නැඟිටීම ගැන සලකා බලන්න. යේසුස්ගේ මරණය හා නැවත නැඟිටීම ගැන විශ්වාසදායක වාර්තාවන්, සුවිශේෂයන්හි පමණක් නොව නමුත් ප්‍රේරිත පාවුල් පුරාණ කොරින්තියේ ක්‍රිස්තියානීන්ට ලියූ මුල් ආගමික ලිපියෙත් අඩංගු වෙනවා. ඔහු මෙසේ ලිව්වා: ‘මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාර දුනිමි. එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් මැරුණු බවත්, ඔහු තැන්පත් කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා ඔහු නැඟුටුවනු ලැබූ බවත්, කේපස්ටද පසුව දොළොස්දෙනාටද පෙනුණු බවත්ය. ඉන්පසු ඔහු එකවිටම පන්සියයකට වඩා සහෝදරයන්ට පෙනුණේය. ඔවුන්ගෙන් වැඩිදෙනා මේ දක්වා සිටිති, සමහරු සැතපුණෝය. ඉන්පසු ඔහු යාකොබ්ටද පසුව සියලු ප්‍රේරිතයන්ටද පෙනුණේය. සියල්ලන්ට පසු, අකලට උපන් තැනැත්තෙක් වැනි වූ මටත් ඔහු පෙනුණේය.’ (1 කොරින්ති 15:3-8) ඇසින් දුටු එවැනි සාක්ෂිකරුවන් යේසුස්ගේ ජීවිතය පිළිබඳ ඓතිහාසික සත්‍යයන්වල ආරක්ෂකයන්ය.
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ගෙතූ යමක් තිබෙනවායයි නවීන දින විවේචකයන් පැවසුවත් එහි එවැනි යමක් දකින්න නැහැ. නමුත් ඒවා දක්නට තිබෙන්නේ පො.යු. දෙවන සියවසේ ලියවිලිවලයි. ක්‍රියා 20:28-30.
එසේනම්, ක්‍රිස්තුස් පිළිබඳ ශුද්ධ ලියවිල්ලට එකඟ නැති ඇතැම් කතන්දර ප්‍රබන්ධ කළේ, ප්‍රේරිතවරුන්ගේ සභාවෙන් පිටත සමාජය තුළ සැබෑ ක්‍රිස්තියානි ධර්මයට පටහැනි ධර්මභේදී අදහස් බිහි වූ අවදියේදී බව පැහැදිලියි.—◆ සුවිශේෂ වාර්තා ගෙතූ කතා විය හැකිද?
කර්තෘ හා විවේචක සී. එස්. ලූයිස්ට අනුව සුවිශේෂ වාර්තා හුදෙක් ගෙතූ කතා වශයෙන් පමණක් සැලකීම අපහසු දෙයක්. “සුවිශේෂ වාර්තා මොනව වුණත් ඒවා ගෙතූ කතා නම් නොවන බව සාහිත්‍ය ඉතිහාසඥයෙකු වන මම හොඳහැටි ඒත්තුගෙන තිබෙනවා. ගෙතූ බවට ඉඟියක් ඒවාවල නැහැ. . . . අපි දන්නේ යේසුස්ගේ ජීවිත කතාවෙන් අල්පයක් විතරයි. නමුත් කතාවක් ගොතන අය තොරතුරු ටිකක් දීමෙන් සෑහීමට පත් වෙන්නේ නැහැ” කියා ඔහු ලිව්වා. ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වන එච්. ජී. වෙල්ස් ක්‍රිස්තියානියෙකු නොවුවත්, මෙසේ පවසයි: “සුවිශේෂ ලේඛකයන් හතරදෙනාම අපට යේසුස් ගැන ඉතා පැහැදිලි පින්තූරයක් ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර කිසිම මතභේදයක් නැහැ. එමනිසා, ඔවුන් කතා කළේ සැබෑ පුද්ගලයෙක් ගැන බව හොඳින් පැහැදිලි වෙනවා.”
