Skip to content

පටුනට යන්න

ශුභාරංචිය ජ්වලිතව දේශනා කරන්න

ශුභාරංචිය ජ්වලිතව දේශනා කරන්න

ශුභාරංචිය ජ්වලිතව දේශනා කරන්න

“ආත්මයෙන් ජ්වලිතවෙන්න. [යෙහෝවාට] සේවයකරන්න.”—රෝම 12:11.

1, 2. ශුභාරංචිය දේශනා කරන්නන් හැටියට ක්‍රිස්තියානීන් දැඩි වෑයමක් දැරිය යුත්තේ කුමන ආකල්පයක් පවත්වාගැනීමටද?

 තරුණයෙකුට රැකියාවක් ලැබුණු විට ඇති වන සතුට කියා නිම කළ නොහැකියි. රැකියාවට යන මුල්ම දවසේදී, ස්වාමියාගෙන් ලැබෙන උපදෙස් මොනවාද කියාත් මුලින්ම ලැබෙන වැඩය මොකක්ද කියාත් දැනගන්න ඔහු මහත් නොඉවසිල්ලෙන් බලා සිටියි. ඔහු එය බැරෑරුම් වගකීමක් ලෙස සලකයි. ඔහු මහත් උනන්දුවෙන් තමාට හැකි හොඳම විදිහට එය කරන්න උත්සුක වෙයි.

2 මේ හා සමානව, ක්‍රිස්තියානීන් හැටියට අපිවත් යම් ආයතනයක සේවය කරන අලුත් සේවකයන් සේ අපට සැලකිය හැකියි. අපේ බලාපොරොත්තුව සදහටම ජීවත් වීමයි. මේ අනුව බලන විට, අපි යෙහෝවාට සේවය කරන්න තාම පටන්ගත්තා විතරයි කියා පැවසිය හැකියි. සැමදා අපව කඩිසරව තබන බොහෝ කාර්යයන් අපේ මැවුම්කරුගේ මනසෙහි තිබෙන බවට සැකයක් නැහැ. එහෙත් අපට ලැබුණු මුල්ම බලපැවරුම වන්නේ ඔහුගේ රාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. (1 තෙසලෝනික 2:4) දෙවිගෙන් ලැබී තිබෙන මේ පැවරුම අපි සලකන්නේ කෙසේද? කලින් සඳහන් කළ තරුණයා වගේ අපේ ආශාව වන්නේත් අපේ හැකියාවන් උපරිම මට්ටමින් යොදා මේ පැවරුම ජ්වලිතව හා ප්‍රීතියෙන් දිගටම කරගෙන යෑමයි!

3. ශුභාරංචිය දේශනා කරන දේවසේවකයෙකු හැටියට සාර්ථක වීමට අවශ්‍ය කරන්නේ කුමක්ද?

3 දිගටම එවන් ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීම අභියෝගයක් බව ඇත්තයි. අපේ දේවසේවයට අමතරව, තවත් වගකීම් රාශියක් අපිට තිබෙනවා. මේවායින් සමහරක් ඉටු කිරීමට ශාරීරිකව හා මානසිකව දැඩි වෙහෙසක් දරන්න සිදු වෙනවා. අපේ දේවසේවයට ප්‍රමාණවත් අවධානයක් දෙමින් එම වගකීම් ඉටු කරන්න අපිට බොහෝ දුරට හැකි වී තිබෙනවා. එහෙත් මෙය දිගටම පවතින සටනක් විය හැකියි. (මාර්ක් 8:34) ක්‍රිස්තියානීන් හැටියට අපේ සාර්ථකත්වය රඳා පවතින්නේ වීර්යය කිරීම මත බව යේසුස් අවධාරණය කළා.—ලූක් 13:24.

4. දිනපතා අද්දකින ජීවිතයේ වෙහෙසීම් අපේ ආත්මික දෘෂ්ටියට බලපෑ හැක්කේ කෙසේද?

