Skip to content

පටුනට යන්න

“නුඹලා සියල්ලෝම සහෝදරයෝය”

“නුඹලා සියල්ලෝම සහෝදරයෝය”

“නුඹලා සියල්ලෝම සහෝදරයෝය”

“නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ [ගුරුවරයා] එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.”—මතෙව් 23:8.

1. අප සැලකිල්ලට ගත යුත්තේ කුමන කාරණයද?

 ආසියාතික රටක ක්‍රිස්තියානි ස්ත්‍රියක් ඕස්ට්‍රේලියාවෙන් පැමිණි මිෂනාරි සහෝදරියකගෙන් වරක් අහිංසක ලෙස මෙම ප්‍රශ්නය ඇසුවාය. “කාටද වැඩි ගෞරවයක් දෙන්න ඕනෙ? මිෂනාරිවරයෙකුටද? නැත්නම් බෙතෙල් සේවකයෙකුටද?” වෙනත් වචනවලින් කිවහොත්, වැඩි ගෞරවයක් දිය යුත්තේ වෙනත් රටකින් පැමිණි මිෂනාරිවරයෙකුටද නැත්නම් වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ සේවය කරන ස්වදේශිකයෙකුටද? එම ප්‍රශ්නය මිෂනාරි සහෝදරියගේ පුදුමයට හේතුවක් වූයේ ඉතා පැහැදිලි පංති භේදයක් තිබුණු සමාජීය පිළිවෙතක් ඉන් පිළිබිඹු වූ හෙයිනි. ඇත්තෙන්ම, වඩා උතුම් කෙනා කවුද යන ප්‍රශ්නයට මඟ පාදන්නේ, එක් එක් පුද්ගලයාට කොපමණ බලයක් සහ බලපුළුවන්කාරකමක් ඇද්දැයි යන්න දැනගැනීමට ඇති ආශාවයි.

2. අප සෙසු නමස්කාරකයන් දෙස බැලිය යුත්තේ කෙසේද?

2 මෙවන් ආශාවක් අලුත් එකක් කියා පැවසිය නොහැක. උතුම්ම තැනැත්තා කවුදැයි යන්න ගැන යේසුස්ගේ ගෝලයෝ පවා නිතරම වාද කළෝය. (මතෙව් 20:20-24; මාර්ක් 9:33-37; ලූක් 22:24-27) ඔවුන් ජීවත් වූ මුල් සියවසේ යුදෙව් සමාජය තුළ පංති භේදය සෑහෙන ගැඹුරින් කාවැදී තිබිණ. යේසුස් මෙය දැන සිටි නිසා, තම ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නේය. “නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ [ගුරුවරයා] එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.” (මතෙව් 23:8) “ගුරුතුමා” යන තේරුම ඇති “රබ්බි” නමැති ආගමික පදවි නාමය, “එය ලබන්නන් තුළ උඩඟුකමක් සහ ආඩම්බරයක් ජනිත කරවයි. තවද එය නොලබන අය තුළ ඊර්ෂ්‍යාවක් ඇති කරවන අතර, පහත්බවක් හැඟීමට සලස්වයි. මෙවැනි පදවි නාම භාවිත කිරීමේ මූලික චේතනාව සහ ඉලක්කය ‘ක්‍රිස්තුස්ට ආවේණික වූ චාම් ගතියට’ සහමුලින්ම පටහැනිය.” මෙම අදහස් පළ කළේ බයිබල් විශාරද ඇල්බට් බාන්ස්ය. ඇත්තෙන්ම, චාටුවට මෙන් “වැඩිමහල්ලා” යන වචනය පදවි නාමයක් හැටියට යොදමින් අවේක්ෂකයන්ව ඇමතීමේ පුරුද්ද ක්‍රිස්තියානීන්ට නැත. (යෝබ් 32:21, 22) අනික් අතට යේසුස්ගේ උපදේශයේ සාරයට එකඟව ජීවත් වන වැඩිමහල්ලෝ සභාවේ සෙසු සාමාජිකයන්ට ගෞරව කරති. එසේ කරද්දී ඔවුහු තම පක්ෂපාත නමස්කාරකයන්ට ගෞරව කරන යෙහෝවාව සහ තම පක්ෂපාත අනුගාමිකයන්ට ගෞරව කරන යේසුස් ක්‍රිස්තුස්ව සිහියේ තබාගනිති.

යෙහෝවා සහ යේසුස්ගේ ආදර්ශ

3. යෙහෝවා තම ස්වර්ගික මැවිල්ලට ගෞරව කළේ කෙසේද?

