Skip to content

පටුනට යන්න

රොබින්සන් ක්රූසෝ දූපතේදී ගැළවීම

රොබින්සන් ක්රූසෝ දූපතේදී ගැළවීම

රොබින්සන් ක්රූසෝ දූපතේදී ගැළවීම

චිලි වෙරළට කිලෝමීටර් 640ක් පමණ ඈතින් ශාන්තිකර සාගරයේ පිහිටි ජුවන් ෆනැන්ඩේස් දූපත් යනුවෙන් හැඳින්වෙන දූපත් සමූහයට අයත් දූපත් තුනෙන් එකකි, රොබින්සන් ක්රූසෝ. a වර්ග කිලෝමීටර් 93ක විශාලත්වයෙන් යුත් මෙම දූපතට එම නම ලැබුණේ, ඉංග්‍රීසි කර්තෘවරයෙකු වූ ඩැනියෙල් ඩෙෆො විසින් 18වන සියවසේදී ලියනු ලැබූ රොබින්සන් ක්රූසෝ යන නමෙන් යුත් ජනප්‍රිය නවකතාව ඇසුරෙනි. පෙනෙනාකාරයට මෙම නවකතාව පදනම්ව තිබුණේ, වසර හතරක පමණ කාලයක් පුරා මෙම දූපතේ තනිවම ජීවත් වූ ස්කොට්ලන්ත ජාතික ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක්ගේ ත්‍රාසජනක අද්දැකීම මතයි.

මෙම දූපතේ ලී පුවරුවක මෙවැනි ප්‍රකාශයක් දක්නට ලැබේ. “වසර හතරකට වැඩි කාලයක් පුරා මේ භූමිය තුළ තනි වී සිටි ස්කොට්ලන්ත ජාතික යාත්‍රාකරුවා වූ ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක්, තම තනිකමෙන් මිදී පලා යෑම සඳහා ජීවිත ගළවාගැනීමේ බෝට්ටුවක් පැමිණෙන තෙක් සෑම දිනකම මහත් උනන්දුවෙන් මඟ බලා සිටියා.” අවසානයේදී, සෙල්කර්ක්ට ගැළවී තම මව්බිමට යා හැකි වුවත්, ඔහු තමාගේම පුංචි පාරාදීසයේ ජීවත් වූ විට අද්දුටු තෘප්තිය වෙන කොතැනකදීවත් ඔහුට අද්දකින්න නොලැබිණ. ඔහු පසුව මෙසේ ලියූ බව පැවසේ. “අනේ, මගේ දයාබර දූපත! ඔබව දාලා නොආවා නම් කොපමණ හොඳද!”

කාලය ගෙවී යත්ම, මෙම දූපත දඬුවම් දෙන ස්ථානයක් බවට පත් විය. එහි සිටියේ “ඇදහිල්ල පාවා දීමේ අපරාධය” සිදු කිරීම මගින් කතෝලික සභාවට ද්‍රෝහි වූ අයයි. සෙල්කර්ක් දැන සිටි පාරාදීසමය දූපතට වඩා එය මොනතරම් වෙනස් වන්ට ඇද්ද! කෙසේවුවත්, දූපතේ වත්මන් පදිංචිකරුවෝ ලෝකයේ බොහෝ කොටස්වල දක්නට නොලැබෙන සාමකාමී, ශාන්ත තත්වයක් භුක්ති විඳිමින් සිටිති. බොහෝ දූපත්වල පවතින නිස්කලංක ජීවන-රටාව, ඕනෑම කෙනෙකු සමඟ පහසුවෙන්ම සංවාදයකට එළඹීමට යෝග්‍ය වාතාවරණයක් ඇති කරවයි.

සාමාන්‍යයෙන් රොබින්සන් ක්රූසෝවල වැසියන් 500ක් පමණ සිටියත්, වසරෙන් වැඩි කාලයක් තුළ දූපතේ සිටින්නේ 400දෙනෙකු පමණි. යම් දුරකට ඊට හේතුව වන්නේ, පාසැල් වාරවලදී සමහර මව්වරුන් හා ඔවුන්ගේ දරුවන් ප්‍රධාන රට වන චිලි රටේ විසීමය. පවුලේ අනික් අය සමඟ කාලය ගත කරන්න ඔවුන් දූපතට පැමිණෙන්නේ නිවාඩු මාසවලදී පමණි.

