Skip to content

පටුනට යන්න

පරිශුද්ධ සේවය පිරිනැමීමට 108වන ගිලියද් පංතියේ ශිෂ්‍යයන්ව දිරිමත් කෙරේ

පරිශුද්ධ සේවය පිරිනැමීමට 108වන ගිලියද් පංතියේ ශිෂ්‍යයන්ව දිරිමත් කෙරේ

පරිශුද්ධ සේවය පිරිනැමීමට 108වන ගිලියද් පංතියේ ශිෂ්‍යයන්ව දිරිමත් කෙරේ

දෙවිට පිරිනමන නමස්කාරයට යොමු දක්වද්දී බයිබලයේ බොහෝවිට යොදාගන්නේ “පරිශුද්ධ සේවය” යන යෙදුමයි. එම වචනය ගෙන තිබෙන්නේ, දෙවිට සේවය කිරීම යන අදහස දැක්වීමට භාවිත කරන ග්‍රීක් වචනයකිනි. (රෝම 9:4NW) යෙහෝවා දෙවිට පිළිගත හැකි ආකාරයට පරිශුද්ධ සේවය පිරිනැමීමට මඟ පෙන්වමින් ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 108වන පංතියේ උපාධිධාරීන්ට දෙනු ලැබූ ප්‍රායෝගික උපදෙස්වලට, උපාධි පිරිනැමීමේ වැඩසටහනට පැමිණ සිටි 5,562දෙනාද සවන් දුන්හ. a

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන තියඩෝ ජැරැස් මෙහි සභාපති ලෙස කටයුතු කළේය. “අප පියාගේ නාමය” යන මාතෘකාවෙන් යුත් ගීතිකා අංක 52 ගායනා කිරීමෙන් වැඩසටහන ආරම්භ විය. එම ගීතිකාවේ දෙවන පදයේ පැවසෙන්නේ, “නාමේ දිව්‍ය ගෞරවේ කරන ආකාර සොයා” කියාය. විවිධ රටවල් 17ක සේවය කිරීමට මිෂනාරි පැවරුම් ලැබූ (රටවල් 10කින් පැමිණි) උපාධිධාරී ශිෂ්‍යයන්, තම පැවරුම ඉටු කිරීමට දැක්වූ හෘදයාංගම ආශාව ඉන් පිළිබිඹු වේ.

සහෝදර ජැරැස් තම කතාව ආරම්භයේදී ශිෂ්‍යයන්ගේ අවධානය මාස පහක් පුරා ලද විපුල බයිබල් අධ්‍යයනය වෙත යොමු කළේය. ඔහු පැවසුවේ එම අධ්‍යාපනය ඔවුන්ව විදේශ ක්ෂේත්‍රයේ පැවරුම් සඳහා සූදානම් කළ බවයි. මෙය ඔවුන්ට ‘සියල්ල සෝදිසි කර බලන්න’ එනම්, ඔවුන් කලින් ඉගෙනගත් දේ දෙවිගේ වචනයේ ආලෝකයෙන් ගැඹුරට සෝදිසි කර බලන්න ප්‍රස්තාව ලබා දුන් අතර, එමගින් “යහපත් දේ තදින් අල්ලාගන්න” හැකි කරවනු ලැබීය. (1 තෙසලෝනික 5:21) යෙහෝවාට, ඔහුගේ වචනයට මෙන්ම ඔවුන්ව පුහුණු කරනු ලැබූ පැවරුමට විශ්වාසවන්ත ලෙස ඇලී සිටින්න කියා ඔහු එම ශිෂ්‍යයන්ව දිරිගැන්වීය. මේ සියල්ල කිරීමේදී ඔවුන්ට උපකාරවත් වන්නේ කුමක්ද?

