Skip to content

පටුනට යන්න

ප්‍රේමනීය දෙවිව දැනහඳුනා ගැනීම

ප්‍රේමනීය දෙවිව දැනහඳුනා ගැනීම

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ප්‍රේමනීය දෙවිව දැනහඳුනා ගැනීම

බ්‍රසීලියානු ජාතික ඇන්ටොනියෝ වයස අවුරුදු 16 වන විටම නොමඟට වැටුණා. ඔහුට ඇති වූ නිෂ්ඵලභාවයේ හැඟීම නිසා ඔහු මත්ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි ලෙස භාවිත කිරීමට පටන්ගත්තා. බොහෝ අවස්ථාවන්වල සියදිවි නසාගැනීමට සිතූ නමුත් මේ සෑම අවස්ථාවකදීම ඔහුට ඔහුගේ මව පැවසූ දෙයක් සිහියට නැඟුණා. ඒ ‘දෙවි ප්‍රේමය’ කියන එකයි. (1 යොහන් 4:8) එහෙත් ඔහුට තිබූ ගැටලුව වූයේ මේ ප්‍රේමනීය දෙවි ඉන්නේ කොහේද යන්නයි.

පසුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි ලෙස භාවිත කිරීමේ ගැටලුවෙන් මිදීම සඳහා ඔහු ගමේ පූජකයාගේ උපකාරය පැතුවා. කතෝලික පල්ලියේ වැඩකටයුතුවල ක්‍රියාශීලීව නිරත වෙමින් සිටියත් ඔහුගේ මනසට වද දෙන බොහෝ ප්‍රශ්න තිබුණා. උදාහරණයක් හැටියට, “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය” යන යේසුස්ගේ වදන් සම්බන්ධයෙන් ඔහුට ගැටලුවක් තිබුණා. (යොහන් 8:32) යේසුස් පොරොන්දු වුණේ මොන වගේ නිදහසක්ද? ඔහුගේ මෙම ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන පිළිතුරු දීමට පල්ලියට නොහැකි වුණා. එයින් කලකිරුණු ඔහු පල්ලිය අත්හැර සුපුරුදු ජීවිතයට බැස්සා. ඔහු කලින් සිටි තත්වයට වඩා පහත් අඩියකට වැටුණා.

මේ වන විට ඇන්ටොනියෝගේ භාර්යාව වූ මාරියා යෙහෝවාගේ සාක්ෂිකාරයන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. ඇන්ටොනියෝ ඇය පාඩම් කරනවාට විරුද්ධ නොවුණත්, යෙහෝවාගේ සාක්ෂිකාරයන් “අමෙරිකානු අධිරාජ්‍යයේ උන්නතිය තකා වැඩ කරන අමෙරිකානු ආගමක්” යයි සිතා ඔවුන්ව ප්‍රතික්ෂේප කළා.

එහෙත් මාරියා කිසිවිටකත් සැලුණේ නෑ. ඇය ඇන්ටොනියෝ උනන්දුව දක්වයි කියා සිතූ ලිපි ඇති මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ගෙයි පුරාම ඔහුට පෙනෙන සේ තැබුවා. ඇන්ටොනියෝ කියවීමට කැමැත්තක් දැක්වුවත් ඉඳහිට හෝ ඔහු සඟරා බැලුවේ ඔහුගේ භාර්යාව ගෙයි නොමැති විටක පමණයි. ඔහුගේ ජීවිතයේ පළමු වතාවට ඔහුට බයිබලය සම්බන්ධයෙන් තිබුණු ගැටලුවලට පිළිතුරු සම්බ වුණා. ඒ වගේම “මගේ භාර්යාව සහ සාක්ෂිකාරයන් පෙන්වූ ප්‍රේමය මට දැනෙන්න පටන්ගත්තා” කියා ඔහු සිහිපත් කරනවා.

වර්ෂ 1992 මැදභාගය වන විට ඇන්ටොනියෝ යෙහෝවාගේ සාක්ෂිකාරයන් සමඟ බයිබලය පාඩම් කිරීමට තීරණය කළා. නමුත් ඔහුගේ වැරදි පුරුදුවල නියැලීම නතර වුණේ නෑ. එක් මැදියම් රැයක ඔහු මිතුරෙක් සමඟ මුඩුක්කු නගරයක සිට තම නිවෙස් බලා යන විට පොලිසිය ඔවුන්ව නවතා පරීක්ෂා කළා. එවිට ඇන්ටොනියෝ ළඟ තිබී කොකේන් සොයාගත් අතර ඔවුන් ඔහුට හොඳටම තැළුවා. එක පොලිස්කාරයෙක් ඔහුව මඩ වගුරකට තල්ලු කර, තුවක්කුව මුහුණට ළං කළ විට අනෙක් පොලිස්කාරයා “ඔහුව ඉවරයක් කරලා දාන්න!” කියා කෑගැසුවා.

ඇන්ටොනියෝ මඩ වගුරේ ඉඳගෙන ඔහුගේ ජීවිතය ආවර්ජනය කළා. ඇත්තටම ඔහුට ඒ වේලාවේ සිහිපත් වුණේ ඔහුගේ පවුල සහ යෙහෝවාව විතරයි. ඔහු යෙහෝවාගේ උපකාරය අයැදිමින් කෙටි යාච්ඤාවක් කළා. කිසිම හේතුවක් නැතුව පොලිස්කාරයා ඔහුව අත්හැර ගියා. ඔහු ආරක්ෂා වුණේ යෙහෝවා නිසායි යන විශ්වාසය ඇතිව ඔහු නිවසට ගියා.

මෙම සිදුවීමෙන් පසු ඇන්ටොනියෝ නැවතත් ඉතාමත් උද්‍යෝගයෙන් බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර යෙහෝවාව සතුටු කිරීම සඳහා ටිකෙන් ටික වෙනස්කම් කිරීමට පටන්ගත්තා. (එපීස 4:22-24) ආත්ම දමනය වර්ධනය කරගැනීම මගින් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය නමැති ගැටලුව සමඟ සාර්ථකව කටයුතු කිරීමට පටන්ගත්තා. එසේවුවත් ඔහුට වෛද්‍ය උපකාරය අවශ්‍ය වූ නිසා මාස දෙකකට පුනරුත්ථාපන කඳවුරකට යවනු ලැබුවා. එහිදී ඔහුට සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතද තවත් බයිබල් පොත් පත්ද කියවීමට අවස්ථාවක් ලැබුණා. මෙම පොත්වලින් ඔහු ඉගෙනගත් දේ අනෙක් ලෙඩුන්ටද කියා දුන්නා.

ඇන්ටොනියෝ සායනයෙන් ගිය පසු, සාක්ෂිකාරයන් සමඟ දිගටම බයිබල් පාඩම කරගෙන ගියා. අදදින ඇන්ටොනියෝ සහ මාරියාත් ඔවුන්ගේ දියණියන් දෙදෙනාත් ඇන්ටොනියෝගේ මවත් සන්තෝෂවත් ජීවිතයක් ගත කරනවා. ඔවුන් පවුලක් හැටියට එකමුතුව යෙහෝවා දෙවිට සේවය කරමින් සිටිනවා. “‘දෙවි ප්‍රේමයය’ යන වදන්වල නියම අර්ථය දැන් මම වටහාගෙන තියෙනවා” කියා ඇන්ටොනියෝ පවසනවා.

[8වන පිටුවේ පින්තූරය]

රියෝ ද ජනේරෝහි දේශනා කිරීම