Skip to content

පටුනට යන්න

යහපත් ආදර්ශ—ඔබ ඒවායින් ප්‍රයෝජන ලබනවාද?

යහපත් ආදර්ශ—ඔබ ඒවායින් ප්‍රයෝජන ලබනවාද?

යහපත් ආදර්ශ—ඔබ ඒවායින් ප්‍රයෝජන ලබනවාද?

“නුඹලා මකිදෝනියෙහි සහ අකායෙහි සිටින සියලු ඇදහිලිවන්තයන්ට ආදර්ශවුණහුය.” ප්‍රේරිත පාවුල් මේ වදන් ලිව්වේ තෙසලෝනිකයෙහි විසූ ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ටයි. ඔවුහු සෙසු ඇදහිලිවන්තයන්ට කදිම ආදර්ශයක් තැබූහ. එහෙත් ඔවුහු පවා වෙනත් ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකුගේ විශිෂ්ට ආදර්ශ අනුකරණය කරමින් සිටියහ. එනම් පාවුල්ගේත්, ඔහු හා එක්ව සේවය කළ ක්‍රිස්තියානීන්ගේත් ආදර්ශයි. පාවුල් මෙසේ කීවේය. ‘ශුභාරංචිය නුඹලා වෙතට පැමිණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය. එසේය, නුඹලා නිසා අපි නුඹලා අතරෙහි කොයි ආකාර අය වීමුදැයි නුඹලා දන්නහුය. නුඹලාද අප අනුව යන්නෝ වූහ.’—1 තෙසලෝනික 1:5-7.

ඇත්තෙන්ම පාවුල්, ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන නිකම්ම දේශනා කිරීමට වඩා වැඩි යමක් කළේය. ඔහු තම ජීවිතය ගත කළ ආකාරය ඕනෑම කෙනෙකුට බලවත් පාඩමක් විය. ඔහුගේ ජීවිතය ඇදහිල්ල දැක්වීමේ, විඳදරාගැනීමේ හා ආත්ම පරිත්‍යාගයේ උතුම් ආදර්ශයක් වූයේය. එහෙයින් තෙසලෝනිකයේ වැසියන්ගේ ජීවිත කෙරෙහි මහත් බලපෑමක් ඇති කර ඔවුනට ‘බොහෝ පීඩාවන්’ මධ්‍යයෙහි පවා සත්‍යය පිළිගැනීම සඳහා පෙලඹවීමක් ඇති කිරීමට ඔහුටත් ඔහු හා එක්ව සේවය කළ අයටත් හැකි විය. නමුත් පාවුල් හා ඔහුගේ හවුල් සේවකයන්ට අමතරව තෙසලෝනිකයන්ට අනුකරණය කිරීමට තවත් යහපත් ආදර්ශ ගණනාවක්ම තිබිණ. පීඩාවන් යටතේ විඳදරාගත් වෙනත් අයගේ දිරිගන්වනසුලු ආදර්ශ සම්බන්ධව පාවුල් මෙසේ ලිව්වේය. “සහෝදරයෙනි, නුඹලා ක්‍රිස්තුස් [යේසුස්] තුළ යුදයෙහි තිබෙන [දෙවිගේ] සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේම රටවැසියන්ගෙන් වින්දහුය.”—1 තෙසලෝනික 2:14.

යේසුස් ක්‍රිස්තුස්—ප්‍රමුඛ ආදර්ශයයි

පාවුල්, අනුකරණය කිරීමට ඉතාමත්ම හොඳ ආදර්ශයක් බව ඇත්තයි. එනමුත් ඔහු පවා ඒත්තුගැන්වූයේ යේසුස් ක්‍රිස්තුස් ප්‍රමුඛ ආදර්ශය වන බවයි. (1 තෙසලෝනික 1:6) එදා මෙන්ම අදත් අපට තිබෙන්නාවූ උත්කෘෂ්ට ආදර්ශය යේසුස්ගේ ආදර්ශයයි. ඒ ගැන පේතෘස් මෙසේ සඳහන් කළේය. “එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද [ක්‍රිස්තුස්] නුඹලා නිසා වධවිඳ, නුඹලා [ඔහුගේ] අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී [ගියේය].”—1 පේතෘස් 2:21.