3 යෙහෝවා “මහෝත්තමයා” වුවද, මුල සිටම තම ස්වර්ගික මැවිල්ලට ගෞරව කර ඇත්තේ තම හස්ත කර්මාන්තයට ඔවුන්ව සම්බන්ධ කරගැනීමෙන්ය. (ගීතාවලිය 83:17) මුල්ම මිනිසා මැවූ අවස්ථාවේදී, යෙහෝවා තම ඒක-ජාතක පුත්‍රයාව “ප්‍රධාන කර්මාන්තකාරයා” හැටියට එම ව්‍යාපෘතියට සම්බන්ධ කරගත්තේය. (හිතෝපදේශ 8:27-30; උත්පත්ති 1:26) යෙහෝවා දුෂ්ට ආහබ් රජව විනාශ කර දැමීමට තීරණය කළ අවස්ථාවේදී, ඔහුව විනාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ස්වර්ගික දේවදූතයන්ගෙන් පවා අදහස් ඉල්ලා සිටියේය.—1 රාජාවලිය 22:19-23.

4, 5. යෙහෝවා තම භූමික මැවිල්ලට ගෞරව කරන්නේ කෙසේද?

4 යෙහෝවා විශ්වයේ පරමාධිපති වශයෙන් කාටත් නොදෙවෙනිව රජ කරමින් සිටියි. (ද්විතීය කථාව 3:24) ඔහුට මනුෂ්‍යයන්ගෙන් දැනමුතුකම් අවශ්‍ය නැත. එනමුත් ඔවුන්ගේ අදහස් සලකා බැලීමට ඔහු පසුබට වන්නේද නැත. ගීතිකාකාරයෙක් මෙසේ අදහස් පළ කළේය. ‘උසස් තැන්හි හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට තමන්ම යටත් වන්නාවූ අපේ දෙවි වූ යෙහෝවාට සමාන කවුද? . . . ඔහු දුප්පතා ධූලියෙන් නැඟිටුවයි.’—ගීතාවලිය 113:5-8.

5 සොදොම සහ ගොමොරාව විනාශ කිරීමට මත්තෙන්, ආබ්‍රහම් ඉස්මතු කළ ප්‍රශ්නවලට යෙහෝවා සවන් දුන්නේ කිසිදු අයුක්තියක් සිදු නොවන බව ආබ්‍රහම්ට සහතික කිරීම සඳහාය. (උත්පත්ති 18:23-33) ආබ්‍රහම් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු යෙහෝවා කලින්ම දැනසිටියේය. කෙසේවෙතත්, ඔහු ආබ්‍රහම්ට ඉවසිලිවන්තව සවන් දුන් අතර, ඔහු ඉදිරිපත් කළ තර්ක පිළිගත්තේය.

6. ප්‍රශ්නයක් ඇසූ හබක්කුක්ට යෙහෝවා විසින් ගෞරවය පෙන්වීමේ ප්‍රතිඵලය කුමක් වීද?

6 ‘යෙහෝවා, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසන්නෙහිය’ කියා පැවසූ හබක්කුක්ට පවා යෙහෝවා සවන් දුන්නේය. යෙහෝවා මෙවැනි ප්‍රශ්නයක් සැලකුවේ තම අධිකාරයට එරෙහිව එල්ල වන අභියෝගයක් හැටියටද? නැත. හබක්කුක්ගේ ප්‍රශ්නය වලංගු එකක් හැටියට ඔහු සැලකූ අතර, ඊට ප්‍රතිචාරයක් වශයෙන්, තමා සිදු කිරීමට යන විනිශ්චය සඳහා කල්දිවරුන්ව යොදාගැනීමට යන බවට වූ තම අරමුණ ඔහුට හෙළි කළේය. ‘පුරෝකථනය කළ මෙම විනිශ්චය පසු නොබැස පැමිණෙන’ බව කියමින් ඔහු එම අනාගතවක්තෘවරයාගේ බිය සැකද දුරු කළේය. (හබක්කුක් 1:1, 2, 5, 6, 13, 14; 2:2, 3) හබක්කුක්ගේ කනස්සල්ලට හේතු වූ දේ සුළු කොට නොතකමින්, ඒවාට පිළිතුරු සැපයීමෙන් යෙහෝවා එම අනාගතවක්තෘවරයාට ගෞරව කළේය. මෙහි ප්‍රතිඵලය? කනස්සල්ලෙන් සිටි හබක්කුක්ට ධෛර්යය උපදවාගෙන, තම ගැළවීමේ දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව ප්‍රීතියෙන් සිටීමට හැකි වූයේය. දේවානුභාවයෙන් ලියන ලද හබක්කුක් පොතෙන් මෙය පිළිබිඹු වන අතර, අදදින අපට යෙහෝවා කෙරෙහි අපගේ විශ්වාසය ස්ථිර කරගැනීමට එය මහෝපකාරි වේ.—හබක්කුක් 3:18, 19.

7. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී පේතෘස්ට භාර දුන් කාර්යයන් සලකා බැලීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

7 අන්‍යයන්ට ගෞරවය දැක්වීම සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස්ද කදිම ආදර්ශයක් සපයයි. “මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ [පියා] ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි” කියන බව යේසුස් තම ගෝලයන්ට පවසා තිබිණ. (මතෙව් 10:32, 33) කෙසේවෙතත්, යේසුස්ව පාවා දුන් රාත්‍රියේදී ඔහුගේ ගෝලයන් සියල්ලන්ම ඔහුව අත්හැර පලා ගිය අතර, ප්‍රේරිත පේතෘස් ඔහුව නාඳුනන බව තුන් වරක් ප්‍රකාශ කළේය. (මතෙව් 26:34, 35, 69-75) එනමුත් යේසුස් තම විනිශ්චය බාහිර දේ මත පදනම් කරගත්තේ නැත. ඔහු පේතෘස්ගේ හෘදයාංගම හැඟීම් හා ගැඹුරු පසුතැවිල්ල සැලකිල්ලට ගත්තේය. (ලූක් 22:61, 62) දින 51ක් තරම් කෙටි කාලයකට පසුව, යේසුස් පසුතැවිලි වූ මෙම ප්‍රේරිතවරයාට ගෞරවනීය පැවරුමක් භාර දුන්නේය. පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන් 120දෙනාව නියෝජනය කරමින් ‘රාජ්‍යයේ [මුල්ම] යතුර’ භාවිත කළේ පේතෘස්ය. (මතෙව් 16:19; ක්‍රියා 2:14-40) ‘නැවත හැරී තම සහෝදරයන්ව ස්ථිර කිරීමට’ පේතෘස්ට ප්‍රස්තාවක් දෙන ලදි.—ලූක් 22:31-33.

පවුලේ සාමාජිකයන්ට ගෞරව කිරීම

8, 9. තම භාර්යාවට ගෞරවය දැක්වීමේදී පුරුෂයෙකුට යෙහෝවා සහ යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

8 පුරුෂයන්ට සහ දෙමාපියන්ට දෙවිගෙන් යම් අධිකාරයක් ලැබී ඇත. එය හෙබවීමේදී යෙහෝවාවත් යේසුස් ක්‍රිස්තුස්වත් අනුකරණය කිරීම උචිතය. පේතෘස් දුන් උපදෙස සලකා බලන්න. “පුරුෂයෙනි, . . . වඩා දුර්වල භාජනවූ [සියුමැළි තැනැත්තියන් වන, NW] භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, . . . ඔවුන්ට ගෞරව දෙන්න.” (1 පේතෘස් 3:7) ලීයෙන් තැනූ භාජනයකට වඩා ඉක්මනින්ම බිඳෙනසුලු සියුමැළි පිඟන් මැටි භාජනයක් ඔබ අතට ගන්නවායයි සිතන්න. එසේ කරද්දී ඔබ කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න සිතාගත හැක. පුරුෂයෙකුට මෙහිදී යෙහෝවාව අනුකරණය කළ හැකිය. පවුලේ යම් යම් කාරණා තීරණය කරද්දී තම භාර්යාවගේ අදහස්වලට සවන් දීමෙන් එසේ කළ හැක. ආබ්‍රහම් සමඟ කාරණා සාකච්ඡා කිරීමට යෙහෝවා කාලය ගත් බව ඔබට මතක ඇති. තවද පුරුෂයා අසම්පූර්ණ කෙනෙක් වන නිසා, යම් කාරණයක සෑම පැත්තක්ම දකින්න ඔහු අසමත් විය හැක. එසේ නම්, තම භාර්යාවගේ අදහස්වලට අවංක අවධානයක් දීමෙන් ඇයට ගෞරව කිරීම ඥානවන්ත දෙයක් නොවේද?

