Skip to content

පටුනට යන්න

රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීම

රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීම

රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීම

“උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න.”—දේශනාකාරයා 11:6.

1. ක්‍රිස්තියානීන් අද බීජ වපුරමින් සිටින්නේ කිනම් අර්ථයෙන්ද?

 පැරණි හෙබ්‍රෙව් සමාජය තුළ කෘෂිකර්මයට වැදගත් තැනක් හිමි වී තිබුණා. මුළු ජීවිත කාලය පුරාම පොරොන්දු දේශයේ විසූ යේසුස් පාවිච්චි කළ නිදර්ශනවලදී කෘෂිකර්මය හා සම්බන්ධ තොරතුරු යොදාගැනීමට හේතුව එයයි. උදාහරණයක් හැටියට, ඔහු දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම බීජ වැපිරීමකට සමාන කළා. (මතෙව් 13:1-9, 18-23; ලූක් 8:5-15) අද අපි ජීවත් වෙන්නේ කෘෂිකාර්මික සමාජයක වුණත් නැතත්, ක්‍රිස්තියානීන් කරන වැදගත්ම වැඩය වන්නේ, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයේ හවුල් වෙමින් සත්‍යයේ බීජ වැපිරීමයි.

2. අපේ දේශනා වැඩය කොයිතරම් වැදගත්ද? මේ වැඩය කරගෙන යෑම සඳහා අද යොදාගනු ලබන සමහර දේවල් මොනවාද?

2 මේ අන්තිම කාලයේ බයිබල් සත්‍යය නමැති බීජ වැපිරීමේ හවුල් වෙන්න ලැබීම මහත් වරප්‍රසාදයක්. මේ වැඩයේ වැදගත්කම රෝම 10:14, 15හි මෙසේ මැනවින් අවධාරණය කර තිබෙනවා. “දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? (සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත්දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.” දෙවි දී තිබෙන මේ බලපැවරුම ඒකාන්ත ආකල්පයක් ඇතුව ඉටු කිරීමට දැඩි වෑයමක් දැරීම වෙන කවරදාටත් වඩා අද ඉතාමත් වැදගත්. මේ හේතුව නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් භාෂා 340කින් බයිබල් හා බයිබල් අධ්‍යයන ආධාරක පොත් පත් මුද්‍රණය කර බෙදාහැරීමේ වැඩය සඳහා සිය කාලය හා ශ්‍රමය වැය කරමින් සිටිනවා. සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ හා විවිධ රටවල පිහිටි ශාඛා කාර්යාලවල 18,000කට වැඩි ස්වේච්ඡා සේවක පිරිසක් මේ වැඩයෙහි හවුල් වෙමින් සිටිනවා. සාක්ෂිකරුවන් මිලියන හයකට ආසන්න පිරිසක්, මෙම බයිබල් අධ්‍යයන ආධාරක පොත් පත් ලොව පුරා සිටින ජනයා අතට පත් කිරීමේ වැඩයේ නිරත වෙමින් සිටිනවා.

3. රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීමෙන් ඉටු කරගනු ලබමින් තිබෙන්නේ කුමක්ද?

3 වෙහෙස මහන්සි වී කරන මේ වැඩයේ ප්‍රතිඵල ගැන කුමක් කිව හැකිද? ක්‍රිස්තියානි ධර්මය පිහිටෙවූ මුල් කාලයේදී මෙන් අදදිනත් බොහෝදෙනෙක් සත්‍යය වැලඳගනිමින් සිටිනවා. (ක්‍රියා 2:41, 46, 47) කෙසේවෙතත්, රාජ්‍ය ප්‍රචාරකයන් හැටියට අලුතින් බව්තීස්ම වන විශාල ගණනට වඩා වැදගත් දෙය වන්නේ, එම සාක්ෂි දැරීමේ මහත් වැඩය මගින් යෙහෝවාගේ නාමය විශුද්ධවත් වීම හා එකම සැබෑ දෙවි හැටියට ඔහුගේ පරමාධිපත්‍යය නිදොස් වීමයි. (මතෙව් 6:9) එමෙන්ම, දෙවිගේ වචනය පිළිබඳ දැනුම නිසා බොහෝදෙනෙකුගේ ජීවිත වඩාත් යහපත් අතට හැරී තිබෙන අතර, එමගින් ගැළවීමේ මාර්ගයට ඇතුල් වීමේ ප්‍රස්තාවද ඔවුන්ට උදා වී තිබෙනවා.—ක්‍රියා 13:47.

