Skip to content

පටුනට යන්න

ලජ්ජාශීලීභාවයෙන් ගොඩ ආ මා

ලජ්ජාශීලීභාවයෙන් ගොඩ ආ මා

ජීවිත කතාව

ලජ්ජාශීලීභාවයෙන් ගොඩ ආ මා

පැවසුවේ රූත් එල්. උල්රික්

පූජකයාගේ දොරකඩ ළඟට ගිය මට, මාව පාලනය කරගන්න බැරි වුණා. මට හොඳටම ඇඬුණා. වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටියේ සභාපති හැටියට මුලින්ම සේවය කළ චාල්ස් ටී. රසල්ට විරුද්ධව ඔහු බොරු චෝදනාවන් හුඟක් එල්ල කරලා තිබුණා. මේ විදිහට ළමා කාලයේදී මිනිසුන්ව හමු වෙන්න මම ගියේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්.

මම ඉපදුණේ 1910දී අ.එ.ජ., නබ්‍රැස්කාවල ගොවිපොළකයි. අපේ පවුලේ අය ආගම දහමට හුඟක් ලැදිව හිටියා. අපි හැමදාම උදේටයි රෑටයි කෑමෙන් පස්සේ එකතු වෙලා බයිබලය කියෙව්වා. අපේ ගොවිපොළේ ඉඳලා කිලෝමීටර් හයක විතර දුරක තිබුණ මෙතෝදිස්ත පල්ලියක දහම් පාසැලේ පාලකයාව සිටියේ අපේ තාත්තායි. අපිට සම්පූර්ණයෙන්ම ආවරණය කළ අශ්ව රථයක් තිබුණ නිසා, මොන කාලගුණයක් තිබුණත් නොවරදවාම ඉරිදා උදේට පල්ලි යන්න පුළුවන් වුණා.

මට වයස අටේදී, මගේ පුංචි මල්ලිට බාලක පක්ෂාඝාත රෝගය වැළඳුණු නිසා අම්මා ඔහුව අයිඕවාහි සෞඛ්‍යාගාරයකට අරගෙන ගියා. අම්මා මගේ මල්ලිව හොඳින් බලාගත්තත් එහෙ ඉන්දැද්දිම මල්ලි මියගියා. කොහොමනමුත්, අයිඕවාවල ඉන්දැද්දී අම්මාට බයිබල් ශිෂ්‍යයෙක්ව මුණගැහුණා. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ ඒ නමින්. ඔවුන් හුඟක් අවස්ථාවල හමු වී සාකච්ඡා කළ අතර, ඒ කාන්තාව එක්ක අම්මා බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම් කීපයකටත් ගියා.

අම්මා ආපහු එනකොට වොච් ටවර් සමිතිය ප්‍රකාශයට පත් කළ ශුද්ධ ලියවිලිවල අධ්‍යයනයේ (ඉංග්‍රීසියෙන්) වෙළුම් කීපයකුත් අරගෙන ආවා. බයිබල් ශිෂ්‍යයන් උගන්වන්නේ සත්‍යය බවත්, අමරණීය ආත්මය හා නරක අයට සදාකාලයටම වධ දීම වැනි ඉගැන්වීම් බොරු බවත් වැඩි කල් නොගොස් ඇයට ඒත්තුගියා.—උත්පත්ති 2:7; දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4.

ඒත්, මේ ගැන තාත්තට කේන්ති ගිය අතර, බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට අම්මා යනවට විරුද්ධ වුණා. ඔහු මාවත්, මගේ අයියා ක්ලැරන්ස්වත් පල්ලියට එක්කරගෙන ගියා. නමුත් තාත්තා ගෙදර නැති වෙලාවට අම්මා අපි එක්ක බයිබලය පාඩම් කළා. ඒ නිසා, බයිබල් ශිෂ්‍යයන්ගෙයි පල්ලියෙයි ඉගැන්වීම් සසඳලා බලන්න අපිට හොඳ අවස්ථාවක් ලැබුණා.

