Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරගැනීම

ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරගැනීම

ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරගැනීම

“පොහොසත් වෙන්ට නොවෙහෙසෙන්න; ඒ අදහස අත්අරින්න. නැති වී යන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය” කියා පැරණි ආප්තෝපදේශයක් පවසයි. (හිතෝපදේශ 23:4, 5) වෙනත් ආකාරයකින් පවසනවා නම්, වස්තුව රාජාලියෙකු මෙන් කෙදිනක හෝ ඉගිලී යා හැකි නිසා අපේ මුළු කාලය හා ශ්‍රමය කැප කරගෙන එය අත් කරගැනීම සඳහා වෙහෙසීම නුවණට හුරු දෙයක් නොවේ.

ධනය එක විගසම නැති වී යා හැකි බව බයිබලයේ පවසා ඇත්තේ හොඳ හේතු ඇතුවය. එය ස්වාභාවික විපතක් නිසා හෝ ආර්ථිකය බිඳ වැටීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා හෝ නැති වී යා හැක. එපමණක්ද නොවේ, ධන සම්භාරයක් රැස් කරගැනීමට සමත් වී ඇති අය පවා තම ජීවිතය තුළ නිතරම හිස්බවක් අද්දකියි. ජෝන්ගේ රැකියාව වූයේ දේශපාලනඥයන්, ක්‍රීඩා ලොවේ තරු හා උසස් තනතුරු දරන වෙනත් අයට විනෝදය සැපයීමයි. ඔහුගේ ඇද්දැකීම දැන් සලකා බලමු.

“මම නිතරම මගේ රැකියාවට මුල් තැන දුන්නා. මට ඇති තරම් සල්ලි තිබුණා. මම ලොකු හෝටල්වලත් නැවතිලා හිටියා. සමහර දවස්වල මම රැකියාවට ගියේ මටම වෙන් කරලා තිබ්බ ජෙට් යානයකින්. මුලදී මම හිතං හිටියේ මේක තමයි නියම ජීවිතේ කියලා. හැබැයි ටික කාලයකට පස්සේ මට ඒ ඔක්කොම එපා වුණා. මට කාලය ගත කරන්න වුණේ ජීවිතය ගැන පොඩ්ඩක්වත් ගැඹුරට හිතන්නේ නැති හැම දෙයක්ම සැහැල්ලුවට හිතන මිනිස්සු එක්කයි. මගේ ජීවිතයට කිසිම අරමුණක් තිබ්බේ නැහැ කියලා මට හිතුණා” කියා ජෝන් විස්තර කරයි.

ආත්මික සාරධර්මවලින් තොර වූ ජීවිතයකින් සෑහීමකට පත් විය නොහැකි බව ජෝන්ගේ අද්දැකීමෙන් මනාව පැහැදිලි වේ. තම ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී යේසුස් ක්‍රිස්තුස් සැබෑ සන්තෝෂයට මඟ අපට පැහැදිලි කර දුන්නේය. “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්ය. මන්දයත් ස්වර්ග රාජ්‍යය ඔවුන්ට අයිති වන බැවිනි” කියා ඔහු පැහැදිලි කළේය. (මතෙව් 5:3NW) ආත්මික කාරණාවලට ජීවිතයේ මුල් තැන දීම නැණවත් දෙයක් බව අපට මෙයින් පැහැදිලි වන්නේ නැද්ද? නමුත් අපේ ජීවිතයට අරුතක් එක් කළ හැකි අමතර කාරණා කිහිපයක්ද ඇත. ඒවා මොනවාද කියා අපි මුලින්ම සලකා බලමු.

