Skip to content

පටුනට යන්න

පාඨකයන්ගේ ප්‍රශ්න

පාඨකයන්ගේ ප්‍රශ්න

පාඨකයන්ගේ ප්‍රශ්න

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රතිකාර ලබාගැනීමේදී රුධිරයෙහි අඩංගු කොටස්වලින් සාදන ලද ඖෂධ යොදාගැනීමට ඉඩ දෙනවාද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් රුධිරය ශරීරගත කිරීමට ඉඩ නොදෙන බව මේ ප්‍රශ්නයට උත්තරය සැපයීමේදී මතක තබාගැනීම වැදගත්. රුධිරය පිළිබඳ දෙවිගේ නීතිය සංශෝධනයන්ට ලක් කිරීම අවශ්‍ය නැති බවත්, වෙනස් වන මතිමතාන්තරවලට අනුකූල නොවිය යුතු බවත් අපි තරයේ විශ්වාස කරනවා. කෙසේවෙතත්, රුධිරය ප්‍රධාන කොටස් හතරකට වෙන් කරන්නත්, එම කොටස්වලින් අතුරු කොටස් ලබාගන්නත් දැන් හැකි වී තිබෙන නිසා අලුත් ගැටලු මතු වෙනවා. මෙවැනි කොටස් අඩංගු ප්‍රතිකාර ක්‍රම යොදාගැනීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී, තමන් තෝරගන්න ප්‍රතිකාරයේ තිබිය හැකි ප්‍රයෝජන මෙන්ම අවදානම්වලට වඩා වැඩි දෙයක් ක්‍රිස්තියානියෙකු සැලකිල්ලට ගත යුතුයි. ඔහු මූලිකවම සැලකිලිමත් විය යුතු වන්නේ මේ කාරණය ගැන බයිබලය පවසන්නේ කුමක්ද, තමන් ගන්න තීරණය සර්වපරාක්‍රම දෙවි සමඟ තිබෙන තමාගේ සබඳතාවට බලපාන්නේ කෙසේද යන්න ගැනයි.

මේ කාරණයේදී අදාළ වන මූලික ප්‍රතිපත්ති ඉතාමත් පැහැදිලියි. මෙසේ පැවසීමට හේතුව තේරුම්ගැනීමට උපකාරවත් වන, මීට අදාළ බයිබල් පසුබිම ගැනත්, වෛද්‍යමය මෙන්ම ඓතිහාසික පසුබිම ගැනත්, තොරතුරු සමහරක් සලකා බලමු.

රුධිරය විශේෂ දෙයක් ලෙස සැලකිය යුතු බව යෙහෝවා දෙවි අපේ මුතුන්මිත්තෙක් වන නෝවාට පැවසුවා. (උත්පත්ති 9:3, 4) පසු කාලයේදී දෙවි ඉශ්‍රායෙල්වරුන්ට දුන් නීති මගින් පැහැදිලි වූයේ රුධිරය පරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතු බවයි. දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා: “ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ [යොමු කරන්නෙමි].” දෙවිගේ මෙම නීතිය කඩ කිරීමෙන් ඉශ්‍රායෙල්වරයෙකු අනෙක් අයටද දූෂිත බලපෑමක් ඇති කරන්න ඉඩ තිබුණා. එනිසා දෙවි මෙසේද පැවසුවා: “ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.” (ලෙවී කථාව 17:10) පසු කලෙක යෙරුසලමෙහි පැවැත්වූ රැස්වීමකදී අපි ‘ලෙයින් වැළකී සිටිය’ යුතු බව ප්‍රේරිතවරුන් හා වැඩිමහල්ලන් නියෝග කළා. ලිංගික දුරාචාරයෙන් හා පිළිම නමස්කාරයෙන් වැළකී සිටිනවා හා සමානව ලෙයින්ද වැළකී සිටීම අත්‍යවශ්‍යයි.—ක්‍රියා 15:28, 29.

‘වැළකී සිටීම’ යන්නෙන් ඒ කාලයේ අදහස් කළේ කුමක්ද? ක්‍රිස්තියානීන් අලුත් රුධිරය හෝ කැටි කරන ලද රුධිරය භාවිතයට ගත්තේ නැහැ. ඒ වගේම තමයි ඔවුන් ලේ ඉවත් නොකර මරන ලද සතුන්ගේ මස් අනුභව කළේද නැහැ. ඊට අමතරව, රුධිරය අඩංගු ලිංගුස් වර්ග වැනි ආහාරවලින්ද ඔවුන් වැළකී සිටියා. මේ ඕනෑම ආකාරයකින් රුධිරය ශරීරගත කරගැනීම දෙවිගේ නීතිය උල්ලංගනය කිරීමක් වුණා.—1 සාමුවෙල් 14:32, 33.