4 කරන්න බොහෝ දේවල් තිබෙන විට, තමන් වැඩවලින් යට වී තිබෙන බවක් හා දැඩි පීඩනයකට ලක් වී තිබෙන බවක් පහසුවෙන්ම හැඟෙන්න පුළුවන්. ‘ජීවිතයේ වෙහෙස’ නිසා දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් සඳහා තිබෙන අපේ ජ්වලිතය හා අගය යටපත් වී යා හැකියි. (ලූක් 21:34, 35; මාර්ක් 4:18, 19) අපේ අසම්පූර්ණ ස්වභාවය නිසා අප විසින් ‘පළමු ප්‍රේමය අත්හරින්න’ ඉඩ තිබෙනවා. (එළිදරව් 2:1-4) යෙහෝවාට අප කරන සේවයේ ඇතැම් අංග යාන්ත්‍රිකව කරන දෙයක් බවට පත් විය හැකියි. දේවසේවය තුළ අපේ ජ්වලිතය දිගටම ප්‍රාණවත්ව තබාගැනීම සඳහා බයිබලය අපට අවශ්‍ය දිරිගැන්වීම සපයන්නේ කෙසේද?

අපේ හදවත්වල “ඇවිළෙන ගින්නක්” වැනිය

5, 6. ප්‍රේරිත පාවුල් ශුභාරංචිය දේශනා කිරීමට ඔහුට තිබූ වරප්‍රසාදය සැලකුවේ කෙසේද?

5 යෙහෝවා අපිට විශ්වාසයෙන් යුතුව බාර දී තිබෙන දේවසේවය අනගි වරප්‍රසාදයක් වන අතර, අපි කවදාවත් එය වැදගත්කමින් අඩු යමක් ලෙස නොසැලකිය යුතුයි. ශුභාරංචිය දේශනා කිරීම ප්‍රේරිත පාවුල් සැලකුවේ උතුම් වරප්‍රසාදයක් ලෙසයි. එවන් උතුම් වැඩක් තමාට බාර දීමට තරම්වත් තමා වටින්නේ නැහැ කියා ඔහු සිතුවා. ඔහු මෙසේ පැවසුවා: “සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ [ක්‍රිස්තුස්ගේ] සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්, සියල්ල මැවුවාවූ [දෙවි] තුළ සියලු කාලවල පටන් සැඟවී තිබුණාවූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය.”—එපීස 3:8, 9.

6 දේවසේවය පිළිබඳව පාවුල්ට තිබූ ඒකාන්ත ආකල්පය අපට විශිෂ්ට ආදර්ශයක් සපයනවා. ඔහු රෝමවරුන්ට ලියූ ලිපියේ මෙසේ සඳහන් කළා. “ශුභාරංචිය දේශනා කරන්න මා තුළ ජ්වලිතයක් තිබේ.” ඔහු ශුභාරංචිය ගැන ලජ්ජා වුණේ නැහැ. (රෝම 1:15, NW, 16) ඔහුට හරි ආකල්පයක් තිබුණා. ඔහු ජ්වලිතව සිය දේවසේවය කරගෙන ගියා.

7. පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේදී ඔහු කළ අනතුරු ඇඟවීම කුමක්ද?

7 ප්‍රේරිත පාවුල් ජ්වලිතය දිගටම පවත්වාගැනීමේ අවශ්‍යතාව වටහාගත්තා. එනිසා ඔහු රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ උපදෙස් දුන්නා. “උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; [යෙහෝවාට] සේවයකරන්න.” (රෝම 12:11) ‘මැළිවීම’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයේ “අලසකම හා උදාසීන වීම” යන අර්ථ ගැබ්ව තිබෙනවා. අපි මැළි නොවී දේවසේවයේ හවුල් වෙනවා වෙන්න පුළුවන්. එහෙත් ආත්මික අලසකම අඟවන මුල්ම ලක්ෂණ ගැන අපි කල්පනාකාරිව සිටීම අවශ්‍යයි. ආත්මික අලසකම අඟවන යම් ලක්ෂණ අප තුළ තිබෙන බව අපිට පෙනී යනවා නම් අවශ්‍ය සකස් කිරීම් සිදු කළ යුතුයි.—හිතෝපදේශ 22:3.

