Skip to content

පටුනට යන්න

අන්තියෝකියේ වර්ධනයට පීඩා හේතු වේ

අන්තියෝකියේ වර්ධනයට පීඩා හේතු වේ

අන්තියෝකියේ වර්ධනයට පීඩා හේතු වේ

ස්තේපන්ව ඝාතනය කිරීමෙන් පසුව, හටගත් පීඩා රැල්ල නිසා, යේසුස්ගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙක් යෙරුසලමෙන් පලා ගියහ. පලා ගියවුන් සරණ පැතූ එක් ස්ථානයකි, යෙරුසලමට කිලෝමීටර් 550ක් පමණ උතුරින් පිහිටා තිබූ නගරයක් වන සිරියාවේ අන්තියෝකිය. (ක්‍රියා 11:19) ඉන් අනතුරුව සිදු වූ දේවල් ක්‍රිස්තියානි ධර්මයේ ඉදිරි ගමනට බෙහෙවින් බලපෑවේය. සිදු වූ දේ තේරුම්ගැනීමට, අන්තියෝකියේ පසුබිම පිළිබඳව දැනගැනීම අපට ප්‍රයෝජනවත් වේ.

රෝම අධිරාජ්‍යයෙහි තිබූ නගර අතුරින්, ප්‍රමාණයෙන්, ධනයෙන් සහ වැදගත්කමින් අන්තියෝකියට වඩා පෙරමුණින් සිටියේ රෝමය සහ ඇලෙක්සැන්ඩ්‍රියාව පමණි. මධ්‍යධරණි මුහුදේ ඊසාන දිග කෙළවරේ පිහිටි ස්ථාන අතුරින් ප්‍රධාන තැනක් ගත්තේ සිරියාවේ මෙම අගනුවරයි. අන්තියෝකිය (නවීන දින තුර්කියේ, ආන්ටාක්‍යා) නැව් ගමනාගමනයට යෝග්‍ය වූ ඕරෝන්ටිස් නදිය අසබඩ පිහිටා තිබිණ. එම නදිය මුහුදට ගලා බැස්සේ අන්තියෝකියට කිලෝමීටර් 32ක් දුරින් පිහිටි සෙලුසියා පියෙරියා (සිලුකිය) යන වරායේදීය. එමනිසා, මෙම නගරවල් දෙක අතර වඩා හොඳ සම්බන්ධතාවක් පැවතිණ. රෝමය සහ යුප්‍රටීස්-ටයිග්‍රිස් නම් නිම්නය අතර පිහිටා තිබූ ඉතා වැදගත් වෙළඳ මාර්ගයක සන්ධිස්ථානයක් හැටියටද අන්තියෝකිය සැලකිය හැක. ඇත්තෙන්ම, මෙම නගරය රෝම අධිරාජ්‍යයේ වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් විය. විවිධ පසුබිම්වල සිටි මනුෂ්‍යයෝ මෙම නගරයට ඇදී ආවෝය. පැමිණි එම මනුෂ්‍යයෝ රෝම ලෝකයේ පැතිරී ගිය ආගමික ව්‍යාපාරයන්වල තොරතුරුද අන්තියෝකියට ගෙනාවෝය.

අන්තියෝකිය තුළ ග්‍රීක ආගම් සහ දර්ශන ප්‍රබල වූ කාලයක් තිබිණ. එනමුත් ඉතිහාසඥ ග්ලැන්විල් ඩවුනි පවසන දේට අනුව “ක්‍රිස්තුස්ගේ කාලයේදී, ජනයා තම ගැටලු සහ අභිලාෂයන් සම්බන්ධයෙන් ආගමික විසඳුම් සොයාගත්තේ පෞද්ගලික මට්ටමිනි. එමනිසා, එම පුරාණ ආගමික ලබ්ධීන් සහ දර්ශනයන් පුද්ගලයන් කිහිපදෙනෙකුට පමණක් සීමා වූ විශ්වාසයන් බවට පත් විය.” (සිරියාවේ අන්තියෝකියේ ඉතිහාසය) එක දෙවිකෙනෙකුට පමණක් නමස්කාර කළ යුදෙව් ධර්මයේ වතාවත් පැවැත්වීමෙන් සහ ආචාරධර්මයන් පිළිපැදීමෙන් බොහෝදෙනෙක් ආගමික වශයෙන් තෘප්තියක් ලැබූහ.