9 සමහර රටවල සාමාන්‍යයෙන් පුරුෂයා ඉතා දැඩි ලෙස තම අණසක පතුරුවයි. එමනිසා භාර්යාවකට ඇගේ හෘදයාංගම හැඟීම් ප්‍රකාශ කිරීමට මහත් බාධකයක් ජයගන්න සිදු විය හැකි බව පුරුෂයෙකු මතක තබාගත යුතුය. යේසුස් ක්‍රිස්තුස් මිහිපිට සිටිද්දී තම අනාගත මණමාලි පංතියේ කොටසක් වූ තම ගෝලයන් සමඟ කටයුතු කළ ආකාරය අනුකරණය කරන්න. යේසුස් ඔවුන්ට ආදරය දැක්වීය. ඇත්තෙන්ම ඔවුන් තම අවශ්‍යතා ප්‍රකාශ කිරීමටත් කලින් පවා ඔවුන්ගේ ශාරීරික සහ ආත්මික සීමාවන් ඔහු සැලකිල්ලට ගත්තේය. (මාර්ක් 6:31; යොහන් 16:12, 13; එපීස 5:28-30) ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් ඔබේ භාර්යාව කරන දේ සැලකිල්ලට ගැනීමට කාලය ගන්න. ඔබ ඇයව අගය කරන බව වචනයෙන් සහ ක්‍රියාවෙන් ප්‍රකාශ කරන්න. යෙහෝවා සහ යේසුස් යෝග්‍ය අයව අගය කරමින් ප්‍රශංසාවට ලක් කළෝය. ආශීර්වාද කළෝය. (1 රාජාවලිය 3:10-14; යෝබ් 42:12-15; මාර්ක් 12:41-44; යොහන් 12:3-8) ආසියාතික රටක ක්‍රිස්තියානි ස්ත්‍රියක් තම පුරුෂයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වූවායින් පසු මෙසේ පැවසුවාය. “ඉස්සර මගේ මහත්තයා මට වඩා අඩි තුනහතරක් විතර ඉස්සරහිනුයි යන්නේ. මම කරන්නේ අමාරුවෙන් ඔක්කොම බඩු ටික කරගහගෙන පස්සෙන් යන එකයි. දැන් නම්, බඩු ටික උස්සගෙන යන්නේ එයායි. ඒ විතරක් නෙවේ, මම ගෙදර කරන දේවල් එයා ගොඩක් අගය කරනවා.” ඔබේ භාර්යාවට අවංකව අගය ප්‍රකාශ කරන විට, ඇය වටිනා කෙනෙකු බව ඇයට හැඟේ.—හිතෝපදේශ 31:28.

10, 11. කැරලිකාර ඉශ්‍රායෙල් ජාතිය සමඟ යෙහෝවා කටයුතු කළ ආකාරයෙන් දෙමාපියන්ට උගත හැක්කේ කුමක්ද?

10 දරුවන් සමඟ කටයුතු කරද්දී, විශේෂයෙන්ම ඔවුන්ට හික්මවීමක් දීමට අවශ්‍ය වෙද්දී දෙමාපියන් දෙවිගේ ආදර්ශය අනුගමනය කළ යුතුය. ‘යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරමින්’ තමුන්ගේ නපුරු මාර්ගවලින් අහක් වන්න කියා පැවසුවත්, ඔවුහු ‘තමුන්ගේ කුළල් තද කරගත්තෝය.’ (2 රාජාවලිය 17:13-15) එපමණක්ද නොව, ‘ඔවුහු කටින් ඔහුට චාටු කළෝය, දිවෙන් ඔහුට බොරු කීවෝය.’ බොහෝ දෙමාපියන්ට හැඟෙන්නේ ඔවුන්ගේ දරුවන් ඇතැම්විට එලෙස ක්‍රියා කරන බවය. ඉශ්‍රායෙලිතයෝ ‘දෙවි පරීක්ෂා කළෝය.’ ඔහුට දුක් දී ශෝකයට පත් කළෝය. එනමුත් ‘අනුකම්පාවෙන් යුක්ත වූ යෙහෝවා ඔවුන්ගේ අයුතුකම කමා කළේය. ඔවුන් විනාශ නොකළේය.’—ගීතාවලිය 78:36-41.

11 යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට මෙසේ ආයාචනා කිරීමට පවා පසුබට වූයේ නැත. “ඉතින් එන්න, අපි කාරණා සමථයකට පත් කරගනිමු . . . නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය.” (යෙසායා 1:18NW) යෙහෝවා අතින් වරදක් සිදු වී තිබුණේ නැත. නමුත්, ඔහු එම කැරලිකාර ජාතියට කාරණා සමථයකට පත් කරගන්න ආරාධනා කළේය. තම දරුවන් සමඟ කටයුතු කිරීමේදී දෙමාපියන්ට මෙම කදිම ආකල්පය මතක තබාගත හැක. පැනනැඟ තිබෙන ප්‍රශ්නයක් හසුරුවද්දී, දරුවන්ට කීමට තිබෙන දේට සවන් දීමෙන් ඔවුන්ට ගෞරව කරන්න. තවද ඔවුන්ගේ පැත්තෙන් යම් වෙනසක් සිදු කිරීම අවශ්‍ය වන්නේ මන්ද යන්න ගැන ඔවුන් සමඟ ඒත්තුගන්වනසුලු ආකාරයකින් කතා කරන්න.

