Skip to content

පටුනට යන්න

සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යෑමෙහි වරදක් තිබේද?

සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යෑමෙහි වරදක් තිබේද?

සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යෑමෙහි වරදක් තිබේද?

ඔබ ඕනෑම දෙයක් කරද්දී ඔබේ උපරිමය කිරීමට වෙර දරනවාද? එසේ කිරීම, ඔබට පමණක් නොවෙයි නමුත් ඔබේ ආශ්‍රිතයන්ට පවා ප්‍රයෝජනදායක වන බව නිසැකයි. නමුත් මේ සම්බන්ධයෙන් අන්තවාදී ලෙස ක්‍රියා කරන අයද සිටිනවා. මේ අය නිතරම සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යනවා. සර්ව සම්පූර්ණත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

“සර්ව සම්පූර්ණත්වය” යන යෙදුමෙහි එක අර්ථයක් වන්නේ, “යමක් සීයට සීයක් හරියටම ඉටු කිරීමට අසමත් වුණොත් එය පිළිගත නොහැකි යමක් වශයෙන් ප්‍රතික්ෂේප කිරීමයි.” වෙනත් ආකාරයකින් පැවසුවොත්, සෑම අවස්ථාවකදීම, සෑම දෙයක් සම්බන්ධයෙන්ම අංග සම්පූර්ණත්වය හෝ පරිපූර්ණත්වය බලාපොරොත්තු වීමයි. ඔබ මෙවැනි ආකල්පයක් දරන අයව අඳුරනවාද? එසේ නම්, ඔවුන් අන්තවාදී ලෙස අන්‍යයන්ගෙන් අපේක්ෂා කරන දේවල් බොහෝ ප්‍රශ්නවලට මඟ පාදන බවත් ඔබ දන්නවා ඇති. මෙවැනි අය කිසිම දෙයක් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන නිසා, තමාව මෙන්ම අන්‍යයන්ව පවා අධෛර්යයට පත් කළ හැකියි. ජීවිතයේ සෑම කාරණයකදීම සර්ව සම්පූර්ණත්වය අත් කරගැනීමට වෑයම් කිරීම අහිතකර දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ජීවිතය පිළිබඳව සමබර දෘෂ්ටියක් දරන බොහෝදෙනෙක් එය සලකන්නේ අසාධාරණ මෙන්ම අන්තවාදී දෙයක් හැටියටයි. එමනිසා, අපිට එවැනි ආකල්පයක් තිබෙනවා නම් අප එයින් ගොඩ ඒමට වෙර දැරිය යුතුයි. නමුත් එය කියන තරම් පහසු දෙයක් නොවෙයි. සාමාන්‍යයෙන් වෙනත් කෙනෙක් තුළ එවැනි නැඹුරුවාවක් තිබෙද්දී එය අපට පහසුවෙන්ම හඳුනාගත හැකි වුණත්, අප තුළ එම නැඹුරුවාව තිබේදැයි හඳුනාගැනීම දුෂ්කර කාර්යයක් විය හැකියි. එමනිසා එයින් ගොඩ ඒම ලොකු අභියෝගයක් විය හැකියි.

නෙල්සන් නමැති පුද්ගලයාගේ තත්වය සලකා බලන්න. ඔහු තම රැකියා ස්ථානයේදී සෑහෙන වගකීම් දරනවා. ඔහුට විසඳීමට ගැටලු රාශියකුත් තිබෙනවා. නෙල්සන් සංඛ්‍යා ලේඛන සෝදිසි කර බලන අතර, ඔහු නිතරම මුල් තැන දෙන්නේ නිෂ්පාදනයටයි. රැකියා වෙළඳපොළේ පවතින තරඟකාරි වාතාවරණය නිසා සාර්ථකත්වය අත් කරගැනීමට නම් සර්ව සම්පූර්ණත්වය ලුහුබැඳිය යුතුයි කියා බොහෝදෙනෙක් මෙන් ඔහුත් විශ්වාස කරනවා. නෙල්සන්ගේ දක්ෂතාව ඇතැම් අයගේ ප්‍රශංසාවට ලක් වුවත්, සර්ව සම්පූර්ණත්වය ඉලක්ක කිරීම හේතුවෙන් හිසරදය හා මානසික පීඩනය වැනි ශාරීරික ආබාධවලට ඔහු මුහුණ දෙනවා. නෙල්සන් හා ඔබ අතර යම් සමානත්වයක් තිබෙන බව ඔබට පෙනී ගියාද?