රොබින්සන් ක්රූසෝහි අලංකාර උයනක් බඳු වටාපිටාවන් තිබුණත්, දූපතේ වෙසෙන සමහරෙකුට ආත්මික හිස්බවක් දැනෙන අතර, ඔවුහු ඊට පිළියම් සොයමින් සිටිති. තමන් ආත්මිකව ගැළවීමක් ලැබිය යුතුයයි වෙනත් අයට හැඟී ගොස් ඇත.

ආත්මික ගැළවීමක්

එම ආත්මික ගැළවීමේ වැඩය පටන්ගත්තේ 1979දී පමණය. චිලිහි සාන්තියාගෝවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටි ස්ත්‍රියක්, පදිංචිය සඳහා මෙම දූපතට ගොස්, තමා ඉගෙනගත් දේ අන්‍යයන්ට ඉගැන්වීමට පටන්ගත්තාය. ටික කලකට පසුව, රැකියා හේතූන් මත දූපතට පැමිණි සභා වැඩිමහල්ලෙකුට, එම ස්ත්‍රියගේ උපකාරයෙන් ආත්මිකව ප්‍රගතියක් ලබමින් සිටින බයිබල් ශිෂ්‍යයන්ගේ කුඩා කණ්ඩායමක් දක්නට ලැබුණු අතර, එය ඔහුව පුදුමයට පත් කරවීය. මාස තුනකට පසුව යළිත් එම වැඩිමහල්ලා දූපතට පැමිණි අවස්ථාවේදී, මෙම තනි වූ බයිබල් ගුරුවරිය හා ඇගේ ශිෂ්‍යාවන් දෙදෙනෙකු බව්තීස්ම වීමට සූදානම්ව සිටි නිසා, වැඩිමහල්ලා ඔවුන්ගේ බව්තීස්මය සඳහා අවශ්‍ය සියල්ල සූදානම් කළේය. අනතුරුව, අලුතින් බව්තීස්ම වූ අයගෙන් කෙනෙකු විවාහ වූ අතර, ඈ තම ස්වාමිපුරුෂයාවද හවුල් කරගෙන, ආත්මික ගැළවීමක් ලැබීමට අවශ්‍යව තිබූ වෙනත් අයව සොයන්න පටන්ගත්තාය. ඇගේ ස්වාමිපුරුෂයා ප්‍රමුඛත්වය ගෙන පුංචි රාජ්‍ය ශාලාවක් ගොඩනැඟූ අතර, දූපතේ සිටින කුඩා කණ්ඩායම දැනටත් එහි රැස්වීම් පවත්වමින් සිටිති. කාලයාගේ ඇවෑමෙන්, ආර්ථික හේතු නිසා රොබින්සන් ක්රූසෝ අත්හළ මෙම යුවළ මධ්‍යම චිලිවල පිහිටි සභාවකට ගිය අතර, ඔවුහු එහි තවමත් ක්‍රියාශීලීව යෙහෝවාට සේවය කරමින් සිටිති.

වෙනත් අයද බොරු ආගමෙන් ගැළවී පැමිණෙද්දී දූපතේ කුඩා කණ්ඩායම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන්ට විය. කෙසේවෙතත්, තම උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයන්ට ප්‍රධාන රටට යෑමට සිදු වූ බැවින්, බව්තීස්ම වූ සහෝදරියන් දෙදෙනෙකු හා එක ගැහැනු ළමයෙකු දක්වා කණ්ඩායමේ සාමාජිකයන් අඩු විය. නිවාඩු කාලයේදී සමහර මව්වරුන් යළිත් දූපතට පැමිණෙන නිසා කණ්ඩායම නැවත විශාල වේ. මුළු වර්ෂය පුරාම එහි තනිව සිටින ක්‍රිස්තියානීන් තිදෙනාට මින් නව පණක් ලැබේ. මෙම සහෝදරියන් වෙහෙස මහන්සිය නොබලා වැඩ කරන නිසා, රොබින්සන් ක්රූසෝහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව කොයි කවුරුත් හොඳින් දනී. සමහර දූපත් වැසියන් ඔවුන්ගේ වැඩයට විරුද්ධකම් පෑමට හා රාජ්‍ය පණිවිඩය පිළිනොගැනීමට සලස්වමින් වෙනත් අයට පීඩා කිරීමට පියවර ගෙන තිබෙන බව සැබෑවකි. එසේ වුවත්, අවංක හෘද තුළ පැළ කෙරෙන බයිබල් සත්‍යයේ බීජ දිගටම රෝපණය වෙමින් පවතී.