12. (අ) යෙහෝවාට වඩා අපගේ දරුවන්ට ගෞරව කිරීමෙන් අප වැළකී සිටිය යුත්තේ මන්ද? (ආ) අපගේ දරුවන්ට තරවටු කරද්දී, ඔවුන්ගේ ආත්ම-ගරුත්වය සැලකිල්ලට ගන්න නම්, අපගේ පැත්තෙන් කුමක් අවශ්‍ය වේද?

12 සමහර දරුවන්ට දැඩි උපදෙස් අවශ්‍ය බව පිළිගත යුත්තකි. ‘යෙහෝවාට වඩා තම පුත්‍රයන්ට ගෞරව කළ’ ඒලී මෙන් නොවීමට දෙමාපියන් වගබලා ගත යුතුය. (1 සාමුවෙල් 2:29) ඒ කෙසේවෙතත්, යම් නිවැරදි කිරීමක් ලබද්දී, ඒ පිටුපස ඇත්තේ ප්‍රේමනීය චේතනාවක් බව දරු දැරියන්ට තේරුම් යා යුතුය. තම දෙමාපියන් ඔවුන්ට ඇත්තවශයෙන්ම ප්‍රේම කරනවා යන්න තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කළ යුතුය. පාවුල් පියවරුන්ට මෙසේ අවවාද කරයි. “නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.” (එපීස 6:4) මින් ගෙනහැර දක්වන කාරණය කුමක්ද? දෙමාපියෙකු වශයෙන් තමාට හිමි බලතල යොදාගෙන කටයුතු කරද්දී, පියෙකු අනවශ්‍ය විදිහට කර්කශ වීමෙන් තමුන්ගේ දරුවන්ව කෝපයට පත් කළ හැකි බවය. එමනිසා තම දරුවන්ගේ ආත්ම-ගරුත්වය රැකෙන අන්දමින් ඔවුන් සමඟ කටයුතු කළ යුතුය. ඒ සඳහා, දෙමාපියන්ගේ පැත්තෙන් කාලය සහ වෑයම අවශ්‍යය. එනමුත් එවැනි පරිත්‍යාගයක් කිරීම බොහෝ සෙයින් වටී.

13. පවුලක සිටින මහලු අය සම්බන්ධයෙන් බයිබලයේ පවසා ඇත්තේ කුමක්ද?

13 පවුලේ සාමාජිකයන්ට ගෞරවය පෙන්වීම, තම භාර්යාව සහ දරුවන්ව ගෞරවයෙන් සැලකීමට පමණක් සීමා වී නැත. ජපන් ආප්තෝපදේශයක මෙසේ සඳහන් වේ. “මහලු වූ කල, ඔබේ දරුවන්ට කීකරු වන්න.” මින් පැහැදිලි වන්නේ මහලු වූ දෙමාපියන්, මව්පියන් හැටියට තමාට හිමි බලතල අනිසි ලෙස භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, ඔවුන්ගේ වැඩිහිටි දරුවන් පවසන දේ සැලකිල්ලට ගත යුතු බවත්ය. තම දරුවන්ට සවන් දීමෙන් ඔවුන්ට ගෞරවය දැක්වීම ශුද්ධ ලියවිල්ලට එකඟ වුවද, පවුලේ වයසින් මුහුකුරා ගිය සාමාජිකයන් කෙරෙහි දරුවන් අගෞරවනීය ආකල්පයක් විදහා නොපෙන්විය යුතුය. ඊට එකඟ වෙමින්, “නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න” කියා හිතෝපදේශ 23:22 පවසයි. මෙම හිතෝපදේශයට එකඟව ජීවත් වූ සාලමොන් රජ, යම් දෙයක් ඉල්ලීමට තමා වෙත එළඹුණු තම මවට ගෞරව කළේය. සාලමොන් තම මව වෙනුවෙන් සිංහාසනයක් තැබීමට කටයුතු යොදා තිබුණු අතර, තම මහලු මව වූ බැත්-ෂෙබාට පවසන්න තිබූ දේට සවන් දුන්නේය.—1 රාජාවලිය 2:19, 20.

14. අපට සභාවේ සිටින මහලු සාමාජිකයන්ට ගෞරව කළ හැක්කේ කෙසේද?

