Skip to content

පටුනට යන්න

ඔබ කෙරෙහි අධිකාරයක් ඇත්තන්ට ගෞරව කරන්න

ඔබ කෙරෙහි අධිකාරයක් ඇත්තන්ට ගෞරව කරන්න

ඔබ කෙරෙහි අධිකාරයක් ඇත්තන්ට ගෞරව කරන්න

‘සියල්ලන්ටම ගෞරව කරන්න. සහෝදර සමාගමට ප්‍රේම කරන්න. දෙවිට භය වෙන්න. රජ්ජුරුවන්ට ගෞරව කරන්න.’—1 පේතෘස් 2:16ආ, 17.

1, 2. අදදින ජනයා අධිකාරය සලකන්නේ කෙසේද? ඒ මන්ද?

 අදදින දෙමාපියන්, ගුරුවරුන්, ස්වාමිවරුන් සහ ආණ්ඩු නිලධාරීන් සඳහා ඇත්තේ ඉතා අඩු ගෞරවයකි. මෙය ඉතා පොදුවේ දක්නට ලැබෙන දෙයකි. මීට උදාහරණයක් වශයෙන් එක් මවක් සිත්තැවුලෙන් යුතුව පැවසූ දේ සලකා බලන්න. ඇය මෙසේ පවසයි. “ඔක්කොම අයිතිවාසිකම් තියෙන්නේ ළමයින්ට. ඒගොල්ලන් දෙමාපියන්ට කිසිම ගෞරවයක් දක්වන්නේ නැහැ.” වාහනයක අලවා ඇති ස්ටිකරයක සඳහන් දේ මීට තවත් උදාහරණයකි. “පාලකයන් පලවාහරිමු” කියා එහි පැවසේ. ඔව්, ලොව පුරාම අධිකාරයට කිසිම ගෞරවයක් නොදක්වන බව පැහැදිලිය.

2 නිදහසට කරුණු වශයෙන් ඇතමුන් මෙසේ පවසනවා විය හැක. ‘බලතල දරන මිනිස්සු කරන වැඩ දැක්කහම එගොල්ලන්ට ගෞරවය දෙන්න හිතෙන්නේ නැහැ.’ දිනපතාම, අල්ලස් දූෂණයෙහි යෙදෙන ආණ්ඩු නිලධාරීන්, ශ්‍රමය සූරා කන ස්වාමිවරුන්, නියම සුදුසුකම් නොලත් ගුරුවරුන් සහ තම දරුවන්ට අඩන්තේට්ටම් කරන දෙමාපියන් පිළිබඳ පුවත් අපට අසන්න ලැබේ. එමනිසා එවැනි තර්කයකට සාධාරණ පදනමක් ඇති බව පිළිගැනීමට සිදු වේ. කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තියානීන් සභාවෙහි දක්නට ලැබෙන අධිකාරය සම්බන්ධයෙන් දරන්නේ මීට වෙනස් ආකල්පයකි.—මතෙව් 24:45-47.

3, 4. අධිකාරයක් හොබවන අයට ක්‍රිස්තියානීන් ගෞරවය දැක්විය යුත්තේ මන්ද?

3 ලෞකික බලධාරීන්ට ගෞරව කිරීම සඳහා ක්‍රිස්තියානීන් වශයෙන් අපට “බලපවත්වන හේතුවක්” ඇත. “හැමදෙනාම උසස් බලධාරීන්ට යටත් වෙත්වා. මක්නිසාද දෙවිගෙන් මිස කිසි බලතලයක් නැත්තේය. ඇත්තාවූ බලතල දෙවි විසින් ඒවායේ සාපේක්ෂ තත්වයන්ට අනුව නියම කර තිබේ” යයි කියමින් ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළේය. (රෝම 13:1, 2, 5NW; 1 පේතෘස් 2:13-15) පවුල තුළ තිබෙන අධිකාරයට කීකරු වීම සඳහාත් වලංගු පදනමක් ඇති බව පාවුල් පෙන්නුම් කළේය. ‘භාර්යාවෙනි, ස්වාමීන් තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. දරුවෙනි සියලු කාරණාවලදී මවුපියන්ට කීකරු වෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්ට ප්‍රසන්නය’ කියා ඔහු අවවාද කළේය. (කොලොස්සි 3:18, 20) ‘දෙවි විසින් තමන්ගේ සභාව පෝෂණය කරන්ට ශුද්ධාත්මය’ මගින් සභා වැඩිමහල්ලන්ව පත් කර ඇති නිසා, අපගේ ගෞරවය ලැබීමට ඔවුහු සුදුස්සෝ වෙති. (ක්‍රියා 20:28) ඇත්තෙන්ම අධිකාරයක් හොබවන මනුෂ්‍යයන්ට අප ගෞරවය දක්වන්නේ යෙහෝවා කෙරෙහි අපට තිබෙන ගෞරවය නිසාය. කෙසේවෙතත්, අපගේ ජීවිතයේදී අප මූලිකවම ගෞරවය දක්වන්නේ යෙහෝවාගේ අධිකාරයටයි.—ක්‍රියා 5:29.

