Skip to content

පටුනට යන්න

පරිපූර්ණ ජීවිතයක්—හුදු සිහිනයක් නොවේ!

පරිපූර්ණ ජීවිතයක්—හුදු සිහිනයක් නොවේ!

පරිපූර්ණ ජීවිතයක්—හුදු සිහිනයක් නොවේ!

පරිපූර්ණ ලොවක් තුළ ජීවත් වීම කෙබඳු අද්දැකීමක් වේවිද? මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, අපරාධ, සාගින්න, දුගීකම හා අයුක්තියෙන් තොර සමාජයක් ගැන සිතා බලන්න. සියලුදෙනාම ශාරීරිකව හා චිත්තවේගීය අතින් හොඳ සෞඛ්‍ය තත්වයක් භුක්ති විඳින්න යනවා. දුක, වේදනාව හා මරණය පවා සම්පූර්ණයෙන්ම තුරන් වෙන්න යනවා. එවැනි ලොවක් ගැන සිහින මැවීම යථාර්ථවාදීද?

මිනිසා විද්‍යාව හා තාක්ෂණය තුළින් ඉටු කරගෙන ඇති දේවල් බොහෝදෙනෙක් අගය කරනවා. නමුත් මිනිස් ප්‍රඥාව හෝ උසස් අධ්‍යාපනය මාර්ගයෙන් සියලුදෙනාටම සාමය හා සන්තෝෂය ගෙන දෙන පරිපූර්ණ ලොවක් බිහි කළ හැකි බව විශ්වාස කිරීමට ඔවුන්ට නොහැකියි. යම් දේවල් වැඩිදියුණු කිරීම හා ඒවායේ ඇති දෝෂ හරිගැස්වීම සාමාන්‍ය මනුෂ්‍ය නැඹුරුවාවයි. නමුත් යථාර්ථවාදී නොවන ඉලක්ක තැබූ පළියට හව්හරණයක් නොමැති, දුගී දුප්පත් ජනයාට හෝ අසනීප හෝ ආබාධිත තත්වයේ සිටින අයට සහනදායි විසඳුම් ලබා දිය නොහැකියි. තවද මිනිසාගේ නිර්මාණාත්මක හැකියාවන් උපයෝගී කරගෙන පරිපූර්ණ ලොවක් බිහි කළ නොහැක. කොහොම වුණත්, අදදින පවතින දුක් වේදනා මෙන්ම පීඩිත තත්වයන් මධ්‍යයෙහි පවා පරිපූර්ණ ලොවක් අත ළඟයි කියා විශ්වාස කිරීමට හොඳ හේතු තිබේ.

සමහරවිට පරිපූර්ණ ජීවිතයක් ගැන සිතද්දී ඔබට යේසුස් ක්‍රිස්තුස්ව මතක් වෙනවා ඇති. නමුත් මෙලොවේ ජීවත් වූ එකම පරිපූර්ණ තැනැත්තා යේසුස් පමණක්ම නොවේ. දෙවිගේ ස්වරූපයෙන්ම මවන ලද ආදම් සහ ඒව පාරාදීස පොළොවක පරිපූර්ණ ජීවිතයක් භුක්ති වින්දා. කනගාටුවට කරුණක් වන්නේ, ඔවුන් තම ස්වර්ගික පියාට විරුද්ධව කැරලිගැසූ නිසා එම මවිතකර තත්වය අහිමි වී යෑමයි. (උත්පත්ති 3:1-6) නමුත් අදදින පවා සදාකාලිකව ජීවත් වීමට මිනිසා තුළ ප්‍රබල ආශාවක් තිබේ. එයට හේතුව වන්නේ මැවුම්කරු එම ආශාව ඔවුන් තුළ පැලපදියම් කිරීමයි. දේශනාකාරයා 3:11 [NW] පවසන ආකාරයට “[දෙවි] සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා ඇත. ඔහු සදාකාලය පිළිබඳ හැඟීම් මනුෂ්‍යයන්ගේ සිත්හි තබා ඇත. එසේ කළේ, මනුෂ්‍යයන්ට සැබෑ දෙවිගේ ක්‍රියා මුල සිට අග දක්වා දැනගන්නට නොහැකි වන පිණිසයි.”