14 අපට සභාවෙහි මහත් පුළුල් ආත්මික පවුලක් සිටින බව මතක තබාගත යුතුය. එහිදී මහලු සාමාජිකයන්ට ගෞරවය දැක්වීමට ‘මූලික පියවර ගැනීමේ’ භාග්‍යය අපට හිමි වේ. (රෝම 12:10NW) අතීතයේදී මෙන් වැඩි සේවයක් කරන්න හැකියාවක් නැති නිසා, ඔවුන් කනස්සල්ලෙන් සිටිය හැක. (දේශනාකාරයා 12:1-7) ඔත්පළව සිටි මහලු ආලේප ලත් සාක්ෂිකාරියක් වරක් තම කනස්සල්ල මෙසේ පළ කළාය. “මැරෙන කං මට ඉවසිල්ලක් නැහැ. එතකොට ස්වර්ගයට ගිහිල්ල ආයෙත් වැඩ ආරම්භ කරන්න පුළුවන්.” එමනිසා එවැනි මහලු අයට යුතු ගෞරවය පෙන්වීම ඔවුන්ට දිරියක් ලබා දිය හැක. ඉශ්‍රායෙලිතයන්ට මෙසේ අණ කර තිබිණ. “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න.” (ලෙවී කථාව 19:32) අප මහලු අයව අගය කරන බවත්, ඔවුන්ගේ දායකත්වය අවශ්‍ය බවත් ඔවුන්ට දැනගැනීමට සැලැස්වීමෙන් අපි ඔවුන්ට ගෞරව කරන්නෙමු. ඔවුන් ‘ඉදිරියෙහි නැඟිට සිටීම’ යන්නෙන් ඔවුන්ට යම් ගෞරවයක් පෙන්වීම අදහස් කරයි. ඔවුන් සමඟ වාඩි වී, ගෙවී ගොස් ඇති වර්ෂ ගණනාව පුරා ඔවුන් ඉටු කර ඇති දේ විස්තර කරද්දී, ඊට සවන් දීමෙන් එවන් ගෞරවයක් පෙන්විය හැක. මෙයින් අප මහලු අයට ගෞරව කරන බව ඔවුන්ට දැනෙන අතර, අපගේ ආත්මික ජීවිතයටද අද්දැකීම් සම්භාරයක් එකතු කරගත හැකි වේ.

“එකිනෙකාට ගෞරවය දැක්වීමට මූලික පියවර ගන්න”

15. සභාවේ සාමාජිකයන්ට ගෞරවයෙන් සැලකීම සඳහා වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?

15 වැඩිමහල්ලන් සභාවේ සාමාජිකයන්ට කදිම ආදර්ශයක් තබන විට, ඔවුහු මල් මෙන් විකසිත වෙති. (1 පේතෘස් 5:2, 3) වැඩිමහල්ලන් කාර්ය බහුල ජීවිතයක් ගත කළත්, ඔවුහු අන්‍යයන් ගැන සැලකිල්ල දක්වන නිසා, තරුණ අය, ගෘහ මූලිකයන්, තනි මව්වරුන්, ගෘහණියන් සහ මහලු අය වෙත එළඹීමට මූලික පියවර ගනිති. මෙවැනි අයට ගැටලු තිබුණත් නැතත් ඔවුහු ඔවුන් වෙත එළඹීමට පසුබට නොවෙති. සභාවේ සාමාජිකයන්ගේ අදහස්වලට සවන් දෙන වැඩිමහල්ලෝ, ඔවුන් දරන උත්සාහයටද ප්‍රශංසා කරති. තම සහෝදරයා හෝ සහෝදරිය කරන දේ දැක ඒ ගැන අගයෙන් යුතුව කතා කරන, හොඳ අවධානයෙන් සිටින වැඩිමහල්ලෙකු අනුකරණය කරමින් සිටින්නේ තම භූමික මැවිල්ලට අගය දක්වන යෙහෝවාවයි.

16. වැඩිමහල්ලන් ලබන ගෞරවය සභාවේ සෙසු සාමාජිකයන් ලබන ගෞරවයට සමාන එකක් ලෙස අප සැලකිය යුත්තේ මන්ද?

16 යෙහෝවාව මෙසේ අනුකරණය කිරීමෙන් වැඩිමහල්ලෝ පාවුල්ගේ මතු දැක්වෙන අවවාදය අදාළ කරගෙන ඇති බවට කදිම සාක්ෂියක් සපයති. “සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා සඳහා මුදු මොළොක් සෙනෙහස පෙන්වන්න. එකිනෙකාට ගෞරවය දැක්වීමට මූලික පියවර ගන්න” කියා ඔහු පැවසීය. (රෝම 12:10NW) ප්‍රබල පංති භේදයක් දක්නට ලැබෙන රටවල වෙසෙන වැඩිමහල්ලන්ට මෙය යම් දුරකට අසීරු විය හැක. නිදසුනකට, එක් ආසියාතික රටක, “සහෝදරයා” යන්නට වචන දෙකක් තිබේ. එකක් ගෞරවාර්ථයක් සහිතය (සහෝදරතුමා හා සමානය). අනික සාමාන්‍ය අරුතකින් යුක්තය. මෑතක් වන තුරු සභාවේ සාමාජිකයන් වැඩිමහල්ලන්ව සහ වයසින් මුහුකුරා ගිය අයව ඇමතුවේ එම ගෞරවාර්ථයෙන් යුත් වචනයෙනි. අනික් අයව ඇමතීම සඳහා යොදාගත්තේ සාමාන්‍ය වචනයයි. “නුඹලා සියල්ලෝම සහෝදරයෝය” කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ නිසා, සාමාන්‍ය වචනය පමණක් භාවිත කිරීමට ඔවුන්ට දිරිගන්වන ලදි. (මතෙව් 23:8) වෙනත් රටවල මෙතරම් ප්‍රබල පංති භේදයක් දක්නට නොතිබුණද, මෙලෙස පංති වශයෙන් පුද්ගලයන්ව බෙදා වෙන් කිරීමට තිබෙන මිනිස් නැඹුරුවාව අප සැම සැලකිල්ලට ගත යුත්තකි.—යාකොබ් 2:4.

17. (අ) වැඩිමහල්ලන් පහසුවෙන් එළඹිය හැකි අය විය යුත්තේ මන්ද? (ආ) සභාවේ සාමාජිකයන් සමඟ කටයුතු කරද්දී, වැඩිමහල්ලන්ට යෙහෝවාගේ ආදර්ශය අනුගමනය කළ හැකි ආකාර සඳහන් කරන්න.

17 ඇතැම් වැඩිමහල්ලන්ව “දෙගුණයක් ගෞරව” ලබන්ට වටින අය වශයෙන් සැලකිය යුතුයි කියා පාවුල් අපට දිරිගැන්වූ බව ඇත්තය. එනමුත් ඔවුන්ද අපගේ සහෝදරයන්ය. (1 තිමෝති 5:17) අපට “නිසැකකමින්” විශ්වයේ පරමාධිපතිගේ “කරුණාවේ සිංහාසනයට ළඟා” විය හැකි නම්, යෙහෝවාව අනුකරණය කළ යුතු වැඩිමහල්ලන් වෙත බියක් සැකක් නොමැතිව එළඹීමට ඔබට හැකියාව තිබිය යුතු නැද්ද? (හෙබ්‍රෙව් 4:16; එපීස 5:1) උපදෙස් ලැබීමට හෝ යෝජනා ඉදිරිපත් කිරීමට අන්‍යයන් කොපමණ වතාවක් තමා වෙත එළඹෙනවාද යන්න ගැන වැඩිමහල්ලෙක් හොඳ ඇසක් තබාගත යුතුය. එමගින් තමා ඇත්තටම එළඹීමට පහසු පුද්ගලයෙකුද යන්න දැනගැනීමට ඔහුට පුළුවන් වේ. යෙහෝවා අන්‍යයන්ව තම වැඩ කටයුතුවලට හවුල් කරගන්නා ආකාරයෙන්ද පාඩමක් ඉගෙනගත හැක. වගකීම් පැවරීමෙන් ඔහු අන්‍යයන්ව ගෞරවයෙන් යුතුව සලකයි. එමනිසා, වෙනත් සාක්ෂිකරුවෙකු ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගික නැති බව පෙනුණත්, එම සාක්ෂිකරුවා දැක්වූ උනන්දුව වැඩිමහල්ලන් අගය කළ යුතුය. ආබ්‍රහම්ගේ ප්‍රශ්න කන්දරාව හමුවෙත්, හබක්කුක්ගේ දුක් විලාපය ඉදිරියෙත් යෙහෝවා කටයුතු කළ ආකාරය සිහියේ තබාගන්න.

18. උපකාර අවශ්‍ය අය යළි සකස් කරද්දී, වැඩිමහල්ලන්ට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද?