කෙසේවෙතත් යේසුස් මිනිසෙකු වශයෙන් ජීවත් වූයේ මීට අවුරුදු 2,000කට පමණ ඉහතදීය. දැන් අමරණීය අදෘශ්‍යමාන ජීවියෙකු වශයෙන් ඔහු ජීවත් වන්නේ ‘කිසිවෙකුට ළඟා වෙන්ට බැරි ආලෝකයෙහිය.’ ඒ නිසා ‘කිසි මනුෂ්‍යයෙකුට ඔහුව දැකගැනීමට නොහැක.’ (1 තිමෝති 6:16) එසේ නම් අපට ඔහුව අනුකරණය කරන්ට හැකි වන්නේ කෙසේද? ඔහුගේ ජීවිතය ගැන සඳහන් බයිබලයේ ඇති පොත් සතර කියවීම එක් ක්‍රමයකි. මෙම සුවිශේෂ මාර්ගයෙන් ඔහුගේ පෞද්ගලිකත්වය ගැනත්, ඔහු සිය ජීවිතය ගත කළ ආකාරය ගැනත්, ඔහුගේ “මානසික ආකල්පය” ගැනත් අපට හොඳ අවබෝධයක් ලබාගත හැක. (පිලිප්පි 2:5-8NW) මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත හොඳින් පාඩම් කිරීමෙන්ද වැඩි අවබෝධයක් ලබාගත හැක. එම පොතෙහි විචිත්‍රවත් ආකාරයෙන් යේසුස්ගේ ජීවිතයේ සිදුවීම් අනුපිළිවෙළට විස්තර කරයි. a

යේසුස්ගේ ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවය පාවුල් කෙරෙහි මහත් බලපෑමක් ඇති කළේය. ඔහු ඒ ගැන කොරින්ති සභාවේ ක්‍රිස්තියානීන්ට මෙසේ කීවේය. “මම ඉතා සන්තෝෂයෙන් නුඹලාගේ ආත්ම ගැන මට ඇති දේ වියදම්කරන්නෙමි, මම්ම වැය වන්නෙමි.” (2 කොරින්ති 12:15) යේසුස්ව මොනතරම් කිට්ටුවෙන් අනුකරණය කිරීමක්ද! ඊට සමානව අපිත් යේසුස්ගේ ආදර්ශය ගැන මෙනෙහි කරන විට ඔහුගේ පෞද්ගලිකත්වය අපේ ජීවිතයට අදාළ කරගැනීමට උත්සාහ කරමු.