නැවත නැඟිටුණු යේසුස් තම ගෝලයන්ට පෙනී සිටි අවස්ථාවක් සලකා බලන්න. කතාවක් ගොතන දක්ෂ ලේඛකයෙකු නම්, යේසුස් දර්ශනීය ආකාරයකින් යළි පැමිණෙන දසුනක් මවමින්, හර බර කතාවක් දෙන හෝ ආලෝකය හා තේජශ්‍රීය විහිදුවන කෙනෙකු වශයෙන් ඔහුව දක්වන්න ඉඩ තිබුණා. ඒ වෙනුවට, සුවිශේෂවල ලේඛකයන් ඔහුව සරල ලෙස විස්තර කරන්නේ හුදෙක් සිය ගෝලයන් ඉදිරිපිට සිටින කෙනෙකු හැටියටයි. ඔහු “දරුවෙනි, නුඹලා ළඟ කන්ට යමක් ඇද්ද” කියා ඔවුන්ගෙන් ඇසුවා. (යොහන් 21:5) විශාරද ග්‍රෙග් ඊස්ටබෘක් මෙසේ නිගමනය කරයි: “මේවා එය මිථ්‍යා ප්‍රබන්ධයක් නොව සැබෑ වාර්තාවක් බව අඟවන කරුණුයි.”
සුවිශේෂයන් ලියූ කාලයේදී රබ්බිවරුන් ඉගැන්වීමට යොදාගත් දැඩි ක්‍රමයක් භාවිතයේ තිබුණා. එම ක්‍රමය සලකා බැලීමද සුවිශේෂයන් ප්‍රබන්ධයි කියන චෝදනාව බිඳහෙළීමට ඉවහල් වෙනවා. එම ක්‍රමය වන්නේ බොහෝදුරට, නැවත නැවත කියවා කටපාඩම් කර ඉගෙනීමයි. මෙය යේසුස්ගේ ප්‍රකාශයන් හා ක්‍රියා නිවැරදිව සහ පරෙස්සමින් දැක්වීමට දායක වෙනවා. යම් කතාවක් ප්‍රබන්ධ කිරීමට තිබෙන අවකාශය මෙයින් ඇහිරී යනවා.
◆ සුවිශේෂ වාර්තා ගෙතූ කතා වූවා නම්, යේසුස් මියගිය විගසම ඒවා සෑදුවා විය හැකිද?
තිබෙන සාක්ෂිවලට අනුව, සුවිශේෂයන් ලියා ඇත්තේ පො.යු. 41 හා 98 අතර කාලයේදීයි. යේසුස් පො.යු. 33දී මියගියා. මින් අදහස් වන්නේ, ඔහුගේ ජීවිතය ගැන කරුණු ලේඛනගත කළේ ඔහුගේ සේවය අවසන් වීමෙන් පසු ඉතාමත් කෙටි කාලයක් තුළදී බවයි. මේ නිසා සුවිශේෂයන්හි ඇති වාර්තාවන් හුදෙක් ගෙතූ කතා යන තර්කයට විශාල පහරක් එල්ල වෙනවා. මන්ද කතා ගොතන්න නම් කාලය අවශ්‍යයි. උදාහරණයක් හැටියට, පුරාණ ග්‍රීක් කිවිඳෙකු වූ හෝමර් ලියූ ඉලියඩ් සහ ඔඩසි (වීරකාව්‍ය හා දීර්ඝ චාරිකාව) ගැන සලකා බලන්න. වීර චරිත ඇතුළත් එම කතා ගෙතීමට වසර සිය ගණනකටත් වැඩි කාලයක් ගත වෙන්න ඇතැයි සමහරු විශ්වාස කරනවා. සුවිශේෂයන් ගැන කුමක් කිව හැකිද?
ඉතිහාසඥ විල් ඩූරන්ට්, කායිසර් හා ක්‍රිස්තුස් (ඉංග්‍රීසියෙන්) යන තම පොතේ මෙසේ ලියනවා: “එතරම් ප්‍රබල හා සිත්ගන්නා පෞද්ගලිකත්වයක්, එතරම් උසස් ආචාර ධර්ම සහ මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳ එතරම් පොලඹවනසුලු දෘෂ්ටියක් . . . සාමාන්‍ය මනුෂ්‍යයන් කීපදෙනෙක් විසින් අමුතුවෙන්ම නිර්මාණය කිරීම, සුවිශේෂවල වාර්තා කර තිබෙන කිසිදු ආශ්චර්යයකටත් වඩා විශ්වාස කළ නොහැකි දෙයක් වනු ඇත. සියවස් දෙකක් පුරා කර ඇති දැඩි විවේචනයන්ගෙන් පසු යේසුස්ගේ ජීවිතය, චරිතය සහ ඉගැන්වීම් පිළිබඳ තොරතුරු පිළිගැනීම සඳහා ප්‍රමාණවත් හේතු තිබෙන අතර, එය බටහිර ලෝකයේ ඉතිහාස පිටුවල වඩාත් චිත්තාකර්ෂණීය අංගලක්ෂණය වශයෙන් පවතියි.”