4. ප්‍රේරිතවරුන් තමන් දේශනා කළ මිනිසුන් කෙරෙහි කොතරම් දුරට සැලකිල්ලක් දැක්වුවාද?

4 ජීවිත ගළවන ශුභාරංචියේ තිබෙන වැදගත්කම ප්‍රේරිතවරුන් හොඳින් වටහාගෙන සිටියා. තමන් දේශනා කළ අය කෙරෙහි මහත් ඇල්මක් ඔවුන්ට තිබුණා. ප්‍රේරිත පාවුල් ලියූ මේ වදන්වලින් ඒ බව මනාව පැහැදිලියි. “අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, [දෙවිගේ] ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමු.” (1 තෙසලෝනික 2:8) ප්‍රේරිත පාවුල් හා සෙසු ප්‍රේරිතවරුන් මිනිසුන් කෙරෙහි එවන් අව්‍යාජ සැලකිල්ලක් දැක්වීමේදී අනුකරණය කරමින් සිටියේ ජීවිත ගළවන වැඩයේ පුරෝගාමීව කටයුතු කළ යේසුස්ව හා දේවදූතයන්වයි. ස්වර්ගයේ වෙසෙන දෙවිගේ මෙම සේවකයන් රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීමේදී ඉටු කරන වැදගත් වැඩකොටස අපි සලකා බලමු. එමෙන්ම අපට පැවරී තිබෙන වැඩකොටස ඉටු කිරීමේදී ඔවුන්ගේ ආදර්ශ අපව දිරිමත් කරන ආකාරය ගැනත් සලකා බලමු.

යේසුස්—රාජ්‍ය සත්‍යය වපුරන්නා

5. යේසුස් මේ පොළොවේ ජීවත් වූ කාලයේදී වැඩියෙන්ම යෙදී සිටියේ කුමන වැඩයේද?

5 තමන් ජීවත්ව සිටි කාලයේ විසූ මිනිසුන්ට ද්‍රව්‍යමය ලෙස යහපත් දේවල් බොහොමයක් සැපයීමේ හැකියාව පරිපූර්ණ මිනිසෙකු වූ යේසුස්ට තිබුණා. උදාහරණයක් හැටියට, ඔහුගේ කාලයේ පැවති වෛද්‍යමය දුර්මත බොහොමයක් නිවැරදි කරන්නත්, වෙනත් ක්ෂේත්‍ර ගැන මිනිසුන්ට පුළුල් අවබෝධයක් ලබා දෙන්නත් ඔහුට හැකියාව තිබුණා. එහෙත්, තමාට පවරා තිබෙන ප්‍රධානතම වැඩය ශුභාරංචිය දේශනා කිරීම බව සිය දේවසේවයේ මුල් අවදියේම ඔහු පැහැදිලිව නිරූපණය කළා. (ලූක් 4:17-21) පොළොව මත සිය දේවසේවය අවසානයේදී ඔහු මෙසේ පැහැදිලි කළා. “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය.” (යොහන් 18:37) මේ නිසා රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීමට ඔහු සිය ජීවිතය මුළුමනින්ම යෙදෙව්වා. ඔහු වෙනත් කිසිදු දෙයකට වඩා වැදගත්ම දෙය හැටියට සැලකුවේ, දෙවි සහ ඔහුගේ අරමුණු ගැන ජනයාට ඉගැන්වීමයි.—රෝම 11:33-36.

6, 7. (අ) යේසුස් ස්වර්ගයට යන්න කලින් දුන් සුවිශේෂ පොරොන්දුව කුමක්ද? ඔහු එය ඉටු කරමින් සිටින්නේ කෙසේද? (ආ) දේශනා කිරීමේ වැඩය කෙරෙහි යේසුස් තුළ තිබූ ආකල්පය ඔබට පෞද්ගලිකව බලපාන්නේ කෙසේද?