අසම්පූර්ණත්වය හා පාපය මනුෂ්‍යවර්ගයාව ‘නිෂ්ඵලභාවයට’ හා ‘ජරාවේ වහල්කමට’ පත් කර තිබෙනවා. නමුත් ප්‍රේරිත පාවුල්ගේ මෙම සැනසිලිදායක වදන් සිතට ගන්න. ‘මැවිල්ල දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. මක්නිසාද මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරන ලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස් වී, දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත් කළාවූ තැනැත්තා නිසාය’ කියා ඔහු පවසනවා. (රෝම 8:19-21) මිනිසාව යළි පරිපූර්ණත්වයට පත් කිරීම සඳහා දෙවි දෙන සෑම සැපයුමක්ම අපට ලබා දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් තුළින් බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර ඇත.—යොහන් 3:16; 17:3.

අනාගතය සඳහා තිබෙන මෙම මවිතකර බලාපොරොත්තුවට අමතරව අප සියලුදෙනාටම දැන් පවා ආත්මික වශයෙන් දියුණු වීමට බොහෝ ප්‍රස්තා තිබෙනවා.

සාධාරණ දෘෂ්ටියක් පවත්වාගන්න

යේසුස් ක්‍රිස්තුස් පරිපූර්ණත්වය කොතරම් වැදගත් කොට සැලකුවාද කියා පැවසුවොත් ඔහු මෙසේ කීමට පෙලඹුණා. “නුඹලාගේ ස්වර්ගීය [පියා] සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.” (මතෙව් 5:48) පවතින මෙම දුෂ්ට ක්‍රමය තුළදී අප අතින් කිසිම වරදක් සිදු නොවිය යුතු බව යේසුස් අපෙන් අපේක්ෂා කළාද? නැහැ. අපි ත්‍යාගශීලී, කරුණාවන්ත හා ප්‍රේමනීය පුද්ගලයන් වීමට වෙර දැරිය යුතු බව ඇත්තයි. නමුත් ඒත් සමඟම අප නිතරම හරි දේ කිරීමට අසමත් වන බවත් මතක තබාගත යුතුයි. යේසුස්ගේ ප්‍රේරිතයෙක් පවා මෙසේ පැවසුවා. “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් [ඔහු] විශ්වාසව ධර්මිෂ්ඨව [සිටියි]. අපි පව්කළේ නැතැයි කියමු නම්, අපි [ඔහු] බොරුකාරයෙක් කරමුව, [ඔහුගේ] වචනද අප තුළ නැත.”—1 යොහන් 1:9, 10.

නමුත් අන්තවාදී නොවී, අප සම්බන්ධයෙන් දරන ආකල්පයේ මෙන්ම අන්‍යයන්ට සලකන ආකාරයේ යම් සකස් කිරීම් සිදු කිරීමට අපට හැකියාවක් තිබේ. සමබර මෙන්ම සාධාරණ දෘෂ්ටියක් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අපට බයිබලයෙන් හැර වෙන කිසිම පොතකින් ලබාගත නොහැකියි. ප්‍රීතිය වර්ධනය කිරීම හා සමබර දෘෂ්ටියක් පවත්වාගැනීම රැකියා ස්ථානයේදී, විවාහ ජීවිතයේදී හා දෙමව්පියන් හෝ දරුවන් සමඟ කටයුතු කිරීමේදී මහත් සේ උපකාරවත් වෙනවා. ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කරයි. “[ස්වාමීන්] තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි. නුඹලාගේ ඉවසිලිවන්තකම [සාධාරණකම, NW] සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා.”—පිලිප්පි 4:4, 5.

