Skip to content

පටුනට යන්න

සිතට සහනයක් ඔබට ලබාගත හැකිද?

සිතට සහනයක් ඔබට ලබාගත හැකිද?

සිතට සහනයක් ඔබට ලබාගත හැකිද?

“මෙලොවේ වෙසෙන ජනයාගෙන් බහුතරයක්ම නිහඬව තැවෙයි.” මෙය 1854දී අමෙරිකානු ලේඛක හෙන්රි තොරෝ විසින් ලියන ලද්දකි.

එදා සිතට සහනයක් තිබුණේ සුළු පිරිසකට පමණක් බව මින් පැහැදිලියි. තොරෝ එම වදන් ලිවූ දා සිට දැන් අවුරුදු 150ක් පමණ ගත වී තිබේ. අදදින තත්වය ගැන කියන්න තිබෙන්නේ කුමක්ද? එය වෙනස් වී තිබේද? එහෙමත් නැත්නම් තොරෝගේ වදන් අදදිනටත් අදාළද? ඔබ ගැන කුමක් පැවසිය හැකිද? ඔබ ජීවිතය ගැන සෑහීමකට පත්ව සිටිනවාද? ඔබේ සිත සන්සුන් තත්වයක පවතිනවාද? එහෙමත් නැත්නම් ඔබ තුළ විටින් විට අනාරක්ෂිතබවේ හැඟීම් පහළ වෙනවාද? අනාගතය ගැන කල්පනා කරද්දී යම් බියක් දැනෙනවාද? තොරෝ පැවසූ ආකාරයට ඔබ සිටින්නේ ‘නිහඬව තැවෙමින්ද?’

කනගාටුවකට මෙන්, සිත කලඹවන ගැටලු ගණනාවක් අද තිබේ. අපි දැන් ඉන් සමහරක් සලකා බලමු. බොහෝ රටවල විරැකියාව හා අඩු වැටුප් ලැබීම විශාල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් දුගී පිරිසක් බිහි වී ඇති අතර, එම ජනයා ආර්ථිකමය වශයෙන් අන්ත අසරණ තත්වයකට වැටී ඇත. එදා වේල සම්බ කරගැනීමට පවා නිරන්තර සටනක යෙදීමට සිදු වන නිසා ඔවුන් සිටින්නේ දැඩි මානසික පීඩනයක් යටතේය. මීට හාත්පසින්ම වෙනස් තත්වයක් තිබෙන රටවල්ද ඇත. එම රටවල බහුතරයක්ම තම කාලය හා ශ්‍රමය වැය කරන්නේ මුදල් හා ද්‍රව්‍යමය දේවල් අත් කරගැනීමටයි. ඔවුන් ජීවත් වන්නේ තරඟකාරි ලොවකයි. සිතට සහනයක් ලැබෙනවා වෙනුවට ඔවුන් අද්දැක තිබෙන්නේ සිත්තැවුල පමණයි. එපමණක් නොවෙයි, ලෙඩ රෝග, යුද්ධ, අපරාධ, අයුක්තිය හා පීඩිත තත්වයන් නිසාද ඔවුන් සිටින්නේ අසහනයෙනි.

සිතට සහනයක් සොයමින්

ලෝකයේ පවතින සිත කලඹවන ප්‍රශ්නවලට විසඳුමක් සොයන බොහෝදෙනෙක් සිටිති. ඇන්ටෝනියෝ a ඉන් එක්කෙනෙකි. ඔහු බ්‍රසීලයේ විශාල කර්මාන්ත ශාලාවක කම්කරු සමිතියේ නායකයෙක් වශයෙන් කටයුතු කළේය. ඔහු මිනිසුන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීමේ අටියෙන් විරෝධය පළ කරන බොහෝ වැඩ වර්ජනවලටද සහභාගි විය. නමුත් මෙයින් ඔහුගේ සිතට සහනයක් නම් ලැබුණේ නැත.