6 යේසුස් රාජ්‍ය සත්‍යය නමැති බීජ වපුරන්නෙක් ලෙස තමාව වක්‍රාකාරව හැඳින්වුවා. (යොහන් 4:35-38) ඔහු සෑම අවස්ථාවකදීම ශුභාරංචියේ බීජ වැපුරුවා. වධ කණුවක් මත මිය යන මොහොතේදී පවා ඔහු ශුභාරංචිය ගැන කතා කළා. ඒ අවස්ථාවේදී ඔහු කතා කළේ අනාගතික පාරාදීස පොළොව ගැනයි. (ලූක් 23:43) කෙසේවෙතත්, ශුභාරංචිය දේශනා කිරීමට ඔහු තුළ තිබූ මහත් ඕනෑකම වධ කණුව මත සිදු වූ ඔහුගේ මරණයත් සමඟ අවසන් වුණේ නැහැ. ඔහු ස්වර්ගයට යන්න කලින්, රාජ්‍ය සත්‍යය නමැති බීජ වපුරමින් ගෝලයන් සාදන්න කියා සිය ප්‍රේරිතයන්ට ආඥාවක් දුන්නා. ඉන් අනතුරුව යේසුස් මෙම සුවිශේෂ පොරොන්දුව දුන්නා. “බලව! පවතින මේ ක්‍රමයේ අවසානය දක්වා සෑම දවසකම මම ඔබ සමඟ සිටිමි.”—මතෙව් 28:19, 20NW.

7 “පවතින මේ ක්‍රමයේ අවසානය දක්වා සෑම දවසකම” තමා ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට අනුබලය හා මඟ පෙන්වීම සපයන බවත් එය ආරක්ෂා කරන බවත් යේසුස් එම වදන් මගින් පොරොන්දු වුණා. අපේ කාලය දක්වා යේසුස් ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය කෙරෙහි පෞද්ගලිකව උනන්දුවක් පෙන්වා තිබෙනවා. අපේ නායකයා ඔහුයි. රාජ්‍ය සත්‍යය වැපිරීමේ වැඩය බාරව සිටින්නේ ඔහුයි. (මතෙව් 23:10) ක්‍රිස්තියානි සභාවේ ප්‍රධානියා හැටියට ලොව පුරා සිදු වන මෙම වැඩය ගැන යෙහෝවාට වගකියන්න ඔහු බැඳී සිටිනවා.—එපීස 1:22, 23; කොලොස්සි 1:18.

දේවදූතයන් ශුභාරංචි ප්‍රකාශ කරයි

8, 9. (අ) දේවදූතයන් මිනිසුන් කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් පෙන්වා තිබෙන්නේ කෙසේද? (ආ) අපි දේවදූතයන්ට පැහැදිලිව පෙනෙන විශාල වේදිකාවක රඟ දක්වන්නන් කියා හැඳින්විය හැක්කේ කුමන අර්ථයෙන්ද?

8 යෙහෝවා පොළොව මවන විට දේවදූතයන් ‘එක්ව ගීතිකා කරමින් ප්‍රීති ඝෝෂා පැවැත්වුවා.’ (යෝබ් 38:4-7) එදා සිට මේ දේවදූතයන් මිනිසාගේ කටයුතු කෙරෙහි මහත් උනන්දුවක් දක්වා තිබෙනවා. මිනිසුන්ට සිය පණිවිඩ ප්‍රකාශ කිරීම සඳහා යෙහෝවා ඔවුන්ව යොදාගෙන තිබෙනවා. (ගීතාවලිය 103:20) අපේ කාලයේදී ශුභාරංචිය දස දෙස පැතිරවීමේදී එය විශේෂයෙන් සත්‍යයක් වෙනවා. ප්‍රේරිත යොහන් ඔහුට දෙන ලද එළිදරව් කිරීමකදී “අහස මැද පියාසරකරන” දේවදූතයෙකුව දැක්කා. ඔහු “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව . . . මහත් ශබ්දයකින් කථාකරමින්: [දෙවිට] භයවී, [ඔහුට] ගෞරව දෙන්න; මක්නිසාද [ඔහුගේ] විනිශ්චයේ පැය පැමුණුණේය” කියා පැවසුවා.—එළිදරව් 14:6, 7.

9 බයිබලයෙහි දේවදූතයන්ව හඳුන්වා තිබෙන්නේ “ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ” ලෙසයි. (හෙබ්‍රෙව් 1:14) මේ දේවදූතයන් තමන්ට පවරා තිබෙන වැඩ කරගෙන යන විට, අපවත් අපි කරන සේවයත් නිරීක්ෂණය කරන්න ඔවුන්ට හැකියි. විශාල වේදිකාවක රඟ දක්වන්නන් මෙන් අපි අපේ වැඩය කරගෙන යන්නේ ස්වර්ගයේ සිට අපි දෙස බලා සිටින අය ඉදිරියෙහියි. (1 කොරින්ති 4:9) රාජ්‍ය සත්‍යය නමැති බීජ වපුරන්නන් හැටියට අපි තනිව වැඩ නොකරන බව දැනගන්න ලැබීම මොනතරම් සතුටක්ද!