8. (අ) යෙරෙමියාගේ හෘදයෙහි “ඇවිළෙන ගින්නක්” මෙන් තිබුණේ කුමක්ද? එයට හේතුව කුමක්ද? (ආ) යෙරෙමියාගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

8 අපි අධෛර්යයට පත් වන අවස්ථාවලදී අපිට උපකාර කරන්න දෙවිගේ ආත්මයට පුළුවන්. උදාහරණයක් හැටියට, එක් අවස්ථාවක අනාගතවක්තෘ යෙරෙමියා අධෛර්යයට පත්ව සිටියා. අනාවැකි පැවසීමේ වැඩය නතර කර දමන්න ඔහු සිතුවා. ඔහු යෙහෝවා සම්බන්ධව මෙහෙම කිව්වා. ‘මම ඔහු ගැන සඳහන් නොකරන්නෙමි. ඔහුගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි.’ මෙය යෙරෙමියා සෑහෙන්න ආත්මිකව පහත වැටී තිබූ බව අඟවන ලක්ෂණයක් වූවාද? නැහැ. යෙරෙමියා තුළ තිබූ ශක්තිමත් ආත්මිකත්වය, යෙහෝවා කෙරෙහි තිබූ ඔහුගේ ප්‍රේමය හා සත්‍යය සඳහා තිබූ ඔහුගේ ජ්වලිතය, දිගටම අනාවැකි පැවසීමට ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. ඔහු මෙසේ පැහැදිලි කරනවා. “මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් [යෙහෝවාගේ වචනය] මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය.” (යෙරෙමියා 20:9) සාමාන්‍යයෙන් කලින් කලට දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් අධෛර්යයට පත් වන අවස්ථා තිබෙනවා. නමුත් මෙවන් තත්වයක සිටින අය උපකාරය පතා යෙහෝවාට යාච්ඤා කරන විට, ඔහු ඔවුන්ගේ හදවත්වල තිබෙන දේවල් තේරුම්ගෙන ශුද්ධාත්මය සපයනවා. එහෙත් ඔහු මෙසේ කරන්නේ යෙරෙමියාගේ මෙන් ඔවුන්ගේ හදවත්වලත් ඔහුගේ වචනය තිබෙනවා නම් පමණයි.—ලූක් 11:9-13; ක්‍රියා 15:8.

‘ආත්මය නොනිවන්න’

9. ශුද්ධාත්මය අප වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී, එයට බාධා ඇති විය හැක්කේ කුමන දේවලින්ද?

9 ‘ආත්මය නොනිවන්න’ කියා ප්‍රේරිත පාවුල් තෙසලෝනිකවරුන්ට උපදෙස් දුන්නා. (1 තෙසලෝනික 5:19) දේවප්‍රතිපත්තිවලට පටහැනි ක්‍රියා හා ආකල්ප, අප තුළ ශුද්ධාත්මයේ ක්‍රියාත්මක වීමට බාධාවක්. (එපීස 4:30) අදදින සිටින ක්‍රිස්තියානීන්ට ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය පවරා තිබෙනවා. මෙම වරප්‍රසාදය කෙරෙහි අප තුළ ගැඹුරු ගෞරවයක් තිබෙනවා. දෙවිව නොදන්න අය අපේ දේශනා වැඩය හෙළා දකින විට, අපි ඒ ගැන පුදුම විය යුතු නැහැ. එහෙත් ක්‍රිස්තියානියෙකු හිතාමතාම තම දේවසේවය නොසලකා හරිනවා නම්, ඔහුව මේ සේවයට පොලඹවන දෙවිගේ ආත්මය නිවී යා හැකියි.

10. (අ) මිනිසුන් දරන ආකල්ප අපිට බලපෑ හැක්කේ කෙසේද? (ආ) අපේ දේවසේවය සම්බන්ධයෙන් 2 කොරින්ති 2:17හි සඳහන් උතුම් ආකල්පය කුමක්ද?

10 අපේ දේවසේවය පොත් පත් බෙදාහැරීමට පමණක් සීමා වී තිබෙන බව ක්‍රිස්තියානි සභාවට සම්බන්ධ නැති සමහර අය සිතන්න පුළුවන්. අපි ගෙයින් ගෙට යන්නේ සම්මාදම් එකතු කිරීමේ අරමුණින් කියා තවත් සමහරු වරදවා වටහාගත හැකියි. දේවසේවය කෙරෙහි අපේ ආකල්පයට අහිතකර බලපෑමක් කිරීමට එවන් වැරදිසහගත මතවලට අපි ඉඩහැරියොත්, දේවසේවයෙහි අපේ ජ්වලිතය අඩු වී යා හැකියි. එවන් වැරදි අදහස්වල බලපෑමට ලක් නොවී, අපේ දේවසේවය කෙරෙහි යෙහෝවා හා යේසුස් දරන ආකල්පයම අපිත් දරමු. එම උතුම් ආකල්පය ගැන ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා. ‘අපි දෙවිගේ වචනය බොහෝදෙනා මෙන් නරක් නොකර [වෙළඳාමක් කර නොගෙන, NW], අවංකකමින්ද දෙවිගෙන් ලැබුණු ලෙසද දෙවි ඉදිරියෙහි ක්‍රිස්තුස් තුළ කතා කරමු.’—2 කොරින්ති 2:17.

