Skip to content

පටුනට යන්න

අදදින සැබෑ ක්‍රිස්තියානියෙකුව සොයාගත හැකිද?

අදදින සැබෑ ක්‍රිස්තියානියෙකුව සොයාගත හැකිද?

අදදින සැබෑ ක්‍රිස්තියානියෙකුව සොයාගත හැකිද?

ක්‍රිස්තියානි යන වචනයෙහි නියම අර්ථය කුමක්ද? ඔබ කෙසේද පිළිතුරු දෙන්නේ? විවිධ රටවල වෙසෙන ජනයාගෙන් එම ප්‍රශ්නය ඇසූ විට ඔවුන් ප්‍රතිචාරය දැක්වූ ආකාරය පහත දැක්වේ.

“ක්‍රිස්තියානියෙක් කියන්නේ යේසුතුමන්ව ආදර්ශයට අරං එයාගේ අඩි පාරේ යන කෙනෙක්.”

“නියම ක්‍රිස්තියානියෙක් කියන්නේ, හොඳ ජීවිතයක් ගත කරන, අනුන් එක්ක සාමයෙන් සමගියෙන් ඉන්න කෙනෙකුටයි.”

“ක්‍රිස්තුතුමාව අපේ ස්වාමීන් හා ගැළවුම්කාරයා හැටියට පිළිගන්න ඕනේ.”

“ක්‍රිස්තියානියෙක් ඉරිදා පූජාවට යනවා. හැමදාම සත්ප්‍රසාදය ලබනවා. නොවරදවාම කොන්තෙත් කියනවා.”

“ක්‍රිස්තියානියෙක් වෙන්න පල්ලි යන්නම අවශ්‍ය නෑ.”

විවිධ ශබ්දකෝෂවල පවා ක්‍රිස්තියානි යන වචනයට මනස අවුල් කරවන නිර්වචන ගණනාවක් දී තිබේ. එක් කෘතියක “ක්‍රිස්තියානි” යන වචනය පැහැදිලි කර ඇත්තේ, “යේසු ක්‍රිස්තු දේශනා කළ ධර්මය ඇදහීම, විශ්වාස කිරීම හෝ පිළිපැදීම” හා “හොඳ ගතිපැවතුම් මෙන්ම වැදගත් පෙනුමක් ඇති කෙනෙක් වීම” යනුවෙනි. මෙවැනි ප්‍රකාශයන් සලකා බලද්දී, ක්‍රිස්තියානි යන වචනයේ නියම අර්ථය වටහාගැනීම දුෂ්කර වන්නේ ඇයි කියා පැහැදිලියි.

නිදහස් චින්තන රටාවක්

අදදින ක්‍රිස්තියානියයි කියාගන්නා අය විවිධ මත දරති. එකම පල්ලියේ එකම බංකුවේ අසුන් ගෙන සිටින අය අතර පවා මෙය සැබෑවකි. බයිබලය දේවානුභාවයෙන් ලියා තිබීම, පරිණාමවාදය, පල්ලිය දේශපාලනයට සම්බන්ධ වීම හා අනුන් සමඟ තම විශ්වාසයන් බෙදාගැනීම වැනි විෂයන් සම්බන්ධයෙන් ඔවුන් විවිධ අදහස් ඉදිරිපත් කරයි. එමෙන්ම ගබ්සාව, සමලිංගික සේවනය හා විවාහ නොවී එකට දිවි ගෙවීම වැනි සදාචාරාත්මක කාරණා සාමාන්‍යයෙන් දැඩි මතභේදයට ලක් වේ. මේ සෑම කාරණයකදීම ඔවුන් නිදහස් චින්තන රටාවක් අනුගමනය කරන බව පෙනෙන්න තිබේ.

රෙපරමාදු පල්ලියේ එක් විනිශ්චය මණ්ඩලයක් ගෙන තිබූ තීරණය නිදසුනකට ගන්න. ක්‍රිස්තියානි සියවස (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාවට අනුව, “සමලිංගික සේවනයේ යෙදෙන කෙනෙකු වශයෙන් ප්‍රසිද්ධත්වයක් උසුලන වැඩිමහල්ලෙකුව පවා එහි පාලක මණ්ඩලයට භාරගැනීමට” සෑම පල්ලියකටම නිදහස දිය යුතු බව ඔවුන් ප්‍රකාශ කර තිබිණ. එපමණක් නොවෙයි, ගැළවීම ලබාගැනීමට යේසුස් කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යම දෙයක් නොවන බවත් ඇතැම් දේවධර්මවාදීන් ප්‍රකාශ කර තිබේ. යුදෙව්, ඉස්ලාම් හා වෙනත් ඕනෑම ඇදහිලි ක්‍රමයකට අයත් කෙනෙකුට “[ක්‍රිස්තියානියෙකු හා සමානව] ස්වර්ගයට යෑමේ ප්‍රස්තාව තිබේ” කියා ඔවුන් විශ්වාස කරයි. මෙසේ වාර්තා කර තිබුණේ ද නියූ යෝක් ටයිම්ස් නමැති පුවත්පතේය.

ධනවාදී ක්‍රමයකට දිරි දෙන මාක්ස්වාදියෙක් හෝ ඒකාධිපති පාලන ක්‍රමයකට දිරි දෙන ප්‍රජාතන්ත්‍රවාදියෙක් ගැන ඔබ අසා ඇද්ද? එහෙමත් නැත්නම් වනාන්තර එළි කරන පරිසරවේදියෙක් ගැන ඔබ අසා ඇද්ද? “ඔවුන්ව එම නම්වලින් හැඳින්වීම සුදුසු නැහැයි” කියා ඔබ තර්කානුකූලව නිගමනය කරයි. නමුත් ක්‍රිස්තියානි යන නාමය දරන අය අතර තිබෙන නානාප්‍රකාර අදහස් ගැන සලකා බලන විට පවතින්නේ මේ හා සමාන තත්වයක් නොවේද? ඔවුන් පරස්පර විරෝධී අදහස් රැසක් ඉදිරිපත් කරන අතර ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘ වන යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පවා පසෙකට දමා තිබේ. ඔවුන් අදහන ආගම ගැන මෙයින් හෙළි වන්නේ කුමක්ද?—1 කොරින්ති 1:10.

අප දැන් සලකා බලන්න යන පරිදි, ජීවත් වන කාලයට අනුව ක්‍රිස්තියානි ඉගැන්වීම් වෙනස් කිරීමට තිබෙන ප්‍රවණතාව අතීතයේ සිටම පැවත ඇත. මේ සම්බන්ධයෙන් දෙවිට හා යේසුස් ක්‍රිස්තුස්ට හැඟෙන්නේ කෙසේද? ක්‍රිස්තුස් ඉගැන්වූයේ නැති ඉගැන්වීම්වලට දිරි දෙන පල්ලි සැබවින්ම ක්‍රිස්තියානි ඒවා කියා හැඳින්විය හැකිද? මෙම ප්‍රශ්න ගැන අපි ඊළඟ ලිපියේ සාකච්ඡා කරමු.