◆ මුල් ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතාවලට සරිලන සේ පසු කලක සුවිශේෂයන් ලියනු ලැබුවාද?
මුල් ක්‍රිස්තියානීන්ට වාසි අත් කර දීමේ අදහසින්, සුවිශේෂ ලේඛකයන් යේසුස් පිළිබඳ කතන්දරය ලිවීමට හෝ ඊට යම් දේවල් එකතු කිරීමට පෙලඹුණා කියා සමහර විවේචකයන් තර්ක කරනවා. කෙසේනමුත්, සුවිශේෂයන් පිළිබඳ සුපරීක්ෂාකාරි අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ එවැනි දෙයක් සිදු නොවුණ බවයි. මුල් සියවසේ ක්‍රිස්තියානීන්ගේ උපායක ප්‍රතිඵලයක් වශයෙන් යේසුස් පිළිබඳ සුවිශේෂ වාර්තා වෙනස් කළා නම්, එහි යුදෙව්වන් ගැනත්, අන්‍යජාතීන් ගැනත් නිෂේධාත්මක අදහස් තවමත් තිබෙන්නේ මන්ද?
යේසුස් පැවසූ දෙයක් සම්බන්ධයෙන් මතෙව් 6:5-7හි ඇති උදාහරණය සලකා බලමු: “නුඹලා යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.” පැහැදිලිවම, මෙය යුදෙව් ආගමික නායකයන්ව හෙළාදැකීමක්. යේසුස් තවදුරටත් මෙසේ පැවසුවා: “යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.” මේ අයුරින් යේසුස්ව උපුටා දැක්වීමෙන් සුවිශේෂවල ලේඛකයන් උත්සාහ කළේ ආගමට හැරෙන්නන්ව දිනාගැනීමට නොවෙයි. ඇත්තෙන්ම යේසුස් ක්‍රිස්තුස් ප්‍රකාශ කළ දේවලුයි ඔවුන් වාර්තා කරමින් සිටියේ.
යේසුස්ගේ සොහොන්ගෙය ළඟට ගොස් එය හිස්ව තිබෙනවා දුටු ස්ත්‍රීන් සම්බන්ධයෙන් ලියවී ඇති සුවිශේෂ වාර්තා ගැනත් සලකා බලන්න. (මාර්ක් 16:1-8) ග්‍රෙග් ඊස්ටබෘක් පවසන පරිදි “පුරාණ මැද පෙරදිග සමාජ ක්‍රමයට අනුව, ස්ත්‍රීන් දුන් සාක්ෂි විශ්වාස කළ නොහැකි ඒවා කියායි සැලකුවේ: උදාහරණයකට, කිසිම ස්ත්‍රියකගේ සාක්ෂියකින් පුරුෂයෙකුව අනාචාරයේ යෙදුණු කෙනෙකු බවට ඔප්පු කළ නොහැකි වුවත් ස්ත්‍රියක් අනාචාර ස්ත්‍රියක් හැටියට හංවඩුගැසීමට පුරුෂයන් දෙදෙනෙකුගේ සාක්ෂි ප්‍රමාණවත් වුණා.” ඇත්තවශයෙන්ම, යේසුස්ගේ ගෝලයන් පවා සොහොන්ගෙය ළඟට ගිය ස්ත්‍රීන්ව විශ්වාස කළේ නැහැ. (ලූක් 24:11) මේ නිසා එවැනි කතන්දරයක් හිතාමතා සෑදූ එකක් විය නොහැකියි.