පුරාණයේ විසූ බොහෝදෙනෙක් කිසිම පසුබට වීමකින් තොරව රුධිරය භාවිත කළ බව (දෙවන හා තුන්වන සියවසේ) ටර්ටූලියන් සම්පාදනය කළ ලියවිලිවලින් පැහැදිලි වෙනවා. නමුත් ක්‍රිස්තියානීන් රුධිරය භාවිත කළ බවට ඉදිරිපත් වූ බොරු චෝදනාවලට පිළිතුරු දෙමින්, ටර්ටූලියන් රුධිරය රස බැලීමෙන් ගිවිසුම් ස්ථිර කළ ගෝත්‍ර ගැන සඳහන් කළා. ඔහු මෙසේද සඳහන් කළා. “රංග භූමියක අපරාධකරුවෙකුව මරණයට පත් කරන අවස්ථාවේදී, මීමැස්මොරයෙන් පෙළුණු ලේ පිපාසිත මිනිසුන් අපරාධකරුවාගේ සිරුරෙන් ගලන ලේ එකතු කරගත්තා. . . . රුධිරය පානය කිරීමෙන් තමන්ගේ රෝගය සුව වෙයි කියා ඔවුන් විශ්වාස කළා.”

(ඇතැම් රෝමානුවන් සෞඛ්‍යමය හේතූන් නිසා රුධිරය භාවිත කළත්), ක්‍රිස්තියානීන් එම විශ්වාසයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. “අපි සතෙකුගේ ලේවත් අපේ ආහාරවලට එක්කර ගන්නේ නැහැ” කියා ටර්ටූලියන් සඳහන් කළා. රෝමානුවන් රුධිරය අඩංගු ආහාර යොදාගනිමින් සැබෑ ක්‍රිස්තියානීන්ගේ අවංකකම පරීක්ෂා කළා. ටර්ටූලියන් තවදුරටත් මෙසේ පැවසුවා: “මම දැන් ඔබෙන් මේ දෙය අහන්න කැමතියි. [ක්‍රිස්තියානීන්] සතුන්ගේ රුධිරය පිළිකුල්සහගත දෙයක් ලෙස සැලකූ බව ඔබ විශ්වාස කරනවා නම්, ඔවුන් මිනිස් ලේ පිපාසිතයන් කියා ඔබට සිතිය හැකිද?”

රුධිරය ශරීරගත කළ යුතුයි කියා වෛද්‍යවරයෙක් නිර්දේශ කරන විට, රුධිරය පිළිබඳ සර්වපරාක්‍රම දෙවිගේ නීතිය සම්බන්ධයෙන් තමන් තීරණාත්මක අවස්ථාවකට මුහුණ පා සිටින බව සිතන්නේ ටිකදෙනෙක් විතරයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජීවිතය රැකගන්න කැමති වුණත්, රුධිරය පිළිබඳ යෙහෝවා දී තිබෙන නීතියට කීකරු වීමට ඔවුන් බැඳී සිටිනවා. රුධිරය පිළිබඳ දෙවිගේ නීතියට නවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම බලපාන්නේ කෙසේද?