සර්ව සම්පූර්ණත්වය බොහෝ යෞවනයන්ටත් බලපානවා. රියෝ ද ජනේරෝහි වෙසෙන රීටාගේ තත්වය සලකා බලන්න. ළමා වියේදී ඇය පාසැල් යන්න ලොකු උනන්දුවක් දැක්වුවා. ඇය තරඟකාරිත්වයෙන් වැළකී සිටීමට වෑයම් කළත්, පංතියේ පළවෙනියා නොවූ අවස්ථාවලදී ඇගේ සිතට ලොකු වේදනාවක් දැනුණා. “පොඩි කාලයේ ඉඳන්ම, මම අනිත් අයට වඩා හුඟක් වෙනස් කියලා මට තේරුණා. ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න ඕන තරම් කාලය තිබුණා. මට නම් හුස්මගන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මම ලොකු පීඩනයක් යටතේ හිටියේ. හැම වෙලේම මොනවා හරි දෙයක් කරන්න තිබ්බ හින්දා මට විවේකයක් තිබුණෙම නෑ” කියා රීටා ඇගේ තත්වය පැහැදිලි කළා.

මරියා කුඩා කාලයේ සිටම තරඟකාරි ස්වභාවයක් විදහාපෙන්නුවා. වෙනත් අය ඇයට වඩා ලස්සන චිත්‍ර ඇන්දාම ඇය අඬන්න පවා පටන්ගත්තා. සංගීතය ඉගෙනගන්නා විට ඇය සර්ව සම්පූර්ණත්වය අත් කරගැනීමට වෑයම් කළ නිසා, ඇය ගායනා කරන විට හෝ වාදනය කරන විට එයින් ආස්වාදයක් ලබනවා වෙනුවට ලොකු මානසික පීඩනයකට ලක් වුණා. බ්‍රසීලයේ වෙසෙන තවත් ගැහැනු ළමයෙක් වන ටාන්‍යා, නිහතමානීව තරඟකාරිත්වයෙන් වැළකී සිටීමට වෑයම් කළා. නමුත් ඇය පාසැලේ හා නිවසේ වැඩකටයුතු සම්බන්ධයෙන් අත් කරගත නොහැකි ඉලක්ක තැබූ බව පිළිගන්නවා. ඇය කරන වැඩවල අඩුපාඩු තිබුණොත් කවුරුත්ම ඇයව පිළිගන්න එකක් නැහැයි කියා ඇයට හැඟුණා. ඒ විතරක් නොවෙයි, ඇය අනිත් අයටත් මෙම ප්‍රතිපත්තියම අදාළ කළා. මේ නිසා ඇය බොහෝ අවස්ථාවලදී දුකට මෙන්ම කලකිරීමටද පත් වුණා.

දක්ෂකම, කඩිසරකම හා තමා ඉටු කරන දේ ගැන සෑහීමකට පත්වීම වැනි දේවල් වැදගත් වුණත්, අත් කරගත නොහැකි ඉලක්ක තබාගැනීම අහිතකරයි. එනිසා අසමත් වීමේ බිය වැනි නිෂේධාත්මක හැඟීම් ඉස්මතු විය හැකියි. ඇතැම් අවස්ථාවලදී දෙමව්පියන් තම දරුවන්ගේ පාසැල් වැඩකටයුතු හා ක්‍රීඩා සම්බන්ධයෙන් හුඟක් බලාපොරොත්තු තබාගෙන සිටිනවා විය හැකියි. තම දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වූ විට දරුවන් සෑහෙන මානසික පීඩනයකට ලක් වෙයි. එක නිදසුනක් සලකා බලන්න. රිකාඩෝගේ මවගේ ලොකුම පැතුම වූයේ ඔහු භාෂා කිහිපයක්ම කතා කිරීමට හැකි, පියානෝව වාදනය කළ හැකි දොස්තර කෙනෙක් වෙනවා දැකීමයි. මෙවැනි ඉලක්කයන් සම්බන්ධයෙන් අන්තවාදී වූ විට බලාපොරොත්තු සුන්වීමට සහ තවත් ප්‍රශ්න රැසකට මඟ පෑදිය හැකි බව ඔබ පිළිගන්නේ නැද්ද?

එයින් වැළකී සිටිය යුත්තේ මන්ද?