අපි ජ්වලිතව අපේ කාර්යය ඉටු කරනවා

10. දේශනාකාරයා 11:6හි සඳහන් ප්‍රායෝගික උපදේශය අපේ එවැන්ජලිස්ත සේවයට අදාළ වන්නේ කෙසේද?

10 යේසුස් හා දේවදූතයන් අපි කරන වැඩය ගැන මහත් උනන්දුවක් දක්වන්නේ ඇයි? යේසුස් එයට එක් හේතුවක් දෙමින් මෙසේ පැවසුවා. “පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන [දෙවිගේ] දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමි.” (ලූක් 15:10) මිනිසුන් කෙරෙහි එවන් අව්‍යාජ සැලකිල්ලක් අප තුළත් තිබෙනවා. එනිසා, සෑම තැනම රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීමට අපි හැකි උපරිමය කරමු. දේශනාකාරයා 11:6හි සඳහන් වදන් අපේ වැඩයට අදාළ කළ හැකියි. එහි අපිට මෙසේ උපදෙස් දෙනවා. “උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.” අපේ පණිවිඩය පිළිගන්නේ සියයකින් හෝ දහකින් එක්කෙනෙකු විය හැකියි. එහෙත්, “එක පව්කාරයෙකු” ගැළවීමේ පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දක්වන විට දේවදූතයන් වගේ අපිත් සතුටු වෙනවා.

11. බයිබලය මත පදනම් ප්‍රකාශන භාවිතය කොතෙක් දුරට බලපෑමෙන් යුක්ත විය හැකිද?

11 ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට බොහෝ දේවල් ඇතුළත් වෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බෙදාහරිනු ලබන බයිබලය මත පදනම් පොත් පත් මේ වැඩයේ එක් වැදගත් අංගයක්. මේ ප්‍රකාශන සැම තැනම විසිරී යන බීජ හා සමානයි. ඒවා හොඳින් පැළ වෙන්නේ කොතැනද කියා අපි දන්නේ නැහැ. සමහර අවස්ථාවල අපේ ප්‍රකාශනයක් කෙනෙක් කියවන්න කලින් කිහිපදෙනෙකුගේ අතින් අතට එය මාරු විය හැකියි. ඇතැම් අවස්ථාවලදී යේසුස් හා දේවදූතයන් අවංක හදවත් ඇති පුද්ගලයන්ට අපේ ප්‍රකාශනවලින් ප්‍රයෝජන ගැනීමට හැකි වන පරිදි මඟ පෙන්වන්න පුළුවන්. අපි ජනයාට ලබා දෙන පොත් පත්වලින් බලාපොරොත්තු නොවූ විදිහට යෙහෝවා විශිෂ්ට ප්‍රතිඵල අත් කර දී තිබෙන ආකාරය පෙන්වා දෙන අද්දැකීම් කිහිපයක් සලකා බලන්න.

මෙය සැබෑ දෙවිගේ වැඩක්

12. යෙහෝවා ගැන දැනගැනීමට පරණ සඟරාවක් පවුලකට උපකාරවත් වූයේ කෙසේද?