4 යෙහෝවාගේ පරම අධිකාරය මනසෙහි තබාගෙන, අධිකාරයක් හෙබවූ අයට ගෞරවය දැක්වූ අයගේ ආදර්ශ සහ ගෞරවය නොදැක්වූ අයගේ අවාදර්ශ කිහිපයක් සලකා බලමු.

අගෞරවය අප්‍රසාදයට හේතු වේ

5. මීඛල් දාවිත්ට අගෞරව කළේ කෙසේද? මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

5 දෙවිගෙන් යම් අධිකාරයක් ලැබූ අයව පහත් කොට සලකන අයව යෙහෝවා සලකන්නේ කෙසේද යන්න, දාවිත් රජගේ ජීවිතය සලකා බැලීමෙන් අපට දැකිය හැක. දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනා විට, ඔහුගේ භාර්යාව වූ මීඛල් “දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය.” මීඛල් විසින් දාවිත්ව ගෘහ මූලිකයා වශයෙන් පමණක් නොව ඉශ්‍රායෙල් ජාතියේ රජ වශයෙන්ද පිළිගත යුතුව තිබිණ. කෙසේවෙතත්, ඇගේ සිතේ තිබූ පිළිකුල ඇය වචනයට නැඟුවාය. “කමකට නැති කෙනෙක් ලජ්ජා නැතිව තමාගේ ඇඳුම් ගළවා දමන්නාක් මෙන් අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගළවාදැමූ ඉශ්‍රායෙල් රජතුමා අද කොපමණ තේජවත් නොවීදැයි කීවාය.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මීඛල් මැරෙන දවස දක්වා දරුවෙකු බිහි නොකළාය.—2 සාමුවෙල් 6:14-23.

6. කෝරා යෙහෝවා ආලේප කළ අයට අගෞරව කළ විට, යෙහෝවා එය සැලකුවේ කෙසේද?

6 දෙවි විසින් පත් කරන ලද දිව්‍යාණ්ඩුමය නායකත්වයට ගෞරවය නොදැක්වීම සම්බන්ධයෙන් ඉතා ප්‍රබල අවාදර්ශයක් සපයන්නේ කෝරාය. කොහාත්ගේ පුත්‍රයෙකු වශයෙන් යෙහෝවාගේ මණ්ඩපයෙහි සේවය පිරිනැමීමේ අනගි වරප්‍රසාදය ඔහු භුක්ති විඳිමින් සිටියේය. එනමුත්, ඔහු දෙවි ඉශ්‍රායෙල්හි ආලේප කළ නායකයන් වන මෝසෙස් සහ ආරොන්ගේ වැරදි සෙවීමට පටන්ගත්තේය. කෝරා ඉශ්‍රායෙල්හි වෙනත් අධිපතීන් සමඟ කුමන්ත්‍රණය කළ අතර, ඔවුහු එක්ව මෝසෙස් සහ ආරොන්ට මෙසේ පැවසූහ. “මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, [යෙහෝවා] ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා [යෙහෝවාගේ] සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාද?” කෝරා සහ ඔහුගේ සගයන් දැරූ ආකල්පය යෙහෝවා සැලකුවේ කෙසේද? යෙහෝවාටම කරන අගෞරවයක් ලෙසයි සැලකුවේ. තමන්ගේ පැත්තෙහි සිටි සියලුදෙනාව ඔවුන්ගේ ඇස් පනාපිටම පොළොව යටට ඇදගනු ලබනවා දැකීමෙන් පසු, යෙහෝවාගෙන් නික්ම ආ ගින්නක් කෝරාවද අධිපතීන් 250දෙනාවද දවා දැමීය.—ගණන් කථාව 16:1-3, 28-35.

7. පාවුල්ගේ අධිකාරය විවේචනයට ලක් කරන්න “උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට” යම් හේතුවක් තිබුණාද?