පවුලේ අය හා හිතමිතුරන්ගේ අගය

ඔබට පවුලේ අය සමඟ කිසිම ආශ්‍රයක් නොතිබුණා නම් හෝ කිට්ටු හිතමිතුරන් නොසිටියා නම් තත්වය කෙසේදැයි කල්පනා කර බලන්න. එවැනි ජීවිතයක් ඔබට සන්තෝෂය අත් කර දෙයි කියා සිතිය හැකිද? කොහෙත්ම නැත. දෙවි අපව මවා ඇත්තේ අන් අයට ආදරය දැක්වීමට හා ඔවුන්ගෙන් ආදරය ලබාගැනීමේ අවශ්‍යතාව ඇතුවයි. ‘අපට මෙන් අපේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ අවශ්‍යයි කියා යේසුස් පැවසුවේ එනිසයි. (මතෙව් 22:39) පවුල් ජීවිතය දෙවිගෙන් ලද දීමනාවකි. එය අපට පරාර්ථකාමි ප්‍රේමය විදහාපෙන්වීම සඳහා හොඳ වාතාවරණයක් සකසා දෙයි.—එපීස 3:14, 15, නව අනුවාදය.

අපේ ජීවිතයට සැබෑ අරුතක් එක් කර දීමට පවුල් සබඳතාවලට හැක්කේ කෙසේද? එක්සත් පවුලක් ලස්සන උයනකට සම කළ හැක. එය දෛනික ජීවිතයේ පීඩාකාරි තත්වයන්ගෙන් අපට සහනයක් ගෙන දෙමින් අපව ප්‍රබෝධවත් කරවයි. තවද සුහද පවුල් සබඳතා අපගේ පාළුව හා තනිකම නැති කර දමමින් අපට සන්තෝෂය අත් කර දෙයි. නමුත් මෙය ඉබේම ඇති වන තත්වයක් නොවේ. මේ සඳහා පවුලේ සියලුදෙනා සමඟම තිබෙන අපගේ සබඳතා ශක්තිමත් කරගැනීමට අප වෙර දැරිය යුතුයි. මෙයින් ප්‍රේමය වර්ධනය වන අතර අපේ ජීවිතය වඩාත් තෘප්තිමත් එකක් බවට පත් වෙයි. නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකු විසින් තම කලත්‍රයාට ප්‍රේමය හා ගෞරවය දැක්වීමට ගන්නා සෑම උත්සාහයක්ම හා ඒ වෙනුවෙන් ගත කරන සෑම මොහොතක්ම මහඟු ප්‍රතිඵල අත් කර දෙයි. එය ඇත්තෙන්ම වටියි.—එපීස 5:33.

පවුලක දරුවන් සිටී නම්, ඔවුන්ව සුදුසු වාතාවරණයක් තුළ ඇති දැඩි කිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුයි. ඔවුන් සමඟ හැකි තරම් කාලය ගත කිරීම, නිතරම අදහස් හුවමාරු කරගැනීම හා අවශ්‍ය ආත්මික පුහුණුව ලබා දීම අභියෝගයක් විය හැක. නමුත් ඒ සඳහා මිඩංගු කරන කාලය ඇත්තෙන්ම ප්‍රයෝජනදායකය. දරුවන්ව සුදුසු මාර්ගයේ පුහුණු කරන විට දෙමව්පියන් තම දරුවන්ව සලකන්නේ ඉතා ආදරයෙන් රැකබලා ගත යුතු දෙවිගෙන් ලද වටිනා උරුමයක් ලෙසය. ඇත්තෙන්ම, ඔවුන් තම දරුවන්ව ඇති දැඩි කිරීම සලකන්නේ ආශීර්වාදයක් ලෙසය.—ගීතාවලිය 127:3.

ජීවිතය වඩාත් අර්ථාන්විත හා සතුටුදායක එකක් කිරීමට හිතමිතුරන්ද දායක වේ. (හිතෝපදේශ 27:9) අන්‍යයන් ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වන විට අපට හොඳ මිත්‍රත්වයන් වර්ධනය කරගත හැක. (1 පේතෘස් 3:8) අප යම් ආකාරයකින් වැටී සිටින විට අව්‍යාජ මිත්‍රයෝ අපට නැඟී සිටීමට උපකාර කරති. (දේශනාකාරයා 4:9, 10) තවද, ‘සැබෑ මිත්‍රයෙක් ඉපද සිටින්නේ විපත්තියේදී පිහිට වීමටයි.’—හිතෝපදේශ 17:17.