පරිශුද්ධ සේවය පිරිනැමීමට දායක වන ප්‍රායෝගික උපදෙස්

බෙතෙල් පරිපාලන කමිටුවේ සාමාජිකයෙක් වන ලොන් ෂිලිං “ඔබ සාධාරණකම නමැති පරීක්ෂණයෙන් සමත් වෙයිද?” යන මාතෘකාව යටතේ කතා කළේය. දෙවිගේ ප්‍රඥාව පිළිබිඹු කරන සාධාරණකම නමැති ගුණාංගයේ ඇති වටිනාකම ඔහු ඉස්මතු කර පෙන්වීය. (යාකොබ් 3:17NW) සාධාරණකමට ඇතුළත් වන්නේ නම්‍යසුලු වීම, යුක්තිගරුක වීම, පමණ දැන කටයුතු කිරීම, සැලකිලිමත් වීම සහ සෑම දෙයක්ම විඳදරාගැනීමයි. “සාධාරණ මිනිස්සු අනිත් අය එක්ක සමබර විදිහට කටයුතු කරනවා. ඒ අය යම් දේවල් බලාපොරොත්තු වෙද්දී අන්තයටම යන්නේ නෑ” කියා සහෝදර ෂිලිං පැවසීය. මිෂනාරිවරයෙකුට සාධාරණ වීමට උපකාරවත් වන්නේ මොනවාද? තමා ගැන නිහතමානී ආකල්පයක් තබාගැනීම, අනිත් අයගෙන් ඉගෙනීමට සහ ඔවුන්ට ඇහුම්කන් දීමට ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම සහ අන් අයගේ අදහස් දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනි නැත්නම් එම අදහස්වලට ගරු කිරීම වැනි දේවල් සාධාරණ වීම සඳහා උපකාරයක් වෙනවා.—1 කොරින්ති 9:19-23.

වැඩසටහනේ ඊළඟ අංගය වන “කන්න නම් අමතක කරන්න එපා!” යන කුතුහලය දනවන මාතෘකාව යටතේ, පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන සැමුවෙල් හර්ඩ් විසින් කතාවක් ඉදිරිපත් කරනු ලැබීය. පරිශුද්ධ සේවය පිරිනැමීමට ආත්මික ලෙස මනා ශරීර සෞඛ්‍යයක් ඇතුව සිටිය යුතුයි. එසේ සිටීමට, සමබර ආත්මික ආහාර වේලක් ගැනීමේ වටිනාකම ඔහු ඉස්මතු කර දැක්වීය. “ඔබේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ පැවරුම ඉටු කරන්න මුළු හදින්ම පිවිසෙනවාත් සමඟම ඔබේ ආත්මික ක්‍රියාකාරකම් ඉක්මනින්ම වර්ධනය වේවි” කියා සහෝදර හර්ඩ් පැවසීය. “එනිසා, ඔබේ ශක්තිය සමබරව සහ හොඳ මට්ටමක තබාගැනීමට ඔබ ගන්නා ආත්මික ආහාරවල ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවක් ඇති විය හැකියි.” මිෂනාරිවරයෙකුට ඇති වන ආත්මික කනස්සලුභාවය සහ තම නෑහිතවතුන්ගෙන් ඈත්වීම නිසා ඇති වන තනිකම මඟහැරීමට සමබර ආත්මික ආහාර වේලක් උපකාරවත් වන අතර, තෘප්තිමත්ව, පරිශුද්ධ සේවය පිරිනමන තම පැවරුමෙහි දිගටම නිරත වීමට ඉන් හැකියාව ලබා දෙයි.—පිලිප්පි 4:13.

