Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානි එඬේරුනි, ‘ඔබේ සිත් විශාල කරගන්න!’

ක්‍රිස්තියානි එඬේරුනි, ‘ඔබේ සිත් විශාල කරගන්න!’

ක්‍රිස්තියානි එඬේරුනි, ‘ඔබේ සිත් විශාල කරගන්න!’

‘යෙහෝවා මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.’ මෙම වදන්වලින් දාවිත් තම දෙවි කෙරෙහි මොනතරම් පූර්ණ විශ්වාසයක් විදහාපෑවාද! යෙහෝවා “නිල් ගොදුරු බිම්වල”, “නිශ්චලවූ දිය අසලින්” හා “ධර්මිෂ්ඨකමේ මාවත්වල” ඔහුගේ සේවකයාව ගෙන ගියේය. විරුද්ධවාදීන්ගේ නිමක් නැති සතුරුකම්වලින් වට වූ කල, දාවිත්ට අවශ්‍ය උපකාරය සහ දිරිගැන්වීම ලැබිණ. “කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය” කියා ඔහු යෙහෝවාට පැවසුවේ එනිසාය. අත්‍යුත්කෘෂ්ට එඬේරෙකුගේ සරණින් සුරක්ෂිත වූ දාවිත්, “සදාකල්ම [යෙහෝවාගේ] ගෘහයෙහි වාසය” කිරීමට අදිටන් කළේය.—ගීතාවලිය 23:1-6.

යෙහෝවාගේ උණුසුම් ප්‍රේමනීය සැලකිල්ලේ පහස හොඳින් අද්දුටු තවත් අයෙකි, දෙවිගේ ඒකජාතක පුත්‍රයා. මිහිපිට සිටියදී, තම ගෝලයන් සමඟ කටයුතු කළ අවස්ථාවලදී යේසුස්ද පිරිපුන් ලෙස ඒ හා සමාන සැලකිල්ලක් ඔවුන් කෙරෙහි දැක්වීය. මේ අනුව, ‘යහපත් එඬේරා,’ “මහත් එඬේරා” සහ ‘ප්‍රධාන එඬේරා’ යන නම් ඔහුට ශුද්ධ ලියවිල්ලෙහි දී ඇත.—යොහන් 10:11; හෙබ්‍රෙව් 13:20; 1 පේතෘස් 5:2-4.

යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් තමන්ට ප්‍රේම කරන අය සඳහා එඬේරුන් ලෙස නොකඩවා රැකවරණය සපයා දෙති. සභාව තුළ සිටින උප එඬේරුන්ගෙන් ලැබෙන ප්‍රේමනීය සැලකිල්ලද ඔවුන් දෙදෙනාගෙන් ලැබෙන රැකවරණයේ එක් අංගයක් ලෙසින් ගත හැක. පාවුල් මෙවන් උප එඬේරුන්ට කතා කරද්දී මෙසේ පැවසීය. ‘දෙවි විසින් තමන්ගේ [පුත්‍රයාගේ] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණය කරන්ට ශුද්ධාත්මය යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියම කළේද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම් වන්න.’—ක්‍රියා 20:28.

යෙහෝවා සහ ක්‍රිස්තුස් යේසුස්ව අනුකරණය කරමින් රැළ රැකබලා ගැනීම පහසු කාර්යයක් කියා කිසි සේත් පැවසිය නොහැක. කෙසේවෙතත්, එසේ කිරීම සඳහා වෙන කිසිදාකටත් වඩා හදිසි අවශ්‍යතාවක්ද අද පවතී. පසුගිය වසර තුන ඇතුළත බව්තීස්ම වී ඇති දශලක්ෂයකට වැඩි සාක්ෂිකරුවන් සංඛ්‍යාව ගැන සලකා බැලීමේදී මෙය විශේෂයෙන්ම සත්‍යයකි. අවුරුදු ගණනාවක් පුරා විශ්වාසවන්ත ලෙස සේවය කිරීමෙන් ආත්මික ලෙස ලබන ස්ථාවරත්වය මෙවැනි නවකයන්ට තවමත් ලැබී නැත. තවද සාක්ෂිකරුවන් වශයෙන් සේවය කරන දරු දැරියන්ව හා නහඹරයන්වද අප විසින් අමතක නොකළ යුතුය. ඔවුන්ට දෙමාපියන්ගෙන් පමණක් නොව සභාවේ උප එඬේරුන්ගේ අවධානයද බොහෝ සෙයින් අවශ්‍යය.