පොදු යුගයට පෙර 300දී, අන්තියෝකිය නගරයක් වශයෙන් පිහිටෙවූ දා සිට, සෑහෙන විශාල යුදෙව්වන් පිරිසක් මෙහි පදිංචි වී තිබිණ. එම පිරිස ගණනින් 20,000ක සිට 60,000ක් අතර සංඛ්‍යාවක් වූ බවට දැන් ගණන් බලා තිබේ. ඉන් අදහස් කරන්නේ එම නගරයේ සිටින ජනගහනයෙන් සියයට 10කට වැඩි පිරිසකි. ඉතිහාසඥ ජොසීෆස්ට අනුව, සෙලුසිඩ් වංශයේ රජවරුන් එම නගරය තුළ යුදෙව්වන්ට පදිංචි වීමට දිරිගැන්වූ අතර, ඔවුන්ට පුරවැසියන් වශයෙන් සම්පූර්ණ අයිතිවාසිකම්ද ලබා දුන්නේය. ඒ කාලය වන විට, හෙබ්‍රෙව් ලියවිලි ග්‍රීක් බසින්ද ලබාගත හැකි විය. ඒ හේතුවෙන් මෙසියස් කෙනෙකුගේ පැමිණීම සම්බන්ධයෙන් යුදෙව්වන්ට තිබූ බලාපොරොත්තුව ගැන වෙනත් අයද උනන්දුවක් දැක්වීමට පටන්ගත්හ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ ග්‍රීකයෝ යුදෙව් ධර්මය වැලඳගත්හ. මෙම හේතු සාධක සියල්ල දෙස බලද්දී, අන්තියෝකිය ක්‍රිස්තියානි ගෝලයන් සෑදීම සඳහා තෝතැන්නක් වූයේ මන්ද කියා පැහැදිලි වේ.

අන්‍යජාතිකයන්ට සාක්ෂි දැරීම

පීඩාවට පත් වූ යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් වැඩිදෙනා යෙරුසලමෙන් විසිර ගිය විට, ඔවුන් තම ඇදහිල්ල බෙදාගත්තේ යුදෙව් අය සමඟ පමණි. කෙසේවෙතත්, අන්තියෝකියේදී, කුප්‍රසයෙන් සහ කිරේනියෙන් පැමිණි ගෝලයෝ “ග්‍රීක් කතා කරන ජනයාට” කතා කළහ. (ක්‍රියා 11:20NW) ග්‍රීක් කතා කරන යුදෙව්වන්ට සහ යුදෙව් ආගම වැලඳගත් අයට දේශනා කිරීම පො.යු. 33 පෙන්තකොස්ත දවසේ සිට ආරම්භ වූ බවට සාක්ෂි ඇතත්, අන්තියෝකියේ සිදු වූ දේශනා කිරීමේ ප්‍රයත්නය අලුත්ම අද්දැකීමක් බව පෙනේ. එම දේශනා කිරීම අදාළ වූයේ යුදෙව්වන්ට පමණක්ම නොවේ. ඊට කලින්, අන්‍යජාතිකයෙක් වූ කොර්නේලියස් සහ ඔහුගේ පවුලේ අය ගෝලයන් බවට පත් වූ බව සැබෑය. එනමුත්, ඊට පෙර අන්‍යජාතිකයන්ට එලෙස දේශනා කිරීම යෝග්‍ය බව ප්‍රේරිත පේතෘස්ට ඒත්තුගැන්වීම සඳහා යෙහෝවාගෙන් යම් දර්ශනයක් ලබාගැනීම අවශ්‍ය කරවිය.—ක්‍රියා 10:1-48.