උදාහරණයක් වශයෙන් අපට ද්‍රව්‍යමය දේ සපයන බවට දෙවි දුන් පොරොන්දුව කෙරෙහි අප අපේ විශ්වාසය තැබිය යුතු බව යේසුස් ඉගැන්වූවේය. එහෙත් ඔහු එය නිකම්ම කීවා පමණක් නොව ඔහුට ඒ ඉගැන්වීම කෙරෙහි පෞද්ගලිකව තිබූ ඇදහිල්ල හා විශ්වාසය ක්‍රියාවෙන් පිළිබිඹු කළේය. ඒ නිසා, ඔහු “සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි” පැවසුවේය. (මතෙව් 6:25; 8:20) ද්‍රව්‍යමය දේ හා සම්බන්ධ කාරණාවලින් ඔබේ මනස පිරී තිබෙනවාද? නැතහොත් ඔබ මුලින්ම උනන්දු වන්නේ රාජ්‍යයේ කාරණා ගැන කියා ඔබේ ජීවන රටාවෙන් ඔප්පු වෙනවාද? යෙහෝවාගේ සේවය සම්බන්ධයෙන් ඔබේ ආකල්පය කුමක්ද? එය අපට උතුම් ආදර්ශයක් තැබූ යේසුස්ගේ ආකල්පයට සමානද? යේසුස් ජ්වලිතයක් තිබිය යුතුයි කියා දේශනා කළා පමණක් නොව ඔහු කිහිප වතාවක්ම ජ්වලිතයෙන් දැවෙන බවට ක්‍රියාවෙන් පෙන්නුම් කළායයි බයිබලයේ සඳහන් කර ඇත. (යොහන් 2:14-17) ඊට අමතරව ප්‍රේමය දැක්වීම සම්බන්ධයෙන් යේසු කොතරම් උතුම් ආදර්ශයක් තැබුවාද! තම ගෝලයන් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට තරම් ඒ ප්‍රේමය ප්‍රබල විය! (යොහන් 15:13) ඒ ආදර්ශය අනුකරණය කරමින් ඔබ ඔබේ ක්‍රිස්තියානි සහෝදරයන්ට ප්‍රේමය දක්වනවාද? එහෙම නැත්නම් ඔබ ඔවුන්ගේ අසම්පූර්ණකම් නිසා සිදු වන අඩු පාඩුකම් ඔවුන්ට ප්‍රේමය නොදැක්වීමට නිදහසට කාරණයක් කරගන්නවාද?

යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට දරන උත්සාහයේදී අප නිතර නිතර අසාර්ථක වීම සාමාන්‍ය දෙයකි. එසේ වුවත් ‘යේසුස්ගේ පෞද්ගලිකත්වය පැළඳගැනීමට’ අපට තිබෙන්නාවූ අධිෂ්ඨානය දැක යෙහෝවා සතුටු වනවා නොඅනුමානයි.—රෝම 13:14.

‘රැළට ආදර්ශයක් වීම’

ආදර්ශ ලෙස සැලකිය හැකි පුද්ගලයන් අදදින අපේ සභාවන් තුළ සිටිනවාද? ඔව්, නිසැකවම එවැනි අය සිටිනවා! සභාවේ වගකීම් ලත් සහෝදරයන් විශේෂයෙන්ම ආදර්ශවත් වීමට වෙර දැරිය යුතුය. සෑම වැඩිමහල්ලෙකුම “නිදොස්” විය යුතුයි කියා ක්‍රීතයේ සභාවෙහි අවේක්ෂකයෙකු ලෙස සේවය කළ තීතස්ට පාවුල් උපදෙස් දුන්නේය. (තීතස් 1:5, 6) ‘රැළට ආදර්ශයක් වීමට’ පේතෘස්ද “වැඩිමහල්ලන්ට” ඒ හා සමාන උපදෙසක් දුන්නේය. (1 පේතෘස් 5:1-3) මේ සම්බන්ධයෙන් උපස්ථායක සේවකයන් මත පැවරෙන වගකීම කුමනාකාරද? ඔවුනුත් ‘යහපත් ලෙස සේවය කරන්නාවූ අය’ විය යුතුයි.—1 තිමෝති 3:13.