සෑම ක්‍රිස්තියානියෙකුම තුල්‍ය පීඩනය ඇතුළුව බාහිර ලෝකයේ බලපෑම්වලට ලක් වන බවද පිළිගත යුතුය. ලෝකයේ ආත්මාර්ථකාමී ස්වභාවය අනුගමනය කිරීමට තිබෙන දැඩි පීඩනයට විරුද්ධ වීමට සියලුදෙනාම ප්‍රබල පොර ඇල්ලීමක නිරත විය යුතුය. ඇතැම් රටවල, රාජ්‍ය ප්‍රචාරකයන් ඉදිරිපත් කරන පණිවිඩයට එතරම් ප්‍රතිචාරයක් නොලැබෙන නිසා, ඔවුන්ද අධෛර්ය වී සිටිනවා විය හැක. මීට අමතරව බොහෝ ප්‍රචාරකයන්ට බරපතළ සෞඛ්‍ය ගැටලු තිබේ. එමෙන්ම මුදල් ප්‍රශ්නවල බලපෑම නිසාද පළමුකොට රාජ්‍යය සෙවීමට තිබෙන ආශාව ක්‍රම ක්‍රමයෙන් අඩු විය හැක. එසේ නම්, සත්‍යයෙහි බොහෝ කලක් රැඳී ඇති අය ඇතුළුව අප සියලුදෙනාටම ප්‍රේමනීය එඬේරුන්ගේ උපකාරය අවශ්‍යය. තවද එම උපකාරය ලැබීමට අප සැම වටිනවා නොවේද?

නිවැරදි චේතනාව

‘ඔබේ සිත විශාල කරගන්න’ කියා මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට අවවාද කෙරිණ. (2 කොරින්ති 6:11-13) ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තම එඬේර වැඩ කරගෙන යද්දී මෙම උපදෙස අනුගමනය කළ යුත්තේ කෙසේද? තවද අනාගත එඬේරුන් ලෙස පත්වීමට බොහෝ සෙයින් ප්‍රස්තාව ඇති උපස්ථායක සේවකයන් ගැන කුමක් කිව හැකිද?

ක්‍රිස්තියානි වැඩිමහල්ලන් නිකම්ම යුතුකමක් ඉටු කිරීමේ චේතනාවෙන් වැඩ නොකළ යුතුය. ඔවුන් එවන් චේතනාවකින් තොරව සේවය කරනවා නම්, රැළට ආශීර්වාදයක් වනවා නිසැකය. ඇත්තෙන්ම ඔවුන්ට මෙසේ උපදෙස් දී ඇත. ‘නුඹලා අතරෙහි සිටින දෙවිගේ රැළ බලාගනිමින්, බලාත්කාරය නිසා නොව දේවකැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද එය රැකබලා ගන්න.’ (1 පේතෘස් 5:2, 3, ඇල අකුරු අපගේය.) එසේ නම්, සාර්ථක එඬේරෙකු වීමට, අන්‍යයන්ට සේවය කරද්දී ඔවුන් තුළ සතුටක් සහ මනාපයක් තිබිය යුතුය. (යොහන් 21:15-17) මේ අනුව ඔවුන් බැටළුවන්ගේ අවශ්‍යතා මොනවාද කියා වහාම තේරුම්ගෙන, ඊට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්විය යුතුය. එමෙන්ම අන්‍යයන් සමඟ කටයුතු කරද්දී දෙවිගේ ආත්මයේ ඵල ඇතුළත් කදිම ක්‍රිස්තියානි ගුණාංග විදහාපෙන්විය යුතුය.—ගලාති 5:22, 23.