අන්තියෝකියෙහි සෑහෙන යුදෙව් පිරිසක් විසූහ. එමෙන්ම ඔවුන්ට එහි දීර්ඝ ඉතිහාසයක්ද තිබිණ. එහි සිටි යුදෙව්වන් සහ අන්‍යජාතිකයන් අතර එතරම්ම එදිරිවාදිකමක් දක්නට නොලැබිණ. එවැනි පසුබිමක් යටතේ යුදෙව් නොවූවන්ට සාක්ෂි දැරීම ප්‍රශ්නයක් නොවූ අතර, ඔවුහු ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වමින් සිටියහ. එවැනි වර්ධනයකට මඟ පාදන වාතාවරණයක් අන්තියෝකියෙහි පැවති බවට සාක්ෂි ඇත. එමනිසා, ‘විශ්වාස කළාවූ විශාල ගණනක් හැරුණෝය.’ (ක්‍රියා 11:21) ඇරත්, කලින් මිථ්‍යාදෘෂ්ටික දෙවි දේවතාවන්ට වන්දනාමාන කළ නමුත් පසුව යුදෙව් ආගමට හැරුණු අය ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් විට, ඒ වන විටත් මිථ්‍යාදෘෂ්ටික දෙවි දේවතාවන්ට වන්දනාමාන කරමින් සිටි අයට බලපෑමෙන් යුක්තව සාක්ෂි දැරීමට ඔවුහු විශේෂයෙන් සමත් වූහ.

අන්තියෝකියේ සිදු වෙමින් තිබූ දේ යෙරුසලමෙහි පිහිටි සභාවට ආරංචි වූ නිසා, ඒ ගැන සොයා බැලීමට බාර්ණබස්ව එවන ලදි. මෙසේ ඔවුන් ගත් තීරණය ඥානවන්ත මෙන්ම ප්‍රේමනීය එකක් ලෙස සැලකිය හැක. යුදෙව් නොවූවන්ට දේශනා කරන්න පටන්ගත් ඇතැමුන් මෙන් ඔහුද කුප්‍රස ජාතිකයෙක් විය. එබැවින්, අන්තියෝකියේ අන්‍යජාතිකයන් අතර බාර්ණබස්ට අපහසුතාවක් නොදැනෙන්න ඇතැයි විශ්වාස කිරීම සාධාරණය. තවද ඔවුන් ඔහුව ඔවුන්ගේම සමාජයේ සාමාජිකයෙකු ලෙස සලකන්න ඇති. a එසේ නම්, බාර්ණබස් ඔවුන් කරමින් සිටි වැඩය සම්බන්ධයෙන් තේරුම්ගැනීමට හැකි පුද්ගලයෙකුව සිටි බව පැහැදිලිය. එමනිසා, “ඔහු ඇවිත් [දෙවිගේ] අනුග්‍රහය දැක, සන්තෝෂවී, [ස්වාමීන්] කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය. . . . මහත් සමූහයක්ද [ස්වාමීන්ට] එක්කරනලද්දෝය.”—ක්‍රියා 11:22-24.

“අන්තියෝකියට කළ මෙම දූත මෙහෙවර සාර්ථක වීමට ප්‍රායෝගික හේතු කිහිපයක්ම ඉවහල් විය. යෙරුසලමේදී මෙන් යුදෙව් උන්මත්තකයන්ට මුහුණ දීමට මෙම නුවරට පැමිණි මිෂනාරිවරුන්ට සිදු වූයේ නැත. තවද සිරියාවේ අගනුවර වූ මෙය, තානාපතියෙකුගේ ආධිපත්‍යය යටතේ පැවති නිසා, මෙහි සමාජය තුළ හොඳ විනයක් පැවතිණ. යෙරුසලමේ ආණ්ඩු නිලධාරීන්ට යුදෙව් උන්මත්තකයන්ව (අඩුම තරමින් ඒ වකවානුවේදීවත්) මැඩපැවැත්වීමට නොහැකි වූ බව පෙනේ. යෙරුසලම මෙන් මෙම නගරය කලහාකාරි පිරිස් සඳහා තෝතැන්නක් නොවීය.”