7 මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවෙහි දිව්‍යාණ්ඩුමය අධිකාරයට අගෞරව කළ අය විසූහ. කොරින්ති සභාවේ විසූ එවැනි “උත්කෘෂ්ට ප්‍රේරිතයන්” තුළ පාවුල් පිළිබඳව අගෞරවනීය ආකල්පයක් තිබිණ. ඔහුගේ කථික හැකියාවට පහර ගසමින් ඔවුහු මෙසේ පැවසූහ. “ළඟ සිටින විට ශාරීරාකාරය දුර්වලය, කථාවද සුළුය.” (2 කොරින්ති 10:10; 11:5) පාවුල් දක්ෂ කථිකයෙකු වුවත් නැතත්, ප්‍රේරිතවරයෙකු වශයෙන් ඔවුන්ගේ ගෞරවය ලැබිය යුතුව තිබිණ. එනමුත් පාවුල් කතාවට අදක්ෂයි කියා පැවසිය හැකිද? බයිබලයෙහි වාර්තා වී ඇති ඔහුගේ ප්‍රසිද්ධ දේශනාවලින් හෙළි වන්නේ ඔහු දක්ෂ කථිකයෙකු වූ බවය. ‘යුදෙව්වරුන් අතරේ පැවති සියලු වාද හොඳාකාරව තේරුම්ගත්’ IIවන හෙරොද් අග්‍රිපා රජ සමඟ ඔහු කළ කෙටි සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන්, “වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා ක්‍රිස්තියානිකාරයෙක් කරන්ට” සමත් වේයයි කීමට එම රජ පෙලඹුණේය. (ක්‍රියා 13:15-43; 17:22-34; 26:1-28) එවන් සාක්ෂි තිබියදීත්, කොරින්තියේ විසූ මෙම උත්කෘෂ්ට ප්‍රේරිතයෝ ඔහුගේ කථිකත්වය විවේචනයට ලක් කළහ. යෙහෝවා ඔවුන්ගේ ආකල්පය ගණනකට නොගත් බව පැහැදිලිය. ඒ නිසා, එපීස සභාවේ වැඩිමහල්ලන්ට ලියන ලද ලිපියකදී, ‘ප්‍රේරිතයන් නොවන නමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන්ගේ’ බලපෑමට හසු නොවී සිටි අය ගැන යේසුස් ක්‍රිස්තුස් මහත් අගය කිරීමකින් යුතුව කතා කළේය.—එළිදරව් 2:2.

අසම්පූර්ණ වුවත් ගෞරව කරන්න

8. යෙහෝවා සාවුල්ට දී තිබුණු අධිකාරයට දාවිත් ගෞරවය දැක්වූ බව ඔහු පෙන්වූයේ කෙසේද?

8 අධිකාරයක් හෙබවූ අයට ගෞරවය දැක්වූ අයගේ ආදර්ශවලින් බයිබලය පිරී ඇත. ඔවුන් ගෞරවය දැක්වූ සමහරෙකු තම අධිකාරය අනිසි ලෙස පාවිච්චි කළද ඔවුහු දිගටම ගෞරවය පෙන්වූහ. එවන් කෙනෙකි දාවිත්. ඔහු සාවුල් රජ යටතේ සේවය කළේය. දාවිත් දක්ෂ කෙනෙකු වූ නිසා සාවුල් ඔහුට ඊර්ෂ්‍යා වී, ඔහුව ඝාතනය කිරීමට මං සෙවීය. (1 සාමුවෙල් 18:8-12; 19:9-11; 23:26) නමුත් දාවිත් එකට එක කිරීමට ගියේ නැත. සාවුල්ව ඝාතනය කිරීමට ප්‍රස්තා කිහිපයක්ම උදා වුවද, දාවිත් පවසා සිටියේ මෙසේය. ‘යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මාගේ අත දිඟු කිරීමෙන් යෙහෝවා මා වළක්වනු ලැබේවා!’ (1 සාමුවෙල් 24:3-6; 26:7-13) සාවුල් වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ බව දාවිත් දැන සිටි නමුත්, ඔහුව විනිශ්චය කිරීමේ කාර්යය ඔහු යෙහෝවාට භාර දුන්නේය. (1 සාමුවෙල් 24:12, 15; 26:22-24) ඔහු සාවුල් ගැන අවලාද නැඟුවේ නැති අතර, සාවුල් සමඟ කතා කරන විට අගෞරවනීය ලෙස කතා කළේද නැත.

9. (අ) දාවිත් සාවුල් අතින් හිරිහැරයට ලක් වෙද්දී ඔහුට හැඟුණේ කෙසේද? (ආ) සාවුල් සඳහා දාවිත් දැක්වූ ගෞරවය මවා පෑ එකක් නොවූ බව අපට කිව හැක්කේ කෙසේද?