තවත් එක් ගිලියද් උපදේශකයෙක් වූ ලෝරන්ස් බොවන්, “ආරම්භයට නැවත යන්න කියා” උපාධි ලබන ශිෂ්‍යයන්ට පැවසීය. එයින් අදහස් කළේ කුමක්ද? ඔහු සභාවේ සිටි සියලුදෙනාටම හිතෝපදේශ 1:7ට පෙරළන්න කියා පැවසීය. එහි පවසන්නේ, ‘යෙහෝවා කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය’ කියාය. “යෙහෝවාගේ පැවැත්ම පිළිබඳ මූලික සත්‍යය ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු පිළිබඳව නියම දැනුම ලබාගැනීමටවත් එය තේරුම්ගැනීමටවත් බෑ” කියා කථිකයා පැහැදිලි කළේය. සහෝදර බොවන් දෙවිගේ වචනය වන බයිබලයේ ඇති තොරතුරු සමාන කළේ පින්තූර ප්‍රහේලිකාවකටයි. පින්තූරයේ කොටස් නිසි පිළිවෙළට දැමූ විට පින්තූරය දැකගැනීමට හැකි වේ. කොටස් වැඩි වන තරමට මුළු පින්තූරයම වඩාත් පැහැදිලිව සහ විශාලව දැකබලා ගත හැකි අතර, එය දෙස බලන ඕනෑම කෙනෙකු තුළ ඒ ගැන අගය කිරීමක් ඇති වෙයි. මෙය දේවවචනය සම්බන්ධයෙන්ද සැබෑවකි. බයිබලය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාගැනීම, සියලුදෙනාටම දෙවිට පරිශුද්ධ සේවය පිරිනැමීමට රුකුලක් වේ.

ගිලියද් පාසැලේ රෙජිස්ට්‍රාර් වොලස් ලිවරන්ස්, කතා මාලාවේ අවසන් කතාව දුන්නේය. ඔහුගේ මාතෘකාව වූයේ “ඔබ දෙවිට කරන පූජාවක් ලෙස ඔහුට ස්තුති දෙන්න” යන්නයි. මෙහිදී, යේසුස් විසින් සුව කරනු ලැබූ කුෂ්ඨරෝගීන් දසදෙනාගේ වාර්තාවට අවධානය යොමු කරන ලදි. (ලූක් 17:11-19) දෙවිට ප්‍රශංසා කරමින් යේසුස්ට ස්තුති කිරීමට ආපසු පැමිණියේ ඔවුන්ගෙන් එක්කෙනෙක් පමණයි. “අනිත් අයත් පිරිසිදු වීම ගැන සතුටු වුණු බව නම් සැකයක් නෑ. එහෙත් ඔවුන්ට වැදගත් වුණේ පූජකයන් විසින් ඔවුන් පිරිසිදුයි කියා ප්‍රකාශ කිරීම විතරයි” කියා සහෝදර ලිවරන්ස් තවදුරටත් පැවසීය. සත්‍යය ඉගෙනීමෙන් ලැබෙන ආත්මික පිරිසිදුකම අගයන විට, දෙවිගේ යහපත්කම වෙනුවෙන් ස්තුති කරන්න යම් කෙනෙකුව නිතැතින්ම පෙලඹෙනවා. දෙවිගේ සියලුම ක්‍රියාවන් සහ යහපත්කම ගැන මෙනෙහි කිරීමට 108වන ගිලියද් පංතියේ උපාධි ලැබූ ශිෂ්‍යයන්ට දිරිගැන්වීය. එමගින් ඔවුන්ගේ සේවය සහ කැප කිරීම් දෙවිට කරන ස්තුති කිරීමක් ලෙස විදහාපෙන්වීමට ඔවුන්ට හැකියාවක් ලැබේ.—ගීතාවලිය 50:14, 23; 116:12, 17.

අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා

ගිලියද් උපදේශකයෙකු වන මාර්ක් නූමෑ, වැඩසටහනේ ඊළඟ කොටස මෙහෙයවීය. එයට ඇතුළත් වුණේ, ශිෂ්‍යයන්ගේ පුහුණු වීමේ කාලය තුළ ඔවුන් ක්ෂේත්‍රයේ ලද අද්දැකීම්ය. ශිෂ්‍යයන් ගිලියද් පාසැලට පැමිණීමට පෙර ඔවුන් සාමාන්‍යයෙන් අවුරුදු 12ක පමණ කාලයක් පූර්ණ කාලීන දේවසේවයේ හවුල් වී තිබිණ. පාසැලේ සිටි කාලය තුළ විවිධ පසුබිම්වල සිටින මනුෂ්‍යයන් සමඟ බයිබල් පාඩම් රැසක් ආරම්භ කිරීමෙන් පැහැදිලි වන්නේ මෙම ශිෂ්‍යයන් ‘සියලු ආකාරයෙන්ම සියල්ලන්ට සියල්ල වීමට’ දැනසිටි බවයි.—1 කොරින්ති 9:22.

ශිෂ්‍යයන් අද්දැකීම් ඉදිරිපත් කිරීමෙන් පසු, චාල්ස් මොලහැන් සහ විලියම් සැමුවෙල්සන් විසින් ගිලියද් පාසැලට කලින් සහභාගි වූ බෙතෙල් පවුලේ සාමාජිකයන් සහ සංචාරක අවේක්ෂකයන් සමඟ සම්මුඛ සාකච්ඡාවන් පවත්වන ලදි. සම්මුඛ සාකච්ඡාවට පැමිණි අය අතරින් කෙනෙකු වූ රොබට් පෙවී, 51වෙනි ගිලියද් පංතියෙන් උපාධිය ලැබීමෙන් පසු පිලිපීනයේ සේවය කළ සහෝදරයෙකි. ඔහු පංතියට මෙම සිහිගැන්වීම ලබා දුන්නේය. “අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන කොට, ඒ ප්‍රශ්නය විසඳගන්න විදිහ ගැන හැමෝම තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. සමහරවිට එයාලගේ අදහස් අපේ අදහස්වලට වඩා හොඳයි කියලා පෙනෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ බයිබලය සෝදිසි කරලා, ඒ ප්‍රශ්නය ගැන දෙවිගේ අදහස මොකක්ද කියලා සෙව්වා නම් ඒක අනිත් හැම අදහසකටම වඩා ඉහළයි. ඒක තමයි නිවැරදිම පිළිතුර.”

එම අනර්ඝ ආත්මික වැඩසටහන නිමාවට පත් කරමින් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෝන් බාර්, “පිළිගත හැකි ආකාරයේ පරිශුද්ධ සේවයක් යෙහෝවාට පිරිනමන්න” යන මාතෘකාව යටතේ කතාවක් ඉදිරිපත් කළේය. දෙවිට පිළිගත හැකි ආකාරයට නමස්කාර කරන්න අවංක හදවත් ඇති අයට උපකාර කිරීම සඳහා ක්ෂේත්‍රය තුළ පරිශුද්ධ සේවය යොදාගත හැක්කේ කෙසේද කියා ඔහු විසින් පෙන්වා දෙන ලදි. මතෙව් 4:10හි සඳහන් යේසුස්ගේ වදන්වලට පෙරළීමෙන් පසු සහෝදර බාර් මෙසේ පැවසීය. “අපිට යෙහෝවාට පමණක් නමස්කාර කරන්න අවශ්‍ය නම්, ගිජුකම, ධනවත් වීමේ ආශාව, තමාටම ප්‍රමුඛත්වයක් ලබාගැනීම වැනි රූප නමස්කාරයේ සූක්ෂ්ම පැතිවලින්ද අප ඈත් විය යුතුයි. අපේ මිෂනාරිවරුන් 1940 සිට ගත වූ සෑම වසරකම මේ සම්බන්ධයෙන් ඉතා විශිෂ්ට වාර්තාවක් තබා තිබීම, අපට කියා නිම කළ නොහැකි ප්‍රීතියක් ගෙන දෙනවා! එකසිය අටවන ගිලියද් පංතියෙන් උපාධි ලැබූ ඔබත් ඔවුන්ගේ එම යහපත් ආදර්ශය අනුගමනය කරාවි කියා අපට නිසැකයි. ඔබ යන්නේ පරිශුද්ධ සේවය ලබන්න වටින තැනැත්තා වන යෙහෝවාට සේවය පිරිනමන්න කියා කිසිවිටකත් අමතක කරන්න එපා.”