ක්ලැරන්ස් හා මම පල්ලියේ දහම් පාසැලට නොකඩවාම ගියා. අයියා ගුරුවරියගෙන් ප්‍රශ්න ඇහැව්වාම ඇයට උත්තර දෙන්න බැරි වුණා. අපි ගෙදර ඇවිල්ලා අම්මට ඒ ගැන කිව්වහම ඒ විෂයන් ගැන දීර්ඝ සාකච්ඡා පවත්වන්න පුළුවන් වුණා. අන්තිමේදී, මම පල්ලියෙන් අස් වෙලා අම්මා එක්ක බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඊට පස්සේ වැඩි කල් යන්න කලින් අයියත් ඒ දේම කළා.

ලජ්ජාශීලීභාවයට සාර්ථකව මුහුණ දීම

වර්ෂ 1922 සැප්තැම්බර් මාසයේදී අම්මයි මමයි ඔහයෝහි සීඩාර් පොයින්ට්වල බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවට ගියා. ඒක අමතක නොවන සමුළුවක්. ඒ කාලයේදී වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි ජෝසෆ් එෆ්. රදෆර්ඩ් කතාව දෙද්දී, විශාල බැනරයක් දිග ඇරුණ විදිහ මට තාම මතකයි. එහි පැමිණ සිටි 18,000දෙනාගෙන්ම “රජ හා රාජ්‍යය ප්‍රචාරය කරන්න” කියා ඉල්ලීමක් කර තිබුණා. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන අන්‍යයන්ට පැවසීමට හදිසිතාවක් තිබෙන බව මට හැඟුණා විතරක් නෙවෙයි, ඒ ගැන යමක් කරන්නත් මා තුළ දැඩි පෙලඹීමක් ඇති වුණා.—මතෙව් 6:9, 10; 24:14.

වර්ෂ 1922 සිට 1928 දක්වා පැවැත්වූ සමුළුවලදී සම්මුතීන් කීපයක්ම ඇති කරගත්තා. බයිබල් ශිෂ්‍යයන් විසින් ලොව පුරා සිටින ජනයාට ලක්ෂ ගණනින් බෙදාහැරිය පත්‍රිකාවල, එම සම්මුතීන් පදනම් කරගත් පණිවුඩ ඇතුළත් කර තිබුණා. මම හුඟක් උස කෙට්ටු කෙනෙක් වූ නිසාත්, හුඟක් වේගයෙන් මේ මුද්‍රිත පණිවිඩ බෙදාහැරිය නිසාත් මට කිව්වේ පැස්බරා කියලයි. ඇත්තෙන්ම මම ඒ වැඩෙන් ලොකු සතුටක් ලැබුවා. ඒත්, ගෙවල්වලට ගිහින් කතා කිරීමේදී හා දේවරාජ්‍යය ගැන පුද්ගලිකව අන්‍යයන්ට පැවසීමේදී නම් තත්වය වෙනස්.

ඒ දවස්වල මම කොච්චර ලැජ්ජද කියනවා නම්, හැම අවුරුද්දකම අම්මා නෑදෑයන් බර ගානකට ආරාධනා කළහම මම බයේ හැංගුණා. මම මගේ නිදන කාමරයට වෙලා හිටියා. දවසක් මුළු පවුලෙම පින්තූරයක් ගන්න අම්මට ඕන වෙලා කාමරෙන් එළියට එන්න කියලා මට කිව්වා. ඒගොල්ලන්ට එකතු වෙන්න බයේ මම හයියෙන් අඬද්දිම අම්මා මාව කාමරයෙන් එළියට ඇදගෙන ගියා.

කොහොමනමුත්, දවසක් මම අධිෂ්ඨානයක් අරං වුවමනාවෙන්ම බයිබල් පොත් පත් ටිකක් බෑග් එකට දාගත්තා. “මට නම් ඒක කරන්න බෑ” කියලා මම නිතරම කිව්වත්, “ඒක කරන්නම ඕනෙ” කියලා ඊළඟ මොහොතේ මම මටම කියාගත්තා. කොහොම හරි මම දේශනා සේවයේ ගියා. ඊට පස්සේ, මට ධෛර්යය උපදවාගන්න පුළුවන් වුණු එක ගැන මම හුඟක් සතුටු වුණා. ඇත්තෙන්ම මම වැඩියෙන්ම සතුටු වුණේ වැඩය කරද්දී නෙවෙයි, කරලා ඉවර වුණාට පස්සෙයි. මුලින් සඳහන් කළ පූජකයාව මට මුණගැසුණෙත්, අඬ අඬා ගෙදර ගියෙත් ඒ අවදියේදියි. කාලය ගෙවී යද්දී, ජනයාගේ නිවෙස්වලදී භය නැතුව කතා කරන්න මට ශක්තිය ලැබුණු අතර, මගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වී ගියා. ඊට පස්සේ, 1925දී වතුර බව්තීස්මයෙන් මම යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කළා.