11. හිංසා පීඩා හමුවෙහි පවා තම ජ්වලිතය පවත්වාගැනීමට මුල් ක්‍රිස්තියානීන්ට හැකි වූයේ කෙසේද? ඔවුන්ගේ ආදර්ශය අපිට බලපෑ යුත්තේ කෙසේද?

11 යේසුස් මියගොස් වැඩි කලක් යන්න කලින් යෙරුසලමෙහි සිටි ඔහුගේ ගෝලයන්ට හිංසා පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණා. ඔවුන්ට තර්ජනය කළා. දේශනා කිරීම නැවැත්වීමට ඔවුන්ට නියෝග කළා. එහෙත් ඔවුන් ‘ශුද්ධාත්මයෙන් පූර්ණව දෙවිගේ වචනය නිර්භීතව කතා කළා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 4:17, 21, 31) ඉන් අවුරුදු කිහිපයකට පසු, පාවුල් තිමෝතිට ලියූ මෙම වදන්වලින් ක්‍රිස්තියානීන් පවත්වාගත යුතු ඒකාන්ත ආකල්පය පැහැදිලි වෙනවා. “[දෙවි] අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය. එබැවින් අපගේ [ස්වාමීන්ගේ] සාක්ෂිය ගැනවත් [ඔහුගේ] හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, [දෙවිගේ] බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමග දුක් විඳින්න.”—2 තිමෝති 1:7, 8.

අපේ අසල්වාසීන් වෙනුවෙන් අපි බැඳී සිටින්නේ කුමක් කිරීමටද?

12. අපි ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රධානතම හේතුව කුමක්ද?

12 දේවසේවය කෙරෙහි නිසි ආකල්පයක් ඇතුව සිටීමට නම්, අපි තුළ හරි චේතනාවක් තිබිය යුතුයි. ඇයි අපි දේශනා කරන්නේ? මෙයට ප්‍රධානතම හේතුව ගීතිකාකරුගේ මෙම වදන්වල දැකිය හැක. “[යෙහෝවා] . . . ඔබගේ ශුද්ධවන්තයෝද [ඔබට පක්ෂපාත අය, NW] ඔබට ප්‍රශංසාකරන්නෝය. [දෙවිගේ] බලවත් ක්‍රියාත් [ඔහුගේ] රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස, ඔව්හු ඔබගේ රාජ්‍යයේ මහිමය වර්ණනාකරන්නෝය, ඔබගේ බලය ගැනද කථාකරන්නෝය.” (ගීතාවලිය 145:10-12) ඔව්, අපි දේශනා සේවයේ හවුල් වීමේ අරමුණ වන්නේ, ප්‍රසිද්ධියේ යෙහෝවාට ප්‍රශංසා කරමින් සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔහුගේ නාමය විශුද්ධවත් කිරීමයි. අපට සවන් දෙන්නේ ටිකදෙනෙක් වුණත්, අපි අත්නෑර විශ්වාසවන්තව ගැළවීමේ පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් යෙහෝවාට ප්‍රශංසාව ගෙන දිය හැකියි.

13. ගැළවීමේ බලාපොරොත්තුව ගැන අනිත් අය සමඟ කතා කිරීමට අප තුළ පෙලඹවීමක් ඇති කරන්නේ මොනවාද?