දක්ෂ මෙන්ම විශිෂ්ට ලෙස තම වැඩ ඉටු කරන සේවකයන් සඳහා ලොකු ඉල්ලුමක් තිබෙනවා. එමනිසා, රැකියා වෙළඳපොළේ තරඟකාරි ස්වභාවයක් තිබීම පුදුමයට කාරණයක් නොවෙයි. තව තවත් වෙහෙසී වැඩ කිරීමට මිනිසුන්ව පොලඹවන තවත් දෙයක් වන්නේ තම රැකියාව අහිමි වේවි යන බියයි. ඇතැම් සේවකයන්ව, නව වාර්තාවක් තැබීම සඳහා තම ජීවිතයේ ලොකු පරිත්‍යාගයන් කරන මලල ක්‍රීඩකයෙකුට සමාන කළ හැකියි. තමාව පරාජයට පත් කළ හැකි පුද්ගලයෙක් සිටිනවායයි හැඟුණ විට, තව තවත් පුහුණු වෙන්න ඔහු තුළ දැඩි පෙලඹවීමක් ඇති වෙනවා. ඒ විතරක් නොවෙයි, පළමුවන ස්ථානය ලබාගැනීම සඳහා ඔහු තහනම් ඖෂධ වර්ග පවා භාවිත කිරීමට පටන්ගනියි. වැඩෙහි නිපුණ වීමට වෑයම් කිරීම හොඳ දෙයක්. නමුත් දැන් ජනයා එයින් ඔබ්බටත් යනවා. සර්ව සම්පූර්ණත්වය අත් කරගැනීමට තිබෙන පෙලඹීම නිසා “අසමත් වේවි යන බියෙන්” හෝ “මුල් තැන ගැනීමට තිබෙන දැඩි ආශාවෙන්” ඔවුන් පාලනය වෙනවා.—ඔබේම සුවය ස්ථිර කරගැනීමට අත්පොතක්, ඉංග්‍රීසියෙන්.

කලා ක්ෂේත්‍රයේ හා ක්‍රීඩා ලොවේ තවදුරටත් දියුණු වෙන්න පුළුවන් පැති තිබෙනවා කියා ඇතමෙක් සිතනවා. නමුත් වෛද්‍ය රොබට් එස්. එලියට් පවසන ආකාරයට, “සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යෑම යථාර්ථවාදී දෙයක් නොවේ. මෙම නැඹුරුවාවට මුල් වන්නේ වරදසහගතබවේ හැඟීම්, නිතරම මුල් තැන ගැනීමට තිබෙන කැමැත්ත හා සමච්චලයට ලක් වෙයි යන බිය වැනි දේවල්ය.” මේ සම්බන්ධයෙන් ප්‍රඥාවන්ත සාලමොන් රජු පවසන දේ ඉතා යෝග්‍යයි. ඔහු මෙසේ පවසනවා. “සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.”—දේශනාකාරයා 4:4.

සර්ව සම්පූර්ණත්වය හඹා යෑමට ඔබ තුළත් නැඹුරුවාවක් තිබේ නම් ඔබට කළ හැක්කේ කුමක්ද? ඇතමෙකු පවසන පරිදි, වෙහෙසෙන්න වෙහෙසෙන්න අපේ බලාපොරොත්තු තව තවත් බිඳ වැටෙනවාද? අනුන්ගෙන් උවමනාවට වඩා අපේක්ෂා කිරීමෙන් වැළකී සිටීමට හා වඩා නම්‍යසුලු ලෙස කටයුතු කිරීමට ඔබ කැමැත්තක් දක්වනවාද? පරිපූර්ණත්වය කියන්නේ කුමක්ද? සර්ව සම්පූර්ණත්වය ලුහුබැඳීමෙන් වැළකී ඔබේ උපරිමය කිරීමට ඔබ කැමති නැද්ද? අසම්පූර්ණ මිනිසුන් වශයෙන්, දෙවිගෙන් ලද කුසලතා භාවිත කරමින් අන්‍යයන්ගේ ප්‍රයෝජනය තකා වැඩ කිරීමට අපට හැකි නම්, පරිපූර්ණ ලොවක් තුළදී දිව්‍ය මඟ පෙන්වීම යටතේ අපට කොයිතරම් දේවල් කළ හැකිද කියා මොහොතකට සිතා බලන්න!

[4වන පිටුවේ පින්තූරය]

දෙමව්පියන් හෝ වෙනත් වැඩිහිටියන් දරුවන්ගෙන් සර්ව සම්පූර්ණත්වය බලාපොරොත්තු වුණත්, දරුවන්ට එය අත් කරගත නොහැකියි