සැබෑ මිත්‍රයෙක් අපේ ජීවිතයට කොතරම් සතුටක් ගෙන දෙයිද! අප කවුරුත් ඉර පායන දර්ශනය නරඹන්න කැමතියි. එමෙන්ම ප්‍රණීත ආහාර ගන්නත් සිතට සතුටක් ගෙන දෙන සංගීතයට ඇහුම්කන් දෙන්නත් කැමතියි. නමුත් මේ සෑම දෙයක්ම කිට්ටු මිත්‍රයෙක් හා එක් වී කළ විට ඊටත් වඩා ආස්වාදයක් ලැබෙන්නේ නැද්ද? සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම තුළින් හා විශ්වාසනීය මිතුරන් සමඟ කාලය ගත කිරීම තුළින් අපේ ජීවිතයට සැබෑ අරුතක් එක් වේ. නමුත් අපේ ජීවිතය වඩාත් අර්ථවත් එකක් කරගැනීමට දෙවි අපට තවත් මාර්ගයක් දී තිබේ.

අපේ ආත්මික අවශ්‍යතා පිරිමැසීම

අප කලින් සඳහන් කළ පරිදි, යේසුස් ක්‍රිස්තුස් අපේ ආත්මික අවශ්‍යතා ගැන සාවධාන වීම හා සන්තෝෂය එකිනෙකට සම්බන්ධ වන බව පැහැදිලි කළේය. අප සියලුදෙනා තුළම ආත්මික දේවලට නැඹුරුවාවක් තිබේ. එමෙන්ම යහපත් සාරධර්ම විදහාපෙන්වීමට ස්වාභාවික නැඹුරුවාවක්ද තිබේ. ඇත්තෙන්ම අපව මවා ඇත්තේ එම අවශ්‍යතාවන් ඇතුවයි. බයිබලයේ ‘ආත්මික තැනැත්තා’ හා “සිතේ ඇතුල් මනුෂ්‍යයා” ගැන කතා කරන විට යොමු දක්වන්නේ එයටයි.—1 කොරින්ති 2:15; 1 පේතෘස් 3:3, 4.

විලියම් ඊ. වයින්ගේ අලුත් ගිවිසුමේ වදන් පිළිබඳ අර්ථව්‍යාපක ශබ්දකෝෂයට අනුව සිත යන්නෙන් අදහස් වන්නේ, “මිනිසෙකුගේ මානසික මෙන්ම සදාචාරාත්මක ක්‍රියාකාරිත්වයයි. එනම් ඔහු සිතන ආකාරය පමණක් නොව, ඔහුට දේවල් පිළිබඳව හැඟෙන ආකාරයත් මෙයට ඇතුළත් වේ. වෙනත් ආකාරයකින් පැවසුවොත්, පෞද්ගලික ජීවිතයේදී කිසිවෙකුට නොපෙනෙන සේ කරන්න පෙලඹෙන දේවල් නික්මෙන්නේ අපේ සිතෙන්ය.” එම කෘතිය තවදුරටත් මෙසේ පැහැදිලි කරයි. “සිත තිබෙන්නේ මනුෂ්‍යයෙකුගේ ඇතුළාන්තයේය. මනුෂ්‍යයෙකුගේ සැබෑ ස්වභාවය නොහොත් පෞද්ගලිකත්වය ‘සැඟවී’ තිබෙන්නේ එතුළය.”

“සිතේ ඇතුල් මනුෂ්‍යයා” යනුවෙන් අදහස් වන්නේ ‘ආත්මික මනුෂ්‍යයාට’ හෙවත් ‘සැඟවුණු මනුෂ්‍යයාටයි.’ එසේ නම්, සිතේ ඇතුල් මනුෂ්‍යයාගේ අවශ්‍යතාවලට අප අවධානය දෙන්නේ කෙසේද? දේවානුභාවයෙන් ගැයූ ගීතිකාකරුගේ පහත දැක්වෙන වදන්වලට අප එකඟ වෙනවා නම් එසේ කළ හැක. ඔහු මෙසේ ගැයුවේය. ‘යෙහෝවා, දෙවි බව දැනගන්න. ඔහු අප මැවුවේය, අපි ඔහුගේය; අපි ඔහුගේ සෙනඟය, ඔහුගේ ගොදුරුබිමේ බැටළුවෝය.’ (ගීතාවලිය 100:3) අප මෙම අදහස පිළිගන්නවා නම්, දෙවිට පෞද්ගලිකව ගණන් දිය යුතුයි කියා අපි පිළිගනිමු. තවද ‘ඔහුගේ සෙනඟ බවට පත්වීමට හා ගොදුරුබිමේ බැටළුවන්’ වීමට අපට අවශ්‍ය නම් අප ඔහුගේ වචනය වන බයිබලයට එකඟව ක්‍රියා කිරීමට වෑයම් කළ යුතුයි.