9 දාවිත් හිරිහැරයට ලක් වෙද්දී ඔහු සිටියේ ශෝකයෙන්ද? ඔහු යෙහෝවාට කළ මෙම මොරගැසීමෙන් ඔහුගේ ශෝකය පැහැදිලි වේ. “බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය.” (ගීතාවලිය 54:3) එමෙන්ම ඔහු යෙහෝවා ඉදිරියෙහි තම හෘදය මෙසේ වැගිරුවේය. ‘මාගේ දෙවි, මාගේ සතුරන්ගෙන් මා මිදුව මැනව. . . . බලවන්තයෝ මට විරුද්ධව රැස් වෙති. යෙහෝවා, ඒ මාගේ අපරාධයක්වත් පාපයක්වත් නිසා නොවේ. මාගේ දෝෂයක් නැතුව ඔවුහු දුව ඇවිත් සූදානම් වෙති. මට උපකාර කරන්ට පිබිද බැලුව මැනව.’ (ගීතාවලිය 59:1-4) ඔබටත් ඒ හා සමාන හැඟීම් පහළ වී තිබේද? කළ වරදකුත් නැත. එනමුත් අධිකාරයක් හොබවන යමෙක් ඔබට යම් පීඩා පමුණුවයි. කෙසේවෙතත්, දාවිත් සාවුල්ට නොකඩවා ගෞරවය පෙන්වීය. සාවුල් මියගිය විට දාවිත් ප්‍රීති ඝෝෂා පැවැත්වූයේ නැත. ඒ වෙනුවට ඔහු මෙසේ විලාප නැඟීය. “සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, . . . ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය. ඉශ්‍රායෙල් දූවරුනි, . . . සාවුල් ගැන අඬව්.” (2 සාමුවෙල් 1:23, 24) දාවිත් සාවුල් අතින් නොයෙකුත් පීඩා අද්දුටු බව ඇත්තය. එනමුත් සාවුල් යෙහෝවා විසින් ආලේප කරන ලද තැනැත්තා වූ නිසා, සැබෑ ගෞරවයක් දැක්වීම සම්බන්ධයෙන් දාවිත් ඉතා කදිම ආදර්ශයක් තැබීය.

10. පාලක මණ්ඩලයට දෙවිගෙන් ලැබී තිබුණු අධිකාරයට ගෞරව කිරීම සම්බන්ධයෙන් පාවුල් තැබුවේ කුමන කදිම ආදර්ශයද? මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

10 දෙවිගෙන් ලද අධිකාරයක් හෙබවූ අයට ගෞරව කළ අය සම්බන්ධයෙන් කැපීපෙනෙන ආදර්ශ කිහිපයක් ක්‍රිස්තියානි යුගයෙන්ද සොයාගත හැක. නිදසුනකට පාවුල්ව සලකා බලමු. මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ පාලක මණ්ඩලය ගත් තීරණවලට ඔහු ගෞරවය දැක්වීය. පාවුල් යෙරුසලමට ගිය අවස්ථාවකදී, තමා මෝසෙස්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ නැති බව අන්‍යයන්ට පැහැදිලි වීම සඳහා චාරිත්‍රානුකූලව පවිත්‍ර විය යුතු බව එම පාලක මණ්ඩලය ඔහුට උපදෙස් දුන්නේය. වුවමනා නම් පාවුල්ට මෙසේ තර්ක කළ හැකි විය. ‘කලින් මගේ ජීවිතයට තර්ජනයක් එල්ල වූ අවස්ථාවක, ඒ සහෝදරයන්ම මට කිව්වා යෙරුසලමෙන් ඉවත් වෙන්න කියලා. දැන් ඔවුන්ම මට කියනවා මෝසෙස්ගේ ව්‍යවස්ථාවට මම ගෞරව කරන බව ප්‍රසිද්ධියේ පෙන්නුම් කරන්න කියලා. ව්‍යවස්ථාව පැවැත්වීමෙන් නිදහස් වෙන්න කියා අවවාද කරලා මම ගලාතිවරුන්ට ලිපියකුත් ලියා තිබෙනවා. දේවමාළිගාවට ගියොත්, සමහර අය මම කරන දේ වරදවා තේරුම්ගන්න පුළුවන්. චර්මච්ඡේදිත වූ අයගේ පැත්ත ගන්නවා කියා හිතන්නත් පුළුවන්.’ කෙසේවෙතත්, එලෙස තර්ක කිරීමට ඔහු පෙලඹුණේ නැත. මෙහිදී ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පාවා දීමක් සිදු නොවූ නිසා, මුල් සියවසේ පාලක මණ්ඩලයෙන් ලැබූ උපදෙසට ගෞරව කරමින් ඊට එකඟව ඔහු ක්‍රියා කළේය. ඔවුන්ගේ උපදෙසට එකඟව ක්‍රියා කළ නිසා, පාවුල් යුදෙව් මැරවර පිරිසකට හසු විය. බලධාරීන්ගේ පිහිට ඇතුව ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදුණත්, වසර දෙකක් සිරභාරයේ රැඳී සිටීමට ඔහුට සිදු විය. කෙසේවෙතත්, සමස්තයක් වශයෙන් බලන කල, දෙවිගේ කැමැත්ත ඉටු විය. පාවුල් මුලින්ම කායිසාරියේ උසස් නිලධාරීන් ඉදිරියෙහි සාක්ෂි දැරීය. ඊළඟට ආණ්ඩුවේ වියදමින් කායිසර් ඉදිරියෙහිම සාක්ෂි දැරීමට ඔහුව රෝමයට ගෙන යන ලදි.—ක්‍රියා 9:26-30; 21:20-26; 23:11; 24:27; ගලාති 2:12; 4:9, 10.