රුධිර ප්‍රවේශනය ප්‍රචලිත වූයේ දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුවයි. එදා සිට අද දක්වා යෙහෝවාගේ සාක්ෂිකරුවන් එය දෙවිගේ නීතියට පටහැනි බව තේරුම්ගෙන තිබෙනවා. එහෙත් පසුගිය කාලය පුරා ප්‍රතිකාර ක්‍රම වෙනස් වී තිබෙනවා. අදදින සිදු කෙරෙන රුධිර ප්‍රවේශනයන් බොහොමයකට සම්පූර්ණ රුධිරයම යොදා නොගත්තත්, රුධිරයේ අඩංගු මතු දැක්වෙන මූලික කොටස් ඇතුළත් කරනවා: (1) රතු රුධිරාණු; (2) සුදු රුධිරාණු; (3) පට්ටිකා; (4) රුධිරයේ ද්‍රව කොටස වන ප්ලාස්මාව (serum, මස්තු). රෝගියාගේ තත්වය අනුව වෛද්‍යවරුන් රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා හෝ ප්ලාස්මාව නිර්දේශ කළ හැකියි. රුධිරයෙහි අඩංගු එම ප්‍රධාන කොටස් ප්‍රවේශනය කිරීමෙන් එක් රුධිර ඒකකයක් රෝගීන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකියි. සම්පූර්ණ රුධිරයම හෝ එහි අඩංගු ප්‍රධාන කොටස් හතරෙන් ඕනෑම කොටසක් තමන්ට ප්‍රතිකාර කිරීමේදී යොදාගැනීම දෙවිගේ නීතිය උල්ලංගනය කිරීමක් හැටියටයි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සලකන්නේ. මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ, බයිබලය මත පදනම් වන මෙම දිව්‍ය නීතිය පිළිපැදීමෙන්, ඔවුන්ට රුධිරය මගින් බෝවිය හැකි හෙපටයිටිස් හා ඒඩ්ස් වැනි රෝගවලින් ආරක්ෂා විය හැකි වීමයි.

කෙසේවෙතත්, රුධිරයෙහි අඩංගු ප්‍රධාන කොටස් තවත් අතුරු කොටස්වලට වෙන් කළ හැකි නිසා, එම අතුරු කොටස් ගැනත් ප්‍රශ්න මතු වෙනවා. මෙම අතුරු කොටස් භාවිත කරන්නේ කෙසේද? මේවා ප්‍රතිකාර සඳහා යොදාගැනීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී ක්‍රිස්තියානියෙකු සැලකිල්ලට ගත යුතු දේවල් මොනවාද?

රුධිරය සංකීර්ණ දෙයක්. සියයට අනූවක් ජලය අඩංගු ප්ලාස්මාව මගින් පවා හෝමෝන, අකාබනික ලවණ, එන්සයිම, ඛනිජ හා සීනි ඇතුළත් පෝෂ්‍ය පදාර්ථ පරිවහනය කරයි. ප්ලාස්මාව මගින් ඇල්බියුමින් වැනි ප්‍රෝටීන්ද, ලේ කැටිගැසීමට ඉවහල් වන ද්‍රව්‍යයද, රෝගවලට එරෙහිව සටන් කරන ප්‍රතිදේහද පරිවහනය කරයි. මේ ක්ෂේත්‍රය ගැන දැනුමක් තිබෙන අය ප්ලාස්මාවේ තිබෙන ප්‍රෝටීන් වර්ග බොහොමයක් වෙන් කරගෙන භාවිතයට ගන්නවා. උදාහරණයක් හැටියට, ලේ කැටි ගැසීමට ඉවහල් වන ද්‍රව්‍යය අංක VIII, ලේ ගැලීම නතර කිරීම අසීරු රෝගීන්ට දෙනු ලබනවා. කෙනෙක් යම් රෝගයකට ගොදුරු වූ අවස්ථාවක, එම රෝගවලට ප්‍රතිශක්තියක් තිබෙන වෙනත් අයගේ රුධිර ප්ලාස්මාවෙන් ලබාගත් ගැමා ග්ලෝබියුලින් අඩංගු බෙහෙතක් විදින්න වෛද්‍යවරුන් නිර්දේශ කළ හැකියි. ප්ලාස්මාවේ අඩංගු වෙනත් ප්‍රෝටීන්ද ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබනවා. අතුරු කොටස් ලබාගැනීම සඳහා රුධිරයෙහි අඩංගු ප්‍රධාන කොටසක් (ප්ලාස්මාව) සකස් කළ හැකි ආකාරය ඉහත සඳහන් කළ දේවලින් පැහැදිලි වෙයි. a