පූර්ණ කාලීන දේවසේවය ආරම්භ කිරීම

මට වයස 18දී ලොකු අම්මාගෙන් මට ලැබුණු මුදල්වලින් මම කාර් එකක් අරගෙන, පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. පූර්ණ-කාලීන දේවසේවය හඳුන්වන්නේ ඒ නමින්. අවුරුදු දෙකකට පස්සේ, 1930දී පුරෝගාමී සහෝදරියකුයි මමයි දේශනා පැවරුමක් භාරගත්තා. මේ වෙනකොට අයියත් පුරෝගාමී සේවය පටන් අරං තිබුණා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා, නියූ යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය වන බෙතෙල් නිවසේ සේවය කිරීම සඳහා ලැබුණු ආරාධනය ඔහු පිළිගත්තා.

ඒ කාලය වෙනකොට අපේ දෙමාපියන් වෙන් වෙලයි හිටියේ. ඒ නිසා අම්මයි මමයි නවාතැන් ගන්න පුළුවන් වන විදිහේ ට්‍රේලර් රථයක් හදාගෙන එකට පුරෝගාමී සේවයේ යෙදෙන්න පටන්ගත්තා. එක්සත් ජනපදයේ ආර්ථිකය පහත වැටුණේ ඒ කාලයේදීයි. පුරෝගාමී සේවයේ දිගටම නියැලීම සෑහෙන අභියෝගයක් වූ නමුත්, නතර කරන්නේ නැහැ කියලා අපි අදිටන් කරගත්තා. බයිබල් පොත් පත් වෙනුවට, කිකිළියන්, බිත්තර හා ඵලභෝග මෙන්ම පරණ බැටරි සහ ඉවත දැමූ ඇලුමිනියම් වැනි දේවල් හුවමාරු කරගත්තා. පරණ බැටරි සහ ඇලුමිනියම් විකුණලා කාර් එකට ඉන්ධන අරගත්තා විතරක් නෙවෙයි වෙනත් වියදමුත් පිරිමහගත්තා. ඒ විතරක් නෙවෙයි, මුදල් ඉතුරු කරගන්න ඕන නිසා කාර් එක ග්‍රීස් කරන්නත්, තෙල් මාරු කරන්නත් මම ඉගෙනගත්තා. යෙහෝවා ඔහුගේ පොරොන්දුවට එකඟව, බාධා ජයගැනීමට අපට උපකාර කිරීම සඳහා මාර්ගය විවෘත කරන හැටි අපි දැක්කා.—මතෙව් 6:33.

මිෂනාරි පැවරුම්වල යෙදී

වර්ෂ 1946දී, නියූ යෝක්හි සවුත් ලාන්සිං අසල පිහිටි ගිලියද් වොච්ටවර් බයිබල් පාසැලේ හත්වන පංතියට සහභාගි වෙන්න මට ආරාධනාවක් ලැබුණා. ඒ වෙද්දී, අම්මයි මමයි අවුරුදු 15ක් එකට පුරෝගාමී සේවයේ යෙදිලා තිබුණත්, මිෂනාරි සේවය සඳහා පුහුණුවක් ලැබීමට මට ලැබුණු ප්‍රස්තාවට බාධා පමුණුවන්න ඇයට වුවමනා වුණේ නැහැ. එනිසා ගිලියද් පාසැලට සහභාගි වෙන්න ලැබුණු වරප්‍රසාදය භාරගන්න කියලා ඈ මට උනන්දු කළා. උපාධිය ලැබීමෙන් පසුව, ඉලිනොයිහි, පීඕරියේ මාර්තා හෙසුයි මමයි මිෂනාරි සහයිකාවන් බවට පත් වුණා. පිටරට පැවරුමක් ලැබෙන තුරු අපි බලාගෙන ඉන්න අතරතුර, අපි දෙන්නටයි, තවත් දෙන්නෙකුටයි ඔහයෝහි ක්ලීව්ලන්ඩ්වල අවුරුද්දක් සේවය කරන්න පැවරුමක් ලැබුණා.