18 ඇතැම් සෙසු ක්‍රිස්තියානීන්ව යළි සකස් කළ යුතු වේ. (ගලාති 6:1) කෙසේවෙතත්, ඔවුන් යෙහෝවා ඉදිරියෙහි අනර්ඝය. ගෞරවයෙන් යුතුව සැලකීමට වටින්නේය. එක් සාක්ෂිකාරයෙක් මෙසේ පැවසීය. “උපදෙස් දෙන කෙනෙක් මට ගෞරවයෙන් සලකන කොට, මට ඔහු වෙත එළඹෙන්න බියක් සැකක් දැනෙන්නේ නැහැ.” බොහෝ අයට ගෞරවයෙන් සලකනවා නම්, ඔවුහු උපදෙස්වලට හොඳ ප්‍රතිචාරයක් දක්වති. යම් වැරදි පියවරක් ගත් කෙනෙකුගේ සිතේ තිබෙන අදහස්වලට සවන් දීම සඳහා සෑහෙන කාලයක් ගත වුණත්, එමගින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් භාරගැනීමට යෝග්‍ය අඩිතාලමක් දමයි. යෙහෝවා නැවත නැවතත් ඉශ්‍රායෙලිතයන් සමඟ කරුණු සාකච්ඡා කළේ ඔවුන් සඳහා දැක්වූ අනුකම්පාව නිසාය. (2 ලේකම් 36:15; තීතස් 3:2) සංවේදනයෙන් සහ අනුකම්පාවෙන් යුතුව උපදෙස් ලබා දීමෙන්, උපකාරය අවශ්‍ය අයගේ හෘදයටම තට්ටු කළ හැක.—හිතෝපදේශ 17:17; පිලිප්පි 2:2, 3; 1 පේතෘස් 3:8.

19. ක්‍රිස්තියානි ඇදහිල්ල පිළි නොපදින අය දෙස අප බැලිය යුත්තේ කෙසේද?

19 අන්‍යයන්ට ගෞරවය දැක්වීමේ ක්ෂේත්‍රය ගත් කල, අනාගතයේදී අපගේ ආත්මික සහෝදරයන් විය හැකි අයට ගෞරව කිරීමද ඇතුළත් වේ. මෙවැනි පුද්ගලයන් දැන් අපගේ පණිවිඩය පිළිගැනීමට එතරම් උනන්දුවක් නොදක්වනවා විය හැක. එනමුත් ඔවුන් සමඟ ඉවසිලිවන්තව කටයුතු කළ යුතු අතර, මනුෂ්‍යයන් හැටියට ඔවුන්ට යම් ආත්ම-ගරුත්වයක් ඇති බව පිළිගත යුතුය. යෙහෝවා “සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට” අකමැතිය. (2 පේතෘස් 3:9) එසේ නම් අප සැමදෙනාම යෙහෝවාගේ දෘෂ්ටිය විදහාපෙන්විය යුතු නැද්ද? සාමාන්‍ය ජනතාව සමඟ කටයුතු කිරීමේදී, ඔබ සැමවිටම කාරුණික වීමට උත්සාහ කළොත්, සාක්ෂියක් දීමට මඟ උදා කරගත හැක. කෙසේවෙතත්, අපගේ ආත්මිකත්වයට තර්ජන එල්ල කළ හැකි ආශ්‍රිතයන්ගෙන් වැළකී සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. (1 කොරින්ති 15:33) එනමුත් අපගේ විශ්වාසයන් පිළිනොගන්නා පුද්ගලයන්ව පහත් කොට නොසලකමින්, ඔවුන්ට “මිනිස් දයාව” පෙන්වීමට අපට පුළුවන.—ක්‍රියා 27:3NW.

20. යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශ අප තුළ පෙලඹීමක් ඇති කළ යුත්තේ කුමක් කිරීමටද?

20 යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් අප එකිනෙකාව සලකන්නේ ගෞරවය ලැබීමට වටිනා පුද්ගලයන් ලෙසයි. එමනිසා ඔවුන් කටයුතු කරන ආකාරය නිතරම සිහියේ තබාගනිමු. අන්‍යයන්ට ගෞරවය දැක්වීමේදී මූලික පියවර ගෙන කටයුතු කරමු. තවද “නුඹලා සියල්ලෝම සහෝදරයෝය” යන අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ වදන් නිතරම මනසෙහි තබාගනිමු.—මතෙව් 23:8.

ඔබේ පිළිතුර කුමක්ද?

• ඔබ සෙසු නමස්කාරකයන්ව සැලකිය යුත්තේ කෙසේද?

• යෙහෝවාගේ සහ යේසුස්ගේ ආදර්ශය අන්‍යයන්ට ගෞරව කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ කෙසේද?

• අන්‍යයන්ට ගෞරව කිරීමට පුරුෂයන්ට සහ දෙමාපියන්ට හැක්කේ කෙසේද?

• සෙසු ක්‍රිස්තියානීන්ව තම සහෝදරයන් ලෙස සලකන නිසා, වැඩිමහල්ලන් පෙලඹෙන්නේ කෙලෙස ක්‍රියා කිරීමටද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

ඔබේ අගය වචනයට නැඟීමෙන් ඔබේ භාර්යාවට ගෞරව කරන්න

[18වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවන්ට සවන් දීමෙන් ඔවුන්ට ගෞරව කරන්න

[18වන පිටුවේ පින්තූරය]

සභාවේ සාමාජිකයන්ට ගෞරවයෙන් සලකන්න