එඬේර වැඩ කිරීමට ඇතැම් අවස්ථාවලදී ඇතුළත් වන්නේ සහෝදරයන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ව බැහැදැකීමයි. a එනමුත් ‘තම සිත් විශාල කරගන්නා’ එඬේරු වෙහෙස මහන්සිය නොබලා වැඩ කරති. ඉන් අදහස් කරන්නේ ඉඳ හිට එඬේර බැහැදැකීම් කිරීමට පමණක් ඔවුන්ගේ කාර්යය සීමා නොවන බවය. රැළෙහි සිටින අයව රැකබලා ගැනීමට ලැබෙන සෑම ප්‍රස්තාවකින්ම ඔවුහු ප්‍රයෝජන ගනිති.

එඬේරුන් වීමට අන්‍යයන්ට පුහුණුවක් දීම

කවර වයසක පසු වුවත්, “අවේක්ෂකයෙකුගේ කාර්යභාරය දැරීමට උත්සාහ දරන” ඕනෑම සහෝදරයෙක් “යහපත් වැඩකට ආශා වන්නේය.” (1 තිමෝති 3:1NW) බොහෝ උපස්ථායක සේවකයන්ද අමතර වරප්‍රසාද දැරීමට කැමැත්තක් දක්වා ඇත. “අවේක්ෂකයෙකුගේ කාර්යභාරය දැරීමට” සභාවක් රැකබලා ගැනීමේ කාර්යයද ඇතුළත් වේ. එමනිසා ඒ සඳහා උනන්දුවෙන් ක්‍රියා කරන උපස්ථායක සේවකයන්ට වැඩිමහල්ලන් උපකාර කරන්නේ ඉමහත් සතුටකිනි. සාර්ථක එඬේරුන් වීමට අවශ්‍ය පුහුණුව ඔවුන්ට ලබා දීමත් මෙම උපකාරයට ඇතුළත්ය.

යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ තිබෙන ක්‍රිස්තියානි සභාවෙහි ඔහුගේ උසස් ප්‍රමිති විශ්වාසවන්තව රැකෙන නිසා, එසකියෙල් 34:2-6හි විස්තර කර ඇති බොරු එඬේරුන්ට සමාන අයගෙන් සභාව දුර්වල වන්නේ නැත. මෙම බොරු එඬේරුන්ව යෙහෝවා ඉදිරියෙහි පිළිකුලක් විය. ඔවුහු රැළ පෝෂණය කරනවා වෙනුවට, තමුන්වම පෝෂණය කරගත්හ. දුර්වල වූ අයව ශක්තිමත් කරන්නත්, ලෙඩ වූ අයව සුව කරන්නත්, පොඩි වූ අයගේ තුවාල බඳින්නත්, පන්නා දමනු ලැබූ හෝ නැති වූ අයව නැවත ගෙනෙන්නත් ඔවුහු අසමත් වූහ. ඔවුහු එඬේරුන් මෙන් නොව වෘකයන් ලෙස කටයුතු කළහ. මෙසේ ඔවුන් බැටළුවන්ව බියගැන්වූහ. මෙලෙස අසරණ වූ බැටළුවෝ කිසිදු හව්හරණක් නොමැතිව මුළාව ගියෝය.—යෙරෙමියා 23:1, 2; නාහුම් 3:18; මතෙව් 9:36.