සාධාරණ වීමේ ප්‍රයෝජන

ඔබ අපේක්ෂා කරන දේවල් පිළිබඳව සාධාරණව සිතන්න පටන්ගන්නා විට ඔබ කලකිරෙන්නේ නැහැ. තවද එය ඔබේ සිතට ලොකු සහනයක් ගෙන දෙයි. මෙය ඔබට මෙන්ම ඔබේ ආශ්‍රිතයන්ටත් ප්‍රයෝජන අත් කර දෙයි. ඔබේ සීමාවන් හඳුනාගැනීම වැදගත්. මේ සඳහා ඔබ ඉටු කිරීමට යන දේ දෙස යථාර්ථවාදිව හා සාධාරණව බැලිය යුතුයි. දෙවි අපව මවා ඇත්තේ මේ පොළොවේ ජීවත් වෙමින් අපට හා අන්‍යයන්ට ප්‍රයෝජන අත් කර දෙන මෙන්ම සෑහීම ගෙන දෙන වැඩවල නිරත වීම සඳහායි.—උත්පත්ති 2:7-9.

ඔබ මෙතෙක් කල් ඔබෙන්ම උවමනාවට වඩා දේවල් අපේක්ෂා කර තිබෙනවා නම් යෙහෝවා දෙවිට ඒ සම්බන්ධයෙන් යාච්ඤා කරන්න. ඔහුගේ උපකාර පැතීම ඔබට සහනයක් ගෙන දෙයි. යෙහෝවා අපේ අසම්පූර්ණ තත්වය මෙන්ම අපේ ස්වභාවය දන්නා නිසා ඔහුව සතුටු කිරීම කිසිවිටක අපහසු දෙයක් නොවෙයි. ගීතිකාකරුගේ මෙම සැනසිලිදායක වදන් සැලකිල්ලට ගන්න. ‘පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් යෙහෝවා තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරන්නේය. මක්නිසාද ඔහු අපේ ස්වභාවය දන්නේය; අප ධූලි බව ඔහු සිහි කරන්නේය.’ (ගීතාවලිය 103:13, 14) දෙවි අප සමඟ මෙතරම් දයානුකම්පිතව කටයුතු කරන එක ගැන අප කොතරම් කෘතඥපූර්වක විය යුතුද! ඔහු අපේ සීමාවන් දන්නා අතර, ආදරණීය දරුවන්ට මෙන් අපට ඉතා ආදරයෙන් සලකනවා.

සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යනවාට වඩා ආත්මික ගුණාංගයක් වන විචාර බුද්ධිය හා සමබර ආකල්පයක් වර්ධනය කිරීම කොතරම් නැණවත්ද! තවද මනුෂ්‍යවර්ගයාව තම රාජ්‍ය පාලනය යටතේ පරිපූර්ණත්වය කරා ගෙන ඒම පිළිබඳ යෙහෝවාගේ අරමුණ ඉටු වන බවට කිසිම සැකයක් නැහැ. මන්ද එයට බාධා කිරීමට කිසිම දෙයකට නොහැකියි. නමුත් මනුෂ්‍යයා පරිපූර්ණත්වය අත් කරගන්නවා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

සර්ව සම්පූර්ණත්වයට වඩා හොඳ දෙයක්

පරිපූර්ණ කෙනෙක් කියන්නේ සර්ව සම්පූර්ණත්වය ඉලක්ක කරගන්නා කෙනෙක් නොවෙයි. දෙවිගේ රාජ්‍යය යටතේ පාරාදීසයක ජීවත් වීමේ වරප්‍රසාදය හිමි වන අය ආත්ම-ධර්මිෂ්ඨ ස්වභාවයක් විදහාපෙන්වන්නේ නැහැ. ඔවුන් අන්‍යයන්ගෙන් අන්තවාදී ලෙස දේවල් අපේක්ෂා කරන්නෙත් නැහැ. මහත් පීඩාවෙන් බේරී ජීවත් වීම සඳහා තිබිය යුතු එක අවශ්‍යතාවක් වන්නේ මිදීමේ මිල පූජාව කෙරෙහි මුළු හදින්ම ඇදහිල්ල ප්‍රකාශ කිරීමයි. ප්‍රේරිත යොහන් සියලු ජාතීන්ගෙන් පැමිණෙන මහත් සමූහයක් ගැන විස්තර කළා. ඔවුන් මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කරන ආකාරය මෙසේ කියවීමට තිබේ. ‘සිංහාසනයෙහි සිටින අපේ දෙවිටත් බැටළුපැටවාටත් ගැළවීම අයිතිය.’ (එළිදරව් 7:9, 10, 14) පැමිණීමට නියමිත මහත් පීඩාවෙන් බේරී ජීවත් වන සියලුදෙනාම, ක්‍රිස්තුස් ඔවුන් වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම කොතරම් අගය කරන්න යනවාද! ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කරන සියලුදෙනාටම ඔහුගේ ප්‍රේමනීය පූජාව නිසා අසම්පූර්ණත්වයෙන් හා අනිත් සෑම දුර්වලකමකින්ම සදාකාලික සහනයක් ලැබෙන්න යනවා.—යොහන් 3:16; රෝම 8:21, 22.