මෙය අපේ නිදහසට බාධාවක්ද? කොහෙත්ම නැත. මන්ද අපේ හැසිරීම ගැන දෙවි සැලකිලිමත් වන බව දැනගැනීමෙන් අපේ ජීවිතය වඩාත් අර්ථාන්විත එකක් බවට පත් වන බැවිනි. එයින් අපට වඩාත් යහපත් ජීවිතයක් ගත කිරීමට පෙලඹවීමක් ඇති වේ. මෙය අර්ථවත් ඉලක්කයක් කියා ඔබට හැඟෙන්නේ නැද්ද? ගීතාවලිය 112:1 පවසන ආකාරයට, ‘යෙහෝවා කෙරෙහි භයවන්නාවූ ඔහුගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා සන්තෝෂවත්ය.’ නිසැකවම, දෙවිට ගරුබිය දැක්වීමෙන් හා ඔහුට හද පත්ලෙන්ම කීකරු වීමෙන් අපේ ජීවිතය වඩාත් අර්ථවත් එකක් බවට පත් කරගත හැකිය.

දෙවිට කීකරු වීම අපට සෑහීම ගෙන දෙන්නේ මන්ද කියා සලකා බලන්න. දෙවි අප සියලුදෙනාටම හෘදය සාක්ෂිය නමැති දීමනාව දී තිබේ. හෘදය සාක්ෂිය අප කරන දේවල් හෝ කරන්න යන දේවල් විමසා බලා මනාපය හෝ අමනාපය ප්‍රකාශ කරන සාරධර්ම මාපකයකි. අපේ හෘදය සාක්ෂිය අපට දොස් පවරන විට ඇති වන වේදනාව අප කොයි කවුරුත් හොඳින් අද්දැක තිබේ. (රෝම 2:16) නමුත් අපේ හෘදය සාක්ෂිය අපව සතුටට පත් කරන අවස්ථාද තිබේ. අප පරාර්ථකාමි ලෙස දෙවි හා සෙසු ජනයා සමඟ කටයුතු කරන විට අපේ සිතට ලොකු සතුටක් දැනෙයි. එය අපව සෑහීමට පත් කරයි. ඇත්තෙන්ම, ‘ගැනීමට වඩා දීම ආශීර්වාදයක්’ යන වචනවල සත්‍යතාව අපි අද්දකින්නෙමු. (ක්‍රියා 20:35) මෙයට වැදගත් හේතුවක් තිබේ.

සෙසු ජනයාගේ පෞද්ගලික අවශ්‍යතා හා ඔවුන්ගේ ආශාවන් අපට යම් බලපෑමක් ඇති කරන ආකාරයටයි මැවුම්කරු අපව සාදා තිබෙන්නේ. එමනිසා අන්‍යයන්ට උපකාර කිරීමෙන් අපේ සිත සතුටට පත් වෙයි. තවද අසරණ තත්වයක සිටින කෙනෙකුට උපකාර කිරීම දෙවි සලකන්නේ තමාට පිරිනමන සේවයක් වශයෙනි.—හිතෝපදේශ 19:17.