12 විශාල නගරයක ජීවත් වෙමින් සිටි රොබට් හා ලයිලා ඔවුන්ගේ දරුවන් සමඟ 1953දී අ.එ.ජ. පෙන්සිල්වේනියාහි ගම්මානයක පිහිටි ගොවිපොළක තිබූ ගරා වැටුණු නිවසක පදිංචියට ගියා. එම නිවසේ තරප්පුවට යට කොටස ලෑලි ගසා වසා තිබුණා. මෙම කොටසේ නාන කාමරයක් සාදන්න රොබට් තීරණය කළා. ලෑලි කිහිපයක් ඉවත් කිරීමෙන් පසු, මීයන් විසින් බිත්තියේ පැත්තක ගොඩගසා තිබූ කොළ කෑලි, වෝල්නට් කියන ගෙඩිවල ලෙලි හා වෙනත් සුන්බුන් ඔහුට දැකගන්න ලැබුණා. මේ සුන්බුන් මැද්දේ රන්වන් යුගය (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාවේ පිටපතක්ද තිබුණා. දරුවන් ඇති දැඩි කිරීම ගැන ලියවී තිබූ ලිපියක් දුටු රොබට් එය කියවන්න තීරණය කළා. මේ සඟරාවේ තිබූ බයිබලය මත පදනම් පැහැදිලි මඟ පෙන්වීම් රොබට්ගේ සිතට මොනතරම් කාවැදුණාද කියනවා නම්, අපි දැන් “රන්වන් යුගය ආගමට” බැඳෙමු කියා ඔහු ලයිලාට පැවසුවා. සති කිහිපයක් ඇතුළත යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ නිවසට පැමිණියා. තමාගේ පවුලේ අය උනන්දුවක් දක්වන්නේ “රන්වන් යුගය ආගම” ගැන විතරයි කියා රොබට් ඔවුන්ට පැවසුවා. රන්වන් යුගය කියන සඟරාවේ අලුත් නම පිබිදෙව්! කියා සාක්ෂිකරුවන් ඔහුට පැහැදිලි කර දුන්නා. රොබට් සහ ලයිලා සාක්ෂිකරුවන් සමඟ නිතිපතා බයිබලය පාඩම් කරන්න පටන්ගෙන පසුව බව්තීස්ම වුණා. ඔවුන් තමන්ගේ දරුවන් තුළ සත්‍යයේ බීජ පැළ කර, බහුල අස්වැන්නක් නෙළාගත්තා. රොබට් හා ලයිලාගේ දරුවන් සත්දෙනා ඇතුළුව අද මේ පවුලේ සාමාජිකයන් 20දෙනෙකුට වැඩි පිරිසක් යෙහෝවා දෙවිගේ බව්තීස්ම ලත් සේවකයන් හැටියට සේවය කරනවා.

13. පුවටෝ රිකෝහි යුවළක් තුළ බයිබලය කෙරෙහි උනන්දුවක් ඇති කළේ කුමක්ද?

13 පුවටෝ රිකෝහි සිටින විවාහක යුවළක් වන විලියම් සහ ඒඩා මීට අවුරුදු 40කට පමණ කලින් බයිබලය පාඩම් කරන්න කිසිම උනන්දුවක් දැක්වූයේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ දොරට තට්ටු කළ හැම අවස්ථාවකදීම තමන් ගෙදර නැති බව ඔවුන් ඇඟෙව්වා. දවසක් විලියම් තමාගේ නිවස අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කරන දෙයක් මිල දී ගන්න පරණ බඩු විකුණන කඩයකට ගියා. ඔහු ඒ කඩයෙන් පිටත්ව එන විට, විශාල කුණු පෙට්ටියක තිබූ දීප්තිමත් ළා කොළ පැහැති පොතක් දැක්කා. ආගම (ඉංග්‍රීසියෙන්) නමැති මාතෘකාවෙන් යුත් මේ පොත 1940 ගණන්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබූ පොතක්. විලියම් මේ පොත ගෙදර ගෙනාවා. බොරු ආගම සහ සැබෑ ආගම අතර තිබෙන වෙනස ගැන සඳහන් තොරතුරු කියවද්දී ඔහු තුළ මහත් ආශාවක් ඇති වුණා. ඊළඟ වතාවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ නිවසට පැමිණි විට විලියම් සහ ඒඩා ඔවුන්ගේ පණිවිඩයට සතුටින් සවන් දී ඔවුන් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. මාස කිහිපයකට පසු ඔවුන් 1958දී පැවැත්වූ දිව්‍ය කැමැත්ත නමැති ජාත්‍යන්තර එක්රැස්වීමේදී බව්තීස්ම වුණා. එදා පටන් මේ දක්වා ඔවුන් අපේ ක්‍රිස්තියානි සහෝදර සංගමයට එක්වීමට තවත් 50දෙනෙකුට උපකාර කර තිබෙනවා.

14. අද්දැකීමකින් පැහැදිලි වන්නාක් මෙන් බයිබල් ප්‍රකාශනවලට තිබෙන්නේ මොන වගේ හැකියාවක්ද?