රුධිරයෙහි අඩංගු ප්‍රධාන කොටසක් වන ප්ලාස්මාවෙන් විවිධ අතුරු කොටස් ලබාගන්නාක් මෙන් වෙනත් ප්‍රධාන කොටස්වලින්ද (රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා) අතුරු කොටස් වෙන් කරගත හැකියි. උදාහරණයක් හැටියට, සුදු රුධිරාණුවලින් ලබාගන්නා ඉන්ටර්ෆෙරොන් සහ ඉන්ටර්ලියුකින් ඇතැම් වයිරස් රෝගවලට හා පිළිකාවලට ප්‍රතිකාර ලෙස යොදාගත හැකියි. පට්ටිකා අතුරු කොටස්වලට වෙන් කර තුවාල සුව කරන ද්‍රව්‍යයක් ලබාගන්න පුළුවන්. (අඩුම තරමින් මුල් අවස්ථාවේදීවත්) රුධිර කොටස්වලින් ලබාගත් ද්‍රව්‍ය අඩංගු වෙනත් ඖෂධ වර්ග නිපදවමින් තිබෙනවා. මෙවන් ප්‍රතිකාරවලදී රුධිරයේ අඩංගු ප්‍රධාන කොටස් ශරීරගත කිරීමක් සිදු නොවෙයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිකාරවල අඩංගු වන්නේ අතුරු කොටස්ය. ක්‍රිස්තියානීන් තමන්ට කරන වෛද්‍ය ප්‍රතිකාරවලදී එම අතුරු කොටස් යොදාගැනීමට ඉඩ දෙනවාද? මේ ගැන අපිට යමක් කිව නොහැකියි. බයිබලය මේ ගැන විස්තර සපයන්නේ නැති නිසා ක්‍රිස්තියානීන් තනි තනිව තම තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව දෙවි ඉදිරියෙහි පෞද්ගලික තීරණයක් ගත යුතුයි.

සමහර අය රුධිරයෙන් ලබාගත් ඕනෑම දෙයක් (ප්‍රතිශක්තිය තාවකාලිකව ඉහළ දැමීම සඳහා ලබා දෙන ප්ලාස්මාවේ අඩංගු අතුරු කොටස් පවා) ප්‍රතික්ෂේප කළ හැකියි. ‘ලෙයින් වළකින්න’ යනුවෙන් දෙවි දී තිබෙන ආඥාව ඔවුන් තේරුම්ගන්නේ ඒ ආකාරයටයි. එමෙන්ම යම් ජීවියෙකුගෙන් ගත් ලේ “භූමිය පිට වත්කළ යුතුය” කියා ඉශ්‍රායෙල්ට දෙවි දුන් ව්‍යවස්ථාවෙහි නියම කර තිබූ බවට ඔවුන් තර්ක කරනවා. (ද්විතීය කථාව 12:22-24) ඔවුන් ඉදිරිපත් කරන කාරණය සැලකිල්ලට ගැනීම වටින්නේ මන්ද යන්න මෙලෙස පැහැදිලි කළ හැක. ගැමා ග්ලෝබියුලින්, රුධිරයෙන් ලබාගත් කැටි ගැසීම වේගවත් කරන ද්‍රව්‍ය හා වෙනත් මෙවැනි ද්‍රව්‍යයන් සෑදීම සඳහා, එකතු කරගත් රුධිරය, සකස් කිරීම්වලට ලක් කළ යුතුයි. එනිසා, ඇතැම් ක්‍රිස්තියානීන් සම්පූර්ණ රුධිරය හා ප්‍රධාන කොටස් හතරෙන් එකක් හෝ අඩංගු ප්‍රවේශන ප්‍රතික්ෂේප කරන්නාක් මෙන්, කලින් සඳහන් කළ ද්‍රව්‍යයන් ඇතුළත් ප්‍රතිකාරද ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් සිය හෘදය සාක්ෂියට එකඟව ගනු ලබන අවංක ස්ථාවරයට ගරු කිරීම වටී.

මේ කාරණයේදී වෙනත් ක්‍රිස්තියානීන් ගන්න තීරණ මීට වඩා වෙනස් විය හැකියි. ඔවුනුත් සම්පූර්ණ රුධිරය, රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා හා ප්ලාස්මාව යනාදිය ශරීරගත කිරීම ප්‍රතික්ෂේප කරනවා. එහෙත් ප්‍රධාන රුධිර කොටස්වලින් ලබාගත් අතුරු කොටස් අඩංගු ප්‍රතිකාරවලට ඔවුන් ඉඩ දිය හැකියි. මෙහිදී පවා යම් යම් වෙනස්කම් තිබිය හැකියි. එක් ක්‍රිස්තියානියෙක් ගැමා ග්ලෝබියුලින් අඩංගු එන්නතක් පිළිගත හැකි වූවත්, රතු හෝ සුදු රුධිරාණුවලින් ලබාගත් දේවල් ඇතුළත් එන්නතක් පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. පොදුවේ ගත් කල, රුධිරයේ අඩංගු ප්‍රධාන කොටස්වලින් ලබාගත් අතුරු කොටස් ඇතුළත් ප්‍රතිකාර පිළිගන්න තමන්ට හැකියි කියා නිගමනය කිරීමට ඇතැම් ක්‍රිස්තියානීන්ට බලපා ඇති හේතුව කුමක්ද?