හසුන්වල හා ක්‍රියා පොතේ උපමා කතා නොතිබීම, සුවිශේෂයන්හි තිබෙන උපමා මුල් ක්‍රිස්තියානීන් විසින් ඇතුළත් කළ ඒවා නොව නමුත් යේසුස්ම පැවසූ ඒවා බවට තිබෙන බලවත් සාක්ෂියකි. සුවිශේෂ වාර්තා, ප්‍රේරිතයන් සහ ශ්‍රාවකයන් ලියූ හසුන් සමඟ පරෙස්සමින් පරීක්ෂා කර බැලීමෙන් හෙළි වන්නේ කුමක්ද? පාවුල්ගේ අදහස්වත්, ග්‍රීක් ලියවිලිවල වෙනත් ලේඛකයන්ගේ අදහස්වත් යේසුස්ගේ කියා පවසමින් බයිබල් වාර්තාවට සූක්ෂ්ම ලෙස ඇතුළත් නොකළ බවයි. මුල් ක්‍රිස්තියානීන් එවැනි දෙයක් කර තිබුණා නම්, එම හසුන්වල සඳහන් තොරතුරු ටිකක් හරි සුවිශේෂ වාර්තාවල ඇතුළත් වී තිබෙයි කියා අපේක්ෂා කළ යුතුයි. අපට එසේ සොයාගත නොහැකි නිසා සුවිශේෂයන්හි නියම මෙන්ම විශ්වාසවන්ත තොරතුරු තිබෙන බව නිගමනය කිරීමට අපට හැකියි.
◆ සුවිශේෂ වාර්තාවල පෙනෙන්න තිබෙන පරස්පර විරෝධීතාවන් ගැන කුමක් කිව හැකිද?
සුවිශේෂ වාර්තාවල පරස්පර විරෝධීතාවන් හුඟක් තිබෙන බව විවේචකයන් බොහෝ කලක සිට පවසා තිබුණා. සුවිශේෂයන් සම්පූර්ණයෙන්ම ඓතිහාසික ලියවිලි වශයෙන් සලකා ඒවා සෝදිසි කර බැලීමට ඉතිහාසඥ ඩූරන්ට් වෙහෙසක් දැරුවා. ඒවායෙහි පරස්පර විරෝධීතාවන් කියා සිතිය හැකි කොටස් තිබෙන බව පැවසුවත් ඔහු එළඹෙන්නේ මෙම නිගමනයටයි: “තිබෙන පරස්පර විරෝධීතාවන් ඉතා සුළු දේවල් සම්බන්ධවයි. මුල් ශුභාරංචි පොත් තුනේ දක්වා තිබෙන වාර්තා අතර පුදුම එකඟතාවක් ඇති අතර, ක්‍රිස්තුස් පිළිබඳව ඉතා පැහැදිලි, වෙනස් නොවනසුලු පින්තූරයක් දක්නට තිබෙනවා.”
සුවිශේෂ වාර්තාවල දක්නට ලැබෙන පරස්පර විරෝධීතාවන් බොහෝවිට පහසුවෙන්ම විසඳාගත හැකි ඒවායි. නිදසුනක් වශයෙන් මතෙව් 8:5 පවසන්නේ ‘සියයකට මුලාදෑනියෙක් [යේසුස්] ළඟට ඇවිත්’ දාසයෙකු සුව කර දෙන්න කියා ‘ඔහුට කන්නලව් කළ’ බවයි. නමුත් ලූක් 7:3හි අපට කියවීමට තිබෙන්නේ, මුලාදෑනියා ‘තමාගේ දාසයා සුවපත් කරන ලෙස [යේසුස්ගෙන්] ඉල්ලන පිණිස යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන්ව ඔහු වෙතට යැවූ’ බවයි. සියයකට මුලාදෑනියා තම නියෝජිතයන් වශයෙන් වැඩිමහල්ලන්ව යැව්වා. සියයකට මුලාදෑනියා, තමා වෙනුවට කතා කරන්නන් වශයෙන් වැඩිමහල්ලන්ව යොදාගෙන තම ඉල්ලීම කළ නිසා, ඔහුම යේසුස්ගෙන් කන්නලව් කළ බව මතෙව් පවසනවා. සුවිශේෂයන්හි පෙනෙන්න තිබෙන වෙනස්කම් පිළිබඳ ප්රශ්නය විසඳගත හැකි බවට මෙය එක් උදාහරණයක් පමණයි.