දේශනා කිරීමට ඉතා යෝග්‍ය පසුබිමක් පැවති නිසාත්, කිරීමට බොහෝ දේ තිබුණු නිසාත්, තමාට අමතර උපකාරයක් අවශ්‍ය බව බාර්ණබස්ට වැටහිණ. මේ අතර තම මිත්‍ර සාවුල්ව ඔහුට සිහිපත් විය. සාවුල් නොහොත් පාවුල්ට මෙවන් වරප්‍රසාදයක් ලබා දුන්නේ මන්ද? පාවුල් ප්‍රේරිතයන් 12දෙනාගෙන් කෙනෙකු නොවුවද, අන්‍යජාතිකයන්ට ප්‍රේරිතයෙකු වශයෙන් කටයුතු කිරීමේ වරම ඔහුට ලැබී තිබූ නිසාය. (ක්‍රියා 9:15, 27; රෝම 1:6; එළිදරව් 21:14) එමනිසා, අන්‍යජාතිකයන් බහුතරයක් විසූ අන්තියෝකියේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී පාවුල් කදිම සහයකයෙකු විය. (ගලාති 1:15, 16) ඒ අනුව, බාර්ණබස් තාර්සස් බලා ගොස්, සාවුල්ව මුණගැසී ඔහු කැටුව නැවත අන්තියෝකියට පැමිණියේය.—ක්‍රියා 11:25, 26; 26-27වන පිටුවල කොටුව බලන්න.

දිව්‍ය මඟ පෙන්වීමකින් ක්‍රිස්තියානීන් යන නාමය ලැබීම

සාවුල් සහ බාර්ණබස් “අවුරුද්දක් මුළුල්ලෙහිම සභාව සමඟ රැස්ව, මහත් සමූහයකට ඉගැන්නුවෝය; ගෝලයෝ [දිව්‍ය මඟ පෙන්වීමකින්, NW] ක්‍රිස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදීය.” යේසුස්ගේ ගෝලයන්ට ක්‍රිස්තියානීන් (ග්‍රීක්) හෝ මෙසියානුවාදීන් (හෙබ්‍රෙව්) යන නාමය දීමට යුදෙව්වන් මුල් වූ බව සිතීම උගහටය. යුදෙව්වන් යේසුස්ව මෙසියස් නොහොත් ක්‍රිස්තුස් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔහුගේ අනුගාමිකයන්ට ක්‍රිස්තියානීන් යන නම දී, ඒ බව වක්‍රව අඟවයි කියා අපට සිතිය නොහැක. මිථ්‍යාදෘෂ්ටික ජනයා සරදමට හෝ විහිළුවට මෙන් ඔවුන්ට ක්‍රිස්තියානීන් කියන නාමය පටබන්ද බව ඇතමුන්ගේ අදහස වේ. කෙසේවෙතත්, බයිබලයට අනුව නම්, ක්‍රිස්තියානීන් යන නම දෙවිගෙන් ලද්දකි.—ක්‍රියා 11:26.

ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල, මෙම අලුත් නාමය සම්බන්ධයෙන් යොදාගෙන ඇති “කියනු ලැබුවේ” යන ක්‍රියා පදයට දිව්‍යමය, ‘අධිස්වාභාවික’ හෝ ‘දිවැස්’ කියන අදහසද මුසුව පවතී. විශාරදයන් එය පරිවර්තනය කර ඇත්තේ, “දිවැස්වැකියක් ප්‍රකාශ කිරීම,” “දිව්‍යමය ලෙස ඇඟවීම” හෝ “දිව්‍යමය ආඥාවක් හෝ අවවාදයක් දීම, ස්වර්ගයේ සිට කරන දැනුවත් කිරීම” ලෙසයි. යේසුස්ගේ ගෝලයන්ට ක්‍රිස්තියානීන් යන නාමය ලැබුණේ “දිව්‍ය මඟ පෙන්වීමකින්” බව පවසා ඇති නිසා, එම නාමය යොදාගැනීමට යෙහෝවා සාවුල්ට සහ බාර්ණබස්ට යම් මඟ පෙන්වීමක් දුන් බව නිගමනය කළ හැක.