මාර්තාටයි, මටයි හවායිවලට පැවරුම ලැබුණේ 1947දියි. මේ දූපත්වලට පහසුවෙන්ම ඇතුල් වෙන්න පුළුවන් වූ නිසා අම්මා ඇවිත්, අපිට කිට්ටුවෙන් පිහිටි හොනලූලූ නගරයේ ජීවත් වුණා. ඇගේ සෞඛ්‍ය තත්වය දුර්වල වෙමින් තිබුණ නිසා මගේ මිෂනාරි වැඩවල යෙදෙද්දීම මම අම්මටත් උපකාර කළා. හවායිවලදී ඇය මියයන විට ඇයට වයස 77යි. වර්ෂ 1956දී ඈ මියයන තුරුම ඇයව බලාගන්න මට පුළුවන් වුණා. අපි හවායිවලට යනකොට එහෙ හිටියේ සාක්ෂිකරුවන් 130දෙනෙක් විතරක් වුණත්, අම්මා මැරෙනකොට දාහකට වඩා හිටිය නිසා තවදුරටත් මිෂනාරිවරුන් අවශ්‍ය වුණේ නැහැ.

පසුව, ජපානයට පැවරුමක් ඉදිරිපත් කළ ලිපියක් මාර්තාටයි මටයි වොච් ටවර් සමිතියෙන් ලැබුණා. අපි මුලින්ම කල්පනා කළේ අපේ වයසේ හැටියට අපිට ජපන් භාෂාව ඉගෙනගන්න පුළුවන් වෙයිද කියලයි. මට ඒ වෙනකොට වයස 48ක් වූ අතර, මාර්තා මට වඩා අවුරුදු හතරකට බාලයි. නමුත් අපි කාරණය යෙහෝවාට භාර දීලා පැවරුම භාරගත්තා.

වර්ෂ 1958දී නියූ යෝක් නගරයේ යැංකි හා පෝලෝ ක්‍රීඩාංගණවල ජාත්‍යන්තර සමුළුව පවත්වා අවසන් වුණත් එක්කම වගේ අපි නැවක නැඟී ටෝකියෝ බලා පිටත් වුණා. යොකොහාමාවල වරායට ළඟා වෙද්දී අපි සැර කුණාටුවකින් පහර ලැබුවා. එහිදී අපිට ඩොන් හා මේබල් හැස්ලට්, ලොයිඩ් හා මෙල්බා බැරි මෙන්ම තවත් මිෂනාරිවරුන් කීපදෙනෙක් මුණගැසුණා. ඒ වෙද්දී ජපානයේ හිටියේ සාක්ෂිකරුවන් 1,124දෙනෙක් විතරයි.

අපි ප්‍රමාද නොවී ජපන් භාෂාව ඉගෙනගන්නත්, ගෙයින් ගෙට දේශනා සේවයේ යෙදෙන්නත් පටන්ගත්තා. ජපන් භාෂාවෙන් ශුභාරංචිය ඉදිරිපත් කරන විදිහ ඉංග්‍රීසි අකුරුවලින් ලියාගෙන අපි ඒක කියෙව්වා. පිළිතුරු වශයෙන් නිවැසියන් “යොරෝෂි ඩේසූ” හෝ “කෙකෝ ඩේසූ” කියලා කිව්වා. අපි ඉගෙනගෙන තිබුණේ “ඒක හොඳයි” කියන එක ඒ වචනවලින් අදහස් කළ බවයි. නමුත් නිවැසියා උනන්දුවක් දැක්වුවාද නැද්ද කියලා අපිට හුඟක් වෙලාවට තේරුම්ගන්න බැරුව ගියා. එහෙම වුණේ ප්‍රතික්ෂේප කරන බව අඟවන්නත් ඒ වචනම යොදාගත්ත නිසයි. කටහඬේ ස්වරයෙන් එහෙමත් නැත්නම් පුද්ගලයාගේ මුහුණේ ඉරියව්වලින් තමයි අදහස තේරුම්ගන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි, ඒගොල්ලන්ගේ මුහුණේ ඉරියව් තේරුම්ගන්න අපිට කාලයක් ගත වුණා.