13 ඒ වගේම දේශනා කිරීමට අප තුළ පෙලඹවීමක් ඇති කරන්නේ, මිනිසුන් කෙරෙහි තිබෙන ප්‍රේමය හා ලේ වරදින් නිදහස් වීමට තිබෙන වුවමනාවයි. (එසකියෙල් 33:8; මාර්ක් 6:34) ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින අය ගැන කතා කරමින් පාවුල් පැවසූ පහත සඳහන් වදන් මෙම කාරණය හා සම්බන්ධයි. “මම ග්‍රීක්වරුන් හා ම්ලේච්ඡයන්ටත් ඥානවන්තයන් හා අඥානයන්ටත් ණයකාරයෙක්ව සිටිමි.” (රෝම 1:14) දෙවිගේ කැමැත්ත ‘සියලු ආකාර මනුෂ්‍යයන් ගැළවීම’ ලබාගන්නවා දැකීම නිසා, මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න තමා ණයකාරයෙක් මෙන් බැඳී සිටිනවා කියා ඔහුට හැඟුණා. (1 තිමෝති 2:3, 4) අදදින අපිටත් අපේ අසල්වාසීන් කෙරෙහි එවැනිම ප්‍රේමයක් හා වගකීමේ හැඟීමක් තිබෙනවා. මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් මිය යෑම සඳහා තම පුත්‍රයාව මේ පොළොවට එවීමට දෙවිව පෙලඹුවේ මිනිසුන් කෙරෙහි තිබූ ඔහුගේ ප්‍රේමයයි. (යොහන් 3:16) දෙවි කළේ විශාල පරිත්‍යාගයක්. යේසුස්ගේ ජීවිත පූජාව මත පදනම් වන ගැළවීමේ පණිවිඩය අනිත් අයට පැවසීම සඳහා අපේ කාලය හා ශ්‍රමය වැය කරන විට, අප අනුකරණය කරමින් සිටින්නේ යෙහෝවාගේ ප්‍රේමයයි.

14. ක්‍රිස්තියානි සභාවෙන් පිටත තිබෙන ලෝකය ගැන බයිබලයේ විස්තර කරන්නේ කෙසේද?

14 යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෙසු මිනිසුන්ව සලකන්නේ ඉදිරියේදී තමන්ගේ ක්‍රිස්තියානි සහෝදරයන් විය හැකි අය ලෙසයි. නිර්භීතව දේශනා කළ යුතු වුවත්, අපි දබරවලට පටලැවෙන්නේ නැහැ. පොදුවේ මේ ලෝකය ගැන කතා කරන විට බයිබලය ප්‍රබල යෙදුම් යොදාගන්නා බව ඇත්තයි. පාවුල් “මේ ලෝකයේ ප්‍රඥාව” හා “ලෞකික තෘෂ්ණා” ගැන කතා කරන අවස්ථා සලකා බැලීමේදී පැහැදිලි වන්නේ, ‘ලෝකය’ යන වචනයෙහි නිෂේධාත්මක අර්ථයක් ගැබ්ව තිබෙන බවයි. (1 කොරින්ති 3:19; තීතස් 2:12) එපීසවරුන් “මේ ලෝකයේ ව්‍යවහාරය ලෙස [පවතින ක්‍රමයට අනුව, NW]” ගමන් කරමින් සිටි කාලයේදී ඔවුන් ආත්මිකව “මැරී” සිටි බව පාවුල් ඔවුන්ට මතක් කර දුන්නා. (එපීස 2:1-3) ඉහත සඳහන් කළ ප්‍රකාශ මෙන්ම ඊට සමාන වෙනත් ප්‍රකාශ, ‘මුළු ලෝකය නපුරා තුළය’ යනුවෙන් ප්‍රේරිත යොහන් පැවසූ වදන් සමඟ එකඟයි.—1 යොහන් 5:19.

15. ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින අය සම්බන්ධයෙන් අපි නොකළ යුත්තේ කුමක්ද? එයට හේතුව කුමක්ද?