14 එකළොස්වන වියේ පසු වූ කාල් දඟකාර ළමයෙක්. ඔහු හැම තිස්සේම මොකක් හරි වැරැද්දකට හසු වුණා. නරක මිනිස්සු මරණෙන් පසු නිරයේ පිච්චි පිච්චි වේදනා විඳිනවා කියා මෙතෝදිස්ත සභාවේ ජර්මානු ජාතික දේශනාකරුවෙකු වූ ඔහුගේ පියා ඔහුට උගන්වා තිබුණා. මේ නිසා කාල්ට නිරය ගැන තිබුණේ පුදුම භයක්. එක්දහස් නවසිය දහහත්වන අවුරුද්දේ එක දවසක කාල් පාරේ ඇවිදගෙන යද්දී යමක් මුද්‍රණය කර තිබූ කොළ කෑල්ලක් දැකල අහුලගත්තා. ඔහු ඒක කියවගෙන යන විට ඔහුගේ නෙත් ඇදී ගියේ “නිරය යනු කුමක්ද?” යන ප්‍රශ්නයටයි. එම අත්පත්‍රිකාව, නිරය ගැන ඉදිරිපත් කරන ප්‍රසිද්ධ දේශනයකට සවන් දීමට ආරාධනා කිරීම සඳහා එවකට බයිබල් ශිෂ්‍යයන් කියා හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මුද්‍රණය කර තිබූ එකක්. කාල් බයිබල් පාඩම් කිහිපයකට සහභාගි වීමෙන් අවුරුද්දකට පමණ පසු බව්තීස්ම වී බයිබල් ශිෂ්‍යයන්ගේ සාමාජිකයෙක් බවට පත් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරන්න ඔහුට 1925දී ආරාධනාවක් ලැබුණා. අද වෙන තෙක් ඔහු එහි සේවය කරනවා. දශක අටක කාලයක් පුරා ක්‍රිස්තියානි ජීවිත මඟෙහි ගමන් කිරීමට මොහුට උපකාර කළේ පාරේ අයිනේ වැටී තිබූ කොළ කෑල්ලක්.

15. තමන්ට සුදුසුයයි කියා හැඟෙන විදිහට යෙහෝවාට කුමක් කළ හැකිද?

15 ඉහත සඳහන් කළ අද්දැකීම්වලට දේවදූතයන් ඍජුවම සම්බන්ධ වුණාද, එසේ වුණා නම් කොතරම් දුරකටද කියා මිනිසුන් වන අපට තීරණය කළ නොහැකියි. එහෙත් යේසුස් සහ දේවදූතයන් දේශනා කිරීමේ වැඩයෙහි ක්‍රියාකාරි ලෙස හවුල් වී සිටීම ගැනත්, තමාට සුදුසුයි කියා හැඟෙන ආකාරයට ඇතැම් කාරණාවලට මඟ පෙන්වීම සඳහා යෙහෝවාට තිබෙන හැකියාව ගැනත් අපිට කිසිම සැකයක් නොතිබිය යුතුයි. මේ හා සමාන අද්දැකීම් බොහොමයකින් පැහැදිලි වන්නේ අපි අපේ පොත් පත් මිනිසුන්ට ලබා දීමෙන් පසු ඒවායින් යම් යහපත් ප්‍රතිඵල නෙළාගත හැකි බවයි.

අපිට විශ්වාසයෙන් යුතුව වස්තුවක් බාර දී තිබෙනවා

16. දෙවන කොරින්ති 4:7හි සඳහන් වදන්වලින් අපට කුමක් ඉගෙනගත හැකිද?

16 ප්‍රේරිත පාවුල් ‘මැටි භාජනවල දරන වස්තුවක්’ ගැන කතා කළා. මේ වස්තුව වන්නේ දේශනා කිරීමට දෙවි අපිට දී තිබෙන බලපැවරුමයි. මැටි භාජන වන්නේ මේ වටිනා වස්තුව විශ්වාසයෙන් යුතුව යෙහෝවා බාර දී තිබෙන මිනිසුනුයි. මෙම වස්තුව බාර දී තිබෙන මිනිසුන් අසම්පූර්ණ හා සීමිත හැකියාවන්ගෙන් යුක්ත නිසා, මෙවන් බලපැවරුමක් ඉටු කළ හැකි ‘[සාමාන්‍යය ඉක්මවූ, NW] බලය අයිති වන්නේ අපට නොව දෙවිට’ බව පාවුල් තවදුරටත් පවසයි. (2 කොරින්ති 4:7) ඔව්, මේ වැඩය කරන්න අපිට අවශ්‍ය බලය සඳහා අපිට යෙහෝවා මත රඳා සිටිය හැකියි.