ඔබ ගෞරවය පෙන්වනවාද?

11. අපට ලෞකික බලධාරීන්හට ගෞරවය පෙන්විය හැක්කේ කෙසේද?

11 අධිකාරයක් හොබවන අයට ඔබ ගෞරවය පෙන්වනවාද? “සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. . . . ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න” කියා ක්‍රිස්තියානීන්ට අණ කර තිබේ. අප “උසස් බලධාරීන්ට” යටත් වනවා කීමෙන් අදහස් කරන්නේ අපගේ අයබදු ගෙවීම පමණක් නොවේ. අපගේ හැසිරීමෙන් මෙන්ම කතාවෙන්ද මෙම බලධාරීන්ට ගෞරව කිරීම මීට අයත් වේ. (රෝම 13:1-7) එසේ නම්, කෲර පාලනයක් ගෙනයන ආණ්ඩු නිලධාරීන් සිටී නම්, අප ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ එක් ප්‍රදේශයක බලධාරීන් කළ දේ සලකා බලමු. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පවුල් 57කට අයත්ව තිබූ ගොවිබිම් තමන්ට පවරාගත්තේය. එසේ කළේ සාක්ෂිකරුවන් ඇතැම් ආගමික උත්සවවලට සහභාගි නොවූ නිසාය. මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීම පිණිස පැවැත්වූ රැස්වීම්වලදී, පිරිසිදුව, පිළිවෙළකට ඇඳ පැළඳ සිටි සාක්ෂිකරුවෝ සැමවිටම ගෞරවයෙන් කතා කළෝය. ඉන් වසරකට පසුව, සාක්ෂිකරුවන්ට පක්ෂව තීරණයක් ගන්නා ලදි. සාක්ෂිකරුවන්ගේ ආකල්පය කොතරම් ඇතැම් නිරීක්ෂකයන්ගේ සිත්ගත්තාද කිවහොත්, ඔවුහුද යෙහෝවාගේ සාක්ෂිකරුවන් වීමට ආශාවක් දැක්වූහ.

12. කෙනෙකුගේ පුරුෂයා නොඇදහිලිකාරයෙක් වුවත්, ඔහු සඳහා ‘ගැඹුරු ගෞරවයක්’ තිබීම වැදගත් වන්නේ මන්ද?

12 පවුල තුළ දෙවිගෙන් ලද අධිකාරයට ගෞරවය දැක්විය හැක්කේ කෙසේද? දුක් ඉවසීම සම්බන්ධයෙන් යේසුස් පෙන්වූ ආදර්ශය සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසීය. “එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්, ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ [ගැඹුරු ගෞරවයෙන් යුත්, NW] යටහත් හැසිරීම දුටුවාම වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.” (1 පේතෘස් 3:1, 2; එපීස 5:22-24) ඇතැම් පුරුෂයන් කටයුතු කරන ආකාරය බලද්දී ඔවුන් ගෞරවයක් ලැබීමට තරම් සුදුසුයි කියා පැවසිය නොහැක. කෙසේවෙතත්, භාර්යාවක් තම පුරුෂයාට ‘ගැඹුරු ගෞරවයක්’ ඇතුව යටත්ව සිටීමේ වැදගත්කම පේතෘස් මෙහිදී අවධාරණය කරයි. භාර්යාවකගේ ගෞරවාන්විත ආකල්පය ඇගේ නොඇදහිලිකාර පුරුෂයාගේ සිත දිනාගැනීමට හේතු විය හැක.

13. තම පුරුෂයන්ට ගෞරවය දැක්වීමට භාර්යාවන්ට හැක්කේ කෙසේද?