අපේ ආත්මික අවශ්‍යතාවලට නිතරම අවධානය දීමෙන් අප සෑහීමකට පත් වෙනවා පමණක් නොවෙයි නමුත් අපට ප්‍රායෝගික වශයෙන්ද එය උපකාරවත් වේ. මැද පෙරදිග රටක වෙසෙන ව්‍යාපාරිකයෙක් වන රේමන්ඩ්ගේ අද්දැකීමද එයයි. ඔහු මෙසේ පවසයි. “කලින් මගේ එකම ඉලක්කය වුණේ සල්ලි හම්බ කරන එකයි. නමුත් දෙවිකෙනෙක් ඉන්නවා කියලා මම පිළිගත්ත දා ඉඳන්ම ඒ ඔක්කොම වෙනස් වුණා. දෙවි අපෙන් ඉල්ලන දේවල් බයිබලයේ කියලා තියෙන හින්දා මම දැන් ඒ අනුවම ජීවත් වෙන්න බලනවා. මම දැන් කිසිම වෙලාවක මගේ රැකියාවට ජීවිතයේ මුල් තැන දෙන්නේ නෑ. දෙවිව සතුටු කිරීමට මම දැන් හුඟක් වෑයම් කරන නිසා වෛරය වගේ විනාශකාරි හැඟීම් යටපත් කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. මගේ තාත්තා රණ්ඩුවකදී මැරුණා. හැබැයි ඒකට වගකියන්න ඕන අයගෙන් පළිගන්න මට දැන් කිසිම වුවමනාවක් නෑ.”

“ආත්මික මනුෂ්‍යයාගේ” අවශ්‍යතාවලට සාවධාන වීමෙන් ගැඹුරු චිත්තවේගීය තුවාල පවා සුව කළ හැකියි කියා මෙයින් පැහැදිලි වන්නේ නැද්ද? නමුත් සෑහීම ගෙන දෙන ජීවිතයක් අද්දකින්න නම්, එදිනෙදා ජීවිතයේ ගැටලුවලට සාර්ථක ලෙස මුහුණ දීමේ හැකියාවද අපට තිබිය යුතුයි.

‘දෙවි දෙන සමාදානය’ ලබාගැනීම

මෙම කාර්යබහුල ලෝකයේ ගැටලු නැති ජීවිතයක් බලාපොරොත්තු විය නොහැක. මන්ද නොසිතූ විරූ ආකාරයේ අනතුරු පවා සිදු විය හැකි බැවිනි. එමෙන්ම අප යම් යම් දේවල් ගැන සැලසුම් කළත් ඒවා අසාර්ථක විය හැකිය. තවද ඇතැම් මිනිස්සු අපේ බලාපොරොත්තු සුන් කරවන ආකාරයකින් කටයුතු කළ හැක. මෙවැනි දේවල් අපගෙන් සතුට සොරාගන්නවා කියා පැවසුවොත් එය නිවැරදියි. නමුත් යෙහෝවා දෙවිගේ සේවකයන්ට බයිබලයේ පොරොන්දු වන්නේ ඔවුන්ට ඇතුළාන්ත සහනයක් නැතහොත් ‘දෙවි දෙන සමාදානය’ ලබාගැනීමට හැකියාවක් තිබෙන බවයි. මෙම සමාදානය අප අත් කරගන්නේ කෙසේද?

ප්‍රේරිත පාවුල් මෙසේ පිළිතුරු සපයයි. “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:6, 7) අපේ ගැටලු තනියෙන් විසඳාගැනීමට වෙර දරනවා වෙනුවට අපි නොකඩවාම ඒ ගැන යාච්ඤා කරමින් දෙවි පිට අපේ බර තබන්න අවශ්‍යයි. (ගීතාවලිය 55:22) අප ආත්මිකව දියුණු වෙද්දී හා පෞද්ගලිකව දෙවිගේ උපකාරය අද්දකිද්දී අපේ කන්නලව්වලට දෙවි තම පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් තුළින් ප්‍රතිචාරය දක්වන බවට වූ අපේ ඇදහිල්ල තව තවත් වර්ධනය වේ.—යොහන් 14:6, 14; 2 තෙසලෝනික 1:3.

‘යාච්ඤා අසන තැනැත්තා’ වන යෙහෝවා දෙවි කෙරෙහි අපේ විශ්වාසය වර්ධනය කරගැනීම තුළින් වයසට යෑම, දිගු කලක් පුරා අද්දකින අසනීප හෝ වියෝ දුක වැනි පීඩාකාරි තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙයි. (ගීතාවලිය 65:2) නමුත් අපේ ජීවිතයට නියම අර්ථයක් ලබාගැනීමට නම් අප අනාගතය ගැනත් සලකා බැලිය යුතුයි.