ආත්මික ලෙස ගැළවීමක් ලබා ඇති අයව ශක්තිමත් කිරීම

වර්ෂයකට වතාවක් සංචාරක අවේක්ෂකයෙක් දූපතේ සාක්ෂිකරුවන්ව බැහැදැකීමට එයි. හුදෙකලා වූ දූපතක සිටින සාක්ෂිකරුවන් අතළොස්සක් බැහැදැකීමට යෑම කෙබඳු අද්දැකීමක්ද? රොබින්සන් ක්රූසෝවලට ගිය මුල් වතාව සම්බන්ධයෙන් එක චාරිකා අවේක්ෂකයෙක් මෙසේ විස්තර කරයි.

“මේ ගමන හරියට සිහිනයක් සැබෑ වුණා වගෙයි. වල්පරයිසොහි සිට සාන්තියාගෝවල සෙරියෝස් ගුවන්තොටුපොළට අපි රිය පදවන්න පටන්ගත්තේ උදේ 7:00ටයි. මඟීන් හත්දෙනෙකුට යන්න පුළුවන් කුඩා ගුවන්යානයකට අපි නැග්ගා. පැය 2කයි විනාඩි 45ක් ගමන් කළාට පස්සේ, අපි ඈත වළාකුළු අතරින් ඉහළට නැඟී ඇති කඳු මුදුනක් දැක්කා. එය වෙත සෙමින් සෙමින් ඇදී යද්දී, දූපත පෙනෙන්න පටන්ගත්තා. ඒක සාගරය මැද පිහිටි දැවැන්ත කන්දක්. හරියට මුහුදේ අතරමං වුණ නැවක් වතුරේ පාවෙනවා වගෙයි පෙනෙන්න තිබුණේ.

“බැස්සට පස්සෙ, බෝට්ටුවකින් අපිව ගම්මානයට අරගෙන ගියා. තැනින් තැන මුහුදෙන් උඩට මතු වී තිබෙන පර්වත පුංචි දූපත් බවට පත් වෙලා තියෙන අතර, ජුවන් ෆනැන්ඩේස් ලොම් සීල් මත්ස්‍යයන් ඒවාවලට ඇවිත් විවේක ගන්නවා. ලොම් සීල් මත්ස්‍යයන් විශාල වශයෙන් වඳ වෙලා ගිහින් තියෙන නිසා මැරීමට තහනම් සත්ව විශේෂයක් හැටියට උන්ව නම් කරලා තියෙනවා. හදිසියේම, බෝට්ටුව අසලින් සතෙක් උඩට මතු වී නැවතත් මුහුදේ නොපෙනී ගියා. තටු වගේ රැළි වැටුණු වරල් තිබුණ ඌ පියාමැස්සෙක්. පුංචි සත්තු අල්ලගන්න වතුරෙන් උඩට පනිමින් සිටි ඌ එයින් වින්දනයක් ලබන බවයි පෙනෙන්න තිබුණේ. ඇත්තටම, සමහර අවස්ථාවලදී ඌවත් වෙන එකෙක් අල්ලගන්න එකයි සිදු වන්නේ. උන් උඩ පනිනකොට ගොදුරු කරගන්න මාන බලන වෙනත් සතුන්ගේ ඇසට උන්ව ලක් වෙන අතර, උන් ආපහු දිය යටට පීනගෙන එන තෙක් බලාගෙන ඉන්නවා උන්ව ඩැහැගන්න.

“අන්තිමේදී, අපි සාන් ජුවන් බව්ටිස්ටා (ශු. ස්නාවක ජුවාම්) කියන ගම්මානයට ආවා. තමන්ව බලන්න එන අයව මුණගැසීමේ බලාපොරොත්තුවෙන් එහෙමත් නැත්නම් කවුරුහරි ඒවිද කියලා බලන්න තියෙන කුතුහලය නිසා බොහෝ දූපත් වැසියන් නැව් තටාකයට ඇවිත් හිටගෙන හිටියා. හාත්පස පැතිරිලා තිබුණ මනහර දසුනට අපේ සිත්සතන් ඇදී ගියා. එහි එල් යූන්කේ (කිණිහිර) කියන විශාල මෙන්ම රළු කන්දක් තිබුණා. තද කොළපාට වෙල්වට් රෙද්දකින් මෙන් වැහිලා තිබුණ ඒ කන්ද පිටුපසින් දිස් වුණ පැහැදිලි, නිල්වන් අහස වටේටම සුදු වළාකුළු තීරයක් වැටිලා තිබුණා.