15 කෙසේවෙතත්, එවන් ප්‍රකාශයන්ගෙන් යොමු දක්වන්නේ එක් එක් පුද්ගලයන්ට නොව, නමුත් පොදුවේ දෙවිගෙන් ඈත් වී සිටින ලෝකයට බව මතක තබාගන්න. යම් පුද්ගලයෙක් ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන ආකාරය ගැන ක්‍රිස්තියානීන් කල් තියාම නිගමනවලට එළඹෙන්නේ නැහැ. එළුවෙක් කියා පුද්ගලයෙකුව වර්ග කරන්න ඔවුන්ට කිසිම පදනමක් නැහැ. යේසුස් “එළුවන්” කෙරෙන් “බැටළුවන්” වෙන් කරන්න පැමිණෙන විට, ඔහු දෙන තීන්දුව ගැන යමක් පැවසීම අපිට අයිති දෙයක් නොවෙයි. (මතෙව් 25:31-46) විනිශ්චයකරු හැටියට පත් කර තිබෙන්නේ අපිව නොව, යේසුස්වයි. ඒ විතරක් නොවෙයි, දුෂ්චරිතයෙහි හැසුරුණු සමහර අය සත්‍යය පිළිගෙන, වෙනස්කම් කරමින් යහපත් ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන බව අද්දැකීම්වලින් පෙනී යනවා. එනිසා, අපි සමහර පුද්ගලයන් සමඟ ඇසුරට නොගියත්, අවස්ථාවක් ලැබුණු විට පසුබට නොවී ඔවුන් සමඟ රාජ්‍ය බලාපොරොත්තුව ගැන කතා කළ යුතුයි. ඇතැම් පුද්ගලයන් නොඇදහිලිවන්තයන් වුණත්, “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන” අය හැටියට ශුද්ධ ලියවිලිවල ඔවුන් ගැන සඳහන් කර තිබෙනවා. එවැනි අය පසු කාලයේදී ඇදහිලිවන්තයන් බවට පත් වී තිබෙනවා. (ක්‍රියා 13:48, NW) මෙසේ නිසි නැඹුරුවාවක් දක්වන්නේ කවුද කියා සාක්ෂියක් දරන තෙක් අපි දන්නේ නැහැ. සමහරවිට මෙවැනි අයව හඳුනාගැනීමට අපිට බොහෝ වාරයක් සාක්ෂි දරන්න සිදු විය හැකියි. මෙය මනසෙහි තබාගනිමින්, තවමත් ගැළවීමේ පණිවිඩය පිළිගෙන නැති අයට “මෘදුකමින්ද” “ගැඹුරු ගෞරවයකින් යුක්තවද” සලකමු. මොවුන් අතර සිටින සමහර අය ජීවනයේ පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියන බලාපොරොත්තුව ඇතුව සිටිමු.—2 තිමෝති 2:26; 1 පේතෘස් 3:15NW.

16. අපි “ඉගැන්වීමේ කලාව” දියුණු කරගත යුතු වීමට එක් හේතුවක් කුමක්ද?

16 ගුරුවරුන් හැටියට අපේ හැකියාවන් දියුණු කරගැනීමෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අපේ ජ්වලිතය වැඩි කරගත හැකියි. මෙය පැහැදිලි කරගැනීමට මෙම උදාහරණය සලකා බලන්න. උනන්දුව දනවනසුලු ක්‍රීඩාවක්, ඒ ක්‍රීඩාව ගැන දන්නේ නැති කෙනෙකුට සිත්ගන්නාසුලු එකක් නොවිය හැකියි. එහෙත් ඒ ක්‍රීඩාව ගැන හොඳින් දන්න කෙනෙකුට, එය මහත් සතුටක් ගෙන දෙන දෙයක් විය හැකියි. ඒ හා සමානව, “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්නා විට ක්‍රිස්තියානීන් දේවසේවයෙන් වැඩි සතුටක් ලබනවා. (2 තිමෝති 4:2; තීතස් 1:9NW) පාවුල් තිමෝතිට මෙසේ උපදෙස් දුන්නා. “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, [දෙවිට] ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.” (2 තිමෝති 2:15) අපේ ඉගැන්වීමේ හැකියාවන් දියුණු කරගත හැක්කේ කෙසේද?

17. බයිබල් දැනුම සඳහා “දැඩි ආශාවක් ඇති කරගන්න” අපට හැක්කේ කෙසේද? එවන් දැනුමක් අපේ දේවසේවයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