ප්ලාස්මාවෙ අඩංගු ප්‍රෝටීන (අතුරු කොටස්) ගැබිණියකගේ රුධිරයේ සිට ඇගේ භෲණයේ වෙනම ක්‍රියාත්මක වන රුධිර සංසරණ පද්ධතියට ගමන් කරන බව 1990 ජූනි 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යටතේ සඳහන් වුණා. මවගේ රුධිරයේ අඩංගු ඉමියුනොග්ලෝබියුලින් ඇගේ ගර්භාශයේ සිටින දරුවාගේ රුධිරය කරා ගමන් කරයි. මෙය දරුවාගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට මහත් සේ දායක වෙයි. භෲණයේ සංසරණය වන රතු රුධිරාණුවල සාමාන්‍ය ජීව කාලය නිමාවට පත් වෙද්දී, එම රතු රුධිරාණුවල අඩංගු ඔක්සිජන් ගෙන යන ප්‍රෝටීන් භාවිතයට ගැනේ. භාවිතයට ගැනීමෙන් අනතුරුව එයින් කොටසක් බිලිරුබින් බවට පත් වී, වැදෑමහ මගින් මවට ඇතුල් වී ඇගේ සිරුරේ අපද්‍රව්‍ය සමඟ පිට වෙනවා. මෙලෙස ස්වාභාවික ලෙස රුධිරයෙහි අඩංගු අතුරු කොටස් තවත් පුද්ගලයෙකුගේ සිරුරට ඇතුල් වෙන නිසා, රුධිරයේ අඩංගු ප්ලාස්මාවෙන් හෝ රුධිරාණුවලින් ලබාගත් අතුරු කොටස් තමන්ට ප්‍රතිකාර කිරීමේදී යොදාගැනීමට ඉඩ දිය හැකියි කියා සමහර ක්‍රිස්තියානීන් නිගමනය කළ හැකියි.

විවිධ මතිමතාන්තර තිබීමෙන් හා හෘදය සාක්ෂිය මත ගන්න තීරණ එකිනෙකට වෙනස් වීමෙන් පෙනෙන්නේ මෙම ගැටලුසහගත කාරණය නොසලකා හැරිය හැකි එකක් බවද? නැහැ. මෙය බැරෑරුම් ලෙස සැලකිය යුතු කාරණයක්. එහෙත් මෙහි මූලික සත්‍යය සරලයි. ඉහත සඳහන් කළ කරුණුවලින් පැහැදිලි වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්පූර්ණ රුධිරය මෙන්ම එහි අඩංගු ප්‍රධාන කොටස් ප්‍රතික්ෂේප කරන බවයි. ‘රූපවලට පූජා කළ දේවලින්ද ලෙයින්ද වේශ්‍යාකමින්ද වළකින්න’ කියා බයිබලය ක්‍රිස්තියානීන්ට උපදෙස් දෙනවා. (ක්‍රියා 15:28, 29) මේ හැර, ප්‍රධාන කොටස්වලින් ලබාගන්න අතුරු කොටස් ප්‍රතිකාර සඳහා යොදාගන්නවාද නැද්ද යන්න තීරණය කරන්න සිදු වන විට, ක්‍රිස්තියානීන් පෞද්ගලිකව මේ ගැන පරෙස්සමින් යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමෙන් අනතුරුව තම හෘදය සාක්ෂියට එකඟව තීරණයකට එළඹිය යුතුයි.

බොහෝදෙනෙක් ඉක්මනින් සුවය ගෙන දෙන ඕනෑම ප්‍රතිකාරයක් පිළිගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා. රුධිරයේ කොටස් අඩංගු ප්‍රතිකාර වැනි සෞඛ්‍යයට අනතුරක් වන ප්‍රතිකාරයක් පවා ඔවුන් පිළිගැනීමට සූදානම්. අවංක ක්‍රිස්තියානියෙකු මේ කාරණය දෙස වඩා පුළුල් කෝණයකින් බලමින් සමබර මතයක සිටීමට වෑයම් කරයි. සෞඛ්‍යමය කාරණාවලට වඩා වැඩි යමක් මෙයට ඇතුළත් බව ඔහු තේරුම්ගනියි. හොඳම ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් දරන උත්සාහයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අගය කරන අතරම, ඔවුන් ඕනෑම ප්‍රතිකාරයක තිබිය හැකි ප්‍රයෝජන මෙන්ම අවදානම්ද සැලකිල්ලට ගන්නවා. කෙසේවෙතත්, රුධිරයේ අඩංගු කොටස් ඇතුළත් ප්‍රතිකාර ගැන තීරණයක් ගැනීමට සිදු වන විට, ඔවුන් දෙවි පවසන දෙය හා අපිට ජීවිතය ලබා දී තිබෙන තැනැත්තා සමඟ තිබෙන තමන්ගේ පෞද්ගලික සබඳතාව ඉතා වැදගත් කොට සලකනවා.—ගීතාවලිය 36:9.