සෑම ප්‍රශ්නයකටම විසඳුම විවාහයයයි සලකා එයට පා තබන අයද සිටියි. එයින් සිතට සතුටක් හා සහනයක් ලැබෙයි කියා ඔවුන් බලාපොරොත්තු වේ. මාර්කොස් දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු දේශපාලනික කටයුතුවලද නිරත විය. කාලයාගේ ඇවෑමෙන් ඔහුට කාර්මික නගරයක නගරාධිපති තනතුර ලැබිණ. බැලූ බැල්මට ඔහු ගත කරමින් සිටියේ සාර්ථක ජීවිතයකි. නමුත් ඔහුගේ ගෙදර තත්වය ගැන කුමක් කිව හැකිද? ඔහුගේ භාර්යාවත් ඔහුත් අතර සමථයකට පත් කිරීමට නොහැකි වූ ප්‍රශ්න තිබිණ. එමනිසා දරුවන් ගෙදරින් පිට වූ විගසම ඔවුහු දෙදෙනා වෙන් වී ජීවත් වීමට තීරණය කළෝය.

බ්‍රසීලයේ, සැල්වදෝරයේ වීථිවල ජීවත් වූ ගර්සන්ගේ තත්වය සලකා බලන්න. ඔහු පාරේ ගමන් කරන ට්‍රක් රථ නවතා, ඒවායෙහි නැඟ නගරයෙන් නගරයට ගමන් කළේය. ඔහුගේ ජීවිතයට කිසිම අරමුණක් තිබුණේ නැත. වැඩි කල් යන්න පෙර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විය. මෙම නරක පුරුද්ද දිගටම පවත්වාගෙන යෑම සඳහා ඔහු සොරකමට වැටුණ අතර, පොලිසිය ඔහුව කිහිප වතාවක්ම අත්අඩංගුවටත් ගෙන තිබිණ. ගර්සන්ට නපුරු සහ ප්‍රචණ්ඩකාරි ස්වභාවයක් තිබුණත් ඔහුද සිතට සහනයක් සොයමින් සිටියේය. ඔහුට එය ලැබුණාද?

වානියා යෞවනියක්ව සිටියදීම ඇගේ මව මිය ගියාය. පවුල බලාකියා ගැනීමේ වගකීමට අමතරව අසනීපයෙන් සිටි ඇගේ නංගීට සාත්තු කිරීමටද ඇයට සිදු විය. ඇය නිතරම පල්ලි ගියත් ඇගේ සිතට කිසිම සහනයක් නම් ලැබුණේ නැත. ඇයට හැඟුණේ දෙවි ඇයව අත්හැර තිබුණ බවයි.

මාර්සෙලූගේ තත්වයද සලකා බලන්න. ඔහුගේ ජීවිතයේ එකම ඉලක්කය වූයේ කා බී විනෝදයෙන් ජීවත් වෙන එකයි. ඔහු මිත්‍රයන් හා වෙනත් තරුණයන් සමඟ එකතු වී විනෝද වීමට කැමැත්තක් දැක්වූයේය. මෙවැනි අවස්ථාවලදී සියලුදෙනාම මත්පැන් හා මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කිරීමට පුරුදු වී සිටියහ. එවන් අවස්ථාවකදී මාර්සෙලූ ලොකු රණ්ඩුවකට පැටලී තරුණයෙකුට තුවාල කළේය. එම සිද්ධියෙන් පසුව ඔහුගේ සිතට ලොකු දුකක් දැනිණ. එමනිසා සිතට සහනයක් ගෙන දෙන මෙන් ඔහු දෙවිට යාච්ඤා කළේය.

මෙම අද්දැකීම්, සිත කලඹවන ප්‍රශ්න සඳහා හොඳ උදාහරණ වේ. කම්කරු සමිතියේ නායකයා, දේශපාලනඥයා, වීථියේ ජීවත් වූ දරුවා, අධික වැඩ නිසා පීඩනයට ලක් වූ දැරිය හා විනෝදයට බර යෞවනයා යන සියලුදෙනාම සොයමින් සිටියේ එකම දෙයකි. එනම් සිතට සහනයක්. ඔවුන්ට එය ලැබුණාද? ඔවුන්ගේ අද්දැකීම්වලින් අපට ඉගෙනගැනීමට යමක් තිබේද? අප ඊළඟ ලිපියේ සලකා බලන්න යන පරිදි එම ප්‍රශ්න දෙකටම “ඔව්” කියා අපට පිළිතුරු දිය හැකියි.

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර ඇත.

[3වන පිටුවේ පින්තූරය]

සිතට සහනයක් ලබාගැනීම ඔබේ හෘදයාංගම ආශාවද?