සෑම වැඩිමහල්ලෙකුම හෝ උපස්ථායක සේවකයෙකුම ක්‍රිස්තියානි සේවයේ සෑම අංගයකම නිපුණත්වයක් දැක්විය යුතුයි කියා අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවෙයි. ‘අපට දෙන ලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත’ කියා පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට විස්තර කළේය. (රෝම 12:6) එක් එක් සහෝදරයාට තමුන්ටම ආවේණික වූ දක්ෂතාවන් ඇත. සෑම වැඩිමහල්ලෙකුම කියන්නාවූ හෝ කරන්නාවූ සෑම දෙයක්ම කිසි අඩුවක් නැතුව ඉටු වේවි කියා බලාපොරොත්තු වීම සාධාරණ දෙයක් නොවේ. “මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය” කියා යාකොබ් 3:2හි පවසයි. එනමුත් තමන් අසම්පූර්ණ වුවත් වැඩිමහල්ලන්ට තිමෝති මෙන් ‘කතාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට ආදර්ශයක්’ විය හැකියි. (1 තිමෝති 4:12) වැඩිමහල්ලන් එලෙස ක්‍රියා කරන විට රැළට අයිති වූවන් හෙබ්‍රෙව් 13:7හි [NW] සඳහන් වදන් කැමැත්තෙන්ම පිළිපදීවි. එනම් “දෙවිගේ වචනය නුඹලාට කියා දුන්නාවූ නුඹලා අතරෙහි පෙරමුණගන්නන්ව සිහි කරන්න; ඔවුන්ගේ හැසිරීමේ යහපත් ප්‍රතිඵල බලමින් ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාවට නංවන්නෝ වෙන්න.”

නවීන-දින තවත් ආදර්ශ

පසුගිය දශක කිහිපය පුරා යහපත් ආදර්ශයන් ගණනාවක් තිබී ඇත. මේ සම්බන්ධයෙන් කතා කරද්දී, විදේශීය ක්ෂේත්‍රවල තම ක්‍රිස්තියානි සේවය කිරීමට “ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ” මිෂනාරිවරුන් දහස්ගණන්දෙනා ගැන සඳහන් කළ නොහැකිද? (මතෙව් 19:29) එමෙන්ම සංචාරක අවේක්ෂකයන් සහ ඔවුන්ගේ භාර්යාවන්වද, වොච් ටවර් සමිතියේ කාර්යාලවල ස්වේච්ඡාවෙන් සේවය කරන ස්ත්‍රීන් හා පුරුෂයන්වද, සභාවල ඉමහත් සේවයක් ඉටු කරන පුරෝගාමීන්වද සිහියට නඟන්න. එවන් ආදර්ශ අන් අයට ප්‍රයෝජනවත් වේවිද? ආසියාවේ ජීවත් වන එක් රාජ්‍ය ප්‍රචාරකයෙක්, ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙහි අටවන පංතියෙහි සාමාජිකයෙක් වූ මිෂනාරිවරයෙක්ව සිහිපත් කරමින් මෙසේ කියයි. “[ඒ ඇදහිලිවන්ත සහෝදරයා] බුරුතු පිටින් මදුරුවෝ හිටියත් මේ රටවල හුඟක් රස්නේ වුණත් ඒවලට මූණ දෙන්න ඕනම වෙලාවක සූදානමින් හිටියා. ඊටත් වඩා කැපීපෙනුණේ එයා ඉංග්‍රීසි ජාතිකයෙක් වුණත් සේවයේ ගියහම එයාට චීන භාෂාවෙනුත් මැලේ භාෂාවෙනුත් කතා කරන්න තිබුණ හැකියාවයි.” මේ කදිම ආදර්ශයේ බලපෑම කුමක් වූවාද? “ඔහුගේ තැන්පත් ස්වභාවය සහ ආත්ම විශ්වාසය දැක්කහම මටත් ආශාවක් ඇති වුණා ලොකු වුණාම මිෂනාරිවරයෙක් වෙන්න” කියා මේ සහෝදරයා අපට තවදුරටත් පැහැදිලි කරයි. පසු කාලයකදී මේ සහෝදරයා මිෂනාරිවරයෙකු වූ බව අසන්ට ලැබීම ඇත්තෙන්ම පුදුමයක් නොවෙයි.

මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල පළ වූ ජීවිත කතන්දර රැසක්ම මුරටැඹ ප්‍රකාශන සූචිය (ඉංග්‍රීසියෙන්) ආධාරයෙන් සොයාගත හැක. ලෞකික වෘත්තීන් හෝ ඉලක්ක අත්හළ, පෞද්ගලික දුර්වලතාවලින් ජයගත්, පෞද්ගලිකත්වය බොහෝ සෙයින් වෙනස් කරගත්, දුෂ්කර අවස්ථාවලට මුහුණ දුන් විට ඒකාන්ත ආකල්පයක් පවත්වාගත්, කඩිසරභාවය, විඳදරාගැනීම හා පක්ෂපාතිත්වය පිළිබිඹු කළ, නිහතමානීකම සහ ආත්ම පරිත්‍යාගය ක්‍රියාවට නැංවූ අය පිළිබඳ මේ ලිපිවල කියවෙයි. මේ ලිපි කියවූ එක් ස්ත්‍රියක් මෙසේ පවසන්නීය. “ඒ අය මුහුණ දුන්න දේවල් ගැන කියෙව්වහම ඒවා මට නිහතමානී හා කෘතඥපූර්වක ආකල්පයක් පවත්වාගන්න ගොඩක් උපකාර වුණා. මං ගැන ඕනෑවට වඩා නොසිතන්නත් ආත්මාර්ථකාමී නොවෙන්නත් ඒ ලිපි මට රුකුලක් වුණා.”

ඊට අමතරව ඔබේ සභාවේම සිටින්නාවූ යහපත් ආදර්ශ කිසි දිනක අමතක නොකරන්න. එහි තම පවුලේ ආත්මික හා ද්‍රව්‍යමය අවශ්‍යතා නිතිපතා සපයන ගෘහ මූලිකයෝ සිටිති. දරුවන් හදාවඩා ගැනීම හා සම්බන්ධ අභියෝගවලට මුහුණ දෙන අතරේදීම ක්ෂේත්‍ර සේවයෙත් පූර්ණ ලෙස සහභාගි වන සහෝදරියෝද සභාවන්වල සිටිති. මොවුන්ගෙන් සමහරුන් තනිමාපියන්ය. මහලු වී දුබල වූ අය හෝ සෞඛ්‍යමය ගැටලු මධ්‍යයෙහි පවා තම ඇදහිලිවන්ත සේවය දිගටම මැනවින් කරගෙන යන අයද සභාවන් තුළ දැකගත හැක. මෙවැනි යහපත් ආදර්ශ ඔබව දිරිගන්වන්නේ නැද්ද?

ලෝකයේ අයහපත් ආදර්ශවල අඩුවක් නැත. (2 තිමෝති 3:13) එහෙත් පාවුල් යුදයේ ජීවත් වූ ක්‍රිස්තියානීන්ට දුන් දිරිගැන්වීම සලකා බලන්න. පුරාණයේ විසූ ඇදහිලිවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් කිහිපදෙනෙකුගේ ආදර්ශවත් ජීවිත සිහියට නැංවීමෙන් පසු පාවුල් මෙසේ පැවසුවා. “එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, . . . ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ [යේසුස්] දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.” (හෙබ්‍රෙව් 12:1, 2) අදදින වාසය කරන ක්‍රිස්තියානීන්ට පුරාණයේ විසූ මෙම යහපත් ආදර්ශ තිබෙනවා පමණක් නොව, ඔවුන්ට වර්තමානයේ සිටින්නාවූ යහපත් ආදර්ශ සපයන ‘මහත් සාක්ෂිකාර සේනාවක්ද’ ඇත. ඔබ සැබවින්ම එම ආදර්ශවලින් ප්‍රයෝජන ලබන්නෙහිද? ඔබ “නපුර නොව යහපත ආදර්ශකොට [ගන්නවා]” නම් එසේ කිරීමට සමත් වේ.—3 යොහන් 11.

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, inc., මගින් ප්‍රකාශිතයි.

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සෑම වැඩිමහල්ලෙකුම හෝ උපස්ථායක සේවකයෙකුම ක්‍රිස්තියානි සේවයේ සෑම අංගයකම නිපුණත්වයක් දැක්විය යුතුයි කියා අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවෙයි

[21වන පිටුවේ පින්තූර]

වැඩිමහල්ලන් ‘රැළට ආදර්ශයක්’ විය යුතුයි