“වැඩි වෙලාවක් යන්න කලින් අපි දැක්කා අපේ ක්‍රිස්තියානි සහෝදරියන් හා ඔවුන්ගේ දූදරුවන් කණ්ඩායමක් අපි එනකම් නැව් තටාකයේ මඟ බලාගෙන ඉන්නවා. ඒක නිවාඩු කාලය නිසා සාමාන්‍යයට වඩා ලොකු කණ්ඩායමක් හිටියා. උණුසුම් ලෙස එකිනෙකාව ආදරෙන් පිළිගත්තට පස්සේ, සතියකට අපේ නිවහන වෙන්න යන ලස්සන පුංචි කාමරයකට අපිව අරගෙන ගියා.

“මේ විශේෂ සතිය ඉක්මනින්ම ගෙවිලා යයි කියලා අපි දැනගත්තු හින්දා, අපේ කාලය උපරිමයෙන්ම යොදවන්නයි අපිට ඕන වුණේ. ඒ දවසෙම දවල් කෑමෙන් පස්සේ, අපි බයිබල් ශිෂ්‍යයෙක්ව බලන්න ගියා. වැඩි කල් යන්න කලින්, ඇය අපේ ආත්මික සහෝදරියක් සහ දෙවිගේ ආත්මික පාරාදීසයේ පංගුකාරියක් වෙන්නයි හිටියේ. ඈ ප්‍රීතියෙන් ඉපිල ගියත් ටිකක් චකිතයකිනුයි හිටියේ. දිගු කාලයක් තිස්සේ බව්තීස්ම වීමට තිබුණු ඇගේ ආශාව ඉටු වෙන්න ළං වෙලා තිබුණා. ඇයට ශුභාරංචිය ප්‍රචාරය කරන තැනැත්තියක් වශයෙන් සුදුසුකම් ලැබීමට හැකිවීම සඳහා අපි ඇය එක්ක අත්‍යවශ්‍ය තොරතුරු සලකා බැලුවා. ඊළඟ දවසේදී, පළමු වතාවට ඇය දේශනා වැඩයෙහි සහභාගි වුණා. තුන්වෙනි දවසේදී, අපි ඈ එක්ක බව්තීස්මය සඳහා අවශ්‍ය කරුණු සලකා බලන්න පටන්ගත්තා. ඒ සතිය ගෙවිලා යන්න කලින්ම ඈ බව්තීස්ම වුණා.

“දාහතරදෙනෙකුගේ පැමිණීමත් සමඟම සතිය තුළ පැවැත්වූ රැස්වීම්වලට හොඳ සහයෝගයක් ලැබුණා. ක්ෂේත්‍ර සේවය, නැවත බැලීම්, බයිබල් පාඩම් සහ එඬේර බැහැදැකීම් සඳහා හැම දවසකම සැලසුම් යොදා තිබුණා. මුළු අවුරුද්ද පුරාම තමන්ගේ සේවය තනිවම කරගෙන යන සහෝදරියන්ට ඒක මොන තරම් දිරිගැන්වීමක්ද!”

දූපතේ පුරුෂයන්හට සත්‍යයට ප්‍රතිචාරය දැක්වීම සඳහා අසීරුතාවක් තිබේ. එයට හේතුව, සමහරවිට ඔවුන්ගේ රැකියාවල වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වන නිසා විය හැක. ඔවුන්ගේ ප්‍රධාන වැඩය පොකිරිස්සන් ඇල්ලීම වන අතර, එයට මහත් කැපවීමක් කළ යුතුව තිබේ. තවත් බොහෝදෙනෙකු එතරම් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන්නේ, ඔවුන්ට අප ගැන වැරදි අවබෝධයක් තිබෙන නිසාය. කෙසේනමුත්, දූපතේ වැසියන්ගෙන් බොහෝදෙනෙකු, එනම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම, අනාගතයේදී හොඳ ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