මගේ හද සතුටු කළ අද්දැකීම්

භාෂාව ඉගෙනගන්න වෑයමක් දරන අතරතුරේදීම දවසක් මම මිට්සුබිෂි සමාගමක නේවාසිකාගාරයකට ගියා. එහිදී වයස 20ක ස්ත්‍රියක් මට මුණගැසුණා. ඇය උනන්දුවෙන් බයිබල් දැනුම ලබාගත් අතර 1966දී බව්තීස්ම වුණා. ඊට අවුරුද්දකට පස්සේ ඇය පුරෝගාමී සේවයේ යෙදෙන්න පටන්ගත් අතර, වැඩි කල් නොගොස් ඇයව විශේෂ පුරෝගාමී සේවිකාවක් හැටියට පත් කළා. එදා පටන් ඇය එම සේවයේ නිරත වී තිබෙනවා. ඇය යෞවන කාලයේ පටන් තම කාලය හා ශක්තිය පූර්ණ-කාලීන දේවසේවයට යොදා තිබෙන ආකාරය දැකීම මට ලොකු සතුටක්.

බයිබල් සත්‍යය වෙනුවෙන් ස්ථාවරයක් ගැනීම අභියෝගයක්. විශේෂයෙන්ම ක්‍රිස්තියානි නොවන සමාජයක ජීවත් වන අයට ඒක ලොකු අභියෝගයක්. ඒත්, මාත් එක්ක බයිබලය පාඩම් කළ කීපදෙනෙකු ඇතුළු දහස්ගණනක් මේ අභියෝගයෙන් ජයගෙන තිබෙනවා. ඔවුන්, ජපන් නිවෙස්වල තිබෙන පරම්පරාගත, මිල අධික බෞද්ධ හා ෂින්ටෝ පූජාසන ඉවත් කර තිබෙනවා. එවැනි ක්‍රියාවලින් මළ මුතුන්මිත්තන්ට අගෞරවයක් පෙන්වනවායයි නෑදෑයන් හිතන නිසා, එවැනි දෙයක් කිරීමට අලුත් අයට නිර්භීතකම අවශ්‍යයි. ඔවුන්ගේ නිර්භීත ක්‍රියාවන්, බොරු නමස්කාරය හා සම්බන්ධ දේවල් ඉවත් කළ මුල් ක්‍රිස්තියානීන්ගේ ක්‍රියා සිහිගන්වන්නක්.—ක්‍රියා 19:18-20.

මට මතකයි එක බයිබල් ශිෂ්‍යාවක්ව. ඈ, ඇගේ පවුලේ අය එක්ක ටෝකියෝවල පදිංචියට යෑමට සැලසුම් කරමින් හිටියා. ඇයට වුවමනා වුණේ මිථ්‍යා නමස්කාරය හා සම්බන්ධ දේවල් නැති අලුත් නිවසක පදිංචි වෙන්නයි. ඉතින් ඈ ඇගේ ස්වාමිපුරුෂයාට ඇගේ අදහස කිව්වාම ඔහු කැමැත්තෙන්ම ඊට එකඟ වුණා. ඈ ප්‍රීතියෙන් මට ඒ ගැන කියද්දී, එකපාරටම ඇයට යමක් මතක් වුණා. ඇය ලබාගෙන තිබුණ, නිවසේ සතුට රැඳෙන බවට පැවසෙන මිල අධික විශාල මාබල් වාස් එකත් ගෙනියන්න ඈ සූදානම් කරලා තිබුණා. බොරු නමස්කාරයට ඒකෙ යම් සම්බන්ධකමක් ඇති කියලා ඇයට සැකයක් තිබුණ නිසා, ඈ මිටියකින් ගහලා වාස් එක කඩලා බිඳලා දැම්මා.