මෙම අලුත් නාමය ජනප්‍රිය වූ අතර, යේසුස්ගේ ගෝලයන් යුදෙව් ආගමේ නිකායක් හැටියට තවදුරටත් වරදවා වටහාගත්තේ නැත. ඇත්තෙන්ම ක්‍රිස්තියානි ධර්මය අනික් ධර්මයන්ගෙන් ඉඳුරාම වෙනස් යමක් විය. පොදු යුගයේ 58 පමණ වන විට, ක්‍රිස්තියානීන් කවුරුන්ද යන්න පිළිබඳව රෝම නිලධාරීහු හොඳින් දැන සිටියහ. (ක්‍රියා 26:28) ඉතිහාසඥ ටැසිටස්ට අනුව, පො.යු. 64 වන විට, එම නාමය රෝමයේ ජනතාව අතරද ඉතාමත් ප්‍රචලිත විය.

යෙහෝවා තම ඇදහිලිවන්තයන්ව පාවිච්චි කරයි

ශුභාරංචිය අන්තියෝකියෙහි සෑහෙන දුරට පතළ විය. යෙහෝවාගේ ආශීර්වාදයෙන් සහ දේශනා සේවයෙහි නොකඩවා නිරතව සිටීමට අදිටන් කරගෙන සිටි යේසුස්ගේ අනුගාමිකයන්ගේ උත්සාහයෙන්, අන්තියෝකිය මුල් සියවසේ ක්‍රිස්තියානි ධර්මය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් විය. එහි පිහිටි සභාව දුර බැහැර පිහිටි වෙනත් රටවල ශුභාරංචිය දේශනා කිරීම මෙහෙයවන කේන්ද්‍රස්ථානයක් ලෙස දෙවි භාවිත කළේය. නිදසුනකට, ප්‍රේරිත පාවුල් කළ සෑම මිෂනාරි ගමනක්ම ඇරඹුණේ අන්තියෝකියේ සිටයි.

නූතන කාලයේ යෙහෝවාගේ සේවකයන් විරුද්ධවාදීකම් ඉදිරියෙහි වුවද තම ජ්වලිතය සහ අධිෂ්ඨාන ශක්තිය දිගටම රැකගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකුට ශුභාරංචිය ලැබී ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් තම හෘදයාංගම අගය පළ කොට ඇත. ඇත්තෙන්ම මේ වන තෙක් සැබෑ ක්‍රිස්තියානි ධර්මය නොනවත්වාම ලෝ පුරා ව්‍යාප්ත වී ඇත. b එමනිසා, ඔබ නිර්මල නමස්කාරයට අතහිත දෙන විට යම් විරුද්ධවාදීකම්වලට මුහුණ පානවා නම්, එයට ඉඩ දීම සඳහා යෙහෝවාට හොඳ හේතු ඇති බව සිහියේ තබාගැනීම වටී. මුල් සියවසේදී මෙන්, වර්තමානයේදීත් ජනතාවට දෙවිගේ රාජ්‍යය ගැන දන්වා, ඒ සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලිව දැක්වීමට අවස්ථාවක් ලබා දිය යුතුය. ඇතැම්විට සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ යෙහෝවාට විශ්වාසවන්තව සේවය කිරීම සඳහා ඔබ තුළ තිබෙන අධිෂ්ඨාන ශක්තියයි.

[පාදසටහන්වල]

a පැහැබර දිනයක, අන්තියෝකියේ නිරිත දිගින් පිහිටි කාසියස් කන්දේ සිට බලන ඕනෑම කෙනෙකුගේ ඇස ගැටෙන්නේ කුප්‍රස දූපතයි.

b මුරටැඹ 1999 අගෝස්තු 1, 9 පිටුව; පිබිදෙව්! 1999 මැයි 8, 21-2 පිටු; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත, 1999 (ඉංග්‍රීසියෙන්) 250-2 පිටු බලන්න.