පරිපූර්ණ ජීවිතයක් කොයි වගේ එකක් වෙයිද? ජනයා තරඟකාරි හා අභිලාෂකාමී ස්වභාවයක් විදහාපෙන්වනවා වෙනුවට, එකිනෙකා සමඟ ප්‍රේමයෙන් හා කරුණාවෙන් කටයුතු කරන්න යනවා. සිත්තැවුල හා හීනමානය වැනි නිෂේධාත්මක හැඟීම් සදහටම නැති වේවි. අප කොයි කවුරුත් මෙවැනි ජීවිතයක් පතන්නේ නැද්ද? තවද ඇතමෙක් සිතන ආකාරයට පරිපූර්ණ ජීවිතයක් ඒකාකාරි එකක් වෙන්න යන්නේ නැහැ. දෙවිගේ වචනයේ පාරාදීසය ගැන අපට සෑම විස්තරයක්ම දී නැතත් අපට අපේක්ෂා කළ හැකි දේ මෙසේ විස්තර කර තිබේ. “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනගගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත.”—යෙසායා 65:21-23.

දෙවිගේ රාජ්‍යය යටතේ මොන වාගේ විනෝදාංශයන් තිබෙයිද, මොන වාගේ භාණ්ඩ මිල දී ගත හැකි වෙයිද, මොන වාගේ තාක්ෂණික උපක්‍රම යොදාගනියිද හෝ මොන වාගේ ප්‍රවාහණ පහසුකම් තිබෙයිද කියා ඇතමෙක් කල්පනා කරනවා. නමුත් ඒ වෙනුවට මෙම වදන්වල ඉටුවීමට අප හවුල් වෙන්නේ කොහොමද කියා කල්පනා කර බලන එක කොතරම් දිරිගන්වනසුලුද! “වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 65:25) අද ගත කරන ජීවිතයට වඩා පොරොන්දු කර ඇති පරිපූර්ණ ජීවිතය කොතරම් සිත් ඇදගන්නාසුලුද! පාරාදීසයේ ජීවත් වීමට ඔබට ප්‍රස්තාව හිමි වුණොත්, අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා ඔබ කෙරෙහිත් ඔබේ පවුලේ සියලුදෙනා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ලක් දක්වන බවට ඔබට නිසැක විය හැකියි. ගීතිකාකරු එය මෙසේ පැහැදිලි කරයි. ‘යෙහෝවා කෙරෙහි ප්‍රීතිමත් වන්න; ඔහුද ඔබේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන්නේය.’—ගීතාවලිය 37:4.

පරිපූර්ණ ජීවිතයක් නිකම්ම සිහිනයක් නොවේ. මනුෂ්‍යවර්ගයා සඳහා යෙහෝවාගේ ප්‍රේමනීය අරමුණ අකුරටම ඉටු වන බවට කිසිම සැකයක් නැහැ. ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටමත් පරිපූර්ණත්වය අත් කරගෙන දෙවිගේ නව ලොවේ සදාකාලයටම ජීවත් විය හැකියි. බයිබලය මෙසේ පොරොන්දු වෙයි. “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29.

[6වන පිටුවේ පින්තූරය]

සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යන්නේ නැතුව අප ගැන හා අන්‍යයන් ගැන අප දරන ආකල්පයේ යම් සකස් කිරීම් සිදු කළ හැකියි

[7වන පිටුවේ පින්තූරය]

ඔබ ධර්මිෂ්ඨ තත්වයන් යටතේ පාරාදීස පොළොවක සාමය භුක්ති විඳින්න යන ආකාරය සිතින් මවාගන්න