සුවිශේෂ විශ්වාස කිරීමට ඉතිහාසගත පදනමක් නැතැයි කියමින් බයිබලය විවේචනයට ලක් කරන අය නඟන චෝදනා ගැන කුමක් කිව හැකිද? ඩූරන්ට් තවදුරටත් මෙසේ පවසනවා: “බයිබලය විවේචනයට ලක් කරන්නන් නව ගිවිසුම මැන බැලීමට ඉතා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඇත්තවශයෙන්ම එම ප්රතිපත්තියම යොදාගත්තොත් අප සාමාන්‍යයෙන් සැබෑ පුද්ගලයන් බවට විශ්වාස කරන හමුරාබි, දාවිත්, සොක්රටීස් වැනි අය ඇතුළු පුරාණ චරිත රැසක් ප්‍රබන්ධ කථාවල චරිතයන් ලෙස සැලකීමට සිදු වෙනවා. එවැන්ජලිස්තවරුන්ට තමන් ඇදහූ ධර්මය සම්බන්ධයෙන් යම් නිශ්චිත අදහස් තිබුණත්, ඔවුන්ගේ විශ්වාසයන්ට පක්ෂව සිටියත්, ඔවුන් ප්‍රබන්ධ කථා නිර්මාණය කරන බොහෝදෙනෙක් වසං කරන සිද්ධීන් බොහොමයක් වාර්තා කරනවා. රාජ්‍යයේ ඉහළ තනතුරු සඳහා ප්‍රේරිතයන් තරඟ කළ හැටි, යේසුස්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් පලාගිය හැටි, පේතෘස් යේසුස්ව නාඳුනන බව ප්‍රකාශ කළ හැටි . . . උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙවැනි වාර්තා කියවන ඕනෑම කෙනෙකුට ඒවා ප්‍රබන්ධ කළායයි නිගමනය කිරීමට පදනමක් නැහැ.”
◆ නවීන-දින ක්‍රිස්තු ධර්මය සුවිශේෂවල සිටින යේසුස්ව නියෝජනය කරනවාද?
ජේසු සම්මන්ත්‍රණය කියා සිටින්නේ සුවිශේෂයන් සම්බන්ධයෙන් ඔවුන් කළ පර්යේෂණයන් “පල්ලියේ ඉගැන්වීම්වලින් කොටු වී නැති” බවයි. නමුත් ඉතිහාසඥ වෙල්ස්ට වැටහී ගිය කරුණක් වන්නේ, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල ඉගැන්වීම් හා සුවිශේෂවල ඉදිරිපත් කර තිබෙන යේසුස්ගේ ඉගැන්වීම් අතර විශාල පරතරයක් තිබෙන බවයි. ඔහු මෙසේ ලිව්වා: “යේසුස්ගේ ප්‍රේරිතයන් කවදාවත් ඔහුගෙන් ත්‍රිත්වයක් ගැන ඇසූ බවට නම් සාක්ෂි නැහැ. . . . ස්වර්ගයේ රැජින වන අයිසිස්ට තම මව් වූ මරියාගේ වේශයෙන් නමස්කාර කිරීමක් සම්බන්ධයෙන් [යේසුස්] වචනයක්වත් පැවසුවේ නැහැ. ක්‍රිස්තියානි ලෝකයට ආවේණික සෑම නමස්කාර ක්‍රමයකින්ම යේසුස් වැළකී සිටියා.” එමනිසා, ක්‍රිස්තියානි ලෝකයේ ඉගැන්වීම් මත පදනම්ව සුවිශේෂ වාර්තාවල වටිනාකම මිනිය නොහැකියි.
ඔබේ නිගමනය කුමක්ද?