17. අපි රාජ්‍ය සත්‍යය නමැති බීජ වපුරන විට මොන වගේ දේවලට මුහුණ දීමට සිදු විය හැකිද? කෙසේවෙතත්, අපි දිගටම ඒකාන්ත ආකල්පයක් පවත්වාගත යුත්තේ ඇයි?

17 බොහෝ අවස්ථාවලදී අපිට කැප කිරීම් කරන්න සිදු වෙනවා. සමහර ප්‍රදේශවල සේවය කරන එක ලෙහෙසි නැහැ. වැඩිදෙනෙක් කොහෙත්ම ඇහුම්කන් දෙන්නේ නැති හා විරුද්ධවාදිකම් පවා එල්ල කරන අය සිටින ප්‍රදේශ තිබෙනවා. එවන් ප්‍රදේශවල දේශනා කරන්න සෑහෙන වෑයමක් දැරුවත් සාර්ථක ප්‍රතිඵල නොතිබෙනවා වගේ පෙනෙන්න පුළුවන්. නමුත්, ඉදිරියේ පැමිණෙන්න තිබෙන විනාශයේ භයානකකම ගැන සිතා බලන විට දරන ඕනෑම වෑයමක් වටිනවා. ඔබ වපුරන බීජ මගින් මිනිසුන්ට දැන් ප්‍රීතිමත් ජීවිතයක් මෙන්ම අනාගතයේදී සදාකාලික ජීවිතයක් භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙන බව මතක තබාගන්න. ගීතාවලිය 126:6හි සඳහන් මේ වදන්වල සත්‍යතාව බොහෝ වාරයක් ඔප්පු වී තිබෙනවා. “ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.”

18. අපේ දේවසේවයට නිරන්තර අවධානයක් යොමු කිරීමට අපිට හැක්කේ කෙසේද? අපි එසේ අවධානයක් දිය යුත්තේ ඇයි?

18 ලැබෙන සෑම අවස්ථාවකදීම රාජ්‍ය සත්‍යය නමැති බීජ වැපිරීමට අපි සෑදී පැහැදී සිටිමු. බීජ පැළ කර වතුර දමන්නේ අපි වුණත්, ඒවා වර්ධනය වීමට සලස්වන්නේ යෙහෝවා බව අපි කවදාවත් අමතක නොකරමු. (1 කොරින්ති 3:6, 7) එහෙත් යේසුස් හා දේවදූතයන් සත්‍යයේ බීජ වැපිරීමේ මේ වැඩයේ තමන්ගේ කොටස හොඳින් ඉටු කරනවා වගේ අපිත් අපේ සේවය සම්පූර්ණයෙන් ඉටු කිරීම යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා. (2 තිමෝති 4:5) දේවසේවයෙහි අපි උගන්වන ආකාරය කෙරෙහිත්, අපේ ආකල්පය කෙරෙහිත්, දේවසේවය සඳහා අපි දක්වන ජ්වලිතය කෙරෙහිත් අපි නිරතුරුවම අවධානය දෙමු. මෙයට හේතුව පාවුල් මෙසේ පැහැදිලි කරයි. “එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.”—1 තිමෝති 4:16.

අපි ඉගෙනගත්තේ මොනවාද?

• අපේ වැපිරීමේ වැඩය මගින් යහපත් ඵල දරා තිබෙන්නේ කුමන ආකාරවලින්ද?

• අදදින සිදු වන ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට යේසුස් ක්‍රිස්තුස් හා දේවදූතයන් සම්බන්ධ වී සිටින්නේ කෙසේද?

• රාජ්‍ය සත්‍යය වපුරන්නන් හැටියට අපි නිතරම බීජ වැපිරීමට සෑදී පැහැදී සිටිය යුත්තේ ඇයි?

• උදාසීන අය හා විරුද්ධවාදිකම් එල්ල කරන අය සිටින ප්‍රදේශයක සේවය කරන විට, අත්නෑර දිගටම සේවය කිරීමට අපි තුළ පෙලඹවීමක් ඇති කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

පුරාණ ඉශ්‍රායෙලයේ ගොවීන් වගේ අද සිටින ක්‍රිස්තියානීන් රාජ්‍ය සත්‍යය නමැති බීජ නොමසුරුව වැපිරීමට සෑදී පැහැදී සිටිනවා

[16, 17වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් භාෂා 340කින් බයිබලය මත පදනම් විවිධ ප්‍රකාශන මුද්‍රණය කර බෙදාහරිනවා