ක්‍රිස්තියානි එඬේරු එම නොඇදහිලිකාර එඬේරුන්ගේ ආදර්ශය නොව නමුත් යෙහෝවාගේ ආදර්ශය අනුගමනය කරති. ආත්මික අරුතකින් ගත් කල, “නිල් ගොදුරු බිම්වල” හා “නිශ්චලවූ දිය අසලින්” බැටළුවන්ව ගෙනයෑමෙහි ඔවුහු මුල් වෙති. යෙහෝවාගේ වචනය නිසි ලෙස තේරුම්ගෙන පෞද්ගලිකව අදාළ කරගැනීමට බැටළුවන්ට උපකාර කිරීමෙන් “ධර්මිෂ්ඨකමේ මාවත්” අනුව ඔවුන්ව ගෙන යෑමටද ඔවුහු උත්සාහ දරති. ඔවුන් “උගන්වන්ට සමර්ථවූ” අය නිසා, මෙය සාර්ථකව කිරීමට ඔවුන්ට පුළුවන.—1 තිමෝති 3:2.

වැඩිමහල්ලන් කරන ඉගැන්වීමෙන් වැඩි හරියක් සභා රැස්වීම්වලදී වේදිකාවෙන් ඉදිරිපත් කෙරේ. කෙසේවෙතත්, වැඩිමහල්ලෝ පෞද්ගලික මට්ටමකින්ද උගන්වති. සමහර වැඩිමහල්ලෝ පෞද්ගලික මට්ටමකින් ඉගැන්වීමට දක්ෂයෝ වෙති. තවත් සමහරු කතා දීමට වැඩි දක්ෂතාවක් දක්වති. මේ නිසා ඉගැන්වීමෙහි එක් අංගයක හැකියාව යම් දුරකට අඩු වූ පළියටම, ඒ තැනැත්තා ගුරුවරයෙකු ලෙස සලකනු ලැබීමට සුදුසුකම් නොලබන බව අනිවාර්යයෙන්ම පැවසිය නොහැක. වැඩිමහල්ලන් හැකි සෑම ක්‍රමයකින්ම ඉගැන්වීමෙහි නියැලෙන අතර, මෙයට එඬේර වැඩද ඇතුළත් වේ. සැලසුම් කර එඬේර බැහැදැකීම් කරන අවස්ථාවලදී එඬේර වැඩ යම් දුරකට කළ හැක. එනමුත් මෙම වැඩය එවැනි විධිමත් අවස්ථාවලට පමණක්ම සීමා නොකළ යුතුය. අනියම් නොහොත් අවිධිමත් අවස්ථාවලදීද බැටළුවන්ට උපකාර කළ හැකි බොහෝ අවස්ථා උදා වන අතර, ඉන් ඔවුහු ඉමහත් ප්‍රයෝජන නෙළාගනිති.

එඬේරෙක් සහ ගුරුවරයෙක්—පැය 24 පුරාම

තම කාර්යය සාර්ථකව ඉටු කරගැනීමට වෛද්‍යවරයෙකුට දැනුම සහ අද්දැකීම් අවශ්‍යය. එනමුත්, තම කාර්යයන් ඉටු කරද්දී, කරුණාව, අනුකම්පාව, සැලකිල්ල සහ අව්‍යාජ උනන්දුව පෙන්වන විට, ඔහුගේ සේවාවන් පතන රෝගීහු එය බෙහෙවින් අගය කරති. මෙම ගුණාංග ඔහුගේ පෞද්ගලිකත්වය තුළින් හොඳින් පිළිබිඹු විය යුතුය. ඒ හා සමානවම හොඳ ගුරුවරයෙක් සහ එඬේරෙක්ද එම ගුණාංග විදහාපෙන්විය යුතුය. එම ගුණාංග ඔහුගේ පෞද්ගලිකත්වය තුළ, එනම් ඔහු සාමාන්‍යයෙන් විදහාපෙන්වන ස්වභාවය තුළ නිරායාසයෙන්ම පිළිබිඹු විය යුතුය. සැබෑ ගුරුවරයෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී තම අවට සිටින්නන්ට උගන්වන්න සූදානමින් සිටිය යුතුය. හිතෝපදේශ 15:23ට අනුව, “කලට සුදුසු වචනය කොපමණ හොඳද!” මේ අනුව ඒ නියමිත අවස්ථාව, වේදිකාවෙන් කතාවක් දෙන හෝ ගෙයින් ගෙට දේශනා කරමින් සිටින අවස්ථාවක් විය හැක. එසේ නැතහොත් රාජ්‍ය ශාලාවෙහි හෝ දූරකථනය මාර්ගයෙන් කතා බහක යෙදී සිටින අවස්ථාවක් විය හැක. එමනිසා, හොඳ එඬේරෙක්, ප්‍රේමනීය ගුණාංග එඬේර බැහැදැකීම් කරන අවස්ථාවේදී පමණක් නොව, හැම අවස්ථාවකදීම, එනම් පැය 24 පුරාම විදහාපෙන්වීමට උත්සාහ කරයි. ඔහු ‘තම සිත විශාල කරගෙන ඇති’ නිසා, බැටළුවන් රැකබලා ගැනීමට ලැබෙන සෑම ප්‍රස්තාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්නා අතර, කලට සුදුසු උපකාරය හෝ අවශ්‍ය සැලකිල්ල ඔවුන්ට ලබා දෙන්නේය. බැටළුවන් ඔහුව ආදරයෙන් සලකන්න යන්නේ ඔහු තුළ මෙවැනි ස්වභාවයක් පිළිබිඹු වන නිසාය.—මාර්ක් 10:43.