ඉහත කරුණු සලකා බැලුවායින් පසු, ඔබ දරන මතය කුමක්ද? සුවිශේෂයන් හුදෙක් මිථ්‍යාවන් බවට ඒත්තුගන්වන සැබෑ සාක්ෂි තිබෙනවාද? බොහෝදෙනෙකුට පෙනී යන්නේ, සුවිශේෂයන්හි විශ්වාසවන්තභාවය සම්බන්ධයෙන් නඟා තිබෙන ප්‍රශ්න හා සැකයන් සඳහා පදනමක් හෝ හොඳ හේතු නැති බවයි. පෞද්ගලික මතයක් ගොඩනඟා ගැනීමට, ඔබ විවෘත මනසකින් සුවිශේෂයන් කියවිය යුතුයි. (ක්‍රියා 17:11) සුවිශේෂ වාර්තා මගින් යේසුස් නමැති පුද්ගලයාව හඳුන්වා දෙද්දී, දක්නට ලැබෙන එකඟතාව, අවංකබව හා නිවැරදිබව ගැන කල්පනා කරන විට, මේ වාර්තාවන් ඇත්තෙන්ම උපමා කතාවල එකතුවක් නොවන බව වැටහෙනවා. a
ඔබ පරෙස්සමින් බයිබලය සෝදිසි කොට එහි උපදෙස් අදාළ කරගන්නවා නම්, ඔබේ ජීවිතය වඩා යහපත් අතට හැරවීමට එයට හැකි අයුරු ඔබට වැටහී යාවි. (යොහන් 6:68) මෙය විශේෂයෙන්ම සුවිශේෂයන්හි වාර්තා වී ඇති යේසුස්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සැබෑවකි. කීකරු මිනිසා වෙනුවෙන් වෙන් කර තිබෙන චමත්කාරජනක අනාගතය ගැනත් ඔබට එයින් ඉගෙනගත හැකියි.—යොහන් 3:16; 17:3, 17.
[පාදසටහන]
a බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? (ඉංග්‍රීසියෙන්) යන පොතේ 5-7 පරිච්ඡේද මෙන්ම සියලුම ජනයා සඳහා පොතක් යන විවරණිකාව බලන්න. මේවා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[7වන පිටුවේ කොටුව]
විශ්වාසවන්තව වාර්තා කළ බවට සාක්ෂි
වසර ගණනකට පෙර බයිබලය විවේචනයට ලක් කළ ඕස්ට්‍රේලියානු ලේඛකයෙක් මෙසේ කනගාටුව පළ කළා: “මගේ ජීවිතයේ මුල් වතාවට සාමාන්‍යයෙන්ම වාර්තාකරුවෙකුගෙන් මූලිකවම බලාපොරොත්තු වන දේ මම කළා. ඒ කියන්නේ මම මගේ කරුණු සෝදිසි කර බැලුවා කියන එකයි. . . . [සුවිශේෂ වාර්තා] කියවද්දී මම පුදුමයට පත් වුණා. ඒකට හේතුව, මම කියවමින් හිටිය දේ ප්‍රබන්ධ කථාවක්වත්, ගොතල හදපු නව කතාවක්වත් නොවන බව මට තේරුණ නිසයි. ඒකෙ කරලා තියෙන්නේ සැබෑ කරුණු වාර්තා කිරීමක්. ඒවා අසාමාන්‍ය සිද්ධීන් ඇසින් දැකපු අයත් ඇසින් දැකපු අයගේ සාක්ෂිය දැනගත් අයත් ලියා තිබුණු වාර්තා කියලා මට පැහැදිලි වුණා. . . . සාමාන්‍යයෙන් යම් සැබෑ වාර්තාවක් කියවද්දී ඒක හොඳට තේරෙනවා. සුවිශේෂ වාර්තා කියවද්දී ඒවාවල සත්‍යතාව හොඳින් වැටහෙනවා.”
එලෙසම, ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ ඊ. එම්. බ්ලේක්ලොක් මෙසේ හේතු දැක්වුවා: “මම ඉතිහාසඥයෙක්. ඉතින්, මම සම්භාව්‍ය කෘති තක්සේරු කර බලන්නේ ඓතිහාසික පදනමක් යොදාගෙනයි. ඇත්තෙන්ම යේසුස්ගේ ජීවිතය, මරණය හා නැවත නැඟිටීම සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි, පුරාණ ඉතිහාසයේ සිදු වී ඇති සිද්ධීන්වලින් වැඩිහරියකට වඩා විශ්වාසදායකයි කියා මම කියන්න කැමතියි.”
[8, 9වන පිටුවේ සිතියම⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
ෆිනිසිය
ගලීලය
යොර්දාන් ගඟ
යුදය
[පින්තූර]
“යේසුස්ගේ ජීවිතය, මරණය හා නැවත නැඟිටීම සිදු වී ඇති සිද්ධීන්වලින් වැඩිහරියකට වඩා සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි, පුරාණ ඉතිහාසයේ විශ්වාසදායකයි කියා මම කියන්න කැමතියි.”—මහාචාර්ය ඊ. එම්. බ්ලේක්ලොක්
[හිමිකම් විස්තර]
පසුබිමේ සිතියම්: Based on a map copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel.