Skip to content

පටුනට යන්න

නොපෙනෙන දේවල් කෙරෙහි විශ්වාසය තැබිය හැකිද?

නොපෙනෙන දේවල් කෙරෙහි විශ්වාසය තැබිය හැකිද?

නොපෙනෙන දේවල් කෙරෙහි විශ්වාසය තැබිය හැකිද?

‘මම විශ්වාස කරන්නේ මට පේන දේවල් විතරයි’ කියා කෙනෙකු පවසන විට, ඇත්තෙන්ම ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කතා කරනවායයි කිව නොහැකියි. ඇත්තෙන්ම, අපි සියලුදෙනාම නොපෙනෙන දේවල් කෙරෙහිත් විශ්වාසය තබනවා.

උදාහරණයක් ලෙස, ඇතැම් විට පාසැලේදී ඔබ චුම්බක ක්ෂේත්‍රයක් පවතින බව ඔප්පු කිරීම සඳහා මෙම පරීක්ෂණය කරන්න ඇති. දැන් අපි පරීක්ෂණය කරලා බලමු. කොළයක් අරගෙන ඒක උඩට යකඩ කුඩු ඉහින්න. ඊට පස්සේ කොළයට යටින් කාන්දමක් අල්ලන්න. එවිට මැජික් එකක් සිදු වන්නාක් මෙන් කාන්දමේ ධෘව අසලට යකඩ කුඩු ඇදී ඇවිත් චුම්බක ක්ෂේත්‍රය තුළ මෝස්තරයකට අනුව පිහිටයි. ඔබ එය කළ පමණින්ම, ඔබට ඇත්තෙන්ම චුම්බක ක්ෂේත්‍රය දකින්න පුළුවන් වෙනවද? නැහැ. නමුත් දක්නට ලැබෙන්නේ යකඩ කුඩු මත ඇති වූ එහි බලපෑම පමණයි. එසේ වුවත් චුම්බකත්වය පවතින බවට එය මනා සාක්ෂියක් නොවේද?

අපිට නොපෙනෙන වෙනත් බොහෝ දේවල් ගැන ප්‍රශ්න නොකරම අපි පිළිගන්නවා. මනහර චිත්‍රයක් දෙස බලා සිටින විට හෝ කදිම ප්‍රතිමාවක් අගය කරන විට, චිත්‍ර ශිල්පියෙකුගේ හෝ මූර්ති ශිල්පියෙකුගේ පැවැත්ම ගැන අපි සැක කරන්නේ නැහැ. එලෙසම, අපි දිය ඇල්ලක් ගැන කල්පනා කරද්දී හෝ හිරු බැස යෑමක් දෙස බලාගෙන සිටියදී, අඩුම තරමින් ඒවා වඩා උතුම් චිත්‍ර ශිල්පියෙකුගේ හෝ මූර්ති ශිල්පියෙකුගේ නිර්මාණයක් විය හැකියි කියා සිතීමටවත් අපි පෙලඹිය යුතු නැද්ද?

සමහරු විශ්වාස නොකිරීමට හේතුව

පුදුමයකට මෙන්, සමහරු දෙවිව විශ්වාස කිරීම නවත්වා තිබෙන්නේ තමන්ට පල්ලියේදී උගන්වා තිබෙන දේවල් නිසයි. දෙවි දුෂ්ට අයව ගිනිමය නිරයක පුලුස්සන බව අසා තිබුණ නෝවීජියානු මනුෂ්‍යයෙකු පිළිබඳව සැබෑව වුණේ මෙයයි. මිනිස්සුන්ව එලෙස පුලුස්සන දෙවි කෙනෙක් මොන වගේ කෙනෙක් වෙන්න ඇතිද කියලවත් හිතාගන්න ඒ මනුෂ්‍ය-

යාට බැරි වුණ නිසා ඔහු අදේවවාදියෙකු බවට පත් වුණා.

කෙසේවුවත්, පසුව, ඒ මනුෂ්‍යයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුගේ උපකාරය ඇතුව බයිබලය අධ්‍යයනය කර බලන්න එකඟ වුණා. නරක අයව ගිනිමය නිරයක පුලුස්සන බවක් බයිබලයේ උගන්වන්නේ නැති බව දැනගැනීමට ලැබීමෙන් පසුව ඔහු පුදුමයට පත් වුණා. බයිබලයේ, මරණය නින්දකට සමාන කරනවා. මේ නිසා මිනීවළේ අපිට වේදනාවක් දැනෙන්නේ නැහැ; අපිට කිසිම දෙයක් ගැන සිහි වන්නෙත් නැහැ. (දේශනාකාරයා 9:5, 10) පසුතැවිලි නොවන දුෂ්ටයන් ලෙස දෙවි විනිශ්චය කරන මනුෂ්‍යයන් සදාකාලික මරණය අද්දකින්න යන බවත් මේ මනුෂ්‍යයා දැනගත්තා. (මතෙව් 12:31, 32) මළාවූ අනිත් අයව, පාරාදීස තත්වයන් යටතේ සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාව ඇතුව දෙවිගේ නියමිත කාලයේදී නැවත නැඟිටුවන්න යනවා. (යොහන් 5:28, 29; 17:3) මෙම පැහැදිලි කිරීමේ යම් හරයක් තිබෙන බව ඔහුට වැටහුණා. ‘දෙවි ප්‍රේමයය’ කියා බයිබලයේ කර ඇති ප්‍රකාශයට එය අනුකූල වෙනවා. (1 යොහන් 4:8) මෙම අවංක තැනැත්තා දිගටම දෙවිගේ වචනය අධ්‍යයනය කළ අතර, කල් යත්ම, බයිබලයේ සඳහන් වන දෙවි කෙරෙහි ඇල්මක් දක්වන්නත් පටන්ගත්තා.

තවත් අය දැන් පවතින විපත්තිදායක තත්වය හා අයුක්තිය නිසාත්, ප්‍රේමනීය මැවුම්කරුවෙකුගේ පැවැත්ම පිළිගන්නේ නැහැ. “අපිට මෙච්චර මෙහෙ දූෂණයටයි දුෂ්ටකමටයි මූණ දෙන්න සිද්ධ වෙලා තියෙද්දී, සර්වබලධාරි, පරිත්‍යාගශීලී දෙවි කෙනෙක් උඩ ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද?” කියා වරක් ඉහළ බලමින් පැවසූ ස්වීඩන් ජාතික මනුෂ්‍යයාට තිබූ ආකල්පයට ඔවුන් එකඟ වෙනවා. ඔහුගේ ප්‍රශ්නයට උත්තර දෙන්න කිසිවෙකුට නොහැකි වූ නිසා ඔහුත් අදේවවාදියෙකු බවට පත් වුණා. පසු කලෙකදී ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. දෙවි දුෂ්ටකමට ඉඩහැර ඇත්තේ මන්ද යන දිගු කලක් පුරා පැවති ඔහුගේ ප්‍රශ්නයට සතුටුදායක උත්තරයක් දේවවචනයේ තිබෙන බව ඔහු දැනගත්තා. a

දුෂ්ටකම පවතින නිසාම දෙවි කෙනෙකුද පවතින්නේ නැතැයි කියා ඔප්පු කරන්න බැරි බව මෙම අවංක මනුෂ්‍යයා තේරුම්ගත්තා. නිදසුනක් මෙන්න: යම් තැනැත්තෙක් මස් කැපීම සඳහා යොදාගැනීමට පිහියක් සෑදිය හැකියි. පිහිය මිල දී ගන්න තැනැත්තා එය මස් කැපීමට පාවිච්චි නොකර කාවහරි මරන්න ඒක පාවිච්චි කළ හැකියි. මෙසේ පිහිය වැරදි දෙයකට පාවිච්චි කළ පමණින්ම එය සෑදූ කෙනෙක් නොපවතින බව ඔප්පු වන්නේ නැහැ. එලෙසම, අදදින මුල් අරමුණට එකඟව පොළොවේ දේවල් සිදු නොවන නිසාම එයට මැවුම්කරුවෙකු නොසිටින බවක් අදහස් වන්නේද නැහැ.

දෙවිගේ ක්‍රියා සම්පූර්ණයි කියා බයිබලයේ උගන්වනවා. ඔහු ‘අයුතුකමෙන් තොර වූ දෙවිකෙනෙකි, ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.’ (ද්විතීය කථාව 32:4ආ) දෙවි මනුෂ්‍යයන්ට යහපත් දීමනා දායාද කරන නමුත්, සමහර දීමනාවල් මිනිසුන් නුසුදුසු අන්දමින් යොදාගෙන තියෙන්නේ හිතාගන්නත් බැරි තරම් දුක් වේදනා උරුම කර දෙමිනුයි. (යාකොබ් 1:17) කෙසේවුවත්, දෙවි දුක් වේදනා තුරන් කරන්න යනවා. ඉන්පසු, ‘මොළොක් ගුණ ඇති අය දේශය උරුම කරගෙන එහි සදාකල් වාසය කරන්න’ යනවා.—ගීතාවලිය 37:11, 29.