උපස්ථායක සේවකයෙකු සහ ඔහුගේ භාර්යාව, දැන් වැඩිමහල්ලෙකු ලෙස සේවය කරන වෝල්ෆ්ගාංව සහ ඔහුගේ පවුල මිත්‍රශීලීව බැහැදැකීමට ආ අවස්ථාවක් වොල්ෆ්ගාං මතකයට නංවමින් මෙසේ පවසයි. “අපේ ළමයින්ට ලොකු සතුටක් දැනුණා. ඒකට හේතුව ඒගොල්ලන්ට එයාලගෙන් ලැබුණු අවධානය සහ ඒ අයත් එක්ක විනෝද වෙච්ච විදිහ නිසා වෙන්න ඕනෙ. ඒගොල්ලන් ඒ බැහැදැකීම ගැන අද වුණත් කතා කරන්නේ හරිම ආසාවෙන්.” ඔව්, එම උපස්ථායක සේවකයා තම හෘදයාංගම සැලකිල්ල අපට විදහාපෙන්වීය. ඔහු ‘තම සිත විශාල කරගත්තේය.’

‘තම සිත විශාල කරගැනීමට’ තවත් ප්‍රස්තාවක් උදාකරවන්නේ අසනීපව සිටින අයව බැහැදැකීම තුළිනුයි. එසේ නැතහොත් ඔවුන්ට දිරිගැන්වීමට කෙටි ලිපියක් යැවිය හැක. නැත්නම්, ඔවුන්ට දූරකථනයෙන් කතා කළ හැකියි. කුමක් කළත්, ඔබේ හෘදයාංගම සැලකිල්ල පෙන්වීමට එවන් අවස්ථා කෙසේ හෝ ප්‍රයෝජනයට ගත යුතුය. උපකාර අවශ්‍ය වන විටෙක, එය දීමටද නොපසුබටව ඉදිරිපත් වන්න. ඔවුන් ඔබ සමඟ කතා කිරීමට ඕනෑකමකින් සිටිනවා නම්, ඔවුන්ට හොඳින් සවන් යොමු කරන්න. සභාවෙහි හෝ වෙනත් ප්‍රදේශයක සිදු වන ඒකාන්ත, සතුට ඇති කරවන දිව්‍යාණ්ඩුමය ක්‍රියාකාරකම් ගැන ඔවුන් හා කතා කරන්න. යෙහෝවාට ප්‍රේම කරන අය සඳහා වෙන් කර ඇති පුදුමසහගත අනාගතය වෙත නෙත් යොමු කිරීමටද ඔවුන්ට උපකාර කරන්න.—2 කොරින්ති 4:16-18.