සත්‍යය හා යෙහෝවා දෙවිගේ අරමුණු දැනගැනීමෙන් මේ දක්වා දූපතේ දසදෙනෙකු ආත්මික ලෙස ගැළවීම ලබා තිබේ. මේ අය අතරෙන් සමහරෙකු විවිධ හේතූන් නිසා පසුව දූපතෙන් පිටව ගොස් ඇත. එහෙත් ඔවුන් එහි සිටියත් නැතත්, ඔවුන්ගේ ආත්මික ගැළවීම ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක්ගේ ගැළවීමට වඩා වැඩි වැදගත්කමකින් යුක්ත බව මනාව ඔප්පු වී ඇත. ඔවුන් දැන් කොතැනක ජීවත් වුවත් සිටින්නේ ආත්මික පාරාදීසයකය. තවමත් දූපතේ සිටින සහෝදරියන් හා ඔවුන්ගේ දරුවන් උද්‍යානයක් බඳු පරිසරයක සතුටෙන් සිටින නමුත්, ඊටත් වැඩි ප්‍රස්තාවක් ඔවුන් ඉදිරියේ තිබේ. එනම් වචනයේ පරිසමාප්තියෙන්ම මුළු පොළොවම සැබෑ පාරාදීසයක් වන විට එහි ජීවත් වීමේ බලාපොරොත්තුව ඔවුන් සතුය.

ගැළවීමේ වැඩය නොනවතී

භූමික පිහිටීම සලකා බලද්දී, රොබින්සන් ක්රූසෝහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මෙම කුඩා කණ්ඩායම සිටින්නේ ඔවුන්ගේ ඉතිරි ආත්මික සහෝදර සහෝදරියන්ගෙන් බොහෝ ඈතකය. එහෙත් ස්කොට්ලන්ත ජාතික සෙල්කර්ක් මෙන් ඔවුන්ට තනිකමක් නොදැනේ. කිසිම ඇණහිටීමකින් තොරව ලැබෙන දිව්‍යාණ්ඩු පොත් පත් මගින්, වර්ෂයකට තෙවරක් චිලිහි වොච් ටවර් සමිතියෙන් ඔවුන්ට යවනු ලබන එක්රැස්වීම්වල හා සමුළුවල වීඩියෝ පට මගින් හා වාර්ෂිකව චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම මගින්, ඔවුහු යෙහෝවාගේ සංවිධානය සමඟ ඉතා කිට්ටු සබඳතාවක් භුක්ති විඳිති. එලෙස ඔවුහු දිගටම “ලොව පුරා සිටින මුළු සහෝදර සමාගමේ” ක්‍රියාශීලී පංගුකාරයන්ව සිටිති.—1 පේතෘස් 5:9NW.

[පාදසටහන]

a මේ දූපතේ නියම නම මාස් ආ ටියේරායි.

[9වන පිටුවේ සිතියම්/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

චිලි

සාන්තියාගෝ

රොබින්සන් ක්රූසෝ දූපත

සාන් ජුවන් බව්ටිස්ටා

එල් යූන්කේ

ශාන්තිකර සාගරය

සාන්ත ක්ලාරා දූපත

[පින්තූරය]

දූපත පෙනෙන්න පටන්ගනිත්ම කෙනෙකුට සාගරය මැද පිහිටි දැවැන්ත කන්දක් පෙනේ

[හිමිකම් විස්තර]

චිලි රටේ සිතියම: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[8, 9වන පිටුවේ පින්තූරය]

එල් යූන්කේ (කිණිහිර) නම් විශාල මෙන්ම රළු කන්ද

[9වන පිටුවේ පින්තූරය]

සාන් ජුවන් බව්ටිස්ටා (ශු. ස්නාවක ජුවාම්) නමැති ගම්මානය

[9වන පිටුවේ පින්තූරය]

ලොම් සීල් මත්ස්‍යයන් සහ මුහුදු සිංහයන් සඳහා පුංචි දූපත් විවේක ස්ථාන වේ

[10වන පිටුවේ පින්තූරය]

අපි චිලිහි සාන්තියාගෝවල සිට කුඩා ගුවන් යානයකින් ගමන් කළා

[10වන පිටුවේ පින්තූරය]

රොබින්සන් ක්රූසෝ දූපතේ රළු වෙරළ තීරය

[10වන පිටුවේ පින්තූරය]

දූපතේ පුංචි රාජ්‍ය ශාලාව