13 මෙම පදවල අවට පාඨ සම්බන්ධය බලද්දී, පේතෘස් සාරාගේ ආදර්ශය අපගේ අවධානයට යොමු කර ඇති බව පෙනේ. සාරාගේ පුරුෂයා වූ ආබ්‍රහම් ඇදහිල්ල සම්බන්ධයෙන් කැපීපෙනෙන ආදර්ශයක් වන බව අපි කවුරුත් දන්නෙමු. (රෝම 4:16, 17; ගලාති 3:6-9; 1 පේතෘස් 3:6) පේතෘස් කලින් පැවසූ පරිදි නොඇදහිලිකාර පුරුෂයෙකුට ගැඹුරු ගෞරවයක් දිය යුතු නම්, ආබ්‍රහම් මෙන් ඇදහිල්ලේ සිටින පුරුෂයෙකු ගැන කුමක් කිව හැකිද? යම් කාරණයක් සම්බන්ධයෙන් ඔබේ පුරුෂයා සමඟ එකඟ වීමට බැරි නම් කළ යුත්තේ කුමක්ද? යේසුස් දුන් ප්‍රායෝගික අවවාදය මෙහිදී අදාළ කළ හැක. “යම් බලධාරියෙක් සැතපුමක් යෑමට ඔබට බල කරනවා නම්, ඔහු සමඟ සැතපුම් දෙකක් යන්න.” (මතෙව් 5:41NW) ඔබේ පුරුෂයාට සහයෝගය දැක්වීමෙන් ඔබ ඔහුට ගෞරව කරනවාද? එසේ කිරීම අසීරු නම්, ඔබේ හැඟීම් ඔහු සමඟ නොවළහා බෙදාගන්න. ඔබට හැඟෙන ආකාරය ඔහු දන්නවා ඇතැයි කියා සිතන්න එපා. ඔබේ අදහස් දක්වද්දී පවා, එය ගෞරවාන්විත ආකාරයකින් ප්‍රකාශ කළ යුතුය. බයිබලය අපට මෙසේ අවවාද කරයි. “නුඹලා එකිනෙකාට උත්තර දියයුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.”—කොලොස්සි 4:6.

14. දෙමාපියන්ට ගෞරව කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?

14 දරුවෙනි, ඔබ ගැන කුමක් කිව හැකිද? දෙවිගේ වචනයෙහි මෙම ආඥාව තිබේ. “දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට [ස්වාමීන්] තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. . . . නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.” (එපීස 6:1-3) ඔබේ දෙමාපියන්ට කීකරු වීම ‘පියාට සහ මවට ගෞරව කිරීම’ හා බැඳී පවතින බව ඔබ දුටුවාද? ‘ගෞරවය’ ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයට “අනර්ඝ කොට සැලකීම” හෝ “යම් අගයක් නියම කිරීම” යන අර්ථය තිබේ. මෙයින් ඔබට වැටහෙන්නේ කුමක්ද? කීකරුකම යනු අසාධාරණයි කියා ඔබට පෙනෙන නීතිවලට අකමැත්තෙන්, මැසිවිලි නඟමින් අවනත වීම නොවේ. ඔබේ දෙමාපියන්ව අගය කරමින් ඔවුන්ගේ මඟ පෙන්වීම ගෞරවයෙන් පිළිගැනීම මින් අදහස් කරයි. එසේ කරන්න කියා දෙවි ඔබෙන් ඉල්ලා සිටී.—හිතෝපදේශ 15:5.

15. දෙමාපියන් වරදක් කළ බව හැඟුණත්, දරුවන්ට ඔවුන් සඳහා ඇති ගෞරවය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද?

15 ඔබේ දෙමාපියන් සඳහා ඇති ඔබේ ගෞරවය අඩු කරවන යමක් ඔවුන් අතින් සිදු වේ නම්, තත්වය වෙනස් වේද? මෙහිදී, ඔවුන්ගේ පැත්තෙන් දේවල් දෙස බැලීමට උත්සාහ කරන්න. ‘ඔබව ජනිත’ කර ඇත්තේ ඔවුන් නොවේද? ඔබේ අවශ්‍යතා සපයන්නේ ඔවුන් නොවේද? (හිතෝපදේශ 23:22) ඔවුන් ඔබ වෙනුවෙන් සෑම දෙයක්ම කරන්නේ ඔබට තිබෙන ප්‍රේමය නිසා නොවේද? (හෙබ්‍රෙව් 12:7-11) එමනිසා, ප්‍රශ්නයක් පැනනඟින විට, ඔබේ දෙමාපියන්ට ගෞරවයෙන් කතා කරන්න. මෘදුකමින් ඔබට හැඟෙන ආකාරය පැහැදිලි කරන්න. ඔවුන්ගේ ප්‍රතිචාරයට ඔබ අකමැත්තක් දක්වනවා වුවද, අගෞරවනීය ලෙස ප්‍රතිචාරය දැක්වීමෙන් වැළකී සිටින්න. (හිතෝපදේශ 24:29) දාවිත්ගේ ආදර්ශය ඔබට මතකද? සාවුල් රජ දෙවිගේ උපදෙස්වලට පටහැනිව කටයුතු කළත්, දාවිත් සාවුල් සඳහා තම ගෞරවය දිගටම පවත්වාගත්තේය. එමනිසා, ඔබේ හැඟීම් සමඟ කටයුතු කිරීමට උපකාර ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. දාවිත් පැවසුවේ මෙසේය. ‘ඔහු ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවි අපට රක්ෂාස්ථානයක්ය.’—ගීතාවලිය 62:8; විලාප ගී 3:25-27.