එඬේර බැහැදැකීම්වලට අමතරව

එඬේර වැඩවල අරමුණ මනසේ තබාගැනීමෙන් පැහැදිලිව පෙනීයන්නේ, සහෝදරයන්ගේ නිවෙස්වලට ගොස් විධිමත් එඬේර බැහැදැකීම් කිරීම වැදගත් වුවත් ඊටත් වඩා වැඩි යමක් ඊට ඇතුළත් වන බවයි. ප්‍රේමනීය එඬේරෙක් ‘තම සිත විශාල කරගනියි.’ එනම් ඕනෑම තත්වයක් හෝ ඕනෑම අවස්ථාවක් යටතේ වුවත්, ඔහු වෙත එළඹීමට බැටළුවන් තුළ කිසිදු චකිතයක් නොදැනිය යුතුය. දුක් මුසු අන්ධකාර අවස්ථාවලදී පවා බැටළුවෝ කිසිම උපද්‍රවයකට භය නොවෙති. ඊට හේතුව ඔවුන්ගේ ප්‍රේමනීය සහෝදරයන් වන ක්‍රිස්තියානි එඬේරුන් ඔවුන් ගැන සලකන බව ඔවුන් දන්නා නිසාය. එඬේරුන් සමඟ ඔවුන් ඇති කරගන්නා උණුසුම් සම්බන්ධතාව ඔවුන්ගේ බිය සැක දුරු කරවාලයි.—ගීතාවලිය 23:4.

එසේ නම්, ක්‍රිස්තියානි වැඩිමහල්ලෙනි, ‘ඔබේ සිත් විශාල කරගන්න. ‘ඔබේ සහෝදරයන් සඳහා අව්‍යාජ ප්‍රේමයක් විදහාපෙන්වන්න. ඔවුන්ව තවදුරටත් දිරිගන්වන්න. ඔවුන්ව ප්‍රබෝධවත් කරලන්න. හැකි සෑම ආකාරයකින්ම ආත්මිකව ගොඩනැංවීමට උත්සාහ දරන්න. ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමට උපකාර කරන්න. (කොලොස්සි 1:23) ඇත්තෙන්ම ‘සිත් විශාල කරගන්නා’ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සිටීමෙන් ආශීර්වාද ලබන බැටළුවන් කිසි සේත් “හිඟයක්” අද්දකින්නේ නැත. දාවිත් මෙන්, සදාකල්ම ‘යෙහෝවාගේ ගෘහයෙහි වාසය’ කිරීම ඔවුන්ගේද අදිටන වනවාට සැකයක් නැත. (ගීතාවලිය 23:1, 6) ප්‍රේමනීය එඬේරෙකුගේ වැඩය සඳහා ඊටත් වඩා හොඳ විපාකයක් ඇද්ද?

[පාදසටහන]

a එඬේර බැහැදැකීම් කිරීමට යෝජනා මුරටැඹ 1993 සැප්තැම්බර් 15 20-3 පිටුවල සහ 1996 මාර්තු 15 24-7 පිටුවලින් ලබාගත හැක.

[30වන පිටුවේ කොටුව]

ක්‍රිස්තියානි එඬේරු

• උනන්දුවෙන් සහ කැමැත්තෙන් සේවය කරති

• රැළ රැකබලා ගනිමින් පෝෂණය කරති

• එඬේරුන් ලෙස සුදුසුකම් ලැබීමට අන්‍යයන්ට උපකාර කරති

• රෝගාතුරයන් බැහැදකිමින් ඔවුන්ව බලාගනිති

• ඕනෑම අවස්ථාවකදී තම සහෝදරයන්ට උපකාර කිරීමට අවදිව සිටිති

[31වන පිටුවේ පින්තූර]

ක්ෂේත්‍ර සේවයෙහිදී, රැස්වීම්වලදී හෝ මිත්‍රශීලී බැහැදැකීම්වලදී හෝ වේවා, වැඩිමහල්ලෝ සෑමවිටම එඬේරුන් ලෙස කටයුතු කරති