17 එක් මාර්ගයක් වන්නේ සාමාන්‍යයට වඩා වැඩියෙන් නිවැරදි දැනුම ලබාගැනීමයි. ප්‍රේරිත පාවුල් අපව මෙසේ දිරිගන්වනවා. “ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න [දැඩි ආශාවක් ඇති කරගන්න, NW].” (1 පේතෘස් 2:3) නිරෝගි බිළිඳෙක් සහජයෙන්ම කිරිවලට දැඩි ආශාවක් දක්වනවා. එහෙත්, ක්‍රිස්තියානියෙකු බයිබල් දැනුම සඳහා “දැඩි ආශාවක් ඇති කරගන්න” වෑයමක් දැරීම අවශ්‍යයි. කියවීමේ හා අධ්‍යයනය කිරීමේ යහපත් පුරුදු වර්ධනය කරගැනීමෙන් එවන් ආශාවක් ඇති කරගත හැකියි. (හිතෝපදේශ 2:1-6) අපි දේවවචනයේ දක්ෂ ගුරුවරුන් වීමට නම් වෑයම මෙන්ම තමාවම හික්මවාගැනීමද අවශ්‍යයි. මෙසේ කිරීමෙන් මහඟු විපාක අත් කරගත හැකියි. දේවවචනය අධ්‍යයනය කිරීමෙන් ලබන ප්‍රීතිය, අපව දෙවිගේ ආත්මයෙන් ජ්වලිත වීමට සලස්වයි. එමෙන්ම එම ප්‍රීතිය, අපි ඉගෙනගන්න දේවල් අනිත් අය සමඟ බෙදාගැනීමට අප තුළ දැඩි උනන්දුවක් ඇති කරවයි.

18. සැබෑවේ වචනය හරියාකාරව පහදා දීමට අවශ්‍ය පුහුණුව ක්‍රිස්තියානි රැස්වීම් මගින් අපිට ලැබෙන්නේ කෙසේද?

18 දේවවචනය දක්ෂ ලෙස යොදාගැනීමේ අපේ හැකියාවන් වර්ධනය කරගැනීමේදී ක්‍රිස්තියානි රැස්වීම්ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ප්‍රසිද්ධ කථාවලදී හා ශුද්ධ ලියවිලි පදනම් කරගනිමින් කරනු ලබන වෙනත් සාකච්ඡාවලදී බයිබල් පද කියවන විට, අපිත් අපේම බයිබලයෙන් ඒ පද පෙරළා බලනවා නම්, හොඳ ප්‍රතිඵල අත් කරගත හැකියි. රැස්වීම්වල ඉදිරිපත් කරන කොටස්වලට, විශේෂයෙන්ම අපේ දේශනා සේවය හා සම්බන්ධ කොටස්වලට කිට්ටු අවධානයක් දීම නැණවත් දෙයක්. නිරූපණ ඉදිරිපත් කරන අවස්ථාවලදී සිත වෙනතකට යොමු කිරීම මගින් ඒවායේ තිබෙන වැදගත්කම අපි කවදාවත් සුළු කොට නොතැකිය යුතුයි. මේ සඳහාත් අවශ්‍ය වන්නේ තමාවම හික්මවාගැනීම හා සිත එක තැනක තබාගැනීමට වෑයම් කිරීමයි. (1 තිමෝති 4:16) ක්‍රිස්තියානි රැස්වීම්, අපේ ඇදහිල්ල ශක්තිමත් කරනවා වගේම දේවවචනය කෙරෙහි දැඩි ආශාවක්ද අප තුළ ඇති කරවනවා. එමෙන්ම ජ්වලිතයෙන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන් වීමට අපව පුහුණු කරනවා.

අපිට යෙහෝවාගේ අනුබලය තිබෙන බවට කිසිම සැකයක් නැහැ

19. දේශනා කිරීමේ වැඩයෙහි නිතිපතා හවුල් වීම ඉතා වැදගත් වන්නේ මන්ද?

19 ‘ආත්මයෙන් ජ්වලිතව’ ශුභාරංචිය දේශනා කිරීමට උනන්දුවෙන් සිටින ක්‍රිස්තියානීන් දේවසේවයේ නිතිපතා හවුල් වීමට දැඩි වෑයමක් දරනවා. (එපීස 5:15, 16) එක් එක්කෙනාගේ තත්වයන් වෙනස් බව ඇත්තයි. හැම කෙනාටම ජීවිත ගැළවීමේ වැඩයේ එක වගේ කාලය යොදවන්න බැහැ. (ගලාති 6:4, 5) එහෙත්, වඩාත් වැදගත් දෙය වන්නේ දේශනා සේවයේ අපි ගත කරන මුළු පැය ගණන නොව, නමුත් අපේ බලාපොරොත්තුව ගැන අනිත් අය සමඟ අපි කතා කරන වාර ගණනයි. (2 තිමෝති 4:1, 2) අපි වැඩි වැඩියෙන් දේශනා සේවයේ හවුල් වන විට, මේ වැඩයේ වැදගත්කම අපි වැඩි වැඩියෙන් අගය කරන්න යනවා. (රෝම 10:14, 15) බලාපොරොත්තුවක් නැතුව සුසුම්ලමින් කෙඳිරිගාන අවංක හදවත් ඇති මිනිසුන් සමඟ වැඩි වාර ගණනක් කතා කරන විට ඔවුන් කෙරෙහි දයානුකම්පාවක් අප තුළ වර්ධනය විය හැකියි.—එසකියෙල් 9:4; රෝම 8:22.