පෙරමුණ ගන්නා අයට ගෞරව කරන්න

16. බොරු ගුරුවරුන් සහ දේවදූතයන්ගෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

16 සභාවක වැඩිමහල්ලන්ව පත් කර තිබෙන්නේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම තුළිනි. එනමුත් ඔවුන් අසම්පූර්ණ නිසා, ඔවුන් අතින්ද වැරදි සිදු වේ. (ගීතාවලිය 130:3; දේශනාකාරයා 7:20; ක්‍රියා 20:28; යාකොබ් 3:2) එමනිසා, සභාවෙහි සිටින සමහරුන් වැඩිමහල්ලන් ගැන සෑහීමට පත් වන්නේ නැත. සභාවේ සිදු වන යමක් හරියට හසුරුවන්නේ නැත්නම්, එසේ නැතහොත් අපගේ මතයට අනුව හරියට හසුරුවන්නේ නැත්නම් අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද? මුල් සියවසේ සිටි බොරු ගුරුවරුන් සහ දේවදූතයන් අතර දක්නට තිබූ වෙනස සැලකිල්ලට ගන්න. “භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු [බොරු ගුරුවරු] උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති. එහෙත් දේවදූතයෝ පරාක්‍රමයෙන්ද බලයෙන්ද වඩා උතුම් නුමුත්, [යෙහෝවා] ඉදිරියෙහි [යෙහෝවාට තිබෙන ගෞරවය නිසා, NW] ඔවුන්ට විරුද්ධව නින්දා සහිත විනිශ්චයක් නොපමුණුවති.” (2 පේතෘස් 2:10-13) බොරු ගුරුවරු ‘උත්තමයන්ට’ එනම් මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ යම් අධිකාරයක් හෙබවූ වැඩිමහල්ලන්ට නින්දා කළද, දේවදූතයන් සහෝදරයන් අතර භේද පැතිරෙවූ බොරු ගුරුවරුන් ගැන අගෞරවනීය ආකාරයකින් කතා කිරීමට පෙලඹුණේ නැත. දේවදූතයන් මනුෂ්‍යයන්ට වඩා උතුම් නිසාත්, යුක්තිය සම්බන්ධයෙන් ඊටත් වඩා තියුණු හැඟීමක් ඇති නිසාත්, සභාවෙහි සිදු වූ දේ ගැන ඔවුහු අවබෝධයකින් සිටියහ. එනමුත් “යෙහෝවාට තිබෙන ගෞරවය නිසා,” විනිශ්චය දෙවිගේ හස්තයට භාර දුන්නෝය.—හෙබ්‍රෙව් 2:6, 7; යූද් 9.

17. වැඩිමහල්ලන් අතින් යම් වරදක් සිදුව ඇතැයි ඔබට හැඟෙන විටදී, ඔබේ ඇදහිල්ල විදහාපෙන්විය හැක්කේ කෙසේද?

17 ඇතැම් අවස්ථාවලදී යම් කාරණයක් නිසි ලෙස හසුරුවනු නොලබන බව පෙනෙන්න තිබුණත්, ක්‍රිස්තියානි සභාවේ ජීවමාන හිස වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තබමින් ඔහුට කාරණා භාර දිය යුතු නොවේද? තම ලෝක ව්‍යාප්ත සභාවෙහි සිදු වන දේ ඔහු දකින බව අපට විශ්වාස නැද්ද? ඔහු තත්වය හසුරුවන ආකාරයට අප ගෞරව කළ යුතු නොවේද? කාරණා හැසිරවීමට ඔහු සතු හැකියාව අප පිළිගත යුතු නැද්ද? ඇත්තෙන්ම, ‘අපගේ අසල්වාසියා විනිශ්චය කිරීමට අප කවරෙක්ද?’ (යාකොබ් 4:12, නව අනුවාදය; 1 කොරින්ති 11:3; කොලොස්සි 1:18) එසේ නම්, ඔබේ සිතට යමක් වද දෙන විට, ඒ ගැන යෙහෝවාට යාච්ඤාවෙන් කීම හොඳ අදහසක් නොවේද?

18, 19. වැඩිමහල්ලෙකු අතින් වරදක් සිදුව ඇතැයි හැඟෙන විට, ඔබට කුමක් කළ හැකිද?