ඉහත සඳහන් කළ ස්වීඩන් ජාතික මනුෂ්‍යයාට සෙසු මනුෂ්‍යයන් වේදනා විඳිනවා දකින විට දුකක් ඇති වුණා. ඇත්තෙන්ම, අන්‍යයන් වෙනුවෙන් ඔහු පෙන්වූ මුදු මොළොක් සැලකිල්ලම දෙවි කෙනෙකු සිටින බව තහවුරු කරනවා. ඒ කොහොමද?

දෙවි කෙරෙහි විශ්වාස නොකරන වැඩිදෙනෙක් කරන්නේ පරිණාමය කෙරෙහි විශ්වාසය තබන එකයි. පරිණාමවාදීන් උගන්වන්නේ “උචිතෝන්නතිය” නමැති සංකල්පයයි. එනම් මනුෂ්‍යයන් හා සත්වයන් යන දෙවර්ගයම තමන්ගේ වර්ගයා නොනැසී පවත්වාගැනීම සඳහා තරඟයක යෙදෙන බවයි. මෙහිදී ශක්තිමත් තැනැත්තා ජීවත් වෙන අතර දුර්වලයා මියයයි. ඔවුන් පවසන්නේ දේවල්වල ස්වාභාවික පිළිවෙත එය බවයි. නමුත් ශක්තිමත් තැනැත්තාට ඉතිරි වීමට ප්‍රස්තාව සලස්වමින් දුර්වලයා මියයෑම “ස්වාභාවික” නම්, ස්වීඩන් ජාතික මනුෂ්‍යයා මෙන් ඇතැම් ශක්තිමත් මනුෂ්‍යයන්ට සෙසු මනුෂ්‍යයන් වේදනා විඳිනවා දැකීමෙන් දුකක් ඇති වෙනවා යන කාරණය පැහැදිලි කළ හැකි වන්නේ කෙසේද?

දෙවිව දැනහඳුනා ගැනීම

දෙවිට මනුෂ්‍ය ස්වරූපයක් නැති නිසා අපට දෙවිව දැකිය නොහැකියි. එහෙත්, දෙවි කැමති අපි ඔහුව දැනහඳුනා ගන්නවාටයි. ඔහුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ලෙස දැක්විය හැකි මැවීම පිළිබඳ “චිත්‍ර” හා “ප්‍රතිමා” නිරීක්ෂණය කිරීම, අපට ඔහුව දැනහඳුනා ගත හැකි එක මාර්ගයක්. බයිබලයේ රෝම 1:20 මෙසේ ප්‍රකාශ කරනවා: “ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ වන [ඔහුගේ] සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය.” ඔව්, චිත්‍රයක් හෝ ප්‍රතිමාවක් අධ්‍යයනය කිරීම, එහි නිර්මාණකරුගේ පෞද්ගලිකත්වය අවබෝධ කරගැනීමට ඔබට උපකාරයක් විය හැකි සේම, දෙවිගේ මවිතාකාර ක්‍රියා ගැන මෙනෙහි කිරීම ඔහුගේ පෞද්ගලිකත්වය වඩා හොඳින් දැනගැනීමට උපකාරයක් විය හැකියි.

දෙවි මැවූ දේවල් නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම ජීවිතයේ ප්‍රශ්න සියල්ලකටම අපට උත්තර සොයාගත නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ. දෙවිගේ වචනය වන බයිබලය සෝදිසි කිරීමෙනුයි අපට එවැනි ප්‍රශ්නවලට උත්තර සොයාගත හැකි වන්නේ. කලින් සඳහන් කළ මනුෂ්‍යයන් දෙදෙනා, දෙවි පවතින බවත්, අපට සිදු වන දේවල් සම්බන්ධයෙන් ඔහු සැලකිලිමත් වන බවත් නිගමනය කළේ විවෘත මනසකින් බයිබලය කියෙව්වායින් පසුවයි.

[පාදසටහන]

a දෙවි දුෂ්ටකමට ඉඩහැර තිබීම සම්බන්ධයෙන් අමතර තොරතුරු සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතේ 10වන පරිච්ඡේදය බලන්න.

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

J. Hester and P. Scowen (AZ State Univ.), NASA