20, 21. (අ) තවමත් අපි ඉදිරියෙහි තිබෙන වැඩය කුමක්ද? (ආ) යෙහෝවා අප දරන වෑයම්වලට අනුබලය සපයමින් සිටින්නේ කෙසේද?

20 යෙහෝවා අපිට විශ්වාසයෙන් යුතුව ශුභාරංචිය බාර දී තිබෙනවා. ඔහුගේ ‘හවුල් වැඩකරුවන්’ හැටියට අපිට ඔහුගෙන් ලැබී තිබෙන මුල්ම බලපැවරුම එයයි. (1 කොරින්ති 3:6-9) දෙවි අපට දී තිබෙන වගකීම මුළු ආත්මයෙන් හා අපේ උපරිම හැකියාවෙන් ඉටු කිරීමට අපි උනන්දු වන්නෙමු. (මාර්ක් 12:30; රෝම 12:1) සත්‍යය සඳහා සාපිපාසයෙන් පෙළෙන එයට නිසි නැඹුරුවාවක් දක්වන මිනිසුන් බොහෝදෙනෙක් තවමත් සිටිනවා. කරන්න වැඩ බොහොමයක් තිබෙනවා. එහෙත්, අපේ දේවසේවය අපි සම්පූර්ණයෙන් ඉටු කරද්දී යෙහෝවාගේ අනුබලය අපිට ලැබෙන බව නිසැකයි.—2 තිමෝති 4:5.

21 යෙහෝවා ඔහුගේ ආත්මය අපිට සපයනවා. එමෙන්ම දේවවචනය නමැති ‘ආත්මයේ කඩුව’ පාවිච්චි කිරීමට අපිට හොඳ පුහුණුවක් සපයනවා. ඔහුගේ උපකාරය ඇතුව “ශුභාරංචියේ පරිශුද්ධ රහස ප්‍රකාශ කිරීම සඳහා බාධාවකින් තොරව කතා කිරීමට [NW]” අපේ මුඛ විවෘත කරන්න අපිට පුළුවන්. (එපීස 6:17-20) ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ මෙම වදන් අපටත් එලෙසම පැවසීමට හැකි වේවා! “අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය.” (1 තෙසලෝනික 1:5) ඔව්, අපි ජ්වලිතව ශුභාරංචිය ප්‍රකාශ කරමු!

කෙටි පුනරීක්ෂණයක්

• ජීවිතයේ වෙහෙස නිසා දේවසේවයෙහි අපේ ජ්වලිතයට කුමක් සිදු විය හැකිද?

• ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තිබෙන ආශාව අපේ හදවත්වල ‘ඇවිළෙන ගින්නකට’ සමාන වන්නේ කුමන ආකාරයෙන්ද?

• දේවසේවය සම්බන්ධයෙන් අපි නැති කරගත යුතු නිෂේධාත්මක ආකල්ප මොනවාද?

• පොදුවේ ගත් කල, අපේ විශ්වාසයන් පිළිනොගන්න අයව අපි සැලකිය යුත්තේ කෙසේද?

• දේශනා කිරීමේ වැඩයෙහි අපේ ජ්වලිතය දිගටම පවත්වාගැනීමට යෙහෝවා අපිට අනුබලය සපයන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානීන් පාවුල්ගේ හා යෙරෙමියාගේ ජ්වලිතය අනුකරණය කරයි

[10වන පිටුවේ පින්තූර]

දේවසේවය සඳහා අප තුළ ජ්වලිතයක් ඇති කරවන්නේ, දෙවි සහ අසල්වැසියන් කෙරෙහි තිබෙන ප්‍රේමයයි