18 මිනිස් අසම්පූර්ණකම නිසා, දුෂ්කරතා හෝ ගැටලු පැනනැඟිය හැක. ඇතැම් අවස්ථාවලදී වැඩිමහල්ලෙකු අතින් වරදක් සිදු වූ විට, ඇතමුන් ඒ ගැන කලබලයට පත්වීමට ඉඩ ඇත. එවැනි තත්වයන්වලදී අප හදිසි වී ක්‍රියා කළත්, තත්වයේ වෙනසක් ඇති වන්නේ නැත. ඇතැම් අවස්ථාවලදී ප්‍රශ්නය තවත් උග්‍ර විය හැක. ආත්මික දේවල් සම්බන්ධයෙන් විචාර බුද්ධියක් ඇති අය යෙහෝවා කාරණා හරිගැස්සීමට කටයුතු යොදන බව දනියි. තවද ඔහු නියමිත කාලයේදී නියමිත ක්‍රමයට අවශ්‍ය හික්මවීම ලබා දෙන බවත් දනියි. එමනිසා ඔවුහු ඔහු මත විශ්වාසයෙන් රඳා සිටිති.—2 තිමෝති 3:16; හෙබ්‍රෙව් 12:7-11.

19 යම් ප්‍රශ්නයක් ඔබේ කනස්සල්ලට හේතුවක් වී ඇත්නම් කුමක් කිව හැකිද? සභාවේ සාමාජිකයන් සමඟ ඒ ගැන කතා නොකර, උපකාරය ඉල්ලා වැඩිමහල්ලන් වෙත ගෞරවයෙන් එළඹීම හොඳ අදහසක් නොවේද? විවේචනාත්මක ආකල්පයක් විදහාපෙන්වන්නේ නැතුව, ඒ ප්‍රශ්නය ඔබට බලපා ඇති අන්දම පැහැදිලි කරන්න. ඔවුන්ට දේවල් විශ්වාසයෙන් කියද්දී නිතරම ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ‘දයාව’ පෙන්වන්න. ඔවුන් සඳහා ඇති ඔබේ ගෞරවය රැකගන්න. (1 පේතෘස් 3:8) ඇනුම් පද කීමට පෙලඹෙන්න එපා. ඔවුන්ට තිබෙන ක්‍රිස්තියානි මේරූභාවය කෙරෙහි විශ්වාසය තබන්න. ඔවුන් කාරුණිකව ශුද්ධ ලියවිලි ඇසුරෙන් ලබා දෙන ඕනෑම දිරිගැන්වීමක් අගය කිරීමකින් යුතුව පිළිගන්න. ප්‍රශ්නය තවදුරටත් නිරාකරණය කළ යුතු බව පෙනී යනවා නම්, යහපත් මෙන්ම හරි වූ දේ කිරීමට යෙහෝවා වැඩිමහල්ලන්ට නිසි මඟ පෙන්වීමක් ලබා දෙන බවට නිසැක වන්න.—ගලාති 6:10; 2 තෙසලෝනික 3:13.

20. මීළඟ ලිපියෙහි අප සලකා බලන්න යන්නේ කුමක්ද?

20 කෙසේවෙතත්, අධිකාරයක් හොබවන අයට නිසි ගෞරවය දැක්වීම සම්බන්ධයෙන් බලද්දී, සලකා බැලිය යුතු තවත් අංගයක් ඇත. අධිකාරයක් හොබවන අය ඔවුන්ගේ භාරයේ සිටින අයට ගෞරවය දැක්විය යුතු නොවේද? මෙය මීළඟ ලිපියෙහි සලකා බලමු.

ඔබේ පිළිතුර කුමක්ද?

• අධිකාරයක් හොබවන අයට ගෞරව කිරීම සඳහා අපට ඇත්තේ කුමන හොඳ හේතුවද?

• යෙහෝවා සහ යේසුස්, දෙවිගෙන් ලද අධිකාරයට ගෞරවය නොපෙන්වන අයව සලකන්නේ කෙසේද?

• අධිකාරය පවරා ඇති අයට ගෞරව කළ අය සම්බන්ධයෙන් සඳහන් කළ හැකි කදිම ආදර්ශ මොනවාද?

• අප කෙරෙහි අධිකාරයක් හොබවන කෙනෙකු අතින් යම් වරදක් සිදු වී ඇති බව පෙනේ නම්, අපට කුමක් කළ හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

සාරා ආබ්‍රහම් හෙබවූ අධිකාරයට ගැඹුරු ගෞරවයක් දැක්වූ අතර, ඉන් සතුටක් ලැබුවාය

[13වන පිටුවේ පින්තූරය]

ගෘහ මූලිකයා සහ රජු වශයෙන් දාවිත්ට තිබූ අධිකාරයට ගෞරව කරන්න මීඛල් අපොහොසත් විය

[15වන පිටුවේ පින්තූරය]

‘යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මාගේ අත දිඟු කිරීමෙන් යෙහෝවා මා වළක්වනු ලැබේවා!’

[16වන පිටුවේ පින්තූරය]

ඔබේ සිතට යමක් වද දෙන විට, ඒ ගැන යෙහෝවාට යාච්ඤාවෙන් කීම හොඳ අදහසක් නොවේද?