මේ ස්ත්‍රිය හා වෙන අය බොරු නමස්කාරයට සම්බන්ධ මිල අධික දේවල් ඉවත් කරලා, යෙහෝවාට සේවය කිරීම සඳහා නිර්භීත ලෙස අලුත් ජීවිතයක් පටන්ගන්නවා දැකීම මට ලොකු ආශීර්වාදයක් මෙන්ම සෑහීම ගෙන දෙන අද්දැකීමක් වෙලා තියෙනවා. මට අවුරුදු 40කට වැඩි කාලයක් ජපානයේ මිෂනාරි සේවයේ නියැලෙන්න හැකි වෙලා තියෙන එක ගැන මම නිතරම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.

නවීන දින “ප්‍රාතිහාර්යයන්”

මම පූර්ණ කාලීන සේවයේ යෙදුණ අවුරුදු 70කට වඩා වැඩි කාලය දිහා හැරිලා බලද්දී, නවීන දින ප්‍රාතිහාර්යයන් හැටියට මට පේන දේ ගැන මම පුදුම වෙනවා. වැඩිදෙනෙක් ඇහුම්කන් දෙන්න අකමැත්තක් දක්වන රාජ්‍යයක් සම්බන්ධයෙන් ජනයාට කතා කරන්න මුලපුරමින් මගේ මුළු ජීවිත කාලයම ගත කරන්න පුළුවන් වෙයි කියලා ලජ්ජාශීලීභාවයෙන් හිටිය යෞවන කාලයේදී මම කවදාවත් හිතුවේ නැහැ. ඒත්, මට විතරක් නෙවෙයි වෙනත් සියදහස් ගණනකටත් එහෙම කරන්න පුළුවන් වුණ හැටි මම දැකලා තියෙනවා. ඒ වගේම ඔවුන් මොනතරම් බලපෑමෙන් යුතුව ඒක කරලා තියෙනවාද කියනවා නම්, මම 1958දී ජපානයට එද්දී හිටියේ සාක්ෂිකරුවන් දාහකට ටිකක් වැඩි පිරිසක් වුණත්, දැන් ඒ සංඛ්‍යාව 2,22,000කට වඩා වැඩි වෙලා තියෙනවා!

මාර්තායි මමයි මුලින්ම ජපානයට ආවම අපිට නවතින්න ලැබුණේ ටෝකියෝ ශාඛා කාර්යාලයෙයි. වර්ෂ 1963දී ඒ භූමියේ අලුතෙන් තට්ටු හයේ ගොඩනැඟිල්ලක් තැනූ අතර, එදා පටන් අපි නැවතිලා ඉන්නේ ඒකෙයි. වර්ෂ 1963 නොවැම්බර්වලදී අපේ ශාඛා අවේක්ෂක ලොයිඩ් බැරි කැප කිරීමේ කතාව දෙද්දී එහි හිටිය 163දෙනා අතර අපිත් හිටියා. ඒ වෙනකොට ජපානයේ සාක්ෂිකරුවන් 3,000ක් හිටියා.

නූමාසූ නගරයේ විශාල ශාඛා කාර්යාලයක් අලුතින් ගොඩනැඟූ විට, 1972දී 14,000කට වඩා වැඩි සංඛ්‍යාවක් කරා ළඟා වුණා. මේ විදිහට රාජ්‍ය දේශනා කිරීමේ වැඩය බලාගෙන ඉන්දැද්දී වර්ධනය වෙනවා දැකීම ඉමහත් සතුටක් වෙලා තියෙනවා. නමුත් 1982 වන විට ජපානයේ රාජ්‍ය ප්‍රචාරකයන් 68,000කට වඩා වැඩි වී තිබුණ අතර, ටෝකියෝවල සිට කිලෝමීටර් 80ක් පමණ ඈතින් පිහිටි එබිනා නගරයේ ඊටත් වඩා විශාල ගොඩනැඟිල්ලක් ඉදි කරනු ලැබුවා.