ගීතිකාකරු මෙසේ පැවසුවා: ‘දෙවි වූ යෙහෝවා සූර්යයෙක්ය, පලිහක්ය. යෙහෝවා අනුග්‍රහයත් මහිමයත් දෙයි. අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවළක්වයි. යෙහෝවා, ඔබ කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය [සන්තෝෂවත් කෙනෙකි, NW].’ (ගීතාවලිය 84:11, 12) ගීතිකාකරුට තිබූ එම නිසැකකමම ක්‍රිස්තියානියෙකුට තිබීම මොනතරම් ආශීර්වාදයක්ද!

[පාදසටහන]

a වර්ෂ 1978 ජූනි 15 (ඉංග්‍රීසියෙන්) හා 1994 ඔක්තෝබර් 1 යන මුරටැඹ සඟරාවල පළ වූ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න. රුධිරයෙන් ලබා නොගත් කෘත්‍රිම ඖෂධ වර්ග, ඖෂධ සමාගම් මගින් නිෂ්පාදනය කර තිබෙනවා. අතීතයේ යොදාගත් රුධිරයේ ඇතැම් අතුරු කොටස් වෙනුවට එම ඖෂධ නිර්දේශ කළ හැකියි.

[30වන පිටුවේ කොටුව]

වෛද්‍යවරයාගෙන් ඇසීම සඳහා යෝජිත ප්‍රශ්න

රුධිරයෙහි අඩංගු කොටස් ඇතුළත් විය හැකි සැත්කමකට භාජන වීමට හෝ ප්‍රතිකාරයක් පිළිගැනීමට හෝ ඔබට සිදු වුවහොත් මෙසේ අසන්න:

යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන මම, මොනයම් හෝ තත්වයක් යටතේ වූවත් (සම්පූර්ණ රුධිරය, රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා හෝ රුධිර ප්ලාස්මාව ඇතුළත්) රුධිර ප්‍රවේශනයක් ලබා නොදෙන ලෙස නියෝග කර සිටින බව මට ප්‍රතිකාර කිරීමට සම්බන්ධ වී සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සියලුදෙනාම දන්නවාද?

නිර්දේශ කරන ඕනෑම ඖෂධයක රුධිර ප්ලාස්මාව, රතු හෝ සුදු රුධිරාණු හා පට්ටිකා යනාදි කොටස්වලින් ලබාගත් ද්‍රව්‍ය ඇතුළත් වේ නම්:

මෙම ඖෂධය නිපදවා තිබෙන්නේ රුධිරයෙහි අඩංගු ප්‍රධාන කොටස් හතරෙන් එකක් හෝ යොදාගෙනද? එහෙමනම්, ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

රුධිරයෙහි අඩංගු කොටස්වලින් සාදා තිබෙන මේ ඖෂධයෙන්, කොපමණ ප්‍රමාණයක් මට ශරීරගත කරනවාද? කොහොමද එය කරන්නේ?

රුධිරයෙහි අඩංගු මේ අතුරු කොටස මට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට මගේ හෘදය සාක්ෂියට එකඟව මම තීරණය කළොත්, මේ ප්‍රතිකාරයේ තිබිය හැකි අනතුරු මොනවාද?

මේ අතුරු කොටස මට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට මගේ හෘදය සාක්ෂිය ඉඩ දෙන්නේ නැත්නම් තිබෙන අනෙකුත් විකල්ප ප්‍රතිකාර මොනවාද?

මම තවදුරටත් මේ කාරණය ගැන සලකා බැලීමෙන් පසුව, ගන්න තීරණය කොපමණ කාලයක් ඇතුළත දැනුම් දිය යුතුද?