අනාගත බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න

දෙවි ‘අලුත් අහසක් හා අලුත් පොළොවක්’ ගෙනෙන්න යන බවට බයිබලයේ පොරොන්දු වී ඇත. (2 පේතෘස් 3:13) ඔව්, කීකරු මිනිසාව පාලනය කරන හා ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වන ධර්මිෂ්ඨ ආණ්ඩු ක්‍රමයක් ළඟදීම පැමිණීමට නියමිතයි. දෙවි පොරොන්දු කරන ලද නව ලොවේදී යුද්ධය හා අයුක්තිය වෙනුවට සාමය හා යුක්තිය අපට භුක්ති විඳිය හැක. මෙය නිකම්ම පදනම් රහිත බලාපොරොත්තුවක් නොවේ. ඒ වෙනුවට එය දිනෙන් දින ශක්තිමත් වන විශ්වාසයකි. ඇත්තෙන්ම මෙය අපේ ප්‍රීතියට දායක වන ශුභාරංචියක් නොවේද?—රෝම 12:12; තීතස් 1:1, 2ආ.

කලින් සඳහන් කළ ජෝන්ගේ තත්වය කුමක්ද? ඔහුට හැඟෙන්නේ ඔහුගේ ජීවිතය දැන් වඩාත් අර්ථවත් එකක් වී ඇති බවයි. ඔහු මෙසේ පවසයි. “මම කවදාවත් ආගම ගැන එච්චර සැලකිල්ලක් දැක්වූයේ නැති වුණත් දෙවිකෙනෙක් ගැන නම් මම විශ්වාස කළා. හැබැයි යෙහෝවාගේ සාක්ෂිකරුවන් මගේ ගෙදරට එනකං මම දෙවි වෙනුවෙන් කිසිම දෙයක් කරලා තිබ්බේ නෑ. මම ඒගොල්ලන්ගෙන් එක පාරටම ප්‍රශ්න වැළක් අහන්න පටන්ගත්තා. ‘අපි මෙහි සිටින්නේ ඇයි, අපි යන්නේ කොහේද’ වගේ ප්‍රශ්නවලට උත්තර මට ඉක්මනටම දැනගන්න ඕන වුණා. ඒගොල්ලන්ට පුළුවන් වුණා බයිබලයෙන් මේ හැම ප්‍රශ්නයකටම මට සෑහීම ගෙන දෙන උත්තර දෙන්න. ඊට පස්සේ මට සත්‍යය ඉගෙනගන්න පුදුම ආසාවක් ඇති වුණා. හරි හා වැරදි දේ ගැන මට කලින් තිබ්බ අදහස් සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වුණා. මට දැන් නම් එච්චර වත්කමක් නෑ, හැබැයි ආත්මික වශයෙන් නම් මම කෝටිපතියෙක් වගේ කියලා මට හැඟෙනවා.”

ඔබත් ජෝන් මෙන් සෑහෙන කාලයක් පුරා ඔබේ ආත්මික අවශ්‍යතාවලට වැඩි අවධානයක් නොදී තිබෙනවා විය හැකිය. නමුත් “ඥානවන්ත සිතක්” වර්ධනය කරගනිමින් ඔබේ ආත්මිකත්වය පුබුදුවාලන්න ඔබටත් දැන් අවස්ථාවක් තිබේ. (ගීතාවලිය 90:12) ඔව්, සිතට ධෛර්යය ගෙන ඔබම උත්සාහ කරනවා නම් ඔබට සැබෑ ප්‍රීතිය, සමාදානය හා බලාපොරොත්තුව ලබාගත හැකිය. (රෝම 15:13) එතුළින් ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් එකක් කරගත හැකිය.

[6වන පිටුවේ පින්තූරය]

යාච්ඤාව තුළින් අපට ‘දෙවි දෙන සමාදානය’ ලබාගත හැකිය

[7වන පිටුවේ පින්තූර]

පවුල් ජීවිතය වඩාත් අර්ථවත් එකක් කරගත හැක්කේ කෙසේද කියා ඔබ දන්නවාද?