මේ අතරතුරේදී, ටෝකියෝවල මධ්‍යම ප්‍රදේශයේ කලින් තිබූ ශාඛා ගොඩනැඟිල්ල අලුත්වැඩියා කළා. කාලයක් යද්දී, මමත්, දිගු කලක් මගේ සහයිකාවව සිටි මාර්තා හෙසුත් ඇතුළු ජපානයේ අවුරුදු 40ක් හෝ 50ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර තිබෙන මිෂනාරිවරුන් 20කට වැඩි පිරිසකට, එය මිෂනාරි නිවස වෙලා තියෙනවා. වෛද්‍යවරයෙක් හා හෙදියක් වන ඔහුගේ භාර්යාවත් අපේ නිවසේ ජීවත් වෙනවා. ප්‍රේමනීය ලෙස අපේ සෞඛ්‍ය අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වෙමින් ඔවුන් අපව ආදරෙන් බලාගන්නවා. මෑතකදී, තවත් හෙදියක් සේවයට පැමිණි අතර, ඒ හෙදියට සහාය වීම සඳහා දවල් කාලයේදී ක්‍රිස්තියානි සහෝදරියන් එනවා. අපේ කෑම පිසීමටත්, නිවස පිරිසිදු කිරීමටත් එබිනාවල බෙතෙල් පවුලේ සාමාජිකයන් දෙන්නෙක් මාරුවෙන් මාරුවට එනවා. ඇත්තවශයෙන්ම, යෙහෝවා අපේ අවශ්‍යතාවන් සපුරලා තියෙනවා.—ගීතාවලිය 34:8, 10.

දිගු කාලයක් පුරා මිෂනාරි සේවයේ යෙදී ඇති අපගෙන් වැඩිදෙනෙක් දැන් ජීවත් වෙන ගොඩනැඟිල්ල කැප කරලා අවුරුදු 36කට පස්සේ, ඒ කියන්නේ ගිය නොවැම්බර්වලදී මගේ මිෂනාරි ජීවිතයේ විශිෂ්ටතම අවස්ථාවක් උදා වුණා. වර්ෂ 1999 නොවැම්බර් 13වෙනිදා, රටවල් 37කින් පැමිණි දිගු කාලයක් පුරා සාක්ෂිකරුවන්ව සිටි සියගණනක් ඇතුළු 4,486දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් අතරට එකතු වෙන්න මටත් පුළුවන් වුණා. ඔවුන් එබිනාවල වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටියේ ජපන් ශාඛා කාර්යාලයේ විශාල කළ ගොඩනැඟිලිවල කැප කිරීමට සහභාගි වෙන්න පැමිණි අයයි. දැනට, ඒ ශාඛාවට අයත් සාමාජිකයන් 650ක් විතර ඉන්නවා.

මම භයෙන් භයෙන් බයිබල් පණිවිඩය බෙදා දෙන්න පටන්ගත් දා ඉඳලා අවුරුදු 80කට ආසන්න කාලයක් පුරා යෙහෝවා මට ශක්තියක් වී තිබෙනවා. මගේ ලජ්ජාශීලීභාවයෙන් ගොඩ එන්න ඔහු මට උපකාරයක් වෙලා තියෙනවා. යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන ඕනෑම කෙනෙකුව, මං වගේ හුඟාක් ලජ්ජාශීලී අයව පවා යොදාගන්න යෙහෝවාට පුළුවන් කියලා මම තරයේ විශ්වාස කරනවා. ඇත්තෙන්ම, අපේ දෙවි වන යෙහෝවා ගැන අමුත්තන්ට කතා කිරීමෙන්, මට මොනතරම් සෑහීම ගෙන දෙන ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබුණද!

[21වන පිටුවේ පින්තූරය]

බෙතෙල් නිවසෙන් අපිව බලන්න ආව අම්මයි, ක්ලැරන්සුයි එක්ක

[23වන පිටුවේ පින්තූරය]

නියූ යෝක්හි සවුත් ලාන්සිං අසල ගිලියද් පාසැලේ තණපිටියේ පාඩම් කරන අපේ පංතියේ සාමාජිකයන්

[23වන පිටුවේ පින්තූරය]

වමේ: හවායිවලදී මම, මාර්තා හෙස් සහ අම්මා

[24වන පිටුවේ පින්තූරය]

දකුණේ: අපේ ටෝකියෝ මිෂනාරි නිවසේ සාමාජිකයන්

[24වන පිටුවේ පින්තූරය]

පහළ: දිගු කලක් පුරා සහයිකාවව සිටි මාර්තා හෙස් සමඟ

[25වන පිටුවේ පින්තූරය]

ගිය නොවැම්බර්වලදී කැප කළ, එබිනාහි විශාල කළ අපේ ශාඛා ගොඩනැඟිලි