[26, 27වන පිටුවේ කොටුව⁄පින්තූර]

සාවුල් “නිහඬව සිටි වසර කිහිපය”

සාවුල් අන්තියෝකිය බලා ගමන් කළේ පො.යු. 45දී පමණය. ඊට කලින් සාවුල් ගැන ක්‍රියා පොතෙහි සඳහන් අන්තිම අවස්ථාව වන්නේ, යෙරුසලමෙහිදී ඔහුව ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණයකින් මුදවා සෙසු ඇදහිලිවන්තයන් ඔහුව තාර්සස් බලා යෑමට සැලැස්වූ අවස්ථාවයි. (ක්‍රියා 9:28-30; 11:25) එනමුත් එම සිද්ධිය වූයේ සාවුල් අන්තියෝකියට යෑමට අවුරුදු නවයකට පෙර, එනම් පො.යු. 36දීය. ඒ අතරතුර ගෙවී ගිය වර්ෂවලදී සාවුල් කළේ කුමක්ද? ඇතමුන් ඒවා සාවුල් නිහඬව සිටි වසර කිහිපය ලෙස හඳුන්වා ඇත.

සාවුල් යෙරුසලමෙන්, සිරිය සහ කිලිකිය යන පළාත්වලට ගිය අතර, යුදයේ පිහිටි සභාවන්ට මෙම පුවත සැළ විය. එනම් “වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්ති කළාවූ ඇදහිල්ල දැන් දේශනාකරන්නේය” යන්නයි. (ගලාති 1:21-23) ඔහු බාර්ණබස් සමඟ අන්තියෝකියේදී කළ සේවයට මෙයින් යොමු දක්වනවා විය හැකි වුවත්, ඊට කලින් අවස්ථාවලදී පවා සාවුල් නිකරුණේ කාලය නාස්ති නොකළ බවට කිසිදු සැකයක් නැත. පොදු යුගයේ 49 පමණ වන විට, සභා කිහිපයක්ම සිරියේ සහ කිලිකියේ පිහිටා තිබිණ. තවත් සභාවක් අන්තියෝකියෙහිද පිහිටා තිබුණේය. එනමුත් සාවුල් නිහඬව සිටියායයි පැවසෙන වසරවලදී සාවුල් කළ සේවයෙහි ප්‍රතිඵලයක් වශයෙන් තවත් සභාවන් පිහිටුවනු ලැබූ බව ඇතැම්හු උපකල්පනය කරති.—ක්‍රියා 11:26; 15:23, 41.

සාවුල් තම ජීවිතයේ අද්දුටු ත්‍රාසජනක සිදුවීම් කිහිපයක්ම මෙම කාලපරිච්ඡේදයෙහි සිදු වූ ඒවා බව ඇතැම් විශාරදයෝ විශ්වාස කරති. සාවුල් ‘ක්‍රිස්තුස්ගේ සේවකයෙකු’ වශයෙන් වින්ද දුෂ්කරතා රාශිය ඔහුගේ මිෂනාරි සේවයේ වෙනත් කාලපරිච්ඡේදයක සිදු වූ බව පැවසීමට තරම් ස්ථිර සාක්ෂි නැත. (2 කොරින්ති 11:23-27) යුදෙව්වරුන්ගෙන් පස්වරක් පහරවල් 39ක් කෑවේ මොන අවස්ථාවේදීද? තුන් වරක් වේවැල්වලින් තැළුම් කෑවේ කොතැනකදීද? ඔහු ‘වැඩි වශයෙන් හිරගෙට’ ගියේ කොතැනකදීද? ඔහු රෝමයේ බන්ධනාගාරගත වූයේ ඊට පසුවය. බයිබලයෙහි ඔහුට පහර දී හිරගෙයි දැමූ එක් අවස්ථාවක් ගැනයි සඳහන් වන්නේ. එනම්, පිලිප්පියේය. එසේ නම්, අනික් අවස්ථාවන් ගැන කුමක් කිව හැකිද? (ක්‍රියා 16:22, 23) එක් ලේඛකයෙකුගේ අදහසට අනුව, සාවුල් මෙම කාලපරිච්ඡේදයේදී, “විසිර ගොස් සිටි යුදෙව් සමාජයේ සිනගෝගවල ක්‍රිස්තුස් ගැන සාක්ෂි දරමින් සිටියේය. ඔහුගේ සාක්ෂිය කොතරම් ප්‍රබල වූවාද කිවහොත්, ආගමික මෙන්ම සිවිල් බලධාරීන්ගේ අතින් පවා පීඩා විඳීමට ඔහුට සිදු විය.”