එම වදන්, ගොඩනංවනසුලු වැඩසටහනකට ඉතා යෝග්‍ය අවසානයක් විය. ලොව පුරා නන් දෙසින් පැමිණි සුභ පැතුම් පත් කියවීමට, උපාධි ප්‍රදානය කිරීමට සහ ශිෂ්‍යයන් ලද පුහුණුව සම්බන්ධයෙන් ඔවුන්ගේ අගය ප්‍රකාශ කළ ලිපි කියවීමට කාලය වෙන් කර තිබිණ. උපාධි ලද එම ගිලියද් පංතියට තම පැවරුමේ විශ්වාසවන්තව සිටිමින් යෙහෝවාට සේවය පිරිනැමීමේදී ගුණාත්මකභාවය දිගටම ඉහළ මට්ටමක පවත්වාගැනීමට ඉතාමත් ප්‍රබල ලෙස දිරිගන්වන ලදි. රටවල් 25කින් පැමිණි ආරාධිත අමුත්තන් ඇතුළුව, පැමිණ සිටි සියලුදෙනාම වැඩසටහන අවසන් කිරීම සඳහා ගීතිකාවට සහ යාච්ඤාවට හවුල් විය.

[පාදසටහන]

a 2000 මාර්තු 11වන දින පවත්වනු ලැබූ උපාධි පිරිනැමීම, නියූ යෝක් නගරයේ පැටසන්වල මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයේ පවත්වන ලද්දකි.

[23වන පිටුවේ කොටුව]

පංති සංඛ්‍යා ලේඛන

නියෝජිත රටවල් සංඛ්‍යාව: 10

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 17

ශිෂ්‍ය සංඛ්‍යාව: 46

වයස් සාමාන්‍යය: 34

සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 16

පූර්ණ-කාලීන සේවයෙහි සිටි අවුරුදු සාමාන්‍යය: 12

[24වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 108වන පංතිය

පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබේ.

(1) අමඩොරී, ඊ.; කුක්, ඕ.; බර්න්, එම්.; ලී, ඒ. (2) නියුසම්, ඩී.; පේඩෙර්ට්සෝලි, ඒ.; බීග්‍රා, එච්.; කැටෝ, ටී.; ගේට්වුඩ්, ඩී. (3) ඊඩ්, ඩී.; ඊඩ්, ජේ.; වෙල්ස්, එස්.; ජේමිසන්, ජේ.; ගොන්සාලෙස්, එම්.; ගොන්සාලෙස්, ජේ. (4) කැටෝ, ටී.; ලෝන්, ඩී.; නික්ලස්, වයි.; ප්‍රයිස්, එස්.; ෆොස්ටර්, පී.; ඊබාරා, ජේ. (5) අමඩොරී, එම්.; මැනිං, එම්.; ජේම්ස්, එම්.; බොස්ට්‍රෝම්, ඒ.; ගේට්වුඩ්, බී.; නියුසම්, ඩී. (6) ෆොස්ටර්, බී.; ජේමිසන්, ආර්.; හයිෆිංගර්, ඒ.; කොෆල්, සී.; කොෆල්, ටී.; බර්න්, ජී. (7) හයිෆිංගර්, කේ.; මැනිං, සී.; කුක්, ජේ.; බොස්ට්‍රෝම්, ජේ.; ලෝන්, ඊ.; පේඩෙර්ට්සෝලි, ඒ. (8) ජේම්ස්, ඒ.; වෙල්ස්, එල්.; ප්‍රයිස්, ඩී.; නික්ලස්, ඊ.; ලී, එම්.; ඊබාරා, පී.; බීග්‍රා, වයි.