සාවුල්ගේ මුහුදු ගමන්වලදී, ඔහු නැව් බිඳීයෑම්වලට සිව් වරක් මුහුණ දුන්නේය. එනමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇත්තේ මේවායින් එකක් ගැන පමණි. එයද කොරින්තිවරුන්ට ඔහු වින්ද දුෂ්කරතා පිළිබඳව විස්තර කළායින් පසුව සිදු වූවකි. (ක්‍රියා 27:27-44) එමනිසා, මෙම අනික් අනතුරු තුන අපට කිසිදු තොරතුරක් සපයා නොමැති නැව් ගමන්වලදී සිදු වූවා විය යුතුය. මෙම සිදුවීම් අතුරින් කිහිපයක් හෝ සියල්ලක්ම සාවුල් “නිහඬව සිටි වසරවලදී” සිදු වූ ඒවා විය හැකිය.

මෙම කාලපරිච්ඡේදයෙහි සිදු වූ බවට පෙනී යන තවත් සිදුවීමක් 2 කොරින්ති 12:2-5හි විස්තර කර ඇත. සාවුල් මෙසේ පැවසීය. “[ක්‍රිස්තුස්] තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. . . . එයාකාර මනුෂ්‍යයෙක් පාරාදීසයට ඇදගනු ලැබ, කියන්ට බැරිවූ, මනුෂ්‍යයෙකු විසින් නොකිය යුතුවූ වචන ඇසූ බව දනිමි.” මෙහිදී සාවුල් තමා ගැනම කතා කරමින් සිටි බවට බොහෝ සාක්ෂි ඇත. ඔහු මෙය ලිව්වේ පො.යු. 55දී පමණය. එසේ නම්, වසර 14ක් ආපස්සට ගණන් කළ විට, පො.යු. 41වන වසරට පැමිණේ. එනම් “නිහඬව සිටි වසරවල” මැද භාගයේදීය.

එම දර්ශනයෙන් සාවුල්ට අද්විතීය තීක්ෂණ බුද්ධියක් ලැබුණා විය යුතුය. “එය ලැබුණේ අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්” වශයෙන් ඔහුව සූදානම් කිරීමටද? (රෝම 11:13) ඔහු පසුව දේවල් ගැන කල්පනා කළ ආකාරයට, දේවල් ලිවූ ආකාරයට සහ කතා කළ ආකාරයට එය සැබවින්ම බලපෑවාද? සාවුල් හැරුණු දා සිට අන්තියෝකිය වෙත යෑමට ආරාධනාව ලැබෙන තෙක් ගෙවී ගිය වසර කිහිපය අතර, ඔහුව අනාගත වගකීම් සඳහා පුහුණු කර, ඒ සඳහා සූදානම් කළාද? මෙම ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු මෙතෙක් අපි නොදනිමු. කෙසේවෙතත්, අන්තියෝකියේ සිදු කළ යුතු වූ දේශනා කිරීමේ වැඩය සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කිරීමට සාවුල්ට බාර්ණබස්ගෙන් ඇරයුම් ලැබූ විට, ජ්වලිත වූ සාවුල් එම පැවරුම ඉටු කිරීමට මනා සුදුසුකම් ඇතුව සිටි බවට නම් නිසැක විය හැක.—ක්‍රියා 11:19-26.

[25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

සිරියාව

ඕරෝන්ටිස්

අන්තියෝකිය

සිලුකිය

කුප්‍රසය

මධ්‍යධරණි මුහුද

යෙරුසලම

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[24වන පිටුවේ පින්තූර]

ඉහළ: නවීන දින අන්තියෝකිය

මැද: සිලුකිය දකුණු දෙසින්

පහළ: සිලුකිය වරායේ තාප්පය